ඇමරිකා- ඉරාන යූද්ධය සහ අපි..!
සටන් විරාම මැද යුද්ධය දිගින් දිගටම පවතී. මිනිස් ජීවිත, දේපොළ , පරිසරය පමණක් නොව සතා සිව්පාවන්ට පවා මහත් විනාශයක් යුද්ධයෙන් ගෙන දෙමින් පවතී. මෙහි අවසානයක් දැකිය යුතුය. නමුත් එය සිදුවන්නේ කවදාද? ඉරානය සතු වඩිදියුනු කරමින් පවතින යුරේනියම්(Uranium) ප්‍රමාණය ඇමරිකාවට භාරදෙන්නේ කවදාද? හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අත හරින්නේ කවදාද? ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ යුධ වියරුව නිමාවෙන්නේ කවදාද?

” යුද්ධයේ අවසානය දැක ඇත්තේ මියගිය අය පමණි”
(ප්ලේටෝ)
දේශපාලනයේම තවත් ස්වරූපයක් ලෙස.
දැනට පවතින ඇමරිකා ඊශ්‍රායල් ඉරාන යුද්ධය පමණක්ම නොව, ලෝක ඉතිහාසය තුළ මෙතෙක් පැවැති අතිවිශාල වූ යූද්ධ සංඛ්‍යාව පිළිබඳව සලකා බැලීමේදී ඒවා වහල් යුගයේ වේවා, වැඩවසම් යුගයේ වේවා, ධනවාදී යුගයේදී වේව මේවා නිකම්ම නිකම් අහම්බෙන් ඇතිවූ දේවල් නොවන බව පැහැදිළි වන කරුණකි. ඒවා සියල්ලම සිදුවී ඇත්තේ ඒවට හේතු භූත වූ කරුණු සහ ඒ මතින් ගොඩනැගුණු ප්‍රතිඵල ආශ්‍රයෙනි. එසේ බලන විට යුද්ධය තුළ ගැබ් වී තිබෙන යාන්ත්‍රණයක් ඇත. මේ යාන්ත්‍රණය නම් අන් කිසිවක් නොව දේශපාලනයයි. යුද්ධය යනුම දේශපාලනය ප්‍රකාශවන වෙනත් ස්වරූපයකි. දේශපාලනික කරුණු පාදක කරගනිමින් සමාජය වෙත ලබාදෙන යහපත් දේවල් මෙන්ම අයහපත් දේවල් යුද්ධය මගින්ද සමාජය වෙත ලබාදෙනු ලබන්නේය. මිසයිල මගින් වේවා, බෝම්බ මගින් වේවා, වෙළඳ ගිවිසුම් මගින් වේවා, වෙනත් කලාපීය ගිවිසුම් මගින් වේවා, අන්තර් ජාතික සම්මුතීන් මගින් වේවා, ප්‍රතිඵලය නම් වෙනත් කිසිවක්ම නොව දේශපාලනයමයි. එම නිසාම මෙම යුද්ධයේ ද දේශපාලන ස්වරූපය තුළින්ම මිස වෙනත් කිසිදු ආකාරයකින් එහි ප්‍රතිඵලය තේරුම් ගත නොහැකි බව ප්‍රකාශ කළ යුතුමය.
යුධ ජයග්‍රහණයේ බලපෑම.
යුද්ධයේ අවසානය ප්‍රධාන අවස්ථා තුනකින් සිදුවිය හැකිබව පැහැදිලිය. එහිදී එක්කෝ ඇමරිකාව ඊශ්‍රායල් පිල ජයග්‍රහනය කළ හැකිය. නැතිනම් ඉරානය ජයග්‍රහණය කළ හැකිය. එසේත් නොමැතිනම් ජය පරාජය කින් තොරව සමාදානය කින් අවසන් විය හැකිය. මෙහිදී සමාදානය කින් අවසන් වීමේදී යුධ ගිනි අළුයට සැඟවී තිබීම අනිවාර්ය කරුණකි. එබැවින් මෙහිදී අප සලකා බැලිය යුතු කරුණ වන්නේ යුද්ධයේ ජයග්‍රහණය කුමණ පිලකටද? ඒ අනුව එය අපට විශේෂයෙන්ම ශ්‍රීලංකාවට බලපාන්නේ කෙසේද? යන්න පිළිබඳව විග්‍රහයක් කිරීම ඉතාම වටිනා කරුණකි.
තවද මෙවන් යුද්ධවල එක් පාර්ශ්වයක් ජයගැනීම නූතන ලෝක සන්දර්භයන් තුලදී සිදුවන්නේ ඉතාම කලාතුරකින් බවද කිව යුතුය. ඇමරිකා-ඇෆ්ගන් යුද්ධය, රුසියා-යුක්‍රේන් යුද්ධය සහ මීට කලින් පැවති ඉරාන-ඉරාක යුද්ධය පවා අවසන් වූයේ දෙපාර්ශ්වයම ජයග්‍රහනය තමන් ලද බවට පුරසාරම් දෙඩීමෙන් සහ පුරසාරම් දෙඩීමට නියමිතවය. එය පශ්චාත් නූතන ලෝක තත්වයන් තුල පවතින යුද්ධ වල තත්වයයි. මක් නිසාද යත් මේ බොහෝ යුද්ධ පිටුපස අත්තේ කලින් යුගවල යුද්ධ මෙන් නොව වෙළඳපොල ආක්‍රමනයන් බැවිනි. ඇත්ත වශයෙන්ම මෙවන් යුද්ධවලදී පරාජය වනු ලබන්නේ මේවායේ බරපැන දරන ලෝක කම්කරු ජනතාවය. එබැවින් මෙවන් යුද්ධවලදී පැත්තකට “හෝයියා” කීම ඉතාම අනුවන ක්‍රියාවක් බව විශේෂයෙන් ලාංකීය වමාංශික කංඩායම් වලට මෙන්ම ඊණීයා උගතුන්ට මතක් කර දිය යුතුය.
ඇමරිකාව ඊශ්‍රායල් පාර්ශවය ජයග්‍රහනය කළොත් එහි ප්‍රතිඵලයන් ශ්‍රීලංකාවට සහ කළාපයට බලපාන්නේ කෙසේද?
(නව ලිබරල්වාදය ස්ථාපිතවීම)

ඇමරිකාව ඊශ්‍රායල් පිලේ ජයග්‍රහණයත් සමගම ඉරානයේ පවතින මධ්‍යතන යුගයේ ආගමික මූලධර්ම පාලනය අහෝසි වනු ඇත. ඒ වෙනුවට ඉරානය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වනු ඇත. එය නව ලිබරල් ධනවාදී පාලන ක්‍රමයක්ම නොවුනද ඇමරිකාවට හිතවත් සහ වෙළඳපොල ආර්ථිකය මූලික කරගත් පාලනය වීමට බොහෝ විට ඉඩ ඇත. සරලව කියන්නේ නම් ඇමරිකාව මේ යුද්ධය ජයගන්නේනම් ඉරානයේ පාලනය සෞදිඅරාබිය සහ අනෙකුත් ඇමරිකාව සමඟ ගණූදෙනු කරනු ලබන පාලනයක් මෙන් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
එසේ වුවහොත් එය ලෝකයේ ධනවාදී ක්‍රමය ශක්තිමත් වීමට මෙන්ම නව ලිබරල් වාදයේ සංවර්ධනයට අවස්ථාවක් වනු ඇත. එයට ප්‍රධාන හේතුවනම් හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝක ආර්ථිකයට විවර වීමයි. එවිට තෙල් බැරල් මිලියන 20 ක් ඉතා මත් නිදහස් ආකාරයට ලෝක වෙළඳපොලට දිනකට නිකුත්වනු ඇත. සාමාන්‍යයෙන් ඇමරිකන් පුරවසියෙක් අවම වශයෙන් වසරකට තම වාහනය සඳහා පෙට්‍රල් සඳහා අමරිකන් ඩොලර් 2500 ක් වත් වියදම් කරනු ලබයි. එය රුපියල් මිලියනයකට ආසන්නවේ. ඇමරිකාවේ ජනගහනය මිලියන 350 කට ආසන්නය. එසේම බටහිර තත්වයද එසේය. තෙල් සඳහා ලංකාවේ මෙන් නොව ධනවත් රටවල් විශාල වියදමක් දරනු ලැබේ. ශීත කාලයේදී එය දෙගුන තෙගුන වේ.
නව ලිබරල් වාදයේ ඉස්මතුවීම.
එනිසා ලෝක තෙල් වෙළඳපොල අනිවාර්‍යයෙන් ධනවාදයේ කළමණාකරනය තුල ප්‍රොසෙස් විය යුතුමය. ඒ සඳහා ඉරානයේ යුධ පරාජයන් බලපානු ඇත. ලංකාව වනි රටවල් වල ආර්ථිකයන් නඩත්තු වන්නේ ඉරානයේ මූලධර්මවාදී ආර්ථිකයන් තුල නොව ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී ආර්ථික බමත පදනම්වය. අදටත් ඇගලුම් කර්මාන්තය තුල වසරකට ඩොලර් බිලියන 7 ක පමණ ආදායමක් අමරිකාව ප්‍රමුඛව ලංකාවට ලබේ. ලාංකීය මධ්‍යම පංතිය සුඛෝපභෝගී බඩු පරිභෝජනය සඳහා අවශ්‍ය ඩොලර් ලැබෙන එක් මාර්ගයක් මේ ඇමරිකාවෙන් ආනයනය කරන අපගේ නිෂ්පාදනයන් වේ. අප මුහුන දෙන යථාර්තය එයයි.
මෙහිදී ඉරානයේ ආගමික රෙජීමය මේ යුද්ධයෙන් පරාජය වුනහොත් ඉරාන ජනතාවට නව ලිබරල් වාදයේ නිශ්පාදන අතිරික්තය නිදහසලෙස භුක්ති විඳීමේ අවස්ථාව ලැබෙනු ඇත. එහිදී මූලධර්ම පාලනය තුළ තිබෙන දැඩි නීති ඉවත්වනු ඇත. ශ්‍රීලංකාවේ රජ කාලයේ පැවති දඩුවම් වැනි දඩුවම් අහෝසි වනු ඇත. ඒ වෙනුවට ජූරි සභාවක් සහිත උසාවි මගින් ලංකාවේ පරිදි යුක්තිය පසිඳලීමේ අයිතිය ජනතාවට ලැබෙනු ඇත. එමෙන්ම ජනතාවට පමණක් වගකියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත වනු ඇත. ජනතා ඡන්දයකින් පාලකයින් තෝරා පත්වනු ඇත. ඔවුන් වගකියන්නේ ජනතාවට මිස දෙවියන්ට නොවනු ඇත. ඔවුන් වසර පහකින් ඉවත්කිරීමේ බලයද ජනතාව සතු වනු ඇත. එය විශාල ජනතා ජයග්‍රහනයක් වනු ඇත. මේ යුද්ධයට පෙර ඉරාන ජනතාව 30,000 ක් ඝාතනය කරමින් ඉරාන රෙජීමය රැකගත් මධ්‍යතන යුගයේ පාලනය අවසන්වී නූතන ඉරානයක් බිහිවීමේ මුල් අඩිතාලම ආරම්භ වෙනුනු ඇත.
නිදහස් වෙළඳපොළ සංවර්ධනය වීම.
ඇමරිකාව ඊශ්‍රායලය පිලේ ජයග්‍රහණයත් සමගම ඉරානය තුළ නිදහස් වෙළඳ පොළක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි. තමන්ගේ රුචිකත්වය අනුව තම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අයිතිය මෙන්ම ඒවා භාවිතා කිරීමේ අයිතිය මිනිසුන්ට ලැබේ. විශේෂයෙන්ම කාන්තාවන්ට දමා තිබෙන තහනම් නියෝග අහෝසිවීම සිදුවීම නිසා තමන්ගේ රුචි අරුචි කම් වලට අනුව ඇදුම් ඇදීම, මෝස්තර කිරීම, විනෝද වීම, යනාදී දේ සඳහා නිදහස ඇතිවීම අනිවාර්ය දෙයකි. පිරිමියා යටතේ හිජාබයට සිරවී සිටින කාන්තාව ඉන් නිදහස් වීම සිදුවනු ඇත. ඉරානයේ කාන්තාවන් ඩුබායි වලට සහ අනෙකුත් බටහිර කරණය වූ කළාපයේ රටව්ල් වලට පැමිණ හිජාබය ඉවත්කර විනෝද වී නැවතත් හිජාබය දමාගෙන ඉරානයට යාමට අවශ්‍ය නොවනු ඇත. ඒ වෙනුවට ඩුබායි මෙන් දියුණු ටෙහෙරාන් නුවරක් ඇතිවනු ඇත. මෙසේ ධනවාදී වෙළඳ පොළ සංවර්ධනය වීම ලංකාවේ මෙන්ම කළාපයේ පවතින ධනවාදී වෙළඳපොලේ සංවර්ධනයට එක එල්ලේම බලපානු ලබයි.
න්‍යෂ්ටික අවිවල තර්ජනය අහෝසි වීයාම.
ඇමරිකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අනුව ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ ජනතාවගේ චන්ද බලයෙනි. ජනාධිපතිවරයා වගකියන්නේ දෙවියන්ට නොව ජනතාවටය. ඔහු ඉවත්කිරීමේ බලයද ජනතාවට චන්දයකදී ලැබේ. එම නිසාම න්‍යෂ්ටික බලය යොදාගැනීමට ජනාධිපතිගේ තනි කැමැත්ත අනුව කළ නොහැකිය. එයට හේතුව ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් තුළ එය භාවිතා කිරීමට තිබෙන සම්භාවිතාවය ඉතා අඩුවීමය. ආගමික මූලධර්මවාදී පාලනයක මෙන් මෙහි උත්තරීතර නායකයෙකු නොමැත. උත්තරීතර නායකයාගේ වගකීම කිසිසේත්ම ජනතාවට නොව දෙවියන්ටය. දෙවියන්ට වග කියන පාලකයෙක් වෙත ඇත්තේ අත්තනෝමතික බලයකි.
එබැවින් න්‍යෂ්ටික බලය යොදාගනීමට උනද ඇමරිකන් ජනාධිපති වරයෙකුගේ තනි කැමැත්තට කල නොහැකිය. ඊට කොන්ග්‍රස් මංඩලයෙන් සහ සෙනේට් සභාවෙන් අනුමැතියත් අවශ්‍යවේ. කොන්ග්‍රස් මංඩලයට සහ සෙනේට් සභාවට පත්විය හැක්කේද ජනතා චන්දයෙනි. එබවින් අමරිකාවේ ජනාධිපතිට අවශ්‍ය ලෙස යුද්ධයක් කල නොහැකි අතර න්‍යෂ්ටික බලය ඔහුගේ තනි කැමැත්තට කෙසේවත් භාවිතා කල නොහැක. නමුත් ඉරානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කිවයුතුය.
IMF වැඩසටහනට ඇතිවන බලපෑම.
ඇමරිකාව ප්‍රමුඛ පිලේ ජයග්‍රහණය කෙලින්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට බලපානු ලැබේ. එම පිලේ එනම් ධනවාදී පිලේ කදී IMF ණය වැඩපිළිවෙලට යම් සහනයක් හෝ ලැබීමට සම්භාවිතාවයක් ඇත. මක්නිසාද යත් එම ණය ආධාර සදහා බලපෑම් කළ හැකි ප්‍රබල රටක් ලෙස ඇමරිකාව ඉහළින්ම සිටියි. ඇත්ත වශයෙන්ම IMF වැඩසටහන කියන්නේම ධනේශ්වර ක්‍රමය තුළම පවතින වැඩසටහනකි. එබැවින් මෙහිදීද ශ්‍රී ලංකාවට යම් සහනයක් බලාපොරොත්තු විය හැකිය. නමුත් ඉරානයIMF වැඩසටහනට කිසිම සම්බන්ධයක් නැත. ලංකාවට ඉරානයෙන් ලබෙන සහනද සුලුපටු නැත. ලංකාවේ තේ වලට අති ඉරාන ඉල්ලුමද විශාලය. එහෙත් ඒ ඉල්ලුම ඉරාන රෙජීමය අවසන් වීමෙන් අවසන් වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වන බලපෑම.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර දුර සැලකූ විට ඒවා එතරම් දුරකින් පිහිටි රටවල් නොවෙයි. නමුත් ඉරානය තුළ දිගින් දිගටම තිබෙන යුද්ධ හේතු කොටගෙන ඉරානයේ සංචාරකයින් හෝ කළාපයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන්නේ ඉතා අඩු නැමියාවකි. නමුත් ඉරානය යුධ මුක්ත කලාපයක් වී නව ලිබරල් රාජ්‍යයක් බවට පත්වූ විටදී එහි සංචාරක කර්මාන්තයේ දියුණුව නියත වශයෙන්ම සිදුවේ. එවිට ටෙහෙරාන් නුවර ඩුබායි මෙන් වෙළඳ මධ්‍යස්ථානයක් වනු ඇත. එය ඒක එල්ලේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ප්‍රභල පිටුවහලක් වනු ඇත.
ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධාන අහෝසි වීම.

ඉරානයේ ආධාර වලින් පෝෂණය වන ප්‍රධාන ත්‍රස්තවාදී සංවිධානයන් කිහිපයක් තිබේ. ලෙබනන්වල හිස්බුල්ලා සංවිධානය ඉන් ප්‍රධාන සංවිධානයකි. මෙය ලෝකයේ තිබෙන ඉතා ප්‍රබල සටන්කාමී සංවිධානයකි. එයට අනුග්‍රහය දක්වන්නේ ඉරානයයි. ගාසා තීරයේ හමාස් සංවිධානය සහ යේමනයේ හූති සංවිධානය ද ඉරානය අනුග්‍රය දක්වන සටන්කාමී සංවිධානවේ. ඇමරිකාව ඊශ්‍රායලය පාර්ශයේ ජයග්‍රහණයක් සිදුවුවහොත් මෙම ප්‍රොක්සි සංවිධානවල පැවැත්ම අහෝසි වීම අනිවාර්ය දෙයකි. එය මේ ත්‍රස්ත සංවිධාන බලය පවත්වාගෙන යන ලෙබනනය, පලස්තීනය සහ යේමනය වනි රටවල් ගිලී පවතින ඉතාමත් අවාසනාවන්ත තත්වයෙන් ගොඩවීමටද විශාල පිටුවහලක් වනු ඇත. ඉරානය අනුග්‍රහය ලබාදෙන මෙම රටවල් අතිශය දිළිඳු රටවල් බවට පත්වී අතිබව රහසක් නොවේ. එයට මූලික හේතුවනම් ඉරානයේ අනුග්‍රහයෙන් වර්ධනය වී ඇති ඒ ඒ ටරටවල් වල සන්නද්ධ ව්‍යාපාරයන්‍වේ.
නිදහස් පලස්තීනයක් අතිවීමට මූලිකවම පලස්තීනුවන් හමාස් සංවිධානයේ ආයුධ බලයෙන් නිදහස් විය යුතුය. නිදහස් ලෙබනනයක් උදාවීමට මූලිකවම ලෙබනන්වල හිස්බුල්ලා සංවිධානයේ ආයුධ බලයෙන් ලෙබනන් ජනතාව නිදහස් විය යුතුය. පලස්තීනයේ ගාසා තීරයේ ප්‍රශ්ණය දේශපාලන ප්‍රශ්නයකි. එය විසඳා ගත යුත්තේ ආයුධ බලයෙන් නොව දේශපාලනමය ප්‍රශ්නයක් ලෙස එය නිරාකරනය කරගනීමෙනි.
එහෙත් මේ රටවල් සහ කළාපවල පාලනය ආයුධ සන්නද්ධ බලවේග පාලනය කරන බවින් දේශපාලන සාකච්චා වලට හෝ සංවාද වලට පවතින තත්වයේදී ඉඩකඩ නොමැත. එසේ ඉඩකඩ විවර වන්නේ මේ ආයුධ සන්නද්ධ සංවිධාන වලට මුදල් සහ ආයුධ ලබාදෙන ඉරාන රෙජීමය අවසන් වූවොත් පමණී. තවද මෙම සංවිධානයන් අහෝසි වීම නිසා ඒවට යොදන විශාල මුදල රටේ සංවර්ධන ක්‍රියාවලියට යෙදවිය හැකිවනු ඇත. එමෙන්ම මෙම සංවිධාන වල ත්‍රස්ත ක්‍රියා නිසා සිදුවන ජීවිත දේපොළ පාරිසරික හානිය අහෝසිවන බව පැහැදිලිය. එසේම ඉරානයේ රෙජීම් වෙනස ඊට යාබද ඇෆ්ගනිස්ථානයේ පාලනයටද බලපාම් එල්ලවනබව කිවයුතුය.
ඉරානය ජයගතහොත්..
අනිවාර්යෙන්ම මෙහිදී ඉරානය ජයගතහොත් ඉරානයේ මූලධර්මවාදී රජයේ ස්ථාවරත්වය ඇතිවේ . ඇමරිකාව හා ඊශ්‍රායාලය යන රටවල් දෙක පරාජය කිරීම නිසා ඉරානයට ලෝකයේ විශාල වූ බලයක් ලැබීම නොවැලැක්විය හැකි කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස මූලධර්මවාදය ලෝකයේ පැතිරවීම අනිවාර්ය දෙයකි. එහිදී හිස්බුල්ලා සංවිධානය, හූති සංවිධානය, හමාස් සංවිධානය, වැනි ප්‍රොක්සි සංවිධාන වර්ධනය වීම සිදුවේ. එහිදී ශ්‍රි ලංකාව තුළද මෙම සංවිධාන වල පැතිරීම සිදුවීමට බොහෝ සම්භාවිතාවක් තිබේ. හෝමෝස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේ බලය ඉරානය සතුවීම අනිවාර්ය දෙයකි. ඒ මගින් ලෝකයේ ඛනිජ තෙල් සැපයුම පාලනය කිරීමේ අසීමිත බලයක් ඉරානයට ලැබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ IMF වැඩසටහනට බලපෑම් ඇතිවේ. එයට තව තවත් කොන්දේසි වැටීම වැලැක්විය නොහැකිය. හේතුව එය ඇමරිකාව ප්‍රමුඛව ක්‍රියාත්මකවන වැඩසටහනක් බැවිනි. ඒ සඳහා ඉරානයේ මැදිහත් වීමක් නොමැත. මෙහිදී ඉරානයේ මූලධර්මවාදය ලෝකයේ පැතිරීම නිසා එය ධනවාදී වෙළඳපොලේ සංවර්ධනයට බාධාවකි. එහි බලපෑම කෙලින්ම එන්නේ තුන්වන ලෝකයේ ශ්‍රී ලංකාව වැනි රටවලටවීම වැළැක්විය නොහැකිය. මෙහිදී ඇතිවිය හැකි තවත් දෙයක් තිබේ. එනම් ඇමරිකාව හා ඉරානය අතර තිබෙන විරෝධතාවය අළු යට ගිනි මෙන් තිබී නැවත වතාවක් යුධ ගිනි ඇවිලීමය. එමනිසා ලෝක සාමය ඕනෑම මොහොතක කඩවීමේ සම්භාවිතාවයක් නිර්මාණය වේ.

යුද්ධයෙන් වාසි හා පාඩු ලබන රටවල්.
යුද්ධය කියන්නේම ධනවාදය තුළ ඇති එක් ප්‍රකාශනයක් පමණි. අනෙක් පසින් ගත් කළ ලෝකයේ සංවර්ධිත රටවලට යුද්ධය හොඳ ආදායම් මාර්ගයකි. ඔවුන්ගේ ලාභ රේට්ටු වැඩිකරන නිසා ඔවුන් යුද්ධයට කැමැත්තක් දක්වයි. ඇමරිකාව පැත්තෙන් බලනවිට ලෝකයේ ප්‍රධානතම අවි නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ සහ බටහිර තිබෙන ප්‍රධාන සමාගම් කිහිපයක් විසිනි. සමහර රටවලට තමන් ඇනැවුම් කළ අවි ආයුධ ලබාගැනීමට වසර ගණනාවක් බලා ඉන්න සිදුවී ඇත. නිදසුනක් ලෙස ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන් ඇණවුම ලබා දීමට තව වසර දෙකක් බලා සිටීමට සිදුවී ඇත.
අනෙක් පසින් බැලුවිට ඇමරිකාව දැන් භාවිතා කරණ අවි ආයුධ පස්වෙනි පරම්පරාවට අයිතිවේ. මේවා විනාශ කිරීමට තිබෙන අවි ආයුධ බැවින් එහි මහා පාඩුවක් ඇමරිකාවට කොහෙත්ම නැත. මේ යුද්ධයේදී විනාශ වෙන්නේ පැරණි අවි ආයුධ නිසා මෙහිදී ඇමරිකාවට ආර්ථිකමය වශයෙන් පාඩුවක් සිදුවී නැත. මෙහිදී ඇමරිකානු ප්‍රමුඛ ධනවාදී රටවල ආයුධ නිපදවන කොම්පැණි විසින් අති විශාල වූ ලාභයක් ලබා ගනියි. රුසියාව මෙම යුද්ධයේ වාසිය ලබන තවත් ප්‍රධාන රටකි. මේ මොහොතේ රුසියාවේ ඛනිජ තෙල් වලට විශාල ඉල්ලුමක් ලැබී ඇත. එම අවස්ථාවෙන් රුසියාව ප්‍රයෝජන ගනිමින් සිටියි. රුසියාව බොර තෙල් විකුණා විශාල ලාභයක් ලබමින් සිටියි. චීනය ද හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා ගොස් ඛනිජ තෙල් ලබාගනී. ඒව විකුණා අති විශාල වූ ලාභයක් ලබා ගනිමින් සිටියි.
මේ යනාදී වශයෙන් එකින් එක සංවර්ධිත රටවල් ගෙන බැලීමේදී ඒවාට යුද්ධයෙන් වාසි මිස පාඩු සිදුවී නොමැත. ධනවාදයේ හැසිරීම මගින් එය මොනවට පැහැදිලිවේ. මෙම යුද්ධයෙන් අවාසි සිදුවන්නේ නැත්නම් පාඩු සිදුවන්නේ කාටද? සත්තකින්ම පාඩු සිදුවන්නේ තුන් වන ලෝකයේ රටවලටය. විශේෂයෙන් IMF මගින් ණය ලබාගන්නා ශ්‍රී ලංකාව වැනි රටවලටය. එබැවින් යුද්ධයේ අභාවාචක අත්දැකීම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක පවතියි. අපට මිසයිල ප්‍රහාර නැතිවුණාට, බෝම්බ ප්‍රහාරයන් නැතිවුණාට, වෙනත් හානි නැති වුණාට, ඉතා ප්‍රබල ආර්ථීක ප්‍රහාරයක් නම් ඇත්තේමය.
ශ්‍රීලංකාවේ දේශපාලන පක්ෂවල මතවාදයන්.
ලාංකික වාමාංශිකයින් මේ යුද්ධයේදී මූලධර්මවාදයේ සරණ යමින් ඉරානයට කඩේයාම ඓතිහාසික වරද්දාගැනීමක් මෙන්ම යුද්ධයකදී එක් පැත්තක් ගනීමද යුද්ධයට ආවැඩීමක්ම මිස වෙනත් යමක් නොවන්නේමය.
මෙම ඉරාන යුද්ධය හමුවේ විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවල මතවාදයයි. කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂවල ක්‍රියාකාරිත්වය පැහැදිලිය. ඒවා සියල්ලම පාහේ ඉරානයට පක්ෂව ඇමරිකවට විරුද්ධව ක්‍රියා කරමින් සිටිති. පෙරටුගාමී සමාජවාදී පක්ෂය බොහෝ විරෝධතා ඇමරිකාවට විරුද්ධව ඉරානයට පක්ෂව පවත්වමින් සිටියි. ඔවුන් ගමන් කරන්නේ සමාජවාදය වෙතට නම් එයට ඉතාම ඈතකින් සිටින මූලධර්මවාදයට ධනවාදයට වඩා ඉහළින් තබා ගැනීම ඛේදජනක තත්වයකි. සමාජ සංවර්ධනයේ අප අද ඉන්නා ධනවාදී නිෂ්පාදන මොඩලය මිනිසා මෙතෙක් අත්පත් කරගත් දියුනුම නිෂ්පාදන මොඩලය බව පලකාල මාක්ස් පෙන්වාදුන්නේත් ආගමික මූලධර්මවාදය පවතියේ මධ්‍යතන යුගයේ බවට අප හදාරා තුබුනේත් වාමාංශිකයින් ලෙසය.
අවාසනාවකට ලාංකීය වාමාංශිකයින් නැවත ඉතිහාස රෝදය පසුපසට කරකවමින් තිබේ. ඔවුන්ගේ නොස්ටැල්ජියාව වැඩවසම් ක්‍රමයත් පසුකොට ආපසු මධ්‍යතන යුගයට ගොස් පංතියට සවිඥ්ඥාණකත්වය ගෙනැඑම වෙනුවට පලස්තීනයට බෝට්ටු පැදීමට උත්සාහ කරනු ලබයි. 1979 දී අයතුල්ලා කොමේනි බලයට ගෙනඒමට ලොවවටා වාමාංශිකයින් ගත් නිර්ලජ්ජී උත්සාහය ඉතිහාසයේ නැවත වරක් එයම සිදුකිරීමට ලාංකීය වාමාංශිකයිනට බලකර ඇත. එය හාස්‍යයකින් කෙළවර වීම හැර අන් යමක් සිදුවීමට අවකාශ සපුරනු නොලබයි.
මෙහිදී ජාතික ජනබල වේගය කිසිම පැත්තක් නොගෙන කටයුතු කිරීම අගය කළ යුතුය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් ක්‍රියාකලාපය නැවත වරක් අගයකරමි. අවසාන වශයෙන් තවත් දෙයක් සදහන් කළ යුතුමය. ධනවාදය සහ මූලධර්ම වාදය අතර පවතින යුද්ධයේදී අපේ රටේ උගතුන් යැයි කියන ආචර්යය මහාචාර්ය ඇතුළු පිරිස ද මුලධර්මවාදය ශක්තිමත් කරමින් සිටියි. දේශපාලන පක්ෂ වේවා, උගතුන් බුද්ධිමතුන් යැයි කියන අය වේවා, කවුරු කෙසේ කුමණ දේ ප්‍රකාශ කළද, සිදුවිය යුක් තේත් සිදුවන්නේත් එකම එක දෙයක් පමණි. එනම් සමාජයේ සංවර්ධනය තාවකාලිකව යම් පසුබෑමක් සිදුවිය හැකිමුත් එය අනිවාර්යයෙන්ම ඉදිරියටම යාම ස්ථිරවම සිදුවන දෙයකි.
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
