| |

තාරුකා දුමාරයෙන් බිහිවූ රසානා ගෆූර්..!

චින්තනයේ ක්‍රියාකාරිත්වය.

මූලික වශයෙන් ජර්මානු ජාතික විශිෂ්ඨ ගණයේ දාර්ශණීකයෙකුවූ ෆෙඩ්‍රිච් හේගල් ප්‍රධාන කොටම තම කාලය මිඩංගු කලේ “චින්තනයේ ක්‍රියාකාරිත්වය කුමක්ද” යන්න ගැන ප්‍රශ්නය සමග පොරබැඳීමටය. යථාර්තයේ ඒකත්වය නැමති පලය විඥ්ඥාණයාගේ ක්‍රියාකාරිත්වය බවට එමානුවෙල් කාන්ට්ගේ මතයට එකඟවෙමින්ම හේගල් කියා සිටියේ චින්තනයට යථාර්තය විනිවිද යාහැකි බවයි. චින්තනය එය පෙනී සිටින්නාවූ සෑම ආකාරයකින්ම එය විභාග කිරීමේ යෝධ අභියෝගය තමන් වෙත පවරා ගනිමින් ඔහු පැවසුවේ චින්තනය මූලිකවම වචන වලින් පෙනී සිටින බවයි. හේගල්ට අනුව චින්තනය වචන වලින් පෙනී සිටීම චින්තනයට පෙනී සිටිය හැකි තමාගේම රූපයයි. එනම් ශුද්ධ රූපයයි.

ඒ අයුරින් ගත්කල කලාකෘතියක් යනුම, එම වියමන යනුම කලාකරුවාගේ චින්තනය නොවේද? එවිට කලාකරුවාගේ විඥ්ඥාණය සැකසෙන්නේ යථාවට අනුව, එය සන්නිවේදනයෙන් නොවේද? එවිට එම කලා කෘතියම යම්කිසි ආකාරයක බාහිරකරණයක් නොවේද? කරුණූ එසේනම් යමෙකු තම චින්තනය භාශාවේ වචන වලට පෙරලා ඒවා පොතක පිටු අතරට වියමනක් ලෙස ගොනු කිරීමේ කාර්‍යය කිනම් විදියේ අද්දැකීමක්ද යන්න ගැන අපූරු සංවාදයක් ගොඩනැගිය හැකිබව මට පසක් වූයේ පසුගියදා රසානා ගෆූර් නම් ලේඛිකාවගේ ” තාරුකා දුමාරය” නම්වූ ඇයගේ කෘතිය එළීදැක්වූ බව ඇසූ මොහොතේදීය.

තාරකා දුමාරය.

මොකක්ද මේ තාරුකා දුමාරය? එයනම් රසානා ගෆූර්ගේ පළමු නවකථාවය. එය 2025 වසරේ විදර්ශන සාහිත්‍යය නවකතා ලැයිස්තුවට තේරුණු කෘතියකි. මා මේ ලිපිය ලියන්නේ ඒ නිසා නම් නොවේ. හේතුව එහි මට විශේෂත්වයක් නොමැති බැවිනි. එයනම් සාමාන්‍යවූ කරුණකි. නමුත් මෙහි පැහැදිලිව දැකිය හැකි අසාමාන්‍යවූ කරුණක් ඇත්තේය. එම කරුණ මා ලුහබැඳ ගියෙමි. මෙහි ඇති එම විශේෂිතවූ කරුණ නම්, රසානා ගෆූර්මය.


ඇය මුස්ලිම් වීම නිසාම මෙහි විශේෂත්වය ඉස්මතුවීම පෙන්නුම් කරයි. මෙහිදී මුස්ලිම් යන ජන කොට්ඨාශය පිළිබඳව නිරවුල් අදහසක් ලබාගත යුතුමය. මේ පිළිබඳව පැහැදිලි කරගැනීමට ජාතිය සහ ජාතිකත්වය යන සංකල්පයන් දෙක හරියටම අර්ථ නිරූපණය කරගත යුතුමය. එකම රටක ස්වාධීන වූ ආර්ථිකයකින් බැඳුණු ජන කණ්ඩායමක් ජාතියක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව ශ්‍රී ලාංකික ජාතිය, ඉන්දියානු ජාතිය වශයෙන් අපට පැවසිය හැකිය. එකම රටක වුවද වෙනම භාෂාවක් කතාකරන වෙනම සංස්කෘතික කණ්ඩායමක් ජාතියක් නොව ජාතිකත්වයක් ලෙස දැක්විය හැකිය. ඒ ඇසුරෙන් බලන කල සිංහලද, දෙමළද, මුස්ලිම්ද ජාතීන් නොව ජාතිකත්වයන් වේ. ඔවුන් සියල්ලන්ගේම එකතුව ශ්‍රී ලාංකික ජාතියයි.

ජාතිකත්වය ඉක්මවායන ගමනක්.

මම සිංහල ජාතිකත්වයට ද, රසානා මුස්ලිම් ජාතිකත්වයට ද අයත් බව පැහැදිලිය. නමුත් ඇය එහි ඇති නිම් වළලු, වැටකඩලු බිඳ ගමනක් යාමට සූදානමක් ඇතිකර ගනිමින් සිටියි. මෙහි ඇති ඉතාම වැදගත්කම එයමවේ. එසේ නොමැතිව ඇගේ ළමාවිය, ඇගේ පාසැල් කාලය, ඇගේ සරසවි ජීවිතය හෝ ආදර කථාව කියවා අවසන් කිරීම නොවේ. එයින් ඉදිරියට යායුතුය. එහිදී අපට සත්‍යය ලෙසම ඇය හමුවේ.


මුස්ලිම් ජාතිකත්වය තුළ තබා රසානාගේ කාර්යය භාරය ගැන සලකා බැලියයුතුය. එම ජාතිකත්වය තුළ කාන්තාවගේ අයිතීන් යුතුකම් හා පැවතුම් කෙසේවේද? ඒවා එම උප සංස්කෘතියට පිටතින් බැලුවිට ඇති තත්වයන් කෙසේවේද? විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාව තම ජාතිකත්ව සීමාවන් අතික්‍රමණය කිරීම තුළින් සමාජයට ලබාදෙන්නේ කිනම් වූ හිතකර හෝ අහිතකර තතත්වයන් ද? යනාදී වශයෙන් ගත්කල ඇතිවන්නා වූ ප්‍රවාදයන් පිළිබඳව කතාවක් රසානාගෙන් ඇරඹිය හැකිය. අනෙක් පසින් අපට රසානා විසින් ලබාදී ඇති අවස්ථාවෙන් අපි එම කරුණු දෙසට යොමුවිය යුතුමය.

කාන්තාවගේ හිමිකම.

ජාතිකත්වය යන සාධකය පසෙකට දමා පොදුවේ කාන්තාව පිළිබඳව සලකා බැලුවිට ඉතාමත්ම කණගාටු දායක අතීතයක උරුමයක් ඇයට හිමිවී තිබුණි. අද සිට අතීතය දෙස බැලීමේදී එය මොනවට පැහැදිලිව පෙනේ. පොදුවේ ගත්කල මුළු ලෝක ඉතිහාසය තුළ පළමුවන වහලිය කාන්තාවයි. වසර දස දහස් ගණනක් ගෙවී යන ගමනේදී එය ඉතාමත් මන්දගාමීව ටිකෙන් ටික අඩු වුවත්, සම්පූර්ණයෙන්ම ඉවත්වී නොමැත. කාන්තාව වනාහී වෙනම වූ සත්ව කොට්ඨාශයක් ලෙස ආගම විසින් ද හඳුන්වාදීම නිසාම විවිධ වූ දුක් කම්කටළු වලට මුහුණ දීමට ඇයට සිදුවී ඇත්තේය. දැලි වලං වලින් ගහන, වංගෙඩියයයි මොල්ගහයි, මිරිස්ගලයි, හිරමනයයි, දුං ගහන දරලිපයි, යන්නාවූ උපකරණ වලින් ගහණ වූ අදුරු කුස්සියේ වහලියක් වී වසර දහස් ගණනක් ඇය ගත කර ඇත්තේය.

දරුවන්ගේ හා සැමියාගේ රෙදි වෙල්ලාවට යටවී වසර දහස් ගණනක් ඇය ගතකර ඇත්තේය . දෑවැදි දෙන්න වෙනනිසා උපන් ගෙයිම ගැහැණු දරුවන් දෙමවුපියන් විසින්ම මරා දැමීම කරගෙනගිය ඉතිහාසයක් විශේෂයෙන් ඉන්දියාවේ දක්නට ලැබුණි. පොරොන්දුව අනුව දෑවැදි නොදීම නිසා කාන්තාවන් පණපිටින් පුළුස්සා දැමීම කළ අවස්ථාවන් ඉතිහාසයේ බොහෝ වාර්තාවී තිබුණි. එමෙන්ම ඇය සතිපූජා දරසැයේ පිළිස්සුණු අවස්ථාවන් බොහෝය. මහනුවර ප්‍රදේශයේද සිංහල රජකාලයේ බහිරව පුජා වලට බහිරව කන්දේ දී කාන්තාවන් මරා දැමූ බවට කථා තිබේ.


අද සමාජයේ කාන්තාව වහල් භාවයෙන් බොහෝදුරට මිදී ඇති බවනම් සැබෑය. අද සිට ඉතිහාසය දෙස බැලුවිට තිබූ මහා ඛේදවාචකයෙන් ඇය බොහෝදුරට නිදහස් වී ඇති බවනම් සැබෑය. එසේ වුවත් වර්තමානයේද සලකා බැලිය යුතු තැන් බොහෝය. මුස්ලිම් සංස්කෘතිය තුල ගැහැණිය ස්ථානගත වී ඇති අයුරු විග්‍රහ කිරීම පසෙකට තබමි.

උඩුගං බලායෑම.

සාම්ප්‍රදායික බැඳීම් නීති රීති වලින් සංයුක්තව සමාජය නිර්මාණය වී ඇත්තේය. ඉතිහාසය පිළිබඳව නිරීක්ෂණයක යෙදුනහොත් ඉතාමත්ම අඩුවෙන් කලාතුරකින් මෙම සාම්ප්‍රදායික සම්මතයන්ට එරෙහි වූ අවස්ථාවන් හමුවෙන්නේය. සම්මතයන් කඩා දැමූ විශේෂිත පුද්ගලයන් ඉතිහාසය තුළ හමුවන්නේය. මෙහිදී විශේෂත්වය වන්නේ සමස්ත සමාජයම ඔවුන්ට යටින් සිටීමත්, පමණක්ම නොව ඔවුන් අනුගමනය කිරීමත්ය. සැබෑ ලෙසම සාමාජයේ පෙරග මන් කරුවන් වන්නේ ඔවුන්මය.


සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳව සොයා බැලුවිට සමාජ සම්මතයට විරුද්ධව උඩුගං බලා ගමනක යෙදුන ශ්‍රේෂ්ඨයෙක් ලෙස දැක්විය හැකිය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද සමාජ සම්මතයට විරුදවීම නිසාම කුරුසයේ ඇණ ගැසීමට ලක්වීය. සොක්‍රටීස්, බෲනෝ, චාල්ස් ඩාවින්, කාල් මාක්ස් යනාදීන් ද එවැන්නෝය. මා ඕ සේතුං, ලෙනින්, හෝචිමින්, යනාදී නායකයෝද එවැන්නෝය. මේ අටුවා ටිකා විස්තර කිව්වේ රසානා ගෆූර් ගැන ප්‍රකාශ කිරීමටය. ඇය තුලද යම්කිසි තරමකට හෝ වෙනසක් දක්නට ලැබෙන්නේය. සමාජයක් තුළ දක්නට ලැබෙන වඩාත් ප්‍රගතිශීලී ලක්ෂණය වන්නේ වෙනස මිස වෙනනම් කිනම් වූ දෙයක් ද?


සමාජයේ සම්මතය කරපින්නා ගෙනයාම වෙනුවට එය වෙනස් කිරීමට ඉදිරිපත් වන්නේ සමහරවිට තමන්ට එරෙහි අභියෝගවලට මුහුණ දීමේදී වියහැක. එය සැබෑ ලෙසම හිතා මතා කරණ දෙයක් නොවන්නට ද පුළුවන. නමුත් වැදගත් වන්නේ ක්‍රියාව මිස එය ඉපදුනු ආකාරය නොවේමය. සටන් කිරීම වෙනුවට නව දේ ඉදිරිපත් කිරීම වඩාත් දුරට වටින්නේ ය.
“වෙනසෙහි රහස නම් පැරණි දේ සමග සටන් කිරීමට නොව අළුත් දේ ගොඩනැගීමට ඔබේ සියළු ශක්තිය යොමු කිරීමයි”
( සොක්‍රටීස්)

තාරුකා දුමාරය කෘතිය ජනගතකිරීම.

රසානා ගෆූර් විසින් රචිත තාරුකා දුමාරය කෘතිය ජනගතකිරීම 2025 සැප්තැම්බර් 14 වැනි දින සවස 3.00ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතණයේදී සිදුවිය. මෙම උත්සවයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාන්ශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා, බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා ඇතුළු කීපදෙනෙකු අදහස් දැක්වීය.

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *