දේශපාලණ සාක්ෂරතාවයේ දිලිඳුභාවය..!

පළමුවන ප්‍රශ්නය, පාසැල් සිසුන් දේශපාලනය කිරීම ගැන කියන්නෙ කුමක්ද? පාසැල් සිසුන්ට දේශපාලනය සුදුසු නැහැ. ඔවුන් ඉගෙනීම පමනක් කළයුතුයි. ඔව්, ඔබගේ දෙවන ප්‍රශ්නය, විශ්ව විද්‍යාලවල සිසුන්ට දේශපාලනය සුදුසුද? ඒ අයත් ඉගෙනීම කරණ අය, එයාලටත් නුසුදුසුයි. තුන්වන ප්‍රශ්නය, ගුරුවරුන්ට දේශපාලනය සුදුසුද? ගුරුවරු ඉන්නේ උගන්වන්න, එයාලට දේශපාලනය කොහෙත්ම සුදුසු නැහැ. හතරවෙනි ප්‍රශ්නය, එතකොට වෛද්‍යවරුන්ට දේශපාලනය සුදුසුද?, කිසිසේත්ම සුදුසු නොවේ. පස්වෙනි ප්‍රශ්නය , භික්ෂූන් වහන්සේලාට දේශපාලනය සුදුසුද? උන්වහ්සේලාටනම් ගැලපෙන්නේම නෑ හයවැනි ප්‍රශ්නය, එතකොට කාන්තාවන්ට දේශපාලනය සුදුසුද? ගැලපෙන්නේම නෑ, කොහෙත්ම සුදුසු නෑ. හත්වෙනි ප්‍රශ්නය, මහළු අයට දේශපාලනය සුදුසුද? එයාලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනේ, සුදුසු නෑ. අටවෙනි ප්‍රශ්නය, නොයෙකුත් ආයතනවල වැඩකරන සේවකයන්ට දේශපාලනය සුදුසුද? සුදුසු නෑ. නවවැනි ප්‍රශ්ණය, ගොවීන්ට දේශපාලනය සුදුසුද? එයාලට ඕවා තේරෙන්නේ නෑ, ඒනිසා සුදුසු නෑ. දසවෙනි ප්‍රශ්නය, නීතිවේදීන්ට දේශපාලනය සුදුසුද? නෑ, නෑ කොහෙත්ම සුදුසු නෑ. එයාලාට පැති ගන්න බෑ. හරි, දැන් ඔබට ලැබෙන කඩඉම් ප්‍රශ්ණය? දේශපාලනය කිරීම සුදුසු කුමන අයටද? මේකටනම් උත්තර දෙන්න ඉතාම අපහසුයි. මම ආස්ක්-ද-ඔඩියන්ස් අවස්ථාවට යනවා. හොඳයි ඔඩියන්ස් එක ලෑස්ති වෙන්න උත්තරයක් හොයලා දෙන්න.

දේශපාලනය කිරීම පිළිබඳව බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ ප්‍රකාශ කර ඇත්තේය. “ඉතාමත් නරක නුගත්කම තමයි දේශපාලන නුගත්කම. ඔහු සමාජයේ කිසිවක් දකින්නේ නැත. ඔහුට සමාජයේ කිසිවක් ඇසෙන්නේද නැත .ඔහු දේශපාලනයට කිසිදු සහභාගීත්වයක් දක්වන්නේ නැත. ජීවන වියදම හාල්, පිටි මිල තීරණය වන්නේ දේශපාලනික තීන්දු මත බව ඔහුට කිසිදු අදහසක් නැත. දූශිතයන්, සොරුන්, අනාත දරුවන් මෙන්ම ගණිකාවන් බිහිවීමට තමන් දේශපාලනයට සහභාගී නොවීම හේතුවක් වන බව මේ මන්ද බුද්ධිකයා නොදනී .” දේශපාලනය යන්නෙහි අරුතත් මෙන්ම දේශපාලනයට සහභාගී වීමේ වැදගත්කමද මෙයින් මොනවට පැහැදිලිවේ. දේශපාලනයට සියල්ලම අයත්වන්නේමය. ආහාර, නිවාස, අධ්‍යාපනය, රැකියා, කෘෂිකර්මය, කර්මාන්ත, මහා මාර්ග , වරාය වල්, යනාදිය ද, මහපොළොව, සාගරය, අහස, වනාන්තර, ආදියද මිනිසා ඇතුළු සියලුම සතුන් ද, පාලනය කිරීම දේශපාලනයට අයත් වන්නේමය. එබැවින් අනෙක් සියළුම දේවල් මේතුල අඩංගු වන්නේමය. එම නිසාම සියළුම දේවල් වලටම උඩින්ම දේශපාලනය තිබෙන්නේමය. එබැවින් සියළුම දෙනාගේම යූතුකමක් මෙන්ම අයිතිවාසිකමක් ලෙස දේශපාලනය කිරීම, දේශපාලණයට සහභාගිවීම, එය හැදෑරීම දැක්විය හැක්කේමය. මෙය සමාජයේ සියලුම ජනතාවගේ සහභාගිත්වය ඇතුව කලයුතු දෙයක් වන්නේමය. දේශපාලනය කිරීම, හැදෑරීම සහ සහභාගිවීම සමාජයේ සියලුම දෙනාගේම, යුතුකමක්, වගකීමක් මෙන්ම අයිතියක්ද වන්නේමය.

දේශපාලනය තුළ ඇත්තේ බලයකි. එම බලයේ නිමැවුම් කරුවෝ වගේම අයිතිකරුවෝ වන්නේද ජනතාවමය. මෙම බලය උත්තරීතරය. එය දෙවියන් විසින් ජනතාවට ලබාදුන් දායාදයක් ලෙස පිළගැනීමට ලක්වීමක්ද තිබුණි. එයට කළ නොහැක්කක් නොමැත. ගැහණියෙක් පිරිමියෙකු කිරීමත්, පිරිමියෙකු ගහැනියෙකු කිරීමත් හැර වෙනත් ඕනෑම දෙයක් එයට කළහැකි බව කිව්වේ හිටපු ජනාධිපතිවරයෙකු වූ J.R. ජයවර්ධන මහතාය. ජනාධිපතිවරයාට වඩා අඩුවුවද, ජනතාවට වඩා අති විශාල වූ බලයක් ඇමති වරුන්ටත්, මන්ත්‍රී වරුන්ටත් ඇත්තේමය. මෙහිදී සියල්ලටම උඩින්ම ජනාධිපතිගේ බල මහිමය පිහිටා ඇතිබවනම් සැබෑමය. එය තනතුරටම ආවේනිකවූ බලයක් මිස පුද්ගලයාට ආවේනිකවූ බලයක් නොවන්නේමය. බලය බලයමය. එය හුවමාරුවකින්ම මිස වෙනත් කිසිවකින් විනාශ කිරීමක්නම් කළ නොහැක්කේමය. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කථාවේ සව්රෝන්ගේ මුද්දේ බලයක් ඇත. ඒ ඔහු යටතේ ඇති අනෙකුත් පාලකයන්ගේ මුදු වලට වඩා අතිවිශාලවූ බලයෙකි. අනෙකුත් පාලකයන් සියල්ලම පාලනය කිරීමට සව්රෝන්ගේ මුද්දට බලයක් ඇත. මෙම බලය ඇත්තේ සව්රෝන්ට නොව ඔහුගේ මුද්දටයි. මුද්ද වෙන කෙනෙකුට ගියොත් බලයද ඔහුට යන්නේය. සව්රෝන්ගේ මුද්දේ ඇත්තේ බලයයි. හැරී පොටර්ගේ යශ්ටියේ ඇත්තේද බලයයි. ගොපලු යකාගේ කෙවිටේ ඇත්තේද බලයයි. එසේම ජනාධිපතිකමේද , ඇමතිකමේද ,මන්ත්‍රීකමේද, ඇත්තේ බලයයි. එයනම් ජනතාව වෙනුවෙන් ජනතාව ලබා දුන් බලයයි. ජනතා අවශ්‍ය තාවයන් ඉටුකෙරීමෙහිලා ලබාදුන් බලයයි. මහජනතාව සතු මහා බලය ඔවුන් වෙනුවෙන් නියෝජනය කිරීමට එය දේශපාලකයන්ට ලබාදී ඇත්තේය. බලය නම් බලයමය. එය ඔවුන්ගේ ඇදුම් පැළදුම් අනුව හෝ යාන වාහන අනුව හෝ කෑම බීම අනුව හෝ වෙනස් වන්නේ නම් නැත්තේමය. ටයි කෝට් ඇන්දත් රෙද්ද බැනියම ඇන්දත් බලයේ කිසිදු වෙනසක් නම් සිදුනොවන්නේමය. බයිසිකලයෙන් ගියත් සැප වාහනයක ගියත් බලයේ වෙනසක් සිදු නොවන්නේමය. කෙසෙල් කොළයේ බත් කෑවත් තරුපහේ හෝටලයක බත් කෑවත් බලයේ වෙනසක් සිදු නොවන්නේමය.

දේශපාලන බලය හොබවන බල අධිකාරියත් මහ ජනතාවත් අතර විශාල වූ පරතරයක් ඇත්තේමය. එයනම් දේශපාලක බල අධිකාරිය දේශපාලන දැනුමෙන් ඉතාම පොහොසත් වීමත් මහා ජනතාව දේශපාලන දැනුමෙන් ඉතාම දුප්පත් වීමත්ය. මෙයනම් වැදගත්ම කාරණයයි. මේ පරතරය සමාන කරගත යුතුමය. ජනතාවගේ දේශපාලන දැනුමේ දුගීභාවය අහෝසි කරගත යුතුමය. පොහොසත් මනසක් සහිත ජනතාවක් ඇතිකරගත යුතුමය. මේ සඳහා මනසේ පැලපදියම්වී ඇති ගතිකානු ගතිකයන් ඉවතට දමා නව ඉසව්වක් වෙතට යාමට බුද්ධිය ගොඩනගා ගත යුතුමය. පැරණි ස්වරූපය වෙනුවට නව ස්වරූපයක් ඇතිකර ගත යුතුමය. “සිය පැරණි ස්වරූපය අභාවයට නොයවන්නේ නම් , කිසිදු ක්ෂේත්‍රයක වර්ධනයක් ඇතිවිය නොහැක” යැයි කාල් මාක්ස් ප්‍රකාශ කළේය. නව ස්වරූපයක් කරා පියවර තැබීමට ජනතාවගේ දේශපාලන දුගීභාවය මුලිනුපුටා දමා එය උසස් මට්ටමක් කරාගෙන ආ යුතුමය. මෙහිදී පුවත්පත් , රූපවාහිනී, රේඩියෝ, චිත්‍රපට, සංගීතය, රංග කලාව ඇතුළු සියලුම මාධ්‍යයන්ගේ නිවැරදි මගපෙන්වීම හා නිවැරදි දිශාවකට අධ්‍යාපනයේ මගපෙන්වීම ඉතාම වැදගත් වන්නේමය. අධ්‍යාපනය පාසැල් මට්ටමෙන් ඔබ්බට ලබාගත යුතුමය. “අධ්‍යාපනය කියන්නේ මං පාසැලේදී ඉගෙන ගත්තු සියල්ල අමතක කලාට පස්සෙ මගේ ළඟ ඉතුරුවෙන දේ” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේය. ජනතාව අධ්‍යාපනයෙන් දියුණුවක් ලබාගැනීම වෙනුවට ඇබ්බැහිවීම් ඔස්සේ දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ ගමන්කර ඇතේමය.

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *