|

නීට්ශේ කියවමු..!( 5 වෙනි කොටස)

නීට්ශේ මනෝවිද්‍යාව.

නීට්ශේ හැමවිටම මනෝවිද්‍යාත්මක අර්ථකතන වලට ද්වාර විවෘත කොට ඇත. ඔහු මනෝවිද්‍යාත්මක පරාවර්ථනයන්ට ආරාධනා කරයි. මිනිස් මනස සහ මිනිස් හැසිරීම් පිටුපස ඇති අභිප්‍රේරණ අවබෝධ කරගැනීම, ලෝකය සහ මානව පැවැත්ම අවබෝධ කරගැනීම සඳහා අත්‍යවශ්‍ය බව ඔහු විශ්වාස කලේය. තම “ Beyond the Good and Evil” කෘතියේ නීට්ශේ තර්ක කරන්නේ සම්ප්‍රදායික දර්ශණය මානව මනෝභාවය අවබෝධ කරගැනීමට වඩා වියුක්ත සංකල්ප සහ න්‍යායන් කෙරෙහි දැඩිලෙස අවධානය යොමුකර ඇතිබවයි. එක්තරා ආකාරයකට නීට්ශේගේ මනෝ විද්‍යාව දාර්ශණික මනෝවිද්‍යාව (Philosophical Psychology) ලෙස නම්කල හැක. ඔහුගේ දැක්ම පුළුල් ලෙස මානුෂීයය.

තමා මනෝවිද්‍යාව භාවිතාකරන පළමු දාර්ශණීකයා බව නීට්ශේ ප්‍රකාශ කරයි. ඔහුගේ බොහෝ දාර්ශණික සංකල්ප මනෝවිද්‍යාත්මක සංකල්ප ලෙස හැඳින්විය හැකිය. හෙතෙම මනෝවිද්‍යාව ආරම්භ කරන්නේ රැඩිකල් සංකල්පයකිනි. Human All Too Human හි, පැහැදිලි කරන්නේ “ අපට අපගැන දැනගැනීමට සෘජු ස්වයං නිරීක්ෂණය ප්‍රමාණවත් නොවේ. අපට ඉතිහාසය අවශ්‍යයි. මන්ද අතීතය අපතුල රැළි සියයකින් ගලායයි”

නීට්ශේගේ මනෝවිද්‍යාව සඳහාවූ කර්තව්‍ය වූයේ, පුද්ගලයාතුල තුල සිටින බහුවිධ පුද්ගලයින්, බහුවිධ ප්‍රේරණය (Multiple Drives) හඳුනා ගැනීමයි. නීට්ශේට අනුව, අපි අපව අර්ථකතනය කරන්නේ අප ජීවත්වන සමාජයේ අපම ලබාගත් ජන මනෝවිද්‍යාත්මක රාමු හරහාය.

නීට්ශේගේ මනෝවිද්‍යාත්මක නැඹූරුව ගැන.

මනෝවිද්‍යාව සඳහා  නීට්ශේගේ දායකත්වය යටපත්වී ඇත. 20 වනසියවසේ මනෝවිද්‍යාවේ දැවැන්තයින් තිදෙනා වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, කාල් ජුන්ග්, සහ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් යන සියල්ලෝම නීට්ශේගේ මනෝවිද්‍යාත්මක තීක්ෂණ බුද්ධියෙන් දැඩිලෙස බලපෑමට ලක්වූවන් වෙති. ෆ්‍රොයිඩ් සම්බන්ධයෙන් ගත්කල නීට්ශේ ඔහුට බලපෑම් කොට තිබුනේය. ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍යයෙකුවූ කාල් ජුන්ග් ඔහුගේ මනෝවිද්‍යාත්මක පද්ධතිය නිර්මාණය කරනවිට නීට්ශේගේ බලපෑමට ලක්විය. ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව සඳහා පදනමක් ලෙස නීට්ශේගේ බලයට ඇති කැමැත්ත(Will Power) සංකල්පය භාවිතා කරන ලදී. කාල් රොජර්ස්ගේ මානවවාදී මනෝවිද්‍යාව තුල නීට්ශේගේ ස්වයංවීම පිළිබඳ සංකල්පය( Nietzsche’s Concept of Self-Becoming) ක්‍රියාත්මක වී ඇත. නීට්ශේ පිළිබඳ වැදගත් කෘතිවලින් එකක් ලෙස Walter Kaufman විසින් ලියන ලද Nietzsche: Philosopher, Psychologist, Antichrist කෘතියේ නීට්ශේගේ මනෝවිද්‍යාත්මක නැඹුරුවගැන සඳහන් කරයි.

නීට්ශේ සවිඥ්ඥාණික මානසික තත්වයන් කෙරෙහි දැඩි අවධානයක් යොමුකරයි. නීට්ශේ විඥ්ඥාණ(Consciousness) හුදු “මතුපිටක්” ලෙස සලකන අතර ඔහු Ecce Homo හි ලියාඇති පරිදි එය මානව සමාජකරණයේ ගමන් මගතුල පරිණාමයවූ අතර, ඔහු මානව මනෝවිද්‍යාවේ(psychology) යටිතලය අවිඥ්ඥාණික භාදකයන් සහ බලපෑම් මගින් පිහිටුවා ඇතිබව දකියි.

https://covers.storytel.com/jpg-640/9798347334032.c175b29a-eafb-4848-a485-e3a5bf0e1130?optimize=high&quality=70&width=600

නීට්ශේගේ මනෝවිද්‍යාවට(psychology) අනුව, මිනිසාට බහුවිධ, ගැටුම්කාරී අගයන් සහ ආශාවන් ඇත. ඒවා වෙනස්වීමට අඛංඩව විවෘතවේ. ඔහු පවසන්නේ සියළු සදාචාරාත්මක, ආගමික සහ සෞන්දර්යාත්මක සංකල්ප සහ සංවේදනයන් ඓතිහාසික ක්‍රියාවලීන් හරහා වර්ධනයවී ඇති බැවින් මනුශ්‍ය ස්වභාවය පිළිබඳව “ සදාකාළික කරුණු” නොමැතිබව හඳුනාගන්නා නව ආකාරයේ  “ඓතිහාසික දර්ශණයක්” අවශ්‍ය කෙරෙන බවයි. අපි සියවස් ගණනාවක ආගමේ සහ දර්ශණයේ අගතීන් ඉවත්කර ශරීරයට නිග්‍රහ කිරීම නැවැත්විය යුතුබව ඔහු පැවසීය. නීට්ශේගේ චින්තනයේදී අප අවට ලෝකය පරිවර්ථනය කරන්නේ කෙසේද යන්නගැන සිතීම සඳහා විශාල ඇඟවුම් ඇත.

මනස ආවේගයන්ගේ එකතුවක් ලෙස.

Zarathustra විසින් “ The Best Within” ලෙස නම්කරන ලද ලිංගිකත්වය සහ ආක්‍රමණශීලිත්වය මිනිසාතුල පවතී. මෙම ආවේගයන් සදාචාරයන් විසින් යටපත් කරනු ලැබ ඇත. නීට්ශේ මෙම මර්ධනය දුටුවේ විභව ශක්තිය අපතේ යාමක් ලෙසය. නීට්ශේ මනස සැලකුවේ ආවේගයන්ගේ එකතුවක් ලෙසය.

ඔබේ ස්වභාවය සංස්කෘතිය සහ ඓතිහාසික බලවේග විසින් නියම කර ඇති සීමාවන් තුල ඔබව නිර්ණය කලහැකිබව ඔහු කියයි. ඔහු සෙසු පවැත්මවාදීන්මෙන් නිදහස් කමැත්ත (Free Will) විශ්වාස නොකරයි. Zarathustra හි බලයට ඇති කැමැත්ත තමාව ජයගැනීමේ කැමැත්ත ලෙස සංකල්පනය කෙරේ.

“මනෝ විද්‍යාව(psychology), සදාචාරාත්මක අගතීන් සහ භීතීන් තුල සිරවී ඇත” යනුවෙන් නීට්ශේ කියයි. ඔහු පවසන්නේ මානව හැසිරීම් කෙසේ වියයුතුද යන්න පිළිබඳව අපගේ සදාචාරාත්මක අගතීන් තහවුරු කිරීම සඳහා කරුණු අර්ථකතනය කිරීමට වඩා සදාචාරය යනු කුමක්ද සහඑය විවිධ වටපිටාවේ සහ සංස්කෘතීන් තුල ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලිය යුතු බවයි.

අවිඥ්ඥාණීක අනුකරණය.

නීට්ශේ සෑම තැනකම ගැටුම් දැකීමට නැඹුරුවන අතර ඔහු එය ශරීරය තුල් මෙන්ම ශරීර අතරද දකී. ඔහු බොහෝවිට ශරීරයක් දකින්නේ ක්‍රීඩා පිටියක් හෝ “ප්‍රථිවාදියාගේ” යුධපිටියක් ලෙසිනි. වහලුන්ට ස්වාමිවරුන්ගේ පීඩනයට එරෙහිව විවෘත ප්‍රකාශ කිරීම්ට නොහැකිවේ. නමුත් මෙම  ආශාවන් පහව යන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රියාකරන්නේ පලිගැනීමට මනස්කල්පිත සහ අමනාපයෙන් “අභ්‍යන්තර” ලෝකයකය. දයා අනුකම්පාව උපකල්පනය කෙරෙන ඔහුගේ විග්‍රහයේදී නීට්ශේ තර්ක කරන්නේ මා තවත් කෙනෙකුට උපකාර කිරීමට හෝ සමහරවිට අනුකම්පා කිරීමට ක්‍රියාකරන විට ඊනියා පරාර්ථකාමී සහ “ අහංකාර” චේතනාවන් සියල්ලා එකට සම්බන්ධ වියහැකි බවයි.

සදාචාරාත්මක යහපත්කම සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ කුහක කාර්‍යය සාධනයක් ලෙසිනිනීට්ශේ

නීට්ශේ තර්ක කරන්නේ අපගේ සාරධර්ම, ආශාවන් සහ භාවිතයන් බොහෝ දුරට අප අවට සමාජ ලෝකවල අන් අයගෙන් අනුගත කරගන්නා බවය. ඔහු පෙන්වාදෙන්නේ අවිඥ්ඥාණික අනුකරණයට ගැඹුරු මානව ප්‍රවනතාවයක් ඇත යන්නයි. එය ළදරු වියේදී ආරම්භ වම නමුත් අපගේ ජීවිත කාලය පුරාම අප සමඟ පවතී. සමාජ රටාවන් අණුකරණයට පසු අප ඒවා “සංස්ථා ගතකර” පුනරාවර්ථනය, පුරුදු කිරීම, කාර්‍යය සාධනය තුලින් “අපේ ස්වභාවය” බවට පත්කරමු.

අනුකූල කංඩායම් තුල එකට ඇලී සිටීම ප්‍රභල මානව ප්‍රවනතාවයකි. අපට තනි පුද්ගලයන් වියහැකිබව නීට්ශේ පෙන්වා දෙයි.

සම්මතයේ දෘඩ රංචු ජීවිතයෙන් මිදීමට හා වහල් සදාචාරයේ රෝගී රටාවන්ට අභියෝග කිරීමට පටන්ගන්නා පුද්ගලයෙකු නව ජීවන මාර්ග නිර්මාණය කිරීමට පටන් ගනී. බියට පත් අනුකූලවාදීන්ගේ “රංචු” වෙනුවට නිදහස් මනසක් බිහිකිරීම ඔහු අවධාරණය කරයි. නිදහස් ආත්මය සංකීර්ණ රූපයකි. ඔහු නිදහස් නම්‍යශීලී, නව හැකියාවන් අත් හදා බැලීම සඳහා විවෘත සහ ඒ සමගම තමාව නැතිකර නොගෙන විනාශ නොවී සිටීමට තරම් ශක්තිමත් ස්ථාවර බවින් යුක්තය.

නීට්ශේ කියන කරුණක්නම්, පුද්ගලයෙකු ඉපදෙන්නේ නැත. නමුත් සෑදී ඇත.(An individual is not born but made)

සම්ප්‍රදාය.

මිනිසා අධිපති ආකෘති තුල සිරවීමේ අවධානමක් ඇත. ආදිපත්‍ය දරණ සහ යටහත් පහත් රටා දෙකම එකම ශරීරය තුල එකවර පවතිනු ඇත. අප පුද්ගලයන් බවට පත්විය යුතුය. තවද එය කෙතරම් පරස්පර විරෝධී බවක් පෙනුනද, පුද්ගලයෙකු වීම අපට තනිව කලහැකි දෙයක් නොවේ. එයට සමාජ ක්‍රියාවලීන්ද ඇතුලත්වේ.

පරම්පරා ගණනාවක් පුරා මිනිස් මනෝභාවයන් ආසාදනය වී ඇතිබව ඔහු කියයි. වහල් සදාචාරයේ ව්‍යාධි විද්‍යාව, රාජ්‍ය සහ ක්‍රමාණුකූල ආධිපත්‍ය මිනිසාව කම්පනයට පත්කරයි. අපේ වටිනාකම් සහ ආශාවන් අපට දුර්වල කරන සහ වධදෙන රටාවන්ට විකෘති කරයි.

නීට්ශේ සිතන්නේ මානව ඉතිහාසය පුරා බොහෝ වෙනස් ආචාර ධර්ම වර්ධනය වී ඇති බවයි. ඔහුගේ සදාචාරය පිළිබඳව විමර්ශනය ඇරඹෙන්නේ එහි මූලිකම සහ පැරණි ස්වරූපයෙනි. චාරිත්‍ර සදාචාරය තුල මිනිසුන් ගෝත්‍රයේ සිරිත් විරිත් වලට කීකරු වන්නේ “සම්ප්‍රදාය” අණකරන බැවිනි.

“සම්ප්‍රදාය” යනු කෙනෙකු හීලෑවන ඉහල අධිකාරියකි. නීට්ශේට අනුව, ප්‍රාග් ඓතිහාසික මානවයන් විශ්වාස කළේ සිරිත් විරිත් පිළිපැදීමට අපොහොසත් වීමෙන් ප්‍රජාවට පැහැදිලි කල නොහැකි ව්‍යසනයක් ඇතිවන බවයි. තවද සිරිත් විරිත් කඩකලහොත් අනෙක් කංඩායම් සාමාජිකයින්ගේ දඬුවම් ලැබෙනු ඇතැයි යන ලෞකික බියක් ඇතිවිය. අප හැදීවැඩුනු ගවපට්ටියේ සදාචාරාත්මක නීති නොදැනුවත්ව සම්මත කරගැනීමට, උරුම කරගැනීමට සහ ඇතුලත් කිරීමට අපි නැඹුරුවෙමු, යනුවෙන් නීට්ශේ පැවසීය. ගෝත්‍රයේ නීතිවලට බියවීමට සහ කීකරු වීමට අප පුහුණු කර ඇත. අවිඥ්ඥාණික අනුකරනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

රංචු මානසිකත්වය.

නීට්ශේ මිනිස් මනස බහුත්වයක් බද්ධවූ මනෝවිද්‍යාත්මක  ආයතනවල එකතුවක් ලෙස ප්‍රකාශ කළේය නිට්ශේගේ චින්තනයේ මනුෂ්‍යයෙකු පිළිබඳ වඩාත් සාමාන්‍ය චිත්‍රය තනි පුද්ගලයෙක් නොව ඛේදවාචකයකි. රංචු මානසිකත්වය, බහුවිධ බලවේග ආදිය නිසා මිනිසා බෙදීගිය, සමහර විට අවුල් සහගත ප්‍රපංචයක් වෙයි. නීට්ශේට අනුව, අප සෑම කෙනෙකුටම ගැඹුරු සහ ස්ථිර ස්වභාවයක් ඇති අතර එමගින් අපට වියහැක්කේ කවුරුන්ද සහ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත සීමාවන් පනවා ඇත. අපගේ ස්වභාවය මූර්තිමත් කරනු ලබන්නේ මුල් පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සහ අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුමවූ ගතිලක්ෂණ මෙන්ම ආකල්ප මගින් පමණක් නොව ඓතිහාසික බලවේගයන්ද විසිනි.

අතීත සංස්කෘතීන්ගේ සම්ප්‍රදාය අපතූල දිගටම ජීවත්වන අතර, අපගේ මනෝභාවයේ සෑම ආකාරයකම සහජීවන ක්‍රමයක අතීතය කලින් එකිනෙක යාබදව හෝ උඩින් තිබූ සංස්කෘතීන්ගේ දැන් “නූතන ආත්මයන්” අපතුලට ගලායයි. ගැඹුරු ස්ථර වලින් අපගේ ජීවිතයට සහ අත්දැකීම් වලට බලපෑම් කරයි. සෑම රටාවකම ජීවන රටාවක අතීතය අපතුල දිගටම පවතින බැවි අප ස්වයං දැනුම ලබාගැනීමට නම් ඉතිහාසය පිළිබඳව ක්‍රියාකාරී ගවේශණයක නිරත වියයුතු බව නීට්ශේ යෝජනා කළේය.

අතීතය නවීන සංස්කෘතීන් තුල දිගටම පවතිනවා සේම, මූර්තිමත් මිත්‍යාවන්, සම්ප්‍රදායන් සහ ආයතන තුලද අපගේ අධ්‍යාත්මය පසුගිය යුගයන් විසින් හැඩගස්වා මූර්තිමත් කොට ඇත. අපතුල දිගටම ජීවත් වන්නේ අතීත සහශ්‍ර ගණනාවක සංස්කෘතීන් පමණක් නොවේ මක්නිසාද යත් අපගේ මනෝභාවයේ ගැඹූරු ස්ථරවල ප්‍රාග් ඓතිහාසික ආවේගයන් පවතී. ඇතුලත මෘගයා මර්ධනය කිරීම වෙනුවට පැරණි අතීතයේ විනාශකාරී වියහැකි මෙම ශේෂයන් ගවේශණය කර හුරුපුරුදු වීමට නීට්ශේ නිර්දේශ කළේය.

image source
https://images.thenile.io/r1000/9781804213346.jpg

ස්වයං අවබෝධය පිළීබඳ ඇති සැකය.

ගලාබසින ගංගාවක එහි ශක්තිය යොදාගතහැකි සේම, අධ්‍යාත්මක නොවන ශිෂ්ඨාචාර ස්ථරයන්ද නිසිලෙස මෙහෙයවමින් සහ නිසිලෙස හසුරුවන්නේ නම්, ජීවිතය ජීවමාන කලහැකිය. “සෘජු ස්වයං නිරීක්ෂණ අපට අපගැනම දැනගැනීමට ප්‍රමාණවත් නොවේ. අපට ඉතිහාසය් අවශ්‍යයි. මන්ද අතීතය අපතුල රැළි සියයක් තුල ගලායයි” Human All too Human හි ඔහු පවසයි.

නීට්ශේ ස්වයං අවබෝධය පිළිබඳව සැකකරයි. ඔහු තර්ක කරන්නේ මිනිසුන්ට එකිනෙකා අනුකරණය කිරීමට ප්‍රභල ස්වයංක්‍රීය ප්‍රවණතාවයක් ඇතිබවත්, එසේ කිරීමෙන්  එකිනෙකාගේ චිත්ත වේගීය තත්වයන් සහ ඇගයීම් උකහා ගන්නා බවත්‍ ය. නීට්ශේ සිතන්නේ මිනිසුන් ජීව්ත් වූයේ රංචු සහජ බුද්ධිය සහ සිරිත් විරිත් සදාචාරය විසින් පාලනය කරන ලද “ මුල් ගෝත්‍රික ප්‍රජාව” තුල බවයි. නීට්ශේ පවසන්නේ “සදාචාරය” යනු, පුද්ගලයා තුල රංචු සහජ බුද්ධියක් බවයි.

පුද්ගල ප්‍රවර්ධනය(Personal Growth) ඔහුගේ මනෝ විද්‍යාව පිළිබිඹු කරයි. Zarathustra කෘතියේ සුපිරි මිනිසාගේ උච්ච අත්දැකීම් සහ ඩයොසීනියානු ආත්මය පිලිබඳව ඔහු පෙන්වා දෙන අතර, ඒබ්‍රහම් ඔස්ලෝ ඔහුගේ “The Self-Actualized Man” කෘතියේ පෙන්වන පරිපූර්ණත්වයට පත්වූ මිනිසාගේ අත්දැකීම් සමග සමපාත වෙයි. නීට්ශේ සහ ෆ්‍රොයිඩ් දෙදෙනාම ආක්‍රමණශීලී චින්තකයෝ වෙති. මේ දෙදෙනා අතර ඇති සම්බන්ධකම් මත, ඔවුන්ගේ පුළුල් පොදු ලක්ෂණ පෙන්නුම් කරයි.

Sigmund Freud(1856-1939)

ආගම දර්ශණය පිලිබඳ විවේචනය, සදාචාරයේ පදනම් පිලිබඳ ඔවුන්ගේ ප්‍රශ්ණ කිරීම්, සංස්කෘතියේ ස්වභාවය පිලිබඳ ඔවුන්ගේ විමසීම්, මර්දනය සහ උත්කෘෂ්ඨය පිලිබඳව ඔවුන්ගේ අර්ථයන් යනාදිය මේ දෙදෙනාගේ සබැඳීම් පෙන්වාදිය හැකිය.. ෆ්‍රොයිඩ්ගේ සංකල්පවලට සමාන ලෙසට නීට්ශේගේ සංකල්ප වලට අවිඥ්ඥාණික මනස පිලිබඳ සංකල්පය ඇතුලත්වේ. ෆ්‍රොයිඩ්ගේ සමහර මූලික පද නීට්ශේ විසින් භාවිතා කරන ලද ඒවාට සමානවේ. මෙනයින් නීට්ශේ සහ ෆ්‍රොයිඩ් යන දෙදෙනාම “ගැඹුරු මනෝවිද්‍යාව” සඳහා කැඳවුම් කරුවෝ වෙති. මේ අනුව නීට්ශේ, ෆ්‍රොයිඩ්ගේ බුද්ධිමය පුරෝගාමියෙකු ලෙස සඳහන් කල හැකිය.

ශුන්‍යවාදය(Nihilism).

ශුන්‍යවාදය පිලිබඳව මුල් වරට පුළුල් ලෙස ලියන ලද්දේ ලේඛක ඉවාන් තුර්ගේනිව් විසිනි. දොස්තයෙව්ස්කි ගේ නවකථාද එක්තරා ආකාරයකට ශුන්‍යවාදය පිලිබඳව දාර්ශණික විශ්ලේෂණයක් ලෙස සැලකේ. ශුන්‍යවාදය යන පදය දාර්ශණික ක්ෂේත්‍රය තුල මුල් වරට භාවිතා කරන ලද්දේ 18 වන සියවසේ ෆෙඩ්‍රික් ජැකොබි විසිනි.(අපන්නක සූත්‍රයේ සිද්ධාර්ථ ගෞතමයන් විසින් ශුන්‍යවාදී දෘෂ්ඨිය මිත්‍යාදෘෂ්ඨියක් ලෙස විස්තර කොට ඇත.

ශුන්‍යවාදය යනු, මිනිසුන්ට ජීවිතයේ අරමුණු සහ ඉලක්ක නොමැති විටදී දැනෙන අත්දැකීමයි. මෙයට හේතුව මිනිසුන් ඔවුන්ගේ වටිනාකම් අවබෝධකර නොගැනීමයි. අර්ථයක් නොමැතිකමේ අත්දැකීම් නිසා පුද්ගලයෙකුට ශුන්‍යතාවයක් අත්විඳීමට මගපාදයි. ශුන්‍යවාදය මානව වටිනාකම් පදනම් විරහිත බව, ජීවිතය අර්ථ විරහිත බව පවසයි. ශුන්‍යවාදීන්ට අනුව ජීවය ආවේණික වටිනාකමක්, අර්ථයක් හෝ අරමුණක් නොමැතිව පවතී. ශුන්‍යවාදය මිනිසුන්, වස්තූන් සහ ජීවිතය කෙරෙහි සමාජය තබන වටිනාකම සහ අර්ථය ප්‍රතික්ෂේප කරයි. පුද්ගලයාගේ ආත්මීය අත්දැකීමෙන් ඔබ්බට කිසිවක් දැනගැනීමට හෝ කිසිවක් සන්නිවේදනය කිරීමට නොහැකිබව කියයි. ශුන්‍යවාදයේ මූලික වශයෙන් ඇත්තේ සදාකාලික සත්‍යයක් නොමැති බවත්, සදාකාලික අරමුණක් නොමැති බවත්, මානව පැවැත්මට අවසාන අර්ථය්ක් හෝ වැඳගත්කමක් නොමැති බවත්‍ ය.( ශුන්‍යවාදය , නරුමත්වය සහ උදාසීනත්වය වැනි සංකල්පවලින් වෙන්කර හඳුනාගැනීම අවශ්‍ය වේ)

ෆෙඩ්‍රිච් නීට්ශේ ශුන්‍යවාදය පිළිබඳව සවිස්තරාත්මකව රෝග විනිශ්චයක් සැපයීය. ඔහු එය විවිධ අර්ථයන් සහිතව විවිධ ආකාරවලින් භාවිතා කරයි. ශුන්‍යවාදයේ නැගීම තවමත් අසම්පූර්ණ බවත්, එය තවමත් ජයගත නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශුන්‍යවාදය යනු..

නීට්ශේට අනුව ශුන්‍යවාදය යනු, ජීවිතය තහවුරු කිරීම මිනිසාට සීමාකරන සකල්පයකි. ඔහු තම ජීවිතයේ සැලකිය යුතු කොටසක් ගතකලේ මිනිසාට අර්ථයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීම සඳහාය. නීට්ශේගේ දර්ශණය බොහෝවිට ශුන්‍යවාදය සහ පැවැත්මවාදය යන දෙකටම සම්බන්ධ වේ. ඔහු සම්ප්‍රදායික සදාචාරය, ආගම සහ පාරභෞතික වාදය ප්‍රතික්ෂේප කල අතර ජීවිතයේ අරුත සහ අරමුණ ප්‍රශ්ණ කළේය. ඔහු පුද්ගල වගකීම, නිදහස සහ ස්වයං අභිබවා යාමද අවධාරණය කළේය.

නීට්ශේට අනුව ලෝකයේ වෛෂයික(Objective) පිළිවෙලක් හෝ ව්‍යුහයක් නැත. ඔහු තම Will to Power කෘතියේ පෙන්වාදෙන පරිදි සෑම සත්‍යයක්ම, සෑම දෙයක්ම, සත්‍යයක් ලෙස සලකන සෑම දෙයක්ම සත්‍ය ලෝකයක් නොමැති නිසා අනිවාර්‍යයෙන්ම අසත්‍යවේ. ශුන්‍යවාදය විසින් සියළු විශ්වාසයන් සහ පාරිශුද්ධ අදහස් මිත්‍යාවක රෝග ලක්ෂණ ලෙස හෙළිදරව් කරනු ඇත, යනුවෙන් ඔහු පවසයි.

ලෝකෝත්තර වටිනාකමේ සම්ප්‍රදායික මූලාශ්‍රය වන දෙවියන්, තවදුරටත් වැඳගත් නොවන බවත් දෙවියන් මියගිය බවටත් ඔහු තර්ක කළේය. නවීන විද්‍යාවේ නැගීම නිසා ක්‍රිස්තියානි විශ්වාසයන් යටපත් වූ බැවින් සත්‍ය, වටිනාකම සහ අර්ථය සඳහා මූලාශ්‍රය ලෙස ක්‍රිස්තියානි ආගමට තවදුරටත් සේවය කිරීමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

ක්‍රිස්තියානි ධර්මය ශුන්‍යවාදයේ මූලාශ්‍රයක් ලෙස..

නීට්ශේගේ සන්දර්භය තුල ක්‍රිස්තියානි ධර්මය ශුන්‍යවාදයේ මූලාශ්‍රවලින් එකකි  මන්ද එය ප්‍රජණනය, ලිංගිකත්වය, මහිමයට ඇති ආශාව සහ බලය සඳහා ඇති ආශාව වැනි ජීවිතයේ සියළුම  අත්‍යවශ්‍ය අංග අධෙර්‍යමත් කරයි. ක්‍රිස්තියානි ධර්මයේ ආචාර ධර්මය කරුණාව, දයාව  සහ අනුකම්පාව මිනිසුන් තුල දුර්වලතා ඇතිකරන අතර ඔවුන් නොසිතන සහ නිර්මාණශීලී නොවන ආකාරයෙන් ජීවත් වීමට හේතුවේ. එය යම් ආකාරයකට මූලික මිනිස් ආත්මය වාමන කරන අතර පැවැත්මවාදීන් “ අව්‍යාජ මානව පැවැත්ම” ලෙස හඳුන්වන දේ විනාශ කරයි. ක්‍රිස්තියානි ධර්මය බටහිර ලෝකයේ පැවැත්මට සහ සංස්කෘතියට එහි විභවයන් කරා ලඟාවීමට අවශ්‍ය ප්‍රතිරෝදයක් ලෙස ඔහු දුටුවේය.

නීට්ශේ ලියූ පරිදි, “අශුභවාදය” යනු, ශුන්‍යවාදයේ මූලික ආකාරයකි. නීට්ශේ සඳහා අශුභවාදය යනු, ජීවිතයේ සියළු අර්ථ විරහිතභාවය පිළිබඳ සවිඥ්ඥාණික හැඟීමකි. නීට්ශේ මූලික වශයෙන් සැලකීමත් වූයේ පැවැත්මේ ශුන්‍යවාදයටය. එය සමස්ථයක් ලෙස ජීවිතයට ආවේණික අර්ථයක් හෝ වටිනාකමක් නොමැතිබව ප්‍රකාශ කරන බැවින් එය සියළුම ආකාරයේ ශුන්‍යවාදයන් ආවරණය කරයි. නීට්ශේ ශුන්‍යවාදය මෙසේ නිර්වචනය කරයි. “ Nihilism is the radical repudiation of value, meaning and desirability(“  ශුන්‍යවාදය වනාහී වටිනාකම, අර්ථය සහ යෝග්‍යතාවය පිළිබඳ රැඩිකල් ප්‍රතික්ෂේප කිරීම වෙයි”) ශුන්‍යවාදය නොවැළැක්විය හැකි දෙයක් ලෙස ඔහු දුටුවේය.

නීට්ශේ ශුන්‍යවාදය රෝගයක් ලෙස සැලකූ අතර එය  “ව්‍යාධියක්” ලෙස හඳුන්වයි. ඔහු තර්ක කළේ අප එයින් මිදීමට උත්සාහ කලයුතු බවයි.

ශුන්‍යවාදයට ඇති කැමැත්ත.

ශුන්‍යවාදය ආරම්භ වන්නේ ලෝකයට අර්ථයක් හෝ අරමුණක් නොමැත, යන සංකල්පයෙනි. මේ අනුව පැවැත්මේ සියළු ක්‍රියාවන් දුක්,වේදනා සහ හැඟීම් අවසානයේ තේරුමක් නැති සහ හිස් බවින් පිරී පවතී. අප මිත්‍යාවන් අත් හරිනවිට ජීවිතයේ කිසිවක් නැතිබව හෙලිවේ. අර්ථ විරහිත බව(Loss of Meaning) නිෂ්ක්‍රීය ශුන්‍යවාදය ලෙස නීට්සේ නම්කරයි. මෙම නිශ්ක්‍රීය ශුන්‍යවාදය ෂෝෆෙන්හවර් ගේ අශුභවාදී දර්ශණය තුල පවතින බව නීට්ශේ පෙන්වා දෙයි. බටහිර දාර්ශණික සම්ප්‍රදාය සහ ක්‍රිස්තියානි ධර්මය අභ්‍යන්තරව ශුන්‍යවාදී යයිද ඔහු චෝදනා කරයි. බුදුදහමේ පෙන්වන පරිදි දුක් වේදනා අවම කිරීම සඳහා තන්හා සහ ආශාවෙන්ගෙන් ඉවත්වීම, “ ශුන්‍යවාදයට ඇති කැමැත්ත” ලෙස නීට්ශේ පවසයි. ලෝකයේ ඇති සියළුම වටිනාකම් ඉවත්කිරීම ශුන්‍යවාදියාගේ ලක්ෂණයකි. නීට්ශේට අනුව, සංස්කෘතියට සමෘද්ධිමත් වීමට සැබෑ පදනමක් තිබිය හැක්කේ ශුන්‍යවාදය ජයගතහොත් පමණි.

image source
https://i.pinimg.com/474x/4f/41/bc/
4f41bc47de7bd767e420a7f7f3bee4b4.jpg

ඔහු පවසන පරිදි, ප්ලේටෝගේ දර්ශණයෙන් මතුවන දුක් වේදනා ශුන්‍යවාදයට මගපාදයි. එසේම ක්‍රිස්තියානි ධර්මය මුලුමනින්ම ශුන්‍යවාදී දෘෂ්ඨියක් බව ඔහු පැවසීය. බටහිර රටවල් තුල ඒක දේවවාදී දෙවියෙකු පිළිබඳ විශ්වාසය පිරිහෙමින් තිබූ අතර නීට්ශේ දෙවියන්ගේ මරණය ප්‍රකාශ කළේය. දෙවියන්ගේ මරණය විනාශකාරී මෙන්ම විමුක්තිදායක වියහැකි බව නීට්ශේ කියයි. ඔහු “ The Gay Science” හි මෙසේ ලීවේය. “ දෙවියන් මියගොසිනි, ඔහුගේ සෙවනැල්ල පෙන්වන ගුහා තවත් වසර දහස් ගණනක් තිබිය හැකිය”. නීට්ශේට අනුව ෆැසිස්ට්වාදය, කොමියුනිස්ට්වාදය හෝ ඒකාධිපතිවාදය වැනි මතවාදයන් දෙවියන්ගේ සෙවනැල්ලවල් වේ. නීට්ශේ “සමාජවාදය” ගුප්ත ක්‍රිස්තියානි ධර්මය (Latent Christinaty) ලෙස හඳුන්වයි. අර්ථ විරහිත භාවයේ ශුන්‍යතාවය එනම් දෙවියන් නැත යන හැඟීම පිළිබඳවද නීට්ශේ කථාකල අතර එය  ඔහු “Das Nicht” ලෙස හැඳින්වීය.

අශුභවාදී දර්ශණයේ නැගීම, යුරෝපය තුල  උදාසීනතාවයට සහ පරිහාණියට හේතුවනු ඇතිබවට නීට්ශේ උපකල්පනය කළේය. නූතන මිනිසාට අවශ්‍ය වන්නේ ශුන්‍යවාදය ජයගැනීම සදහා වන ලෝක දැක්මක් බව ඔහු අවධාරණය කරයි. මිනිසාට වර්ථමාන මොහොතේ අර්ථය වර්ධනය කරගැනීමට උපකාරිවන ලෝක දැක්මක් අවශ්‍ය වේ. නීට්ශේ ශුන්‍යවාදය ජයගැනීම සඳහා උපායමාර්ග සාකච්චා කරයි. පශ්චාත් ක්‍රිස්තියානි යුගයේ ප්‍රථිපලයක් ලෙස මානව වර්ගයා නව පුද්ගලවාදී සදාචාර පද්ධතියක් නිර්මාණය කලයුතුබව ඔහු විශ්වාස කළේය.

බුදුදහම ශුන්‍යවාදයේ ආකාරයක් ලෙස.

බුදුදහම “නිශ්ක්‍රීය ශුන්‍යවාදයේ” ආකාරයක් ලෙස නීට්සේ දකියි. බුද්ධාගම මූලික වශයෙන් ජීවිතය ප්‍රථික්ශේප කරන, ශුන්‍යභාවය අරමුණු කරගත් දහමක් බව ඔහු තම On the Genealogy of Morals කෘතියේ සදහන් කරයි. බෞද්ධයා පැවැත්ම හෙලාදකින අතර එයින්  ඉවත්වීමට උත්සාහ කරයි. ඔවුන් ලෞකික පැවැත්මේ අරමුණක් නැති පාවෙන චක්‍රයෙන් නිදහස් වීමට උත්සාහ දරන අතර, යමෙකු ලෝකයට විශ්වාස වන්තව සිටියයුතු බව නීට්ශේ විශ්වාස කරයි. තාපසයා තම භූමික සැප  අත්හලේ ස්වයං ප්‍රථික්ශේප කරන සහ වැලකී සිටින ජීවිතයක් වෙනුවෙනි. තපස් පරමාදර්ශවල තේරුම වනාහී ජීවිතය සමග වෙහෙස සහ පිළිකුල සමග කටයුතු කිරීම වන අතර අනෙකුත් දුක් වේදනා වලට අර්ථයක් ලබාදෙයි. ශුන්‍යවාදය වලක්වයි. නීට්ශේ තාපස පරමාදර්ශ අවතක්සේරු නොකරයි. මන්ද ඕනෑම අර්ථයක් කිසිදු අර්ථයක් නැතිවාට වඩා හොඳය  කෙසේ වෙතත් එය “ශුන්‍යතාවයට ඇති කැමැත්ත” ජීවිතයට විරුද්ධ කැමැත්තක් වනබැවින් එය තවමත් ශුන්‍යවාදයේ ආකාරයක් බවට ඔහු නිරීක්ෂණය කරයි.

නීට්ශේ ශුන්‍යවාදය කරදරකාරී ගැටළුවක් ලෙස සලකයි. ඔහු ප්‍රකාශ කරන්නේ බටහිර චින්තනයට ශුන්‍යවාදය ආවේණික බවත්, ඒ සමගම ශුන්‍යවාදය අතීතයේ, වර්ථමානයේ සහ අනාගතයේ කොන්දේසි බවත්‍ ය. නීට්ශේට අනුව, ශුන්‍යවාදය යනු බටහිර සංස්කෘතියේ පරහානිය පිළිබඳවූ රෝග විනිශ්චයකි. ඔහු ශුන්‍යවාදය නිර්වචනය කරන්නේ ජීවිතය තේරුමක් නැති සහ අර්ථ විරහිත යැයි විශ්වාස කරමින් සියළුම ආගමික සහ සදාචාරාත්මක මූලධර්ම ප්‍රතික්ෂේප කිරීම ලෙසය.

සදාකාලික පුනරාවර්ථනය(Eternal Recurrence)

සම්ප්‍රදායික සාරධර්ම සහ විශ්වාසයන් ප්‍රතික්ශේප කිරීම සහ ජීවිතයේ අරුත සහ අරමුණු ප්‍රතික්ෂේප කිරීම තම ව්වටිනාකම් හා විශ්වාසයන් නිර්මාණය කරගැනීමට හේතුවියහැකි බවට නීට්ශේ විශ්වාස කළේය.

සදාකාලික පුනරාවර්ථනය Eternal Recurrence එය ශුන්‍යවාදයේ වඩාත් ආන්තික ස්වරූපය බව නීට්ශේ පෙන්වාදෙයි. ඔහුගේ මතය අනුව, ශුන්‍යවාදය යනු පැවැත්මේ වටිනාකම් සහ විශ්වාසයන් නිර්මාණය කිරීමට  හේතු වියහැකි බව ඔහු විශ්වාස කළේය.

Martin Heidegger(1889-1976)

හයිඩගර් කියා සිටින්නේ ශුන්‍යවාදයේ ගැටළුව සමග නීට්ශේ අපට බටහිර පාරභෞතික විද්‍යාවේ සාරය සහ එහි සාරධර්ම පද්ධතිය පෙන්වමින් සිටින බවයි. නීට්ශේට අනුව, බටහිර පාරභෞතික විද්‍යාව ලෙස හැඳින්වෙන සංකල්පීය රාමුව ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ ප්ලේටෝ විසිනි. බටහිර පාරභෞතික විද්‍යාවේ පරිණත භාවය සිදුවන්නේ නූතනත්වයේ විද්‍යාත්මක සහ දේශපාලණ විකල්පයන් ලෙසය. එමනිසා එහි නොගැලපීම් සහ වැරදි බොහොමයකි. නීට්ශේට අනුව, “ඉහලම සාරධර්ම තමන්වම අවප්‍රමාණය කරයි”. සත්‍ය සෙවීමේදී අවංක භාවය, සම්භාව්‍යභාවය සහ ධෛර්‍යය යන වටිනාකම් තවදුරටත් නිරපේක්ෂ වටිනාකමක් දරයි. සහජ අර්ථයක් නොමැති පැවැත්මක තර්කනය සංවිධානාත්මකව දෘෂ්ඨිකෝනයකින්, වටිනාකම් නිර්මාණය කරන ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බවයි.

ශුන්‍යවාදය ආකාර දෙකක් ලෙස.

නීට්ශේ ශුන්‍යවාදය වර්ග දෙකක් පිළිබඳව පවසයි. එනම් ක්‍රියාකාරී ශුන්‍යවාදය සහ නිශ්ක්‍රීය ශුන්‍යවාදයයි. නිෂ්ක්‍රිය ශුන්‍යවාදය (Passive Nihilism) තපස් පරමාදර්ශය සහ ඒ මත ගොඩනගා ඇති ක්‍රිස්තියානි සහ බෞද්ධ චින්තන පද්ධති සමග සම්බන්ධ කරයි. නීට්ශේ ශුන්‍යවාදය, නිශ්ක්‍රීය ශුන්‍යවාදය ලෙස හඳුන්වන්නේ අර්ථය සෙවීමේ අවසාන ලක්ෂය ලෙස ශුන්‍යවාදය පිලිගන්නා දර්ශණයකි. නිශ්ක්‍රීය ශුන්‍යවාදීන්ට ඔවුන්ගේ වටිනාකම් සහ අර්ථයන්හි නිර්මාතෘවරුන් වීමට ශක්තියක් නැත. නීට්ශේ සඳහා නිශ්ක්‍රීය ශුන්‍යවාදියෙකු දුර්වල කැමැත්තකින් අර්ථය නිර්මාණය කිරීමට ඇති නොහැකියාව සහ ලෝකයෙන් ඉවත්වීමේ ප්‍රවනතාවය මගින් සංලක්ෂිත වේ. අර්ථයක් නොමැතිකමට සහ දුර්වල කැමැත්තකට ප්‍රථිචාර වශයෙන්, නිශ්ක්‍රීය ශුන්‍යවාදීන් බොහෝවිට මහජන ව්‍යාපාරවලට සම්බන්ධවේ. එසේ සම්බන්ධ වන්නේ දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට ඔවුන්ගේ ජීවිතයට අරුතක් ලබාදීමේ මාර්ගයක් ලෙසටය. මෙය අනුගාමිකයින්ට තවමත් ලෝකයේ යම් අධිකාරියක් ඇතිබවට හැඟීමක් ලබාදීමකි.

ෆෙඩ්‍රිච් නීට්ෂේ ගේ දර්ශණය ගැන මට මුලින්ම අධ්‍යාපනය කිරීමට ඉඩ ලැබුනේ යුක්‍රේනයේ විනිට්සා වෛද්‍ය සරසවියේ අපහට Dialectical Materialism විෂය ඉගැන්වූ ආචාර්‍ය ස්ටෙපානොව් මගිනි. ඉන්පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රිචර්ඩ් ලේලොන්ඩ් ගෙන් නීට්ශේගේ මනෝ විද්‍යාවත්, එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය බෙරිල් ලෝගන් ගෙන් නීට්ෂේ දර්ශණයන් මා හැදෑරුවෙමි. එසේම වැඩිදුරටත් නීට්ෂේ කියවූවෙමි. මේ එම අධ්‍යයනයන් සහ කියවීම් ආශ්‍රයෙන් ලියනලද කෘතියකි.  Dr. රුවන් එම්. ජයතුංග.

Dr. Ruwan M Jayatunge M.D. PhD

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *