අමරණීය සින්දු ගස ප්‍රියා සූරියසේන


“මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා…
ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා…”


අපගේ මිතුරන් අතරේ කියන එක්තරා කථාවක් තිබුණි. එහි ඇත්ත නැත්ත මම හරිහැටි නොදනිමි. මට මේ මොහොතේ ඒකත් මතක් වුණි. එහි කතානායකයා වන්නේ ප්‍රියා සූරියසේණය. එම කථාවට අනුව ආධුණික ප්‍රියා සූරියසේන ගීතයක් සාදා ගැනීමට ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්ති හමුවන්නේය. ප්‍රේමකීර්ති ඔහුට හෙට දිනයේ පැමිණෙන ලෙස කියා සිටින්නේය. හෙට දිනයේ ප්‍රියා ගල් බෝතලයක් ද රැගෙන ප්‍රේමකීර්ති හමුවන්නේය. බෝතලය පසෙකින් තබා කොලයක් අතට ගන්නා ප්‍රේමකීර්ති එහි යමක් ලියා ප්‍රියා අතට දී හෙටද නැවත මෙලෙසම පැමිණෙන ලෙස කියා සිටියේය. ආපසු එන ගමනේදී ප්‍රියා කොළය දිගහැර බැලුවේය. එහි ලියා තිබුණේ,
“හෙට දවසේ අපදෙදෙනා
අද වාගෙම හමු විය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ”.
යනුවෙනි. එයට අනුව පසුවදා ප්‍රියා සූරියසේන නැවතත් ගල් බෝතලයක් රැගෙන ප්‍රේමකීර්ති හමුවුනේය. ගීතයේ ඉතිරි කොටස එදා ලිව්වේය.
“කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා ලැබූ ඔබෙ ආදරයයි
මගෙ ජීවිත යම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි”

කලාව කලාව උදෙසාය. කලාව මිනිසා උදෙසාය, මේ මතයන් දෙකම පිළිබඳව කතිකාවක් තිබුණේය. පැහැදිලිව පෙනෙන දේනම් මිනිස් සමාජයේ අවශ්‍යථාවයට අනුව සමාජය විසින්ම බිහිකරන කලාව මිනිස් සමාජය උදෙසාම සේවය කරන්නේමය. මිනිසාගේ මානසික සංවර්ධනය වඩාත් ඉහළ මට්ටමක් දක්වා ගෙනයාමත් එමගින් සමාජ සංවර්ධනය ඇතිකිරීමත් කලාව මගින් ඉටුකරන්නේය . කලා කරුවෙකුගේ සමාජ යුතුකම වන්නේ කලාව යොදාගෙන මෙය ඉටුකිරීමය. සමාජයේ මිනිසුන් පිනවීම මගින් ඔවුන් ගේ සිත් සතන් වඩාත් ඉහළ වූ තැනකට ඔසවා තැබීම හෝ එසේ වීමට අවශ්‍ය කරණ මානසික සංවර්ධනය ඇතිකිරීම සැබෑ කලාකරුවෙකුගේ යුතුකම වන්නේය. ප්‍රියා සූරියසේන නම් වූ මේ කලාකරුවා තම සමාජ යුතුකම උපරීමයෙන්ම ඉටුකරන ලද්දේමය. මුළුමහත් රසික රසිකාවියන් දුක් සුසුම් හෙලන්නේ ඒ නිසාමය.ඔවුන්ගේ හදවත් වැලපෙන්නේත් ඒ නිසාමය.
එහෙත් ඔබ නිසලය. ඔබ මුහුද ද ඔබ වෙරළද කෙසේවෙතත් මුළු මුහුදම ඔබ වෙනුවෙන් හඩන්නේය. එහෙත් ඔබ නිසලය.
“මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයි..
මම මුහුදයි ඔබවෙරලයි
යළි සිතෙයි..”

භාෂාවේ වචන වඩාත් ප්‍රබලවන්නේ ඒවා පදවැල් ලෙස ගලපාගත් විටදීය. ඒවා ඊටත් වඩා ප්‍රබලවන්නේ මධුර ස්වරයෙන් ගායනා කරනවිටදීය. බහුතරයක් වූ ජනී ජනයාට තේරෙන භාෂාවෙන් ගායනා කරනවිට දී මේ සියල්ලටම වඩා උසස් මට්ටමකට පත්වන්නේමය.
ප්‍රියා සූරියසේන මේ සියල්ලම අතික්‍රම්ණය කළේය. හුදී ජනයාගේ සිත් සතන් සනසවූයේ ඉතා සරල මට්ටමක සිට ඔවුන්ට තේරෙන භාෂා විලාසයක් භාවිතා කරමින්ය. ජනතා හදවත් තුළ ඔහුගේ පදවැල් අති දක්ශයන් අතින් ඔහුට පදරචනා ලියවී ඇත්තේ ඒනිසාමය. සරල සුමට භාෂාවක් යොදාගත් ගැඹුරුතම සත්‍යයන් ඔවුන් ගෙනහැර පෑවේය.
“ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විස ඇති බබර තුඩේ..
උදා එළිය පුබුදා සියනෙත්
පිපිදෙයි නෙළුම් මඩේ..
පිපෙන පිපෙන මල් නෙළුවත්
ගස මල පූපුදන වා..”
ගීතය කෙතරම් වූ ප්‍රබලතාවයක් තිබේද යන්න තීරණය වන්නේ එය විසින් මිනිස් සිත් සතන් වෙනස්කරන විටදීය. මිනිස් සිත් සතන් වඩාත් උසස් වූ තැන් වලට ඔසවා තබන විටදීය. අයහපත් දේවල් ඉවත්කිරීමට මග පෙන්වන විටදීය. යහපත් දේවල් එකතුකිරීමට මග පෙන්වනවිටදීය. යහපත් වූ බැල්මක් සමාජය වෙත හෙලීමට මිනිස් සිත් සතන් පොළඹවන විටදීය. ප්‍රියා සූරියසේන ගයකයානන් මේ සියලුම දේ නොපිරිහෙලා සමාජය වෙත ලබාදී ඇත්තේමය. ඒ සඳහාම ගැයූවේය. මිනිසුන් ඇසුවේය.
අද නම් ඔබගේ ගීත අසන්නේ දරාගන්න බැරි වේදනාවකින්ය.
“ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්..
දැන් ඉද හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්..
මට ඔබ හිරු මෙන්
විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා..”

ප්‍රියා සූරියසේනයන්ගේ සොදුරු නිවහන තුල ගොඩනගා ඇත්තේ. ආදර්ශමත් වූ පවුලක්මය.ඔහුගේ ස්වරය දිගටම ගෙනයාමට පුතෙකු සහ දියනියක් කලා ලෝකයට තිළිණකර ඇත්තේය.
“ආපසු එනවා
මගෙ හිත ඉබිගමනින්
ඔබ ඈතක රදවා…
කාට කියම්දෝ
කෙලෙස කියන්නද මන්
අප සිත් හඩන තරම්…
ඔබ නැවතුණ තැන
මගෙ හිත ඔබලග
වෙනතක නැතේ ලැඟුම්…
කව්රු කියන්නද
කෙලෙස පතන් නද
අද මා හෙලන සුසුම්…”

the above image source_https://www.sundayobserver.lk/wp-content/uploads/2024/12/08-Priya.jpg

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

“ 89-සහෝදරත්වය

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *