උදේනි බන්දුල දිසානායක..!
උදේනි බන්දුල යනු ශිෂ්‍ය ව්‍යාපාරය තුල සිටි ශිෂ්‍ය නායකයින් අතුරින් ඉතාමත් සුවිශේෂ චරිතයකි. එයට හේතුව නම්, ඔහුට ඉතා සූක්ෂම අයුරින් වැඩ කිරීමට තිබූ හැකියාවත්, ඉතා බැරෑරුම් දේවල් සැහැල්ලු අයුරින් ඉතා පිළිවෙලට ඔහුට කිරීමට තිබූ අපූරු හැකියාවයි. මේ හැකියාව නිසාම බන්දුල ශිෂ්‍ය ව්‍යාපාරය තුල 87-89 දැඩි මර්ධන අවධියේදී ශිෂ්‍ය නීති කමිටුවේ කටයුතු කිරීමට අනුයුක්ත කෙරිණි. මෙය මගේ මතකයේ හැටියට ශිෂ්‍ය නායක නිෂ්මි සහ පියසිරි සහෝදරවරුන්ගේ අදහසක් විය. පියසිරි යනු නිශ්මි සහ ලෙනෝරා යන අයගේ සංවිධායකයාය. මුලින් පේරාදෙනිය සරසවිය මුල් කොටගෙන නීති කමිටුවේ ක්‍රියාකල බන්දුල ඉතා කෙටිකලකින් මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ ඉදිරි පෙල ක්‍රියාධරයෙකු වෙමින් කොළඹ මුල්කරගෙන නීති කටයුතු මෙහෙයවන්නට විය.

පේරාදෙනිය සරසවියේ ප්‍රකට චරිතයක් ලෙසින්.
බන්දුල දිසානායක හෙවත් උදේනි බන්දුල පේරාදෙනිය කැම්පස් එකතුල වඩාත් ප්‍රසිද්ධියට පත්වී තිබුනෙ “ඉබ්බා” නමිනි. ඉබ්බායනු, ප්‍රමාණය ඉක්මවා අනුන්ගෙන් ගජේ ගහන අයට දාන කැම්පස් එකේ “කාඩ්” එකය. මෙය බන්දුලට වැටුනේ ඔහු බොහෝවිට ඔහුට කියා දෙයක් කැම්පස් එකේ පාවිච්චි නොකල නිසාත්, බොහෝ විට වෙනත් අයගේ කාමරවල නේවාසිකව සිටීම නිසාත් වේ. තවද බොහෝවිට වූස්(WUS) කැන්ටිමේ හෝ හිල්ඩා කැන්ටිමේදී හවුල් ප්ලේන්ටිය ගැසූ නිසාත් වෙනත් අයගේ කමිස ඇඳීම පුරුද්දක් කොටගෙන තිබූ නිසාත් ඔහුට “ඉබ්බා” යන කාඩ් එක හොඳහැටි ගැලපිනි. මෙයට තවත් හේතුවක් වන්නේ බොහෝවිට බස්වල නොමිලේ යාමට බන්දුල තුල තිබූ සහජ හැකියාව නිසාත් වියහැක. වරෙක බන්දුල ඇතුලු මිතුරන් පිරිසක් බසයක නොමිලේ යද්දී ටිකට් පරීක්ෂක වරුන්ගෙන් බේරී ආවේ ඉමහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය. ” ඉබ්බා” යන අන්වර්ථ නාමය ඔහුට ලැබීමට ප්‍රථම එනම් සරසවි යාමට ප්‍රථම ඔහුව මිතුරන් හැඳුන්වූයේ “දරා” ලෙසය. ඔහුගේ ශරීරය ශක්තිමත් සහ දරකොටයක හැඩයක් ගත්බව මේ නම භාවිතා කිරීමට එක් හේතුවකි. කෙසේ වෙතත් සරසවි ගියපසු ඔහුගේ නම වූයේ “ඉබ්බා” ය.

නීති කටයුතු සඳහා බන්දුලගේ මැදිහත්වීම.
1989 මුල් භාගයේදී අනුරාධපුර ථූපාරාමය අසල ස්ථානයකට රැස්වූ ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව පොලීසියට ලැබුනු හදිසි ඔත්තුවක් අනුව වටලා අත් අඩංගුවට ගැනීමේදී ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක දිනේෂ්, වෘත්තීය අංශ සංවිධායක ජගත් පාලිත ඇතුලු කමිටුවම අත් අඩංගුවට පත්වී මිහින්තලේ වධකාගාරයට ගෙනගියවිට ඊට අවශ්‍ය නීතීඥ්ඥ සහාය නුවරින් ලබාදී ක්ෂණයකින් නීතීඥ්ඥවරියක් නුවරින් අනුරාධපුරයට එවා එම දිස්ත්‍රික් කමිටු සගයින්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමටද බන්දුල විශාල කාර්‍යභාරයක් ගෙනගියේය.
එසේම පැහැරහනුලැබූවන් වෙනුවෙන් බොහෝ හබයාස්කෝපස් ඉදිරිපත් කිරීමද, අතුරුදහන් වන සහ අතඩංගුවට ගනුලබන බොහෝ ශිෂ්‍යයින් වෙනුවෙන් මෙන්ම ඒ වකවානුවේ පැහැර ගත් සහ අත් අඩංගුවට ගත් බොහෝ තරුන තරුණියන් වෙනුවෙන් නීති කටයුතු ඉදිරිපත් කිරීමටද ඔහු සිය ජීවිත අවධානමද නොතකා ක්‍රියාකළේය. බොහෝවිට ඔහු අත හබයාස්කෝප් පත්‍රිකා, අතුරුදහන් වූවන්ගේ චායාරූප හෝ මොනයම් පැහැරගැනීමක නඩුකටයුත්තකට අදාල ලියකියවිලි නොඅඩුව තිබිණි. එසේම එවක මනව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනීසිටි ප්‍රගතිශීලී නීතීඥ්ඥවරුන් සමඟද මාද්‍යවේදීන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් සමගද ඉතා කිට්ටු සබඳතා ගොඩනගාගෙන තිබිණි. ඔවුන් අතර නීතීඥ්ඥ චරිත ලංකාපුර, ප්‍රින්ස් ගුණසේකර, විජේදාස ලියණාරච්චි වැනි අයද වූහ.
එපමණක් නොව 1989 සැප්තැම්බර් මස අනුරාධපුරේදී අංක තහඩු නොමැති සුදු වාහනයකින් මාව පැහැරගත් විටද වහා ක්‍රියාත්මකවී මගේ අතුරුදහන් වීම එවකට UGC භාරව සිටි මහාචාර්‍ය අර්ජුන අළුවිහාර මහතාද, උසස් අධ්‍යාපන ඇමති A.C.S හමීඩ් මහතාද දැනුවත් කරමින්ද මාගේ දෙමව්පියන් දැනුවත් කිරීමද මිහින්තලේ වධකාගාරයේ සඟවා රඳවාගෙන තිබූ මගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිතවූයේද බන්දුල ඇතුලු සඟයන් ගනුලැබූ නීති කටයුතු වල මැදිහත්වීමෙනි. මිහින්තලේ වධකාගාරය භාරව සිටි වධකයාවූ එවක S.I. ප්‍රනාන්දු මගේ රැඳවුම් නියෝග ලැබී වධකාගාරයෙන් බූස්ස රැඳවුම් කඳවුර වෙත ගෙනඒමට එවක ජේෂ්ඨ පොලිස් අධිකාරී කුමාරසිරි ලියනගේ (මගේ මතකයේ අනුව) කටයුතු කලවිට මා මිහින්තලේ වධකාගාරයෙන් පිටතට ගෙනඑන විට S.I. ප්‍රනාන්දු වධකයා මගේ මූණටම කීවේ, “ ෂික්: මට තෝව මිස් උනා” යනුවෙනි.ෙ එහි තේරුමනම් මා පැහැරගත් විගස මට අදාල නීති කටයුතු ක්‍රියාත්මක නොවූයේනම් මගේ ඉරණම මීට වඩා බොහෝසේ වෙනස්වීමට තිබූ බවයි.
එසේම කුමාර් ගුණරත්නම් ත්‍රීකුණාමලය ප්‍රදේශයේ අත් අඩංගුවට ගෙන කන්තලේ හමුදා කඳවුරේ එවක කර්නල් සරත් ෆොන්සේකාගේ සහ කපිතාන් කොතලාවල යන අය යටතේ රඳවා තැබූ විට එවක ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා සර්ව පාක්ෂික සාකච්චා සඳහා යොමුවෙනවිට එම සාකච්චා සඳහා මූලික පියවරක් ලෙස අත් අඩංගුවේ පසුවන ක්‍රියාධරයින් කීපදෙනෙකුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඒ වනවිට අත් අඩංගුවේ පසුවුනු කුමාර් ගුණරත්නම්ව බැලීම සඳහා ආරක්ෂක අංශයෙන් අවසර ගෙන ප්‍රගතිශීලී පෙරමුණේ නායක ආරිය බුලේගොඩ මහතා සමග ඔහුගේ රියදුරා ලෙස ජාතික ඇඳුමකින් සැරසී කුමාර් ගුණරත්නම් බැලීම සඳහා ගියේද උදේනි බන්දුල දිසානායකය. කුමාර් ගුණරත්නම්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට එය බොහෝ ඉවහල් විය. එසේම 1986 අගභාගයේදී සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් කෑගල්ල නගරයේදී කුමාර් ගුණරත්නම්ව පැහැරගෙන ගියපසු ඒ ගැන සොයාබැලීමේදී ඔහුව ගලගෙදර පොලීසියේ රඳවා ඇතිබව සොයාගෙන මුලින්ම ඔහුව බැලීමට ගලගෙදර පොලිසියට ගියේද උදේනි බන්දුලය.

උසස් අද්‍යාපනය සහ සරසවි පිවිසුම.
කෑගල්ලේ යට්ටෝගොඩ පදිංචිව සිට දැදිගම පරාක්‍රමබාහු මහා විදුහලෙන් උසස් පෙළ හදාරා පළමුවරම උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් සරසවියේ ඉංජිනේරු පීඨයට වරම් ලැබූ එම පාසැලේ පළමු ශිෂ්‍යයා වන්නේද උදේනි බන්දුල දිසානායකය. සහෝදරයින් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා බන්දුල විය.කුඩාකලදීම පියා පවුලෙන් වෙන්වුනු අතර හෙදියක් උනු බන්දුලගේ මව මේ පුතුන් හතර දෙනා උස් මහත් කිරීමට බොහෝ වෙහෙස විය. 89-89 කාලයේ හදිසියේ බන්දුලගේ යට්ටෝගොඩ නිවසට යද්දී සහ එද්දීත් බන්දුලගේ මව අපට පරෙස්සම් වන ලෙස බොහෝ අවවාද ලබාදෙන්නීය. එහෙත් ඒ සියලු අවවාද නොතකා අපි අපගේ ක්‍රියාමාර්ගවල ඉදිරියටම ගියෙමු.
බන්දුල මට මුණගැසෙන්නේ කෑගල්ලේදී අපි උසස්පෙළ පංති සඳහා ටියුෂන් යනකාලයේදීය. මම, කුමාර් ගුණරත්නම් සහ බන්දුල දිසානායක බොහෝ කිට්ටු මිතුරන් වුනු අතර උසස් පෙළ පළමුවරින්ම සමත්වී බන්දුල දිසානායක මුලින්ම පේරාදෙනි ඉංජිනේරු පීඨයට වරම් ලැබූ අතර, කුමාර් දෙවන වර පේරාදෙනියට තේරිනි. මා තුන්වෙනි වරට විද්‍යා පීඨයට තේරුනද මට ලැබුනේ කැළණි සරසවිය බැවින් මා කැළණි සරසවියෙන් පේරාදිනියට ගැනීමට බන්දුල විසින් මෙහෙයුමක් දියත්කොට තිබිනි. ඒසඳහා පේරාදෙනියේ සිට කැළනියට සුහද මාරුවකින් යෑමට කැමති ශිෂ්‍යයෙකු සොයාගෙන ඒ සුහද මාරුව ක්‍රියාවට නංවා දුන්නේද බන්දුල සහ කුමාර් විසිනි. එපමනක්නොව පේරාදෙනිය සරසවියට පැමිණීමටත් ප්‍රථම මේ දෙදෙනා මාව ඉඩමෙගම සහෝදරයා විසින් පැවැත්වූ සාකච්චාවට සහභාගි කරවීය. එබැවින් උදේනි බන්දුල යනු මගේ දේශපාලන ජීවිතයට ඉතා තදින් කාවැදී සිටි චරිතයකි. මට මෙන්ම බන්දුලටත් කුමාර්ටත් රංජිතම් ගුනරත්නම්ගේ දේශපාලණ ආභාශය තදින් කාවැදී තිබිනි. බොහෝවිට මාත් බන්දුලත් ජවිපෙ දේශපාලනයට යොමුවීමට මේ ගුණරත්නම් අයියා-මලෝ දෙදෙනාගේම ආභාශය තදින් කාවැදී තිබූබව කීවොත් වඩා නිවැරදියැයි සිතමි.

අරුනෝදය ලංකා
(ඉහත පිංතූරය ශිෂ්‍ය ව්‍යාපාරයේ එවකට පලවූ ඉතා ප්‍රසිද්ධ පිංතූරයකි. මේ පිංතූරය මගේ මතකයේ හැටියට ගෙන ඇත්තේ එවක අන්තර් විශ්ව විද්‍යාල බලමංඩලයේ සිටි දක්ෂ කැඳවුම් කරුවෙකු වුනු නිමල් බාලසූරිය සහෝදරයාගේ අවමගුලේදීය. මෙහිදී මෘත දේහය කරතබාගෙන ඉදිරියෙන් දකුණූ පසින් ගමන් කරන කොටු කමිසයකින් සැරසී සිටින්නේ උදේනි බන්දුල දිසානායකය)
අධ්‍යාපන කඳවුර.
බන්දුල දිසානායක සොයුරා පිළීබඳව තවත් අමතක නොවන සිද්ධියක් වන්නේ අපි එකට පක්ෂයේ අධ්‍යාපන කඳවුර සඳහා සහභාගිවීමය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාධරයන් වෙනුවෙන් සංවිධානය කරතිබූ අධ්‍යාපන කඳවුර සූදානම් කොට තිබුනේ සරසවි වසාතිබූ සමයක ජයවර්ධනපුර සරසවියේ “රාහුල” ශාලාවේදීය. ඒ සඳහා එදා සහභාගිවූ අති බහුතරයක් සිසුන් අද ජීවතුන් අතර නොමැත. කොළඹ සරසවියේ වෙනුර සහෝදරයාගේ සංවිධානත්වය මත පැවැත්වූ මෙම අධ්‍යාපන කඳවුරට එදා කොල්ලුරේ, ත්‍රීමා විතාන, බන්දුල දිසානායක, දසනායක(ආට් දසේ), මැතිව් ප්‍රනාන්දු, නිෂ්මි, ජයසේකර(ජයියා), සුදත් බංඩාර, මිල්රෝයි, රවීන්ද්‍ර සහ තවත් ප්‍රධාන පෙළේ ශිෂ්‍ය ක්‍රියාධරයින් රැසක් සහභාගිවිය.
සරසවිය වසා තිබෙන කාලයක කාටවත් සැකයක් නොසිතෙන පරිදි පුරා සතියක් පුරා පැවැත්වූ මෙම අධ්‍යාපන කඳවුරටද සහභාගිවූයේ මමත්, බන්දුලත් එකටමය. ඉන්පසු කාලයේදී පේරාදෙනිය ශිෂ්‍ය කේන්ද්‍රයේදී ඇක්ෂන් කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර තුරදී ත්‍රීමා විතාන ඇතුලු තිදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වූ ආරංචිය ගෙනාවේද බන්දුල සහෝදරයාය. එසේම පේරාදෙනිය ඊරියවැටියහිදී පිපිරුනු බෝම්බය සහ එයින් තුවාලවී බේරුනු ශිෂ්‍ය ක්‍රියාධරයා වෙනුවෙන් ක්‍රියාත්මක උනේද බන්දුලය. ඔහුට එවන් අවස්ථාවලදී ක්‍රියාකලයුතු ආකාරය ගැනත්, ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් ඉතාමත් හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබිනි.
අවසන් හමුවීම.
ඔහුට අධික මර්දනයකදී උවද ක්‍රියාත්මකවීමට අපූරු හැකියාවක් තිබිනි. 1989 අගභාගයේදී මානව සුරැකීමේ නීති ශිෂ්‍ය සංවිධානයේ කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණි විට ඔහු මා හට හමුවූ අතර මට ඔහුව අවසාන වතාවට හමුවුනේ 1989 සැප්තැම්බර් 06 වනදාය. එදා මමත්, කුමාර් ගුණරත්නම් සහ උදේනි බන්දුල කථාබස් කරගත් පරිදි කෑගල්ලේ අපගේ නිවසේදී හමුවිය. ඒ මමත්, බන්දුලත්, කුමාර් ගුණරත්නමුත් එකට හමුවූ අවසාන අවස්ථාවයි.
අතිශය භීෂනකාරී කාලයේදී බන්දුල කොළඹ සිටත්, කුමාර් ත්‍රිකුනාමලයේ සිටත්, මම අනුරාධපුරයේ සිටත් අපගේ නිවසට පැමිණි අතර එදින රාත්‍රි අප නිදාගත්තේ අප නිවසේ වහලය උඩ කොනක තිබූ කොන්ක්‍රීට් දමා තිබූ කොටසකය. පාන්දර දෙක තුන පමණ වනතුරු අල්ලාප සල්ලාපයේ යෙදී සිටිමින් පසුදා එලිය වැටීමට ප්‍රථම අප එකිනෙකාගෙන් සමුගෙන කුමාර් ත්‍රිකුණාමලය බලාත්, බන්දුල කොළඹ බලාත්, මම අනුරාදපුරය බලා යාමට පොල්ගහවෙල දුම් රිය පිල දක්වාත් පිටත් විය. ඉන්පසු අනුරාධපුරයේදී සැප්තැම්බර් 09 වනදා සිවිල් ඇඳුමින් සැරසුනු කංඩායමක් මාව පැහැරගෙන ගිය අතර කුමාර් ගුණරත්නම්ව ත්‍රිකුණාමලයේදී අත් අඩංගුවට පත්විය. උදේනි බන්දුල දිසානායක 1989 අගභාගයේදී බොහෝ සංවිධායකයින් අත් අඩංගුවට හෝ මරුමුවට පත්වීමත් සමග සංවිධාන ජාලය නැවත ගොඩනැගීමට සෙසු ඉතිරිවී සිටි අය සමග කටයුතු කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සිට ඇත.
ඔහු අත් අඩංගුවට පත්වී වධකාගාරයට ගෙනගොස් බොහෝ වධ පැමුනුවද ඔහුගෙන් වටිනා යමක් ගැනීමට මුතාලිෆ්ගේ වධකයන් අසමත්විය. බන්දුල සමග එදා වධකාගාරයේ සිටි සරසවි සිසුන් කීප දෙනෙකු පසුව නිදහස්වී පැමිණියද උදේනි බන්දුල මුතාලිෆ්ලාගේ ඝාතන ලයිස්තුවේ සිටි අයගෙන් බන්දුල එක් අයෙකුවිය. එක් නිදහස්වී පැමිණි ශිෂ්‍යයෙක් මට පැවසුවේ බන්දුල පෙන්වා එම වධකයා පවසා ඇත්තේ,” මූ දානපොත් අපි කියෝල නෑ” යනුවෙනි.
අපගේ දෘෂ්ඨිවාදය තුලින් එහා නොදැකීමේ අඩුව.
කෙසේ නමුත් උදේනි බන්දුල දිසානායක සහෝදරයා මෙන්ම අපි සැවෝම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ වකවාණුවේදී ඒ පැවති අධිපති මතවාදය තුලම වුනු දෘෂ්ඨීවාදය තුල සිටි බැවින් එම දෘෂ්ඨීවාදයට පිටතින් දේවල් හැදෑරිමට හෝ ඊට පිටත දේවල් විශ්ලේශණය කරගැනීමේ අවස්ථාව මගහැරිණි. ඒ නිසාම එදා ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාත්මක වුනු බන්දුල වැනි ඉතාමත් බුද්ධිමත් දක්ශ ක්‍රියාධරයිනට දියුනු දේශපාලණ චින්තකයින් බවට පත්වීමේ අවස්ථාව අහිමි විය. එසේම අප පවත්වාගෙන ගිය දෘෂ්ඨීවාදයේ තිබූ අඩුපාඩුකම් සහ පවතින සන්දර්භයට තිබූ නොගැලපීම් වෙනස් කරමින් ඒවා අප්ඩේට් කරමින් ඉදිරියට යාම වෙනුවට සියල්ල පොළොවට සමතලා වනතුරුම ක්‍රියාමාර්ගවල පැවති අඩුපාඩු දැක දැක ඒවා ආපස්සට හැරවීමට සමත් නොවීමත්, එසේ ඒවා වෙනස් කිරීමට සමත් අරගලයක් ව්‍යාපාරය තුල සිදු නොකිරීමත් යන අඩුපාඩු එදා ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාධරයින් ලෙස සිටි අප හැමෝගෙන්ම සිදුවූ බවත් මතක් කරදීමට කැමැත්තෙමි.
කෙසේ වෙතත් එදා යහපත් චේතනාවකින් යහපත් සමාජයක් රටට උදාකිරීමට තම අධ්‍යාපනය නොමසුරුව කැපකොට අනතුරුව පූර්ණකාලීනව දේශපාලණ ව්‍යාපාරය වෙනුවෙන් කැපකොට අවසානයේ සිය නවයොවුන් ජීවිතයත් කැපකොට ඉතාමත් තුරුණූ වියේදීම අපෙන් සමුගත් දස දහස් ගණනින්වූ තරුණ තරුණියන් අතරට එක්වූ උදේනි බන්දුල දිසානායක සොයුරා මියගොස් අදට වසර 35 ක් පමණ ගෙවීගියද ඔහු පිළීබඳ මතකය අපගේ ජීවිත පවතින තුරාවට අප මතකයෙන් ගිලිහී නොයනු ඇත.

Ranjana Senanayake.