නව දේශපාලණ බලාපොරොත්තු..!

නව වසරේ නව දේශපාලන බලාපොරොත්තු තබාගමු…!

ශ්‍රමය, තමන්ගෙන් සූරා කන අතිරික්ත වටිනාකම නැවත ලබාගැනීම යනු නිෂ්පාදන බලවේගයන්හි බලය ශ්‍රම සූරාකෑමට ලක්වෙන කම්කරු පංතිය අතට ගැනීම බවත් එහිලා තමන්ගේ ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නොමැති කම්කරු පංතිය ඒ විප්ලවීය මොහොතේ ගාමක බලවේගය වන බවත් ලීවේය. වෙනත් වචන වලින් කියන්නේ නම් ශ්‍රමය පමණක් විකිණීමට ඇති කම්කරු පංතිය යනු “හිස් ආත්මයකි”. පංති විඥානයෙන් පිරවිය හැක්කේ මේ හිස් ආත්මයයි. ඒ සදහා විප්ලවීය පක්ෂයක් මැදිහත් විය යුතුය. මාක්ස් ධනවාදයේ දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පළමු “සිතන්නා” වෙන්නේ ඔතනිනි.


ලංකාවට මාක්ස්වාදය ආවේ ආර්ථික විද්‍යා දැනුමක් වශයෙන් විනා දෘෂ්ටිවාදය විචාරය කිරීමේ මොඩලක් ලෙස නොවීමත්, ඊට ජාතිකවාදය මිශ්‍ර කල විජේවීර විසින් එය “විජේවීරවාදය” ලෙස නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමත් හරහා ලංකාවට අහිමි වූවේ නූතනවාදී දේශපාලන ව්‍යාපෘතිය යි. මේ විකෘතියේ තරම කොපමණද යත් දෙමළ ජාතීන්ගේ විමුක්ති සටනට එරෙහිව ධනේෂ්වර පාලක පංතිය සමග අත්වැල් බැදගෙන එකට සිට ගැනීමට පවා ජ.වි.පෙ. න්‍යායිකව දුප්පත් විය. බටලන්දට එරෙහි ටෙට් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින පෙරටුගාමීන් ද දෙමළ ජනතාවගේ අරගලයේ සිදුවූ මිනිස් සංහාරයන් පිළිබදව නිර්ලජ්ජිතව සිය මුනිවත රකින්නේ එහිදී මහින්ද රාජපක්ෂ හා ඔවුන්ද සමානයන් නිසාම ය.

image source-https://theleader.lk/images/dEEPTHI.jpg

දීප්ති, ප්‍රමුඛව අපි තවමත් කරමින් ඉන්නේ ලංකාවට අහිමි වූ නූතනවාදී ව්‍යාපෘතිය නැවත, නැවත මෙහි පැල කිරීමට උත්සාහ කිරීමයි.

මාක්ස්ව ආර්ථික විද්‍යාවෙන් ගලවා දෘෂ්ටිවාදය විචාරය කරන්නෙකු ලෙස ගැනීමෙන්, ඔහු මතුකල “පසමිතුරුතාවය” පිළිබඳ සංකල්පය වර්තමානයට ගැලපීම නම් එහි පංතිමය මානයේ විතැන් කිරීමයි. එනම් රාජ්‍ය සේවයේ ලක්ෂ 15 ක් හා පුද්ගලික අංශයේ ස්ථිර ලක්ෂ 5 ක් විධිමත් ආර්ථික ව්‍යුහයක් තුළ ස්ථානගත කොට තිබියදී ඊට පරිබාහිරව ලක්ෂ 60 ක් වූ ශ්‍රමයක් අවිධිමත් ලෙස විසුරුවා තිබීම හරහා මතුවන “පසමිතුරුතාවයයි”. රාජ්‍යයේ සම්පත් පරිභෝජන ආකෘතියකට ඇතුල් කල පසු එහි ප්‍රතිලාභ භුක්ති විදින්නේ මේ ලක්ෂ 20 ක් වන විධිමත් ආර්ථිකය තුළ සිටින ගුලිය වන විට ඉතිරි ලක්ෂ 60 අවිධිමත් ආර්ථිකය තුළ එකිනෙකාගේ බෙලි හපාගනිමින් පොරකෑමට ලක්වී ඇත. පාතාල ආර්ථිකය හා මත්ද්‍රව්‍ය ආර්ථිකය යනු එසේ දිගු වූ අවිධිමත් ආර්ථිකයේ දිගුවක් විනා මනුෂ්‍යයන්ගේ උප්පත්ති දෝෂයක් නොවේ. නීතිය වෙනුවෙන් පොලීසිය යෙදවීමත් ද්‍රරිද්‍රතාවය වෙනුවෙන් අස්වැසුම ලබාදීමත් රාජ්‍යයේ මූලෝපායන් වන්නේ නම් ඒවා සැබෑ ගැටලුවට පැලැස්තර පමණි.

මේ ඉහත අදහස ඔබ වටහා ගත්තේනම් ජ.වි.පෙ. හෝ පෙරටුගාමීන් යනු පවතින "පසමිතුරුතාවය" වෙනුවෙන් සටන් කරන විමුක්ති දේශපාලනයක් නොවන බව ඔබට වැටහිය යුතුය. ජ.වි.පෙ. රාජ්‍ය සේවකයින් පහල මධ්‍යම පංතියේ "උන්නතිකාමී" ආශාව හරහා සංවිධානය කිරීමත් පෙරටුගාමීන් ශිෂ්‍ය ප්‍රජාව මූලික කරගෙන උන්නතිකාමයේ කලල අවස්ථාව සංවිධානය කිරීමත් යන දෙකම එකිනෙකා මත යැපෙන විජේවීරවාදයේ මුහුණතවල් දෙකකි. ජ වි.පෙ. තුළ මහාචාර්‍ය, ආචාර්‍ය, දොස්තර, ඉංජිනේරු, නීතිඥ, ගුරු වැනි වෘත්තීන් අධිනිශ්චය වන්නේත්, පෙරටුගාමීන් රාජ්‍ය රැකියා ඉල්ලන්නේත් එහි දිගුවක් ලෙස මිස ඔවූහූ කිසි ලෙසකින්වත් මාක්ස්වාදීන් නිසා නොවේ.


ඊට සපුරා පරස්පරව අපේ තේරීම වන්නේ මේ මොහොතේදී ප්‍රාග්ධනය පැත්තේත් ශ්‍රමය විනයගත විය යුතුයැයි කියන අදහස මත සිට ගැනීමයි. ලංකාවේ ඇත්තේ ප්‍රාග්ධනයේ ගැටලුවක් නොව ශ්‍රමයේ ගැටලුවක් බව අපේ අදහස වන්නේ නිකම්ම නොවේ. ඊට අදාල න්‍යායික පරිචය දීප්ති විසින් සම්පාදනය කොට ඇත. අතිරික්ත වටිනාකම පිළිබද අදහස ප්‍රාග්ධනය පැත්තේ තිබෙන විට ධනවාදය විසින් අතිරික්ත විනෝදය (suples enjoiment) හරහා ශ්‍රමය එහි අවිඥානික කලාපය තුළ සංවිධානය කොට ඇත. තව දුරටත් ධනවාදය අපෙන් එලියේ ඇති දෙයක් නොව එය අපි තුළම ඇති, අපි ආශා කරන, ක්‍රමයක් බව එහි අදහසයි. උදාහරණයකට අපි පරිභෝජනය දේවත්වයෙන් සලකන අතර මාර්ක් සකර්බර්ග් වෙත හෝ ඉලෝන් මස්ක් වෙත අපේ ශ්‍රමය අපි ලබාදෙන්නේ කැමැත්තෙනි. facebook තුළ සිටින වාමාංශිකයන් මාක්ස්ගේ අර්ථයෙන් සකර්බර්ගේ කම්කරුවන් විනා එය ඊට වඩා වැඩියමක් නොවේ. නමුත් අතිරික්ත විනෝදය පිළිබඳව සංකල්පීයව වටහා ගැනීම යනු facebook තුළ ශ්‍රමය වපුරන විට ඊට අදාලව විනෝදයක් සකර්බර්ග් විසින් ආත්මීය තලයේදී නිපදවා තිබීමයි. ඔබෙන් ලබාගන්නා ලාභය පිළිබද මාක්සියානු අදහස මේ විනෝදය හරහාම ඔබෙන් වසා දමයි. මේ යුගයේ දෘෂ්ටිවාදය විචාරය කිරීම විනෝදය විචාරය කිරීම හරහා මාක්ස්ගේ අදහසින් ඉදිරියට ගොස් ඇත්තේත් ඒ සදහා මනෝවිශ්ලේෂණය දීප්ති හදුන්වා දෙන්නේත් මේ මංසන්ධිය කරා අපි පැමිනි පසුවය.


NPP ආන්ඩුව සිය ඉදිරි න්‍යාය පත්‍රය තුළ එට්කා වැනි ගිවිසුමක් හරහා ඒකාබද්ධ ශ්‍රම වෙළඳපොළක් වෙත යන්නේ නම් එය අවිධිමත් ආර්ථිකයත්, එහි ඇති විනයගත නොවූ ශ්‍රමයටත් ඔවුන් මිලදී ගන්නා රාජ්‍ය සේවාවනුත් (සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි) වඩා කාර්‍යක්ෂම හා විධිමත් වෙනු ඇත.

Ruwan Hapuarachchi.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *