ලැකාන්ගේ කථිකාව..!
මගේ කතිකාවේ තිබෙනවා කියලා හිතන විප්ලවකාරී බව නිසා මට විසඳුමක් ඇතැයි යන්න සිතිය නොහැකියි.
ජැක් ලැකාන්, මනෝවිශ්ලේෂණයේ අනෙක් පැත්ත

ලැකාන්ගේ කතිකාව ගොඩ නැගීම සඳහා ප්ලේටෝ, හෙගල් සහ ඩෙකාර්ට්ස් වැනි ගැඹුරු දාර්ශනිකයින්ගේ බලපෑම් තිබුනා උනත්, මාක්ස්වාදය ඔහුගේ ව්‍යුහාත්මක මනෝවිශ්ලේෂණයේ විශේෂිත අංගයක් බවට පත්වූයේ,විශේෂයෙන්ම 1960 ගණන්වල අගභාගයේදී (Seminar XVI “The Other Side of Psychoanalysis” සහ Seminar XVII “The Reverse of Psychoanalysis”) වැනි සම්මන්ත්‍රණ වලදී වීම සුවිශේෂී තත්වයකි. මෙම යුගයේදී ලැකාන් දේශපාලන ආර්ථිකය පිළිබඳ මාක්ස්ගේ විවේචනය (Marx’s critique of political economy)සහ විශේෂයෙන්ම අතිරික්ත වටිනාකම (surplus-value) නැමැති සංකල්පය, සිය ව්‍යුහාත්මක භාෂා විශ්ලේෂණය නැමැති පදනමට එක් කළේය. මෙය ඔහුගේ “ෆ්‍රොයිඩ් වෙත දෙවන ආපසු යාම” ලෙස හැඳින්වේ. මෙහිදී මාක්ස්ගේ විශ්ලේෂණය භාවිතා කරමින්, ඔහු අවිඥානයේ ආර්ථිකය (economy of the unconscious) සහ ධනවාදී සමාජයේ ක්‍රියාකාරීත්වය තුළ ආශාවේ භූමිකාව විග්‍රහ කිරීමට උත්සාහ කළේය. ලැකාන්ව සම්ප්‍රදායිකව ෆ්‍රොයිඩ්-මාක්ස්වාදීන් (රිච්,මාකූස්, ඇඩෝනෝ යනාදීන්) සමඟ සරලව සමාන කිරීම අපි විසින් කරන ඓතිහාසික වශයෙන් වන වැරදි තෝරා ගැනීමකි.
above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQLpgDGaHoO4NWudX_gfd-obu3yV7NAEUynEQ&s, https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4o0cXTceot6nhyphenhyphensWfgfVeHHofGPK6ZkDd51yxnMxb0RyloR5FJNV1edD91COr3siY3r4jq0rCsGj6ruk2ViQLsiz9u1bWfEzMxuMBsVpYOEg9LdBB0A8nhhW6rGrTohzmtwyWQPqAAAaw/s1600/kal.jpg
සම්ප්‍රදායිකව ෆ්‍රොයිඩ්-මාක්ස්වාදින් විසින් බොහෝ විට ආශාවේ විමුක්තිය මත පදනම්වූ රැඩිකල් දේශපාලනයක් ගොඩනැගීමට උත්සාහ කළේය. නමුත් ලැකාන්ගේ අරමුණ මෙය නොවේ. ඔහු සමාජයීය ප්‍රතිවිරෝදතා සඳහා විසඳුම් නොමැති බව (ඔහුගේම ප්‍රකාශ පරිදි) සහ අර්බුදය සහ ප්‍රමාදය (crisis and delay) යන සංකල්ප ඔස්සේ අවධාරණය කළේය.ඔහුගේ මැදිහත් වීම වුයේ ධනවාදී ආර්ථික තර්ක (surplus-value. අතිරික්ත වටිනාකම )සහ මනෝවිශ්ලේෂණමය තර්ක (surplus-jouissance – අතිරික්ත විනෝදය) අතර සාක්ෂාත් කරගත් සමාන්තරත්වයයි. මාක්ස්ගේ විවේචනය ඔහුට ධනවාදී සමාජයේ සහ අවිඥාතයේ ක්‍රියාකාරීත්වය එකිනෙකාට සමාන ආකාරයෙන් විග්‍රහ කිරීමට උපකාරී විය.සම්ප්‍රදායික ෆ්‍රොයිඩ්-මාක්ස්වාදින් විසින් මෙය මාක්ස්වාදය (සමාජ/ආර්ථික විශ්ලේෂණය) සහ ෆ්‍රොයිඩ්වාදය (මනෝ විශ්ලේෂණය) ඒකාබද්ධ කරමින්,ආශාවේ විමුක්තිය (liberation of desire) හරහා විප්ලවකාරී දේශපාලනයක් ගොඩනැඟීමට උත්සාහ කළේය. ඔවුන්ගේ මූලික අදහස වූයේ සමාජය වෙනස් කිරීමෙන් (ධනවාදය බිඳ දැමීමෙන්) මනුෂ්‍යයාගේ මානසික පීඩනයන් සහ ආශා(ලිංගික) පීඩනයන් තුරන් කළ හැකි බවයි. ෆැසිස්ට් සමාජ ව්‍යුහයන් ආශාව මර්දනය කරයි. මෙය වෙනස් කළොත් සම්පූර්ණ “මානසික විමුක්තිය” ලැබේ.
ජාක් ලැකාන් මෙයට සෘජුවම විරුද්ධ විය. ඔහුගේ ප්‍රධාන තර්කය වුවේ සමාජයීය පරස්පරතා සඳහා විසඳුම් නැත යන්නයි. මානව ආශාව මූලිකවම කැඩුණු අසම්පූර්ණ හා තෘප්තිමත් කළ නොහැකි අතෘප්තිමත් ස්වභාවයක් ඇති බව ලැකාන් පෙන්වා දෙයි. එබැවින් කිසිදු සමාජ පද්ධතියක් (සමාජවාදය/ප්‍රජාතන්ත්‍රවාදය/ධනවාදය) එය තුලම “විසඳිය” නොහැක.
මෙතනදි අර්බුදය සහ ප්‍රමාදය (Crisis & Delay)යනු මානව අනන්‍යතාව ගොඩනැගෙන ප්‍රදාන සාදකයකි.අපිට කිසිවිටෙකත් අපේ ආශාවන්ට සම්පූර්ණ තෘප්තිය ලගා කර ගත නොහැක. එය නිරන්තරයෙන් ප්‍රමාද වීමක් (delay)හෝ අසම්පූර්ණ තෘප්තියක් ඇති කරවයි.
අතිරික්ත වටිනාකම කම්කරුවා නිෂ්පාදනය කරන, නමුත් ධනපතියා උකහා ගන්නා "අමතර වටිනාකම"(උදා: රුපියල් 1000 ක භාණ්ඩයක් නිෂ්පාදනයට රු.600 වැය වේ අතිරික්ත වටිනාකම රු.400). අතිරික්ත -විනෝදය (Surplus-Jouissance)මනුෂ්‍යයා අත්විඳින, නමුත් කිසිවිටෙකත් සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන "අමතර ආශාව/විනෝදය"(උදා: නව දුරකථනයක් මිලදී ගැනීමෙන් ලැබෙන කෙටි කාලීන සතුට, නමුත් ඉක්මනින් නැවත අසතුට ඇති වීම).පෙන්වා දිය හැක.
ලැකාන් පෙන්වා දෙන්නේ ධනවාදය ස්බාවයෙන්ම පවතින්නේ මනුෂ්‍යයාගේ ආශාවේ ගතිකත්වය උපයෝගී කර ගනිමින් බවයි. මොකද ධනවාදය මෙම “අතිරික්ත විනෝදය” වෙළඳපොළට අලෙවි කරයි (“මේක මිලදී ගතොත් ඔයා සම්පුර්ණ වෙනවා ඒ කියන්නේ සතුටින් ඉන්න පුළුවන්”) නමුත් අවසානයේ එම ආශාව කිසිවිටෙකත් තෘප්තිමත් නොවේ මෙය “අර්බුදය” (අතෘප්තිමත් බව) හා “ප්‍රමාදය” (සදාකාලිකව තෘප්තියට පත්වීමේ නොහැකි යාව) ඇති කරයි.
එබැවින් සමාජ පද්ධති වෙනස් කිරීම පමණක් මානව පීඩනය තුරන් නොකරයි.ආශාව තුලම යම් “කැඩුණු” ස්වභාවයක් ඇත.ලැකාන්ට අනුව”සමාජය කෙසේ වෙනස් කළත් මානව ආශාව තුළම අර්බුදයක් සහ ප්‍රමාදයක් ආවේනිකව පවතී. අපගේ අසම්පූර්ණ බවම අපව අවසානයේ මිනිසුන් බවට පත් කරයි. සරලව ලැකාන් කියන්නේ සම්පූර්ණ තෘප්තියක් නැත.මානව පැවැත්මේ ගැඹුරම එය තුළම ඇති නිශේදනයයි.
ලැකාන්ගේ පෞද්ගලික දේශපාලන මත (ද ගෝල් සහයෝගය, වාමාංශික විප්ලවවාදීන්ට විවෘත විරෝධය) සැලකිල්ලට ගත් විට, ඔහුව සරලව වාමාංශික චින්තකයෙකු ලෙස ගොනු කිරීම අපැහැදිලි සහ ගැටළු සහගතයි.කෙසේ වෙතත්, මෙයින් අදහස් නොවන්නේ ඔහුගේ න්‍යාය වාමාංශික දේශපාලන විවේචනයට ප්‍රයෝජනවත් නොවන බව නොවෙයි. ලැකාන්ගේ මාක්ස්වාදී සංකල්ප ග්‍රහණය (surplus-jouissance, ධනවාදයේ විනෝදය මත රඳා පැවැත්ම) ධනවාදයේ මනෝවිද්යාත්මක ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. ඔහුගේ විචාරශීලී දුරස්ථභාවය සහ විසඳුම් පිළිබඳ අවිශ්වාසය වාමාංශික ව්‍යාපෘතිවල අභ්‍යන්තර සීමාවන්, අර්බුද සහ අසීමිත ආශාවෙ භූමිකාව පිළිබඳ විමසිල්ලට ලක් කිරීමට උපකාරී විහැකිය.අල්තුෂර්, ජිජැක්,බදියූ වැනි බොහෝ නව-මාක්ස්වාදී/පශ්චාත්-මාක්ස්වාදී චින්තකයන් ලැකාන්ගේ න්‍යාය තම දේශපාලන විවේචනයට අත්යවශ්‍ය ලෙස භාවිතා කර ඇත.
ලැකාන්ගේ කතිකාව තුල මාක්ස්වාදයට වරප්‍රසාදයක් දීමේ හේතුව පහත දැක්වෙන ආකාරයට තේරුම් ගන්න පුළුවන්.
න්‍යායාත්මක අවශ්‍යතාවය1960 ගණන්වල අගභාගයේදී, ලැකාන් තම ව්‍යුහාත්මක මනෝවිශ්ලේෂණමය ව්‍යාපෘතිය රැඩිකල්කරණය කිරීම සඳහා මාක්ස්ගේ දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනය , විශේෂයෙන් අතිරික්ත වටිනාකම (surplus-value) සංකල්පය අත්යවශ්‍ය උපකරණයක් ලෙස දුටුවේය. මෙය ඔහුව අවිඥාතයේ ආර්ථිකය සහ ධනවාදී සමාජය තුළ ආශාවේ භූමිකාව අන්තර් සම්බන්ධ කිරීමට ඉඩ සලසා දුන්නේය.

image source-https://i0.wp.com/workingpps.wordpress.com/wp-content/uploads/2024/12/image-1.png?resize=400%2C200&ssl=1 , https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6UDat48Gc8lRMjPJ4Kof3kde26sYXGW4AMrj3weR967PSCK7NXMqcee-qxRd3E43z3qR6nbPaySm_6EF0ipItqJvngyFe3Xe1g7o9E3TvOueSG_K8NvX8N-eXalaBcJ_h97rvUDtpHLX0q-W0YNDt3evrybeaCLXXh6PTraNVKYkcdkmCuF2DypuvpbjO/w230-h335/Karl-Marx-1870.webp
මාක්ස්ගේ විශ්ලේෂණය භාවිතා කරමින්, ලැකාන් surplus-jouissance (අතිරික්ත විනෝදය) වැනි මූලික සංකල්ප හඳුන්වා දුන්නේය. මෙමගින් ධනවාදී පාලනයේ මනෝවිද්යාත්මක පදනම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර එය ඔහුගේ කතිකාවේ අනන්‍ය ලක්ෂනයකි.
ලැකාන්ගේ අරමුණ වුයේ ආශාවේ විමුක්තිය මත පදනම් වූ දේශපාලන ව්‍යාපෘති ගොඩනැගීම නොව (සම්ප්‍රදායික ෆ්‍රොයිඩ්-මාක්ස්වාදය මෙන්), එමගින් සමාජයීය විරෝධතා සහ අර්බුදයේ මූලිකත්වය පෙන්වා දීම සහ ධනවාදී සමාජයේ ආශාව මත රඳා පැවැත්මේ යාන්ත්‍රණය විග්‍රහ කිරීමයි.
එබැවින්, මාක්ස්වාදයට වරප්‍රසාදය දීම ලැකාන්ව සම්ප්‍රදායික ෆ්‍රොයිඩ්-මාක්ස්වාදී හෝ සරල වාමාංශික චින්තකයෙකු බවට පත් කිරීම සඳහා නොව, ඔහුගේ න්‍යායාත්මක ව්‍යාපෘතියේ අභ්‍යන්තර අංගයක් ලෙස එහි විශේෂිත සහ ගැඹුරු න්‍යායාත්මක-විශ්ලේෂණාත්මක භූමිකාව හඳුනා ගැනීම සඳහා ය. එය ලැකාන්ගේ දර්ශනයේ බලපෑම් රාශිය අතරින් ධනවාදී සමාජයේ මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයට අද්විතීය දායකත්වයක් සපයයි.
ලැකාන්ගේ දේශපාලන ස්ථාවරය පිළිබඳ මූලික විරෝධතා දෙකක් ගෙනහැර දක්වන්න පුළුවන්.
චාල්ස් ඩි ගෝල්ගේ ගතානුගතිකවාදය (Gaullist conservatism) කරා නැමුණු බවට (හෝ එයට සමීප වූ බවට) කියැවේ. මෙය වාමාංශිකත්වයට විරුද්ධ දේශපාලන ස්ථාවරයකි. ඔහු විසින්ම ස්වයංව තමන්ව ලිබරල්වාදියෙකු(liberal)ලෙස හඳුන්වා ගත්තේය. මෙය 1968 වකවානුවේ ප්‍රබල වාමාංශික/විප්ලවවාදී ධාරාවට (සාත්‍රේ, ෆූකෝ, ඩෙලූස්, ගුවාටාරි යන අයගේ) සෘජු ප්‍රතිවිරෝධයකි ඔවුන් “කොමියුනිස්ට් විප්ලවයක පොරොන්දුව සමඟ දැඩි ලෙස පෙනී සිටිය” අතර ලැකාන් ඔවුන්ගෙන් වෙන්ව මෙම “බුද්ධිමය ධාරාවට එරෙහිව ගියේය”.1968 මැයි උද්ඝෝෂණ පිළිබඳ අපැහැදිලි/ප්‍රකෝපකාරී ප්‍රතිචාරය (හිස්ටේරිකයින් ලෙස සිසුන් නිරූපණය කිරීම)1960 ගණන්වල අගභාගයේ (විශේෂයෙන් 1968 මැයි මාසයේ) පැන නැඟුණු ශිෂ්‍ය හා කම්කරු නැගිටීම් (student and worker uprisings) කෙරෙහි ඔහුගේ ප්‍රතිචාරය “කුප්‍රකට අපැහැදිලි”(notoriously ambiguous) සහ ප්රකෝපකාරී (provocative) විය. ඔහු සිසුන් නව ගුරුවරයෙකු ඉල්ලා සිටින හිස්ටීරියන් ලෙස (hysterics who demanded a new master) නිරූපණය කළේය. මෙය මනෝවිශ්ලේෂණමය විවේචනයකි.ලැකාන්ට අනුව, හිස්ටීරියාව යනු ස්වාමියගේ(Master) දැක්ම ප්‍රශ්න කිරීමත්, නමුත් එම විමසිල්ලම තවත් ස්වාමියෙකු ඉල්ලා සිටීමත් ඇතුළත් වේ. සිසුන්ගේ කැරැල්ල ඔහුට මෙම ගති ලක්ෂණ පෙන්වන ආකාරයේ “හිස්ටීරික” සමූහ ක්‍රියාවක් ලෙස පෙනුනි. ඔහුගේ තර්කය වූයේ ඔවුන්ගේ ක්‍රියාවන් ඇත්තටම පවතින ධනවාදී පාලන ව්‍යුහය වෙනස් කිරීමට නොව, එය තුළම නව අධිපති තන්ත්‍රයක් (උදා: විශ්ව විද්‍යාල බලය හෝ වෙනත් නියෝජිතයින්) ඉල්ලා සිටින බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම “විප්ලවය” යනු තාරකා විද්‍යාත්මක අර්ථයෙන් පමණක් (සෞරග්‍රහ මණ්ඩලයක් එහි කක්ෂයේ ගමන් කිරීම වැනි) වටා ගමන් කිරීමක් (circular movement) බවත්, එය ඇත්ත වශයෙන්ම ධනවාදයේ නව අදියරක් (“දැනුම් වෙළඳපොල” හෝ “දැනුම් සමාජය”) බවට පත්වීමට පමණක් උපකාරී වන බවත්ය.ධනවාදය නව ආකාරවලින් පරිණාමය වන ආකාරය ඔහු හඳුනාගත්තේ, 1968 කැරැල්ල එයට එරෙහි වීමක් නොව එයට අනුග්‍රහයක් බවයි.1968 මැයි කැරැල්ලේ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් ධනවාදයේ නව අදියරකට (“දැනුම් වෙළඳපොළ” හෝ “දැනුම් සමාජය”) යොමු වන බව ඔහු පැහැදිලි කළේය.
එනම් කැරැල්ල ධනවාදය විනාශ කිරීමට නොව, දැනුම වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සදහායි. (commodification of knowledge) ලැකාන්ගේ මතය අනුව, “විප්ලවය” යනු පරිභ්‍රමණයක් පමණක් වන අතර, එය සැබෑ සමාජ වෙනසක් ඇති කරන්නේ නැත.(එකම තැන කැරකිම) තාරකා විද්‍යාවේදී ග්‍රහලෝකයක් ගමන් කරන ආකාරයටම සමාජය ද “විප්ලවය” කිරීමෙන් පසුව යථා තත්ත්වයට පත්වන බව ඔහු අදහස් කළේය. ලැකාන්ගේ විග්‍රහය ධනවාදය අභිබවා යාමේ දුෂ්කරතාව ගැන අවධානය යොමු කළ අතර, එය අද දක්වාම වාමාංශික චින්තනයට අභියෝගයක් වේ.ධනවාදී සමාජයේ යථාර්ථයේ හිඩැස්(reality gaps) හඳුනා ගැනීම මාක්ස්-ලැකෑන් දෙපලගේ පොදු අරමුණයි.
මනෝ විශ්ලේෂණය ලෝකය පිළිබඳ සරල “ශුභාරංචියක්” (gospel) හෝ සමස්ත “ලෝක දැක්මක්” (worldview) ඉදිරිපත් කරන්නේ නැත. එමෙන්ම මනෝ විශ්ලේෂණය වෙළඳපොළේ විවේචනාත්මක දෘෂ්ටිය විදිහට නිදහස් වෙළඳපොළ විශ්වාස කරන්නන්, ස්නායු විද්‍යාඥයින් සහ හැසිරීම් චිකිත්සකයින් බොහෝ විට මනෝ විශ්ලේෂණය ගැන පැමිණිලි කරයි. එය කාලය හා මුදල් වැය කරන “අකාර්යක්ෂම” සේවයක් ලෙස සැලකේ.
ධනවාදී වෙළඳපොළට අවශ්‍ය “නම්‍යශීලී ශ්‍රමිකයින්” නිපදවීමට එය අපොහොසත් යැයි කියයි. එලෙසම, ලැකාන්ගේ මාක්ස් කියවීමෙන් බැහැරනොවීමට මෙ යුගයේ මතක තබා ගත යුතු මූලික කරුණකි. මාක්ස්ගේ දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනය, කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික අවශ්‍යතාවය පිළිබඳ වීර කාව්‍යයක් (epic) ලෙස නොසැලකිය යුතුය. එය “ප්‍රාග්ධනයේ වැම්පයර්වාදයෙන්” (vampirism of capital)(වැම්පයරයෙකුට රුධිරය අවශ්‍ය වන ආකාරයටම, ධනවාදී පද්ධතිවලට, මෙම දෘෂ්ටිකෝණයට අනුව, ලාභ උත්පාදනය කිරීම සඳහා කම්කරුවන්ගේ ශ්‍රමය මගින් නිර්මාණය කරන ලද අතිරික්ත වටිනාකම අවශ්‍ය වේ. කම්කරුවන් බොහෝ විට අඩු වැටුප් සහ අධික ලෙස වැඩ කරනු ලැබේ.) “ජීවමාන ශ්‍රමය මුදා ගැනීමට” ගන්නා ජීවවාදී (vitalist) උත්සාහයක් ද නොවේ. මාක්ස්ගේ “ගොතික් රූපකය” (gothic imagery) ප්‍රාග්ධනයේ අවතාරයක් (incarnation) ලෙස සිතීම සහ ජීවමාන ශ්‍රමයේ නිර්මාණාත්මක විභවය අපව මංමුළා කරනවාට වඩා උපකාරී වන්නේ නැත.
මාක්ස්ගේ විවේචනාත්මක ව්‍යාපෘතිය ආරම්භ වන්නේ වටිනාකම පරීක්ෂා කිරීමෙන්(critique of value) ය. මෙය ඉතා දැඩි, අභ්‍යන්තර තර්කනයකින් (immanent critique) සමන්විත වේ. ඇත්ත වශයෙන්ම, මෙය ප්‍රාග්ධනයේ වඩාත්ම හේගලියානු (Hegelian) මොහොත ලෙස සැලකිය හැකිය. තර්ක විද්‍යාවට (Logic) සංක්ෂිප්ත මාක්ස්වාදී තර්කනයක්(a condensed Marxist logic). මෙම වටිනාකම්-ආකෘතිය (value-form) විශ්ලේෂණයෙන් හෙළිවන ප්‍රධාන අර්ථය නම් මාක්ස් විප්ලවීය විභවය නිශ්චිත විඥානයක (consciousness), කම්කරු පන්තියේ විඥානයක නොව, ව්‍යුහාත්මක නිෂේධනයක් (structural negation) ලෙස පිහිටුවයි. මෙම නිෂේධනය ශ්‍රම-බලය තුළ (labour-power) ස්ථානගත කර ඇති අතර, එය ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ (capitalist mode of production) ප්‍රතිවිරෝධතා එකතු කර ගෙන එන ස්ථානය අල්ලා ගනී.
මාක්ස්ගේ පරිණත විවේචනාත්මක ව්‍යාපෘතිය, ප්‍රාග්ධනයේ තනිකරම ජීවවාදී (vitalist) සහ ස්වාධීන යන්ත්‍රෝපකරණයක් (self-acting automaton) ලෙස පෙනෙන දෙයට (එනම්, එය ‘ජීවමාන දරුවන් බිහි කිරීමට’ හෝ ‘රන් බිත්තර දැමීමට’ ඇති උපකල්පිත බලයෙන් ප්‍රකාශ වන ආකාරයට) නිශේදනාත්මක බව(negativity) නැවත හඳුන්වා දෙන අවස්ථාවේදී, මනෝ විශ්ලේෂණය සමඟ අවිවාදයෙන්ම අතිපිහිත වේ.මේ අනුව, මාක්ස් අඛණ්ඩව වෙනස් වන නමුත් සමීපව සම්බන්ධ වන මට්ටම් දෙකක් ඔස්සේ ගමන් කරන බව පෙනේ. ඒවා නම්,
1. නිෂ්පාදනයේ තර්කනය (Logic of Production) මෙය සාරය (essence) අතර වියුක්ත හා පෙනෙන පරිදි උදාසීන (abstract and seemingly neutral) සම්බන්ධතා විග්‍රහ කරයි. එනම්, මෙම සම්බන්ධතා සංයුක්ත සමාජ පසමිතුරුතා (complex social antagonisms) සඳහා සහාය වන අතරම ප්‍රතිනිෂ්පාදනය කරන ආකාරය පැහැදිලි කරයි.
2. ෆැන්ටසියේ තර්කනය (Logic of Fantasy) මෙය පවතින ව්‍යුහාත්මක පසමිතුරුතා මර්දනය කිරීම, විකෘති කිරීම සහ අද්භූත කිරීම (repressing, distorting, and spectralizing) යන කාර්යය ඉටු කරන වෛෂයික පෙනුමේ ප්‍රතිනිෂ්පාදනය(reproduction of objective appearances) පරීක්ෂා කරයි. මෙය යථාර්ථයේ (reality) ශෛලීගත කිරීම (stylization) සහ එහි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ප්‍රතික්ෂේප කිරීම (disavowal) සිදු කරන ගෘහනිර්මාණ ශිල්පයයි.
නිෂ්පාදනයේ තර්කනය සහ ෆැන්ටසියේ තර්කනය යන මූලික සංරචක දෙක මාක්ස්ගේ විචාර සංකල්පයේ (critical project) හරය සෑදේ. පළමුවැන්න (නිෂ්පාදනයේ තර්කනය) විසින් සමාජයේ ගතිකත්වය පිටුපස ඇති ව්‍යුහය සහ එහි අභ්‍යන්තර පරස්පරතා (immanent contradictions) හෙළි කරන අතර, දෙවැන්න (ෆැන්ටසියේ තර්කනය) විසින් මෙම ගතිකත්වය සමාජ විෂයයන්(social subjects) විසින් අත්විඳින ආකාරයත්, ඔවුන් එයට අර්ථයක් ආරෝපණය කරන ආකාරයත්, සහ එමගින් ප්‍රතිවිරෝධතා අභිරුචිකරණය කරන ආකාරයත් විග්‍රහ කරයි. මෙම ද්විත්ව ගමන තුළින් විරෝධී යථාර්ථයේ (antagonistic reality) සම්පූර්ණ රූපරාමුව මාක්ස් විසින් ගවේෂණය කරනු ලැබේ. එනම් එහි ව්‍යුහාත්මක පදනම (structural base) සහ එහි මනෝ-වෛෂයික ප්‍රතිනිෂ්පාදනය (psycho-objective reproduction) යන දෙකම. මෙම සංයුක්තතාවය තුළින් ඔහුගේ විවේචනය සරල ආර්ථික හෝ දේශපාලන විශ්ලේෂණයක් ඉක්මවා යන අතර, ධනාත්මක ආර්ථික විද්‍යාවේ (positive economics) ආධිපත්‍යය යටතේ පවා පවතින සැකසූ යථාර්ථය (constituted reality) මූලධර්මයන් ගවේෂණය කරයි. මාක්ස්ගේ විවේචනය අපට හෙළිකරන මූලික පරස්පරතාවය එකකි: ධනවාදය එකවරම නිෂ්පාදනය කරන සහ අත්පත් කර ගන්නා නිෂේධනයකි. මෙයින් අදහස් කරන්නේ,
ශ්‍රම බලය නොමැතිව ධනවාදය නොපවතී. වටිනාකම නිර්මාණය කරන්නේ ශ්‍රම බලය පමණි. එය ධනයේ ප්‍රභවයයි. ශ්‍රම බලය අත්පත් කර නොගත්තොත් ධනවාදය නොපවතී. ධනවාදී සමාජ සබඳතා පැවතීමට, ධනේෂ්වරයාට මෙම ශ්‍රම බලය අත්පත් කර ගත යුතුය (වැටුප් හරහා), එහි නිර්මාණශීලී විභවය පූජා කරමින් අතිරේක වටිනාකම උපයා ගත හැක.
මෙම තාර්කික විරුද්ධාභාසය (logical antinomy) තුළින් පමණක් විප්ලවීය වෙනස සහ සිතීමේ හැකියාව මතුවේ. මෙය විප්ලවයේ තාර්කික පූර්ව කොන්දේසිය වන අතර, එය වටිනාකම් ආකෘතියේ වියුක්ත විශ්වීයත්වය මත රඳා නොපවතී. වර්තමාන ධනවාදී තර්කනයෙන් ඔබ්බට යාමේ හැකියාව ලබා දෙයි. නව ආත්මීයත්වයක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසයි. වර්තමානයේ අත්පත් කරගත් ශ්‍රමය මත පදනම් වූ ආත්මීයත්වයෙන් වෙනස් වන.
මාක්ස් මෙම පරස්පරතාවය තුළ ශ්‍රම බලය (labour-power) ස්ථානගත කිරීම, ආත්මීයත්වය පිළිබඳ න්‍යායක් (theory of the subject) දියුණු කරයි. මෙය මනෝ විශ්ලේෂණය සමඟ සමීපව සම්බන්ධ වේ. ලැකාන් පවසන පරිදි, මෙම ආත්මීය නිෂේධනයට (psychic negation) තාර්කික හා සමජාතීය ප්‍රතිචාරය ලබා දෙන්නේ අවිඥානයේ ආත්මය (subject of the unconscious) විසිනි.ධනවාදයේ ව්‍යුහාත්මක අවහිරතා විශ්ලේෂණය කිරීම සඳහා, එය විමධ්‍යගත වූ (decentred), පුද්ගලීකරණය නොකළ (non-individualized), මනෝවිද්‍යාත්මක නොවන (non-psychological)ආත්මය පිළිබඳ අවබෝධයක් අවශ්‍ය කරයි. මෙය ඇල්තුසර් අවධාරණය කළ පරිදි, මාක්ස් මානවවාදී(humanist) සහ අනුබුති උත්තර(transcendental) ආත්මය නැමැති සංකල්ප ප්‍රතික්ෂේප කරයි.වියුක්තකරණය,ධනවාදී සමාජය විසින් නිර්මාණය කරනු ලබන ආත්මය පිළිබඳ ප්‍රබන්ධ (ආර්ථික, දේශපාලනික, නීතිමය, සංජානන) විවේචනයට ලක්වේ.නිෂේධනය දේශපාලනයේ සැබෑ සත්‍ය මෙම වියුක්තකරණයන්ගෙන් ඔබ්බට පවතින නිෂේධාත්මක බවක් (negativity) ලෙස හෙළිදරව් වේ.සම්ප්‍රදායික වාමාංශික චින්තනය පන්ති විඥානය මත පදනම් වේ. මාක්ස් සහ ලැකාන් මෙය ප්‍රතික්ෂේප කරයි.සරලව ප්‍රකාශ කළහොත් දේශපාලන ආත්මය යනු විමධ්‍යගත පුද්ගලීකරණය නොකළ සහ මනෝවිද්‍යාත්මක නොවන සංකල්පයකි. එය ධනවාදයේ පරස්පරතා තුළින් නිරන්තරයෙන් මතුවන රෝග ලක්ෂණයකි.අපි තව පැහැදිලි කර ගමු මෙ තත්වයන්.
මාක්ස්ගේ මූලික පාඩම නම් සංජානනයේ ආත්මය (subject of consciousness – ලුකාච්ගේ “පන්ති විඥානය” ඇතුළුව) දේශපාලනයේ ආත්මය(political subject) විය නොහැකි බවයි. ඊට විරුද්ධව දේශපාලනයේදි ආත්මය යනු විමධ්‍යගත, පුද්ගලීකරණය නොකළ, මනෝවිද්‍යාත්මක නොවන සංකල්පයකි. එය ධනවාදී ව්‍යුහයන්ගේ පරස්පරතා තුළින් මතුවන අඛණ්ඩ රෝග ලක්ෂණයක් (symptom) වැනිය.
මෙම “රෝග ලක්ෂණය”නැමැති සංකල්පය මාක්ස් විසින්ම නිර්මාණය කරන ලද්දකි.එය ධනේශ්වර දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනයේ ඥානවිබාගත්මක හා දේශපාලනිකව කඩාකප්පල් කරන සුලු විභවය අවධාරණය කරයි. ධනවාදයේ කඩිනමි පවතින පරස්පරතාවයන්ට මුහුණ දීමට එය අපට බලය ලබා දෙයි.සරලව ධනවාදයේ ගැඹුරු පරස්පරතාවය (ශ්‍රමය නිර්මාණය කරන නමුත් එය අත්පත් කළ යුතුය) විප්ලවය සඳහා තාර්කික පදනම සපයයි. මෙය අපට වර්තමානයෙන් ඔබ්බට සිතීමට ඉඩ දෙන අතර, ආත්මය යනු පුද්ගලයකුගේ සංජානනය නොව, ධනවාදයේ පරස්පරතා තුළින් නිරන්තරයෙන් මතුවන “රෝග ලක්ෂණයක්” බව මාක්ස් අවධාරණය කරයි. මෙම අවබෝධය ඔහුගේ විවේචනය දේශපාලනිකව කඩාකප්පල් කරන සුලු බලය ලබා දෙයි.නිර්ධන පංතිය (කම්කරු පංතිය) රෝග ලක්ෂණයක් ලෙස මාක්ස්ගේ න්‍යායේ පෙනී සිටී. මෙයින් අදහස් කරන්නේ:
1. එය ධනවාදී සමාජයේ මර්දනය කළ සත්‍යය (පීඩනයට ලක් වූ යථාර්ථය) නියෝජනය කරයි.
2. එය ධනවාදයේ ව්‍යාජ විශ්වීයවාදය(වෙළඳ භාණ්ඩ, මුදල්, ප්‍රාග්ධනය යන “අද්භූත ත්‍රිත්වය”) ප්‍රතික්ෂේප කරයි.
3. එය පන්ති අරගලය යන සංකල්පයට නව මානයක් එක් කරයි. එය හුදෙක් සමාජ පන්ති ගැටුමක් නොව, සමාජයේ ගැඹුරු ව්‍යුහාත්මක පරස්පරතාවල ප්‍රතිඵලයයි.ගැටලුව ධනවාදය තමාව ධනාත්මක, නිර්මාණශීලී ශක්තියක්
ලෙස පෙන්වයි. එහෙත් එය ඇත්තටම ඍණාත්මක ශක්ති(පරාරෝපණය, පීඩනය, විනාශය) මගින් ක්‍රියා කරයි.
විසඳුම විදිහට මාක්ස්ගේ භාණ්ඩ අර්චන කාමය පිළිබඳ විවේචනය මගින් මෙය හෙළි කරයි. ධනවාදයේ ධනාත්මක චිත්‍රය යනු මායාවකි සැබෑ ජීවිතයේ,නිර්මාණශීලී ශ්‍රමය ධනපති වර්ගයට අහිමි වේ.නිර්ධන පංතිය ධනවාදයේ රෝග ලක්ෂණය බවට පත්වන අතර, එමගින් සමාජයේ ගැඹුරු පරස්පරතා හෙළි වේ.
ඉතිහාසයේ එකම නියමය වන්නේ පන්ති ගැටුම් ය. ධනවාදය මෙය භාණ්ඩ, මුදල්, ප්‍රාග්ධනය යන ව්‍යාජ මුහුණුවරකින් ආවරණය කරයි. විප්ලවයේ අරමුණ වන්නේ මෙම ආවරණය ඉරා දමා සමාජයේ මූලික පරස්පරතා හෙළි කිරීමයි. ධනවාදයේ අභිරහස ලෙස ආශාව ලැකාන්ගේ මාක්ස් කියවීමේ ගැඹුර මනුෂ්‍ය ආශාව ධනවාදයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අනුකූල වන ආකාරය හෙළිදරව් කිරීමේ කොටසෙන් බිහිවේ. අතිරික්ත විනෝදය යන සංකල්පය ධනවාදී සමාජයේ මනෝ-ආර්ථික සැකැස්ම ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරයි.
ධනවාදය ආශාවේ නිරන්තර අසම්පූර්ණ බව භාවිතයෙන් ලාභ උත්පාදනය කරයි.
කිසිදු සමාජ පද්ධතියකට මෙම ආශාවේ “කැඩුණු බව” විසඳිය නොහැක. විප්ලවය පවා ධනවාදයේ නව අංශයක් බිහි කිරීමට පමණක් සමත් විය හැකිය. මෙම අවබෝධය ධනවාදය අභිබවා යාමේ දුෂ්කරතාව ගැන විමසිල්ලෙන් සිතීමට අපට අවකාශ සලසයි. ලැකාන් මගින් අවධාරණය කරනු ලබන අර්බුදය සහ ප්‍රමාදය යන සංකල්ප මානව පැවැත්මේම ආවේනික ලක්ෂණ බවත්, එමගින් අපගේ අසම්පූර්ණ බවම අපව මිනිසුන් බවට පත් කරන බවත් යන කාරණය වාමාංශික විප්ලවවාදීන්ගේ “සම්පූර්ණ මානසික විමුක්තිය” පිළිබඳ මිථ්‍යා දෘෂ්ටියට ගැඹුරු අභියෝගයක් වේ.
