පවතින වම අපෝහක නිෂේධනයකට ලක් නොවන්නේ නම් ඊට අනාගතයක් නැත..!

-වසන්ත දිසානායක.
(වසන්ත දිසානායක සහෝදරයා යනු ලාංකීය වාම දේශපාලණ තුලදී අපට හමුවන අද්විතීය චරිතයකි. හෙතෙම 1971 අරගලයේදී ප්‍රධාන නායකයෙකු වශයෙන් ක්‍රියාකොට වසර ගණනාවක් සිරබත් කමින් සිට එයින් මිදී පලාගොස් නැවතත් දේශපාලනයට පිවිසි චරිතයකි. ඔහු අද දක්වාම වාමාංශික දේශපාලණය තුල නියැලෙමින්ද, ඉතා වැඳගත් ලිපිලේඛණ සහ ග්රන්ථ ගණනාවක් වාම දේශපාලණයට දායාද කරමින්ද, “71-සහෝදරත්වය” ඇතුලු විවිධ වාම දේශපාලණික කංඩායම් වල නියෝජනය කරමින්ද, ලාංකීය වාම දේශපාලනය තුල තවමත් එදාමෙන්ම එකසේ ක්‍රියාත්මක වන සුවිශේෂ මෙන්ම දුර්ලභ චරිතයකි. වසන්ත දිසානායකයන් විසින් 1922 දී ලියූ ” පවතින වම අපෝහක නිෂේධනයකට ලක්නොවී ඊට පැවතීමට අනාගතයක් නැතිබව” පෙන්වමින් ලියූ අගනා ළිපිය අදටත් එමෙන්ම හෙටටත් එකසේ වලංගුවන බව අප විශ්වාස කරමු. එබැවින් එම ලිපිය යම් සංවාදයක් ඇතිකරගැනීම සඳහා මේ අවස්ථාවේ නැවතත් අප වෙබ් අඩවිය මගින් පළකිරීමට අදහස් කලෙමු. එම ලිපියට කැම්ති ඕනෑම කෙනෙකුට පිළිතුරු ලිපියක් ලිවීමට අවශ්‍යනම් එයද අප මෙහි පළකිරීමට සූදානම් ය. එසේ යම් අදහසක් වේනම් කරුණාකර [email protected] වෙත එවනමෙන් කරුණාවෙන් දන්වා සිටීමට කැමැත්තෙමු)

image source-https://www.vikalpa.org/wp-content/uploads/2023/04/Screenshot-2023-04-05-at-09.54.33-1200×550.png
“දේශපාලන පක්ෂයක් කොතරම් උවමනාවකින් කටයුතු ඉටු කරන්නේ ද යනු සහ ස්වකීය පංතිය සහ වැඩ කරන ජනතාව කෙරෙහි සිය යුතුකම් ඉටු කරන්නේ ද යනු නිශ්චය කිරීමේ ඉතාමත් වැදගත් හා ඉතාමත් නොවරදින මාධ්‍යයක් වන්නේ එය තමන්ගේ වැරදි කෙරෙහි දක්වන ආකල්පය ය. බැරෑරුම් ලෙස කටයුතු කරන පක්ෂයක ඒකාන්ත ලක්ෂණය වන්නේ වරදක් අවංකව පිළිගැනීම, එයට හේතු වූ කරුණු සොයා දැන ගැනීම, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග්රහ කිරීම සහ එය නිවැරදි කිරීමේ මාර්ග තීරණයකර ගැනීම යන ක්‍රියා මාර්ග ගැනීම ය. එය තම යුතුකම ඉටු කළ යුත්තේ තමන්ගේ පංතියට සහ ඊළඟට පොදු ජනතාවට උගැන්විය යුත්තේ එලෙසිනි.” -ලෙනින්
මම මීට කලකට පෙර මගේ මුහුණු පොතෙහි මෙවන් පෝස්ටුවක් පළ කෙළෙමි.
“අද දවසේ වාම හා ප්රගතිශීලී ව්‍යාපාරය සාර්ථකත්වයක් අත්කර ගැනීමට ඇති එකම මග වන්නේ එවන් සෑම පක්ෂයක්ම, සංවිධානයක්ම, කණ්ඩායමක්ම එකක් නෑර අපෝහක (දයලෙක්තික) නිෂේධයේ නිෂේධය ඔස්සේ ගමන් කිරීමෙන් පමණි, පමණක්ම ය.”
එහෙත් එය කිසිදු කතිකාවකට භාජනය වූයේ නැත. ඇතැම් විට එය ඇස නොගැසුනා හෝ එතරම් අවධානයකට ලක් නොවූවා හෝ වන්නට පුළුවන. සමහර විට එවැනි ප්‍රවේශයක් පවතින වමට අභියෝගයක් විය හැකි නිසා ඒ ගැන කතා නොකර සිටීම තමන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වේ යයි සිතා ඇතැම් කොටස් එය නිහඬතාවයෙන් යටපත් කර දැමීමට සිතුවා වන්නට ද පුළුවන. කෙසේ වේවා වමේ ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් ගත් කල මෙය අද තීරණාත්මක ලෙස මතු කළ යුත්තකැයි මම අදහස් කරමි.
ලංකාවේ සෑම වාමාංශික පක්ෂයක්ම, කණ්ඩායමක්ම පුද්ගලයෙක්ම පාහේ ධනේශ්වර ක්රමයේ අර්බුදය ගැන, ධනේශ්වර පාලක පංතියේ අර්බුදය ගැන අපමණවත් කතා කරයි. එපමණක් නොව වමේ තමන් නොවන අනෙක් පාර්ශවවල අර්බුද ගැන හා වැරදි ගැන කතා කරයි. සැබවින්ම ඒවා කථා කළ යුතු ය. වෙනත් වැරදි මත, ප්රවනතාවන් ආදිය විවේචනය කර පරාජයට පත් කළ යුතු ය. එහෙත් ඊටත් වඩා අවධාරණයෙන් යුතුව සිය විවේචන ඉදිරිපත් විය යුතු තැනක් තිබේ. ඒ තමන්ම ගැන ය. වමේ අසාර්ථකත්වයේ කේන්ද්‍රීය හේතුව ඇත්තේ වම අභ්‍යන්තරයේම බව අපේ වමේ ක්‍රියාකාරී බොහෝ දෙනාට වැටහීමක් තිබෙන බව පමණක් නොව වටහා ගැනීමේ උවමනාවක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත. මේ හැම එකක්ම පාහේ තමන් මුහුණ දී සිටින අර්බුදය ගැන, එහි දිග පළල හා ගැඹුර ගැන කතා නොකරන තරම් ය. ඉඳහිට උඩින් පල්ලෙන් කතා කළත් හැකිතාක් ඉක්මනින් ඒවා ගැන කතා කිරීමෙන් වැලකී සිටිති. නැතහොත් ඒවා මග හැරෙන ලෙස චේතනාන්විතව ක්‍රියා කරති. මේ ගති ලක්ෂණය අඩු වැඩි වශයෙන් ගත් කල අපේ වමේය කියන පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයන් යන හැම කොටසකගේම පාහේ නෛසර්ගික ලක්ෂණයකි.
අප පිළිගැනීමට කැමති වුවත් නැතත් ධනේශ්වර ක්‍රමය සේම, ධනේශ්වර පක්ෂ හා පාලක කණ්ඩායම් සේම ඇතැම් විට ඒවාටත් වඩා බරපතල අන්දමේ අර්බුදයකට දීර්ඝ කාලයක් පුරා වම මුහුණ දී සිටින්නේය යන සත්‍යය අප පිළිගත යුතුම ය. එය එස් නොවන්නේ නම් එය අවසානයේ තමන්වම ද රවටා ගැනීමකි. වමට එරෙහිව වමම සිට ගැනීමකි. අපේ වම පොදුවේ ගත් කල ස්වයං රැවටිල්ලට පෙම් බැඳ ගත්තකි. එකී ස්වයං රැවටිල්ලෙන් මිදී මේ අර්බුදය නිසි අයුරින් වටහා ගන්නා තෙක් හා එසේ වටහා ගෙන ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගන්නා තෙක් වමට අනාගතයක් නැති බව ඉතාමත්ම පැහැදිලි ය.

image source-https://theleader.lk/images/2023/2023/Apr/wasantha.JPG
වමේ අසාර්ථකත්වයේ කේන්ද්‍රීය හේතුව වන්නේ සිය අසාර්ථකත්වයට බලපා ඇති එය තුළම පැවති හා පවතින අඩුපාඩු හා වැරදි අවංකව පිළිගැනීමට හා එසේ පිළිගෙන ඒවා නිවැරදිකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති නුසූදානම ය. සෑම පක්ෂයක්ම, කණ්ඩායමක්ම පාහේ පොදුවේ ගත් කල අඩු වැඩි වශයෙන් අන්‍යයන්ගේ මිස තමන්ගේ වැරදි අවංකව පිළිගන්නේවත් පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට පියවර ගන්නේවත් නැත. ස්වයං විවේචන කර නැතිවා නොවේ. එහෙත් ඇතැම් ඒවා යම් යම් පාර්ශවීය සත්‍යයන් අඩංගු කර ගත් පැහැදිලි ප්‍රබන්ධ ය. බොහොමයක් ඒවා වටේ යාම් හා මගහැර යාම් ය. ඇතැම් ඒවා සැබවින්ම කළ වැරදි ‘වැරදි’ නොව බල කරන ලද තත්ත්වයන් තුළ සිදු වූ මග හැරිය නොහැකි වූ ඒවා ය. නැතහොත් අතපසු වීම් ය. පාලකයන් වැරදි නොකළා නම් අපෙන් එවැනි දේ සිදුවන්නේ නැත. ඇතැම් ස්වයං විවේචනයන් දෙස බැලුවොත් ඇත්තේ මෙවැනි ඒවා ය. “අර සිද්ධිය අඩුපාඩු සහිතයි, මේ සිද්ධිය නිසා විශාල හානි පැමිණුනා, ඒ සිදුවීම් එසේ සිදු වීම ගැන ස්වයං විවේචනාත්මකව බලන්න ඕන, මෙසේ නොවීම අඩුවක්” ආදී වශයෙන් කෙරෙන ලිස්සා යාමේ ස්වයං විවේචන ය. සැබවින්ම අඩුවැඩි වශයෙන් හැම වමේ පක්ෂයක්ම, කණ්ඩායමක්ම කරන්නේ සිදු වූ වැරදි සාධාරණීය කිරීමට හේතු සෙවීම ය. වැරදි අඩුපාඩු දකින්නේ හා විවේචනයට භාජනය කරන්නේ කවරෙක් ද ඒ කවරෙකු වුව අවස්ථාවාදී, ද්‍රෝහී ලේබලයෙන් හංවඩු ගසනවා ඇත. මෙම භාවිතය අපේ වමේ නෛසර්ගික පුරුද්දකි. මේ පුරුද්දේ බලයෙන්, මේ දේශපාලන සංස්කෘතියෙන් තිර ලෙස කැඩී වෙන් නොවන්නේ නම් අසාර්ථකත්වය, යළි යළිත් අසාර්ථකත්වය අපේ වමේ සදාතනික උරුමය බවට පත් වෙනවා ඇත.
වමට අනාගතයක් සහතික කර ගන්නට නම් වැරදි නිවැරදි කර ගැනීමේ මහා ව්‍යාපාරයක් පණ ගැන්විය යුතුමය. ඒ ව්‍යාපාරය ඔස්සේ පවතින සමස්ත වමම නව වමක් මගින් නිෂේධනය කළ යුතුමය. මන් ද විශේෂයෙන්ම අද දවසේ සැබෑ වමක ප්‍රගතියට විශාලතම බාධකය වී ඇත්තේ පවතින වම ම නිසා ය. පවතින වම ප්රගතිශීලී වන්නේ හුදෙක් පවතින පාලනයන්ට සපේක්ෂව ගත් කල පමණි. ඇතැම් විශේෂයන් තිබිය හැක්කේ වුව ද පොදුවේ ගත් කල එය රටට අවශ්‍ය කරන වමකට සාපේක්ෂව ප්රතිගාමී ය! එය අපෝහක නිෂේධනයකට ලක්විය යුතුම ය.