කළු සහ සුදු වික්ටර් අයිවන්…!
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂයෙහි අතිශය පෙරළිකාර භූමිකාවක් නියෝජනය කළ වික්ටර් අයිවන්ගේ සමු ගැනීම පිළිබඳව…

image source_https://www.dailynews.lk/wp-content/uploads/2025/01/8-1-8.jpg
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂයෙහි අතිශය පෙරළිකාර භූමිකාවක් නියෝජනය කළ වික්ටර් අයිවන්ගේ සමුගැනීම පිළිබඳව බොහෝ අදහස් පළවිය. රාවය කර්තෘ වික්ටර් අයිවන් අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඉටුකළ මෙහෙවර පිළිබඳව සහ මාධ්‍යවේදීන්ගේ පන්හිඳට ලබා දුන් ජවය පිළිබඳව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලිසියල්ලන්ගේ ගෞරවය ඔහුට විය යුතුය.
වික්ටර් අයිවන්ගේ දේශපාලන භූමිකාව එකකි. මාධ්‍ය මෙහෙවර තවත් එකකි.
එම ක්ෂේත්‍රයන් දෙක අතර පැහැදිලි බෙදුම් ඉරක් තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔහු පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් මුල් පෙලේ ධනපති දේශපාලන පක්ෂ දෙකේම අතකොළුවක් ලෙස ක්‍රියා කිරීමය. ඔහු චන්ද්‍රිකාට අතට අත දෙමින් ජනපතිනි චන්ද්‍රිකාගේ අග විනිසුරුවරයාගේ අනීතික ක්‍රියාවලට නිර්දය ලෙස පහර දෙන්නට තරම් එඩිතරවිය.
ජනමාධ්‍ය හරඹයේදී ස්වකීය මතයේ ජයග්‍රහණය උදෙසා අවසන් මොහොත දක්වාම වෙහෙස නොබලා ඉලක්කය. ලුහුබැඳීම අයිවන්ගෙන් නූතන මාධ්‍යවේදීන්ට ඉගෙන ගන්නට තිබෙන හොඳම පාඩම වන්නේය. හික්කඩුව ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක තරුණයකුවූ වික්ටර් අයිවන්ට දේශපාලනයේ අයනු, ආයනුු කියාදී විප්ලවකාරී මාක්ස්වාදී දේශපාලනයට ඔහු කැටුව ආවේ රෝහණ විජේවීර විසිනි. නිර්ධන පන්තියට තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් තොර විමුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැව් විජේවීර ඔහුට වටහා දුන්නේය. භද්‍ර යෞවනයේදී වික්ටර් අයිවන් විප්ලවකාරයෙකු කළේ රෝහණ සහෝදරයා විසිනි.
රාවයේදී වික්ටර් අයිවන් නමින් හඳුනා ගන්නට ප්‍රථම ඔහු පොඩි අතුල නමින්ජවිපෙ හඳුන්වා දුන්නේය. එදා ඔහු නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා කැපවී ක්‍රියා කළේය.
“සුළු ධනේශ්වර පන්තිය කුළු හරකෙකුමෙන් අරගලයට අවතීර්ණ වන බවත් මර්ධනය ඉදිරියේ මී පැටියකු මෙන් හීලෑ වන බවත් ” මාවෝ සේතුං සහෝදරයා උගන්නවා තිබේ. 1971 ජනතා නැගිටීමෙන් පසු පොඩි අතුල වෙතින් විද්‍යාමාන වූයේ ඒ වැහැරුණු දේශපාලනික ස්වභාවයයි.
1971 අප්‍රේල් මාසයේ මර්දනය දියත්වන අවස්ථාවේ කඳාන මැෂ්නඩ් විදුහල අසලනිවසේ ඔහු පොලිසියේ පැමිණීම අපේක්ෂාවෙන් රැඳී සිටියේය. අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවේදී ඔහු පහසුවෙන්ම ආණ්ඩුවේ සුරතලෙකු බවට පත්වී අප්‍රේල් මහ නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන්නේය. 1971 ජුනි මාසයේ විජේවීරගෙන් ප්‍රශ්න කිරීම සඳහා යාපනය බන්ධනාගාරයට ගිය ටිරල් ගුණතිලක, ශර්නි විජේසූරිය ඇතුළු රහස් පොලිස් කණ්ඩායම ප්‍රශ්න කිරීමේදී විජේවීරගේ කට ඇරීම සඳහා යතුරු කිහිපයක් ගෙන ගියේය. පොඩි අතුළ එයින් එක් යතුරකි. ඔවුන්ට යාපනයට යාම සඳහා විශේෂ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබුණි. මේ සිදුවීම විස්තර කරමින් රෝහණ විජේවීර සහෝදරයා මා සමග පැවසුවේ යාපනයේ පාළු ගොඩනැගිල්ලක ප්‍රශ්න කිරීම ආරම්භ කරන අවස්ථාවේ ලොකු අතුළ කෙසේ වෙතත් පොඩි අතුල තම මතය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි තමා විශ්වාස කළ නමුත් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නට ප්‍රථම ශර්නි විජේසූරිය පොඩි අතුලට සිගරට් පැකට්ටුව දික්කොට ඔහු මුවට ගත් සිගරැට්ටුවට ශර්නි විජේසූරියගේ ලයිටරයෙන් ගිනි හුවමාරු කරගත් අන්දම දැකීමෙන් තමා තුළ පැවති අදහස බිඳවැටුණු බවය.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ පැවති අප්‍රේල් මහ නඩුවේදී ඔහු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේය. එදා ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක මෙන්ම අයිවන් සිටියේ ද, විජේවීර එල්ලා මරා දැමිය යුතුයැයි කියන ස්ථාවරයේය. නැවත ඉතිහාසයේ කිසිම දිනක ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලයට පැමිණීමට අවකාශයක් නොදෙන බව ශපථ කොට සිටි කිහිපදෙනා අතර පොඩි අතුළද විය. ඔහුගේ මේ ගතික ලක්ෂණය ජීවිත කාලය පුරාම පවත්වා ගැනීමට ඔහු සමත් විය. චන්ද්‍රිකා බලයට ගෙන ඒමට ක්‍රියා කළ ඔහු පසුව චන්ද්‍රිකා “චෞර රැජින” ලෙස භෞතීස්ම කළේය.
1980 ගාල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විණි. එවකට මම ගාලු දිස්ත්‍රික්කයේ ජවිපෙ දිසාලේකම් වශයෙන් කටයුතු කළෙමි. අතුරු මැතිවරණය සඳහා ජවිපෙ ලයනල් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කළේය. ඒ වන විට වික්ටර් අයිවන් ගාල්ලේ සංඝමිත්තා බාලිකා විදුහල අසල ස්නැක් බාර් එකක් දමාගෙන සිටියේය. බෝපගේ සහෝදරයාට විරුද්ධව ඔහු ලංකා සම සමාජ පක්ෂයෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත්විය. අතුරු මැතිවරණයේ ජවිපෙ අවසන් මහ රැළිය රෝහණ සහෝදරයාගේ සහභාගිත්වයෙන් ගිංතොට මං සන්ධියේ පැවැත්වෙද්දි පක්ෂයේ සහෝදරයකු මට දැනුම් දුන්නේ මෝටර් රථයක ලව්ඩ්ස්පීකරයක් බැඳගත් පොඩි අතුල සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජවිපෙට එරෙහිව අවලාද නගමින් ගාල්ලේ සැරි සරනබවය. පණිවුඩය දුන් සහෝදරයාගේ යතුරු පැදියේම නැගී මම ඔවුන් ගිය ඉසව්වසොයා ගොස් කාලෝගේ කතාවට සවන් දුන්නෙමි. “අම්මේ තාත්තේ 1971 මරුට. 1980 ඡන්දෙට. මේ මායාවට අහුවෙන්න එපා. බෝපගේ දිනුවොත් ගාල්ල ලේ විලක් වෙනවා.” ගාල්ල අතුරු මැතිවරණයේදී වික්ටර් අයිවන්ට ලැබුණේ ඡන්ද 634 කි. ඔහු ඉන්පසු මැතිවරණ වලට ඉදිරිපත් වූයේනැත.
සර්වෝදය හරහා මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. මෑත කාලයේ රට තුළ දේශපාලන පරිවර්තනයක් මුල් අදිමින් තියෙන බවටත් ජනතාව සම්ප්‍රදායික දේශපාලනයෙන් විතැන් වෙමින් රට තුල බලහුවමාරුවක් සඳහා ඉඩ ලැබෙන රික්තයක් නිර්මාණය වෙමින් තිබෙන බවටත් පෙර දැක්මක් වික්ටර් අයිවන්ට තිබිණ. වික්ටර් අයිවන් එම හිදැස පුරවා දැමීම සඳහා පුනරුදය නමින් ව්‍යාපාරයක් ගොඩනැගීමට අසාර්ථක උත්සාහයක යෙදුණේය.
ගාන්ධිවාදියෙකු ලෙස පෙනී සිටි හෙතෙම රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් මරා දැමිය යුතු බවට මතයක් සමාජ ගත කළේය. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවිචාරවත් පාලනය පිටුපස සිටි ඊනියා උපදේශකයකු වූයේද පොඩි ඇතුළ නොහොත් වික්ටර් අයිවන්ය. අයිවන් අනුගමනය කරන වර්තමානිකයින් ඔහුගේ
කළු හා සුදු වෙන් කොට හඳුනාගන්නට සමත් වෙතොත් ඔවුන්ගෙන් අනාගතයට සරු අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය.