අනුරගේ ඉන්දීය චාරිකාව සහ තලියේ කිඹුල්ලු දකින දේශපාලණය…!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ,

අසල්වැසියාට මුල් තැන දීම ස්වකීය විදේශ ප්‍රතිපත්තියෙහි අංක එක බව අගමැති නරේන්ද්‍ර මෝදි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජතාන්ත්‍රික සබඳතාවය වසර 2600 ක් ඉක්මවා ඈතට දිවෙන්නෙකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අශෝක අධිරාජයාගේ සමයේ ලංකාව ආගමික හා සංස්කෘතික බැඳීමෙන් ඉතා ශක්තිමත්ව පැවැති බව අපි දනිමු. දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයන් පැවති වකවානුවලදී කාලිංග, මාඝ, රාජරාජ, ආදී ඉන්දීය පාලකයෝ  ලංකාව ආක්‍රමණය කලහ. ලංකාව යටත් කර ගත් දකුණු ඉන්දීය රජවරු දීර්ඝ කාලයක් රට පාලනය කළ බව අමතක කළ නොහැකිය.  එසේම මහා පරාක්‍රමබාහු රජු සමයේ නෞකා 9 කින් යුතු  ශ්‍රී ලංකා නාවික හමුදාවක් දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ බවට මහාවංශය දෙස්‌ දෙයි.

වර්තමානයේ එළඹ තිබෙන්නේ සංහිඳියාවේ  යුගයයි. කවර හේතුවක්

නිසාවත් කලාපීය රටවලට තර්ජනයක් වන අයුරින් ශ්‍රී ලංකාවේ මහ පොළොව යොදා ගැනීමට තමා ඉඩ නොතබන බව

ජනාධිපති අනුර දිසානායක  අගමැති නරේන්ද්‍රමෝදි සහ ජනාධිපතිනි

දෞපදී  මුර්දු දෙපළ ඉදිරියේ ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.  ජනාධිපති අනුර ඉන්දිය නායකයන් හමුවේ ප්‍රකාශ කළේ තම රජය

ජාතික අභිලාෂයන් මුල් තැන තබා කටයුතු කරන බවය. නොබැඳි පිළිවෙතට එහා ගිය නූතනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

ජනාධිපති අනුරගේ තෙදින  නිල සංචාරයේදී  ඉන්දීය රජය අවස්ථා කිහිපයකදී රාජතාන්ත්‍රික ප්‍රොටකෝලය

බිඳ දැමුවේය. විදෙස් රාජ්‍ය නායකයකු පිළිගැනීම සඳහා අගමැතිවරයා සහ ජනාධිපතිනිය එකවර එකම ස්ථානයකදී

සාමාන්‍යයෙන් පෙනීසිටින්නේ.  නැත. එසේම මෑත කාලයේදී නව දිල්ලියේ රතු පලස මත විදෙස් රාජ්‍ය නායකයකු පිළිගැනීමක් සිදුව තිබුණේද නැත. තවත් වැදගත් කරුණක් සඳහන් කරනවා නම් එකම දිනයේ අවස්ථා දෙකකදී ඉන්දියාවේ රාජ්‍ය නායකයින් දෙදෙනාම අනුර පිළිගැනීමේ රාජතාන්ත්‍රික උත්සවයට සහභාගී වූහ. එයද විශේෂ සිදුවීමකි.

රාජ්‍ය නායකයින් දෙදෙනාම එකවර එකම ස්ථානයක පෙනී සිටීම ජාතික ආරක්ෂාවට ගැටළු ඇති කරන කරුණක් වන  නමුත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයේදී අගමැති මෝදි එය සැලකිල්ලට ගෙන තිබුණේ ද නැත. නිල චාරිකාවේ ප්‍රථම දින රාත්‍රියේ “රාෂ්ටපතිභවන්” මන්දිරයේ ජනාධිපතිනි දෞපදී මුර්දු ජනාධිපති අනුර වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඉන්දියාවේ ජනාධිපති අගමැති පමණක් නොව උප ජනාධිපති ජගදීප් තංගර්ද සහභාගී විය. ජගදීප්තංගර් උප ජනාධිපති මෙන්ම ඉන්දීය රාජ්‍ය සභාවේ කතානායකයාද වන්නේය.

භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජේ සී

නත්තා විදෙස් නායකයින් සමග සාකච්ඡා කිරීම සාමාන්‍යයෙන් සිදු නොවේ. එහෙත්

මෙවර ඔහු ජනාධිපති අනුර සමග දීර්ඝ සාකච්ඡාවකට සහභාගි විය. ජනාධිපතිවරයා සහභාගී වූ ව්‍යාපාරික හමුව සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ වෙළඳ ඇමති පියුස් බෝසාල් විසිනි. ජනාධිපති අනුරගේ ඉන්දීය චාරිකාව මුළුමනින්ම සංවිධානය කර තිබුණේ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් විශ්රා විසිනි. සමස්ත චාරිකාව තුළම විධිමත් කාල කළමනාකරණයක් දැක ගත හැකි වූ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ද

ජනාධිපති අනුර සමග වැදගත් සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන්දීය රජය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල සංචාරයට ඉහළම වැදගත්කමක් ලබා දී තිබූ බවජාත්‍යන්තර ජනමාධ්‍ය සඳහන්කර ඇත. මෙම සංචාරය අරබයා රාජ්‍ය නායකයින් දෙදෙනා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ දී, ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපීය ස්ථාවරත්වයට හානිවන අයුරින් තම භූමිය පාවිච්චි කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කළ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍යයන්හි දැඩි අවධානයට යොමුව තිබිණ. ඉන්දීය මාධ්‍ය වාර්තා  කළේ කොළඹ දිඟු කාලීන ප්‍රවේශයේ පුනරාවර්තනයක් ලෙසය.

කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයේ දී සඳහන් කෙරිණි.  කෘෂිකර්මය   පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් සඳහා වූ යෝජනාව තවත්  සතුටුදායක වර්ධනයකි. මේ වන විට සාකච්ඡාවට 14ක් පවත්වා ඇති යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගය පිළිබඳ  ගිවිසුම ගැනද එහිදී සඳහන් විය.  උතුරු මුහුදේ බරපතළ ගැටුම් වලට තුඩු දී ඇති ධීවර ආරවුලේදී දෙපාර්ශවයම තම ස්ථාවරයන්හි සිරවී සිටින බව රහසක් නොවේ. රාජ්‍ය නායකයන් අතර පැවැත්වූ ද්වී පාර්ෂවික සාකච්ඡාවලදී දෙරටේ ධීවර සංගම් නායකයින් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට ද තීරණය විය.

මෙරට විපක්ෂය කොනක් අල්ලා ගැනීම සඳහා පුලපුලා බලා සිටි බොහෝ කරුණු ජනාධිපති අනුර ඉන්දියාවේ පැවැත්වූ සාකච්ඡාවල ඇතුළත් නොවීම විපක්ෂයේ  කනස්සල්ලට හේතු වී තිබේ. අදානි සමූහ ව්‍යාපාරය සමඟ රනිල් වික්‍රමසිංහගේ

මැදිහත්වීමෙන් අත්සන්කළ  මන්නාරම සුළං බල ව්‍යාපෘතිය, කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය ආදී ගිවිසුම් වල දිඟුවක් මෙවර සාකච්ඡා වලට ඉවහල් වනු ඇතැයි ලංකාවේ විපක්ෂය අපේක්ෂා කළ ද එවැන්නක් පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවීය. සමහරු බලා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය එළියට පණින තෙක්ය. එවැන්නක් සිදුවූයේද නැත.  උතුරේ ජනතාව 13 කසල බඳුනට දැමූ බව ඉන්දියාව දැන සිටියේය.

අතට අසුවන ඕනෑම දෙයකින් ආණ්ඩුවට දමා ගසන්නට බලා සිටි උදවියට අන්තිමට ඉතුරු වූයේ අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුරගේ කරට අතදැමීම පමණි. අතිශය භයානක සිදුවීමක් ලෙස එය හුවා දක්වමින් මාධ්‍ය හමු පැවැත්වීමට තරම් ලංකාවේ විපක්ෂය අසරණ වී තිබේ. ඉන්දියාව හා ලංකාව ඉදිරියේදී විදුලිය රැහැන් වලින් සහ තෙල් නළවලින් සම්බන්ධ කිරීම සම්බන්ධව සාකච්ඡා වීම ඉන්දියානු ව්‍යාප්තවාදයට යට වීමක් ලෙස හුවා දක්වමින් ජනතාව අතර හුඹස් බියක් මතු කිරීමට විවිධ කණ්ඩායම් උත්සුක වන බව පෙනේ. ඔවුන් තවමත් සිටින්නේ සියවස් ගණනාවක් පසුපසය. 21වෙනි සියවසේ මුළු මහත් ලෝකයම , සමස්ත පෘථිවියම, එක්යායක් ලෙස සංවර්ධනයේ ප්‍රතිලාභ හුව මාරු කර ගනිමින් කාලය ඉක්මවා ඉදිරියට යන තාක්ෂණික ප්‍රතිලාභ අත්විඳිමින් ක්‍රියාකරන බව ඔවුන්ගේ ලිං මැඩි මානසිකත්වයට නොපෙනේ. මොවුන් හැමදාමත් තලියේ කිඹුල්ලු  දුටුවෝය.

ලෝකය පුරා හමන තාක්ෂණික සුළං ප්‍රවාහයන් මකුළු දැලෙන්  හිර කරන්නට ඔවුහු වෑයම් කරති. එවැනි අඳ බාල කතා වලින් දේශපාලනික වශයෙන් ජනතාව මුළා කළ යුගය හමාර වී ඇති බව ඔවුන්ට සිහිපත් කළ යුතුය. එට්කා ගිවිසුම නිසා

ඉන්දීය ශ්‍රමිකයින් ලංකාවට ගලා එන බවත් ඔවුන් ලංකාවේ තරුණයින්ගේ රැකියා අත්පත් කරගන්නා බවත් වීරවංශ පුන පුනා  ප්‍රකාශ කරන අයුරුදැක ගත හැකි විය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමරිකාව සමඟ අස්සන් තැබූ ඇක්සා,

සෝෆා, ගිවිසුම් මේ උදවියට අද මතක නැත. ඇමරිකන් හමුදාවට  අභිමත ඕනෑම මොහොතක  ලංකාවට පිවිසීමටත්,  ඔවුන්ගේ නිල ඇඳුමෙන් ලංකාවේ සැරිසැරීමටත්, ලංකාව ඔවුන්ගේ කඳවුරක් ලෙස පාවිච්චි කිරීමටත්, එම ගිවිසුම් වලින් අවසරය ලබා දී තිබුණි. මහින්ද රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයේ සිටි කිසිදු දේශප්‍රේමියකු එදා ඊට එරෙහි වූයේ නැත. අද එට්කා ගැන කතා කරන උදවිය එදා කැබිනට් මණ්ඩලයේ සිට ඇමරිකන් ඇක්සා ගිවිසුම අනුමත කළේය. ගිවිසුම් වලට අත්සන් තැබුවේ

ඇමරිකානු පුර වැසියකු වූ තානාපති රොබට් ඕ බ්ලේක් සහ  තවත් ඇමරිකානු පුර වැසියෙකු වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. දැනටමත් මේ උදවියට ජනතාව පිළිතුරු දී ඇති නිසා ඔවුන් ගැන කතා කිරීමේතේරුමක් නැත.

හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විහිළු සැපයීම තවමත් නතර කර නැත. ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කෙරෙන ආදම්ගේ  පාලම ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් කර ඇතැයිජනාධිපති රනිල් බලයෙන් පහවන්නට ටිකක දිනකට පෙර ප්‍රකාශ කළේය. එය මුළුමනින්ම අසත්‍යයකි.  ඉන්දීය රජයට සම්බන්ධ කිසිදු ආයතනයක් හෝ සමාගමක් මන්නාරම් මුහුදේ එවැනි කිසිදු අධ්‍යයනයක් නොකළ බව ඉතා පැහැදිලිය. එපමණක් ද නොවේ මන්නාරම දිස්ත්‍රික්කය පුනර්ජනනීය බලශක්ති හබ් එකක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ද සකස් කර අවසන් බව රනිල්  මන්නාරමේදී ප්‍රකාශ කළේය. හෙතෙම යාපනයේදී ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කය සඳහා දස අවුරුදු සැලැස්මක් පිළියෙල කොට ඇති බවය.

දැන් ඔහු ප්‍රකාශ කරන්නේ අනුර ඔහුගේ  වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම පිළිබඳව සතුටු වන බවය. “බෑනෝ අශ්වයා මං ගානේ දුන්නා යයි කළු මැණිකාට කියාපන්” යනුවෙන් ගමරාළ කියූ බව අපේ ජනකථාවක සඳහන් වේ.

උදේනි සමන් කුමාර.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *