දෙලොවක් අතර මංමුළාවී…!

ඝණ වනාන්තරයක් මධ්‍යයේ පිහිටන ඉතාමත්ම පැරණි වූ පොකුණක් වටකරගත් සුදුම සුදු කොක්කු රෑනකි. පාසි, දියහබරලා, වැලස්නේරිය වැනිවු ජලජ ශාකයන්ගෙන් මතුපිට ආවාරණය වී ඇත්තේය. තැනින් තැන පාවෙන මාළු සහ ජලජ සතුන්ගේ මලකුණු බොහෝය. කළුපාටට හුරු දුඹුරු පාට වූ ජලයෙන් හමන්නේ නාසයට ඔරොත්තු නොදෙන ගන්ධයකි. වාතාශ්රයයක් නොමැතිකම නිසාම ජලජයන් පොකුණ මතුපිට නිතරම සැරිසරන්නෝ ය. ඉබ්බන්, මැඩියන්, කිඹුලන්, යනාදි සතුන් නම් ගොඩබිමට වී පොකුණ ආසන්නයේ වෙසෙන්නෝය.
පොකුණ වටකරගත් කොක්කු රැළේ නායක කොකා නම් පැහැදිලිවම අනෙක් සියල්ලටම වඩා ප්‍රමානයෙන් විශාලය. උගේ හොටය දිගය. කකුල් උසින් වැඩිය. වර්ණයද දීප්තිමත් සුදුපාට ය. කොක්කු සියල්ලම හඬන්නේය, විලාප දෙන්නේය, ඉකිගසන්නේය, ඇස් වලින් කඳුලු බින්දු රූරා පොකුණනට වැටෙන්නේය, අනේ අනේ කියන්නේය, අපෝයි අපෝයි කියන්නේය, අම්මෝ අම්මෝ කියන්නේය මේ නම් වෙනත් කිසිවක් නම් නොවන්නේමය. මේනම් කොක්කුන්ගේ ආදරයමය, අනුකම්පාවමය, ගලවාගැනීමට ඇති උවමනාවමය.

above image source_https://www.birdforum.net/gallery/black-necked-cranes.691509/full
පොකුණුවාසී ප්‍රජාවම පොකුණ මුතුපිටට විත් මහත් ඕනෑ කමින් බලා සිටින්නේය, අසා සිටින්නේය. නායක කොකා ඔවුන් අමතන්නේය. නායක කොකාගේ ඇස් වලින් කදුළු බින්දු සට සටගා පොකුණට වැටෙන්නේ ය. කදුළු පිසදාන ගමන්ම අමතන්නේය.
“මගේ හදවතේ පතුලේම ජීවත් වන ආදරණිය සොයුරණී සොයුරියණී, මා දෙස බලන්න, මගේ ඇස් දෙකම දෙස බලන්න, ඒ වායින් ගලනා කදුළු කැට දෙස බලන්න, ඒවයින් කියවෙන දෙය ගැන සිතා බලන්න. ඒ නම් ඔබලා මේ මහා නාරකදියෙන් ගලවා ගැනීමේ උත්සාහය මිස වෙනයම් දෙයක් නම් නොවන්නේමය. මා නම් මියදෙන්නේ ඔබලා මේ මහා නරකාදියෙන් ගලවා ගැනීමෙන් පසුවමය. ඒ වෙනුවෙන් මා හට මරණය හිමිවුනොත් එය මා සතුටින් භාරගනිමි. සොයුරණි, සොයූරියණි, මා ඔබලාගේ ගැලවුම් කාරයා වෙමි. ඔබලා මේ නරකාදියෙන් ගලවා ගෙන දිව්‍යලෝකය වෙත ගෙනයන බවට පොරොන්දුව නම් ලබාදෙන්නේ හදවතින්මය. දිව්‍යලෝකය තුලදී ඔබලාට දුක වෙනුවට සතුටත්, කදුළු වෙනුවට සිනාවත් ලැබෙන බවට දිව්රා පොරොන්දු වන්නෙමි.”
පොකුණු වාසීන්ගේ ජය ඝෝෂා ව නිසාම මුළු මහත් වානාන්තරයම දෝන්කාරය දුන්නේය.
“ගැලවුම්කාරයා ගැලවුම්කාරයා
දියසෙන් කුමරා දියසෙන් කුමරා
ජය වේවා ජය වේවා.
ඔබත් සමග අපි එනවා
ඔබත් සමග අපි එනවා “
“නිශ්ශබ්ද වෙන්න සාහෝදරයිණේ, නිශ්ශබ්ද වෙන්න සහෝදරියණි, අපි ඔබලා ගෙනියන පොකුණ ගැන ඔබලාට පැහැදිළි කළ යුතුමයි. මේ පොකුණ ගැන මම මොකුත්ම කියන්නේම නැත. එයින් මාගේ ඇස්වල ඇති කදුළු තවත් වැඩිකරගන්න කැමති නැහැ. මම කියන්නම් ඔබලා ගෙනියන පොකුණ ගැන. අහගනිල්ලා අහගනිල්ලා මගේ සොයූරණේ.”
“එය නම් එසේ මෙසේ පොකුණක් නම් නොවන්නේමය. එය නම් දේදුනු පොකුණු වන්නේය. එහි දේදුන්නේ වර්ණ හතම ඇත්තේය. එකම වර්ණයක් පවතින්නේ පැයක් පමණි. ඊළඟ පැයේදී වෙනස් වර්ණයකට වෙනස්වන්නේ ය. මේ දේදුනු පොකුණට ජලය ලැබෙන්නේ පොකුණ වටේට පිහිටි කදු පන්ති හතකින් ගලා බසින ගංගාවෝ හතකිනි .මේ ගංගාවෝ නම් දේදුන්නේ වර්ණ හතට අනුව වර්ණ ඇත්තා වූ ඒ අනුව රතු ගංගාව, නිල් ගංගාව, කහ ගංගාව, යනාදී ලෙස නම්කර ඇති ගංගාවන් හතක් වන්නේය. ගංගාවන් ගේ ජලයේ උෂ්ණත්වයන් ද ගංගාවන් අනුව වෙනස්වන්නේ ය. අයිස් මිදෙන උෂණත්වයේ සිට ජලය වාෂ්ප වන උෂණත්වය දක්කාවු පරාසයක් දක්වා එකිනෙකෙහි උෂණත්වයන් වෙනස්වන්නේය. මේ අනුව පොකුණේ උණුසුම අනුව ද කොටස් හතක් ඇත්තේය.”
මේවා අසන පොකුණුවාසින් එක දිගටම ඔල්වරසන් දෙන්නේය. මාළුවෝ විසිල් ගසති, කක්කුට්ටෝ නටති, උඩ පිණුම් ද බඩ පිනුම්ද ගසති, නැට්ටුවෝ නටති, ගායකයෝ ගයති, වාදකයෝ වයති, කාවටයෝ කවටකම් කරති, පදරචකයෝ පද ලියති, නළුවෝ රගති, කවියෝ කවි කියති, නිවේදකයෝ නිවේදනය කරති, යනාදී වශයන් හැමෝම වගේම තම තමන්ගේ හැකියාව අනුව උපරිම වශයෙන් සහයෝගය දුන්නේය.
“මේ නම් වීරයෙක් මය,
මේ නම් සූරයෙක් මය,
ජයවේවා..! ජයවේවා..!
වීරයාට ජයවේවා..!
ජයවේවා..! ජයවේවා..!
සූරයාට ජයවේවා..!
වීරයා සමගින් පොටෝ ගසන්නේ..!
වීරයා සමගින් සෙල්පි ගසන්නේ…!
“නිශ්ශබ්ද වන්න, නිශ්ශබ්ද වන්න සොයුරණේ, තවත් බොහෝ දේ කීමට ඇත්තේමය. පොකුණ තුල ප්‍රාර්ථනා වුක්ෂයෝ හතකි. මේවා ලඟට ගොස් තමන් යම්කිසි දෙයක් ඉල්ලා සිටයිද ඇසිපිය ගසන වෙලාවක් තුල ඒ දෙය ඉටුවන්නේය. අමරණීයත්වය පැතූවොත් අමරණීයත්වය ලැබෙන්නේය, තරුණවෙන්න හිතුවොත් තරුණබව ලැබෙන්නේමය, ලස්සනවෙන්න හිතුවොත් ලස්සන වන්නේමය, ඔබලාට වෙනස් වර්ගයේ සතෙක් වෙන්න හිතුවොත් වෙනස් සතෙක්ම වන්නේය.”
තිත්තයෝ කෑ ගසන්නේය:
“හීන් ශරීරය එපාමය එපාමය එපාමය,
තල්මසෙක් වන්නෙමි,
කකුළුවන් කෑගසන්නේය:
“හරහට ගියා හොඳටෝම ඇතිය
තිත්තයෙකු වෙමි තීත්තයෙකු වෙමි
කෙලින් යන්නෙමි,
කෙලින් යන්නෙමි”
ගෙම්බන් කෑ ගසන්නෝය :
“දිය ගොඩ දෙකම බැරියෝ,
දිය පමණි දිය පමණි
ආදෙක් වෙමි ආදෙක් වෙමි”
කිඹුලන් කෑ ගසන්නේ ය:
“ගොරහැඩි බව ගොරහැඩි බව
එපා මය එපා මය,
ආදෙක් වෙමි ආදෙක් වෙමි”
ඉබ්බෙක් කෑ ගසනන්නේය:
“හිරවී හිටියා ඇතියෝ ඇතියෝ
මඩ කනයෙක් වෙමි මඩ කනයෙක් වෙමි”
“නිශ්ශබ්ද වන්න නිශ්ශබ්ද වන්න, සොයුරණි, සොයූරියණි තව තවත් දේ ඔබලාට කීමට ඇත්තේ මය. ආහරය ගැන නම් කිව යුතුමය. ප්‍රාර්තනා ගසක් ලඟට ගොස් ඔබට ඕනෑම වූ ආහාරයක් ඉල්ලු විටම එයම ලැබෙන්නේමය. ඔබ මස් ඉල්ලුවොත් මස් පිරුණු පිගානක් ඔබ ලඟට ලැබෙන්නේය. ඔබ බත් සමඟ කජු ඉල්ලුවොත් විගසම එය ලැබෙන්නේමය. ඔබ කැමති ඕනෑ ම කෑමක් හෝ බීමක් ඉල්ලුවො ත් එයම ලැබෙන්නේමය. ඒ විතරක් නොවේ ඔබ කැමති ඕනෑම දෙයක් ඕනෑම ප්‍රමාණයකින් ඉල්ලා ලබාගත හැකි වන්නේය.”
පොකුණු වාසීන්ගේ ඔල්වරසන් හඬ මුළු වනාන්තරයම දෙවනත් කළේය.

“තේරෙනවා තේරෙනවා
අනේ අනේ තේරෙනවා,
හැමදෙයක්ම තේරෙනවා
අපි ලගින්නේ නාරාවලේ
සුර ලෝ කෙට අපි යන්නේ
නාරා වලක් අපිට එපෝ
අපිට ඕනෙ සුර ලෝකය
අපිට ඕනෙ සූර ලෝ කය.”
ඉබ්බෙක් කථා කරන්නේය. ඔහු සමඟ මැඩියෝ තුන් දෙනෙක්ද, කිබුලෙක්ද සිටින්නේය. ඉබ්බා සියල්ලම අමතන්නේය. “සහෝදරයිනි, සහෝදරීයනි, මේ අසන්න, අපි අතරින් එක් අයෙක් පමණක් මේ කොක් රාජයත් සමඟ ප්‍රථමයෙන් ගිහින් එමු. ඊට පස්සෙ අපි ඔක්කෝටම යන්න පුළුවනි. මොකද පොකුණ හරියටම සුදුසුද කියා සොයා බැලිය යුත්තේ අපි විසින්මය.”
පොකුණු වාසීන්ගේ හූ හඬ වනය දෙවනත් කළේය. එකපිට එක එන මඩ ප්රහාරයන් නිසාම ඉබ්බා සහ ගෙම්බන් තුන්දෙනාගේ පාට ද වෙනස්වී ය. කිඹුලා ඈතට පලා ගොසින්ය. මොවුන්ද කිඹුලා අනුගමනය කළේය. නැවතත් ජයඝෝශා ජය ඝෝශා..
“කඩාකප්පල්කාරින් පලවා හරිමු.
සුළුතරයට බංග වේවා.
බහුතරයට ජයවේවා.”