බුද්ධිත් යන්නම ගිහිං..!

ඉන් එක් අයෙක් තමයි බුද්දීසේන සහෝදරයා, හෙවත් බුද්ධි සහෝ, හෙවත් දා බුධිසේන හෙවත් බුද්ධි සාන්. ඔහුගෙ මරණය මාව බොහෝ අතීතයට කැඳවපු, ඒ වගේම අතීත ක්‍රියාකාරකම් වල නොස්ටැල්ජික් තත්වයක් ඇතිකිරීමටත් සමත් උනා කීවොත් නිවැරදියි. මට බුද්ධිව මුලින්ම හමුවෙන්නෙ 1988 මුලදි කෑගල්ලෙ අඹන්පිටියේ තිබුනු ළමා නිවාසයක කාමරයක කැඳවා  තිබුනු ශිෂ්‍ය අංශයේ සාකච්චාවකදි. ඒක කැඳෙව්වෙ එතකොට කෑගල්ලෙ ශිෂ්‍ය අංශය හාරව හිටපු ශාන්ත. ශාන්ත පසුකාලෙක ලෙස්ලි නමින් දැරනියගල ප්‍රාදේශීය අංශයේ කළාපය භාරව ඉද්දි 89 අගදි දැරනියගල කෑම්ප් එකෙන් දසවද දීලා මැරුවා. එදා ශිෂ්‍ය අංශයේ සාකච්චාවෙන් පස්සෙ මට නිතර නිතර බුද්ධිව හමු උනා. ඔහුගේ මුවපුරා තිබුනු අව්‍යාජ සිනාව සහ යමෙකු කෙරේ දක්වන අසීමිත කුළුපග භාවයම ඇති කෙනෙකුට ඔහු සමග ඉතා දිගුකල් පවතින මිතු දමක් ඇතිවෙන්න. විශේෂයෙන් විරුද්ධ අදහස් දරන්නෙකු වෙත පවා ඔහු ප්‍රවිශ්ට උනේ සිනා මුසුව සහ ඉතාම සුහඳව.

කොහොමින් කොහොම හරි 89 අගභාගයේ ඇතිවූ අති දුෂ්කර මර්ධනයෙන් පසුව 1994 කාලයේදි ප්‍රගතිශීලී පෙරමුන හරහා චන්දෙ ඉල්ලන කාල වකවානුවේ මම කැළණී කැම්පස් එකේ අපේ කට්ටිය හමුවෙන්න ගිය වෙලාවකදි එතන සංවිධාන වැඩවල හිටියේ බුද්ධි සාන්. ඔය කාලෙ තමයි විජිත හේරත්, අනුර කුමාරත් කැලණී කැම්පස් හිටපු කාලෙ. විජිත කලපලුවාව, බූස්ස කඳවුරු වල මාත් එක්ක එකටම හිටපු නිසා ඔහුව හොඳින් අඳුන ගත්තත් මම එතකොට අනුර කුමාරව අදුනනෙ නෑ. නමුත් ඒ වකවානුවේ මට කියන්න ඕනකම තිබුනේ කැලණීයෙදි අනුර කුමාරගේ ඉහල සංවිධායකයා හැටියට හිටියේ දා බුද්ධිසේන සහෝදරයා කියලා. බුද්ධිසහෝ ඒ කාලෙ පක්ෂෙට කැලණී කැම්පස් එකේ හිටපු ව්ශ්වාසවන්තම කාඩර් වරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. හැබැයි මේ දෙතුන් දෙනා අතරට කාලයක් යනකම් අනුර කුමාරවත්, විජිත හේරත්වත් හිටියේ නැහැ. තවත් හේතුවක්  තමයි එවක පක්ශ ව්‍යුහය ඇතුලේ අප්‍රකටව ලංකාව තුල සංවිධායකත්ව භූමිකාව දරපු කුමාර් ගුනරත්නම් එවක පක්ශයේ ශිශ්‍ය අංශය භාරව සිටීම. මෙතනදි තමයි කුමාරගේ දර්ශන පථයට අනුර කුමාර සහ විජිත හේරත් කියන දෙන්නා සෙට් වෙන්නෙ. නමුත් කුමාර් ගුනරත්නම් බුද්ධිව දන්නෙ ඊට බොහෝ කලකට පෙර. ඒ අනුව කැළණියේ ශිශ්‍ය අංශයේ හිටපු පක්ෂයට වඩාත්ම විශ්වාසී බුද්දිසේන තමයි කුමාර් ගුනරත්නම්ට අනුර කුමාර ගැනයි, විජිත හේරත් ගැනයි ධනාත්මක රෙෆරන්ස් එකක් දෙන්නෙ. නමුත් එතනදි විජිත ගැන තියෙන බෙරගල කෑම්ප් එකේදි විජිත බිල්ලෙක් වෙලා හිටියාය කියන ආරංචිය නිසාම ඒකගැන කුමාර් තීරණයකට එන්න කලින් මගෙනුත් අහනවා. මට අනුව විජිත ගැන එහෙම තිබුනු ආරංචි බොරුවක් බවත්, බෙරගල කෑම්ප් එකේ හිටපු බොහෝ දෙනා හමුවී මම ඒ ආරංචිය නිවැරදි නොවන බවට කන්ෆර්ම් (confirm) කරගත් බවත්, ඒ අනුව එහෙම දෙයක් නැතිබවත් මම කියනවා. එහෙම තව කීප දෙනෙක් මේක තහවුරු කරනවා. එතකොට තමයි ඔය විජිතට පක්ෂයේ දේශපාලණ මංඩලය දක්වා එන ගමන් මග විවර වෙන්නෙ. එදා බුද්ධිසේන සහෝ නිකමට හරි කුමාර් ගුනරත්ණම්ට කියල තිබුනානම්, අනුර සහ විජිත දෙන්නා මහා දක්ශයො නෙවෙයි නමුත් කමිටුවක තියාගෙන පක්ශෙ වැඩටික කරගෙන යන්න පුලුවනි කියලා, අනුරයි විජිතයි අදටත් ඔය ජවිපෙ පහලම කමිටුවලම තමයි. ඕනනම් මම කැටතියලා කියනවා එයාල දෙන්නට දිස්ත්‍රික්ක වගකීම් වලින් උඩට  එන්න බෑ කියලා. එහෙම හරිහමන් රෙෆරන්ස් ( Reference) නැති, 89 අරගලය තුල තිබුනු සමහර අයගේ සැක කටයුතු භාවිතාවන් නිසා දුසිම් ගනණීන් ක්‍රියාධරයෝ දිස්ත්‍රික් කමිටුවලින් ඉහලට ගත්තෙ නෑ. ඕව දැන් පොහොට්ටුවේ ඉදන් ඇවිත් ජාතික ජන බලවේගයේ සුහුබුල් බයියෝ වෙලා ඉන්න ෆේස්බුක් බලකාය අහලවත් නෑ. එයාලට මේව තේරෙන්නෙත් නෑ. නමුත් ජවිපෙ යාන්ත්‍රණය වැඩකරන හැටි ඒකෙ හිටපු අයටනම් මේක තේරෙයි. ඒ නිසා මම ඉතාම අවධාරණයෙන් කියනවා, අනුර දිසානායකට ජනාධිපති වෙන්නයි, විජිත හේරත්ට විදේශ ඇමති වෙන්නයි හදපු පාරෙ මුල්ම පස් පිඩැල්ල කැපුවේ බුද්දී සහෝදරයා වගේ අය කියලා. ඊට පස්සෙ ඉතිං ගුරු ගීතයේ, අල්තීනායි දුප්පත් කෙල්ල මහාචාර්‍ය වරියක් උනාම ලියුම් බෙදපු දුයිශෙන්ව හමු උනේ නෑ වගේ, අනුරලා විජිතලා දැන් බුද්දී සහෝව අඳුනන එකකුත් නෑ මයෙහිතේ…එක්කො ලාල් කාන්තට අනුව බුද්ධිසේනලා පට්ට ද්‍රෝහියෝ. ඔහොම තමා ඕවගේ හැටි. හැබැයි බුද්ධි සහෝලා කපල දීපු පාරෙ, කුමාර් ගුණරත්නම් ලා ඕපන් කරලා දීපු පාරෙ, ඒක හයිවේ එකක් කරගෙන ආන්ඩු බලය ගැනීම දක්වා දුරක් යාමට අනුර සහ විජිත දක්ෂ උන බවත් කියන්නම ඕන. නැත්නම් 3% ම තියාගෙන ඉන්නත් තිබුනා ඒගැනම ආඩම්බර වෙවී.

ඒ කොහොම උනත් බුද්ධිසේන සහෝ ඇතුලු ජවිපෙ හිටපු අරටු කාඩරය “පෙරටුගාමී” පක්ෂය හදාගෙන ජවිපෙ මහගෙදරින් දොට්ට බැහීම බුද්ධිගේ දේශපාලණ ජීවිතයේත් එක්තරා කඩ ඉමක් උනා. ජවිපෙ පලාත්සභා තරඟ කලාම බුද්දිසේන සහෝදරයා පලාත් සභා මන්ත්‍රී වරයෙක් උනේ 2000 ගනන්වල මුලදිමයි.ඔහු මේ වනවිටත් ජවිපෙ හිටියනම් අදවෙනකොට ජවිපෙ සීනියරිටි (Seniority) එක අතින් ඔහු ලාල් කාන්තට දෙවෙනි වෙන්නෙ නෑ.ලාල් කාන්තට 89 අනුරාධපුර හිරගෙයින් පලායෑම තමයි ඔහුගේ “දේශපාලන”වටිනාකමට ඇති ප්‍රධාන වටිනාකම. ඒක හරියට ඔහුට පෙන්ඩන්ට් ඒකක් වගේ. සැරෙන් සැරේ ලාල් කාන්ත ඒක පෙන්නලා ආපහු දාගන්නවා. නමුත් බුද්දිසේන සහෝ ගත්තොත් බුද්දිසේනට කැළණි සරසවියෙ තියෙන ගෞරව උපාදියයි, 89 අරගලයේ සජීවී දායකත්වයයි සලකපුවාම බුද්දිසේන සහෝදරයා ජවිපෙ අද නායකත්වය තුල පලවෙනි තුන් දෙනාට පැමිනිය යුතු වෙනවා ඔහු දිගටම ජවිපෙ රැදීව්හිටියානම්. නමුත් ඔහු එක ආනන්තරිය පාපකර්මයක් සිදුකලා. ඒ තමයි කුමාර් ගුණරත්නම්ට අතිශය භක්තිමත් වීම. ඇත්තටම ජවිපෙ අතහැරලා පෙරටුගාමී එකට  එක්වීමට බුද්ධිසේන සහෝ තුල මහා රැෂනල් (rational) එකක් තිබුනේ නැහැ. තිබුනේ කුමාර් ගුනරත්ණම් වෙත ඔහුගේ තිබුනු අතිශය බැඳීම, එහෙම කියන එක සැර වැඩිනම් කෙනෙකුට පිලිගන්න පුලුවන් කුමාර් ගුණරත්නම් ගැන තිබුනු අතිශය පැහැදීම කියලා. බුද්දි සහෝට විතරක් නෙවෙයි,පෙරටුගාමීන් ලෙස ජවිපෙන් දොට්ට බැහැලා ආපු ගොඩකට තිබුනේ රැෂනල් නෙවෙයි, කුමාර් ගැන තිබුනු අතිශය භක්තිය කියලා තමයි මට කියන්න තියෙන්නෙ.(මේකට කැමති කෙනෙක් අභියෝග කරනවානම් ඒකත් අපිට ලියා එවන්න, අපි එයත් මෙහි පලකිරීමට සූදානම්). ඔන්න ඔය භක්තිය නැතිව මොකක් හරි රැශනල් එකක් තියාගෙන ආව කාඩර් වරුන් තමයි ආපහු පෙරටුගාමී එකෙනුත් අයින් වෙලා ගියේ. උදාහරන හැටියටම කියනවානම්, වරුණ රාජපක්ෂල,රුවන් නෙලූලා, ප්‍රියශාන්ත රාජපක්ෂල, අශෝකලා වගේ අය..

දැන් අපි නැවත අදාල මාතෘකාවට ආවොත්, ජවිපෙ තුලත්, පෙරටුගාමී එක තුලත් බුද්ධිසේන සහෝගේ ක්‍රියාකාරිත්වය එකසේ පෙරටුගාමී කාර්‍යභාරයක් උනා. නමුත් බුද්ධි සහෝගේ මම දැකපු විදියට, සහ මම ඇනලයිස් (Analyse) කරන විදියට ඔහු විශ්වාස කරපු මාක්ස්වාදය තරමක් හෝ ගැඹුරින් කියවා තිබුනේ නැහැ. නමුත් වාමාංශික දේශපාලණය පිළිබඳ විශාල අත්දැකීම් සමුදායක් ඔහු අත්පත් කරගෙන තිබුනා ව්‍යවහාරය තුලින්. සුපුරුදු සාම්ප්‍රදායික වාමාංශිකයින් තුල තිබුනු ලෙනින් සහ චේ ගෙවාරා වගේම විජේවීරවාදය තුල තිබූ දෘශ්ටිවාදයන් තමා බුද්දි සහෝ තුල කවදාවත් වෙනස් නොවී, අටුවන් බැහැලා තිබුනේ.මට හිතෙන්නේ ඒක බුද්ධිසේන සහෝගෙ අඩුපාඩුවක් හැටියට දකිනවාට වඩා, ලංකාව වගේ ඉතා පසුගාමී, ඌණ සංවර්ධිත රටක වාමාංශික  ව්‍යාපාරවල උරුමයන් හැටියට පවතින දේවල් මේව.

ඉතිං, න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයක්  වටිනවාය කියන ස්ථාවරයේ හිටපු බුද්දිසහෝ බොහෝසේ ක්‍රියාකාරී උනා. උද්ඝෝෂණ වල හැමදාම ඉදිරියෙන්ම හිටියා. කොටින්ම බුද්ධි සහෝ හිටපු නැති උද්ඝෝෂණයයක් කෑගල්ලෙ මාකට් එක ඉදිරිපිටවත්,කොළඹ කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිටවත් තිබුනේ නැති තරම්. 89 අරගල කාලයේ මහා  රාත්‍රිවල අහු උනොත් මරණ බව දැනගෙනම බුද්දිසහෝ කෑගල්ල මාකට් එක ඉදිරිපිට කොට බැම්මේ ඉන්දියන් ආක්‍රමනයට එරෙහිව පෝස්ටර් ගහන්න ඉදිරිපත් උනා. ඊට අවුරුදු 35 කට පස්සෙත්, ඒ මාකට් එකේ ඒ කොට බැම්ම ඉදිරිපිටම බුද්ධිසහෝ කෙලින් හිටගෙන ඉන්දියාවට එරෙහිව සටන් පාඨ කෑගහලා කියන්න ඉදිරිපත් උනා.

ෆෙඩ්රිච් නීට්ශේ කියල තිබුනට, අපි  දුර්වල වනවිට අපි අතීතයේ ජයග්‍රහනය කල අදහස් නැවත අපිව පරාජය කරනවා කියලා, බුද්දි සහෝදරයා වගේ අයට නම් එහි එතරම් සත්‍යයක් නොමැති බවයි මට කියන්න වෙන්නෙ. කාය ශක්තියෙන් හෝ ශරීර සෞඛ්‍යයෙන් හෝ තමුන් දරණ දේශපාලණ මතවාදයන් හෝ කොපමණ දුර්වල අඩියකට වැටුනත් බුද්ධිසහෝගේ ඔහු පරාජය කල පැරණී අදහස් කිසිවිටෙක නැවත ඔහු අතික්‍රමණය කලේ නැහැ. එතනදි තමයි අපට ගන්න වෙන්නේ මේ බුද්දිසේන සහෝදරයා වගේ අය සාමාන්‍ය තලයේ අපිට මගතොටේ හමුවන මිනිසුන් නොවන බවට. තමන් දැරූ මතවාදයන් තම ජීවිතය පුරාවට මැරෙන තෙක්ම එකසේ රඳවාගත්තු අපූරු චරිත මේ, නමුත් එහෙම වෙන එකත් එක්තරා අවුලක් හටියට මට කියන්න උනත්, බොහෝවිට ඊලඟ පරම්පරාවට මේ චරිත ආයෙ හමුවෙන්න ඉඩකුත් නැහැ. එහෙම චරිත හැදෙන්න පරිසරයකුත් ඇතිවෙන එකක් නැහැ. ඔවුන් තුල තියෙන විශේෂම දෙය තමයි, “මගේ පංගුව” බේරාගැනීම පැත්තක  තියලා, කවදාහෝ දවසක අත්කරගත හැකියයි සිතපු “අපේ පංගුව” වෙනුවෙන් “මගේ පංගුව” අතහැරපු එක. ධනවාදයේ  තියෙන්නෙ මූලිකවම, එහෙමත් නැත්නම් පළමුවත් දෙවනුවත් තියෙන්නේ “මගේ පංගුව” බේරාගැනීමේ වැඩේ. ඒක ධනවාදයේ එන ලිබරල් සංකල්පවල තියෙන පුද්ගලයා මූලික වෙද්දි එන සංකල්පයක්. නමුත් බුද්දි සහෝලාගෙ වෙනස උනේ “තමන්ගෙ පංගුව” අතහැරලා “අපේ පංගුව” වෙනුවෙන් තම ජීවිත කාලය පුරාවටම ජීවිතය පරදුවට පවා තියලා ඒ වෙනුවෙන් පෙනී සිටීමට, ඒ වෙනුවෙන් අරගල කිරීමට තිබුනු නොසැලෙන එන්ඩියුරන්ස් (Endurance) එක. මට අනුව ඒක නිවැරදිම නැති උනත් ,(ඒක නිවැරදිම නැතිවෙන්නේ පවතින ධනේශ්වර පර්‍යාය තුලදී ” මගේ පංගුව” අතහැරීම) බුද්ධි සහෝට තිබුනා තමන් විශ්වාස කල ඒ දෘශ්ටිවාදය වෙනුවෙන් ජීවිතයම කැපකිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් ඒවායේ මුලු වාසියම  වෙන අය ඩැහැගෙන ගෝනිවල ඔබාගෙන කරත්ත පුරවගෙන යද්දි පවා උපේක්ශාවෙන් ඉවසීමටත්. ඉතිං මේක විශේෂ නැද්ද.

(image sources from his fb page)

(බුද්දිසේන සහෝදරයා පිළිබඳව ලියූ මෙම ලිපිය පිලිබඳව හෝ බුද්දිසේන සහෝදරයා පිලිබඳව කාටහෝ කිසියම් අදහසක් දැක්වීමට අවශ්‍යනම් එම අදහස් මෙම වෙබ් අඩවිය තුල පලකිරීමට අපි සූදානම් බැවින් එවැනි අදහස් ඇත්නම් වචන 200 කට නොඅඩුව මෙම ඊමෙල් ලිපියට එවන්න, [email protected])

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *