කාල් මාක්ස් සහ ධනවාදයේ අර්බුධය..!

අර්බුධය යනු විනාශයක්ද?

ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා කිසිම තේරුම් ගැනීමකින් තොරව තමන්ගේ සිතට නැගෙන සිතුවිලි ඔහේ ලියන පිරිස් නොදන්නා දේ තමයි අර්බුදය විනාශයක්‌ නොවේ, එයම යම් විදිහක  ප්‍රතිසංස්කරණයක්‌ යන්න. සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකය නැවත වතාවක් ගැලපෙනසුලු අර්බුද චක්‍රයකට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් අපි ‘අර්බුදය’ (Crisis) යන්නෙන් අදහස් කරන්නේ යම් ක්‍රමයක් බිඳ වැටීමක් ලෙසයි. නමුත් කාල් මාක්ස්ගේ දර්ශනය අනුව, ධනවාදී අර්බුදයක් යනු පද්ධතිය අවසානයට පත් කරන දෙයක් නොව, එය පිරිසිදු කර නැවත ශක්තිමත් කරගන්නා ‘ස්වභාවික ප්‍රතිකාරයක්’ බව දැන් වන විට පැහැදිලි වේ. මාක්ස්ගේ විශ්ලේෂණය අනුව, සැබෑ ආර්ථික වටිනාකම නිර්මාණය වන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය හරහාය. කර්මාන්තශාලා, කෘෂිකර්මාන්තය, වැනි අංශවල සැබෑ නිෂ්පාදනයකින් ලාභය හටගනී.

නමුත්, ධනවාදය පරිණත වන විට, මෙම මූලික කරුණ අමතක වෙනවා. ධනය නිෂ්පාදනය කිරීම වෙනුවට, මුදල් වලින් මුදල් සොයාගැනීමේ ක්‍රියාවලි (සමපේක්ෂණය, ණය ගනුදෙනු, කොටස් වෙළඳපොල හා පාරිභෝගික ණය ප්‍රචාරණය) ආර්ථිකයේ ප්‍රධාන ධාවක බලවේග බවට පත්වෙනවා. මෙය ආර්ථිකයට “නිදහස් ලබා දීම” වැනි දෙයක් නොව, අර්බුදයට මග පාදන මූලික පරිවර්තනයකි.ඒ අනුව ගත් විට මාක්ස්ගේ “ප්‍රාග්ධනය” (Das Kapital) ග්‍රන්ථය සරල ආර්ථික විද්‍යා පොතක් නොවේ. එය ධනවාදී සමාජයේ අපිව පාලනය කරන දෘෂ්ටිවාදය ගැන විවේචනයකි.

කෝවිඩ් සමයේ ධනවාදය අර්බුධයට ගිය අවස්ථාවේ එය නැවත RESET කොට ඉදිරියට ගෙනයාම ගැනත්, ධනවාදයේ වත්මන් අර්බුධය පියවර ගණනාවකින් හඳුනාගෙන ඒවා නැවත යථාතත්වයට ගෙන ශක්තිමත් කලයුතු ආකාරය ගැනත් World Economy Forum හි නිර්මාතෘ මෙන්ම සභාපති වන ජර්මන් ජාතික මහාචාර්‍ය Klaus Schwab සහ ඉතිහාසය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උගතෙකු වන ආචාර්‍ය Thierry Malleret විසින් රචිත ඉහත ග්‍රන්ථය මෙම ලිපිය මගින් පෙන්වාදෙන ධනවාදයේ අර්බුධය නැවත නවතත් reset කරගන්නා ආකාරය ගැන මනා වැටහීමක් ලබාගැනීමට උපකාරී වනු ඇත.

භාණ්ඩ අර්චණකාමය(Commodity Fetishism)

ඔහු අවධාරණය කරන්නේ, ධනවාදය මනුෂ්‍යයින්ව ඔවුන් නිර්මාණය කරන පාරිභෝගික භාණ්ඩ හා මුදල් වල බලපෑමට ලක්ව  තබන බවයි. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා වස්තූන් අතර සම්බන්ධතා ලෙස පෙනෙනවා. උදාහරණයක් ලෙස, අපි යම් අයෙකු  “මිලියනපතියෙක්” ලෙස හඳුනාගන්නේ, ඔහුගේ මානවීය ගුණාංග නොව ඔවුට හිමි වස්තුන් අනුව ය. මෙය “භාණ්ඩ අර්චනය “ලෙස හඳුන්වනු ලබනවා. මෙතැනදීම වඩාත්ම ගැඹුරු අදහසක් පැනනගිනවා. ස්වභාවික පද්ධතිවල අර්බුදයක් එය විනාශ කරයි. නමුත් ධනවාදයේදී, අර්බුදය එය විනාශ කිරීමට යනවා වෙනුවට ප්‍රතිසංස්කරණය කරනවා. අර්බුදයේදී දුර්වල සහ අකාර්යක්ෂම ව්‍යාපාර බිඳ වැටෙනවා.

ධනය වඩාත් ශක්තිමත් අය අතට ගෙන යනවා. නව තාක්ෂණ, නව වෙළඳපොල්, සහ නව නීති රීති හඳුන්වාදීමට අර්බුදය හොද අවස්ථාවක්  (Opportunity) ලෙස භාවිතා වෙනවා.

එබැවින්, අර්බුදය ධනවාදයේ “නිදන්ගත රෝග ලක්ෂණයක්” (Internal Contradiction) වන අතර, එය නොමැති නම් පද්ධතියට නවීකරණය වීමට හෝ පිළිසකර වීමට අවස්ථාව නොලැබෙනවා. 2008 ව්‍යාජ ණය අර්බුදයට පසු ගෝලීය බැංකු ප්‍රතිසංස්කරණය වීමත්, තාක්ෂණික සමාගම් වඩාත් බලවත් වීමත් මෙයට නිදර්ශනයි.

මාක්ස්ගේ මෙම විග්‍රහය අද ලෝකයේදී දකින ආර්ථික අර්බුද සහ ඒ සඳහා ගන්නා ප්‍රතිචාර  පිළිබඳව අපගේ සාකච්ඡාව පුළුල් කරයි. අර්බුදයකින් පසු ආර්ථිකය “සාමාන්‍ය තත්ත්වයට” පත්වන්නේ නම්, එය සැබවින්ම සාමාන්‍ය ද? නැතහොත් එය ධනවාදයේ ස්වභාවයේම කොටසක් ද? කුලී ප්‍රාග්ධනය මත ජිවත් වන ඔවුන් ධනවාදී අර්බුදය ගැන දනීද?

තරිඳු මෙන්ඩිස්.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *