ජාතික චින්තනයේ ගණ’ඳුර-ජයදේව උයන්ගොඩ.

(සමාජ න්‍යාය සහ භාවිතය)

පිටු 38 කින් පමණ සමන්විත කුඩා පොත් පිංචක් වුවද ජයදේව උයන්ගොඩයන් විසින් ඉතාමත් ප්‍රභල තර්ක මගින් මෙම ජාතික චින්තනයේ ප්‍රධාන මූලයන් දැඩි අභියෝගයකට ලක්කරනු ලබයි. ජයදේව උයන්ගොඩ මේ ග්‍රන්ථයේ පෙන්වාදෙන පරිදි, ජාතික චින්තන ධාරාවේ ප්‍රස්තූතයන් නිර්මාණය කරගැනීමට ඔවුනට සිදුවී ඇත්තේ, එම ග්‍රන්ථයේ දක්වා ඇතිපරිදි ප්‍රධාන තර්ක දෙකකිනි. ඉන් පළමු වැන්න නම්, ලංකාව බහුවාර්ගික හා බහු සංස්කෘතික හා බහු භාශාමය සමාජයක්ය, යන්න ප්‍රතික්ශේප කිරීමයි. දෙවැන්න නම්, ලංකාවේ ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණයක් නොව ශ්‍රී ලංකාව කැබලි කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව විසින් අටවන ලද යටිකූට්ටු කුමන්ත්‍රණයක් යන්නයි.

එසේම මේ ග්‍රන්ථයේ අමරසේකරයන් විසින්, ලෙනින් විකෘති කිරීමක් ගැනද සඳහන් කරන උයන්ගොඩ, ” ලෙනින් සිය විප්ලවය ආරම්භ කලේ රුසියන් ජාතික චින්තනයේ ආභාසය ලබමිනි යැයිද, බෝල්ශෙවික් පක්ශය ඒ ජාතික චින්තනයේ කැඩපතයි”, යනුවෙන් අමරසේකර මේ පොත මගින් ගෙනඑන කථිකාවතට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කරන උයන්ගොඩ, බෝල්ශෙවික් වාදය යනු, පාරම්පරික රුසියානු ජාතික චින්තනයේ (නරෝද්නික්වාදයේ) ආදී ප්‍රවාහයන්ට එරෙහිව ලෙනින් කල සමාදාන විරහිත දෘශ්ඨීමය සහ න්‍යායික අරගලයක් බවත්, සම්ප්‍රදායික ගම වෙනස්වීම ගැන නරෝද්නික් වාදීන් සහ ගුණදාස අමරසේකරලා මෙන් ලෙනින් සුසුම් හෙලුවේ නතිබවත්, විප්ලවයෙන් පසු ඇතිකලයුතු සමාජයේ මොඩලය ලෙස ලෙනින් සහ බෝල්ශෙවික් වාදීන් සැලකුවේ රුසියානු ගම නොවේයැයිද පෙන්වාදෙන උයන්ගොඩ, රුසියානු ගමේ තිබූ පසුගාමී චින්තනය සහ සංස්කෘතිය වන්දනාමාන කරමින්, ග්‍රාම කේන්ද්‍රීය ජාතික චින්තනයක් ගොඩ නගන්නට ලෙනින් ගත් තැතක් නම්, දැනට ඉංග්‍රීසියෙන් පළවූ ලෙනින්ගේ කිසිදු කෘතියකින් තමා දැක නොමැති බවත් ජයදේව උයන්ගොඩ මහතා මේ ග්‍රන්ථය තුලින් සඳහන් කරයි.

මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ.

image source_https://www.sundayobserver.lk/wp-content/uploads/2024/10/13-Breaking-03.jpg

එසේම තවදුරටත් විස්තර කරමින් උයන්ගොඩ මහතා කියාසිටින්නේ, ” සිංහල ජාතික චින්තනයේ සෑම ප්‍රකාශකයෙකුම, අනාගාරික ධර්මපාලගේ පටන් ගුණදාස අමරසේකර දක්වා මෙතෙක් කර ඇත්තේ, ලංකාවේ සිටින සුලු ආගමික සහ සුලු ජාතික කොටස් සිංහල බෞද්ධ බහුතරයෙන් ඈත්කිරීමට හේතුවන පරිදි බැහැරකිරීම්වාදී චින්ථනයක් ඉදිරිපත් කිරීම බවයි”.

මෙම ග්‍රන්ථය මගින් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ගැනද අදහස් දක්වන උයන්ගොඩයන් කියාසිටින්නේ, ජනසම්මතවාදී සමූහාන්ඩු ක්‍රමය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අවුරුදු 2500 කට පෙර දැක්වූ අදහස් වලට ශ්‍රී ලාංකීයමය යමක් එකතු කිරීමට මෙරට ථේරවදී බෞද්ධ බුද්ධි සම්ප්‍රදාය සමත්වී නොමැති බවයි. එසේම බෞද්ධ චින්තන සම්ප්‍රදාය ලෙස අපට ඉතිරිවී ඇති ග්‍රන්ථ බොහොමයකින්ම නියෝජනය වන්නේ, රාජ්‍ය පාලකයින් සමඟ සමවායෙන් සිටි පූජ්‍ය තන්ත්‍රය හා බැඳුනු අධිපතිවා බුද්ධි සම්ප්‍රදාය බවත්, කෙසේ වෙතත් බෞද්ධ සංඝ සමාජය තුලත්, ගිහි සමාජය තුලත් එම අධිපතිවාදී බුද්ධි සම්ප්‍රදායට පටහැනි වෙනත් කැරලිකාර බුද්ධි සම්ප්‍රදායක් තිබෙන්නට ඇතැයි උයන්ගොඩයන් තම විශ්වාසය පළකරයි.

ජාතික චින්තනයේ ගණ’ඳුර පොතෙහි අවසන් කොටසෙහි ” සම්ප්‍රදාය” පිළිබඳව අදහස් දක්වමින්, සම්ප්‍රදාය යනු ආනුභවික ලෙස පැවති අතීතයම නොවන බවත්, සම්ප්‍රදාය යනු අර්ථකථනය කරන ලද අතීතය බවත්, “ජාතික චින්තකයින්” සිංහල-බෞද්ධ සම්ප්‍රදාය ලෙස දක්වන්නේ, මධ්‍යම පාන්තික දෘශ්ඨීකෝණයෙන් අර්ථකථනය කරන ලද එක්තරා අතීතයක් පමණක් බවත් ජයදේව උයන්ගොඩ පවසයි.

ඉහත විස්තර දක්වා ඇති ” ජාතික චින්තනයේ ගණ’ඳුර ” ග්‍රන්ථය වාමාංශික ක්‍රියාධරයින්ද කියවිය යුතුම ග්‍රන්ථයකි.

Lanka Power News.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *