අගමැති බන්ඩාරණායකට වෙඩි තිබ්බේ කවුද..?
අගමැති බණ්ඩාරනායකට වෙඩි තිබ්බේ ඔසී කොරයාද..

ශ්‍රී ලංකාවේ කීර්තිමත් අගමැතිවරයකුවූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 1959 අවුරුද්දේ සැප්තැම්බර් 25 දා ස්වකීය නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු විය. අගමැති ඝාතනය පිළිබඳව මහාධිකරණ නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලදී. පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ හතරවන විත්තිකරුවූ තල්දුවේ සෝමාරාම හිමිට මරණීය දණ්ඩනය නියම වූ අතර දෙවන විත්තිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමිට සහ එච් පී ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.
තල්ලුවේ සෝමාරාම හිමියන් 1962 ජූලි මස 06 වන දින එල්ලා මරණු ලැබූඅතර බුද්ධරක්ඛිත හිමි බොහෝ කලක් සිර දඬුවම් විඳ සිර ගෙදරදීම මරණයට පත්වූහ. කතාව එතකින් අවසන් වේ නම් මේ ගැන තවත් ලියන්නට තිබෙන්නේ කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. අගමැති බණ්ඩාරනායක ඝාතනය කළේ යට කී විත්තිකරුවන් නොවන බවට යථොක්ත ඝාතනය සිදුවූ වකවානුවේ සිටම සමාජයේ වෙනත් මතයක් තිබේ. එය සරල සැහැල්ලු සිදුවීමක් නොවේ. වෙඩි තබන ලද්දේ පෙරදිග රාජ්‍යයක රාජ්‍ය නායකයෙකි. ඔහු ඝාතනය වන්නේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතන්නට නියමිතව තිබූ දිනට දින දෙකකට පෙරය. බැලූ බැල්මට පැහැදිලි වන කරුණක් වූයේ විත්තිකරුවන් අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමට පෙළඹීමේ නිශ්චිත හේතුවක් දැක්වීමට නඩු විභාගයේදී පැමිණිල්ල අසමත් වීමය. තල්දුවේ සෝමාරාම හිමියන් අගමැතිට වෙඩි තබන ලද බව සනාථ කරන්නට කරුණු ගෙනහැර පෑවාට, සෝමාරාම හිමියන්ට අගමැති ඝාතනය කරන්නට තරම් හේතුවක් හෝ කාරණයක් තිබූ බවක් සමස්ථ නඩු විභාගය තුළම හෙළි වූයේද නැත. අගමැතිවරයා ඝාතනය හා සම්බන්ධ කාරණා පිළිබඳව වසර ගණනාවක් සිදුකළ පසු හෙළි කර ගත් කරුණුවල සාරාංශය මෙහි සටහන් කර ඇත
“ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ සී අයි ඒ”
1982 දී සෝවියට් රුසියාව විමර්ශන වාර්තාවක් නිකුත් කර ඇති අතර 1988 දී එම වාර්තාව මොස්කව් ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් ග්‍රන්ථයක් ලෙස එළි දක්වා ඇත. එම ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ. "රාජ්‍ය ත්‍රස්තවාදය එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ විදේශ ප්‍රතිපත්තිය බවට පත් වී බොහෝ කල්ය. ත්‍රස්තවාදය ජාතික විමුක්ති ව්‍යාපාර වලට එරෙහි අරගලයේ ප්‍රධාන ආයුධය බවට පත්ව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සී අයි ඒ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව දැනට තිබෙන සාක්ෂි ගැනඅවධානය යොමු කරමු. 1955 - 1965 වසර 10 යේ කුමන්ත්‍රණ තුළින් ඝාතනය කළ තුන්වන ලෝකයේ රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව මෙසේය.
1955 පැනමා ජනාධිපති - කාලෝස් කැස්ටිරෝස් 1956 නිකරගුවා ජනාධිපති - ඇනස්ටාසියෝ ගාර්ශියෝ 1957 ගෝතමාලා ජනාධිපති 1959 ලංකාවේ අගමැති - ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක 1960 ඇල්ජීරියාවේ ජනාධිපති එස්තර්ජෝන් 1961කොංගෝ අගමැති - පැට්‍රිස් ලුමුම්බා. 1962 මොසැම්බික් විමුක්ති පෙරමුණේ නායක මැන්ඩලේන් 1963 ඇල්ජීරියාවේ අගමැති - මොහොමඩ් කෙමිස්ට්. 1964 භූතානය අගමැති - ජග්මේ පල්දෙන් 1965 බුරුන්ඩි අගමැති - පියරේ නගෙණ්ඩු "

අගමැති බණ්ඩාරනායකට වෙඩි තබන ලද්දේ ප්‍රභූ පෙලැන්තියේ දක්ෂිණාංශික පිරිසක් හා සම්බන්ධ ඔසී කොරයා නැමැති දාමරිකයා යයි බොහෝ දෙනා විශ්වාස කරති. අගමැතිට වෙඩි තැබූ පිස්තෝලයේ අයිතිකරු ලෙස පොලිසිය හඳුනාගත් ඔසී කොරයා නඩුවේ විත්තිකරුවකු නොවී පැමිණිලිකරුවකු වූයේ කෙසේද යන්න ප්‍රශ්න සහගතය. නඩු භාණ්ඩයක් ලෙස පවතින රිවෝල්වරය තමාගේ බව ඔසී කොරයා සාක්කි කූඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ අංක 65 දරන ස්ථානයේ ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිගේ පුද්ගලික නිවස වූ ටින්ටජල් මන්දිරය පිහිටා තිබුණි. අගමැති නිවසේ සිදුවූ මෙම බිහිසුණු සිදුවීම කුරුඳුවත්ත පොලිසියට දැනුම් දී තිබෙන්නේ කොටහේනේ සිටි කැබ් ආයතනයේ වර්ලියානු මිත්‍රසේන නමැති 45 හැවිරිදි රියදුරු විසිනි. 1959 සැප්තැම්බර් 25 වනදා උදෑසන 9.55 ට පමණ කොළඹ 07 රොස්මිඩ් පෙදෙස ඔස්සේ ඔහු සී. වී. 6170 දරන වෑන් රථය පදවාගෙන ගොස් තිබේ . අගමැති නිවස පසුකර යන අවස්ථාවේ ඔහුට නිවස තුළින් විශාල කලබලයක් ඇසී ඇත. ඒ සමගම වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු අතර සුදු පැහැති ජාතික ඇඳුමක් හැඳි තැනැත්තෙකු නිවස තුළ සිට එළියට දිවඑන අන්දමද ඔහු දැක තිබේ. කුරුඳුවත්ත පොලිසියට රිය පැදවූ මිත්‍රසේන තමා දුටු සිදුවීම පොලිසියට දැනුම් දී ඇත. කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අදාල දින සටහන් පොතට අනුව පොලිසිය එහි යන විටත් දකුණු පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා විසින් අගමැති නිවසට පැමිණ සිටි සිද්ධිය ඇසින් දුටු පිරිස පලවා හැර තිබිණි. එකල මෙකල මෙන් අගමැතිවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සිට නැති අතර එක් පොලිස් නිලධාරියෙක් පමණක් නිවසේ ගේට්ටුවේ සේවය කර ඇත. ඔහුට පැවරී තිබූ රාජකාරිය වන්නේ අගමැති නිවසට පිස්සන් සහ බීමත් රස්තියාදුකාරයින් ඇතුළු වීම වැළැක්වීමය.
එදින උදෑසන එම රාජකාරිය සඳහා වාර්තාකර තිබුණේ එස්. ආර්. සමරකෝන් නමැති පොලිස් කොස්තාපල් තැනය. ඔහු නඩු විභාගයේදී ප්‍රකාශ කළේ ලී ඇන්ඩ් ෆීල්ඩ් වර්ගයේ රයිෆලයක් සහ පතුරොම් 10 ක් රැගෙන තමා ගේට්ටුවේ රැඳී සිටි බවය. අගමැතිවරයා හමුවීම සඳහා රොස්මිඩ් නිවසට පැමිණෙන අමුත්තන් ආලින්දයේ රැඳී සිටින අතර
අගමැතිවරයා ඔවුන් පිළිගෙන කතාබස් කර පැමිණි කාරණා ඉටුකර දීම එහි පැවති සාමාන්‍ය සම්ප්‍රදාය වේ.
තල්දුවේ සෝමාරාම හිමියන් රාජගිරිය
දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඇස් වෙදකම පිළිබඳ කථිකාචාර්යවරයෙකි. උන්වහන්සේ බණ්ඩාරනායක අගමැති හොඳින් දන්නා දේශපාලන වශයෙන් ද අගමැතිට හිතවත් හිමිනමකි. සිය කථිකාචාර්ය ධුරයෙහි කාලය අවසන්ව තිබුණු නිසා පසුදින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා අගමැතිවරයාගේ අනුග්‍රහය දැක්වෙන. ලිපියක් ලබා ගැනීමට උන්වහන්සේ පැමිණ තිබේ.
වෙඩි තැබීම සිදුවූ දින උදෑසන එහි පැමිණ සිටි පිරිස අතර භික්ෂුන් දෙනමක් ද වූහ. එයින් එක් භික්ෂුවක් තල්දූවේ සෝමාරාම හිමියෝය. උදෑසනම ටින්ටජල් නිවසට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති බර්නාඩ් ගල්පර් සමග කතාබහක නියැලී සිටි අගමැතිවරයා ඔහුට සමුදී ආලින්දයේ අසුන් ගෙන සිටි භික්‍ෂූන් වහන්සේලා වෙත පැමිණඇත. සුමාරාම හිමියන් වහන්සේ කෙළවර පුටුවක අසුන්ගෙන සිටි අතර අනෙක් භික්ෂුව සාලයට ඇතුළුවන දොර අසල ආසනයක වාඩිවී සිට ඇත. අගමැතිවරයා ඒ භික්ෂුව වෙත පැමිණ නමස්කාර කරන අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී ඇත. වෙඩි පහරට ලක්වූ අගමැති පපුව අල්ලාගෙන වාරුවී නිවස තුළට දිව ගොස් තිබේ. අපරාධය සියැසින් දුටු සෝමාරාම හිමියන් වහා නැගිට අගමැතිවරයා පසුපස ගමන් කර ඇත. අගමැති පසුපස සාලයට ඇතුළු වූ සෝමාරාම හිමියන්ට නිවස තුළ සිටි අය පහර දී තිබෙන්නේ වෙඩික්කරුවා උන්වහන්සේ යැයි වරදවා වටහා ගැනීමෙනි. අගමැතිට වෙඩි තැබීමේ ආරංචිය අසා දිවගෙන පැමිණි ගේට්ටුවේ පොලිස් නිලධාරියාද කිසිදු වග විභාගයකින් තොරව බිම වැටී සිටි සෝමාරාම හිමියන්ට වෙඩි තබා තිබේ.

image source https://divaina.lk/wp-content/uploads/2023/09/bandaranake.jpg
වෙඩි තැබීමෙන් පසු නිවසේ ඇති වූ කලබලය මැද අසුරු සැණින් කන්තෝරු කාමරයට රිංගා ගත් වෙඩික්කරු රිවෝල් වරයද විසිකර සිවුර සහ අඳනකඩ එහිම ගලවා දමා රොස්මිඩ් වලව්වේ වත්ත ඔස්සේ පලා ගොස් තිබේ. අගමැති බණ්ඩාරනායක වහා රෝහල් ගත කරනු ලැබූ අතර වෙඩි වැදුණු සෝමාරාම හිමියන්ද රෝහල් ගත කර තිබේ. අගමැතිතුමාට භික්‍ෂූන් වහන්සේ නමක් වෙඩි තිබ්බා. එම භික්ෂුවට පොලිසිය වෙඩි තිබ්බා යනුවෙන් රට පුරා මෙම සිදුවීම ප්‍රචාරය වූයේය.
අගමැති බණ්ඩාරනායකගේ “ටින්ටජල්” මන්දිරය පිහිටා තිබෙන්නේ රොස්මිඩ් පාර විජේරාම මාවතට වැටෙන හතරමං හන්දියේය. රොස්මිඩ් වලව්ව රොස්මිඩ්. පාරට හා විජේරාම පාරට මායිම් වේ. විජේරාම පාර එකල හැඳින්වූයේ මැකාර්ති පාර යනුවෙනි. විජේරාම පාරට ඔබ්බෙන් වූ නිවසෙහි සේවිකාවක වූ රොසලින් නමැත්තිය බණ්ඩාරනායක වලව්ව දෙසින් ඇසුණු වෙඩි ශබ්ද අසා නිවසේ ගේට්ටුව අසලට පැමිණ සිදුවන්නේ කුමක්දැයි විමතියෙන් බලා සිට ඇත. පොලිසියට ප්‍රකාශයක් කරමින් ඇය පවසා තිබුණේ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳසිටි හිස බූ ගෑ මිනිසෙක් බණ්ඩාරනායක වලව්ව දෙස සිට වත්ත හරහා දුවගෙන පැමිණ තාප්පයෙන් විජේරාම පාරට පනිනු තමා දුටු බවය. එහි නවත්වා තිබූ සුදු පැහැති මෝටර් රථයකට නැග ගත් ඔහු “හරි මචං යමං” කියනු තමාට ඇසුණු බවත් ඒ සමග මෝටර් රථය පිටත්ව ගිය බවත්ය.
සෝමාරාම හිමියන් වෙනුවෙන් පෙනී සිටි රාජ නීතිඥ ලූෂන් ජී වීරමන්ත්‍රී සිය දේශනයේදී සඳහන් කළේ තාප්පයෙන් පැනගිය මිනිසා කවුද?යන්න ගැන අපරාධ විමර්ශනයක් සිදු නොවූ බවය. ඔහුගේ තට්ටය තිබුණාද? ඒ මිනිසා උසද?, මිටිද? ආදී වශයෙන් ඒ මිනිහාගේ හැඩහුරු කමගැන වචනයක්වත් සාක්ෂිකාරියගෙන් නො අසන්නට පැමිණිල්ලේ නීතිඥ චිට්ටි මහතා පරෙස්සම් වූ බවය. පොලිසිය මහාධිකරණ නඩු විභාගය සඳහා රොසලින් සාක්ෂිකාරියක ලෙස ඉදිරිපත් කළේ ද නැත. ඒ අවාසනාවන්ත දිනයේ තාප්පයෙන් පැනගිය මිනිසා ඔසී කොරයා බවට නීතිඥවරු තර්ක කළහ.
රෝහල් ගත කළ බණ්ඩාරනායක මහතාගේ ශල්‍යකර්මය සිදුකරන ලද්දේ එවකට ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයෙකු වූ දොස්තර ඇන්තනීස් විසිනි.
” සර්, මොකද වුණේ…”යනුවෙන් දොස්තර ඇන්තනීස් ශල්‍ය කර්මය ආරම්භ කිරීමට මත්තෙන් තුන්වරක්ම ආගමැතිගෙන් විමසා ඇත.
” අර කළුබඩුව සිවුර අස්සෙන් එළියට ගන්නා තෙක් මොකද වෙන්න යන්නේ කියා මට තේරුණේ නැහැ නොවැ. “යනුවෙන් බණ්ඩාරනායක මහතා පිළිතුරු දී ඇත.
” මොන සිවුරක් දැයි” ශල්‍ය වෛද්‍ය ඇන්තනීස් අසා ඇත.” භික්ෂුවකගේ සිවුර” යයි ඊට පිළිතුරු දී තිබේ. අගමැති පවසා තිබෙන්නේ සිවුරක් හැඳි පුද්ගලයෙකු තමාට වෙඩි තැබූ බවය. ඉන් ගම්‍ය වන්නේ මරනකරු වෙඩික්කරු නොහඳුනන බවය. සෝමාරාම හිමි බණ්ඩාරනායක මහතා ඉතා හොඳින් හඳුනයි. නමුත්, ” තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ මට වෙඩි තිබ්බා” යයි අගමැති කියා නැත.
වඩාත් නිශ්චිත කට උත්තරයක් ගැනීමට පොලිසිය ක්‍රියා කළේ ද නැත. අගමැතිවරයා මියෙන්නට පෙර ජාතිය. අමතා ප්‍රකාශයක් සිදුකර තිබේ. එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් විය.” භික්ෂු චීවරයෙන් සැරසුණු අඥාන මිනිසෙක් අද උදේ මට වෙඩි තැබුවේය. මේ මනුෂ්‍යයාට අනුකම්පාව දක්වන ලෙසත් ඔහුගෙන් පළිගැනීමට කිසිවක් නොකරන ලෙසත් මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි.”එම ප්‍රකාශයෙහිද “සෝමාරාම හාමුදුරුවෝ මට වෙඩි තිබ්බා” කියා සඳහන් වී නැත. එසේ වුවද ජූරි සභාව තීරණය කර තිබෙන්නේ සිවුරු පොරවා ගත් අඥාන මිනිසා තල්දූවේ සෝමාරාම හිමි බවය. ඒ අනුව උන්වහන්සේ එල්ලුම් ගස් ගියහ. විත්තියේ නීතිඥ රාජමන්ත්රී ස්වකීය දේශනයේදී ප්‍රකාශ කර තිබුණේ අගමැති බණ්ඩාරනායක ඝාතනයේ විමර්ශන අමුතුම මුහුණුවරක් ගෙන තිබූ බවය.

පොලිසිය අගමැතිගෙන් කටඋත්තරයක් ගෙන නැත. මෘත ශරීරය කපා පරීක්ෂණයක් පවත්වා නැත. වෙඩි තැබීම දුටු හොඳම සාක්ෂිකරු වන ගුණරත්න සාක්ෂි දීමට කැඳවුවේ නැත. වෙඩි තැබීම සිදුකළ බව කියන පිස්තෝලයේ ඇඟිලි සටහන් පරීක්ෂා කර නැත. වෙඩි තැබීම සියැසින් දුටු කිසිවකු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් නොකරන්නට පොලිසිය වග බලාගෙන තිබිණ. අගමැති ඝාතනයේ නියම කුමන්ත්‍රණකාරයින් පිරිස නඩුවෙන් හැකිතාක් ඈත් කොට තැබීමට පරීක්ෂණ අංශ විශේෂ උනන්දුවක් ගත් බවට සැකයක් නැත. වෙඩි තැබීම සිදුවී ස්වල්ප වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි සොයිසා එම ස්ථානයට පැමිණේ. ඔහු පැමිණෙන්නේම “කවුරුත් අහකට පලයල්ලා” යයි ගෝරනාඩුවක් කරමිනි. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ අවස්ථාවේ පැමිණෙන්නට විශේෂ හේතුවක් නැත ඔහු ප්‍රදේශයේ පොලිස් බලධරයකු ද නොවේ. ඔහු සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ. එදින එම වෙලාවට පැමිණෙන ලෙස අගමැතිවරයා දැනුම් දුන් නිසා තමා පැමිණි බවය. තමා සීඩ්නි සොයිසාට පැමිණෙන්නට නො කී බව කියන්නට අගමැතිවරයා ජීවතුන් අතර නැත. සිදුවීමෙන් පසු රොස්මිඩ් වලව්වේ ආලින්දයේ සිවුරු දෙකක් සහ අඳන කඩක් තිබූබව රහස් පරීක්ෂකවරු පවසා ඇත. වෙඩි වැදුණු සෝමාරාම හිමියන් අඳන කඩපිටින් රෝහලට ගෙන ගියා නම්. වැටී තිබූ එක් සිවුරක් සෝමාරාම හිමියන්ගේ විය හැකිය. අනෙක් සිවුර හා අඳනකඩ කාගේද. ඒ සම්බන්ධයෙන් උසාවිය නිහඬය. තාප්පෙන් පැනගිය මිනිසා ගැන හෝ ආලින්දයේ තිබූ සිවුරු දෙක ගැනත් අවධානය යොමු නොකළ අධිකරණය නඩුවට කිසිදු අදාලත්වයක් නැති පී. මල්ගොඩගේ ශෘංගාරාත්මක සාක්ෂියට දින 17ක් වෙන් කළේය. මේ නඩුවේ බොරු “ටොන් ගණනක් තිබෙන නමුත් ඇත්ත අවුන්සයක්වත් නැතැයි” මා පිටිගම බුද්ධරක්ඛිත හිමියන් වෙනුවෙන් පෙනීසිටි රාජ නීතිඥ පීනියස් ක්වාස් කියා ඇත.
මේ නඩුවට අදාළ තවත් අමුතු කතාවක් ලියුම්කරුට අසන්නට ලැබිණ. කොළඹ 07, සෙන්ට් බ්‍රිජට් විද්‍යාලයේ පහළ පන්තියක ඉගෙනුම ලැබූ දැරියක විසින් එම කතාව පවසා ඇත. 1959 සැප්තැම්බර් 25 වනදා උදෑසන 8.00 ට බ්‍රිජට් විද්‍යාලයේ පන්ති කාමරයට ගිය ඇයට ඇය අසල අසුන් ගන්නා මිතුරිය මෙසේ පවසා තිබේ.” මම ඔයාට බඩුවක් කියන්නද.? ඔයා දන්නවද වැඩක් අද බණ්ඩාරනායක අගමැතිට වෙඩි තියෙනවා. “කතාවේ බරපතලකම කුඩා දැරියට ඒ අවස්ථාවේ වැටහී නැත. පෙරවරු 10.00 වන විට. අගමැතිට වෙඩි තබන ලද පුවත විද්‍යාලයට ලැබී ඇත. රොස්මිඩ් වලව්වේ සේවිකාවක විසින් සුනේත්‍රා සහ චන්ද්‍රිකා විද්‍යාලයේ සිට කැටුව යන අන්දමද ඇය දැක තිබේ. මේ ගැන කිසිවක් කතා නොකරනලෙස මව්පියන් ඇයට උපදෙස් දී තිබේ. නම් ගම් හෙළි කරනවාට අකමැති ඇය මේවන විට. 65 හැවිරිදි තැනැත්තියක බවත් ඇය නම හෙළි කරනවාට අකමැතිබවත් මේ තොරතුරු පැවසූ අධි නීතිඥවරයා මා සමග කීවේය.

image source-https://assets.roar.media/assets/1mT8wasayOiFMNSm_5.jpg
බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට ඉවහල් වූ සමාජ දේශපාලන පසුබිම මෙහිදී සලකා බැලිය යුතුය.
අගමැති තනතුරට පැමිණීමේ බලවත් වුවමනාව නිසාම බන්ඩාරනායක මහතා දක්ෂිණාංශික හා වාමාංශික බලවේග දෙපාර්ශවයෙන්ම පිහිට පැතුවේය. බුද්ධරක්ඛිත හිමි, එච් පී ජයවර්ධන ඇතුළු සඟ පෙරමුණට අයත් පිරිස එක් කොටසක අවශ්‍ය නම් සෞඛ්‍ය ඇමතිනී විමලා විජේවර්ධන දක්වා එය පුළුල් කරගත හැකිය. දේශපාලනය වනාහි බෝම්බ ගසන, වෙඩි තබන මිනිසුන් මරා දමන, සංකීර්ණ ක්‍රියාවලියක් බව ප්‍රභූ පෙලැන්තියේ අහිංසක වැදගතකු වූ බණ්ඩාරනායක දැන සිටියේ නැත.
දෙවැනි බලවේගය වූයේ තවදුරටත් අධිරාජ්‍යවාදීන් සමඟ ඍජු සම්බන්ධතා පවත්වාගෙන ගිය අධිරාජ්‍ය ගැති ධනේශ්වරය නියෝජනය කළ කණ්ඩායමයි. වරාය ජනසතුව, කැල්ටෙක්ස් එසෝ මොබිල්ගෑස් ආදී. තෙල් කොම්පැණි පලවා හැරීම වැනි බණ්ඩාරනායකගේ පියවර නිසා සිත් තැවුලට පත්ව සිටි මෙම බලවේගය හසුරවන ලද්දේ ජාත්‍යන්තරය තුළ සිටි ඔවුන්ගේ හාම්පුතුන් විසිනි.
එම පිරිස බණ්ඩාරනායක අගමැතිගේ ආණ්ඩුවේ මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා, ඔහුගේ සොහොයුරන්වූ ව්‍යාපාරිකයෙකුවූ ඩිකී සොයිසා, නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා, සහ හිටපු පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක , පොලිස්, පරීක්ෂක නිව්ටන් පෙරේරා සහ ඔසී කොරයා මේ දෙවැනි බලවේගයේ හෙළිදරව් වූ පිරිසය. ඔවුන් ක්‍රියාකාරී වූයේ ආසියානු කලාපයේ දාම්පෙත තුළ ඉත්තන් ඇදීම, කපා දැමීම, ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ පොදු අපේක්‍ෂාවට සාපේක්ෂකවය. බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණ නඩුවේ දී, මේ දෙවන කණ්ඩායම හෙළිදරවූයේ නැත. බණ්ඩාරනායක මරා දැමීමේ මූලික අවශ්‍යතාවය තිබුණේ මෙම දෙවන කණ්ඩායමටය. ඒ සඳහා ඔවුන් පිඹුරුපත් සකස්කරන්නේ 1956 ජයග්‍රහණය කළ තැන් සිටය. බණ්ඩාරනායක ඝාතනයට මාසයකට පෙර විදේශ රටකදී බණ්ඩාරනායක අගමැති පිළිබඳ සිදුකළ මිනිත්තු 20ක සාකච්ඡාවක් පිළිබඳව නිවුස්වීක් සඟරාවේ පළවූවද එය සොයාගත නොහැකි විය. දෙවන කණ්ඩායමට, පළමු කණ්ඩායම අගමැති හා උරණ වී සිටින බව දැනගැනීමට ලැබේ. එතැන් සිට ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කළේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම නෙළා ගැනීමේ න්‍යායෙනි. එම මෙහෙයුම ඉතා සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වන්නේ රජයේ ප්‍රධාන මර්මස්ථාන තුළ ඔවුන්ගේ බලාධිකාරිය තහවුරුව පැවති නිසාය. අගමැති ඝාතනය තුළ යට කී පිරිස සිටින බව යන්තමින් හෝ හඳුනාගත්තේ රාජ නීතිඥ ලූෂන් වීරමන්ත්‍රී සහ එංගලන්තයේ රාජ නීතිඥ පීනියස් ක්වාස් විසිනි. නමුත් නඩු විභාගය තුළට අපරාධ පරීක්ෂකයන් ලෙස ඇතුළු වී සැඟවී සිට අගමැති ඝාතනය කරන අතරම මේ ඝාතනයට සම්බන්ධ සුජාත පරීක්ෂකයන් ලෙස නඩුව ගොනුකොට පළවෙනි කණ්ඩායම විත්තිකූඩුවට නංවා පෝරකය දක්වාම ගෙන ගොස් අතපිසදා ගන්නට දෙවන කණ්ඩායම සමත් වෙති. අභාග්‍යයකට මෙන් බණ්ඩාරනායක පවුලේ ඇත්තන් මේ දෙවැනි කණ්ඩායම හඳුනාගත්තේ නැත. මෙම පිරිස අපට නැවත හමුවන්නේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් ලෙස කූඩුවට පැමිණි අවස්ථාවේය. මෙම ගවේෂණයේ ඉතාමත් වැදගත් අවස්ථාව වූයේ 1959 සැප්තැම්බර් 25 වන දා අත්අඩංගුවට ගන්නා ලද තල්දුවේ සෝමාරාම හිමියන් 1962 එල්ලා මරණ
අවස්ථාව දක්වා මරන මංචකයේ හිඳිමින්ත ල්ලුවේ සෝමාරාම පන්සලට එවන ලද ලිපි සියල්ලම සොයා ගත හැකිවීමය. වර්තමානයේ එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන එල්ලාවල නන්ද හිමියන්ට එහි ගෞරවය හිමිවේ. අවුරුදු 65 ක් ආරක්ෂා වූ මෙම ලිපි මරණය අභියස පසු වන්නෙකුගේ ආධ්‍යාත්මය විවරණය කරන්නේය .
ඇම්. සෝමාලෝක හිමි
තල්දුව පන්සල ,
දෙහිඕවිට.
සෙත් වේවා.
මගේ මරණ දිනය ජූලි 6 වෙනිදාට යෙදී තිබේ. පත්‍රවල පළ වූ සිල්ගත් පුවත අසත්‍ය බව කියමි. ගෙදරින් පැමිණියා කියා මට දැන් කියන්නට තිබෙන්නේ ඉතා ප්‍රවේශමෙන් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කරන්න ඕනෑ බවයි. තල්ලුවේ සියලුම දෙනාට මෙය දැන්විය යුතුයි. පුහුදුන් ගතිය නිසා මගෙන් ප්‍රමාද දෝෂයක් ඇතිවී තිබේ නම් එය සිතෙන් දුරලන්න්. සියලු දෙනා නිදුක් නිරෝගී වේවායි මගේ පැතුමයි.
ජීවිත මරණ දෙක මැද සටනක වීම
මා සිත යෙදී ඇත ගෙල වැටෙනාතුරු දාම…
පාලිත සිරකූඩුවක සිට දිව රෑ සෑම
වවාගත නොහැක කකියයි හදවතබෝම…
ඇද නැති හදවතක් මෙතුවත් කල් දැරුවා
ගුණමකු සමාජය ගැන පිලිකුල් කෙරුවා…
සිතිවිලි දමක පැටලී ලෙස සිරකරුවා
සෝමාරාම පසු වෙයි එනතුරු මරුවා…
මෙයට
තල්දුවේ සෝමාරාම.
