ඇහැලේපොළගේ රන් ඔරලෝසුව..!
ජේ ආර්ගේ මී මුත්තා වංචා කරලා..

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ බාප්පා වන කොල්ලුපිටියේ කර්නල් ටී. ජී. ජයවර්ධන විසින් 1948 දී කොළඹ ජාතික කෞතුකාගාරයට රන් ඔරලෝසුවක් පරිත්‍යාග කර තිබේ. ඔරලෝසුව පරිත්‍යාග කරමින් ඔහු බාර දුන් ලේඛනයේ සඳහන් කර තිබෙන්නේ මෙම සාක්කුවේ ගෙනයන ඔරලෝසුව තම පරම්පරාවේ මුත්තා කෙනෙකු වූ දොන් ඒඩ්‍රියන් ජයවර්ධනට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 1815 දී තෑගි දෙන ලදුව තම පරම්පරාවට අයත්වූ බවය.
කොළඹ ජාතික කෞතුකාගාරයේ සිංහලයේ අවසන් රජු සඳහා වෙන් වූ විශේෂ මැදිරියක මෙම ඔරලෝසුව ප්‍රදර්ශනයට තබා තිබේ. නරඹන්නන්ගේ දැනුවත් වීම සඳහා ඒ පිළිබඳව විස්තර දක්වා ඇති සටහනෙහි මෙසේ දැක්වේ. ” ඕලන්ද රජු විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෑගි කරන ලද මෙම රන් ඔරලෝසුවෙහි ඉලක්කම් සිංහල ක්‍රමයට දක්වා ඇත. තමන්ට කරුණාව දැක්වීම නිසා මෙය රජු විසින් විජේසිංහ ජයවර්ධන මුදලිතුමාට තෑගි කරන ලද්දකි. “
අවුරුදු ගණනාවකට පෙර මෙම සටහන දුටු ප්‍රථම අවස්ථාවේම මා තුළ කුකුසක් හට ගැනිණි. ඊට හේතුව අප විසින් ඉගෙන ගෙන ඇති ඉතිහාසයට අනුව දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි මුදියන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දී සිංහලයේ අවසන් රාජධානිය බිඳ දැමීමට කරන ලද කුමන්ත්රණයේ මුල් පෙලේ චරපුරුෂයෙකි. රජු අල්ලා කුදලාගෙන එනු පිණිස උඩුනුවරට ගිය පිරිසේ තම්බි මුදියන්සේද නායකයෙකි.
ඒඩ්‍රියන් ජයවර්ධන හෙවත් තම්බි මුදියන්සේ කිසිදු අවස්ථාවක රාජසිංහ රජුට කරුණාව දැක්වූ බවක් ඉතිහාසයෙන් අපට තොරතුරු සොයා ගතනොහැක. ඒ නිසා මෙම ඔරලෝසුව පිටුපස සැබෑව සැඟව ඇති බවට මම සැක කළෙමි. මේ පිළිබඳව කරුණු සොයා වෙහෙසෙන කල මගේ සැකය නිවැරදි බවට කරුණු රැසක් දැන ගන්නට ලැබිණි. මෙයට පෙර විවිධ අවස්ථාවල ඉතිහාස විෂය පිළිබඳ අදහස් පළ කරන විද්වතුන් මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කර ඇති බව සොයා ගත හැකි විය. . නුවර කෞතුකාගාරයේ කියුරේටර්වරයකු වන සෙනරත් පනාවැන්න 1995 ජූලි මස 02 දින සන්ඩේ ඔබ්සවර් පත්‍රයට මේ පිළිබඳව ලිපියක් ලියා ඇත. ඒ මහතා සඳහන් කරන්නේ රන් ඔරලෝසුව තබා ඇති වීදුරු ආවරණය අසල මුලින් තබා තිබූ සටහන පසු කලෙක කෞතුකාගාර පාලනය විසින් වෙනස් කර තිබෙන බවය. සෙනරත් පනාවැන්න දක්වන අන්දමට ප්‍රථමයෙන් එහි තිබී ඇති සටහන මෙසේය.

” 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගෙන මහනුවර සිට කොළඹට ගෙනයන ගමනේදී දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන මුදලි විසින් රජතුමන් වෙත දක්වන ලද දයාව කරුණාව නිසා එතුමා තම රන් ඔරලෝසුව යථොක්ත මුදලිවරයාට තෑගි කරන ලදුව පසුව එය ඔහුගේ මී මුණුපුරකු වන කර්නල් ටී ජී ජයවර්ධන විසින් ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලදී. මෙම ඔරලෝසුව රජතුමාට ඕලන්දයේ රජුගෙන් ලැබුණු පරිත්‍යාගයක් බව ද සඳහන් වේ.”මුල් සටහන සහ පසු සටහන සංසන්දනාත්මකව බලන කල ප්‍රශ්න කීපයක් මතුවේ. පසුව කළ සටහනෙහි ඇත්තේ කරුණාව දැක්වීම නිසා යනුවෙනි. එහිදී මුල් සටහනෙහි වූ දයාව යන්න දෙවන සටහනින් ගිලිහී ඇත. රාජසිංහ රජුට තම්බි මුදියන්සේ කරුණාව දැක්වූයේ කුමකටද? කොහේදී ද ? කවර අවස්ථාවකදීද? යන්න අලුත් සටහනෙහි සඳහන් වන්නේ නැත. පැරණි සටහනෙහි ඊට කරුණු කෙටියෙන් දක්වා ඇත. මෙහි බැලූ බැල්මට කිසියම් කාරණයක් සඟවන බව ඉතා පැහැදිලිය.
මෙම සටහන් වෙනස් කිරීමේදී කෞතුකාගාර පාලනය පාලනය ද එම ගැටලුවට මුහුණ දී සිටින්නට ඇතුවාට සැක නැත.
පාඨකයින්ගේ දැනගැනීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් තමාට රන් ඔරලෝසුවක් දුන්නාය කියන දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි මුදලි කවුද යන්න පැහැදිලි කළ යුතුය. හෙතෙම හිටපු ජනාධිපති ජයවර්ධනගේ මී මුත්තා කෙනෙකි. ඔහු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළේ සිට ලංකාවට පැමිණ වෙළඳාමේ යෙදුණු මුස්ලිම් වෙළෙන්දෙකි. තරුණ වයසේ වෙළඳාමේ යමින් කන්ද උඩරටට සේන්දුව ඔහු කීර්ති ශ්‍රී රජසිංහ රජු සමයේ රජමාළිගාවේ කෝකියෙකු ලෙස රාජ සේවයට සම්බන්ධවූ අයෙකි.
රජ පවුලේ විශ්වාසය දිනා ගනිමින් තනතුරු මාරු කර ගනිමින්. මුහන්දිරම් තනතුර දක්වා ඉදිරියට යෑමට ඔහු සමත් විය. එතැන් පටන් හේ තම්බි මුහන්දිරම් නම භාවිත කරන අතර පසුව සිය නම දොන් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන නමින් වෙනස් කර ගනිමින් කතෝලික ආගමේ භෞතිස්මය ලබා ගනී. ඔහුගේ මුල් පදිංචිය හලාවත වූ අතර කතෝලිකාගම වැළඳ ගැනීමත් සමග ඔහුගේ ඥාතීහු කොළඹට නොදුරු සේදවත්තේ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වෙති.
ඉංග්‍රීසින් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය අල්ලා ගත් 1922 දී මුදලි තනතුර ලබා තම්බි මුදලි බවට පත්වෙයි. එතැන් සිට උඩරට සිංහල කිරීටය බිඳ දැමීමට ඉංග්‍රීසින් සමග කුමන්ත්‍රණය කරන ඔහු. කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමේදී ඉංග්‍රීසීන්ගේ උඩරට ඒජන්තවරයාවූ ජෝන් ඩොයිලිට සිටි සමීපතම සහායකයා විය. තම්බි මුදලි ඉංග්‍රීසින් වෙනුවෙන් කැප වූබව. ඩොයිලිගේ දින සටහන්වල සඳහන් වේ. ඊට අමතරව තෙන්නකෝන් විමලානන්ද විසින් එළිදක්වන ලද උඩරට රහස්‍ය ලිපි ලේඛන වලද තම්බි මුදලි ඉංග්‍රීසීන්ට දක්වන ලද අනුග්‍රහය පිළිබඳව සඳහන්ව තිබේ. කොල්ලූපිටියේ කර්නල් ටීජී ජයවර්ධන මාවතේ පදිංචිව සිටි කර්නල් ඩීජේ ජයවර්ධන තම්බි බුදියන්සේගේ තුන්වෙනි පරම්පරාවේමුණුපුරෙකි. හෙතෙම ඉහත විස්තරය දක්වමින් එම රන් ඔරලෝසුව කෞතුකාගාරයට බාරදෙන ලද්දේ 1948 දීය. එකල. කෞතුකාගාර අධ්‍යක්ෂ ධූරය දරන ලද්දේ පී ඒ පී දැරණියගල මහතා විසිනි.
හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂකවරයෙකු වූ පී. එච් සිල්වා මා සමග පැවසුවේ බොහෝ විට යම් කෞතුක වස්තුවක් කෞතුකාගාරයට බාර දෙන තැනැත්තා විසින් දක්වන විස්තරය අනුව සටහන යෙදීම සාමාන්‍ය සිරිත බවය. දැන් අපට මතුවන ප්‍රශ්නය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇත්ත වශයෙන්ම එතුමාගේ අත් ඔරලෝසුව තම්බි මුදලිට ප්රදානය කළාද යන්නය. තම්බි මුදලිගේ මරණය සිදුවන්නේ 1830 පෙබරවාරි 18 දිනය. ඔහුගේ අභාවයෙන් දෙමසකට පසු 1830 අප්‍රේල් මස 15 දින ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු පිළිබඳව ගැසට් පත්‍රයක් පළ කර තිබේ. දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.
” 1803 ජනවාරි මාසයේ ඉංග්‍රීසි හමුදාව මැක්ඩොවෙල් යටතේ සිංහල රාජධානියට ඇතුළු වීමේදී මාර්ගෝපදේශකයා වූයේ ඒඩ්‍රියන් ජයවර්ධන මුහන්දිරම්ය. 1815 දී සර් රොබට් බ්‍රවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ජයවර්ධන මුදලි සර් ජෝන් ඩොයිලි ප්‍රමුඛ ඉංග්‍රීසි බලඇණියක් සමග ගමන් ගත්තේ ය. රට ගැන ඔහුගේ දැනීම කොතරම්දයත් සිංහලේ රජුට පැනයන්නට නොහැකි වන පරිදි බෝමුරේ උඩුපිටියේදී කොටුකර අල්ලා දුන්නේය. ගැලවීමට ඉඩක් නොදී රජුගේ කඩුව අතින් උදුරා ගෙන ඇවිත් ඩෝයිලිට බාර කළේය. “
දැන් අපට මතුවන ප්‍රශ්නය කඩුව උදුරාගත් මිනිසාට ඔරලෝසුවක් තෑගි දුන්නාය කියන කතාව පිළිගන්නේ කෙසේද යන්නය. තම්බි මුදලි රජුගේ කඩුව උදුරා ඩොයිලි අතට පත් කිරීමේ සිද්ධිය ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයටම 1911 දී සී ජේ ස්ටේප්ලස්විසින් ලියන ලද “මේජර් ටී ජී ජයවර්ධන ජීවන චරිතයපොතේද ,1941 ඕ ඊ මාටින්ස්. විසින් ලියන ලද “කර්නල් ටීජී ජයවර්ධන චරිතය” පොතේද විස්තර කර තිබේ. එසේ නම් ජාතික කෞතුකාගාරයේ. රාජසිංහ ප්‍රදර්ශන කුටියේ දැනට ප්‍රදර්ශනයට තබා ඇති රන් ඔරලෝසුවේ සැබෑ හිමිකරු කවුද? ඒ පිළිබඳ නිවැරදි. තොරතුරු හමුවන්නේ ඇහැලේපොළ නිලමේ විසින්1826 දී එවකට ලංකාණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් වෙත එවන ලද පෙත්සමකිනි. ඇහැලේපොළ නිලමේ 1823 දී සිරකරුවකු ලෙස මුරිසියට පිටුවහල් කරන ලද අතර මේ මෙම ලිපිය යොමු කර තිබුණේ මුරිසියේ සිටය. දැනට මහනුවර කෞතුකාගාරයේ තිබෙන මෙම පෙත්සම කියවා සමාජය දැනුවත් කර තිබෙන්නේ. සෙනරත් පනාවැන්න මහතා විසිනි.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR-1RHW1nCVCaD78EuZKVRjnNzAQykNi7Z3Tw&s
ඇහැලේපොළ මුරිසියේ සිරගතව සිටිමින් ලංකාවේ එඩ්වඩ් බාන්ස් ආන්ඩුකාරවරයාට එවූ පෙත්සමේ සඳහන් වන්නේ මෙසේය.
” ඇහැලේපොළ වන මාසතුව අත් ඔරලෝසුවක් තිබුණේය. එය පගෝ දි 1000 කට මා විසින්ලදී ගත් ඕලන්ද ඔරලෝසුවකි. මා මහනුවර සිටියදී ඔරලෝසුවේ කටු නතර වූ බැවින් අලුත්වැඩියා කර ගැනීමට කල්පනා කරන විට අලුත් වැඩියා කර ආපසු දෙන පොරොන්දුව පිට තම්බිමුදලි ඔරලෝසුව ගත්තේය. ඒ අතර මා සිර භාරයට ගෙන 1818 මාර්තු මාසයේ කොළඹට ගෙනාවේය. කොළඹ සිටින කාලයේ ඔරලෝසුව ඉල්ලා කොල්ලූපිටියේ සයිමන් අප්පු අත පණිවිඩයක් යැවූ නමුත් ඔහු එය පසුවට කල් දැමුවේය. ඔරලෝසුව ඉක්මණින් එවන බව පවසා පණිවිඩකරු ආපසු එව්වේය.
මම සයිමන් අප්පු සතියකට පසු නැවත පිටත් කෙරුවෙමි. ඒවර ඔහු ඔරලෝසුව ගැන කිසිදු සඳහන් නොකර ඔහුට අයත් පොතක් මා අත ඇති බැවින් ඒ ආපසු එවන ලෙස දන්නවා ඒවා තිබුණි. ඔහු සඳහන් කරන පොත ස්ථිර ලෙසම මම ඔහුට දීතිබුණි. ඔරලෝසුව අවශ්‍ය නිසා ඒ පොතේ වෙනත් පිටපතක් ඔහු වෙත යවා ඔරලෝසුව ඉල්ලා සිටියෙමි. මෙසේ දින දෙක තුනකින් දෙන්නම් කියා. කීවා මිස මට මගේ ඔරලෝසුව ආපසු දුන්නේ නැත.
ඔරලෝසුව හෝ එහි වටිනාකම තම්බි මුදලිගෙන් අයකර දෙන ලෙස ඇහැළේපොළ ආණ්ඩුකාරයාගෙන් ඉල්ලා ඇත. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර තැන එම පෙත්සම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස සටහනක් යොදා ඇත. නමුත් පෙත්සම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත් වූ බවක් දැනගන්නට නැත. කෞතුකාගාරයේ තිබෙන්නේ. ඒඩ්‍රියන් ජයවර්ධන තම්බි මුදලින් විසින් ඇහැලේපොළගෙන් වංචා කරගන්නා ලදුව දීර්ඝ කාලයක් ජයවර්ධන පරම්පරාව සන්තකයේ තිබී. 1948දී ජාතික කෞතුකාගාරයට බාර දුන් රන් ඔරලෝසුව බව මේ අනුව තහවුරු වේ.
සත්‍යය අනාගත පරපුරට දැන ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය සටහනක් ඔර ලෝසුවඅසල තැබීම ජාතික කෞතුකාගාර පාලන අධිකාරියේ වගකීමකි. මෙයින් සනාථ වන එක් කරුණක් නම් අද මෙන්ම එදාද ලොකු මිනිසුන් හොරුන් වූ බවය. ස්වකීය රටත් ජාතියත් අඹු දරුවනුත් සියලු වස්තුවත් මහාධිකාරම් තනතුරත් අහිමි කර ගනිමින් ඇඳිවතට පමණක් සීමා වූ අසරණ ඇහැලේපොළ නිලමේ සිරකරුවකු ලෙස සිටිමින් ඔරලෝසුව ඉල්ලා සිටියේ මන්ද යන්න ප්‍රශ්නයකි. ඇතැම් විට අනෙක් නැති වූ සියල්ල ඔහුගෙන් බලය යොදා උදුරා ගත්දේය.
ඔරලෝසුව ජයවර්ධනලා පැහැර ගත්තේ ඔහු රැවටිල්ලට භාජනය කරමිනි. එවැනි වංචාවකට හසු වීම උඩරට රදළයකුවූ ඇහැලේපොළට දරා ගත නොහැකි තරම් මානසික වධයක් වන්නට ඇත. සොරකම්කර ජාතික කෞතුකාගාරයේ තබා ඇති එකම භාණ්ඩය සමහර විට ඇහැලේපොළගේ රන් ඔරලෝසුව වන්නට බැරි නැත. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තියේ කැත ඉතිහාසය හෙළිවන තවත් එක් අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකිය.

උදේනි සමන් කුමාර.
