“රූපාන්තරණය” (The Metamorphosis) යනු ෆ්රාන්ස් කෆ්කාගේ (Franz Kafka) වඩාත්ම ප්‍රසිද්ධ කෙටි නවකතාවකි. එය සැබවින්ම එම කීර්ති නාමයට සුදුසු නිර්මාණයකි. අප ඒ පිළිබඳව ගැඹුරින් සලකා බලා යම් නිගමනයකට එළඹීමට උත්සාහ කරමු. බොහෝ විචාරකයන්ගේ මතයට අනුව, ‘රූප විපර්යාසය’ යනු නූතන ජීවිතය සතු පරාරෝපණය (Alienation) (මිනිසා සමාජයෙන්, නිෂ්පාදනයෙන් වගේම තමන්ගේන්ම හුදකලා වීමේ) ස්වභාවය විදහා දක්වන කතාවකි. නූතන ලෝකය මිනිසාව කෙතරම් දුරට තනි කරන්නේද යන්න මැනවින් පෙන්වීම සඳහා ග්‍රෙගරි සැම්සා දැවැන්ත කෘමියෙකු බවට පරිවර්තනය වේ.

ග්‍රෙගරිගේ රූපාන්තරණය.
මෙම හුදකලාවීම ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් මෙන්ම පවුල් ජීවිතයෙන් ද, එනම් නූතනත්වයේ සෑම අංශයකින්ම සිදු වන්නකි. එවැනි වටපිටාවක ජීවත් වීම සැබවින්ම උගහටය. ඔහුගේ මෙම රූප විපර්යාසය එකී පීඩනයේ ප්‍රතිඵලයක් බව පොදු අදහසයි. ඉන් අනතුරුව කතාවේ ඉතිරි කොටසින් දිගහැරෙන්නේ, නූතන සමාජය තුළ මෙලෙස හුදකලා වූ පුද්ගලයෙකු ලෙස ජීවත් වීම කෙබඳුද යන්නයි. එම විග්‍රහය සාර්ථක මෙන්ම පැහැදිලි කිරීමේ ඉහළ ශක්‍යතාවකින් යුක්තය.
කෙසේ වුවද, මීට සපුරා වෙනස් චින්තන ධාරාවක් ද පවතී. ජිල් ඩෙලූස් (Gilles Deleuze) සහ ෆීලික්ස් ගටාරි (Félix Guattari) යන දාර්ශනිකයන්ගෙන් පැවත එන එම චින්තනයට අනුව, ග්‍රෙගරි ගේ මෙම රූපාන්තරණය පවුල් ජීවිතයේ පීඩාකාරී සීමාවලින් ලැබුණු නිදහසකි. ඔවුන් නිතරම භාවිතා කරන යෙදුමකට අනුව, ඔහුගේ මෙම ‘සත්වමය භාවයට පත්වීම’ (becoming animal) යනු එක්තරා විදියේ විමුක්තියකි. මිනිසෙකු ලෙස ඔහුට පැවරි ඇති දැඩි සමාජීය භූමිකාවන්ගෙන් මිදීමට ඇති එකම මඟ එයයි. සමාජය සතු පාලනයෙන් මිදීමේ එකම මාර්ගය සත්වභාවයට පත්වීම බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් පවසන පරිදි ග්‍රෙගරි කෘමියෙකු වන්නේ තමන්ගේ පියාගෙන් බේරී පලායාමට නොව, තම පියාට කිසිසේත් සොයාගත නොහැකි නිදහස් කලාපයක් කරා ළඟාවීමටය. එමෙන්ම කළමනාකරුගෙන්, ව්‍යාපාරික ලෝකයෙන් සහ නිලධාරීවාදයෙන් මිදී, තමන්ගේ හඬ තවදුරටත් කිසිවක් කරකියා ගත නොහැකි හුදු මුමුණන හඬක් පමණක් වන කලාපයකට පත්වීමටය. ඩෙලූස් සහ ගටාරි පෙන්වා දෙන්නේ ග්‍රෙගරි ගේ හඬ අහිමි වීම යනු හැඟවුම්කාරකය (signifier) සහ එහි සීමාවලින් ලැබුණු විමුක්තියක් බවයි.
නමුත් ග්‍රෙගරි ගේ සත්වමය භාවය හරහා නිදහස ලබනවා යන අදහස තරමක් සැක සහිතය. මන්ද, මෙම වෙනසින් පසු ග්‍රෙගරි ගේ ජීවිතය කෙතරම් දුක්ඛිතද යන්න දකින විට එම මතය පිළිගැනීම අපහසුය. ඔහු තමන්ගේ නව ශරීරයට තරමක් හුරු වීම සහ සිවිලිමේ යටිපැත්තේ එල්ලී සිටීමට යම් ඇල්මක් දැක්වීම වැනි සුළු කරුණු හැරුණු විට, පොදුවේ ඔහුගේ තත්ත්වය අතිශය ඛේදනීය විය. ඔහු පසු වූයේ අන්ත අසරණ තත්ත්වයකය. එබැවින් මෙය විමුක්තියක් ලෙස අර්ථකථනය කිරීම උගහටය. ඔවුන් මෙම සංකල්පය තවදුරටත් විග්රහ කරන්නේ ‘සාම්ප්‍රදායික ව්‍යුහයන් බිඳවැටී ඒවා නිදහස් තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය නැමැති (Deterritorialization) දර්ශනය හරහාය. එනම්, ඔහුට යම් නිශ්චිත ස්ථානයක තිබූ බැඳීම හෝ මුල් බැසගත් ස්වභාවය අහිමි වීමයි.
නිෂ්පාදනයෙන් බැහැරවූවෙකුගේ ඉරණම.
මිනිසෙකු ලෙස ඔහුට නිශ්චිත වූත්, සීමාසහිත වූත් ස්ථානයක් හිමිව තිබුණි. නමුත් සත්වමය භාවයට පත්වීමේදී ඔහු භූමියෙන් බැහැර වන අතර, ස්ථානය පිළිබඳ සාධකය තවදුරටත් වැදගත් නොවේ. කෙසේ වුවද, කෘතිය තුළ දක්නට ලැබෙන්නේ ඔහුව තනි කාමරයකට කොටු කර ඇති ආකාරයයි. ඔහුට කිසිදිනක තම කාමරයෙන් පිටතට යාමට අවස්ථාව නොලැබේ. ඒ අනුව බලන කල, දැවැන්ත කෘමියෙකු වූ පසු ඔහු පෙරටත් වඩා එකම ස්ථානයකට සීමා වූ (territorialized) පුද්ගලයෙකු බවට පත්ව ඇත. ඩෙලූස් සහ ගටාරිගේ අර්ථ නිරූපණය ප්‍රතික්ෂේප කිරීමට ඇති තවත් ප්‍රබල හේතුවක් වන්නේ එයයි.
අනෙක් අතට, මෙම රූපාන්තරණය සැබවින්ම නිරූපණය වන්නේ තවදුරටත් නිෂ්පාදන ක්‍රියාවලියට ඵලදායී ලෙස දායක විය නොහැකි මිනිසුන් දෙස නූතන සමාජය බලන ආකාරයයි. විශේෂයෙන්ම නූතන සමාජය තුළ නිෂ්පාදනයෙන් බැහැර වූ පුද්ගලයෙකුට අත්වන ඉරණම පිළිබඳව කෆ්කා සිදුකළ ගවේෂණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. සත්වයෙකු බවට පත් වූ පසු ග්‍රෙගරිට තමන්ට සමාජයෙන් පවරා තිබූ ස්ථානයට තවදුරටත් ගැළපීමට නොහැකි වේ. කෙනෙකු තම සමාජීය භූමිකාවට අනුගත වීමට අපොහොසත් වන විට ඔහු සත්වයෙකු බවට පත්වන බව කෆ්කා පෙන්වා දෙයි. මෙහිදී ෆ්රාන්ස් කෆ්කා (Franz Kafka) සත්වයාව හඳුන්වා දෙන්නේ ‘සමාජීය අතිරික්තයක්’ (social excess) ලෙසය. එනම් සමාජයේ සීමාවන් තුළට කොටු කළ නොහැකි අනවශ්‍ය සාධකයක් වශයෙනි. ග්‍රෙගරි එම සීමාවලින් මිදෙන්නට උත්සාහ කරන සැණින්, තමන් සමාජයට අතිරික්තයක් බව සංකේතවත් කරමින් ඔහු සත්වයෙකු බවට පත් වේ.
අතිරික්ත තත්වය.
මෙහි ඇති වඩාත්ම වැදගත් කරුණ නම්, ග්‍රෙගරි යනු එම පවුලේ ප්‍රධාන සහ එකම ජීවනෝපාය සපයන්නා වීමයි. ඔහු රැකියාව කළේ තම පියාගේ ණය බරින් නිදහස් වීම සඳහාය. පියෙකු තම දරුවාට උරුමයක් වෙනුවට ණයක් ඉතිරි කර දීම අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. ඔහුගේ පියා ජීවතුන් අතර සිටියදීම එම ණය බර ග්‍රෙගරි මත පටවා තිබූ අතර, ග්‍රෙගරි ට සිදු වූයේ එය ගෙවා දැමීමට වෙහෙස වීමටය. මෙම කතාව තුළ ‘ණය’ සතු භූමිකාව අතිශය ප්රබලය. මන්ද, ණය ගැතිභාවය යනු නූතන මිනිසා මුහුණ දෙන මූලිකම සමාජ යථාර්ථයයි. පාලක දෘෂ්ටිවාදයන් (ideology) විසින් මිනිසාව තම ග්‍රහණයේ තබා ගන්නේ මෙම ණය ගැතිභාවය හරහාය. තමන් ණය ගැතියෙකු යැයි හැඟෙන තාක් කල්, පවතින ක්‍රමවේදයට එරෙහිව සටන් කිරීමට මිනිසා පෙළඹෙන්නේ නැත.
ඒ වෙනුවට ඔහු කරන්නේ කවදාවත් ගෙවා නිම කළ නොහැකි ණයෙන් නිදහස් වීම සඳහා තව තවත් වෙහෙස වී වැඩ කිරීමයි. එම ණය ව්‍යුහය නිර්මාණය කර ඇත්තේම කිසිදිනක ගෙවා ඉවර කළ නොහැකි පරිදිය. මෙම අධික ශ්‍රම සූරාකෑම හේතුවෙන්, පවතින සමස්ත තත්ත්වය වෙනස් කළ හැකි කිසිදු සාමූහික ක්‍රියාමාර්ගයකට එළඹීමට මිනිසාට අවකාශයක් ඉතිරි නොවේ. කෙටියෙන් කිවහොත්, ණය විසින් මිනිසාව තනි කරන අතරම ඔහුව මතවාදී උගුලක සිරකර තබයි.
කතාව රූපාන්තරණයකින් ආරම්භ වන්නේ, ග්‍රෙගරි මුහුණ දෙන මෙම ‘සමාජීය අතිරික්තය’ නැමැති නව තත්ත්වය තුළට පාඨකයා සම්පූර්ණයෙන්ම ගිල්වාලීම සඳහාය. ‘දිනක් උදෑසන ග්‍රෙගරි සැම්සා නොසන්සුන් සිහිනවලින් අවදි වන විට, ඔහු තම ඇඳ මත දැවැන්ත කෘමියෙකු බවට පත්ව සිටිනු දැකගත හැකි විය.’ මෙය ලෝක සාහිත්‍යයේ ඕනෑම කෙටිකතාවක දක්නට ලැබෙන වඩාත්ම ප්‍රසිද්ධ ආරම්භක වාක්‍යයකි. ෆ්රාන්ස් කෆ්කා (Franz Kafka) කතාව ආරම්භ කරන්නේම තමන් සතු සියලු තුරුම්පු මුලදීම හෙළිදරව් කරමිනි. ඔහු රූපාන්තරණයට පෙර ග්‍රෙගරි සැම්සා කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු හැඳින්වීමක් මුලින් ලබා නොදේ. පාඨකයා ඒ පිළිබඳව දැනගන්නේ පසුවය. මෙමඟින් කෆ්කා පෙන්වා දෙන්නේ මෙම අතිරික්ත තත්ත්වයෙන් මිදීමට කිසිදු බාහිර මඟක් නොමැති බවයි. එක වරක් එය සිදු වූ පසු ඔහු සම්පූර්ණයෙන්ම එහි අසරණ වේ. ‘හෙට උදෑසන මම නැවතත් සාමාන්‍ය මිනිසෙකු වනු ඇතැයි’ සිතීමට කෆ්කා පාඨකයාට කිසිදු ඉඩක් තබන්නේ නැත.
හුදෙකලාවීම සහ පරාරෝපණය.

ග්‍රෙගරි මෙම රූපාන්තරණයට ලක්වන්නේ තම රැකියාව සඳහා පිටත්ව යාමට තිබූ අලුයම 5:00 දුම්රිය මගහැරීමෙන් පසුව වීම විශේෂත්වයකි. රැකියාව සඳහා අලුයම 5:00 දුම්රියක් අල්ලා ගැනීම සැබවින්ම කෲර අත්දැකීමකි. කෆ්කාට එම සාධකය වැදගත් වන්නේ, මෙම රූපාන්තරණයට පෙර ග්‍රෙගරි ගේ ජීවිතය කෙතරම් දුරට දැඩි නීතිරීතිවලට කොටු වූ, යාන්ත්‍රික සහ කර්කශ එකක්ද යන්න පෙන්වීමටය. ඔහුට අවදි වීමට නොහැකි වීම යනු, තමන්ගේ අවිඥානික මනසින් (unconscious) සමාජ ක්‍රමයට එරෙහිව සිදුකළ කුඩා කැරලිගැසීමකි. එම කැරැල්ල ඔහුව මෙම පරිවර්තනය කරා මෙහෙයවයි.
පවුලේ සාමාජිකයන්ට ග්‍රෙගරි යනු හුදෙක් ආදායම් මාර්ගයක් පමණක් වූ අතර, ඔහුගේ වටිනාකම තීරණය වූයේද ඒ මතය. පවුලේ අය ග්‍රෙගරි ට දැක්වූ ආදරය පදනම් වී තිබුණේ ඔහු පවුල රකින්නා ලෙස සපයන ආර්ථික දායකත්වය මත පමණි. ඔහු නිරත වූ වෘත්තිය ඔහුව මුළුමනින්ම හුදකලා කරන්නක් වූ අතර, එමඟින් අන් අය සමඟ සබඳතා පැවැත්වීමට ඔහුට කිසිදු අවස්ථාවක් නොලැබුණි. මෙන්න මේ නිසයි මෙම කතාව පරාරෝපණය හෝ හුදකලාවීම (alienation) පිළිබඳ කතාවක් යන මතයට සාධාරණත්වයක් ඉතිරි වන්නේ. මෙහිදී එම හුදකලාවීම යනු තමන්ගේ සමාජීය භූමිකාවට අනුගත වීමට ඇති නොහැකියාවයි. මෙම නොගැළපීම ෆ්රාන්ස් කෆ්කා (Franz Kafka) මතු කරන ප්‍රධානතම ලක්ෂ්‍යයයි.
රූපාන්තරණය සිදු වූ පසු, එහි අපූර්ව ගතිකත්වයක් ගොඩනැගේ. ග්‍රෙගරි ට තම පවුලේ අය තමන් පිළිබඳව පවසන දේ මැනවින් තේරුම් ගත හැකිය. නමුත් කිසිවෙකුට ඔහුව තේරුම් ගත නොහැක. ඔහු තම අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කළද කිසිවෙකු එය වටහා නොගනී. සමාජීය අතිරික්තයක් බවට පත් වූ පුද්ගලයෙකුගේ සැබෑ තත්ත්වය කෆ්කා මෙතැනදී මනාව පෙන්වා දෙයි. ඔවුන් සමාජය තුළ සිදුවන දේ හොඳින්ම වටහා ගන්නා නමුත්, සමාජයේ සිටින මිනිසුන් ඔවුන්ව කිසිසේත් තේරුම් නොගනී. සමාජය තුළ අවතක්සේරුවට ලක්වූ, අයිති නැති තැනක සිටින විට, සමාජය ක්‍රියාත්මක වන ආකාරය එහි ඇතුළත සිටින මිනිසුන්ට වඩා හොඳින් වටහා ගත හැකිය. නමුත් ඔවුන්ට ඔබ ගැන කිසිදු උනන්දුවක් නැත.
පිලිගැනීම අහිමිවීම තුල.

ඩේවිඩ් ලින්ච්ගේ ‘දි එලිෆන්ට් මෑන්’ (The Elephant Man) චිත්‍රපටයේ එන ඇතැම් අවස්ථා මේ සඳහා කදිම උදාහරණයකි. එය යම් දුරකට කෆ්කාගේ ‘රූප විපර්යාසය’ කෘතියෙන් ආභාසය ලැබුවක් බව පෙනේ. එහි එන ජෝන් මෙරික් (එලිෆන්ට් මෑන්) මුහුණ දෙන්නේ රූප විපර්යාසය’ කතාවේ අනෙක් පැත්තටයි. ඔහු සමාජයට අයිති නැති චරිතයක්ව සිට පසුව සමාජය තුළට රැගෙන එන නමුත්, ඔහුට කවදාවත් එහි සම්පූර්ණයෙන්ම ස්ථාපිත වීමට ඉඩ නොලැබේ. රෝහලේ රාත්‍රී මුරකරුවා විසින් ඔහුව මුදලට මිනිසුන්ට පෙන්වමින් සිදුකරන රාත්‍රී වධහිංසාව ඔහු කිසිවෙකුට නොපවසන්නේ, තමන් සමාජයට ගැළපෙනවාද යන ස්ථිර විශ්වාසයක් ඔහුට නොමැති බැවිනි.
කතාව තුළ ග්‍රෙගරි ට කිසිවෙකු ශාරීරිකව වධ නොදුන්නද, සෑම දෙනාම ඔහුව පිළිකුල් කරති. මුලින්ම ඔහුගේ සහෝදරිය වන ග්‍රේටාට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති වී ඔහුව රැකබලා ගැනීමට උත්සාහ කළද, කාලයත් සමඟ එම අනුකම්පාව නැති වී යයි. ඇයද අන් අය මෙන්ම ඔහුව පිළිකුල් කරමින්, ඔහුව ඉවත් කර දැමීමට උත්සාහ කරයි. එමෙන්ම, ග්‍රෙගරි සේවයට පමා වූ පළමු වතාවේදීම ප්‍රධාන ලිපිකරු ඔහුව සෙවීමට නිවසටම පැමිණීමෙන් පෙනී යන්නේ නූතන වෘත්තීය ලෝකය තුළ පවතින අනාරක්ෂිත බවයි. ප්‍රධාන ලිපිකරු ඔහුට පවසන්නේ, නිහඬ විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස සිටි ග්‍රෙගරි දැන් නින්දිත ලෙස හැසිරෙන බවයි. රැකියාව කිරීමට, එනම් මුදල් ඉපයීමට නොහැකි වීම ගැන ග්‍රෙගරි දැඩි ලැජ්ජාවට පත් වේ. පවුලෙන් සහ සමාජයෙන් පිළිගැනීමක් අහිමි වන විට, ග්‍රෙගරි ට තම ආහාර රුචියද අහිමි වන අතර, අවසානයේ ඔහු මිය යයි.
නමුත් ග්‍රෙගරි ගේ මෙම රූපාන්තරණය ඔහුගේ පියාට නව පණක් ලබා දෙයි. ඔහු නැවතත් රැකියාවක නිරත වෙමින් පවුලේ ප්‍රධාන මුදල් උපයන්නා බවට පත් වේ. කතාවේ අවසාන භාගයේදී පියා විසින් ග්‍රෙගරි වෙත ඇපල් ගෙඩිවලින් පහර දෙනු ලබන අතර, ඉන් එකක් ඔහුගේ පිටේ හිරවී කුණුවී යයි. බයිබලයට අනුව ඇපල් යනු ‘පළමු පාපයේ’ සංකේතයයි. මෙහිදී පියා එම පාපයේ ඵලය භාවිතා කරන්නේ සමාජීය අතිරික්තය නැමැති පාපී සාධකය විනාශ කර දැමීමටය.
අවසාන පණිවිඩය.
මෙය ෆ්රාන්ස් කෆ්කා (Franz Kafka) විසින් ෆැසිස්ට්වාදය (Fascism) වෙත එල්ල කරන ලද සියුම් විවේචනයකි. ෆැසිස්ට්වාදය විසින් කරන්නේද සමාජයේ එක් කොටසක් “වැඩකට නැති අතිරික්තයක්” ලෙස ලේබල් කර, ඔවුන්ව ඉවත් කර දැමීමයි (නාසිවාදය තුළ යුදෙව්වන්, සමලිංගිකයන් හෝ සංක්‍රමණිකයන් ඉවත් කළා සේ). ග්‍රෙගරි මියගිය වහාම පවුලේ සාමාජිකයන්ට පුදුමාකාර නිදහසක් සහ සතුටක් දැනේ. ඔවුන්ට අවසානයේදී හැමෝටම එකතු වෙලා එළියට ගිහින් සන්ධ්‍යාවක් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් නිෂ්පාදනයට දායක නොවන අතිරික්තය ඉවත් කිරීමෙන් ලැබෙන එම සතුට තාවකාලිකය.
ෆ්රාන්ස් කෆ්කාගේ (Franz Kafka) මෙම කතාවේ අවසාන පණිවිඩය වන්නේ, නිෂ්පාදනයට දායක නොවන මෙම අතිරික්ත ස්වභාවය ද අප විසින් මිනිස් සමාජයේම කොටසක් ලෙස පිළිගත යුතු බවයි. කෆ්කා මෙම කතාව ග්‍රෙගරි ගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කරන්නේ එබැවිනි. එම නිසා, ‘රූප විපර්යාසය’ කෘතියේ සැබෑ අර්ථකථනය වනුයේ, කතාව කියවා අවසන් වූ පසු පාඨකයා වන අප විසින්ම, “මම තමයි ග්‍රෙගරි සැම්සා”කියලා අපිටම කියාගන්න එකයි”.
