රන්ජන් විජේරත්න ඝාතනය..!
පිටුපස සිටියේ කවුද?

1991 මාර්තු 2 දා උදය වරුවේ විදේශයක සිට පැමිණි මිතුරෙකු රැගෙන කටුනායක ගුවන්තොටුපොලේ සිට මම කොළඹ බලා පැමිණෙමින් සිටියෙමි. මා පදවමින් සිටි වෑන් රියෙහි ගුවන් විදුලිය සුසර කර තිබූ අතර එහි ස්වදේශීය සේවයේ දෛනික වැඩසටහන් ප්‍රචාරය වෙමින් තිබිණ. හදිසියේම වැඩසටහන අතරමග නතර වූ අතර ගුවන් විදුලි නිවේදකයා පැවසුවේ කොළඹ ප්‍රදේශයේ බෝම්බයක් පිපිරී ඇති බව හා වැඩි විස්තර දහවල් ප්රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන ලෙසය. ප්රවෘත්ති ප්රචාරයේදී දැනගැනීමට ලැබුණේ ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න හැව්ලොක් පාරේ තුම්මුල්ලට ආසන්න ප්‍රදේශයක පුපුරා ගිය බෝම්බයකට හසු වී මරණයට පත් වූ බවය.
above image source-https://lankanewsweek.com/news_admin/add_news/news_image/1614689376image_1459705748-5386c0021e.jpg
ඒ අවස්ථාවේ සජීවී විස්තර ප්‍රචාරයකට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මෙසේ ප්‍රකාශ කළේය.” දහවල් මගේ කාර්යාල කාමරයේ මා කිසියම් කටයුත්තක යෙදී සිටියදී බෝම්බයක් පුපුරා යන විශාල ශබ්දයක් ඇසුණා. ඒ අවස්ථාවේ මට දැනුනේ ගුවන්විදුලි සංස්ථා ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස කඩා වැටුණා වගේ. මම වහාම ගුවන් විදුලි සංස්ථාවේ ආලින්දයට පැමිණියා. ආරක්ෂක නිලධාරීන් මට දැනුම් දුන්නේ විශාල ශබ්දයක් තුම්මුල්ල ප්‍රදේශයෙන් ඇසුණු බවය. නිසැක ලෙසම එය බෝම්බයක් විය හැකි බව ඔවුන් පැවසුවා. බෞද්ධාලෝක මාවතේ ගස් අතරින් ඉහල නගින දුම්රොටුද අපට පෙනුණා.
මේ වෙලාවේ ජනාධිපතිතුමා නුවර ජනාධිපති මන්දිරයේ සිටින බව මා දැන සිටියා. මම වහාම කාර්යාල කාමරයට ගොස් ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාට දුරකථන පණිවිඩයක් ගෙන බෝම්බයක් පුපුරා ගිය ශබ්දය ඇසුණු බවත් තවමත් එය කුමක්දැයි හරියට නොදන්නා බවත් පැවසුවා. එවිට ජනාධිපතිතුමා මට පැවසුවේ රන්ජන් විජේරත්න ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා නිවසින් පිටත් වූවාදැයි සොයා බලන ලෙසය.”
ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්නගේ මරණය සම්බන්ධව මට ඇති සමීපතම අත්දැකීම එයයි. වසර 35කට ආසන්න. කාලයක් ගත වී ඇතත් මෙම සිදුවීම අද මෙන් මගේ මතකයේ පවතී.
රන්ජන් විජේරත්න මිය යන විට 59හැවිරිදි වියේ පසුවිය. සුදු හිසකෙස් ඇති රන්ජන් විජේරත්න අඩි හයකටත් වඩා උස පුද්ගලයෙකි. ඔහු හැම විටම සුදු පැහැති යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. 1989 මහ මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේය. ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය හැරුණු විට වැවිලි කර්මාන්තඇමති ධුරය ද ආරක්ෂක රාජ්‍ය ඇමැති තනතුර ද ඔහු දැරුවේය. ඒ අතරම කැබිනට් මණ්ඩලයේ නිල ප්‍රකාශකයා ලෙසද කටයුතු කළේය. 1987 මුල් භාගය වන විට ඉතා සංකීර්ණ දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබුණි. වසර 10 ක් එක දිගට පැවති එජාප පාලනයෙන් රට හෙම්බත්ව පැවති අතර ප්රජාතන්ත්රවාදය හැකිලී ගොස් තිබුණි. 1983 වසරේ තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදය ඉල්ලා දකුණේ දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියේය. එල්ටීටීඊය උතුර නැගෙනහිර පළාත්වල වෙනම පාලනයක් ඉල්ලා සන්නද්ධ අරගලයක් දියත් කර තිබුණි. මේ සියල්ලටම විරුද්ධව ආණ්ඩුවේ මර්දන යන්ත්‍රය මෙහෙයවන ලද්දේ රන්ජන් විජේරත්න විසිනි.
වමේ දේශපාලන පක්ෂ රන්ජන් විජේරත්න හැඳින්වූයේ දක්ෂිණාංශික අන්තවාදියෙකු ලෙසය. ජවිපෙ මර්දන ක්‍රියාවලියේදී රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනය කිරීමෙන් රන්ජන් විජේරත්න එජාපය තුළ බලපරාක්රමයක් තහවුරු කරගෙන සිටියේය. ආණ්ඩුව ජවිපෙ මර්ධනය කිරීම සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාවේ සහාය ලබාගෙන තිබූ අතර රන්ජන් අනුගමනය කළේ අත්අඩංගුවට ගන්නා තැනැත්තන් තොරතුරු ලබා ගැනීමෙන් පසු ඝාතනය කරමින් ඉදිරියට ගමන් කරන මොසාඩ් සංවිධානයේ ප්රතිපත්තියයි. එහිදී අත්අඩංගුවට ගන්නා තැනැත්තන්ට කිසිදු බුරලක් දිය යුතු නැති බව ඔහු තරයේ විශ්වාස කළේය.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස විජේ රත්න උතුරේද ක්‍රියාත්මක කළේ එම ප්රතිපත්තියයි. රන්ජන්ගේ ප්‍රතිපත්තිය රටට ඔරොත්තු නොදෙන බවටත් ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න මතුවිය හැකි බවටත් තර්ක කළ පිරිස් එජාපය තුළද වූහ. රන්ජන්ගේ ගමන නතරවන්නේ කොතනින්ද යන්න පිළිබඳව එජාපය තුළද කුකුසක් හටගෙන තිබුණි. එයට හේතුවක් වූයේ රන්ජන් එජාප පක්ෂ ලේකම් ධූරය මෙන්ම ජාතික සේවක සංගමයේ ද නායකත්වය සියතට ගැනීමය. ඇත්ත වශයෙන්ම ඒවන විට රන්ජන් සිටියේ ජනාධිපති පුටුවට සහ අගමැති පුටුවට ඉතාමත් ආසන්න ස්ථානයකය. රන්ජන් විජේරත්න ආඥාදායකයෙකි. කවර හේතුවක් නිසාවත් සතුරු බල වේගවලට අනුකම්පා නොකළ යුතුය. යන්න ඔහු අනුගමනය කළ දර්ශනය වූයේය. ඔහු රඟපාමින් සිටියේ ඉඩි අමින්ට, බොකාසාට, සමාන භූමිකාවකි. නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මාරු කරමින් දඩ බල්ලෙකුගෙන් ගන්නා ප්‍රයෝජනය ගැනීමට ඔහුට අවශ්‍ය විය. අත්අඩංගුවට ගත් රෝහණ විජවීර, උපතිස්ස ගමනායක ඝාතනය කිරීමට නියෝග දීමේදී ඔහු දෙවරක් සිතා බැලුවේ නැත. ඔහු තුළ අළුගෝසුවකු මිස දේශපාලකයෙකු නොවීය.
හෙතෙම වැඩිපුර පදිංචිව සිටියේ ස්වකීය පෞද්ගලික නිවසේය. එය පිහිටා තිබුණේ කොළඹ හැව්ලොක් පෙදෙසේ තිඹිරිගස් යායේ මාලේවන රසායනාගාරයට නොදුරෙනි. නිවසේ පදිංචිව සිටියේ රන්ජන් විජේරත්න සහ ඔහුගේ බිරිඳ වෙලාන්ඩ් ජයන්සියා සූරිය බණ්ඩාර දෙදෙනාය. පුත්‍රයා ලංකාවෙන් බැහැර වාසය කළේය. සෑම දිනකම ඔහු උදේ 8.00 ට පමණ නිවසින් පිටත්ව විදේශ අමාත්‍යාංශයට හෝ ආරක්ෂක අමාත්‍යංශයට ගියේය. ඇමැතිවරයාගේ ගමන් පහසුව සඳහා බෙන්ස් වර්ගයේ මෝටර් රථ දෙකක් ලබාදී තිබුණි. කුඩා බෙන්ස් රථය මාසයකට ආසන්න කාලයක් අලුත්වැඩියාව සඳහා ගෙන ගොස් තිබූ අතර අලුත්වැඩියාව අවසන් කර 1991 මාර්තු 02 වෙනිදා නැවත රංජන් විජේරත්නගේ නිවසට ගෙනවිත් දී තිබුණි. රන්ජන්ගේ ආරක්ෂාව බාරව රාජගිරියේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් යොදවා තිබුණි.
රන්ජන් විජේරත්න ඝාතනය සිදුවූ 1991 මාර්තු 02 උදෑසන විශේෂ කාර්ය බලකා රියදුරු කරුණාරත්න බණ්ඩා විසින් පදවන ලද 50 ශ්‍රී 8970 අංක දරන ලෑන්ඩ් රෝවර් ජීප් රථය ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා පෙරවරු 7.20ට රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරෙන් පිටත් කර යවා තිබුණි පොලිස් පරීක්ෂක නාගහමුල්ල සහ පොලිස් සැරයන් ප්‍රේමලාල් යන නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සිට ඇති අතර අනෙක් නිලධාරීන් හය දෙනා විශේෂ කාර්ය බලකායට අයත් කැලෑ නිල ඇඳුමින් සැරසී සිට ඇත. ඔවුන් කණ්ඩායම පෙරවරු 8.15 ට ගුවන් විදුලි දුරකථනයෙන් විශේෂ කාර්ය බළකා මූලස්ථානය අමතා දැනුම් දී තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතාගේ ප්‍රභූ රථයට ආරක්ෂාව සපයමින් හැව්ලොක් පෙදෙසේ නිවසින් තම කණ්ඩායම පිටත් වූ බවය. පිටත්වීම සඳහා නිවසින් එළියට පැමිණි ඇමති විජේරත්න වෙනදා ගමන් කරන මර්සිඩීස් වර්ගයේ බෙන්ස් රථය දෙස බලා “අනෙක් වෙහිකල් එක රෙපයාර් කරලා ගෙනත් නේද අද ඒකේ යමු” කියා කුඩා බෙන්ස් රථයේ අසුන් ගත්තේය.
16ශ්‍රී 538 දරන එම බෙන්ස් මෝටර් රථය යුද හමුදා කෝප්පල් ප්‍රේමදාස විසින් පදවන ලදී. එම මෝටර් රථයේ ඇමැතිවරයාගේ ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂක විජේකෝන් ද, ගමන් කළේය. ඉන් මඳ වේලාවකට පසු විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පසුකර ඉදිරියට ගමන් කරන බව රාජගිරිය කඳවුරට ගුවන් විදුලි දුරකථනයෙන් දැනුම් දී ඇත. එම දුරකථන ඇමතුම විසන්ධි වන්නටත් පෙර විශාල පිපුරුම් හඬක් රාජගිරිය බලකා මූලස්ථානයට දුරකථනය තුළින් ඇසී තිබේ. අදාල ඇමතුම ගත් නිලධාරියා වහාම ඒ හඬ කුමක්දැයි ප්‍රශ්න කර ඇතත් ඊට පිළිතුරු ලැබී නැත. තම නිලධාරීන් ගමන් කරමින් සිටි හැව්ලොක් පෙදෙස පැත්තෙන් එම ශබ්දය ඇසුණු නිසා වහාම ක්‍රියාත්මක වූ නිලධාරියා කණ්ඩායමක් රැගෙන හැව්ලොක් පෙදෙස බලා පිටත්ව ගොස් තිබේ.
එම කණ්ඩායම් භාරව ගමන් කළ නිලධාරියා තබා ඇති සටහන මෙසේය.
” අප කණ්ඩායම පෙරවරු 8.40 ට පමණ කොළඹ හැව්ලොක් පාරේ හර්කියුලස් ටේලර්ස් ආයතනය ඉදිරියට ළඟා වුණා . ඒ වන විට එම ස්ථානයේ විශාල කලබලකාරී තත්ත්වයක් පැවතුණා. රථ වාහන ගිනිගෙන දැවෙමින් තිබුණා. ප්රභූවරයා සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණේ නැහැ. තුවාල ලබා සිට නිලධාරී කණ්ඩායමක් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ප්‍රතිකාර සඳහා පිටත් කර යැවූ බව දැනගන්නට ලැබුණා. එවේලෙහි එම ස්ථානයේ ඉතිරිව තිබුණේ මෘත ශරීර තුනක් පමණයි. එයින් එක මෘත ශරීරයක් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරට අයත් පොලිස් සැරයන් ප්‍රේමලාල්ගේ බව මා හඳුනා ගත්තා. ඒ අසලම පිපිරී ගිය තවත් සිරුරක් . විශේෂ කාර්ය බළකා කැලෑ නිල ඇඳුමේ කොටසක් එහි දක්නට ලැබුණා. එම සිරුර විශේෂ බලකායට අයත් සෙබළෙකුගේ බව ඒත්තු ගියා.

image source-https://www.lankaweb.com/news/items/wp-content/uploads/2016/06/dharman26061608.jpg
රෝහල්ගත කළ පිරිස සම්බන්ධව සොයා බලන්නට වහාම නිලධාරින් පිරිසක් පිටත් කළා. පසුව එම පිරිස ලබාදුන් වාර්තාව අනුව පොලිස් පරීක්ෂක ඩී ආර් නාගහමුල්ල, ලියනගේ, ජයවර්ධන දයාරත්න, අමරදාස යන නිලධාරීන් බරපතල තුවාල සහිතව හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගන්නා බව දැනගත්තා. එසේම පොලිස් සැරයන් වික්‍රමරත්න හා පොලිස් කොස්තාපල් පෙරේරා යන නිලධාරීන් මරණයට පත්වී ඇතැයි ඔවුන් දැනුම් දුන්නා. සිද්ධිය වූ ස්ථානයේ තදින්ම පිළිසී තිබුණු ශරීරය පොලිස් කොස්තාපල් කරුණාරත්නගේ බව ඔහුගේ සාක්කුවේ තිබූ පොලිස් හැඳුනුම් පතින් තහවුරු වුණා. තවදුරටත් බෝම්බය පුපුරා ගිය ස්ථානය පරීක්ෂා කර බැලුවා. ඒ ස්ථානයේ සිට යාර සීයක් පමණ ඈතින් කෙනෙක් වැටී සිටියා. එම මෘත ශරීරය ද අපේ කණ්ඩායමට අනුයුක්ත හේමන්තගේ බව අඳුනා ගත්තා.”
බෝම්බය පුපුරා ගිය ස්ථානයට මීටර් 200 ක වපසරිය තුළ සියලුම ගොඩනැගිලි විනාශ වී තිබුණා . ආසන්නයේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ වහලය හා ඉහළ මාලය කඩා වැටී තිබූ අතර ශිෂ්‍යාවන් සෑහෙන පිරිසක් තුවාල ලබා තිබුණා . ඇමතිවරයාගේ පෙර ගමන් රථය හා මෝටර් රථය ආසන්නයේ ගමන් ගත් සියලුම වාහන විනාශ වී තිබුණා . රත්නපුර මගී ප්‍රවාහන සංගමය යටතේ ලියාපදිංචි කර තිබූ ඇහැලියගොඩ. සෙනෙරංජන් නමැති පෞද්ගලික බස් රථය ද ඒ අතර දුටුවා.”
මාධ්‍යවල පළ වූ වාර්තාවන්ට අනුව බෝම්බය පුපුරා යාමෙන් පසුවද බෙන්ස් මෝටර් රථයේ පිටුපස අසුනේ සෘජු ඉරියව්වෙන් ඇමති රන්ජන් විජේරත්න සිහිසුන්ව සිටි අන්දම බොහෝ දෙනා දැක තිබේ. එහිම එම ඉරියව්වේම ඇමති රන්ජන් විජයරත්න දැවී යනතුරු එහි සිටි උසස් පොලිස්නිලධාරීන් කිසිවකු ඔහු එළියට ගැනීමට වෑයම් කර නැත. දැවී ගිය මෝටර් රථයෙන් සිරුර ඉවතට ගෙන තිබෙන්නේ බොරැල්ල හදිසි මරණ පරීක්ෂණ කාර්යාලය අසලට ලොරියක පටවා ගෙන ගොස් එතනදීත් තහඩු කපා ඉවත්කිරීමෙනි.
බෝම්බ පිපිරීමෙන් රන්ජන් විජේරත්න ඇමතිවරයා සමඟ සිවිල් වැසියන් 25 දෙනෙකු සහ ඔහුගේ පරිවාරයේ සිටි එස්ටීඑෆ් භටයින් 6 දෙනෙකු මරණයට පත් වූ බව වාර්තා විය. මෙම දින කීපය තුළ ජනාධිපති ප්‍රේමදාස කොළඹ සිටියේ නැත මහනුවර අවට විශේෂ උත්සව අවස්ථා කීපයක් සංවිධානය කර ඔහු නුවර ජනාධිපති මන්දිරයට වී සිටියේය.
1991 මාර්තු 4 දිවයින පුවත පත මහනුවර අස්ගිරියේදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කරන ලද ප්‍රකාශයක් වාර්තා කර තිබුණි.
” මේ රටේ ඒකීයභාවයත් , භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කිරීමේ කර්තව්‍යය රන්ජන් විජේරත්න මැතිතුමා මරා දැමීම වැනි ක්‍රියාවන් නිසා කිසිසේත් අත් නොහරින බව ප්‍රකාශ කරනවා” යනුවෙන් ඔහු පවසා තිබුණි.
මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලන්ඩන් කාර්යාලය ජාත්‍යන්තරයට ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ ඝාතනයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය. ජනාධිපති ප්‍රේමදාස රන්ජන්ගෙන් පුරප්පාඩුවූ එජාප මහ ලේකම් ධුරයට සිරිසේන කුරේ පත් කළේය. මාර්තු 4 සඳුදා දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබුණේ”රන්ජන් විජේරත්න ඝාතනය එල්.ටී.ටී.ඊ වැඩක්” යනුවෙනි. 1991 මාර්තු 14 ආරක්ෂක ලේකම් සිරිල් රණතුංග විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබූ අතර මාර්තු 15 සති මැද ලංකාදීප පත්‍රය වාර්තා කර තිබුණි.( ඒ දිනවල දිනපතා ලංකාදීප පත්‍රයක් තිබී නැත.)එම මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් සිරිල් රණතුංග පවසා තිබුණේ රන්ජන් විජේරත්න ඝාතනය එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද්දක් බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බවය.
කොටි සංවිධානය විසින් ඇමැතිවරයා ඝාතනය කළ බවට තහවුරු වන්නේ කෙසේදැයි හේතු සහිතව පැහැදිලි කරන ලෙස මෙහිදී මාධ්‍යවේදීන් ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා තිබුණි. ජෙනරාල් සිරිල් රණතුංග ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ “එම හේතු දැන ගැනීමට ලැබුණා නම් තමාද සතුටු වන” බවය. ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න ඝාතනය තම සංවිධානයේ කටයුත්තක් නොවන බව කොටි සංවිධානය දැනටමත් නිවේදනය කර ඇති බව එහිදී මාධ්‍ය පවසා තිබේ. මෙහිදී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සිටි අධ්‍යාපන හා යෞවන කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ එල්ටීටීඊය මෙම ඝාතනය ඔවුන් විසින් කරන ලද බව පිළිගත්තා නම් ඔවුන්ට බොහෝ රටවල් වලින් ප්‍රශ්න මතුවීමට ඉඩ තිබෙන නිසා ඔවුන් තමන් සිදුකළ අපරාධය පිලි නොගන්නා බවය.
ආණ්ඩුව මෙම ඝාතනය එල්ටීටීඊය විසින් කළ බව දැනට තහවුරු කරගෙන තිබෙනවා නම් එම කරුණු ජාත්‍යන්තරයට පැහැදිලි කිරීමෙන් කොටි සංවිධානයට එම අසීරු තත්ත්වය දැනටත් ඇතිකළ හැකි බව එවිට මාධ්‍ය පෙන්වා දී තිබේ. ඊට පිළිතුරු දෙමින් ඇමැති රනිල් ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් විසින්ම එය පිළිගන්නා තරමේ සාර්ථකත්වයක් ආණ්ඩුව කරන ප්‍රකාශවලින් අත් නොවන බවය.
මාර්තු 9 වනදා ආණ්ඩුව නිවේදනය කළේ වැවිලි කර්මාන්ත ඇමති රන්ජන් විජේරත්න ඝාතනය පිළිබඳ පැහැදිලි ඔත්තුවක් ලබාදෙන අයෙකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බවය. රන්ජන් විජේරත්න ඇමති එදින උදෑසන නිවසින් පිටත් වීමට ප්‍රථම ඇමතිවරයාගේ නිවසට ලැබුණු දුරකථන පණිවිඩ රැසක් ගැන පොලිසියේ අවධානය යොමුව තිබිණ. ඇමැතිවරයා මෝටර් රථයට නගින අවස්ථාවේදීත් ඔහු පිටත්වූවා දැයි දුරකථන මගින් විමසා තිබුණි. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව පුවත්පත්වල පළ වුවද ඒ ගැන විස්තර කිසිදිනක දැන ගන්නට නොහැකි විය. බෝම්බ පිපිරීම පිළිබඳව දැන ගැනීමත් සමගම විජේරත්න මහත්මිය නිවසින් බැහැරව ජාතික රෝහල වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවස කරා පැමිණි රජයේ ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් නිවසේ අල්මාරි අවුස්සා කිසිවක් සොයා ඇති බවටද තොරතුරු පැතිර ගියේය.ඔවුන් කවුද ?සෙවූයේ කුමක්ද? යන්න ද කිසි දිනක හෙළි නොවීය. රන්ජන් විජේරත්න ඝාතනය පිළිබඳව පොලිස් පරීක්ෂණ ආශ්රයෙන් මාධ්‍යවල පළ වූ වාර්තා ඉතා හාස්‍යජනක ඒවා විය. බෝම්බය පුපුරා ගිය ස්ථානයේ තිබූ මෝටර් රථ කැබලි එක්තැන් කොට ඇමැතිවරයා ගමන් කළ වාහනයේ වර්ගය සෙවීමට කටයුතු කරන මින් සිටින බව ඇතැම් වාර්තාවල පළවිය.
මේ අතර නිසැක ලෙසම පුපුරා ගියේ රන්ජන විජේරත්න ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථයම බවටද අදහස් පළවිය. බ්රේක් නැතිව ඉහළට යන ඇමතිවරයාගේ ගමන නතර කිරීමේ උවමනාව තිබුණේ කාටද යන්න ගැන දේශපාලන අංශවල ප්‍රසිද්ධියේ කතා කතා කළ බව අසන්නට ලැබුණි.
එකල පැවැති භීෂණකාරී වාතාවරණය තුළ රටේ පැවතියේ විෂම තත්ත්වයකි. එජාප ආණ්ඩුවට විරුද්ධව නැගුණු මතවාදී රැල්ල ඈත නියම්ගම් දක්වාම එකසේ බලපා තිබුණි. ආණ්ඩුවට එරෙහි කැරලිකරුවන් මර්ධනය කිරීමට. ආණ්ඩුව පැරාමිලිටරි කණ්ඩායම් යොදවා දඩයම ආරම්භ කර තිබුණි. රන්ජන් විජේරත්න ඝාතනය සිදුවූයේ එවැනි බිහිසුණු වටපිටාවකය. ඕනෑම පුද්ගලයෙකුට අපරාධයක් සිදුකොට එය එල්ටීටීඊයේ හෝ ජවිපෙ ගිණුමට බැර කිරීම එකල ඉතාමත් පහසුවෙන් කළ හැකි විය. කෙසේ වුවද ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වූ රන්ජන් විජේරත්න දෙවනවරට අදාහනය කිරීම නිදහස් චතුරස්රයේදී සිදුවිය. එයින් පැහැදිලි වූයේ ප්‍රශ්න විසඳීමේ දී ඔහු අනුගමනය කළ මිනීමරු අළුගෝසු පිළිවෙත සොබාදහම අනුමත නොකළ බවය.