| |

පැරිස් කොමියුනය..!

බදුගේ සමන්.

නමුත් ලොවපුරා සමාජ අසාධාරනයට එරෙහි ,සමාජ, ආර්ථික සාධාරනත්වය වෙනුවෙන් අරගල ක‍රන්නන්ට,  වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට,සංවිධාන වලට  පැරිස් කොමුයුනය යනු අමතක කල නොහැකි සිදුවීමකි. ලොවපුරා සිටින ප්‍රගතිශීලීන්ට (progressistes) අනුව මෙම අරගලය සමාජ සාධාරනත්වය වෙනුවෙන්,යහපත් සමාජයක් ගොඩනගීම වෙනුවෙන් සිදුවුන අරගලයකි. ලෝකයේ පලමුවෙනි  සූරාකන පන්තියට එරෙහිව  වැඩකරන පන්තියෙන් පැනනගුන අරගලය වශයෙන් මෙය හැදින්විය හැක. ලොවපුරා වෙසෙන වැඩකරන ජනතාවට ඉමහත් ආශ්වාදයක් ,බලාපොරොත්තුවක්  ගෙනදුන්අරගලයකි. වර්තමානයේ පවා පැරිසියේ  la père Lachaise නැමැති සුසාන භූමියේ ඇති le mur de fédérés නැමැති ස්ථානයට (අවසන් කොමියුන්වරු ඝාතනය කල ස්ථානය) අවුරුදු පතා දහස් ගනනින් එය අනුස්මරනය කිරීම සදහා පැමිනෙති.පැරිස් කොමුයුනයට අමතර Lyon, Marseille, Toulouse, Narbonne, Saint Etienne යන නගරවලද කොමුයුන් පිහිටවූ නමුදු ඒවා පැරිස් කොමුයුනය තරම්  ප්‍රසිද්ධ වූයේ නැත.

https://flexbooks.ck12.org/flx/show/THUMB_POSTCARD/image/user%3AZXBpc2R3aEBlcGlzZC5vcmc./800px-Anonymous_-_Prise_de_la_Bastille.jpg

commune යන ප්‍රංශ වචනයේ තේරුම නගරසභා බලප්‍රදේශය යන්නය. ( ලංකාවේ   ගම්සභා,සුලු නගරසභා,නගරසභා හා මහනගරසභා  මෙන් ) commune de paris  යනු පැරිස් නගරසභා බලසීමාව යන්නයි. 1871 මාර්තු මස  පැරීසියේ නගර සීමාව ඇතුලත ඇතිවූ මෙම අරගලය පැරිස් කොමුයුනය නමින් හදුන්වනු ලැබේ. එම අරගලය සදහා   භාවිතා කරන වචනය ,පැරිස් නගර සභාව යන සාමන්‍ය තේරුමෙන් වෙන්කර  හදුනා ගැනීම සදහා  එහි මුල් අකුරු කැපිටල් වලින් ලියනු ලබේ Commune de Paris. 1871  වකවානුව වනවිට  පැරිස්නගර සභා බලප්‍රදේශය කොටුපවුරකින් වටවී තිබීඇත. එම නගර සභාව තුල එවකට ජනගහනය මිලියන දෙකකි.

කොමුයුන් ගැන කතාකිරීමේදී අපට හමුවන වැදගත් සන්විධානයක් වනුයේ   කොමුයුනයේදී විශේෂ කාර්යභාරයක් ඉටුකල  ජාතික ආරක්ෂක සිවිල් බලකායයි.(National Guard) මෙය 1789 සිදුවූ ප්‍රංශ විප්ලවයෙන්  පසු පිහිටවූ ආයතනයකි. මෙය නිත්‍ය  යුධහමුදාවට  වෙනස්වූ  රටේ කම්කරුවන්ගෙන්, ගොවීන්ගෙන් සහ අනෙකුත් වැඩකරන ජනතාවගෙන් සමන්විත හමුදාවකි.ඔවුනට නිලඇදුමක් හා සුලු වේතනයක්ද ගෙවනලදි.

පැරිස් කොමියුනය පටන්ගත්තේ ඇයි?

දසක ගනනාවක් තිස්සේ පැවති ‍යුද්ධයෙන් ජනතාව හෙම්බත්වී තිබින.යුද්දය නිසා ප්‍රංශයේ ආර්ථිකය  බින්දවැටීම හේතුවෙන් ජනතාව එදිනෙදා ජීවත්වීමටද අපහසු  තත්වයකින් පසුවිය. පාසල් යායුතු වයසේ ලමයින්ගෙන් 80% ක් පමන ඉතාමත් දුෂ්කර කොන්දේශි යටතේ විවිද රැකියාවල නිරතවිය. ජනතාව ඉතාමත් දරිද්‍රතාවයකින් පෙලින. පැරිසියේ ජනතාව කානුවන ජීවත්වන මීයන් මරාගෙන කෑමටතරම් ඔවුන් දුප්පත් වී තිබින.

1871 ජනවාරි 28 වෙනි දින ප්‍රංශය ප්‍රශියාවට යටත්වීමේ ගිවිසුමක් අත්සන් කරන ලදි. එම ගිවිසුමට අනුව ප්‍රංශයේ නගෙනහිර කොටසක් ප්‍රශියාවට ඈඳාදීමට ගිවිසුමෙන් එකගවිය. මේඅතර 1871 පබරවාරි 8 වෙනිදින  ප්‍රශියාවේ බලකිරීම මත ප්‍රංශයේ මහ මැතිවරනයක් පැවැත්වින. එයින් පැරීසිය හැර අනෙක් සියලුම ප්‍රදේශවල බලයට පත්වූයේ ගතානුගතික වාදීන්(conservatives)  හා රාජාන්ඩුවාදීන්ය( monarchy).මොවුන් සියලුම දෙනා ප්‍රංශයේ නගෙනහිර කොටස (Alsace) ප්‍රශියාවට පවරාදීමට පක්ශ වූවෝ වෙති.  නමුත්  පැරිසියේ අතිබහුතරක් බලය හිමිවූයේ ජනරජවාදීන්ටය (repulicains). පැරිසියේ ජයගත් මහජන නියෝජිතයින් අතර ලෝක ප්‍රසිද්ධ  ගත්කතුවරයෙකු  වන  (Victor Hugo) ද විය.  වික්ටර් හ්‍යුගෝ ප්‍රංශයේ අල්සාස් ප්‍රදේශය ජමනියේ (Bismarck) ට පවරා දීමට තදින්ම විරුද්ධ වූවෙකි.

Adolph Thiers

image source-https://upload.wikimedia.org/wikipedia/commons/2/2c/Picture_of_Adolphe_Thiers.jpg

  

1871 පෙබරවාරි  17 වෙනිදින ආන්ඩුවේ ප්‍රධානියා වශයෙන් Adolph Thiers නමැත්තා පත්විය. ඔහු විසින්  Bismarck   ගේ  හමුදාවට පැරිසියේ Chams Elysées  නැමති  ප්‍රසිද්ධ මාවතේ හමුදා පෙලපාලියක් යෑමට අවසර දෙන ලදි. මේඅතර ප්‍රංශ හමුදාවට යටත් වනලෙස Thiers  විසින් නියෝග කරනලදි .මෙම ක්‍රියාවට ජාතික ආරක්ෂක බලකාය තදින් විරුද්ධ විය.ඔවුන් පැරිසියේ තිබූ සියලුම කාලතුවක්කු Montmartre) නැමති පැරිසියේ උස ස්ථානයේ ආරක්ශිතව තබන ලදි. (එදා කාලතුවක්කු ගබඩා කරතිබූ ස්ථානයේ වර්ථමානයේ Sacré-Cœur  නැමති  ප්‍රංශයේ, හා විදේශ  සංචාරකයින් අතර  ප්‍රසිද්ද පල්ලිය ඉදිකරතිබේ)

ජනතා විරෝධය.

ඉන් පසු පැරිසියේ ජනතාව රජයේ හමුදාවන්  පැරිසියට ඇතුලුවීම වැලක්වීම සදහා නගරය පුරා භාදක දමා හරස්කරනලදි. Thiers ගේ ආන්ඩුව ඉතාමත් අපහසුතාවකට පත්වූයේ පැරිසියේ අතිබහුතරයක් ජනතාව ඔහුට විරෝධය දක්වූ නිසාය. මෙම අරගලය පැනනගීමත් සමග පැරිසියේ ජීවත්වූ වංශවතුන් (aristocrates), සමාජයේ ඉහලපෙලේ ධනවතුන් පැරිසිය හැරදමා පිට ප්‍රදේශ වල පදිංචියට යනලදි. මේඅනුව 150000 ක් පමන පැරීසියෙන් පලායනලදි. ප්‍රංශයේ මැතිවරනයෙන් ජයලැබූ  මන්ත්‍රීමන්ඩලය පැරිසීයේ රැස්වීමට තරමටම  තත්වය නරක වූ බවින්  Thiers විසින් එය පැරීසියේ සිට කි.මි 18 ක් පමන දුරින් පිහිටි Versailles නගරය වෙත ගෙනයනලදි.

මේඅතරතුර Thiers  ආන්ඩුවට එරෙහිව දේශපාලන, සමාජ ව්‍යාපාර සංවිධානය වීමට පටන් ගැනින. ජනරජය ආරක්ෂා කරගැනීමේ සංවිධානය ඒඅතර කැපී පෙනෙයි. මෙයට පැරිසියේ සියලුම කොට්ටාස(කොට්ටාස 20 කි.කොලඹ 1,2,3,ආදී මෙන්) නියෝජනය වනපරිදි සාමාජිකයින් ඇතුලත් වනලදි. ඊට අමතරව පැරිසිය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරය නමින් සංවිධානය ක්ද බිහිවන ලදි. මෙම ව්‍යපාරයෙහි බහුතරය පලමුවෙනි ජාත්‍යතරයේ සාමාජිකයින් වීම විශේෂයකි. පැරිසියේ සෑම කොට්ටාශයකම සතුරා ගැන සෝදිසියෙන් සිටීමට සෝදිසි කමිටු පිහිටුවනලදි.

1871 මාර්තු  26 වෙනි දින පැරිසියේ නගර සභාවට නියෝජිතයින් පත්කරන චන්දය පවත්වන ලදි. මෙයට තේරිපත්වූ සියලුමදෙනා ජනරජවාදීන්ය(republicains)ඉන් අඩක් පමන රොබෙස්පියර් මතදාරීන්, 1/3 ක් ජාත්‍යන්තර සමාජවාදීන්, අනෙක් අය blanquistes මතදාරීන් විය. මේඅතර පළමුවෙනි ජාත්‍යතරයට සම්බන්ද  ජාත්‍යන්තර වාදීන්ද නගර සභාවට තේරි පත්විය. මෙම ජාත්‍යතර වාදීන් ප්‍රමානයෙන් සුලු පිරිසක් උවද ඔවුන් පැරිස් කොමුයුනයේ ක්‍රියාකාරීම පිරිසවිය. තේරීපත් වූවන් බහුතරයක් මුලින් කී ජතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් විය. National Guard හි ප්‍රධාන අරමුන වූයේ Thiers හමුදාව පැරිසියට ඇතුල්වීම වලක්වාගනීමයි. National Guards හි මූලික සටන් පාඨ අතර ප්‍රංශ ජනරජයක්, ලෝකජනරජයක්, සනතාවනි සන්නද්ධ වෙනු,වහල්භාවයට එහෙහිව සටන් වදිමු, නිදහස් මිනිසෙක්, නිදහස් රටක්, ආදිය විය.

පැරිස් කොමියුනයේ දායකත්වය.

මෙම පැරිස් කොමුයුනයට සහභාගි වූවන් අතර විදේශීය ජාත්‍යන්තරවාදීන්ගේ සභාගිත්වය කපීපෙනෙයි. මොවුන් බොහෝඅය පලමුවෙනි ජාත්‍යන්තරයේ සාමාජිකයින්ය. ඔවුන් ඉතාලි, පෝලන්ත, ඇල්ජීරියානු, එංගලන්ත, ලතින් ඇමරිකානු ,ස්පාඤ්ඤා ජාතිකයින් වින. ඔවුන් අතර  ඉතාලි ජාතික  Garibaldi ඉතා ප්‍රසිද්ධ  චරිතයක් විය. ඔහු Bismarck  ගේ ජර්මනියට එරෙහිව අරගල කිරීම හේතුවෙන් ප්‍රංශ රාජාන්ඩුවාදීන්ගේ වෛරයට ලක්වූවෙකි. ඔහු පැරිස් කොමුයුනයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. ඊට අමතරව රුසියානු ජාතික  Michail Bakounine නමැත්තා  Lyon හි ජනතා නැගිටීමට සක්‍රීයව දායකවූවකි. මොහු එවකට ලොවපුරා පැවති අනාකිස්ම්  (anarchisme) නැමැති දේශපාලන දාරාවේ කැපීපෙනෙන පුද්ගලයෙකි.(ඔවුන් සමාජයේ  ඉහල සිට පහලට පුරවැසියන් පාලනය කිරීමට ඇති නිලධාරි නොහොත් අධිකාරී ව්‍යුහය ( political, social  autority)  ප්‍රතික්ශේප කරයි.)ඔවුනට අනුව සෑම පුරවැසියෙකුම සමාන අයිතිවාසිකම් ලැබ ස්වය්ංව පාලනය වියයුතුයි. 

මෙම පැරිස් කොමුයුනයට කාන්තාවන්ගේ  මදිහත් වීමත් කැපීපෙනෙයි. ප්‍රංශ හමුදාව මොන්මාර්ත්ත්‍ර වල තිබූ කාලතුවක්කු ඉවත්කිරීමේදී එයට ප්‍රථමයෙන්ම විරෝධය දකිවූයේ ඒ අවට සිටි කාන්තාවන්ය.ඒ වකවානුව වනවිට කාන්තාවන්ට චන්ද අයිතිය තිබීනැත. එම නිසා කාන්තාවන් එම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිර්‍රිමද  මෙහි කැපීපෙනුනි. රජයේ හමුදාවන්ට එරෙහිව පසුව ඇතිවූ අරගල වලදී තුවාල ලබුවන් සුවපත් කිරීමේ වගකීම පැවරී තිබුනේ කාන්තවන්ටය. ඊට අමතරව පොදු අවන්හල්වල කෑමබීම පිලියෙල කිරීමත් ඔවුන් අතින් සිදුවිය. පැරිසිය පුරාම පවරාගත් පල්ලි වල කාන්තාවන් නොයෙක්   මාතෘකා   ගැන වැඩමුලු,වාද විවාද ,සම්මන්ත්‍රන පවත්වමින් ජනතාව දැනුවත්   කරනලදි. ඔවුන්ගේ ප්‍රධාන මාතෘකා අතර සමානාත්මතාවය, වර්න භේදවාදයට විරෝධය, අධිරාජ්‍ය විරෝධය, ලමා සුරක්ශිත භාවය, ආගම රාජ්‍ය කයුතුවලින් වෙන්කිරීම, අදිය විය

  

Louise Michel

මෙම කාන්තාවන් අතර විශාල කාර්ය භාරයක් කල කාන්තාවක් වනුයේ ප්‍රංශ ඉතිහාසයේ හා සාහිත්‍යයේ විශේෂ නමක් දරා සිටින Louise  Michel  ය. වෘත්තියෙන් ගුරුවරියලක්ව සිටි ඇය anarchisme  නැමති දේශපාලන ධාරාවේ ක්‍රියාකාරිනියක් විය. ඇය විප්ලවවාදීන්ගේ සන්සදය( Club de révolution ) නමින්  පල්ලියක පවත්වාගෙන ගිය   වැඩමුලු වලට විශාල ජනසහභාගිත්වයක් ලැබින. කොමුයුනයට රාජ්‍ය මර්දධනය දියත් වූවිටThiers ගේ හමුදාවට විරුද්දව  සටන් පෙරමුනේ ඉදිරියෙන්ම සිටි කාන්තාවකි.

ඇය new Caledonia  දූපතෙහි පිටුවහල් කර  සිටියදී ඇය විසින් රචිත පොත්පත් විශාල ප්‍රමානයකි. ඒවා අදටත් ප්‍රංශ සාහිත්‍යයේ හා ඉතිහාසයේ  වැදගත්ක සම්භාව්‍ය  කෘති  ලෙස සැලකේ.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSGqJIUrQu-4Lsz-spe06necSuZ9a1hq6DJqg&s

නමුත් කාන්තවන්ගේ මැදිහත්වීම, පැරිස් කොමුයුනයට ඔවුන් සැපයූ දායකත්වය එවක සිටි පාලකයින් අවතක්සේරු කරනලදි. Versailles  වරු නමින් එවකට හැදින් වූ තෙරී ගේ ආන්ඩුව හා ඔවුන්ගේ පාක්ශිකයින් මෙම සටන්කාමී කාන්තාවන් හැදින්වූයේ ගිනිතබන්නන් (pétroleuse)  වශයෙනි. එයට හේතුව වූයේ හමුදාව පැරිසියට ඇතුලුවීම වැලැක්වීමට කොමුයුන් වරුන් භාවිතකල  එක් උපාය මාර්ගයක් වූ පැරිසියේ විශාල ගොඩනැගිලි ගිනිතැබීමට විශාල වශයෙන් කාන්තාවන් සහභාගිවීම නිසයි.

සාහිත්‍ය හා කළාවේ මැදිහත්වීම.

පැරිස් කොමුයුනයට විශේෂ දායකත්වයක් සැපයූ තවත් පිරිසක් වනුයේ කලා හා සහිත්‍ය කටයුතු වල නිරතවී සිටි අයයි. ඔවුන් අතර  දක්ශ චිත්‍ර ශිල්පීන්,ප්‍රථිමාන හා කැටයම් ශිල්පීන්,සන්ගීතඥින්, විශාලපිරිසක් විය. කලාව ජනතාව ප්‍රබුද්ධමත් කිරීම සදහා,ජනතාවට සහෝදරත්වය හා සමානත්මතාවයේ පනිවිඩය ගෙනයාම සදහා භාවිතකිරීමට කොමුයුන්වරුන් විශේෂ අවධානයක්  යොමුකරන ලදි.ඒ සදහා කලාකරුවන්ගේ සන්සදයක් ආරම්බකර ඔවුනට එයට අවශ්‍ය පහසුකම් සපයන ලදි . ”කලාව මහජනතාව සදහා” යන්න ඔවුන්ගේ තේමා පාඨය විය. මෙම කාලය තුල වෘත්තිය  කාර්මික කලා ආයතනය නමින් අඩ්‍යාපන ආයතනයක් ද පිහිටුවන ලදි. එම ආයතනය මගින් චිත්‍ර, කැටයම් කලාව, ප්‍රතිමා නිර්මාන, සංගීතය, නාට්‍යකලාව වැනි විෂයන් උගන්වන ලදි. සියලුම  සංස්කෘතික,කලාකටයුතු වල නියලෙන අයගෙන් සැදුම් ලත් කලාකරුවන්ගේ සන්සදයක්ද (federation of artists)  ඇතිකරන ලදි. මෙම  සංගමයට  නිලධාරීන් පත්කරන ලද්දේ කලාකරුවන්ගේ චන්දයෙනි. තේරී පත්වන නියෝජිතයාගේ දූර කාලය අවුරුද්දකි. මෙහි ඇති විශේෂත්වය නම් එම නියෝජිතයින් ඕනෑම වෙලාවක නැවත කැදවීමට කලාකරුවන්ගේ මහා සභාවට බලය තිබීමයි.පැරිසියේ ඇති සියලුම කලා හා  සංස්කෘතික    ආයතන (සිනමා ශාලා,කෞතුකාගාර,නාට්‍ය ශාලා,ප්‍රදර්ශන ශාලා  සංගීත ආයතන ආදිය) පාලනය කරනු ලබුයේ මෙම සන්විධානය මගිනි. මෙයට කලින් මෙවා පාලනය කලේ බොනපාට්ගේ පුතෙකු විසිනි. සියලූම පුරවැසියන්ට මෙයට අදහස් යෝජනා ඉදිරිපත්කිරීමට හැකියාවද තිබින. කලාකරුවන්ට තම නිර්මාන කිරිමට අවශ්‍ය නිදහස ලැබින.

එවකට පැරිසියේ නගරසභාවේ මහජන නියෝජිතයින් ගනන 81 කි. ඉන් 9 දෙනෙකුම මෙම කලා සන්සදයේ සමාජිකයින් විය. කලාව විශේෂයෙන්  සංගීතය සාක්ෂරතාවය අඩුමට්ටමක සිටි ජනතාවට අධ්‍යාපනය හා කොමුයුනයේ පනිවිඩය ගෙනයාමට කදිම මෙවලමක් විය. පැරිසියේ  tulleries නැමති උද්‍යානයේ දිනපතා  සංගීතය ප්‍රසන්ග පවත්වනලදි. එකල රචිත’’ Temps de cerises’’  නැමති ගීතය ප්‍රංශයේ අදටත් ජනප්‍රිය සම්භාව්‍ය ගීතයකි. අවසන් සටනේදී ප්‍රංශ හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කොමුයුන් වරයෙකු වූ Eugène POTIER  ලියනලද’’ L’Internationale’’ නැමති ගීතය අද මුලු ලෝකය පුරාම සටන්කරන ,අරගලකරන ජනයාගේ ගීතය  බවට පත්වී ඇත. ප්‍රංශයේ මැයිදින පෙලපාලි අවසන් කරන්නේ මෙම ගීතය ගායනා කිරීමෙන්ය. 1980 මුල් වකවානුවේ ජ.වි.පෙ. විසින් පවත්වාගෙනගිය විමුක්ති ගී ප්‍රසන්ගයේ අවසන් ගීතයවූ” නිර්ධනීන් සවනට රැව්දෙන්නේ”  නැමති ගීතය ඔහු රචනාකල එම ගීතයේ  සිංහල අනුවාදය‍යි.

පැරිස් කොමුයුනය පැවති දින 72 ඇතුලත ඔවුන් කල දේවල් හා කිරීමට සැලසුම් කරසිටි දේවල් වලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට සමාජ සාධාරනත්වය, සමානත්වය ,නිදහස සහිත සමාජයක් ගොඩනගීමට ඔවුන් දැරූ වෙහෙසයි. ඒ වගේම බොනපාට් වරුන්ගේ පාලනයට තිබූ දැඩි විරෝධයයි. අධිරාජ්‍යවාදයේ සන්කේතයක් වශයෙන් තිබූ  පලමුවෙනි නැපෝලියන් බොනපාට් නැමති ප්‍රංශ අධිරාජ්‍යා වෙනුවෙන් පැරිසියේ ඉදිකර තිබූ ස්මාරක කුලුන, 1871 මැයි 16 දින, කඩා බිම හෙලනු ලැබුයේ  20,000 පමන ජනතාවගේ ඔල්වරසන් හඩ මද්‍යයේය.

කොමියුනයට මර්ධනය කැඳවූ හැටි.

https://spectrejournal.com/wp-content/uploads/2021/05/Maximilien_Luce_-A_Street_in_Paris_in_May_1871-_Google_Art_Project-scaled.jpeg

මෙසේ පැරිස් කොමුයුනය සංවිධානය වෙමින් තිබූ අතර Thiers ගේ ආන්ඩුව ඉතා වේගයෙන් එයට එරෙහි මර්ධනය සලසුම් කරන්නට විය.ඒ සදහා එතෙක් ඉතාමත් දුර්වල තත්වයක තිබූ රජයේ නිල හමුදාව ශක්තිමත් කලයුතුව තිබින. පැරිස් කොමුයුනය මර්ධනය කිරීමට  Bismarck  ගේ සහාය  Adolphe Thiers  ගේ ආන්ඩුවට නොඅඩුව ලැබින. ඔවුන් දෙදෙනාගේ එකගතාවයකට අනුව ජර්මනියේ යුධ සිරකරුවන් වශයෙන් සිටි ප්‍රංශ හමුදාවේ  30000 ක් පමන සෙබලුන් නිදහස් නිදහස් කරනලදි.මෙම සෙබලුන් නැවත ප්‍රංශ හමුදාවට බදවාගන්නා ලදි.

රාජ්‍ය හමුදාවේ ඔත්තු සේවය  වැඩිදියුනු කර පැරිසියට විශාල ඔත්තුකරුවන්  පිරිසක්  යොදවා  පැරිස් කොමුයුනයේ ක්‍රියාකාරින් පිලිබදව තොරතුරු රැස්කිරීමට පටන් ගන්නාලදි.

ඊට සමගාමීව හමුදා සෙබලුන්තුල පැරිස් කොමුයුන් වරු පිලිබදව වැරදි චිත්ත්‍රයක් ඇතිකිරීමට කටයුතු කරනලදි. ඒ සදහා Thiers ගෙ ආන්ඩුව යොදාගත්තේ දේශප්‍රේමයයි. අත්පත්‍රිකා හමුදා බරැක්ක තුල බෙදා හරිමින් Thiers ගේ රාජ්‍ය නිලදාරීන් කියාසිටියේ  පැරිස්  කොමුයුන්වරු යනු  කඩාකප්පල් කාරී , Bismarck  විසින් මෙහෙයවන කන්ඩායමක් බවත් ඔවුන්ගේ අරමුන ප්‍රංශය දුර්වලකර ජර්මිනියට පවාදීම බවත්ය.(සියලුම අධිරාජ්‍යවාදී ආයතන, රටවල් සමග එම රටවලට අවශ්‍ය පරිදි කටයුතු කරන අතර තමරටේ ජනතාවට දේශප්‍රේමය දෙසාබාන ලංකාවේ  පාලකයෝ වගේම)

අවසාන මහා සටන පැරිසියේ Père Lachaise නැමති සුසාන භූමියේදී කෙලවර වන්නේ හමුදාව විසින් එහි තාප්පයට තබා  කොමුයුන් වරු  2000 ක්  පමන ඝාතනය කිරීමෙනි. මුලින් කී පරිදි mur de fédérés නැමති මෙම ස්ථානය තවමත් ලොවපුරා අලුත් ලොවක් වෙනුවෙන් අරගල කරන්නවුන්ගේ ගරුබුහුමන් වලට ලක් වූ  ස්ථානයකි.

mur de fédérés

ඉන් අනතුරුව 36300 ක් පමන අත් අඩන්ගුවට ගන්නාලදි. ඔවුන් අතරින් 4727  දෙනෙකු සිරගත කරන අතර 4586 දෙනෙකු කැලිඩෝනියාවට පිටුවහල් කරන ලදි. ඒ අය අතර සිටි මුලින් සදහන් කෙරුන ලුවීස් මිෂෙල් ප්‍රංශ ඉතිහාසයේ වදගත්  චරිතයකි. පිටුවහල් වූවන්ට සමාව  ලැබ නැවත ප්‍රංශයට පැමිනීමට හැකිවන්නේ 1880 වසරේ දීය. 2016 වසරේදී ප්‍රංශ නියෝජිත මංත්‍රීමන්ඩල යෝජනාවකින් සම්මත කර, කොමුයුන් වරු සංකේතාත්මකව සියලුම චෝදනා වලින් නිදොස්කොට නිවරදි කරුවන් බවට  පත්කරන ලදි. 

මෙම අරගලය  පරාජයෙන් කෙලවර වූයේ ඇයි?

මේ ගැන ඉතාමත් සෝදිසියෙන් සිටි, කාල් මාක්ස්ට අනුව අරගලය අසාර්ථක වූයේ කොමුයුන් වරු තම සතුරාට (Thiers නායකත්වය දැරූ ආන්ඩුව හා හමුදාව) ඔවුන් ඉතාමත් දුර්වලව සිටි අවස්තාවේ පහර නොදීමයි. සතුරාට ශක්තිමත් වීමට ඉඩහැරීම නොකලයුතුව තිබින. එයට අමතරව කොමුයුන්වරු, රාජ්‍ය මර්ධන යන්ත්‍රය පිලිබද ආවධානය යොමුනොකිරීම ද සතුරාගේ ජයග්‍රහනයට හේතුවිය. Lyon, Marseille, Toulouse, Narbonne, Saint Etienne, ආදී  අනෙකුත් නගරවල පැවති කොමුයුන් සමග ඒකාබද්දතාවයක් (coordination) නොතිබීමද පරාජයට හේතුවකි. එසේ ඒකාබද්දතාවයක් තිබිනි නම් Thiers හමුදාවට තම සම්පූර්ණ හමුදා බලය පැරිසියට යෙදවීමට නොහැකිවනවා ඇත. මක්නිසාද යත්  හමුදාවේ කොටස්  එම ප්‍රදේශ වලටද යැවීමට සිදුවන බැවිනි.

මෙම අරගලය පරාජයෙන් කෙලවර වූ නමුදු එය ලොවපුරා වෙසෙන සටන්කාමීන්ට මහත්  ආකර්ශනයක් ගෙනදුන් සිද්දියක් විය. දින 72 ක් පමන ඉතා කෙටි කාලයක් පැවති මෙම පැරිස් කොමියුනය යනු සමානාත්මතාවය සහිත  නිදහස් සමාජයක්,අලුත් ලොවක් නිර්මානය කිරීමට තැනූ වැඩබිමක්(Workshop)  විය. සතුරා දුර්වල අවස්ථාවේදී ඔවුනට පහරදී බලය ලබාගනීමට  1917 දී ලෙනින්  නොපැකිලෙන්නේ පැරිස් කොමුයුනයෙන් ඉගෙනගත් පාඩම් නිසා වියහැක. වර්ථමානයේ පවා ප්‍රංශයේ සටන් කරන ජනතාව, අවුරුදු 150 ට පෙර පැනනැගුන මෙම අරගලයේදී   ක්‍රියාත්මක කල සමහර සංකල්ප තම සටන් පාඨකරගෙන ඇත. උදා: පසුගිය කාලයේ ප්‍රංශයේ කහකබා කරුවන්ගේ අරගලයේදී ,ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා නියෝජිතයින් ඕනෑම අවස්තාවක නැවත කැදවීමට ඇති බලය ස්ථාපිත කලයුතුය යන ඔවුනගේ සටන් පාඨ ගතහැක.

සමන් බදුගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *