“දිට්වා” සුලි කුනාටුවෙන් පසු ; සටන් කල යුත්තේ මෙතැනය..!
දිට්වා, සුලි කුනාටුවේ මූලික බලපෑමෙන් ලංකාව මිදී ඇතත් එහි හානිය පශ්චාත්-දිට්වා කාල සීමාව තුළ රට හරහා හමා යනවාට සැක නැත. ආර්ථික වශයෙන් ස්ථාවර නොවූ හා සමාජ ආරක්ෂන දැලකින් ආවරනය නොකරන ලද පීඩිත ජනයාට ඉන් සිදුවූ හානිය රාජ්‍යය මත අමතර විශාල බරක් ලෙස පැටවෙනු ඇත. විදේශ ණය ගෙවීම 2028 දී ආරම්භ කිරීමට නියමිත බැවින් හා එහි මූලික IMF මූලෝපායන් නිසි පරිදි ඉටුනොවූ තත්වයක් යටතේ අපි ඉන්නේ අභාග්‍ය සම්පන්න වූ සීමාවක බව සියලුම දෙනාට වැටහිය යුතුය.

සමකාලීන යුගය.
සමකාලීන යුගය යනු ඩිජිටල් යුගයක් වනවා සේම මනුෂ්‍ය වර්ගයාගේ ආශාවන් නිපදවන්නේද ඒ වෙලදපොල තුළමය. ධනවාදය සිය නිෂ්පාදන යුගයට (කාර්මිකකරණය) වඩා පරිභෝජනය කරනා යුගයකට ඇතුල් වී ඇති බැවින් මිනිස් ආශාවන් සංතෘප්ත කිරීම පහසු නැත. තවදුරටත් කෘෂිකාර්මික පරිසරයක හැදී වැඩුණු හා ශ්‍රමය මූලික කරගත් ග්‍රාමීය ජීවන විලාසිතාවන් නව-පරම්පරාවන් කෙරෙන් ප්‍රතික්ෂේප වෙමින් යන බැවින් ඔවුන් සාමූහිකව ග්‍රාමීය කෘෂි ආර්ථිකය පැරණි අකාරයෙන් නගා සිටුවයි යන අදහසම මිත්‍යාවකි. යල් පැන ගිය කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ කෘෂිකාර්මික තාක්ෂණය අයත් වන්නේ පැරණි යුගයටය. ඒවා මත පිහිටා වැඩ කිරීමට වෙර දරන වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ වගකිවයුතු ලාල්-නාමල් වැනි ඇමතිවරුද අයත් වන්නේ පැරණි පරම්පරාවටය.
දිට්වා සුලි කුනාටුවෙන් විපතට පත් මධ්‍යම කදුකරය අවට කලාපයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශ ආර්ථික වශයෙන් කෘෂිකර්මාන්තයෙන් යැපුනු සිය ජීවන විලාසිතාව පැරණි මොඩලය මත රඳවා ගත් මනුෂ්‍යයන් ය. නමුත් මෙහි අවාසනාව වන්නේ ඔවුන් යැපුනු ගොවි බිම්, ජල මූලාශ්‍ර, හා පස අහිමි වීමත්, ඒවා වෙලදපොල වෙත රැගෙන යා හැකි සැපයුම් මාර්ග අහිමි වීමත් ය. එය පිළිසකර කර නැවත පනපොවා මේ මිනිසුන්ගේ ජීවිත නගා සිටුවීම ආණ්ඩුව මතටම වැටී තිබේ. මේ අවාසනාවන්ත අවස්ථාව කෘෂිකර්මාන්තයේ ඊළඟ පිම්ම සදහා යොදාගැනීමේ මූලෝපායක් ආණ්ඩුව සතු බව පෙනෙන්නටද නැත. මෝසම් වැසි හරහා ලබාගන්නා ගංගා ජලයෙන් පෝෂිත යල-මහ කන්න ක්‍රමය මේ අවිධිමත් කාලගුනික විපර්යාස නිසා අපිට ඉදිරියේදී අහිමි වනු ඇත. තව දුරටත් සමකය ආසන්නයේ රැදී සිටීම නිසා පෙර තිබූ වාසිදායක දේශගුනික තත්වය අපේ රටට ඉදිරියේදී අහිමි වෙත්නම් ඊට විකල්ප ආර්ථික රටාවකට අපිට යාමට සිදුවෙනු ඇත.
නුවර දිසාපති පුටුව හෝ කාලගුණ රතු නිවේදන ගැන හෝ පොරකකා දෙසන දේශපාලන මෝඩයන් අතරේ අපේ එලැඹුම වෙනස් ය. මේ යුගයේදී මිනිසුන් පාලනය කිරීමේ දෘෂ්ටිවාදයන් නිපදවෙන්නේ ඇල්ගොරිදම් හරහා බව සත්‍යයකි. ඒ අනුව මේ ඉහත දිසාපති පුටුවට පොරකන සියලුම දෙනා ඒ දෘෂ්ටිවාදය වෙත සේවය කරන මරි-මෝඩයන් ය. රටේ ඇති ඇත්ත ප්‍රශ්න වෙනුවට මේ මයික් ඉදිරියේ පරල වී ඇති හෝ Facebook හා you tube හරහා මේවා උත්කර්ශවත් කරනා උමතුවෙන් පිරී ගිය ලෝකයක අපි සත්‍ය නිරාවරණය කරන්නෙමු. නුවර දිසාපති පුටුව ගංවතුරෙන් සියල්ල අහිමි වූ මාතලේ මනුෂ්‍යයෙකුට සත-පහක වැඩක් නැත.
කැත්ත-උදැල්ල වෙනුවට ඩ්‍රෝන-යන්ත්‍ර.
කෘෂි-ආර්ථිකය කෙරෙහි අලුතින් ප්රාග්ධනය රැගෙන ඒමටනම් එහි ඇති වගාවන් සේම වගාබිම්ද අලුත් කල යුතුය. ජේ.ආර්.මහවැලි ව්‍යාපාරය හරහා මහවැලි කලාප ඇති කලේ නිකම් නොවේ. ජේ.ආර්.ගේ කෘෂිකර්මාන්ත පිම්මෙන් පසු වසර 30 කටත් වඩා ගතවී ඇතත් එහි ඊලග පියවර අමුඩ ඇදගෙන කොළඹ පැමිණි කාලකන්නින් විසින් විනාශ කර තිබේ. සංස්කෘතික තලයේදී උඩ දමන ග්‍රාමීය ගොවි ප්‍රජාව (මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුය) ආර්ථිකය විසින් උස්සා පොළොවේ ගසා තිබේ. නිෂ්පාදනය සදහා සරිලන මිලක් අහිමි වීම ඵලදාව හා භූමියත්, එහි තාක්ෂනයත් සමග සම්බන්ධිතය. වී වගාව තුළ හෙක්ටාරයකින් ලබාගත හැකි අස්වැන්නේ පරිමාව ආසියාවේ අනිකුත් වී වගා කරන රටවලට වඩා අපේ බොහෝ අඩුය. විදේශයකින් ගෙනෙනා කෘෂි භෝග වල මිල අපේ නිෂ්පාදනයන්ට වඩා අඩුවන්නේ නිකම් නොවේ. අපි ස්වයංපෝෂිත ආර්ථික මිත්‍යාවෙන් මිදී වෙළඳපොල කෘෂි-ආර්ථික මූලෝපායන් මත නැවත ප්‍රති-ව්‍යුහගත කිරීමකට යා යුතුය. සරලව කියන්නේ නම් කැත්ත-උදැල්ල වෙනුවට ඩ්‍රෝන-යන්ත්‍ර වෙත පිවිසිය යුතුය.

ඉහත ආර්ථික අදහස වැටහෙත්නම් ඊට ඇති බාධාව වන්නේම ජ.වි.පෙ. විසින් උඩ දමා උත්කර්ශවත් කරන ලද ග්‍රාමීය ජීවිතයේ සංස්කෘතික පුරාජේරුව බවද වැටහිය යුතුය. එවැන්නක් මහපොළොවේ යථාර්තය හා සම්බන්ධ නැත. මහා පරිමාන කෘෂි නිෂ්පාදන වලට පිවිසෙන්නේ නම් මේ ග්‍රාමීය පීඩිතයන්ගේ සංස්කෘතික ඛංඩාන්කද වෙනස් කල යුතුය. ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්නේ නම් ඒ සදහා සංස්කෘතික තලයේ ඇති ‘ගම ‘උත්කර්ශවත් කරන දෘෂ්ටිවාදය ‘නගරය ‘වෙත මාරු කල යුතුය. ජ.වි.පෙ.සිය සම්ප්‍රදායික දේශපාලනය තුළ මන්තරයක් සේ ජීවං කරන ලද ආර්ථිකය සංස්කෘතික තලයේ දියකර හැරීමෙන් අංශක 360 ආපසු කැරකැවිය යුතුවන්නේ ඒ මොහොතේය.
දේශපාලනය යනු පාලකයන්ගේ නිර්භීත තීරන මත පාලිතයන්ගේ ජීවිත වෙනස් වෙන සංසිද්ධියකි. ජ.වි.පෙ.සිය රාජ්‍ය බලය තුළ මංසන්ධියකට පැමිණ තිබේ. පාර තෝරා ගැනීම ඔවුන්ගේ කැමැත්තයි.

හොද නිරීක්ෂණයක්.