|

අශෝක හඳගමගේ “රාණි” දෙස ආපසු හැරීබැලීමක්..!

above image source-https://theleader.lk/images/2023/AH_250310.jpg

1990පෙබරවාරි මස 19 වැනි දින සවස් වරුවේදී මොරටුව කොරලවැල්ල දුම්රිය ස්ථානය අසල වෙරළට ගසාගෙන ආ මළසිරුරක් ධීවරයින් දෙදෙනෙකු විසින් දැක තිබුණි. එදින රාත්‍රියේදි  එම මල සිරුර  කළුබෝවිල රෝහලේදී තම පුතාගේ බව මනෝරාණී විසින් හඳුනාගන්නා ලදී. මවක් විසින් තම පුතාගේ මළසිරුර හඳුනාගැනීමත් සමඟ ඇතිවන දැඩි ශෝකය හා කම්පනය කිසිසේත්ම ලියා නිමකළ හැක්කක් නම් නොවන්නේමය. එය තේරුම් ගත හැක්කේ එවන්ම වූ විපතකට මුහුණ දුන් අම්මාවරුනට පමණක්මය. 1988/89  භීෂන සමය1990දී පමණ අවසන් වනවිටදී මරා දමනු ලැබූ හා අතුරුදහන් කලා වූ පිරිස හැට දහසකට වඩා අධිකය වීය. මව්වරුන්ගේ ශෝකය හා කෝපය ප්‍රකාශවූයේ මනෝරානී සරවනමුත්තු ගේ නායකත්වයෙන් බිහිවූ අතුරුදහන්වූවන්ගේ මව් පෙරමුණ මගිනි. මේ සියල්ලම ඇසට පෙනෙන බාහිර දේය. රෝගය නිශ්චය කිරීමට බාහිර රෝග ලක්ෂණයන් වැදගත් වෙන බවනම් සැබෑමය. නමුත් රෝගය ඇත්තේ අභ්‍යන්තරවය. එබැවින් රෝගය පිළිබඳව හැදෑරීමට  නම් භාහිර මෙන්ම අභ්‍යන්තර සාධකයන්ද සලකා බැලියයුතුමය.

1988 දෙසෙම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපති මැතිවරණය විශේෂ වූ මැතිවරණයක් වීය. එනම් එය භීෂනකාරී පරිසරයක් මැද පැවැත්වූ මැතිවරණයක් වීමයි. අවිගත් සන්නද්ධ සංවිධානයක් වූ දේශප්‍රේමී ජනතා ව‍යාපාරය විසින් මැතිවරණය පැවැත්වීම ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම  තහනම් කර තිබුණි. එය කඩකරන්නන්ට මරණ දඬුවම දෙන බවට ප්‍රකාශකර තිබුණි. මෙවැනි භීෂන සමයක පැත්වු ජනාධිපති මැතිවරණය ට ඉදිරිපත් වූ ආර්. ප්‍රේමදාස මහතා අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපති බවට පත්වීය.

මෙසේ බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිට වහාම විසඳිය යුතුම ප්‍රධාන ප්‍රශ්ණ තුනක් වීය. දකුණේ දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයේ  සටනත්, උතුරේ L.T.T.E. සංවිධානයේ සටනත්, තම පක්ෂය තුල ප්‍රභූපැලන්තියේ නයකයින්ගේ සටනත්, වශයෙන් තුන් ආකාරයක සටන්වලට මුහුණදීමට ඔහුට සිදුවිය.

ඔහුගේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීම මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑමට සමාන වූවකි. අප මෙහිදී කතාකරන්නේ  දකුණේ යූද්ධය ගැනය. යුද්ධයේ ඇත්තේ විනාශයයි. ජීවිත මෙන්ම දේපොළ පරිසරය මේ හැම දෙයක්ම විනාශවීම එහිදී සිදුවන්නේ මය. ලෙනින්ට අනුව අරගලය යනු තේ පැන් සංග්‍රහයක් නොවේ. ඔහුට අනුව අරගලය නීති හා සම්ප්‍රදායන් කඩනු මිස නීති හා සම්ප්‍රදායන් නොරකී. කුරුස යුද්ධයේදීත්, නැපෝලියන්ගේ යුද්ධ වලදීත්, අශෝක අධිරාජයාගේ යුද්ධ වලදීත්, මේ විනාශය සිදුවීය. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි මැදිහත් වූ අධිරාජ්‍යය පිහිටුවීමට කළ යූද්ධවලදීත්, මේ විනාශය සිදුවී ය.

ලොව වටිනාම සම්පත නම් මිනිස් සම්පතයි. නමුත් යුද්ධය කදී මිනිස් ජීවිතයක වටිනාකම තිරිසන් සතෙකුටත් වඩා ඉතාමත් පහළ මට්ටමකට වැටීම නම් අනිවාර්යය සිදුවීමකි. 

 යූධමය පරිසරයක් තුළ රාජ්‍ය නායකයාගේ ස්වරූපය එයට අනුරූපී ලෙස හැඩගැසෙන්නේය. නවගුණ වැල අතේ තියාගෙන එහි  ඇට ගනිමින් භාවනායෝගී ව සිටින්නා වූ නායකයෙක් බිහිවන්නට නම් කොහෙත්ම හැකියාවක් නැත්තේම ය. මෙය නම් ස්වාභාවික ක්‍රියාවලියකි. පරිසර සාධකය අනුව තම පැවැත්ම තහවුරු කරගැනීම සතුන් තුල පවා දක්නට ලැබෙන ලක්ෂණයකි. පියාසර කරණ පක්ෂියා ද, ජලය තුළ සිටිනා මත්ස්‍යයා ද, තම පරිසරය ට අනුව එයට අනාකූල හැඩයක් ගෙන ඇත්තේය. එමෙන්ම සතුන් බොහොමයක්ම පරිසරය ට අනුව තම ශරීරයේ වර්ණය වෙනස්කර ගැනීම කරගන්නේය. මිනිස් සමාජය තුළද සිද්ධීන් සිදුවන්නේ මෙලෙසම ය. එය සමානවූ නියාමයකට අනුවමය.

සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටියේ දී "මගෙ අම්මා බුදු වේවා " යනුවෙන් තමාගේ පපුවේ පච්චයක් කොටාගන්නා සිරිපාල පසුව "මරුවා සමග වාසේ" ලෙසද පච්චයක් කොටාගැනීමට සිදුවන්නේද, සමාජයේ ඇති අගතිගාමී බලවේගයන් නිසාමය.

සමාජයේ සිදුවන්නා වූ සෑම ක්‍රියාවලියක ස්වරූපයනම් තවත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස එය සිදුවීමයි. එසේ නොමැතිව කිසිම දෙයක් හුදෙකලා  සිදුනොවන බවයි.

“සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානවුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත්තේ ය” යනුවෙන් අයිසෙක් නිව්ටන් ප්‍රකාශ කළේ ඒ බැවිනි .

සිද්ධීන් ඉබේ සිදුවන්නේ නැත. ඒ සදහා යම් හේතුවක් තිබිය යුතුමය. හේතු ඵල ධර්මය විසින් කියවෙන්නේ එයයි. ඵලය ගැන පමණක් කතාකිරීම මගින් කිසිම දේක සත්‍යය තේරුම් ගත නොහැක්කේමය. රිචඩ් ද සොයිසා භීෂනයේ ගොදුරක් බවට පත්වන්නේත්, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වන්නේත්, මනෝරාණි අතුරුදහන් වූවන්ගේ මව් පෙරමුණේ නායකත්වයට පත්වන්නේත්, එම කාලයේ පැවති සමාජ දේශපාලන තත්වයේ බලපෑම නිසාම මිස වෙනත් හේතුවක් නිසානම් නොවේමය. එමෙන්ම ආර්. ප්‍රේමදාස ජනාධිපති 1993 මැයි මස පළමුවැනි දා බෝම්බ කරුවෙකු විසින් ඝාතනය කරන්නේද, මෙම සමාජ දේශපාලන තත්වය නිසාමය.

රාණි කථාවේ සත්‍යය මෙයම වුවත් සමහර විට මෙය ඇසීමට සමහරකට අවශ්‍ය වන්නේ නැත. එසේ වන්නේ ඔවුන්ගේ  මනස තුල පිළිබිගු වී තිබෙන්නා වූ මිත්‍යාවන් විනාශකර දමා සත්‍යය මතුකර ගැනීමට ඔවුන් කිසිසේත්ම සූදානම් නොවන බැවිණි.

බොහෝ මිනිසුන්ට මිත්‍යාවන් විනාශකර දමා සත්‍යය මතුකර ගැනීමට අවශ්‍යනොවන තවත් කාරණාවක් රාණී කථාවේ දක්නට ලැබෙන්නේය. එනම් මෙම චිත්‍රපටයේ රාණීගේ චරිතයයි. රාණී ගැහැනුන් අතර සාමාන්‍ය වූ ගැහැනියක්ද? ගැහැණුන් අතර අසාමාන්‍ය වූ ගැහැණීයක්ද? සම්මතයේ කඩතිර ඉරා අසම්මතය කරා ගිය ගැහැණීයක්ද? යනාදී වශයෙන් විවිධාකාර වූ ප්‍රශ්ණ ඇය සම්බන්ධයෙන් පැනනැගීම නම් අනිවාර්යයක්මය.

රාණි පැහැපත්ය, රාණි ආකර්ශනශීලීය, රාණි නිතරම සිගරෙට් බොන්නේය, ඇය විස්කි බොන්නේය, ඇය ඇගේම පුතා සමඟත් විස්කි බොන්නේය, පුතා සමඟත් සිගරෙට් ද බොන්නේය, තම පුතාගේ යාළුවා සමඟත් සිගරෙට් හා විස්කි බොන්නේය, ඔවුන් සමග සංගීතයට අනුව නටන්නේ ය, එමෙන්ම ඇමතිවරුන් සමගද විස්කි බොන්නේය,ඔවුන් ඉදිරියේද සිගරෙට් බිබී අල්ලාප සල්ලාප වල යෙදෙන්නේය. මේනම් රානිගේ සාමාන්‍ය හැසිරීමේ ස්වභාවයයි. ඇත්තටම අශෝක හඳගම විසින් චිත්‍රපටි අධ්‍යක්ශක වරයෙකු ලෙස කාන්තාවක් තුල පවතින්නට හැකි වෙනත් මානයක් මෙහිදී අපට ගෙනහැර පෙන්වයි. සිංහල සිනමාවේ ” රත්ත්‍රන් අම්මා” වැනි මව්ගුණ වයන චිත්‍රපටි බලා ශාලාවලින් එළියට එන ප්‍රේක්ශකයා කඳුලු සලමින් ඒවායින් එලියට එන්නේද, රාණී චිත්‍රපටිය බලා එලියට එන ප්‍රේක්ශකයා බලාපොරොත්තුවූ තම පුතු වෙනුවෙන් පන්සල්, පල්ලි ගානේ යමින් බෝධිපූජා තබමින්, විලාප නගන, ජීවිත කාලයම ඒ වෙනුවෙන් වැළපෙන ප්‍රේක්ශකයාගේ මනසේ ඇඳී ඇති අම්මා වෙනුවට, තම දුක දරාගෙන, වැලපීම වෙනුවට සිඟරට් උගුරකින් ඒ දුක තුනී කරගන්නා, කෝපයෙන් හඩා වැටීම වෙනුවට, පුතුන් දූවරුන් සැමියන් අහිමිවූ සියලු මව්වරු මව්වරු එකතු කරගනිමින් ඒවා කලවුන්ගෙන්ම “ගේම” ඉල්ලන මව් කෙනෙක් මේ දූපතේ ප්‍රේක්ශකයාට හුරුවී තිබුනේද නැත. ශ්‍රී ලාංකික ශීලාචර කුල කාන්තාව ඉදිරියේ රාණිගේ චරිතය නම් පැහැදිලිවම අදුරු චරිතයක් ලෙස මෙකී පසුගාමී සමාජයේම ජීවත්වන අයට පෙනෙන්නට ඉඩ ඇති බවනම් සැබෑමය. නමුත් මේ දූපතෙන් එහා ලෝකය තුල නම් එහි කිසිම වෙනසක් දක්නට නොලැබෙන්නේ ය. එහිදී නම් එය සාමාන්‍ය වූ චරිතයක්මය. පශ්චාත් නූතන ලෝකයක් තුල හා පසුගාමී සමාජයක් සහිතවූ අපගේ දූපත තුළ ඇති වෙනස මෙයයි. ශ්‍රී ලාංකික දූපත් මානසිකත්වය තුල ස්ත්‍රිය සිටින්නේ බොහෝවිට පුරුෂයාට වඩා පහළ මට්ටමකය.

මීට හේතුභූත වූයේ ඈත අතීතයේ සිටම ලාංකික සමාජය පීතෘ මූලික (patriarchal) සමාජයක්ව පැවති බැවිනි. මෙම සමාජයේ කොතැනක වුවද ස්ත්‍රියට හිමිවන්නේ දෙවැනිතැනය. පවුල තුලදීද, රැකියාව තුලදීද, ආගමික කටයුතු වලදීද, දේශපාලනයේ දීද, වශයෙන් සලකා බැලුවිට සෑමතැනකදීම පාහේ මෙය පොදු වූ ලක්ෂණයක්මය. පවුලතුළදී කුස්සියේ රාජකාරිය ප්‍රධාන වශයෙන් ඇයට භාරය. ඉවීම පිහීම, මිරිස් ගලේ මිරිස් ඇබරීම, වන්ගෙඩියේ කෙටීම, හිරමනේ පොල් ගෑම, වතුර ගෙන ඒම, ඇතුලු කුස්සියේ සියලුම වැඩ ඇය විසින් කළයුතු වන්නේය.
මීට අමතරව ගේ මිදුල පිරිසිදුව පවත්වාගැනීම, සැමියාගේ හා දරුවන්ගේ රෙදි තොගය සේදීම, යනාදී වශයෙන් ගත්කළ සියලුම ගේදොර වැඩ තොගයම ඇයට භාරය. නමුත් නිවස තුලදී සිදුකරන සෑම අවස්ථාවකදීම පිරිමියා ප්‍රධාන තැන උසුලන්නේමය. ගෙදරතුලදී මෙන්ම එයින් පිටතදී ද තත්වය එක සමානය.වැඩවලින් පළමුවැනි ස්ථානයේය. නමුත් පිළිගැනීම අතින් දෙවන ස්ථානයේය.

පන්සලක, පල්ලියක, කෝවිලක, ද තත්වය මෙයට සමානය. සමහර ආගමික ස්ථානවලට ස්ත්‍රියට ඇතුළුවීම පවා තහනම්ය. බොහොමයක් ආගමික වැඩ කටයුතු වලදී ස්ත්‍රියට ඒවාට සම්බන්ධවීම තහනම්ය. තවද බොහෝ ආගමික පූජකයන් දෙසා වදාරන්නේද ගැහැණියගේ වැරදිමය, හසිරිය යුතු හැටිය, සැමියාට ගරුකලයුතු හැටිය. ඔවුන්ගේ දෙසුම් වලට අනුව, ගැහැනිය යනු පින් මදිකම නිසාම ගැහැණියක් වී ඉපිද ඇත්තේමය. පිරිමියා පළමු ස්ථානයේ සිටිමින් ස්ත්‍රිය පහළට දමා තිබෙන සමාජයක ඒ බව ඇය නොදෙන සිටීම හෝ දැන දැනත් එයට යටවී සිටීම හෝ එයට ඇබ්බැහිවී සිටීම හෝ ගත්කළ එයනම් මහත් වූ ඛේදජනක තත්වයකි. මෙම තත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් පැහැදිලි වන්නේ තමන් වහල්භාවය හොදින් වැළදගෙන ඇති බවයි. එයට හොදින් ඇබ්බැහිවී ඇතිබවයි. වහලා තම වහල් බැමි වලට ප්‍රේමකරන්නේය. ඒවා බිඳ දැමීමට වහලා කිසිසේත්ම සූදානම් වන්නේද නැත.


රාණි ගත්කළ ම්ධ්‍යම පන්තියට අයත් බොහෝ දුරට, තනිව තීරණ ගතහැකි, තනිවම නැගීසිටිය හැකි මට්ටමේ කාන්තා විමුක්තියක් ලබාගෙන ඇති කාන්තාවක් බවට තේරුම් ගත හැකිය. තවද මත්පැන් බීම හෝ දුම් පානය කිරීම වැනි දේවල් ස්ත්‍රියක් කිරීමේදී විශේෂයක් ලෙස සලකා හෙලා දැකීම නම් වහ වහා ප්‍රතික්ෂේප කළයුතුමය. සමාජය වෙනස්විය යුතුය. වෙනස්වී ප්‍රගතිය කරා ගමන් කළයුතුය. එහිදී වඩාත්ම වැදගත්ම දෙය වන්නේ, මනසේ පැලපදියම් වී ඇති දුර්මත බැහැර කිරීමයි. එය වහ වහා වෙනස් කලයුතුමය. එසේ නොවනතාක් පෙර සේම සුපුරුදු පරිදි සියල්ලම පවතින්නේමය. එවිට රාණිගේ දුම් බීම චිත්‍රපටිය තුලදී මතුකර පෙන්වීම, ජීවත් වුණු රාණිට කෙරෙන අගෞරවයක්ද යන්න සැලකිය යුත්තේ ඒ සන්දර්භයේ සිටය.

එසේම මේ දූපත තුල අධිපති මතවාදයක් ලෙසත් පැළපදියම් වී ඇත්තේද පූජකයින් විසින්ද, ඊට අනුගාමිකවූ ටියුෂන් ගුරුවරු, පාසැල් ගුරුවරු, උපාසක උපාසකයින් ඇතුලු දේසපාලකයින් විසින්ද උත්කර්ෂයට නංවා පවත්වාගෙන යන, විහාරමහා දේවි චරිතය හෝ වික්ටෝරියානු සදාචාරය කරපින්නාගත් දශක ගනනාවක් සං‍රක්ෂනය කොටගෙන පවත්වාගෙන යන්නාවූ අදහස් පද්දතියයි. තවත් පැහැදිලිව කියන්නේ නම්, හඳගමගේ “රාණි” චිත්‍රපටිය බැලීමට එක් ප්‍රේක්ශක කංඩායමක් එන්නේ “කාගම සිරිනන්ද”, ” වැලිමඩ සද්ධාශීල” වැනි පූජකයින් විසින දෙසා වදාලන ලද “මව” හෝ “බිරිඳ” පිලිබඳ ෆැන්ටසිය හිසින් දරාගෙන වූවත්, හඳගම ගේ “රානි” චිත්‍රපටිය තුල ඇත්තේ කාගම සිරිනන්දලා, වැලිමඩ සද්ධාශීලලා විස්තර කරන පන්නයේ මවක් නොවීමයි. ප්‍රේක්ශකයා පමනක් නොව ඊනියා විචාරක ගොන්නද අර්බුධයට යන්නේ මෙතනදීය. එවිට ප්‍රේක්ශකයා චිත්‍රපටි ශාලාවෙන් එලියට එන්නේ හඳගම විශාල හානියක් “කුල කාන්තාව” වෙත සිදුකොට ඇතිබවට දෙස් දෙවොල් තබමිනි.

අනිත් අතට තවත් ප්‍රේක්ෂක කංඩායමක් ” රානී” බැලීමට එන්නේ, තමන් තුල පැලපදියම්වී ඇති වෛරී දේශපාලණ අදහස් ගොන්නට තවත් කුමන හෝ ප්‍රණීත කාරණා කීපයක් එකතුකරගෙන රසවිඳීමටය. ප්‍රේමදාස ජනාධිපතිවරයා රිචඩ්ව මැරීමට කෙලින්ම උපදෙස් දෙන සහ රිචඩ්ගේ ඝාතකයා ප්‍රේමදාස බව කියවෙන යමක් මේ ” රාණි” චිත්‍රපටිය තුලින් ප්‍රකාශවීමක් බලාපොරොතුව ගිය එම ප්‍රේක්ෂකයන් චිත්‍රපටි ශාලාවලින් එළියට එන්නේ හඳගම ප්‍රේමදාසව රැක්කා යනුවෙන් ආඬපාලි කියමිනි. ඒ විතරක් නොව, එදා අරගලයේ මියගිය රිචඩ් ඇතුලු දහස් ගණනක තරුණ තරුණීයන් ගේ කතාන්දරය මේ චිත්‍රපටිය තුලින් අමතක කිරීමක් ලෙසද සමහරු මේ ” රාණි” ගැන කරන විචාර වලින් කියවේ. එහෙත් මේ බොහෝ දෙනාට අමතක වී ඇති ප්‍රධාන කාරණාව නම්, අශෝක හඳගම “රාණි” නිර්මාණය කොට ඇත්තේ රිචඩ් සොයිසාගේ ඝාතනය විස්තර කිරීමටවත්, රිචඩ්ව මැරීමට අණදුන් දේශපාලකයා හෙලිදරව් කිරීමටවත් නොවන බවයි. ඇත්තටම අපට ලාංකීය ප්‍රේක්ෂකයාගේ මනෝභාවයද හොඳින් දැනගත හැකිවන්නේද මෙවැනි චිත්‍රපටි වලින් බව මගේ හැඟීමයි. මෙහිදී දේශපාලණය තුලදී චන්ද දායකයා හැසිරෙන ආකාරයත්, මෙවැනි චිත්‍රපටි නරඹා ශාලාවලින් එළියට එන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එකම ආකාරයක් ගන්නා බවනම් කිවහකිය.

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *