කාල් මාක්ස් හමුවෙමු..!

මාක්ස්(Karl Marx) ගැන මගේ සිතෙහි ආදරයක් ඇති වූයේ, ශීත කාලයේදී තමන්ගේ ගත උණුසුම් කර ගැනීම සඳහා වනාන්තරයෙන් වියළි අතු කැබලි එකතු කළ දුප්පත් මිනිසුන්ව, නීතියේ නාමයෙන් අත්අඩංගුවට ගෙන, පහර දී, දඬුවම් කළ අවස්ථාවේදී ඔහු දැක්වූ කෝපය ගැන කියවූ මොහොතේ සිටයි.

මෑතකදී බොහෝ දෙනෙක් මගෙන් ඇසූ ප්‍රශ්නයක් නම්, මාක්ස් කියවීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නයි. මගේ පිළිතුර නම්: චරිතාපදානයකින් ආරම්භ කරන්න. එය මාක්ස් ගැන පමණක් නොව, ඕනෑම චින්තකයෙකුට අදාළ වේ. යම් අදහසක් සැබවින්ම තේරුම් ගැනීමට නම්, එම අදහස බිහි කළ පුද්ගලයාගේ ජීවන සන්දර්භය, අසාර්ථකත්වයන්, හුදකලාව, අතරමං වූ අවස්ථාවන් සහ වැරදීම් පිළිබඳව යම් මට්ටමක සහකම්පනයක් සහ අවබෝධයක් තිබිය යුතු බව මම සැමවිටම විශ්වාස කරමි.

මම මාර්සෙලෝ මුස්ටෝ (Marcello Musto) ලියූ “The Last Years of Karl Marx” පොත ඉතා උනන්දුවෙන් යෝජනා කරමි.

මෙය හුදෙක් චරිතාපදානයක් පමණක් නොවේ. එය දශක ගණනාවක් පුරා මාක්ස්ව අර්ථකථනය කළ මතිභ්‍රමයන්ට, සාවද්‍ය කියවීම්වලට සහ පෙළපොත්වලට පමණක් සීමා වූ “ශීත කළ මාක්ස්වාදයට” එල්ල කළ සෘජු අභියෝගයකි.

බොහෝ විට මාක්ස්ව උපුටා දක්වන්නේම සිතීම නැවැත්වීම සඳහා වන අවස්ථාවකදී, මෙම පොත අපට අලුත් මාක්ස් කෙනෙකු හඳුන්වා දෙයි.

මෙම පොතෙහි මාක්ස් පෙනී සිටින්නේ ඔහුගේ අවසාන වසර කිහිපය තුළදීය. ඔහු දැඩි ලෙස රෝගාතුරව, වෙහෙසට පත්ව, තමා ගැනම සැක කරමින්, නිම නොකළ තම අත්පිටපත් නිමක් නැතිව සංශෝධනය කරමින් සිටියි. ඔහු මානව විද්‍යාව, පරිසර විද්‍යාව සහ පූර්ව ධනවාදී සමාජයන් පිළිබඳ අලුත් විෂයයන් හදාරමින් සිටි අතර, සියල්ලටමත් වඩා ඔහු කිසිවිටෙකත් තමාගේම න්‍යාය “සම්පූර්ණ වූ පද්ධතියක්” ලෙස සැලකුවේ නැත.

මුස්ටෝ අපට පෙන්වන්නේ විවෘත මනසක් ඇති, නිම නොකළ, සහ නිර්දය ලෙස තමා ගැනම විවේචනාත්මක වූ මාක්ස් කෙනෙකි. අපට ඉගැන්වූ “අතවැරදීම් සිදු නොවන මාක්ස්” ට ඔහු හාත්පසින්ම වෙනස්ය.

සෑම සමාජයක්ම වැඩවසම්වාදය → ධනවාදය → සමාජවාදය යන එකම ඓතිහාසික අනුපිළිවෙල හරහා ගමන් කළ යුතු යැයි මාක්ස් විශ්වාස කළාද?


නැත. මාක්ස්(Karl Marx) කිසිවිටෙක ඉතිහාසය යනු සෑම කෙනෙකුටම නැගීමට ඇති ස්ථාවර ඉණිමඟක් ලෙස සැලකුවේ නැත. සමාජයන් වර්ධනය වන්නේ ඒවා ආරම්භ වන ස්ථානය සහ මුහුණ දෙන තත්ත්වයන් මත අසමාන ලෙස බව ඔහු පැහැදිලි කළේය. ධනවාදය යනු සියලු දෙනාම අනිවාර්යයෙන් යා යුතු නැවතුමක් නොවීය.

ධනවාදය ඉබේම කඩා වැටෙනු ඇතැයි මාක්ස් විශ්වාස කළාද?


නැත. ධනවාදය ඉබේම කඩා වැටේ යැයි ඔහු විශ්වාස කළේ නැත. අරගලයක්, සංවිධානය වීමක් සහ මැදිහත්වීමක් නොමැතිව කිසිවක් ඉබේ සිදු නොවේ.

මාක්ස් සම්පූර්ණයෙන්ම සකස් කරන ලද න්‍යායික පද්ධතියක් සම්පූර්ණ කළාද?


නැත. මාක්ස් මිය ගියේ ඔහුගේ වැඩ මධ්‍යයේය. ඔහු දිගින් දිගටම ලේඛන නැවත ලිවීය, නිවැරදි කළේය, කෙටුම්පත් අතහැර දැමුවේය, සහ නව පරීක්ෂණ මාර්ග ආරම්භ කළේය. ඉතිරිව ඇත්තේ නිම නොකළ චින්තනයක් මිස මුද්‍රා තැබූ ධර්මයක් නොවේ.

මාක්ස් උනන්දු වූයේ ආර්ථික විද්‍යාව ගැන පමණක්ද? සැබෑ මිනිසුන් ගැන ඔහුට තැකීමක් තිබුණේ නැද්ද?


නැත. මිනිසුන්ව හුදු සංඛ්‍යා හෝ කාර්යයන් වලට පමණක් සීමා කරන මතයන්ට එරෙහිව මාක්ස් නිරන්තරයෙන් පෙනී සිටියේය. ඔහුගේ කාර්යය වූයේ වියුක්ත විචල්‍යයන් ගැන නොව, මිනිසුන් අතර පවතින සබඳතා, වැඩ, දුක් වේදනා, භාෂාව සහ බලය ගැනය.

මාක්ස් පරිසර විද්‍යාව සහ සොබාදහම නොසලකා හැරියාද?


නැත. ඔහුගේ අවසාන කාලයේදී මාක්ස් ඉඩම්, කෘෂිකර්මය සහ පස නිසරු වීම පිළිබඳව හැදෑරීමට විශාල කාලයක් වැය කළේය. ධනවාදය විසින් ජීවිතයේ ද්‍රව්‍යමය පදනමට හානි කරන බව ඔහු පැහැදිලිවම දුටුවේය.

මාක්ස් ලිව්වේ යුරෝපය ගැන පමණක් සිතාද?


නැත. පසුකාලීන මාක්ස්(Karl Marx) ඉන්දියාව, ඇල්ජීරියාව, රුසියාව සහ ලතින් ඇමරිකාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළේය. යටත් විජිතවාදය, ඉඩම් පැහැර ගැනීම් සහ යුරෝපීය නොවන සමාජයන් ඔහුගේ අවධානයට ලක් විය.

මිනිසුන් ක්‍රියා කරන්නේ ද්‍රව්‍යමය වාසි සඳහා පමණක් යැයි මාක්ස් සිතුවාද?


නැත. මාක්ස් කිසිවිටෙක මානව ක්‍රියාකාරකම් හුදු ආත්මාර්ථකාමිත්වයට පමණක් සීමා කළේ නැත. ඔහු මිනිසාගේ ආශාව, පුරුද්ද, සදාචාරාත්මක ගැටුම්, පරිකල්පනය සහ ඓතිහාසික මතකය බැරෑරුම් ලෙස සැලකීය.

මාක්ස් සමාජවාදය යනු එක්තරා රාජ්‍ය ආකෘතියක් ලෙස හැඳින්වූවාද?


නැත. මාක්ස්(Karl Marx) අනාගතය පිළිබඳ සැලසුම් ඇඳීමෙන් වැළකී සිටියේය. ඔහු දැඩි සැලසුම් කෙරෙහි විශ්වාසය නොතැබූ අතර, පශ්චාත්-ධනවාදී සමාජයක් කෙබඳු විය යුතුද යන්න කලින්ම දන්නා බව පවසන ඕනෑම අයෙකු කෙරෙහි සැක පළ කළේය.

මිනිසුන් මාක්ස්වාදය කටපාඩම් කරනවාට ඔහු කැමති වූවාද?


නැත. මාක්ස් තම කාර්යය මතවාදයක්, දෘෂ්ටිවාදයක් (ideology) බවට පත් කිරීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කළේය. “මම මාක්ස්වාදියෙක් නෙවෙයි” යන්න ඔහු කීවේ විහිළුවට නොවේ.

මාක්ස් වැරදි සිදු නොවන දේව රූපයක්ද?


නැත. මාක්ස් පරස්පර විරෝධී අයෙකි, බොහෝ විට වැරදුණු අයෙකි, නිතර රෝගාතුර වූ සහ සැකයෙන් පිරුණු අයෙකි. ඔහුගේ චින්තනය කෞතුකාගාරයක තැන්පත් කළ වස්තුවක් නොවී තවමත් ජීවමානව පවතින්නේ එම නිම නොකළ, ස්වයං-විවේචනාත්මක ස්වභාවය නිසාමය.

මාක්ස් ඔබට අමාරු, බර වැඩි හෝ එදිනෙදා ජීවිතයෙන් ඈත් වූවෙකු ලෙස දැනේ නම්, නැවත හෙමින් චරිතාපදානයකින් ආරම්භ කරන්න. ඔබට වහාම මාක්ස්ව “තේරුම් ගැනීමට” නොහැකි වනු ඇත, නමුත් ඔහුට නිහඬව සිටීමට නොහැකි වූයේ ඇයිද යන්න ඔබට දැනෙනු ඇත. ආරම්භ කිරීමට එය ප්‍රමාණවත්ය.

(පරිවර්ථනය තරිඳු මෙන්ඩිස්)

Uyen ly .

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *