“මිස්ට බීන්” ලංකාවේදී සමාජ යථාර්තයකි..!

අතිශයින් ජනප්‍රිය කොමඩි වැඩසටහනක් හා චිත්‍රපටි මාලාවක් වූ Mr. Been යනු බටහිර ශිෂ්ඨාචාරය විසින් ඇතිකරන ලද “සංකේතීය පිළිවෙල” කඩා දැමීම නිසා ජෝක් එකක් වෙන සහ එයම විහිලුවක් ලෙස බාරගන්නා පුරවැසියන් සිටින බටහිර නිෂ්පාදනයකි.

above image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-06-ent-85.jpg

සංකේතීය පිළීවෙල කඋල්ලංඝණය.

මිස්ටර් බීන් තමන් ඇතුල් වන සෑම ස්ථානයකම ඇති සංකේතීය පිළිවෙළ(සමාජය පොදුවේ පිළිගන්නා හා එකග වී රකිනා සිරිත් විරිත්, පුරුදු හා චර්‍යාවන්)කඩා බිද දමයි. ඔහු පාරේ මෝටර් රථය පදවමින් දත් මදියි. වෛද්‍ය පහසුකම් ලබාගන්නා ස්ථානයේදී පෝලිම පනී. හෝටලයකදී ආහාර ලබාගැනීමේදී එහි පිළිවෙළ කඩයි. කුඩා දරුවන් රවටා ඔවුන්ගේ දේවල් උදුරාගනී. ඔහු මේ සියල්ල සීරියස් ලෙස කරමින් එම ක්‍රියාවට පසු ඔහුම සිනහවෙයි.

මෙම වැඩසටහන් මාලාව හා චිත්‍රපටි පෙලින් බටහිර මිනිසා විසින් තමන්ගේ ජීවිත වල ඇති සුවපහසුව සහතික කිරීම පිණිස ඇතිකරගෙන තිබෙන යාන්ත්‍රණය අපිට පෙන්වයි. ඒ තුළ ඒ පිළිවෙළ කඩන මිස්ටර් බීන් ට ඔවුන් හිනාවෙයි. ඔවුන්ගේ සමාජ ජීවිතය තුළ ඇති මේ සංකේතීය පිළිවෙළ කැඩීම ඔවුන්ට විහිලුවක් වෙන්නේ එය ඔවුන්ගේ සමාජ යථාර්තය නොවන නිසාය. ඔවුන් සෑම කෙනෙක්ම සමාජය නැමති ස්ථානයේ ඇති මේ පොදු සම්මුතීන් වලට එකග වෙයි. තමන්ට සමාජය තුළදී ආරක්ෂාව හා පහසුව දැනෙන්නේ තමන් ඊට එකග වූ විට බව ඔවුන් දනී.

above image spurce-https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2016Oct/30/22.jpg

වීරයන් ලෙස උත්කර්ෂවත් වීම.

දළදා වන්දනාව හරහා ලාංකික සමාජයේ ඇතිවී ඇති කතිකාව නිරීක්ෂණය කිරීමේදී මහනුවර අපිරිසිදුබාවය, කැලිකසල බැහැර කිරීමේ අක්‍රමවත් බව, කැසිකිලි, වැසිකිලි පහසුකම් වල ඇති දුප්පත්කම මෙන්ම පෝලිම් වල ගැටලු ගුටිකෙලි ආදියද ඇසෙයි. සමාජයක් ලෙස මෙවැනි කටයුත්තකදී සංඛේතීය පිළිවෙළ අපි හැම කෙනාම අතින් උල්ලංඝනය වෙයි. මෙය උල්ලංඝනය කරන්නන් ජෝකර්ලා නොව වීරයන් හැටියටත් උත්කර්ශවත් වෙයි. (ලංකාවේ පෝලිම් පැනීම, මුල් අවස්ථාව ලබා ගැනීම, වෙට්ටු දමා බස් හා ත්‍රිවිල් ධාවනය කිරීම වීරකමකි).

සංකේතීය පිළිවෙළ ඇති මේ ඊට එකග නොවීමේ ගැටලුව හරහා මේ යුගයේ සෑම පොදු ස්ථානයක්ම ගුටිකෙලි වලින් පිරි මහා ගාලගෝට්ටියකි. ඒවා තුළ පිරී ඇත්තේ පුද්ගලයින් සිය පුද්ගලික නීති මගින් පාලනය වෙන ආකෘතියක් විනා පොදු නීතියට යටත් වීමක් නොවේ. නීතිය හා පර්‍යාය පොලීසිය මගින් ඉටුකරන්නට යෑමේදී ඊට එරෙහිවන්නන් සෑම තැනම දැන් දැකිය හැකිය. ඒවා වීඩියෝ කර සමාජ මාධ්‍ය මත ප්‍රචාරය කිරීමද වීරකමකි. සමකාලීන යුගය යනු වීරයන් වෙනුවට ප්‍රති-වීරයන් සමාජයේ තාරකාවන් වීමේ යුගයකි.

මිස්ටර් බීන්ලා බහුතරයක් ඉන්නා රටක සර්වජන ජන්ද බලයෙන් නායකයෙකු පත්වන විට, ඒ සෑම අවස්ථාවකම වගකිව යුත්තේ “ඔහු” නොවේ, ඔබය. මිස්ටර් බීන් යනු මේ යුගයේ ලාංකිකයාගේ පොදු ජීවිත ආකෘතියයි. එය වසා ගැනීමට BMW, Benz ,හෝ Apple phone වෙළඳපොලේ තිබේ. ශරීරය ශිෂ්ඨ වූ නමුත් ආත්මීයව අපි ශිෂ්ඨ නැත. චින්තනය අවශ්‍ය වන්නේ එතැනට ය.

Ruwan Hapuarachchi.

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *