උපාධි දේශපාලනය..!

ලාංකිකයින් වන අප ළදරු වියේදී සුරංගනා කතා ඇසීමට හරිම කැමතියි . ලබ්බෙ තොවිලෙ ,හාවා නරියා ලබුකිරිබත් කෑව හැටි , ඉබ්බා අහසින් ගිය හැටි ආදී කතාන්තර මෙන්ම නලපාන ජාතකය, වටුවැද්දාගේ කතාව වැනි ආදර්ශමත් කතාද අසා ක්ෂණික සතුටක් ලැබූ අපි එවැනි කතාවල සත්‍යය අසත්‍යතාවය ගැන මොහොතකට වත් තර්ක නොකළෙමු . අවුරුදු දහ අට පැන්නට පස්සේ දේශපාලන වේදිකාවලින් පතුරු යනකම් බොරු පොරොන්දු දුන්නත් අත්පොළසන් දෙමින් ජය වේවා..!, ජයවේවා..!, කියන අපි, දිනුවට පසුව එම පොරොන්දු ඉටු නොකරන විට කිපෙන්නේද ඒ ගැන වාද කරන්නේ ද නැත. දේශපාලකයා ද බොරු පොරොන්දු දීමෙන් ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට උපන්ගෙයි සමතුන්‍ වේ. දේශපාලන බුද්ධියෙන් තොර වූ බහුතර ජනතාවගේ ඡන්දය නොගෙන ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි ඉතා පසුගාමී සමාජ වටපිටාවකින් හෙබි ලංකාවේ, බොරු කීමට අසමත් නම් ඡන්දය කෙසේවත් ජයගත නොහැක. ග්‍රහණයෙන් පසු තම වැඩ පිළිවෙළවල් රිසිසේ කරගෙන යාමට අවශ්‍ය බලය ලැබේ. එයට විරුද්ධව නැගී සිටීම්ද නොමැත. මෙවන් පසුබිමක් තුළ ජවිපෙ ආරම්භයේ සිට තිබුන “ප්‍රතිපත්ති දේශපාලනය ” හරහා කිසිම දිනක ජයග්‍රහණය කර රටේ පාලන බලය ලබාගැනීමට නොහැකිව තිබිණි. ජවිපෙට විනයක් තිබුණි. වෙලාවට සංවිධානාත්මව වැඩ කිරීමේ කලාව හා එයටම ආවේනික වූ නිර්මාණශීලිත්වයක් තිබිණි. සෑම සාමාජිකයාම යම් පමනක හෝ දේශපාලනික දැනුමෙන් යුක්ත විය. මාක්ස්වාදී දර්ශනය ගුරුකොට ගත් න්‍යාය සහිත භාවිතාවක් තිබිය යුතු බව ඔවුන්ගේ යම් විශ්වාසය විය. පන්ති සහිත සමාජය තුළ පන්තියක් අනෙක් පන්තිය මගින් සූරා කෑමට ලක්වන බවත් පන්ති නැති කොමියුනිස්ට් සමාජයකට යාමට ඇති මාර්ගය සමාජවාදය හරහා බවත් ඔවුන් පිළිගත්හ. ඒ සඳහා පාර්ලිමේන්තුව හරහා ගමන් කළ නොහැකි බවත් ධනපති පන්තිය බලය ලේසියෙන් අතහැර නොයන බැවින් ආයුධ සන්නද්ධ අරගලයක අවශ්‍යතාවයක් පවතිනබවත් පිළිගෙන එවෙනි සන්නද්ද අරගල දෙකකින්ම බලය ලබාගෙන පාලනය ගෙනයාමයට උත්සාහ දරන ලදී.

මෙය කෙසේ වෙතත් අතීත අත්දැකීම් සියල්ල මත අසූ හත- අසූ නමය මර්ධනයෙන් බැටකෑ ජවිපෙ පාර්ලිමේන්තුව හරහා බලය ලබා ගැනීමත් ලංකාව ඒ හරහා දියුණු කිරීමටත් ප්‍රජාතන්තවාදී ක්‍රමෝපාය භාවිතා කරමින් තම මාර්ගය වෙනස් කළේය. එක් අතකින් එය ඉතා හොඳ පැසසිය යුතු කරුණකි. බහුජන පක්ෂයක් ලෙස ජවිපෙ ජාතික ජන බලවේගය ලෙසට සිය බලවේග බලගන්වන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට යාමට තීරණය කර system change කරීමට ඔවුන් බලය ඉල්ලීය. මේ ගමනේදී තවදුරටත් සන්නද්ධ අරගල නැත. මහජන චන්දය වැඩි කර ගැනීමට අනෙකුත් දක්‍ෂිනාන්ෂික පක්ෂ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කිරීම ආරම්භ විය.

දැන් ජවිපෙඋපාධිය පිළිබඳව පරීක්ෂා කිරීම කරළියට පැමිණ ඇත. ඒවාට ප්‍රතිඋත්තර බැඳීම හා එයට අනුව තම පාරිශුද්ධතාවය ඔප්පු කිරීමට උත්සාහ කිරීම තම ගමනට බාධාවකි .කාලය කා දැමීමකි. මක්නිසාදයත්, දැන් ජවිපෙ ඇතුලු ජාතික ජනබලවේගය ඉදිරිපිට ඇති අභියෝගය නම් මාද්‍ය ප්‍රමුඛ විපක්ශය නගන සමාජ මතවාද වලට කලබලවී ඔවුන්ගේ සුදුසුකම් ඔප්පු කොට පෙන්වීම නොව ජනතාව ලබාදුන් අතිවිශාල ජනතා බලය යොදාගනිමින් රටේ ආර්තික තත්වය නගාසිටුවීම සහ පීඩාවට පත්ව ඇති ජනයාගේ ජීවන තත්වය ඉහල දැමීමට නොපමාව කටයුතු කිරීමයි.

වෛද්‍යවරුන් , ඉංජිනේරුවරුන් , නීතිඥවරුන් , ඝණකාධිකාරීවරුන් ආදී වෘත්තීන් සඳහා උපාධි ලැබුණත් ඇමතිවරු සඳහා උපාධි ප්‍රධානයක් ලංකාවේ හෝ ලොව කොහේවත් පිහිටුවා නැත. එසේ නම් ඇමතිවරයෙකුට උපාධියද අත්‍යවශ්‍ය නොවේ. එසේම දේශපාලනය යනු උපාධිය මත තීන්දු තීරන කෙරෙන ප්‍රපංචයක්ද නොවේ. ඡන්දය ලබාගැනීමට ඇත්ත පමණක් කිව්වොත් බලය ලබා ගැනීමට ද නොහැකියි. විපක්ෂය සහ සමාජ මාද්‍ය කියන කියන විදිහට තීරණ ගැනීම් ප්‍රතිචාර දැක්වීම් කිරීමට ගියහොත් NPP යනු අපේක්ශිත අරමුණූ කරා යාම පසෙකලා මද්‍යම පාංතික මතවාදයන් සහ ඔවුන්ගේ ආශාවන් ඉශ්ට සිද්ද කරවීමට ගොස් ඉතා ඉක්මනින්ම ජනතා විශ්වාසයන් පලුදු කරගන්නා තත්වයකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත.

ගාමිණී රණසිංහ.

(අද්‍යාපන කවය)

” 89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *