නව වමක අරුණළු..!
-Ranjana Senanayake.
මේ දිනවල බොහෝ වාමාංශික ක්‍රියාකාරීන්ද විවිධ වාම පාර්ශ්වයන් නිටයෝජනය කරන වාම ක්‍රියාධරයින්ද වාම සංවිධාන වලට පිටතින් සිටින වාමාංශික මත දරන අයද “නව වමක්” (New Left)සහ එහි අවශ්‍යතාවයක් පිළීබඳව විවිධ අදහස් යෝජනා සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාරු කරගනු පෙනේ. විශේෂයෙන් වත්මන් රාජ්‍ය පාලනය ගෙනියන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ රැඩිකල් වාම කොටස්ද, මිනි මයික්‍රෝ මට්ටමට කැඩී බිඳී විසිරී සිටින විවිධ වාම ව්‍යාපෘති වල කාලාන්තරයක් තිස්සේ සිටිමින් අපේක්ශා භංගත්වයට පත්ව සිටින අයද මේ අතර මෙම සංවාදයට ප්‍රවිශ්ඨ වෙමින් සිටිති. එබැවින් නව වාමාංශික ප්‍රවනතාවයක් ඇතිවිය යුත්තේ කුමන ආකාරයකටද යන්න පිළීබඳව දළ අදහසක් ගෙනැඒමට මෙම ලිපිය ලිවීමට ලිවීමට අදහස් කලෙමි.

නව වමක්, යනු කුමක්ද?)
එසේනම් මේ බොහෝ වාමාංශිකයින් බලාපොරොත්තු වන “ නව වම”(New Left) යනු කුමක්ද? එය පැරණි වමේ අගතීන්ම ඉදිරියට ගෙනයන තවත් එවැනිම පන්නයේ නමුත් අළුත් මුහුණුවරකින් ගෙනඒමට තැත්කරන පැරැන්නෙහිම අවතාරයක්ද? නැතහොත් මේ කියන “නව වම” (New Left) යනු අභාවයාගේ අහාවය සනිටුහන් කරමින් පැරැන්න අවසන් කරමින්ද, පැරැන්න අභාවයට යවමින්ද නැවුම් බවකින් නවතාවයකින් ඓතිහාසිකව පැන නගින ප්‍රපංචයක්ද? නැතහොත් ලාංකීය වාම ව්‍යාපාරය ලෙසින් දශක ගණනාවක් විශාල න්‍යායාත්මක පීලි පැනීම් වලින් යුක්තවද, නැවත නැවතත් නැවත නැවතත් එකම පරීක්ෂණ කරමින් ඇටකුනාවී නන්නත්තාරවී, ඇමීබාකරණයට භාජනයවී සිටින අතිජාතික වාම පිස්සුවේම තවත් දිගුවක්ද යන්න ඉතාමත් පරිස්සමින් සහ විශ්ලේෂණාත්මකව ලෙහාගතයුතු ඉතා වැදගත් මාතෘකාවකි.
පැරණි වමේම අවතාර ලෙස.
මෙම බොහෝ පැරණි වාමාංශිකයින් ගේ පැත්තෙන් බලනවිට ඔවුන් “නව වමක්” (New Left) ලෙස දකින්නේම තමන් මෙතෙක් කරතබාගෙන පැමිණි, තමන්ගේ නායකයින් කියන කරන සෑම දෙයක්ම නිවැරදි බවට පිලිගැනීමට සූදානම්, ඉහලින් එන සියලු යෝජනා දොහොත් මුදුන්දී පිලිගනු ලබන මේවනවිට දේශපාලණ භූමියෙන් අවලංගු වෙමින් පවතින තමන්ගේම මහළු අවතාර නම් ඒ අය සිහින දකින “ නව වම” (New Left) යනු ඔවුන් වැටුනු මුලාවේම තවත් දිගුවක් මිස එය “ නව වමක්” නොවේ.
ඒ උගුලට අසුනොවීමට මේ “ නව වමක අරුනළු” දැකීමට කැමති අය අපොහොසත් වන්නේනම් තම තමන්ගේ ඒ සිහින අකුලාගෙන ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන බිරිඳට දරුමාල්ලන්ට උදව් වෙමින් සිටීම විශාල උදව්වකි. එය “ට්‍රොස්කි වාදය අද දවසේ මාක්ස්වාදයයි” හෝ “ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය” හෝ “තනි රටක සමාජවාදය” හෝ “සියරට දේ සිරිසැපදේ” ලෙසින් හෝ කවර ආකාරයේ පැරණි බංකොලොත් අගතීන්ම වෙස් ගන්වන්නේනම් ඒ සියල්ල බල්ලා මියගොස් වළලන විට බල්ලා පෙරවූ රෙදි ටිකත් වළලන පරිද්දෙන් “ නව වමක්” (New Left) ඇතිවීමේදී ඉවතට විසිකොට වලදමා උඩින් තදින් පස්දමා වැලලිය යුතුය. එය “නව වමක” අරුණළු දැකීමේ අනිවාර්‍යය කොන්දේසියකි. නමුත් එය පමනක් ප්‍රමාණවත් නොවේ.
විජේවීර වාදයේ අවතාර සහ භූතාත්ම.

“නව වමක” අරුණළු දැකීමට නම් අත් හැරියයුතු සහ දූරින්භූත කලයුතු වෛරසයක් නම් “විජේවීරවාදය” සහ එය කරතබාගත් භූතාත්මයන් ය. මක්නිසාද යත් “විජේවීරවාදය” ලංකාවේ ඊනියා වාමාංශික ව්‍යාපාරයක් ලෙසින් දශක හය හමාරක් පමණ කල කී දේවල් සලකා බැලූකල එය අවලංගුවී භාවිතයට තබා සලකා බැලීමටවත් උචිත ප්‍රපංචයක් (Phenomenon) නොවේ. එය වලංගු යැයි සිතා සිටි බොහොමයක් දෙනා ක්‍රියාකාරීව සිටි වකවානුවලදී එය සිදුකල හානියද සුලුපටු නොවේ. අද විජේවීරවාදය කරතබාගෙන පැමිණි ජනතා විමුක්ති පෙරමුණද තුනෙන් දෙකක් බලය ලබා ආන්ඩු කලද එය විජේවීරවාදය අනුගමනය නොකිරීම ඉතාම සතුටට කරුණකි.
බලය ලබා ඔවුන් විජේවීරවාදය අනුගමනය කිරීමට ගියානම් අදවනවිට කියුබාව මුහුනපා ඇති ඉරණමට එහාගිය අතිශය ඛේදජනක ඉරණමකට මුහුනපෑමට සිදුවීම අනිවාර්‍යය වනු ඇත. ජවිපෙ වත්මන් නායකත්වය විසින් ඒගැන හොඳ අවබෝධයක් ඇතිව “විජේවීරවාදය” සාලයේ වටිනා ඉපැරණි පෙට්ටකමක් ලෙස පමණක් අලංකාරය පිණිස පෙනුමට පමණක් තබාගෙන ඉදිරි කටයුතු ලෝක භූ දේශපාලණයට ගැලපෙන අයුරින් ගෙනයාමට උත්සාහ කරනු පෙනේ. එය ඉතා අගය කලයුතුය. එහි අඩුපාඩු රැසකි, අවුල් රැසකි, නමුත් හානිය අවම බව කිවයුතුය.
විජේවීරවාදය නූතන ජවිපෙ විසින් හැව අරින අයුරින් ඉතා සාහසික අයුරිනුත්, ස්ට්‍රැටජිකලි (Strategically) අයුරිනුත් ඉවත්කලද විජේවීරවාදය තවත් පැරණි වාමාංශික බංකොලොත් පාර්ශ්වයන් කදිමට කරගහගෙන යනු පෙනේ. එපමනක් නොව ඉදිරියේදී ඇතිවන “නව වමක්” (New Left)සඳහාද මලගිය ප්‍රාණයෙක් බඳුවූ විජේවීරවාදය එබ්බවීමට උත්සාහ ගන්නා අයුරු පෙනේ. මෙයනම් ඇතිවීමට නියමිත අළුත් වාමාංශික ව්‍යාපාරයකට එරෙහිව අටවන්නට අරාඳින “බඳින තුවක්කුවකට” සමානය. මක්නිසාද යත්, කොයි අවස්ථාවේ එය පත්තුවී විනාශ මුඛයට ඇදීයාහැකිදැයි කිව නොහැකිය. බලය ලබාගැනීමේ පරමාර්ථයෙන්ම ඕනෑම කඹරගොයෙක් තලගොයෙක් කිරීමට එයට ඇති හැකියාව එහි ඇති භයානකත්වයයි. නමුත් විජේවීරවාදය එක් කාලයක පැවති එක් සන්දර්භයකදී යහමින් එය වැඩකල බව කිවයුතුය. දුගීකරණයට පත්වී සිටි රැකියා විරහිත තරුණයින්, සුළු ගොවීන්, ශිෂ්‍යයින්ගේ කැකෑරුනු වේදනාවල් වලට ආමන්ත්‍රණ කිරීමට විජේවීරවාදය ඉතා දක්ෂ මෙවලමක් විය.
විජේවීරවාදය පදනම් වූ හැටි.

එබැවින් කම්කරුවන් නොවන ප්‍රාග්ධනයට කිසිසේත් සම්බන්ධ නොවන ප්‍රජාවන්ගේ කැකෑරෙන වේදනාවල් කරගසාගෙන යාමත්, මව්බිම අනතුරේ බවට පෙන්වා දෙමින් “ දේශප්‍රේමීන්” ලෙස මෙකී ආන්තික කොටස් භෞතීස්ම කිරීමටත් පුදුම හැකියාවක් විජේවීරවාදය සතුව තිබූබව සැබෑවකි. එහෙත් ඒ දේශප්‍රේමී අරගල වලට යම් අවකාශයක් ලබාදීතිබූ සන්දර්භයන් දැන් ඉක්මගොස් බොහෝ කල් ගතව ඇත. එදා විජේවීරවාදය ජනප්‍රියවීමටත් එය පවත්වාගෙන යාමටත් ප්‍රධාන පදනම් ලෙස තිබූ බෝල්ෂෙවික් රුසියාව සහ බටහිර කඳවුර අතර ලෝකය අක්ෂ දෙකකට බෙදී තිබි තත්වය අද නැත.
විජේවීරවාදය මවා පෙන්නූ ප්‍රධාන බිල්ලෙක් වුනු ඉන්දීය ව්‍යාප්තවාදය අද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද නැත. තවද විජේවීරවාදය තුල පෙන්වාදුන් ඇමරිකාව විසින් ඉන්දියාව කැබලි කිරීමේ උපාය මාර්ගයේ එක් පියවරක් ලෙස ලංකාවේ උතුරු- නැගෙනහිර සහ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත එක්කොට තැනීමට යනවායැයි කියූ “මුම්මුඩ චෝල මන්ඩලම්” අතේ පත්තුකල ප්‍රෝඩාවක් බව දශක තුනහමාරකට පසු මේ වනවිට ඔප්පුවී අවසානය. ඒ අනුව “නව වමක්” (New Left) සඳහා “විජේවීරවාදය” යොදාගැනීම හරියට අතිනවීන මෝටර් රථයකට පැරනි මයිනර් හෝ වොක්ස්වගන් ඊටත් වඩා පරණ රථයක එන්ජිමක් සවිකිරීමට යාම හා සමානය.
විජේවීරගේ සූක්ෂම පණීවිඩය.

කෙසේ වෙතත් අතිජාතික වාමාංශික කොටස් නැවතත් මේ විජේවීරවාදය “නව වමකට” (New Left) පූට්ටුකිරීමට දරන උත්සාහය අනුකම්පා විරහිතව පරාජය කලයුතු බව මගේ හැඟීමයි. ඔවුන්ගෙන් සමහරෙකුට අනුව, විජේවීර සහෝදරයා 89 අගභාගයේදී අත් අඩංගුවට පත්වී ආරක්ෂක හමුදාවල බලපෑම මත රූපවාහිනියෙන් කල ප්‍රකාශයද දේව වාක්‍යයකි. විජේවීරයන් කියාසිටි ආයුධ බිමතැබීම සහ “නැවත මුලසිටම අරඹන්න” යන වදන් වලින් පක්ෂ ක්‍රියාධරයින්ට එවා ඇත්තේ මාරම මාර පණිවිඩයකි. එය හමුදා බුද්ධි ප්‍රධානීන්ටවත් නොතේරෙන අයුරින් පක්ෂ ක්‍රියාධරයාටම පාස්කොට එවූ අති විශේෂ පණීවිඩයකි. “නව වම” (New Left) ඒ අනුව ඇරඹිය යුත්තේ එදා විජේවීරයන් සිය අවසන් අවස්ථාවේ එවූ, “නැවත මුලසිට පටන්ගන්න” යන්න මත පිහිටාය. ඒ විජේවීරවාදය කරපින්නාගෙන යන ඇමීබාකරනයට ලක්වූ අතිජාතික වාමාංශිකයින්ගේ එක් ආස්ථානයකි.
ඇත්තටම එදා අත් අඩංගුවේ සිටි විජේවීරයන්ගෙන් ආරක්ෂක හමුදාවකට අවශ්‍ය වූයේ විජේවීර ලවා ජනතා විමුක්ති පෙරමුන තුල සටන් කරමින් සිටි තම ඉතිරි සාමාජිකයිනට සන්නද්ධ අරගලය නවත්වන ලෙස දැනුම් දීමටයි. එයට අවනතවූ විජේවීරයන් සිය සගයින්ට දැනුම්දුන්නේ, සන්නද්ධ අරගලය නවත්වන ලෙසත් නැවත මුලසිටම පටන්ගන්නා ලෙසත් ය. එහි වැරැද්දක් මට නොපෙනේ. නමුත් වැරැද්ද ඇත්තේ එතන නොව සන්නද්ධ අරගලය නවත්වන ලෙස විජේවීර හමුදාවට අසුවීමට පෙර සිය සාමාජිකත්වයට කියාගන්නට බැරිඋනේ ඇයිද යන්න තුලයි. ඇත්ත වශයෙන්ම 89 සන්නද්ධ අරගලය පරාජයට පත්වෙන දිශාවට සීග්‍රයෙන් ඇදීයන බවට ඉතාම හොඳින් දර්ශනය වීම ඇරඹුනේ 1989 මැයි සහ ජූනි මාසය වනවිටය. එබැවින් ඒ වනවිට ව්‍යාජ ලෙස හෝ රජය සමග සාම සාකච්චා අරඹමින් ඒ සඳහා යොමුවීමට යැයි කියමින් එවක අත් අඩංගුවේ සිටි අය නිදහස් කරගෙන නැවත මුලසිටම ප්‍රතිසංවිධනය කරගත යුතුව තිබුනේ ඒ අවකාශයේදීය.
එසේ වූවානම් එවක ඝාතනය වුනු තරුණ තරුණීයන් දස දහස් ගණනක ජීවිත සහ කෝටි ගණනින් විනාශවූ රාජ්‍ය දේපොල විනාශ මුඛයෙන් බේරාගතයුතුව තිබිණි. ලෝකයේ බොහෝ බලවත් ගරිල්ලා සංවිධාන පවා තමනට අවාසි සහගත තත්වයන් වලදී ඉතාමත් දක්ෂ ලෙසත් ඉතා සූක්ෂම ලෙසත් තම ශක්තිය සහ හැකියාව ගැන මනා තක්සේරුවකට එමින් විරුද්ධ පාර්ශ්වය සමග සාකච්චා මේසයට පැමිණ කල් මරමින් තම අඩුපාඩු නැවත සකස් කරගනී. එවන් පරිනත මිලිටරි දැනුමක් නොතිබූ එවක ජ.වි.පෙ සිටි ඇවිදින පුස්තකාල ලෙස හඳුන්වාගෙන සිටි ගොබ්බ දේශපාලන මංඩල සාමාජිකයින්, තම සංවිධානයේ පොකුරු පිටින් සාමාජිකයින්ද, අනතුරුව පහල සංවිධායකයින්ද, ඉන් අනතුරුව ඉහල සංවිධායකයින්ද, ඊටත් අනතුරුව මධ්‍යම කාරක සභාවත්, අවසානයට තමනුත් එකදිගට ආරක්ශක අංශ මගින් කෙටි කාලයක් තුලදී දඩයම් කරන තුරු වහසිබස් දොඩමින් සිටියා මිස වෙන්නට නියමිත භයානක අනතුරු තත්වය ගැන හාංකවිසියක් දැනසිටියේද තේරුම් ගෙන සිටියේද නැත. මුලු මහත් ඉහල නායකත්වයම මාස තුන හතරක් තුල ආරක්ෂක හමුදාවන් දඩයම් කලේ හරියට කොක්කු දඩයම් කරන තරම් පහසුවෙනි.
මුල සිට ඇරඹම.
අත් අඩංගුවට පත්වී සතුරාගේ කටේ ඉඳගෙන සතුරාගේ මාධ්‍ය හරහා සතුරාගේ අවශ්‍යතාවයට තම සගයින් අමතා “ දැන් ආයුධ සන්නද්ධ අරගලය නවත්වන්න, මුල ඉඳන් පටන්ගන්න” කියූ පමණින් ඒ වචන වල තේරුම් දාර්ශණීක අයුරින් විග්‍රහ කරගැනීමට යාමම එක්තරා දුරකට විහිලුවකි. විජේවීරගේ මරණයෙන් දශක තුන හමාරකට පසුව අදටත් පෙනෙන්නේ විජේවීරගේම හෙවනැල්ල නම් එයින් හැඟෙන්නේ විජේවීරවාදයෙන් ඔබ්බට යාමට මෙම අතිජාතික පසුගාමී වම්මුන්ගේ ඇති අඳබාල නොහැකියාවම පමණි. එබැවින් “නව වමක අරුනළු” දැකීමට කැමති ඕනෑම කෙනෙක් මේ “විජේවීරවාදයෙන්” ගැලවී, ඉන් ඉවත්වී නව වමක් දෙස බැලීමට සූදානම් විය යුතුමය. එසේ සූදානමක් නොමැතිනම් මෙම අතිජාතික නොස්ටැල්ජික් වම්මුන් කලයුත්තේ තමන් ලැගසිටින නළ ලිං වලම ලගිමින් “දියව්, දියව්” හෝ “මව්බිම අනතුරේ” කියමින් තව දශක කීපයක් කොටුව ස්ටේෂම ඉදිරිපිට වැනි තැන්වල අට්ටාල තනාගෙන ඒවායේ සිට බෙරිහන් දෙමින් බලයට එන එන අය පැන්නීමට දැඟලීමය.
විජේවීරයන් කල කැපකිරීම් සහ උත්සාහ කල සමාජ පෙරලිය සඳහා ඔහුගේ දායකත්වයට නිසි ගෞරවය ලබාදී විජේවීරවාදය පැත්තකින් තබා නූතන ලෝකය තුල නව වාමාංශය ස්ථානගත කිරීම ජාතික වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන් සිදුකලයුතු කටයුත්තක් බවද මෙහිදී අවධාරණය කලයුතුය.
ලෙනින්වාදයෙන් ” නව වම” බේරාගැනීම.

ලෙනින්වාදයෙන් බිහිවීමට නියමිත නව වමක් බේරාගතයුත්තේ ඇයි? ලෙනින්වාදය යනු ලාදුරු රෝගයක් වැනි බෝවන රෝගී තත්වයක්ද. නැත. කොහෙත්ම නැත. ලෙනින්වාදය යම්දුරකට හෝ ඇප්ලයි උනේ රුසියාවේදී එදා තිබූ සාර් පාලනයට සහ දෙවන ලෝක යුද්ධය පැවති සන්දර්භය හමුවේදීය. එයින් එහා කිසිඳු රටක කිසිඳු සන්දර්භයකදී ලෙනින්වාදය ඇප්ලයි උනේ නැත. අඩුම තරමින් දශක හයකින් පමණ පසු එය රුසියාවේදීවත් වලංගු වූයේ නැත. එහෙත් ලෙනින් යනු වාමාංශික ලෝකයේ පහලවූ චින්තකයෙකු, ලේඛකයෙකු, නායකයෙකු සහ දක්ෂ සංවිධායකයෙකු බව අවිවාදිතය. නමුත් ලෙනින් විසින් සම්භාව්‍ය මාක්ස්වාදයට පටහැනිව හඳුන්වාදුන් අධිරාජ්‍යවාදයේ ක්‍රියාකාරිත්වය සහ අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික විමුක්ති අරගල වල ක්‍රියාකාරිත්වය පමණක් නොව ස්වයංතීරණ සඳහා ජාතීන් සතු අයිතිය පවා වත්මන් ධනවාදය ගෝලීයකරණය හමුවේත් ප්‍රාග්ධනය හැසිරෙන ආකාරයත් භූ දේශපාලණික තත්වයත් අනුව අදට කිසිසේත් වලංගු නොවේ.
ඒ ගැන වැටහීමක් ලංකාව වැනි රටවල අතිජාතික වාමාංශිකයින් හට ලබාගැනීමට හැකියාවක් නැත. එබැවින් ලෙනින්වාදය “ නව වාමාංශික ව්‍යාපාරයක” තබාගත යුත්තේ ඇන්ටික් ආංගෝපාංගයක් (Antique Item) ලෙසට මිස එහි අදවනවිට ඇති ප්‍රයෝජ්‍ය වටිනාකමක් (Utility Value) දරන වස්තුවක් ලෙසනම් නොවේ. එබැවින් “ නව වමක අරුනළු” දැකීමට කැමති අය කලයුතු වන්නේ එදා ලෙනින්ගේ බෝල්ෂෙවික් ව්‍යාපෘතිය රුසියාවේ “බලය” ලබාගැනීම දක්වා ඔසවා තැබූ “ලෙනින්වාදය” ඊට සුදුසු වටිනාකම් ලබාදී පැත්තකින් තබා නව වමක් ගැන සිතීමයි.
ප්‍රාග්ධන ෆෝබියාව (Phobia of Capital)
ලංකාව වැනි රටවල්වල ඇටකුනාවූ අතිජාතික වාමාංශිකයින්හට වැළඳී ඇති තවත් සරුවාංග ලෙඩක්නම් ප්‍රාග්ධනයට, එහි ආගමනයට, ප්‍රාග්ධන ආධිපත්‍යයට දක්වන අප්‍රමාන බිය සහ ඇලජික් ස්වභාවයයි. “ප්‍රාග්ධනය” (Capital) යනු අතිශය පෞද්ගලික තත්වයේ පවතින, දේශ දේශාන්තරවල සීමා මායිම් නොතකා කඩාවදින, දියුණු, විනය ගරුක කම්කරු පංතියක් නිර්මාණය කරන, අවසානයේ ධනවාදයේම මිනීවල හෑරීමට ප්‍රධාන වශයෙන් දායක වෙන ප්‍රපංචයක් බව මේ භූමිතෙල් ගෑවුනු ගැරඬින් මෙන් ධනවාදය පෙරලීමට එහෙ මෙහෙ නොකා නොබී දුවන අතිජාතික වාමාංශික සෙට් එක දන්නේවත් කිසිදා දැනගැනීමට උත්සාහ ගන්නේවත් නැත. එසේම එසේ දැනගැනීමට හැකියාවක්ද ඇත්තේද නැත. ලෙනින්ගේ තදරතුපාට සිංහලෙන් පමණක් ලියූ, ස්ටාලින්වාදයේ “ප්‍රගති ප්‍රකාශණ මන්දිරයෙන්” තොග මිලියන ගණනින් මුද්‍රණය කොට තුන්වන ලෝකයේ රටවල් වලට පොම්පකල ලෙනින්වාදයේ කෝකටත් තෛලය පන්නයේ පොත්සෙට් එක තරම් තුන්වන ලෝකයේ ජාතික වාමාංශිකයින්ට විනකල තවත් දෙයක් නැත.

ලෙනින්ගේ සිංහල වෙළුම් ටිකින් කලේ වෙනදෙයක් නොව සම්භාව්‍ය මාක්ස්වාදයේදී ඔහු විශේෂයෙන් පෙන්වාදුන් ධනවාදයේ ආර්ථික හැසිරීම සහ දෘෂ්ඨිවාදය වැඩකරන හැටි මෙන්ම නිෂ්පාදන බලවේග වල භූමිකාවත්, ශ්‍රමය පිළිබඳ ඥාණනය යන අතිශය වැදගත් කරුණු සමුදාය වෙනුවට, අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වන ජාතික විමුක්ති අරගල සහ බෝල්ෂෙවික් පන්නයේ විප්ලව පැළකරන ආකාරයට හුරුවීමයි. එතනින් අපේ ලංකාවේ අතිජාතික වම්මුන් “සමාජවාදය” ලෙස දැක්කේ ගමේ යමක් කමක් අති කෙනා ධනපතියා ලෙස දකීමත්, ප්‍රාග්ධනයෙන් මව්බිම බේරාගනීමට රටපුරා ලුම්පන් සෙට් (Lumpenproletariat) එක සංවිධානය කරමින්, ලොකු අයියලා කියන සියලුදේ අකුරක් නෑර පිලිපදිමින්, තැනතැන බෝඩ් ලෑලි එල්ලමින්, ෆුල් ටයිම් කරනවා යැයි කියමින් බිරින්දන්ගෙන් හෝ අහල පහල අයගෙන් යැපෙමින්, තැන තැන අට්ටාල අටවමින් බලයේ සිටින අය එළවීමට දශක ගණන් බෙරිහන් දීමයි.
කලයුත්තේ කුමක්ද?
“නව වමක අරුනළු” දැකීම නව සඳ දකිනවා වැනි සුභ-අසුභ කටයුත්තක් නොවේ (දුක නොදුරු බදාදා-සඳ නොබලන් සෙනසුරාදා). එය නව සමාජයක, නව නිෂ්පාදන ක්‍රමයක උන්නතිය වෙනුවෙන් මගපෑදීමට හේතුවන අතිශය වැඳගත් තීරණාත්මක මෙන්ම ඓතිහාසික කාර්‍යභාරයකි. එමනිසා “නව වමක්” පරිකල්පනය කලයුත්තේද එය කලහැක්කේද රතු කමිසයක් ඇන්ද පමණින් හෝ රතු තොප්පියක් දාගත් පමණින් සහ එක එක කල්ට් වල ෆුල්ටයිම් කරමින් අත්ථ කිලමතානුයෝගීව හැසිරෙන, අනුන්ගෙන් කනබොන, අනුන්ගෙන් ඉල්ලාගෙන කන, රූපවාහිණීයේ දේශපාලන පොරපිටිවලින් චූන් වෙන, මෙලෝ වගකීමක් නොතේරෙන අයට නම් නොවේ. අවශ්‍යයෙන්ම ඉංග්‍රීසි භාෂාව හොඳින් කියවා තේරුම් කරගත හැකි, තමන්ට කියා රැකියාවක් ඇති, පවුලක වගකීම දරණ, මාක්ස්වාදී ප්‍රවාදයන් ඉංග්‍රීසි හෝ ජර්මන් භාෂාවෙන් හැදෑරීමට හැකියාව ඇති, බටහිර සාහිත්‍ය සහ ධනවාදය හොඳින් කියවා ඇති, තාක්ෂණික දැනුම යුගයට අවශ්‍ය පරිදි ගොඩනැගී ඇති පුද්ගලයින්ටය.
අනෙත් අතට නූතන ලෝකය තුල පැරනි අර්ථයෙන් මාක්ස්-එංගල්ස් වේවා, ලෙනින් වේවා තවත් බොහෝ වාමාංශික චින්තකයින් ගෙන ආ දැනුම නූතනත්වය තුල විග්‍රහ කොට ඊට අදාල ගැලපීම් සිදුකිරීමට සමත් චින්තකයින් මේ නව වම තුල නව පරම්පරාවෙන් බිහිවිය යුතුවේ. එසේ නොමැතිව බිහිවිය යුතු නව වමක් ගැන සිතාගනීමට අපහසුවනු ඇත.
ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වන්නේ මාක්ස්වාදය (Marxism) යනු බටහිරින් පැමිණි දෙයක් බැවින් ඊට අදාල ග්‍රන්ථ පරිශීලණය කලයුත්තේ ඒවා මුද්‍රණය කොට ඇති මුල් භාෂාවලින් එකක් ඉංග්‍රීසි භාෂාව වීම නිසාය. මාක්ස්වාදී ග්‍රන්ථ යනු, උපාසිකාවන් බණ අහන ලෙසින් ලොකු අයියලාගේ කටවල් වලින් අසා දැනගතයුතු දෙයක් නොව තමන් තනි තනිවම සටහන් යොදමින් හැදෑරිය යුතු දාර්ශණික අභ්‍යාසයකි. රැකියාවක් කරමින් මේ වැඩේ කලයුතු වන්නේ හිඟන ෆුල්ටයිම් කෙරුවාව දැන් රටටම සාපයක් වී ඇති බැවිණි. එබැවින් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව තමාම සූරාකෑමට ගොදුරුවී එහි අරුමය තම ලේ, මස්, නහර වලටම කිදාබැසීමට ඉඩ සලසමින් මූලිකවම තම පවුලේ වගකීම් වලින් පැන නොයා අභ්‍යාස කලයුතු දෙයක් ලෙස මෙම “නව වම” හැදෑරීම, පරිකල්පනය කිරීම සහ සංවාදයට ගැනීම කලයුතු බවට මම සියළුම වාමාංශිකයන්ට යෝජනා කරමි.
ජාත්‍යන්තරවාදී නව වමක්.
තවද එහිදී, “මව්බිම අනතුරේ”, “අහවලා පන්නමු”, “ මව්බිම නැත්නම් මරණය දිනන්නෙමු”, “ මව්බිම බේරාගැනීමේ අවසන් අවස්ථාව”, “ සාදුකින් පෙලෙන උං දැන් ඉතිං නැගිටියව්” වැනි බංකොලොත් මෙලෝ වැඩකට නොමැති සටන් පාඨ වෙනුවට සියලු මහද්දීප වල වැඩකරන ජනතාව එකට යාකරන එක සටන් පාඨයක් එනම්, “ සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්” යන සටන් පාඨය පමණක් ගෙන “ජාත්‍යන්තරවාදී නව වමක්” සඳහා අඩිතාලමක් දැමීමේ සූදානමකි. ඉන්දියාවේ වැඩකරන ජනතාව සමග එකට දේශපාලනය කිරීමට සිතීමම දියුනු හැකියාවකි. බටහිර වැඩකරන ජනතාව සමග එකට වැඩ කිරීමට ඇති හකියාවද දියුණු හැකියාවකි. ඊශ්‍රායල් වඩකරන ජනතාව සමගද ඊශ්‍රායල් දියුනු චින්තකයින් සමග දේශපාලනය කලහැකිවීම උසස් ගථිකයකි. මැදපෙරදිග ශුද්ධ ආගම් වාදය වෙනුවෙන් පෙනී සිටීමට වඩා ඒවායේ ධනවාදය වර්ධනය වෙනුවෙන් පෙනීසිටීම දියුණූ දැක්මකි.
ඒ මිස, වඳ බැහැපු කෙසෙල් පැළ පැලකොට සරු කෙසෙල්කැන් වැටෙනතුරු බලාසිටින පන්නයේ “ පසුගාමී වමක්” ආර්ථිකය බංකොලොත්වී නන්නත්තාරවී සිටින රටක අටවා එහි “සමාජවාදය” බිහිකිරීමේ කියුබානු පන්නයේ සිහිනයක් ඇති අන්ත පසුගාමී බංකොලොත් කල්ට් වලට, ඔවුන් මොඩනයිස් වී (Modernization) තම තමන් සිරවී සිටින නළ ලිං වලින් එලියට එන්නේ නැත්නම් මේ ” නව වම” (New Left) සඳහා ඔවුන් කිසිසේත් ගැලපෙන්නේ නැතිබව මාගේ හැඟීමයි.
(මේ ලිපිය සංවාදයට විවෘත වන අතර මෙහි අඩංගු ඕනෑම අදහසකට අභියෝග කිරීමට හෝ ඒවාට තව අදහස් එක්කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට “නව වමක්” පිළීබඳව දරණ අදහස් අපවෙත [email protected] වෙත එවන්නේ නම් ඒවා ඒ ආකාරයෙන් පළකිරීමට අප සූදානම් බවද කරුණාවෙන් සලකන්න)
