ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බිසවගේ ලේ තැවරුණු හැට්ටය ජාතික කෞතුකාගාරයට  ලැබුණු හැටි..!

ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශන කුටියක තැන්පත් කර ඇති වෙන්කතරංගම්මාල් බිසවගේ රුධිරය තැවරුණු හැට්ටය  සහ ශ්‍රී වික්‍රම රාජසිංහ  රජුගේ ඇඳුම් දකින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු සංවේගයට පත්වීම අරුමයක් නොවේ. වසර 2500කට වැඩි කාලයක් අඛණ්ඩව පැවති කිරීටය බිඳ වැටීමත් සිංහලයේ අවසන් රජු  සිංහලයින්ගේ උදව් ඇතිව ඉංග්‍රීසීන් විසින්   පැහැරගෙන යෑමත් ලක්වැස්සන් දැඩි කම්පාවට පත්කළ සිදුවීම්වේ. එකී කම්පාව වඩාත් තීව්‍ර වන්නේ 1815 පෙබරවාරි 18 වැනිදා කන්ද උඩරට බෝමුරේදී රජු ජීවග්‍රහයෙන් අල්ලා ගත් අවස්ථාවේ  සිංහලයින් රජ පවුලට කෲර ලෙස සැලකූ අන්දම මෙම ඇඳුම් ආයිත්තම් තුළින්හෙළිවන නිසාය. 

above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTrlSBUkbjSWghqOvn2LsRcO5DraiuJ_dZmeA&s

රජ බිසවගේ කුණ්ඩලාභරණ සතුරන් විසින් පැහැරගනු ලැබීමේදී ඉරී ගිය ඇගේ කන්පෙති වලින් වැටුණු ලේ බිංදුවල සලකුණු සහිත එම රාජකීය හැට්ටිය ශ්‍රී ලාංකිකයින් පමණක් නොව විදේශකයින්ද කම්පාවට පත් කරන්නට සමත්ය. සංචාරකයින් ලෙස මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය පුරවැසියෝ මෙම නොපනත් ක්‍රියාව ඇසීමෙන් හා එම හැට්ටය දැකීමෙන් ලැජ්ජාවට පත්වෙති.  

මා කෞතුකාගාරයේ සංරක්ෂණ අංශයට යන විට එවකට අසූ හැවිරිදි වියේ පසු අග්‍රවාල් මහතා කුඩා ඉඳිකටුවක් වැනි උපකරණයක ආධාරයෙන් රංගම්මාල් දේවිය අවසන් වරට හැඳ සිටි හැට්ටයේ දිරාගිය නූල් ඉතා සීරුවට පිළියම් කරමින් සිටියේය.  හැට්ටයෙහි අලංකාර වැඩ දමන ලද රන් පැහැ කෙඳි විසිරී තිබූ අතර පින්සලක තැවරූ ද්‍රව්‍යයක ආධාරයෙන් ඒවා ඉතා සූක්ෂ්මව අලවන අන්දමද මම දුටුවෙමි. ශ්‍රී වික්‍රම  රාජසිංහ රජුගේ උඩුකය ඇඳුමෙහි මල්කම් එලෙසම පවතී. අළු පැහැයට හුරු එම මල් සහිත රෙදි 18 වෙනි සියවසේ දී විදේශයකින් ආනයනය  කළා වන්නට පුළුවන. ඒවා තවමත් අලුත් පාටය. රන් පැහැ බොත්තම් ගැලවී ඇත.  සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව කුතුහලයෙන් මඬනා ලද සිතින් එම ස්ථානයේ සිදුවන දෑ නිරීක්‍ෂණය කරමින්සිටින අතර මා තුළ පැන නැගුණ ප්‍රශ්නය වූයේ රජුගේ හා බිසවගේ ඇඳුම් ආයිත්තම් ජාතික කෞතුකාගාරයට ලැබුණේ කෙසේද යන්නය.  

image source-https://divaina.lk/wp-content/uploads/2021/09/sriwickrama1.jpg

දැන් නැවතත් ප්‍රස්තුත කාරණයට අප පැමිණිය යුතුය. මෙම ඇඳුම් ආයිත්තම්කෞ තුකාගාරයට කෙසේ ලැබුණි දැයි සොයා බලද්දී ලැබුණු එකම හෝඩුවාව ඇහැලියගොඩ ප්‍රදේශයේ කිසියම් වැදගත් මහත්මයකු විසින් මෙම රාජකීය ඇඳුම් කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබෙන බවය. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා එවකට කෞතුකාගාර අධ්‍යක්ෂිකා ධුරයේ කටයුතු කළ ආචාර්ය නන්දා වික්‍රමසිංහ මට හෝඩුවාවක් ලබා දුන්නාය. ඒ අනුව මම ඇහැලියගොඩ කරඳන  විශ්‍රාමික  විදුහල්පතිවරයෙකු වූ කේ එන් ඩී චන්ද්‍රසේන මහතා සොයා ගියෙමි. රජ්ජුරුවෝ තෙල්දෙනියට ගෙනා පසු සබරගමුවේ මිනිසුන් විසින් ඉරා හානිකර තිබූ ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම් ලබා දුන් බව ජෝන් ඩොයිලි  සිය දින පොතේ සඳහන් කර තිබේ.  එක්නැලිගොඩ නිලමේ සමග කන්දේ නුවරට ගිය කිරි පෝරුවේ මොහොට්ටාල  රාජසිංහ රජුගේ ඇඳුම් ආයිත්තම් පොට්ටනිය සබරගමුවට ගෙනැවිත් කිරි පෝරුවේ සිය නිවසේ පෙට්ටගමක සඟවා තබා ඇත. රාජකීය ඇඳුම් සම්බන්ධව පූර්වාපර සන්දි ගලප්පා මගේ ගැටලුව නිරාකරණය කර  දුන්නේ ඇහැලියගොඩ චන්ද්‍රසේන මහතාය. චන්ද්‍රසේන මහතාගේ පියාවූ ටී ගුණදාස  1930 ගණන්වල ඇහැලියගොඩ කරඳන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවයට පැමිණ ඇත. පුරාවිද්‍යාවට ඇලුම් කරන්නකු වූ ඒ මහතා  එක් දිනක් සිසුන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාස පාඩම කියා දී තිබේ.  ඒ අවස්ථාවේ නැගී සිටි කුඩා ශිෂ්‍යාවක “ලොකු මහත්තයා අපේ ගමේ ගෙදරක රජ්ජුරුවන්ගේ රෙදි පොට්ටනියක් තිබෙනවා කියා අම්මා කීවා” යයි පවසා ඇත. දැරියගේ එම තොරතුර ඔස්සේ විපරම් කර බැලීමේදී  කිරි පෝරුවේ මොහොට්ටාල පරපුරට අයත් පුරාණ නිවස සොයාගන්නට ගුණදාස මහතාට හැකි විය.

image source-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPqGgL3rZN-bYD2w3jItCRTGGrA8OGK75Vh4yZO2bs12HCw_OUgtTnYIJDwIciVjmPzSn_RVmHZg_4aLTMzZX64Iz3RQXfhrpIWPmhrNAkGtUpAmL-q5suMFpecF2W127IFZZFXD_P/s1600/rajasinghe.JPG

එම ගනුදෙනුව සිදුවී තිබෙන්නේ.  1941 වර්ෂයේ ජනවාරි මාසයේය. ඒ වන විට රෙදි පොට්ටනියේ බිසවගේ හැට්ටය, රජුගේ හැට්ටය හා බඳපටියද තවත් රෙදි කෑල්ලක්ද පමණක් තිබී ඇත. ගුණදාස මහතා  ළඟ රාජකීය ඇඳුම් කට්ටලයක් ඇති බව නාපාවල සෝරත හිමියන්ට  ආරංචි වන්නේ මේ අතරය.  උන්වහන්සේ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවෝය.  නාපාවල හිමියන්ගෙන් රඹුක්වැල්ලේ සිද්ධාර්ථ නා හිමියන්ටද උන්වහන්සේ වෙතින් එවකට ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඒ පී දැරනියගල මහතාට ද මෙම ආරංචිය සැලවිය. දැරණියගල මහතා 1941වර්ෂයේ ජනවාරි මස දිනක ස්වාමීන් වහන්සේලා දෙනමක් කැටුව ටී ගුණදාස මහතා සොයා කරඳනට පැමිණියේය.  එදා තරුණ කොළුගැටයෙකු වූ චන්ද්‍රසේන මහතා මා සමග පැවසුවේ ආලින්දයෙහි තැබූ ඇඳි පුටුවක ඇන්ද මත තබා පියා විසින් රජ ඇඳුම් අමුත්තන්ට පෙන්නන අවස්ථාවේ ඔවුන් විශ්මයට පත් වූ බවය. ඒවා රාජකී ඇඳුම් ආයිත්තම්  බව ඔවුන් එකහෙලාම තහවුරු කළ අයුරු අද මෙන් තමාගේ මතකයේ ඇති බවය.  ආචාර්ය සිරාන් දැරණියගල, පී ඒ පී දැරණියගල මහතාගේ පුත්‍රයාය. 

ලේක් හවුස් පුස්තකාලයට ගිය මා වඩාත් සතුටට පත් වූයේ ගුණදාස මහතාගේ එම උතුම් ක්‍රියාව ඒ මහතාගේ ඡායාරූපයක් ද සමඟ  1941 පෙබරවාරි 02 දා සිළුමිණ පුවත්පත මුල් පිටුවේම වාර්තා කර තිබෙන අයුරු දැකීමෙනි. 

සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ජාතික කෞතුකාගාරයට හිමි වූ අන්දම පිළිබඳ කතා පුවත එසේය. ඉන්දියාවේ සිට පැමිණි සංරක්ෂණ කණ්ඩායම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුහුණ දුන් අභාග්‍ය සම්පන්න ඉරණම  පිළිබඳව දැන සිටියේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටේ පාලකයා වූ මෙම රජුගේ රාජ්‍යය උදුරා ගෙන රජු සහ බිසව සිරකරුවන් ලෙස  මුරිසි දිවයිනට රැගෙන ගිය බවත් ඔවුන් බොහෝ දුක්  පීඩා විඳ එම රටේදී මිය ගිය බවත් මම පරිවර්තකයෙකුගේ ආධාරයෙන් ඔවුන්ට පැහැදිලි කළෙමි. හින්දි භාෂාව කතා කරන තරුණ සංරක්ෂණවේදියෙකු මේසය මත අතුරා ඇති රාජකීය සැට්ටය දෙස හැඟුම්බරව බලා සිටියේය. අනතුරුව සෙමෙන් කතා කළ ඔහු. ” මට මගේ රටේ සිටි සාජහන් රජුත් මුම්ටාස් මහල් දේවියත් මතක් වෙනවා” යයි පැවසුවේය.  තවත් මොහොතකින් ඔවුහු ගැඹුරු හැඟීමෙන් යුතුව සිය කටයුත්තේ නියැලෙන අයුරු පෙනුනි. 

image source-https://divaina.lk/wp-content/uploads/2021/12/museum1.jpg

උදේනි සමන් කුමාර.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *