අරගලයේ අපරාජිත සටන්කරු – නිෂ්මි(2)…

(“අරගලයේ අපරාජිත සටන්කරු, නිෂ්මි” යන මාතෘකාව යටතේ මා විසින් ලියන ලද මුල්ම ලිපිය මීට වසර ගණනාවකට පෙර ලියන ලද්දේ ” ජනරළ” පුවත්පතටය. එම ලිපිය බොහෝ පාඨකයින් අතර ජනප්‍රිය විය. එසේම බොහෝ ලිපි ලියා පලකොට ඇති මගේද ඉතාමත් ජනප්‍රිය ලිපිය එම ලිපිය යැයි සිතමි. නිෂ්මි යනු මා ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කල සහ මගේ ඉහල සංවිධායකයා වීම එයට එක් හේතුවක් වන්නට ඇත. නිෂ්මිට ප්‍රථම අත් අඩංගුවට පත් මා වඳකාගාර සහ සිරකඳවුරු වල වසර තුන හමාරක් අතිශය කුරිරුවූත්, කෙනෙකුට විශ්වාස කිරීමට පවා අපහසුවූත් අත්දැකීම් වලට මුහුණපා අවසානයේ පනපිටින් එලියට ඒමට වාසනාව තිබූ සරසවි සිසුන්, පාසැල් සිසුන් සහ පොදුවේ එදා අරගලයට පණපෙවූ අය අතරින් එක් අයෙක් පමණි. එදා නිෂ්මිගේ ජීවිතය ඔවුන් උදුරාගත්තේ ඔහුගේ හිරිමල් යොවුන් වියේදීමය. යන්තම් දැළි රැවුළ පමණක් වැවී තිබූ, තීක්ශණ ඇස් සහිත ඔහුගේ මුහුණ අද දිනය වනවිට එනම් 23/02/25 වන විට ජීවිතේ 60 වන උපන් දිනය සපුරන දිනයේදීද මට කෙසේවත් අමතක කල නොහැකිය. එබැවින් මට මගේ ජීවිතයේ විශේෂම දිනයක් වන අද දින මෙම යාවත්කාලීනකල විශේෂ ලිපිය මේතාක් දුරට මාගේ ලිපි කියවූ ඔබ සියලුම දෙනාට තිළිණයක් ලෙස මෙසේ ප්‍රධාණය කරමි_රන්ජන සේනානායක)
මා පේරාදෙණිය සරසවියට ඇතුල් වූ පළමු වසරේ මුල් කාර්තුවේම, මතකයට අනුව 1987 මුල් මාස දෙක ඇතුළත එක්තරා දිනෙක පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ රැසක් පැනිදෙණියේ පිහිටි එක්තරා බෝඩිමක සාකච්චාවකට සහභාගී විය. ඒ සාකච්චාව මෙහෙය වූයේ ආනන්ද ඉඩමේගම හෙවත් බස්නායක හෙවත් ධම්මික මහත්තයා විසිනි. ඉඩමේගම සහෝදරයා ඇතුළු මෙම සාකචාවට එදා සහභාගී වූ බහුතරයක් අද ජීවතුන් අතර නැත.
ඉඩමේගම සහෝදරයා 89 අගභාගයේදී දඹුල්ලේදී අත් අඩංගුවට ගන්නා ලද්දේ එවක කුරුණෑගල ජේශ්ඨ පොලිස් අදීකාරී වරයාවූ ඇඩිසන් ගුණතිලක හෙවත් “ගඩාෆි” ඇතුලු කංඩායම විසිනි. පසුව SSP ඇඩිසන් විසින් ඉඩමේගම සහෝදරයා සහ තවත් නායකයින් දෙදෙනෙකු කුරුණෑගල මහව පිහිටි පොහොර ගබඩා සංකීර්ණයේ පිහිටි නිවාසයක් තුල රඳවා තබා තිබිණි. අනෙක් දෙදෙනාගෙන් කෙනෙකු වන්නේ හිටපු අන්තරේ කැඳවුම් කරුවකු වූත්, පසුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයා වූත් සේන මච්චාගමයි. අනෙක් පුද්ගලයා හරියටම නිශ්චිත නැතත් ඔහුගේ හැඩරුව ඔවුන්ව එම නිවාස සංකීර්ණයේ සිටියදී දින කීපයක් ඔවුන්ව ඇසින් දුටු එක් විශේෂීත පුද්ගලයෙකු මා සමග පවසා ඇත. එම හැඩරුව අනුව රඳවා සිටි තුන්වන පුද්ගලයා කොල්ලුරේ සහෝදරයාට බොහෝසෙයින් සමාන බව මම අනුමාන කරමි. පසුව දින කීපයකින් හමුදා ඇඳුම් අන්දවා ඔවුන්ව එම ස්ථානයෙන් රැගෙන ගිය බව සහ තවත් විස්තර රැසක් ඔවුන්ව ඇසින් දුටු, ගඩාෆිගේ හිතවතෙකුවූ මේ විශේෂිත පුද්ගලයා මට දැන්වීය).
කෙසේහෝ එදා ඉඩමෙගම සහෝදරයා පේරාදෙණිය සමාජවාදී ශිෂ්‍ය අංශයේ සිසුන් සඳහා මෙහෙයවූ සාකච්චාව කරුණු දෙකකින් මට ඉතා වැදගත් විය. ඒ මගේ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරී ජීවිතයේ සහභාගි වූ පළමු සාකච්චාව වීමත් ප‍්‍රථම වතාවට පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නායකයා වූ “නිෂ්මි” සහෝදරයා මුණගැසීමත්ය. එදා පටන් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු නියෝජිතයකු වශයෙන් 1989 සැප්තැම්බර් මස 09 වනදා මා අත්අඩංගුවට පත්වනතුරුම මට “නිෂ්මි” සහෝදරයාව ඉතා ළඟින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණි.
“නිෂ්මි” පසුව නම් කිහිපයකින් පෙනී සිටි අතර ඔහුගේ සරසවි කාඞ් එක “මොටා” විය. විරු ස්මාරකයක් සෑදීමට ඔහු විසින් “මොටා” ගෙදර ගුරුන්නාසේව යොදා ගන්නා ලෙස යෝජනා කිරීමේ දී ඔහුට “මොටා” යන නම පටබැඳිණි. ඉන්පසුව “කමල්” යන නම ද ආරක්ෂාව සඳහා යොදා ගත්තේය. විශ්වවිද්‍යාලවලින් පිට දිස්ත්‍රික්කවලදී ඔහු “කමල්” යන නමින් පෙනී සිටියේය. ඇත්තෙන්ම නිෂ්මි හුදු නායකයකු නොවීය. ඔහු ඉතා හිතවත් මිතුරකු, මඟ පෙන්වන්නකු, අතිදක්ෂ සංවිධායකවරයකු විය. ඔහු සිටි තැන නායකත්වය සඳහා හිඩැසක් නොවීය. එබැවින් නායකත්වය නිතැතින්ම ඔහු කරා පැමිණියේය. එහෙත් ඔහු වෙත කුමන වගකීම් පැවරුණ ද ඉතා නිහතමානී සටන් සගයෙකු විය. ඔහුගේ චතුර කථිකත්වයට සමානවන කිසිවකු එකල සරසවිය තුළ නොවීය. ඔහුගේ තර්ක බිඳ හෙළිය හැකි ඒවා හෝ මඟහැරිය හැකි ඒවා නොවීය. එබැවින් සතුරන් පවා ඔහුට යම් ගරුත්වයක් පළ කරන්නට විය.
එහෙත් කිසිදිනෙක ඔහුගේ අරගලය පන්ති සතුරාගේ සහයෝගීතාවක් සඳහා යොමු නොවීම විශේෂත්වයකි. ඔහු කිසි විටෙක පන්ති සතුරාට සමාවක් නොපෙන්වීය. එහෙත් නිර්ධන පන්තිය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය වාමාංශිකයන් පසුව ධනපතීන්ගේ ඔඩොක්කුවට වැටී පන්ති සහයෝගීතාවයේ සරණ ගිය අන්දම දෙස බැලූ කල එදා වයසින් අවුරුදු 24ක් 25ක් තරම් වූ ලාබාල ශිෂ්‍ය නායකයෙක් පන්ති සතුරන් සමඟ ගනුදෙනු කළ ආකාරය ඉතාමත් විශිෂ්ටය. ඔහු තම මරණය දක්වාම යටත් වූයේ නැත.
සරසවිය දින නියමයකින් තොරව වසා දැමූ කල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක පුරා මව්පියන්ගේ සංවිධාන පිහිටුවමින්, පුරවැසි කමිටු සංවිධානය කරමින්, කම්කරු සංවිධාන, මානව හිමිකම් සුරැකීමේ සංවිධාන ගොඩනඟමින් බහුජන සංවිධාන සමඟ ක්‍රියාකාරී විය. ඒ කාලයේ දී මම ද පූර්ණකාලීනව ඒ සඳහා ක්‍රියාකාරී වීමට, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට අනුයුක්තව කටයුතු කළෙමි.(එහිදී මගෙන් හිස්වූ කෑගල්ල ශිෂ්‍ය අංශයේ පුරප්පාඩුවට බදුල්ලේ ක්‍රියාකාරීව සිටි වෛද්‍ය ශිෂ්‍ය නිශාන්ත අලහකෝන්, “චම්පික” ලෙස කෑගල්ලට පැමිණි අතර, අනුරාධපුරයේ ක්‍රියාකල එකල වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි, අද වෛද්‍ය අධ්‍යක්ශක වරයෙකු වන, කුමුදු බංඩාර බදුල්ලට යන ලදී. අලහකෝන් හෙවත් චම්පික 89 අගභාගයේදී කෑගල්ල දිස්ත්‍රික් කමිටුව හිරිවඩුන්නේදී කල වැටකලීමකදී දිස්ත්‍රික් නායක නන්දතිලක ගලප්පත්ති, ජයවර්ධ ඇතුලු කමිටුව සමඟ අත් අඩංගුවට පත්වී මරා දමන ලදී). නිෂ්මි සහෝදරයා අනුරාධපුර, පොළොන්නරුව, සහ ත්‍රිකුණාමලය භාර ශිෂ්‍ය නායකයා වශයෙන් එම කළාපයේ කටයුතුවලට මැදිහත් විය. බොහෝ දෙනා සිතා සිටියේ නිෂ්මි ක්‍රියාකාරී වන්නේ සරසවි තුළ පමණක් බවය. ඔහු කෑගල්ල, රත්නපුර, නුවර, මාතලේ, නුවරඑළිය හා උතුරු මැද දිස්ත්‍රික්ක වලද වැඩ කළේය. අවසානයේ දී ඔහුව පැහැර ගන්නා විට කොළඔ දිස්ත්‍රික්කය තුළ සිට කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙස වගකීම් භාරගෙන සිටියේය.
මා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිටින කාලයේ මුල් කාලයේදී, දී උතුරු මැද භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ප්‍රේමදාස උඩුගම්පොලය. තරුණයන් පැහැරගෙන යාම, ටයර් දමා පිලිස්සීම, ඉතා බහුලව කෙරීගෙන ගිය වකවානුවක් විය. ඒ මහා මර්දනය හමුවේ දී නිෂ්මි, කමල් නමින් කිසිදු පැකිළීමක් නොමැතිව කැකිරාව, එප්පාවල, තලාව, මැදවච්චිය, මහඉලූප්පල්ලම ආදී දුර බැහැර ප‍්‍රදේශවලවල ශිෂ්‍ය කමිටු සඳහා මැදිහත් විය. තලාව ප‍්‍රදේශයේ හේනක දී ඔහුගේ දේශනයක් සඳහා බයිසිකල්වලින් සැතපුම් ගණනාවක් දුර සිට ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැගෙන ආ අයුරු මට අද මෙන් මතකය. ඒ ගමනට බයිසිකල් වලින් එක් අය බැගින් අපව රැගෙන ආවේ කැළණී සරසවියේ සිටි තලාවේ උපාලිය. කැකිරාව ප‍්‍රදේශයේ එකල ඒ.එම්.එස්. අධිකාරි, මහින්දසෝම දෙදෙනා යටතේ අතිදරුණු භීෂණයක් පවත්වාගෙන යද්දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කමිටු සඳහා පළාතට ගැළපෙන අයුරින් සරමකින් හා බැනියමකින් සැරසී පළාතේම පුද්ගලයකු ලෙස බයිසිකලයක් පැදගෙන පැමිණෙන හෝ බයිසිකලයක පොල්ලේ වාඩිවී එන නිශ්මි, පේරාදෙණිය සරසවියේ නිෂ්මි බව කිසිවකු නොසිතන්නට ඇත. රාත්‍රිය පුරා සාකච්චා දේශණ පැවැත්විණී. එම කාලයේ දී නගරයෙන් බොහෝ දුර පැවැත්වෙන සාකච්චා සඳහා බොහෝ විට ආහාර ලෙස ලැබුනේ මඤ්ඤොක්කා හෝ පාන් වැනි දෑය. වැසිකිළි යාමට සිදු වූයේ ද වනලැහැබකටය. වතුර සොයා බොහෝ දුරක් යා යුතු විය. එහෙත් මේ සියලූ දුෂ්කරතාවලට නිෂ්මි මනා සේ ඔරොත්තු දුන්නා පමණක් නොව ඕනෑම පරිසරයකට ගැළපෙන සේ හැසිරීමට මනා දක්ෂයකු විය. එසේම නගරයට පැමිණෙන විට අව්කණ්ණාඩි පැලැඳි විධායක මට්ටමේ රැකියාවක නියුතු පුද්ගලයකු සේ පැමිණෙන ඔහුට ඒ සඳහා මඳක් තරබාරු සිරුර මනා පිටුවහලක් විය.
නිෂ්මි තුළ මා දුටු ඉතා සිත්ගන්නා සුලූ ගුණයක් නම් ඉතාම ප‍්‍රායෝගික පුද්ගලයකු වීමයි. කිසිවකුට අණ දීමට නොව ඔහුම ඉදිරිපත් වී එය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන පුද්ගලයකු විය. එසේම අතිශය තීක්ෂණ නුවණකින්ද හෙබි අයෙකු විය.ඊට මා ඔහු සම්බන්ධව ලද අත්දැකීම් කීපයක් මෙහි සඳහන් කරන්නේනම්, මා අනුරාධපුරයට යාමට ප්‍රථම ඔහු හමුවූවිට මගෙන් පිහිනීමට හැකිදැයි ඇසීය. මට පිහිනීමට නොහැකි බව දැනගත් විට ඔහු උපදෙස් දුන්නේ කිසිදු දිනෙක අන් අය සමඟ වැව්වල නෑමට නොයන ලෙසය. රජරට කිසිදු කෙනෙක් පිහිනීමට නොහැකි අය නොවන අතර මා වෙනත් ප‍්‍රදේශයකින් මෙහි පැමිණි අයෙකු බව හෙළිවීමට පිහිනීමේ නොහැකියාවම ප‍්‍රමාණවත් බව ඔහු මට දැන්වීය. එය මට සාක්ශාත් වූයේ එක් අවස්ථාවක වැවක නෑමට ගියවිටෙකදීය. එය තලාව නගරය ආශ්‍රිත වැව යැයි මගේ මතකය අනුව සිතමි. සගයින් පිරිසක් සමඟ නෑමට යාමේදී මම නෑවේ නැත. ටික වේලාවකින් එතනට තලාව හමුදා කඳවුරේ පිරිසක් නෑමට පැමිණි අතර ඔවුන් අතර බුද්ධි අංශ නිලධාරීන් සිටියානම් ඔවුනට බොහෝවිට මා පිට පළාතක අයෙකු බව නෝට් වීමටද ඉඩ තිබිනි. තවත් වතාවකදී, 89 අගෝස්තුවේදී පමණ මර්ධනය එන්න එන්නම දරුණු වෙද්දී අපගේ කමිටු කැඳවීමට පවා ස්ථාන නොමැතිවිය. එවිට එක් වරෙක මා පෞද්ගලිකව හඳුනන එහි පශු වෛද්‍යවරයා මුණගැසී ඔහුගේ කාර්‍යාලය නිවාඩු දිනයක ලබාදෙන ලෙස ඉල්ලූ අතර ඔහු ඊට එඩ දුන්නේය. කමිටුව යන විටදී නිශ්මි මට දැන්වූයේ ප්‍රේමදාස උඩුගම්පලගේ ඤාති සහෝදරයා වන කුලසිරි උඩුගම්පල බලු සුරතලෙකු වන බැවින් ඔහු මේ ස්ථානයට බල්ලන් රැගෙන පැමිණෙනවා ඇතිබැවින් මේ ස්ථානය නැවත නොගන්නා ලෙසයි. ඔහුගේ නිගමනය ඉතාම නිවැරදි විය. පශු වෛද්‍ය වරයා පසුව පැවසූවේ කුලසිරි උඩුගම්පොල කීප වතාවක් ඔහුගේ බල්ලන් රැගෙන එහි පැමිණ ඇති බවයි. මේ ආකාරයට ඉතාම සූෂ්ශම කරුණු පවා පරිකල්පණය කිරීමේ තියුනු දැක්මක් ඔහුට තිබිනි.
පේරාදෙණිය සරසවිය තුළ හමුදාව සහ පොලිසිය මැදිහත් වී මහා වැටලීමක් සිදුකොට සිසු ක්‍රියාකාරී නායකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ දිනය ද ඉතා විශේෂ දිනයකි. එදින ද නිෂ්මි අත්අඩංගුවට ගත නොහැකි විය. ඉතා සූක්ෂ්ම අයුරින් ආරක්ෂාවීමට ඔහු සමත් විය. ඒ රාජ්‍ය ආරක්ෂක අංශ සරසවිය වැටලූ පළමු අවස්ථාව නොවීය. ඊට වසරකට පමණ පෙර ද සරසවි වසා දමා තිබූ කලෙක සරසවිය තුළ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටු රැස්වීමක් කැඳවන ලදී. සරසවිය නැවත විවෘත කර ගැනීමට අදාළ කටයුතුවලදී දිස්ත්‍රික් වැඩපිළිවෙළවල් සාකච්චා කරගැනීම සඳහාත්, තව විශේෂ කරුණූ කීපයක් සාකච්චා කරගැනීමටත් නිෂ්මිගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්චාව කැඳවන ලදී. එකල සරසවිය වසා තිබුණ ද සරසවියට ඇතුල් වී රැස්වීමට අප සහභාගි වෙමින් සිටියදී හදිසියේම අප වෙත පණිවිඩකරුවෙකු පැමිණ දැනුම් දුන්නේ හමුදා-පොලිස් ට‍්‍රක් රථ 7ක් 8ක් සහ තවත් ජීප් රථ කීපයක් සරසවියට ඇතුළු වී ඇති බවයි. ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා බැගින් පිටත් කිරීමට නිෂ්මි පියවර ගත්තේය. ඔහුගේ පිටත්වීම ප‍්‍රමාද වෙද්දී අප අවධාරණය කළේ පළමුව ඔහු පිටත් විය යුතු බවය. එහෙත් ඔහු පැවසුවේ ඒ සඳහා ඔහුට වැඩපිළිවළක් ඇති බවත් අප සියලූ දෙනාම ඉවත් වන තුරු ඔහු ඉවත් නොවන බවත්ය. පසුව මමත් උදේනි බන්දුල සොහොයුරාත් ලවර්ස් ලේන්හි තිබූ මහවැලි ගඟට යාබද කුඩා වනලැහැබක පසුදා වන තුරු හිඳ එළියට පැමිණ විමසා බලද්දී පෙර දින වැටලීමෙන් කිසිදු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත් වී නොතිබිණි. උදේනි බන්දුල සොයුරා පසුව 89 අවසානම කාලයේදී අන්තර් විශ්ව විද්‍යාලීය කැඳවුම්කරු ලෙස පත්විය. ඔහු 90 වසරේ මුල් කාර්තුවේ දී කොළඹදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී.
අතිදරුණු මර්දනය ඉදිරියේ කිසිදු අයුරකින් තම ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට නිෂ්මි කෙසේවත් එකඟ වූයේ නැත. ඔහු මර්දනය හමුවේ තව තවත් සූක්ෂමව ක්‍රියාකාරී වූවා මිස වැඩපිළිවෙළ හකුළා ගත්තේ නැත. වරක් පේරාදෙණිය පොලිසිය විසින් සරසවි ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී වධහිංසා කොට දින දෙකකට පසුව නිදහස් කරන ලදී. එසේ නිදහස් වී යන විට පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම සිසුවාට ”උඹ ගිහින් උඹේ ලොක්කට කියාපන් අපි ළඟදිම ඌව මෙහෙ ගෙනල්ලා උගේ ඔය රැවුල් ගස් දහය ගලවනව කියල” යනුවෙන් පවසා තිබුණි. තවත් වරෙක එකල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමැතිවරයකු වූත් අදත් විපක්ෂයේ ඉහළම පෙළේ දේශපාලණ නායකයකු ප‍්‍රමුඛ කණ්ඩායමක් නිෂ්මිව කොටුකර ගැනීමට හෝ මරා දැමීමට තවත් සරසවි ශිෂ්‍යයෙකු යොදා ගැනීමට කළ කුමන්ත‍්‍රණයක් හෙළි විය. එම අදාළ ශිෂ්‍යයාම පැමිණ ඒ බව නිෂ්මිට පවසා තිබුණි. එහෙත් ඔහුට එදා තිබූ ජීවිත අවදානම ද නොතකා නුගේගොඩ ප‍්‍රසිද්ධ රැස්වීමේ කතා කළේය. බොරු රැවුලක් දමා සිටිය ද ඔහුගේ චතුර කතා විලාසය අනුව කථිකයා කවුදැයි ආරක්ෂක අංශවලට රහසක් නොවෙන්නට ඇත.

(මෙම නිෂ්මිගේ පලමු චායාරූපය කිසිවකු විසින් අඳින ලද්දකි. AI නිර්මාණයක් වන දෙවැනි චායාරූපය ශිශ්ය සංගමය නිකුත් කල වීඩියෝවකින් උපුටා ගන්නා ලද්දකි)
89 මැදභාගය ඉක්මවනවිට මර්දනය ඉතාම දරුණු විය. සරසවි වසා දැමීමෙන් පසුව ද නොනැවතුණු ශිෂ්‍ය ක්‍රියාකාරීහු දිස්ත්‍රික්කවල සිට ජවිපෙ පක්ෂ යාන්ත්‍රණය තුලට ගොනුවී අරගලය ඉදිරියට ගෙන ගියහ. මේ කාලය තුළ දී නිෂ්මි දැඩි ආරක්ෂක උපක්‍රම භාවිත කරමින් දිස්ත්රික්කතුල තුළ සංවිධාන කටයුතු මෙහෙයවීය. උතුරු මැද පළාතෙන් නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොල නුවරට මාරු වී ගියද කහ බළල්ලූ, ප්‍රා, කොළ කොටි, රජයේ හමුදා-පොලිසි විසින් පැහැරගැනීම්, මරාදැමීම් බහුලව කරගෙන යන ලදී. ප්‍රදේශ පිටින් වටලා ‘බිල්ලන්’ මාර්ගයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් උත්සන්න කොට තිබුණි. බිල්ලන් ඔළුව වනන ඕනෑම අයෙකුගේ ඉරණම ඉතා ඛේදජනක විය.
මේ කාලය තුළ දී අනුරාධපුර නගරයට ඉතා ආසන්න දේශපාලන ව්‍යාපාරයට ඉතා හිතවත් මිනින්දෝරුවරයකුගේ නිවසක නිෂ්මිට රැකවරණය ලැබුණි. මෙකී මිනින්දෝරු හිතවතාගේ මිනුම් කටයුතු සඳහා යොදාගන්නා කණ්ඩායමේ සාමාජිකයකු විලසින් එහිදී නිෂ්මිට මනා සේ රැකවරණය ලැබුණි. ආරක්ෂක මුරකාවල් පසුකර යාමේ දී ඉහත කී මිනින්දෝරු මහතාගේ සහය ඉතා ප්‍රයෝජනවත් විය. අපි දෙතුන් දෙනෙකු පමණක් දැනසිටි මේ නිෂ්මිගේ නවාතැන ඔහු කොළඹ දිස්ත්‍රික්කයට පිටත් වන තුරුම ඔහුට රැකවරණය සැපයීය.
මා අවසන් වරට නිෂ්මිව මුණගැසීමට යොදාගෙන තිබුණේ 1989 සැප්තැම්බර් මස 09 වැනිදාය. එදින මා ඔහුගේ අනුරාධපුර නවාතැනට පැමිණ ඔහු සමඟ විජයපුර ප‍්‍රදේශයට කිට්ටු ස්ථානයකදී කමිටු රැස්වීමකට යාමයට යොදාගෙන තිබුණි. එහෙත් සැප්තැම්බර් මස 06 වැනිදා උදෑසන මා නැවතී සිටි ස්ථානයේ සිට අනුරාධපුර නගරයට බයිසිකලයෙන් පැමිණෙද්දී නාඳුනන කණ්ඩායමක් විසින් අනුරාධපුර රෝහල සමීපයේ දී මාව පැහැර ගන්නා ලදී. ඔවුන් පැමිණියේ සුදු පැහැති ඩෙලිකා වෑන් රථයකිනි. මුස්ලිම් ජාතිකයින් සේ මුස්ලිම් වරුන් පළඳින තොප්පි පැළඳ සිටි අතර, මගේ බයිසිකලය හරස්කොට නවතා මා පැහැර ගැනීමට තැත්කිරීමේදී අසල තිබූ වැටකින් පැන දිවීමට මා සමත්වූ නමුදු අනිත් පැත්තෙන් ආයුධ අමෝරා පැමිණී කීපදෙනාට මා හසුවිය. එතනදීම පහර කීපයක් එල්ලකොට මගේ කමිසයෙන්ම මගේ ඇස් බැඳ වෑන් රථයක් තුළට දමාගත් මෙම කණ්ඩායම ඉන් අනතුරුව ගියේ උතුරු-මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙතය. එහිදී මා නොයෙක් ප‍්‍රශ්න කිරීම්වලට භාජනය කෙරුණද අවශ්‍ය ප‍්‍රතිඵල ඔවුනට ලබාගැනීමට හැකි වූයේ නැත. ඒ නිසා එකල අනුරාධපුරයේ පවත්වාගෙන ගිය බිහිසුනු වධකාගාරයකට මා ගෙනයන ලදී.
එකල මේ මිහින්තලේ වධකාගාරයට යවන බොහෝ දෙනෙකුගේ ඉරණම ටයර් මඟින් විසඳෙන බව දැනසිටි මට ඒ ගැන අමුතුවෙන් තැවීමට හෝ තවදුරටත් ජීවිතේ ගැන බලාපොරොත්තු තබාගැනීමට අවශ්‍ය නොවීය. මේ වධකාගාරය පවත්වාගෙන ගියේ ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබූ S.I ප්‍රනාන්දු විසිනි. එවක 23-24 වියේ සිටි ක්‍රිස්තියානි මද්‍යම පවුලකින් පවත ආ ඔහු ඝාතන විශාල ප්‍රමාණයක් සිදුකරන ලදී. වරෙක ඔහුගේ මවද පමිණ සිදුකරන මිනිස් ඝාතන නවත්වන ලෙස ඇඩූ කඳුලෙන් ඉල්ලා සිටි නමුත් පලක් නොවීය. පේරාදෙනිය සරසවියේ වෛද්‍ය ශිෂ්‍ය පාලිත සෙනෙවිරත්න, විලච්චිය පාසල් ගුරුවරයෙකු වූ අනුරාධපුර වලව්වත්තේ ආනන්ද, මදවච්චිය කොට්ටාශ භාර ගැමුණු, යාපනය හන්දියේ වජිර, මහඉලුප්පල්ලම ප්‍රදේශ භාර පරාක්‍රම යන අය ඇතුලු ජවිපෙ සැකකරුවන් විශාල ප්‍රමානයක් ඔහු මරාදමීය. වෛද්‍යශිෂ්‍ය පාලිත මරා දමීමට ඔහුට කෙලින්ම උපදෙස් දුන්නේ එවක අනුරාධපුර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස සිටි උදයපාල විසිනි. මා අනුරාධපුර රෝහල් හන්දියේදී පැහැරගෙන ගිය පුවත නිෂ්මි, උදේනි බන්දුල සහ සාලිය ගලප්පත්ති ඇතුළු ක්‍රියාකාරී සිසුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයටත් ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටත් විවිධ මානව හිමිකම් සුරැකීමේ සංවිධානවලටත් දැනුම් දී තිබුණි. මාගේ මව්පියන්ගේ මැදිහත් වීම ද ප‍්‍රබල වූයෙන් මා වධකාගාරයේ මාස කිහිපයක් තබාගෙන පසුව අනුරාධපුරයේ රැඳවුම් කඳවුරක රඳවන ලදී. එහිදී මව්පියන් බැලීමට ඉඩ දී තිබූ අතර ඒ මාර්ගයෙන් නිෂ්මි වෙත පණිවිඩයක් යැවීමටද මම සමත් වීමි. මා අත්අඩංගුවට පත්වීමෙන් පසු මාස 2ක් පමණ ඔහු අනුරාධපුරයේ රැඳී සිට කොළඔ දිස්ත්‍රික්කය වෙත ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.
ඉන් අනතුරුව 1990 මාර්තු, අප්‍රේල් අතර කාලයේ දී එවකට අත්අඩංගුවේ පසු වූ සියලූම සරසවි සිසුන් කොළඹට රැගෙන එන ලදුව කලපලූවාවේ රැඳවුම් කඳවුරක රඳවා තබන ලදී. එහිදී දිවයින පුරා ක්‍රියාකාරී දේශපාලනයේ නියුතුව සිට අත්අඩංගුවට පත්වී ජීවතුන් අතර සිටි බොහෝ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මට හමු විය. ඔවුන් අතරින් කොළඹ පිහිටි හමුදා බුද්ධි අංශය මඟින් පවත්වාගෙන ගිය වධකාගාරයක රඳවාගෙන සිට රැගෙන ආ සිසුන් කිහිප දෙනෙකුගෙන් දැන ගන්නට ලැබුණේ එම බුද්ධි අංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලේ තවත් කොටසක එවක හමුදා බුද්ධි අංශ ඝාතකයෙකුවූ ලුතිනන් මුතාලිෆ් යටතේ නිෂ්මිව රඳවා තබාගෙන සිටි බවයි. ඔවුන් කී පරිදි ඉතා දරුණු තුවාල සහිතව එක් දිනක් බුද්ධි අංශ නිලධාරීන් ඔහුව නාන කාමරය වෙත ගෙන යනු ඔවුන් දැක තිබුණි. දරුණු තුවාල සහිතව නිෂ්මි ඒ වනවිට මරණාසන්නව සිටි බව ඔහු තුළින් දුටු බව පැවසූ ඔවුහු ඊට දින දෙක තුනකට පසුව එහි සිටි හමුදා ඝාතන කණ්ඩායමක නායකයකු තම කණ්ඩායමට තදින් බැණවැදුණු බවත් පැවසූහ. ඉතා පැහැදිලි නොවූවද ඒ බැණ වැදී ඇත්තේ මරා පුලූස්සා අනතුරුව එක්තරා ප‍්‍රදේශයකට ගොස් දමා ආ නිෂ්මිගේ සිරුරේ මුහුණ හරිහැටි පිලිස්සී නැති බැවින් යැයි එම සිසුවාට ඇසී ඇත. ( මෙම ආරංචියට තවත් කරුනු කීපයක් එකතු කිරීම සුදුසුයැයි මම අදහස් කරමි, ඉහත කරුණු වලට අමතරව පසුගිය අවුරුදු 5 කදී පමණ ලැබුණු තවත් තොරතුරු වලට අනුව, ලුතිනන් මුතාලිෆ් විසින් නිශ්මිව නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි හමුදා ලොක්කෙකුගේ නිවාසයක පවත්වාගෙන ගොස් ඇති රහසිගත නිවසක නිශ්මිව අවසාන දින කීපය රඳවා තබා ඇති අතර, එහි ගෙනගිය තවත් පක්ශයේ ක්‍රියාකාරිකයෙකුට එම නිවාසයේ සිටි හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ, නිශ්මි ඊට දින කීපයකට කලින් එම ස්ථානයේ රඳවා තබා සිටියදී එක් රාත්‍රියක කලබලෙන් මෙන් පැමිණී මුතාලිෆ්ගේ කංඩායම ඔහුව රැගෙන ගිය බවයි. මේ ආරංචියට අනුව මේ හමුදා නිවාසය මා පෞද්ගලිකව සොයාබැලූ අතර එය පිහිටා තිබුනේ මගේ බිරිඳගේ මහ ගෙදරට ඉතා කිට්ටුවෙනි. මෙම නිවස වයසක විශ්‍රාම ගිය හමුදා ලොක්කෙකුට අයත් වූවක් බවත් ඔහු පසුකාලයේ මියගොස් ඇතිබවත් මට සොයාගත හැකිවිය.

“89-අරගලයේදී මරාදැමූ මගේ සමකාලීන සහ නිශ්මිගේ නායකත්වය තුල සංවිධානගතවූ සිසුන් පිරිසෙන් කීපදෙනෙක්_චායාරූප මුහුණු පොත් වලින් සහ ධර්මන්ගේ ග්‍රන්ථ අනුසාරයෙනි)
නිශ්මි අත් අඩංගුවට පත්වූ ආකාරය ගැන පසුව අපවෙත හෙලිදරව් වුනු ආකාරයට අනුව, ඔහු අත් අඩංගුවට පත්වීමට ප්‍රථම ඔහුව හොඳින් දන්නා බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ප්‍රමාණයක් අත් අඩංගුවට පත්වී තිබිනි. මෙයින් එක් අයෙකුගෙන් නිශ්මි භාවිතා කරන ලද මෝටර් සයිකලයේ අංකය ආරක්ශක අංශවෙත, විශේෂයෙන් මුතාලිෆ්ගේ කංඩායම වෙත ලැබී තිබිණි. (එම මෝටර් සයිකලය ඉදිරි දිනකීපය තුල වෙනස් කිරීමට යොදාගෙන තිබිණි) මේ ඝාතක කන්ඩායම කොළඹ නගරයේ සියලුම වටරවුම් සහ ප්‍රධාන හන්දිවල අහවල් අංක දරණ මෝටර් සයිකලය ගමන් ගනීද යන්න ගැන විමසිලිමත්වී ඇත. අදාල අවාසනාවන්ත දිනයේදී නිශ්මි විසින් මෙම මෝටර් සයිකලයෙන් පැමිණ දෙහිවල ප්‍රදේශයේදී සරසවි මිතුරෙකුගේ සහෝදරයෙකුගේ නවාතැනකට පැමිණ දැඩි මහන්සිය නිසා නින්දට වැටී ඇත. මෙම නිවසේ සිටි සරසවි සඟයාගේ සොහොයුරා නිශ්මිගේ බයිසිකලය පැදගෙන යම් අවශ්‍යතාවයක් සඳහා දෙහිවල හන්දිය පසුකොට යාමේදී අදාල මෝටර් සයිකල් අංකය ගන උකුසු ඇස යොමාගෙන සිටි බුද්ධි අංශවලට මේ සයිකලය හසුවී ඇත. අනතුරුව මෙම බයිසිකලය පැදගෙන පැමිණී පුද්ගලයා සමග ඔහුගේ නවාතැනට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් නිදාගෙන සිටි නිශ්මිව අත් අඩංගුවට ගෙන ඇත. ඔහුව මරා දමීමට ප්‍රථම ඒ.සී.එස් හමීඩ් මහතාත්, මහාචාර්‍ය අර්ජුන අලුවිහාරේ මහතාත් නිශ්මිගේ ජීවිතය බේරාගනීමට විශාල උත්සාහයක් දැරූ නමුදු එවක ආරක්ශක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්නගේ අණ එකල ඉතා බලවත් විය.( මේ අදවනවිට නිශ්මි අත්අඩංගුවට පත්වීම සම්බන්ධව අපවෙත ලබීඇති විශ්වාසදායක කරුනු සහ නිශ්මි රඳවාගෙන සිටි වධකාගාරයේදී ඔහුව අහම්බෙන් වැසිකිලියට හෝ ඔහුව සේදීමට ගෙනගියවිට ඔහුට මුණගසුනු අවසාන ශිෂ්‍යයා හට නිශ්මි රහසේ කී අවසාන වචන සලකා බලීමන් බව සලකන්න)
ඒ අදින් වසර 35 කට පමණ පෙර, මා නියෝජනය කල ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙර ගමන්කරුවෙකු වූත් නිර්ධන පන්ති අරගලයේ අපරාජිත සටන්කරුවෙකු වූත් “නිෂ්මි” ඝාතනය කරන ලදී. එපමණක් නොව නම් නොදත් සහෝදර සහෝරියන් දහස් ගණනක් ඝාතනය කරන ලදී. අදවනවිට එදා අරගලය තුල ක්‍රියාශීලීව සිටි සහ එයට සහයෝගය දුන් අය කංඩායම් කීපයකට බෙදී සිටී. එක් පාර්ශ්වයකට අනුව, එදා නිශ්මි ඇතුලු අරගලයේදී දිවිදුන් සගයින්ගේ ප්‍රාර්ථනා අද ඉටුවී ඇත. එදා ඔවුන් බලාපොරොත්තුවූ සමාජ වෙනස නැත්නම් ක්‍රම වෙනස අද උදාවී ඇත, පාලන බලයද ලැබී ඇත. එසේම තවත් පාර්ශ්වයකට අනුව, එදා අරගලය තුල දිවි දුන් නිශ්මි ඇතුලු සඟයින්ගේ බලාපොරොත්තු ඉටුකිරීමටත්, ඔවුන් පැතූ ලෝකය උදා කරගැනීමටත් තවදුරටත් සටන් කල යුතුය. එදා ඔවුන් ගිය පාරේ යා යුතුය. එසේම තවත් පාර්ශ්වයක් මෙ දෙපාර්ශ්වයටම සම්බන්ධ නොවී දේශපාලනයෙන්ද විතැන්වී තම තමන්ගේ කටයුතු සහ කුටුම්භ ජීවිතයේ එදිනෙදා ගටලු වලට මැදිහත් වෙමින් සිටී. ඉතාම කුඩා පාර්ශ්වයන් කීපයක් කිසිදු පැත්තක් නොගෙන, මේ සිදුවූ සහ සිදුවන දේශපාලණ චලනයන් හදාරමින් සිටී.
අධ්‍යාපනය රටේ පීඩිත පංතියේ අයිතියක් කිරීමේ සටනින් පැනනැගි ඔව්හු, සිය උදාරවූ පැතුම් අවසන් සුසුම් සමඟ වාතලයට මුසුකලේ මතුදිනක මේ භූමිය මත නිදහස් මිනිසුන්ගේ සිනාකැන් දකිනු රිසියෙනි_සිරිමල්වත්ත.
එවක ජනරළ කතෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා විසින් මා එදා “ජනරළට” පුවත් පතට සැපයූ මේ ලිපියේ අවසන් සටහන එසේ සකසා තිබිනි.
( මෙම ලිපිය මා විසින් ලියන ලද්දේ නිශ්මිගේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඔහුගේ භූමිකාව තුල ධනාත්මක අංගයන් පමණක් මතුකරමින් සහ නිශේදාත්මක අංගයන් මතු නොකරමිනි. ” 89- සහෝදරත්වය” හි අධ්‍යාපන කවය තුලදී අප සාකච්චාවට භාජණය කල ඔහුගේ නිශේධනාත්මක පැත්ත, විශේශයෙන් නිශ්මි උරතුරේ ජනවාර්ගික ගැටලුව හරියාකාරව ග්‍රහණය කර නොගත්තේ ඇයි? ඔහුට තිලීපන් මුණ නොගැහුනේ ඇයි? නිශ්මිට සහ රන්ජිතම්ට උතුරේ ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ එක්ව යම් ගමනක් සාදාගැනීමට නොහකිවූයේ ඇයි? නිශ්මිට සහ රන්ජිතම් ගුණරත්නම්ට දයා පතිරණ ගේ දැක්ම අතික්‍රමණය කිරීමට නොහැකි උනාද? යන කරුනු ද්විඝඨනාත්මකව නිශ්මිගේ භූමිකාව පාදක කරගනිමින් සාකච්චා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි)