Sudath BANDARA (සුදත් බංඩාර)

සුදත් බණ්ඩාර සහෝදරයා….

මට ඔහු සමග ළබැඳිව ඇසුරු කරන්නට අවස්ථාවක් ලැබුණා යැයි කිව නොහැකියි. එහෙත් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ දී, වෛද්‍ය ශිෂ්‍ය අරගලයේදී සහ අනෙක් සටන් ගැන සාකච්ඡාවලදී නිෂ්මි සමග හරි හරියට වාද විවාද කළ මේ ජ්‍යේෂ්ඨ සහෝදරයා දිහා මා බලා සිටියේ ගෞරවනීය හැඟීමකින්.

1988 අග වන විට ඔහුට ‘ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය’ මෙහෙයැවීමේ වගකීම හිමි වී තිබූ බව පසු කාලයේ මා දැන ගත්තා. නමුත් මේ ගැන හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයේ කුමන මට්ටමක තමන් කටයුතු කළේ දැයි ඔහු කිසි දිනෙක පවසා නැහැ. සරසවියෙන් පිටතදී එක ම වතාවක් නුගේගොඩ දී අහම්බෙන් මුණ ගැසුණු ඔහු ඒ දිනවල කටයුතු කළේ, ‘දිනේෂ්’ නමින්.

කෙසේ නමුත් 1990න් පසු, හරියට ම කොයි දවස්වල දී දැයි නොදන්නා කලෙක, ඔහු ‘ජාතික චින්තනය’ දෙසට ඇදී ගිය බව පසුව දැන ගන්නට ලැබුණා.

කෙසේ වුවත් ඔහු ඇසුරු කරන්නට එය බාධාවක් වූයේ නැති බව අපේ බොහෝ සොයුරු සොයුරියන්ගේ අදහසයි.

දීර්ඝ කාලයකට පසු මට ඔහු නැවත මුණ ගැසුණේ 2008 වසරේ මුල දී. ඒ නිෂ්මි ගැන පොත ලියන්නට ඔහුගෙන් අදහස් ගන්නට අනිල් ජයරත්න සොයුරා සමග ගිය අවස්ථාවේදී. ඒ හමුව අතිශය ළෙන්ගතුව සිදු වූ සැටි ආදරයෙන් සිහි කළ හැකියි. ඒ වන විට ඔහු අතින් පරිවර්තනය වී තිබුණු ‘ස්පාර්ටකස්’ ගැන අපි බොහෝ දේ කතා කළා. ඒ ඇසුරින් මම ‘ලංකා පුවත්පතට’ කළ සම්මුඛ සාකච්ඡාවයි පහත ඡායාරූපයේ පලවන්නේ.

එහි දී ඔහු කීවා ස්වතන්ත්‍ර නවකතාවක් ලියන්නට කැමැත්තෙන් සිටි බව. නමුත් ඊට සමාන කතාවක් වෙන කෙනෙක් ලියා ඇති නිසා ඒ අදහස යට ගිය බව.

එම නවකතාව පමණක් නොව, චිත්‍ර ශිල්පියෙකු, පරිවර්තකයෙකු මතු නොව, ඊට එපිට ගිය මානව හිතවාදී දාර්ශනිකයෙකු ලෙස ඔහු තුළ පැවැති විභවය එහෙම පිටින් ම වැළලී ගිය බව සිහි කරන්නේ වේදනාවෙන්.

ඔහුගේ පසුකාලීන ජීවිතය ගැන බොහෝ දෙනෙක් දොස් පවරති. නමුත්, මගේ කල්පනාව නම්, ඔහු වැන්නෙකු රඳවා තබා ගත හැකි, ඔහු හරි මගක පිහිටුවිය හැකි වටපිටාවක් නිර්මාණය කරන්නට නොහැකි වීමේ වරද බාර ගත යුත්තේ අප ම කියා යි. විශේෂයෙන් ම, ඔහු ඒ ගමන් ගත් සෑම තැනට ම ඔහු ගියේ හුදු ආත්ම වාසිය තකා නොව, සත්‍ය යැයි ඔහුට පෙනුණු මගෙහි ඔහු අවංකව ගමන් කිරීම බව පෙනෙන විට, ඔහු කිසිවෙකුගෙන් ලාබ ලැබීමේ අදහසින් ඒ ගමන්හි නොයෙදුණු බව පෙනෙන විට, ඔහුගේ කටයුතු ඵලදායි ලෙස සමාජයට උරා ගත හැකි තැනෙක ඔහු රඳවා තබා ගැනීමට අපට නොහැකි වූයේ ය යන පශ්චාත්තාපය මා වෙත නම් තදින් ම දැනෙයි.

ඔහුගේ අදහස් කෙසේ වී දැයි යන්න ගැන, නිෂ්මි සම්බන්ධයෙන් ඔහු කී  දෙය කියැවීමෙන් මැනැවින් හඳුනා ගත හැකි ය. එය උපුටා දක්වන්නට අවසර දෙන්න.

“ඔහු මෝසෙස් වැනි ය…

ඉහත කී සියලු දෙන මිය ගියේ මිහිමත සුලභව දකින සරල ඝාතනයකින් අනතුරුව නොවේ. අප සිතින් මවාගෙන සිටින නිරයේ වෙතැයි කියනා යමපල්ලන් හා සම මිනිස් වදකයින්ගෙන් අපා දුක් ලැබීමෙනි. මේ හැරුණු විට මිහිමත නිරයට ගෙන ගියද, ඉන් ගැලවූ යළිදු මිනිස් ලොව වෙත පැමිණ, එහි දිවි ගෙවීමට වරම් ලද්දෝද තවත් කිහිප ගුණයක් වෙති.

නිෂ්මි සොයුරා ගැන යමක් පැවසීමේදී මේ සන්දර්භයෙන් බැහැරව ඒ කාර්යය කළ නොහේ. මන්ද ඔහු ද තම අනගි දිවිය ඒ තුළ ම අවසන් කළ අයෙකු හෙයිනි.

නිෂ්මි මගේ අතිශය සමීප සගයෙකි. රත්නපුර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පවුලකට අයත් තරුණයකු වූ ඔහු පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට පිවිසෙන විට මම එහි වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් වීමි. මුල පටන් ම අප අතර හිතවත්කමක් ගොඩනැඟුණේ නිරායාසයෙනි. ඊට කිසිදු දේශපාලන හේතුවක් මුල් නොවුණි. මුල් වකවානුවේ, එනම් 1985 වසරේ අපි එක්ව ඉඳහිට මධුවිතක් තොල ගා විනෝද වීමු.

එවකට පැවති ජයවර්ධන රජය තරම් ශිෂ්‍යයන්, කම්කරුවන් මැඬලූ හා රට පාවා දීමට පිඹුරුපත් සැකසූ රජයක් ඉතිහාසයේ නොවේ. එමෙන් ම එවක පැවති පරිහාණියට පත්  පැරණි වම තරම්, ඊට විවෘතව එරෙහි වූවන්ට වළ කැපූ කුහක කණ්ඩායමක් ද තවත් නොවීය. මහලු නායකත්වයෙන් හා බියසුළු ගුණයෙන් පිරුණු එවක පැවති අසරණ ශ්‍රීලනිපය, ඉහත කී අතවරයන්ට පාත්‍රව සිටි ලාංකීය ජනයාට නායකත්වයක් දීමට තබා ස්වකීය පැවැත්මවත් රැක ගැනීමට නොසමත් අඩියක පැවතියේ යැයි කීම නිවරදය.

මෙවන් පසුබිමක් යටතේ බෙලහීන විපක්ෂයත්, බංකොලොත් පෙට්ටිකාසි කම්කරු ව්‍යාපාරයත් ගැන, සිහි බුද්ධියක් සහිත අයෙකු බලාපොරොත්තු නොතැබීම නියතයෙකි. මේ බව වඩාත් ගැඹුරින් තේරුම් ගත් කොටස වී නම්, ඒ මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝය. උපාධියක් සහිත රැකියාවක් පතා සරසවි ගිය ශිෂ්‍යයින් දේශපාලනයට යොමු කළේ මේ දුර්දාන්ත පසුබිමයි. රට පාවාදීම, අධ්‍යාපන කප්පාදුව, මර්දනය ඈ මෙකී නොකී අකටයුතු කම්වලට එරෙහිව ජනතාවට නායකත්වය දීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් යොමු කළේ, වෙනත් බලාපොරොත්තු සහගත විකල්පයක් නොවූ හෙයිනි. එස්. එම්. නිෂ්මි නම් සුවිශේෂ චරිතය ලාංකීය දේශපාලනයේ දැවැන්ත චරිතයක් බවට වේගයෙන් වැඩී ගියේ එලෙසිනි.

තමා හා එකඟ නොවූ අයත්, ප්‍රතිවාදීනුත් ඔහු ජය ගත්තේ උපායයෙනි. නොඑසේව මැරකමින් නොවේ. තමා සමඟ සිටි සොයුරන් යම් හේතුවක් මත අමනාප වූ විට ඔහු ඔවුන් වෙත ගියේය. වර්තමානයේ මෙන් දුරස් වූ සොහොයුරන්ට ඇණ පොලුවලින් ගසන තුච්ඡ වැඩ ඔහු අතින් සිදු නොවීය. එමෙන් ම උඩ බලාගෙන කෙළ ගසා ගන්නාක් මෙන්, එක්ව කළ කී දේ වෙන් වූ කල ලිවීමෙන් හෝ කතාවෙන් සතුරා ඉදිරියේ වැමෑරීම ඔහු හෙළා දුටුවේය. එමඟින් සිදුවන්නේ සතුරා හා වක්‍ර ක්‍රමයෙක මිත්‍ර බවක් ඇතිවීම හා ඔවුනගේ බළල්ස අඬු බවට පත්වීම බව තේරුම් ගැනීමේ දේශපාලන සවිඥාණක බවක් නිෂ්මි සතුව පැවතියේය.

තමාගෙන් සතුරාට එල්ලවන අභියෝග මැඬලීමට නොයෙක් අත්ලස් ඔහු වෙත පිරිනැමුණු වාර බොහෝය. එහෙත් ඒ වෙනුවෙන් තබා, තම ජීවිතය රැක ගන්ම පිණිස වත් නිෂ්මි තම කණ්ඩායම පාවා නොදුන්නේය. මේ ගැන දැන් වෙසෙන, නිෂ්මි ගැන දත් හා අසා ඇත තරුණ නායකයින් නොදන්නවා නොවේ. පොදු දේශපාලන පරිහානියක සංකේත වන් වත්මන් තරුණ දේශපාලන නායකයින්ට නිෂ්මි චරිතය දුරවබෝධවීම අරුමයක් නොවේ. ධනේශ්වරයේ කුණු රසට ඉව අල්ලන, තම දේශපාලනය ධනේශ්වර රූපවාහිණී විවාද මගින් පිරිමසන්නට කැස කවන මේ නළුවනට මේ කියනා දෙයට පිළිතුරු බොහෝ ඇති බව නිසැකය.

අවසාන වශයෙන් නිෂ්මිගේ සමීප සගයෙක් වන මම මෙසේ කියමි. නිෂ්මි වැනි වෙනත් කෙනෙක් මා දන්නා කිසි තැනක කිසිදාක නොසිටියේය. එදත්, අදත් එය එසේමය. හෙටට පවා සිතා ගැනීම අසීරුය. නිෂ්මි වැන්නන් අද සිටියා නම්, මෑත කාලීනව එළැඹුණු අති ප්‍රාථමික හා අමනෝඥ දේශපාලන තීරණ නොගැනෙනු නියතය. එපමණෙක් නොව. සිදු කළ යුතු ක්‍රමයට රට ජාතියත් රැකගෙන, තම දේශපාලනයත් රකිමින් එය වඩමින් කටයුතු කරන්නට ඔහුගෙන් මග සැලසෙනු ඇත.”

– මහින්ද සෙනරත් ගමගේ

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *