|

විජය කුමාරතුංග සාධකයේ ගමනාන්තය..!

විජය කුමාරතුංගයන්ගේ 80 වෙනි ජන්ම දිනය මෙම ඔක්තෝබර් මස 09 වෙනි දින බැවින් එය අලළා විජයගේ දේශපාලන භාවිතාව සහ විජය සාධකය ලාංකීය දේශපාලණය තුල බලපෑ ආකාරය පිළිබඳ සාකච්චාවක් මෙම ලිපියන්තුලින් මතුකිරීමට උත්සාහ කොට ඇත.

1988 පෙබරවාරි මස 16 වෙනිදා මද්ධාහනයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහ ඉලුප්පල්ලම උප ඒකකය තුළ නේවාසික දෙකක් අතර බැචාල හා බැචීලා එක්රොක් වී කතාබහක යෙදී සිටින අවස්ථාවකි. භීෂණ සමයක් බැවින් නිතරම ඇසෙන්නේ භයානක සහ තැතිඩන්වන ආරංච්මය. අද මොකක්ද මේ ආරංචිය දැනගැනීමේ කුතුහලය සමගින් හනිකට එදෙසට පිය නැගුවෙමි.
” විජය කුමාරනතුංගට වෙඩි තියල”
“මොනවා, විජය මැරිලද”
“මැරිලදත් කියල අහනවා ඔළුවටමයි තියලා තියෙන්නේ”
එවිටම මගේ සිතේ තිබුණු සිතුවිලි ඉවත්වී විජය පිළිබඳව මගේ මතකයන් බොදවීගිය කළු හා සුදු චිත්‍ර වලින් මැවි මැවී පෙනෙන්නට පටන් ගත්තේය.



විජය කළාකරුවෙකු ලෙස.

තුෂාරා චිත්‍රපටිය මම හතර වතාවකටත් වඩා නරඹන්න ඇති. මීදුමෙන් වැසී ගිය තේ වත්තක වංගුසහිත පාරක, වහළයක් නොමැති ජීප් රථයක නැගී මාලනී සමග රංගනය” මීදුම් ගලා කන්දේ, ඉවසන්න බෑ සීතේ” සිංදුව මැවී පෙනෙන්නේය. හතර දෙනාම සූරයෝ චිත්‍රපටියේ ගාමිණී සේනාධීර , ඇන්තනි, සමග ” කොඩි ගහ යට මම උපන්නේ” සිංදුව මැවී පෙනෙන්නේය. වික්ටර් රත්නායක ගේ පෙම්බර මධු මගේ සිංදුවට බයිසිකලයක් පදිමින් රංගනයක යෙදුණු ආකාරය මැවී පෙනෙන් නේය. ” තැටිය මැද්දෙ කළු කරාබු, පහන්තිරය මැදට ආපු” මරුවා සමග වාසේ චිත්‍රපටියේ දර්ශන මැවී පෙනෙන්නේය. සකුන්තලා චිත්‍රපටියේ සීතල රටේ මීදුම වැටේ සිංදුව කියමින් මාලනී රංගනයේ යෙදෙන විට මෝටර් සයිකලයක එදෙසට ගමන් කරන හැටි මැවී පෙනෙන්නේය. හිතුවොත් හිතුවමයි චිත්‍ර පටියේ ශ්‍රියාණි අමරසේන සමග චුක්කි චූක්කි චුක්කී කියල මාව අමතලා ගීතය, යනාදී රූප රාමුවලට අමතරව තවත් බොහෝ රූප රාමු මැවී පෙනුනේය. බබරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, ක්‍රිස්තු චරිතය, වාසනා සංගීතා, …… රූපරාමු මැවි මැවී මැකී ගියේය.


මේ ඝාතනය කර ඇත්තේ එසේ මෙසේ මිනිහෙක් නම් නොවේමය. විජය කුමාරතුංග වැනි මිනිසුන් මිනිසුන් අතර ඉතාමත් දුර්ලභය. ඉතාමත් කලාතුරකින් බිහිවන මිනුසුන්ය. හැත්තෑව අසූව දශකවල සිංහල සිනමාවේ සිහින කුමාරයා ඔහු විය. ඔහුගේ කොණ්ඩය මෙන් කොණ්ඩය සාද ගැනීමටත්, ඔහුගේ ගමන් විලාශය අනුගමනය කිරීමටත් ඔහුගේ බැල්ම අනුගමනය කිරීමටත් එම දශක වල තරුණයෝ මෙන්ම හිරිමල් වියේ පසුවන්නන් ද ප්‍රයත්නයක යෙදුනේය. හැත්තැවේ අසූවේ දශක වල තරුණියන්ගේ ත්, හිරිමල් වියේ ගැටිස්සියන් ගේත් සිහින කුමරා ඔහුම විය.


ශ්‍රීලංකාවේ රිදීතිරය ජයගත් ජනප්‍රිය නළුවා ඔහුය. මා ඒ පිළිබඳව ලියන්න යන්නේ නැත. ඒ වගේම ඔහු ගායකයෙකු වශයෙන් ජනප්‍රිය ගීත ගණනාවක් ගැයූ ගායකයෙකි. මා ඒ පිළිබඳවද ලියන්න යන්නේ නැත. ඔහු දේශපාලකයෙකි. මා ලියන්න යන්නේ ඒ පිළිබඳව යි.


ඉතිහාසගත චරිතයක්වීම.


විජය මියගොස් දැනට වසර තිස් හත ඉක්මවා ඇතත් අදටත් ඔහුගේ මතකයනම් ජනතා සිත් සතන් තුළ ලියවී ඇත්තේය. එය තවත් බොහෝ කාලයක් පවතිනු ඇත. ජනතා සිත් සතන් තුළ ලැගුම් ගැනීම නම් එතරම් පහසු කටයුත්තක් නම් නොවේ. මිනිසුන් මියයති. එයනම් සාමාන්‍ය වූ කරුණක්ම වන්නේය. මියගිය මිනිසුන්ගේ සිරුරු පසට එක්වීමද සාමාන්‍ය වූ කරුණක්ම වන්නේය. නමුත් සිරුර පසට එකතු වුවද, ඔහුගේ හෝ ඇයගේ නාමය සහ භාවිතාව පසෙන් ඉහළට ඒම ඉතාමත්ම කලාතුරකින් සමහරක් පුද්ගලයන් ගෙන් සිදුවේ. විජය එවන් වූ පුද්ගලයෙකි. මෙසේ වන්නට හේතු මොනවාද? යන්න විජය තුළින්ම කියවගත යුතු දෙයක් වන්නේය. විජයගේ ජීවිත ගමන ඉනිමගක ඉහළට ගමන් කරන්නා සේ ඉහළට ගමන්කිරීමකි. ජනප්‍රියම නළුවා වීමෙන් ඔහු නැවතුනේ නැත. එය ඉක්මවා ඉදිරියටම ගමන් කලේය.


බලය සොයා ගමන්කිරීම.


ලොකු උපාධි හෝ වෙනත් අධ්‍යාපනයක් නොමැති වුවත්, අවේනික නළුකම මෙන්ම, ආවේනික ගායන හැකියාව මෙන්ම, සහජයෙන්ම පිහිටියා වූ වැදගත් ලක්ෂණයක් ඔහුට තිබුණි. එයනම් සමාජයේ සම්මතය රකිමින් එකතැන පල්වීම වෙනුවට, තමන් සිටින තැනින් ඉහළට යාම සදහා මාවත තෝරා ගැනීමේ හැකියාවය.එහිදී සමහර දේ අත්හැරීම සහ තවත් සමහර දේ එක්කර ගැනීමටත් ඔහු විසින් කළේය. ඉදිරි ඉහල ඉලක්කයක් කරා ගමන් කරන අයෙකු වශයෙන් එය කලයුතුම ධෛර්ය සම්පන්න වූ ක්‍රියාවක්ම ය. මාලනී ෆොන්සේකා විවාහකර ගැනීම අතහැර චන්ද්‍රිකා බණ්ඩාරනායක විවාහ කරගැනීමෙන් දේශපාලනයේ ඉහළ ශක්ති මට්ටමකට පා තබන ලදී.


පරණ මිත්‍යාවක් ඇත, එය හොඳ නරක ලෙස හැදින්වේ.”
( ෆ්‍රෙඩ්රික් නීට්ෂේ).


නීට්ෂේට අනුව , හොඳ සහ නරක කියා තිබෙන සමාජ සම්මතය අනුව තීරණය වූ දේවල් ඇත. මේවා සමාජ සදාචාරය වශයෙන් බාහිර බලවේගයන් විසින් පුද්ගලයන් මත පටවනු ලබන ඔවුන්ගේ සැබෑ හැකියාවන් වළක්වනු ලබන සමාජයේ සම්මතයන් බව නීට්ෂේට අනුව විස්තරකළ හැකිය. ඒවගේම, හොඳ හා නරක ආවේනික ගුණාංග නොව බලය හොබවන අය විසින් ගොඩනගන ලද ආත්මීය විනිශ්චයන්ය. ඔහු සාදාචාරය දුටුවේ පාලනය පවත්වාගෙන යාමට හා පුද්ගල නිදහස යටපත් කිරීමට පාලක පංතීන් විසින් භාවිතා කරණ මෙවලමක් ලෙසය.


නීට්ෂේට අනුව යහපත හා අයහපත යන සංකල්පය මානව ප්‍රගමනයට බාදාවක් විය. සැබෑ ශ්‍රේෂ්ඨත්වය සාක් ශාත් කරගත හැක්කේ සාදාචාරය පිළිබද මෙම සීමිත සංකල්පය ඉක්මවා ගොස් වඩාත් අව්‍යාජ ස්වයං ධාවන ලද පැවැත්මක් වැළඳගෙනිමෙන් පමණක් බව ඔහු විශ්වාස කළේය. නීට්ෂේ මෙම සදාචාරාත්මක ප්‍රමිතිවල වලංගුභාවය ප්‍රශ්න කළේය. ඔවුන්ගේ විස්වාසයන් ප්‍රශ්න කිරීමට හා නැවත ඇගයීමට පුද්ගලයන් දිරිමත් කළේය. නීට්ෂේට අනුව යහපත හා අයහපත යන සංකල්පය මානව ප්‍රගමනයට බාදාවක් විය. සැබෑ ශ්‍රේෂ්ඨත්වය සාක්ශාත් කරගත හැක්කේ සාදාචාරය පිළිබද මෙම සීමිත සංකල්පය ඉක්මවා ගොස් වඩාත් අව්‍යාජ ස්වයං ධාවන ලද පැවැත්මක් වැළඳගෙනිමෙන් පමණක් බව ඔහු විශ්වාස කළේය.

බලයට ඇති කැමැත්ත.


නීට්ෂේ යෝජනා කළේ පුද්ගලයන් හොඳ හා නරක සීමාවෙන් ඔබ්බට යාමට උත්සාහ කළයුතු අතර ඒ වෙනුවට ජීවන තහවුරු කිරීමේ දර්ශනයක් හෝ ඔහු ” බලයට ඇති කැමැත්ත ” ලෙස හැදින්වූ දෙය වැල දගත යුතු බවයි. මෙම ඉදිරි දර්ශනය තුළ යහපත හා අයහපත පිළිබද මිත්‍යාව පුද්ගලික වර්ධනයට හා ස්වයං සාක්ෂාත් කර ගැනීමට බාධාවක් ලෙස සේවය කරයි.සමාජ සම්මතයන් වල සීමාවන්ගෙන් මිදී අපගේම වටිනාකම් නිර්මාණය කිරීමට ඇති නිදහස වැළඳගත යුතුය.
මා මේ විස්තර කළේ නීට්ෂේගේ දාර්ශනික කෘතියේ දී ඔහු විසින් කරණ ලද පැහැදිළිකිරීමකි. එය විජයට හොඳාකාරව ගැලපෙන බව ඉතාමත් නිරවුල් ව පැහැදිලිය. මිනිසෙකුගේ හැසිරීම් බාහිරින් බලන කෙනෙකුට මෙය තේරුම් ගැනීමට අපැහැදිලි බවක් තිබිය හැකිය. නමුත් සමාජයේ බහුතරයකගේ හැසිරීම මෙසේමය. විජයගේ ජනප්‍රියභාවය නිසාම ඔහුගේ හැසිරීම් ද ජනප්‍රියය. නමුත් දේශපාලන බලය අතහරින අවස්ථා ඉතාමත් අඩුවෙන් කලාතුරකින් දක්නට නොලැබෙන්නේද නොවේ. සාලිය කුමරු අශෝක මාල වෙනුවෙන් ඔටුන්න අත හැරිය බව ඉතිහාසයේ සදහන් වේ. සිරිසඟබෝගේ චරිතයද එවැන්නකි.


ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනැගීම.


රට පුරා ව්‍යාප්ත වූ ජනබලයක් සහිත දේශපාලන පක්ෂයක් පිහිටුවීම භාරදූර වගකීමක් මෙන්ම ඉතාම දුෂ්කර වූ කාර්යයක් වන්නේය. නිකම්ම නිකම් හිතේ අදහසක් ආ පලියට දේශපාලන පක්ෂයක් ගොඩනැගීම කළ නොහැක. ලියාපදිංචියට පමණක් තිබෙන බෝඩ් ලෑලි පක්ෂයක් ඕනෑම අයෙකුට පිහිටුවිය හැකිය. එහෙත් රට පුරා ජනතාව සංවිධානය කිරීමට හැකියාවක් තිබෙන පක්ෂයක් බිහිකිරීම නම් ඉතාම දුෂ්කර වූ දෙයක්ම වන්නේය.


ඉංග්‍රීසි පාලන කාලයේදී ඔවුන්ගේ පාලනයට හවුල්වීම හා ඔවුන්ගේ සහයෝගය නිසාම දේශපාලන නායකයන් බිහිවිය. සේනානායකලා, බණ්ඩාරනායකලා, රත්වත්තේලා, කොතලාවලලා, ජයවර්ධනලා, වැන්නවුන් උපන්ගෙයිම නායකයෝවීය. ඉංග්‍රීසීන්ගේ නොයෙකුත් කොන්ත්‍රාත් කරමින් සිටින ලද ප්‍රභූවරුන් වීමට භාග්‍යය ලද තවත් පිරිසකගේ දු පුතුන්ට දේශපාලන නායකත්වයට පත්වීමට අවස්ථාව ලැබුණි. ඇන්.එම්.ලා, කොල්වින්ලා, S. A. වික්‍රමසිංහලා, පිටර් කේනමන්ලා, පිලිප් ගුණවර්ධන ලා, වැන්නවුන් ගෙන් එම නායකයෝ බිහිවිය. මේ සියලුම දෙනා ප්‍රභල බල කඳවුරු වලින් බිහිවිය. මේ කිසිම කඳවුරකට අයිතියක් නැති නායකයෙක් ලෙස රෝහණ විජේවීරයන් දැක්විය හැකිය. නමුත් ඔහුගේ පක්ෂය නියෝජනය කළේ නීර්ධන පංතියයි.


විජය දේශපාලන සම්ප්‍රාත්තිය සිදුවූයේ ඔහුගේ ජනප්‍රිය කමත් චන්ද්‍රිකා සමග විවාහ වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකයෙක් වී සිටීමත් යන කරුණු පදනම් කරගෙනය. ඔහු ශ්‍රීලංකා මහජන පක්ෂය ගොඩනැගුවේ ය.
1984 ජනවාරි 24වෙනිදා ශ්‍රීලංකා මහජන පක්ෂය පිහිටුවන ලදී. එහි ජාතික සංවිධායක වරයා වූ විජය ඊට පසු පැවැත්වූ මින්නේරිය අතුරු මැතිවරණයේදී, දෙවෙනි ස්ථානයට ඡන්ද ලබාගැනීමට සමත්විය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට හිමිවූයේ තුන්වෙනි ස්ථානය වීම විශේෂිත කරුණකි.


දේශපාලන භාවිතාව.


මහජන පක්ෂය පිහිටුවීම සිදුකලාට පසුව එහි භාවිතාව පෙන්නුම් කිරීමට අවස්ථාවක් කරගත්තේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ජාතික ගැටලුව විසඳීම සඳහා ගත් ප්‍රයත්නයයි. විශේෂයෙන් විජයට ජාතික ගැටලුවෙන් පීඩා විදින ජනතාවට දේශපාලන විසදුමක් ලබාදියට මහත් වූ ඕනෑකමක් තිබිණි. ඔහු ජාතිවාදය කරතබාගෙන ඡන්ද මල්ල පුරෝ ගැනීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට ජාතිවාදය පිටු දැක ඔවුන්ට ගැටලුවක් ව තිබෙන බව විවෘතවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතී එයට විසදුමක් දීම සදහා ඉදිරිපත් වී කටයුතු කළේය.



උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණේ විසඳුම තිබුණේ සමාජ වාදී සමාජයකදීය. වාමාංශික හා සමාජවාදී න්‍යායන් කරතබාගෙන සිටියද, ස්වයං නිර්ණ අයිතීන් පිළිබඳව ලෙනින්ගේ වෙළුම් කටපාඩම් කොට තිබුණද, අඩුම තරමින්, එදා ජනතා විමුක්ති පෙරමුණ ට උතුරු හා නැගෙනහිර ජනතාව සුළු ජාතීන්වීම නිසා විඳින පීඩනය අවබෝධ වූයේ වත්, අවබෝධ වීමට යම් උත්සාහයක් වත්, ගැනීමට අවශ්‍යවූයේ නැත. ජවිපෙ එදා ස්ථාවරය වුයේම උතුර හා නැගෙනහිර ආයුධ සන්නද්ධ අරගලය ඇමරිකන් කුමන්ත්‍රණයක් බවත්, උදාවී මට නියමිත සමාජවාදී රාජ්‍යයට එය බාධාවක් බවත් සමාජවාදී රාජ්‍යය ගොඩනැගුණු පසු උතුරු හා නැගෙනහිර ජනයාට තිබෙන ප්‍රශ්න සියල්ල අහෝසිවන බවත්ය.


එහෙත් විජයට එයට වඩා යම් දියුණු ස්ථාවරයක් සහිත ප්‍රතිපත්තියක් එදා ජාතික ගැටලුව සදහා තිබුණි. එසේම උතුරේ අවිගත් තරුණයන් පිළිබඳවත් යම් වාමාංශික නැබුරුවක් සහිත දැක්මක් ඔහුට තිබුණි. ඔහු එදා ඉතා සරල භාෂාවෙන් උතුරේදී ප්‍රකාශ කළේ ” අපි ඔක්කොම එකයි” යනුවෙනි. එනමුදු විජය කුමාරණතුංග එදා උතුරේදි හා දකුණේදී ගොඩනැගීමට උත්සාහ කළ සංහිඳියාව කඩාකප්පල් කෙරුණේ නොයෙකුත් කට කථාවන් නිසාය.

අභියෝගයක් වීම.


විජය කුමාරණතුංගගේ දේශපාලනය J. R ජයවර්ධන ජනාධිපති වරායට ප්‍රභල අභියෝගයක් වීය. විජය දේශපාලනයේ දී කිසිදා J. R. ගේ ගෝලයෙකු වූයේ නැත. ඒ වෙනුවට ඔහු ජාතික ප්‍රශ්නයට විශේෂයෙන් මැදිහත්වීම් ප්‍රමුඛ ක්‍රියාකාරී කාර්යයක් කරමින් සිටින ලදී. ඔහු දිනෙන් දින ජනප්‍රිය වෙමින් සිටි බව පැහැදිලිය. J. R. ගේ ප්‍රභල ප්‍රධානතම සතුරන් ලැයිස්තුවේ ඔහුට හිමිවූයේ ප්‍රධාන තැනකි. නැක්සලයිට් බොරු චෝදනාවක් යටතේ විජය සිරගත කළේ ඔහුට ඇති බිය නිසාමය. ඔහු J. R. ගේ ප්‍රභල හතුරෙක් වී සිටියේය. J. R. ගේ අනෙක් සතුරා වූයේ රෝහණ විජේවීරයන්ය. එම නිසාම විජයගේ දේශපාලනය සරලව ගත නොහැක්කේ ඔහු දිගින් දිගටම J. R. ට අභියෝගයක් වූ බැවිනි.

වරක් මහර අතුරු මැතිවරණයේදී පළමු ඡන්ද ගණන් කිරීමේදී විජය ජයග්‍රහණය කල අතර එජාප අපේක්ෂක කමල වර්ණ ජයකොඩි පරාජය වී තිබුණි. විජය පරදිනකන් නැවත නැවතත් ඡන්ද ගණන් කිරීමට J. R. නියෝග ලබාදීම නිසා අන්තිමේදී සුළු ඡන්ද ප්‍රමාණයකින් විජය පරාජය විය. මෙම විජය හා J. R. ගැටුම තුළින් ඉතා පැහැදිලිව ගම්‍යය වන්නේ විජය කුමාරණතුංග J. R. වැනි ප්‍රබල නායකයන්ටත් අවනත නොවී අභියෝගයක් වීමට තරම් ප්‍රභල තත්ත්වයක් ඔහුට තිබූ බවයි.
එසේම ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය නිර්මාණය කරමින්ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එළියට පැමිණෙන විට T. B.ඉලංගරත්න වැනි ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් ද ඔහු සමග පැමිණීම ඔහුගේ ප්‍රභලත්වය පෙන්නුම් කරණ කරුණක් ලෙස දැක්විය හැකිය. ආන්ඩූ පක්ෂය සමග සටනක යෙදී සිටින ගමන්ම දේශප්‍රේමී ජනතා ව්‍යයාපරය සමගද සටනක නිරත වීමට ඔහුට සිදුවිය. ජාතික ගැටලුව සම්බන්ධයෙන් විජය කුමාරතුංග සහ ජනතා විමුක්ති පෙරමුණ මත දෙකක සිටීම එයට හේතුව විය.


ද්‍රෝහියෙකු ලෙස නම් කිරීම.


විජය කුමාරණතුංග යැව්වේ ඇයි? මේ එදා 1988 වකවානුවේදී විජය කුමරණතුංග නම් ජනප්‍රිය කලාකරුවා, දේශපාලකයා, මානව හිතවාදියා , ඝාතනය කරමින් ඔහුව ඝාතනය කළ ” දේශප්‍රේමී ජනතා ව්‍යපාරය” විසින් නිකුත් කළ අත්පත්‍රයක අඩංගු වූ නිවේදනයයි. එම නිවේදනයට අනුව විජය කුමාරණතුංග “ද්‍රෝහියෙකු” ලෙස නම් කර තිබුණි. එයට විශේෂිත හේතු කාරණා නම් , විජය කුමාරණතුංග එවක උතුරු නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් සමග තිබූ ගණදෙනුවත් , විජය විසින් උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව ජවිපෙ ට වෙනස් මතයත්, විජය විසින් පැරණි වාමාංශික පක්ෂ සහ බලවේග එක්රැස් කරමින් යන ගමනත් මූලිකවිය. මෙහිදී විශේෂයෙන් වාමාංශික පක්ෂ එකතු කිරීමෙන් පිහිටුවීමට යන වාමාංශික එක්සත් පෙරමුණට පාර්ලිමේන්තු වාදය තුලදී ජවිපෙ ට වඩා ආකර්ශනයක් ජනතාවගෙන් දිනාගැනීමට හැකියාවක් තිබේ යැයි JVP යට තිබූ බියයි. මේ අනුව විජය CIA කාරයෙකු බවටත් ප්‍රචාරය කරණ ලදී. විජයට එරෙහිව ගොඩනැඟූ මෙම චෝදනාව JVP කාඩරයයන්, හිතවතුන් , සාමාජිකයින්, ඇවිදින පුස්තකාල ටිකත්, මහා ඉහළින් පිලිගන්නා ලදී.


විජය කුමාරතුංග CIA කාරයෙකු බවත් ඔහු මව්බිම පවාදුන් ද්‍රෝහියෙකු බවත් , JVP ය එකල පක්ෂය තුල වැඩකල තරුණ වයසේ සිටි අපට කොපමණ ප්‍රභලව සිත් තුළට ඇතුල් කලාද යත් කිවහොත් තම ජනප්‍රිය තම නළුවාගේ චිත්‍රපට බැලීම හෝ ඔහුගේ සිංදු ඇසීම එකල JVP සාමාජිකයින් විසින් අත් හරින ලදී. විජය මරා දැමීමෙන් පසුව වුවද මේ තත්ත්වය දිගටම පක්ෂය තුල බොහෝ කාලයක් පැවැතුණි. මට ඒ පිළිබඳව අත්දැකීමක් තිබේ.


එදා 89 අරගලය ලෙයින් යකඩින් මර්දනය කිරීමෙන් පසු බොහෝ පිරිසක් රැදවුම් කඳවුරු ගණනාවක රදවා තබන ලදී. එම වකවානුවේ මා රදවා සිටියේ බූස්ස කඳවුරේ 16 ශාලාවතුළය. එහි සිටින කාලය තුළදී එම ශාලාව මගින් එළිදැක්වූ ” අභියෝග” සඟරාවට අපි ලිපි ලිවීම කරගෙන ගියෙමු. එහිදී දැනට Lankapowernews හි කර්තෘ වරයාත් මමත් එකතු වී විජය ගැන ලිපියක් එම සගරාවට ලියන ලදී. එම ලිපියට අදාලව පින්තූරයක් සහරාවේ මුල් පිටුවේ තිබුණ අතර එහි දැක්වූයේ විජය ” ක්‍රිස්තු චරිතය” චිත්‍රපටියේ කුරුසය කර තබාගෙන සිටින අවස්ථාවකි. මෙහිදී ඇමරිකන් කොඩිය එතු කුරුසයක් යොදා තිබුණි. එයින් අප අදහස් කලේ විජය ඇමරිකන් පාර්ශ්වයට නැතහොත් බටහිර අධිරාජ්‍යවාදීන්ට ගැතිව කටයුතු කරන අයෙකු බවට පෙන්වීමටය. ඔහු මරා දමන ලද දිනයේත්, ඔහු ඇමරිකන් තනාපති කාර්යාලයට යාමට සිටි බවට තිබූ ආරංචියද ජවිපෙ විසින් එදා විජය CIA කාරයෙකු බවට ඇතුලතින් යවූ කථාවලට ප්‍රාණය ලබාදී තිබුණි.


බටහිර ආශ්‍රය.

මෙම කරුණු එදා විජය ඝාතනය කිරීමටත් එය සාධාරණය කිරීමටත් හොඳහැටි ප්‍රමාණවත් වීය. නමුත් අද තත්වය කුමක්ද? JVP එකේ ෆේස්බුක් බලකාය ජනාධිපති අනුර කුමරා දිසානායක මහතා ඇමරිකන් ජනාධිපති හමුවී ඡායා රූපයකට පෙනීසිටින අවස්ථාව මහත් උත්කර්ෂවත් ලෙස පෙන්නුම් කරයි . එදා ජවිපෙ සිටි විචාරශීලී සහෝදරත්වය යටට ගොස් පක්ෂය කරණ ඕනෑම දෙයකට හුරේ දමන අනෙක් පක්ෂවල තිබෙන ලක්ෂණය වන එහෙයින් මෙහිද බෝවී ඇති බව පෙනීයයි . එදා උග්‍ර බටහිර විරෝධයක නිරතවූ ඔවුන් දැන් කබරගොයා තලගොයා කිරීමේ ප්‍රතිපත්තියක නිරතවී සිටියි. මේ වන විට යැන්කි ඩිකි කිව්ව JR පරදවමින් එම මගේ යමින් සිටියි. කොටින්ම JR ටත්, වඩා රනිල් වික්‍රමසිංහයටත් , වඩා බටහිර ආශ්‍රය කරණ බව ඔවුන් මහත් උජාරුවෙන් පෙන්වමින් සිටියි. මෙහිදී කිවයුක්තේ එසේ කිරීමේ වරදක් නම් නොවේ. එසේ කරන්නේ යැයි ප්‍රකාශ කර විජය ඝාතනය කිරීම බරපතල වරදක් බවයි.


අද ජේවිපියට CIA ඔත්තු සේවය හෝ රෝ ඔත්තු සේවය හෝ වගේ වගක් නැත. මේ සියල්ලෝම ඔවුන්ගේ ගනුදෙනු කරුවෝය. නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ එදා ඔවුන්ගේ ප්‍රකාශත් අද ප්‍රකාශත් අතර තිබෙන්නාවූ වෙනසය. ඒ වගේම හිසක් නොමැතිව පාලකයින් කරන්නාවූ ඕනෑම දෙයකට අත් පුඩි ගසනන්නන් පිරිසක් නිල් බලකායෙන් කොළ බලකායෙන්, දම් බලකායෙන්, හා රතු බලකායන් කයිවාරුවෙන් අන්ද වාගෙන නායකයන්ගේ පදයට නටවමින් සිටිනු පෙනේ. ජේවීපිය මේ කරන්නාවූ අපබ්‍රංශය තේරුම් ගැනීමට වෙනනම් කුමන වූ ක්‍රමයක් තිබේද?

විජය ඝාතනය.

විජය ඝාතනය සඳහා එදා ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයවූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” විසින් යොදාගෙන තිබුනේ එහි ප්‍රභල ක්‍රියාධරයෙකු වූද පූර්ණකාලීනව ජවිපෙ දේශපාලණය තුල ක්‍රියාකාරීව සිටි චරිතයක් වූ ලයනල් රණසිංහ සහෝදරයාවය. ලයනල් රණසිංහ යනු එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සිදුකල ප්‍රධාන පෙළේ ඝාතන බොහෝ ගණනක් සිදුකල ක්‍රියාධරයෙකි. ඔහුට ඔහුගේ සංවිධානයේ ඉහල නායකයින්  ලබාදුන් උපදෙස් අකුරටම පිලිපදිමින් එදා 1989 පෙබරවාරි මස 16 වෙනිදා උදෑසන විජය කුමාරතුංග මහතා වෙඩිතබා ඝාතනය කරන ලදී. ඒ වෙනුවෙන් ලයනල් රණසිංහ සහෝදරයාද සිය ජීවතයෙන් වන්දි ගෙව්වේ රජයේ අත් අඩංගුවේ දෙතිස් වධබන්ධනයට පත්වීමෙන් පසුවය.

ලයනල් රණසිංහ සහෝදරයාට වෙඩිතැබීමට යොදාගත් T-56 වර්ගයේ ගිණිඅවිය ඊට පෙරදිනකදී ගාමිණී  ලොකුගේ මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකිරීමේදී එම නිවසේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින්ගෙන් පැහැරගත් අවියකි. සාමාන්‍යයෙන් එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පැහැර ගන්නා ලද ගිණිඅවි වල කොටා තිබූ අංකය මකාදැමීම සිරිතකි. නමුත් මේ විජය ඝාතනයට ලයනල් රණසිංහ රැගෙනගිය අවියේ බැරිවීමකින් එහි තිබූ අංකය මකාතිබුනේ නැත. 

ලයනල් රණසිංහ සහෝදරයා.

විජය ඝාතනයෙන් පසුව ලයනල් රණසිංහත් මේ භාවිතා කල ගිණි අවියත් ආරක්ෂක අංශ අත් අඩංගුවට ගත්විට මෙම ගිනි අවිය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක භටයින් වෙත නිකුත් කල ගිණි අවියක් බව මකා නොතිබූ අංකය මගින් දැනගත්  විට මේ විජය ඝාතනයට එකල ප්‍රේමදාස රජයේ සම්බන්ධයක් තිබෙන බවට කටකථාවක්ද පැතිර යනලදී.

පසුකාලයේදී ජවිපෙ 1994න් පසුව ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි අතර පසුගිය මැතිවරණයට පෙරදී ජවිපෙ  ප්‍රධාන නායකයෙක්ගෙන් විජය ඝාතනය කලේ ජවිපෙන්දැයි ප්‍රශ්න කලවිට එම නායකයා ඉතා පහසුවෙන් උත්තර දුන්නේ එම  ඝාතනය එදා රජයේ කුලී මිනීමරුවගේ වැඩක් බවයි. එමගින් ඔහු ඉඟිකලේ විජය ඝාතනයට ගිය පුද්ගලයින් එදා ප්‍රේමදාස රජයේ කුලී මිනීමරුවන් බවයි. ඒ අනුව තම යොවුන් වියම ජවිපෙ පූර්ණකාලිකයෙක් ලෙස බොහෝ කැපවීම් සිදුකොට අවසානයේ ජවිපෙ ඉහල උපදෙස් මත බොහෝ දේශපාලණ ඝාතන සිදුකොට ඒවාට තම ජීවිතයෙන්ම වන්දි ගෙවූ ලයනල් රණසිංහ සහෝදරයා වත්මන් ජවිපෙ නායකයින් විසින් කිසිදු චකිතයකින් තොරවම ප්‍රේමදාස රජයේ කුලී මිනීමරුවෙකු බවට පත් කරන ලදී.


විජයගේ මරණයෙන් පසු තත්වය.


සිටියේ එක් පුද්ගලයෙකු පමණි. අනෙකුත් දෙනා ඔහුව පසු පසින් හා ඔහු සමඟ සිටින ලදී. ඔහුගේ මරණයත් සමගම කප්පිත්තෙක් නොමැති නැවක් මෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය පහළට ගමන් කරනලදී. නමුත් ඔහු සිටියා නම් ඔහු ඔහුගේ පක්ෂය ඉහළට රැගෙන යනවාට කිසිම සැකයක් නම් තිබිය නොහැක. එමෙන්ම විජය ජීවත්ව සිටියා නම් කිසිදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති වීමට අවකාශය බොහෝවිට නොලැබීමට ඉඩ තිබුණි . ඒ වෙනුවට විජය ජනාධිපති වරණයෙන් ජයගැනීමට හැකියාවක් ද තිබේ යැයි ප්‍රකාශ කිරීමද නුපුළුවන.


එයට හේතු කීපයක්ම ඇත. ඉන් ප්‍රධානම හේතුව වන්නේ විජයට චන්ද්‍රිකාට මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහයෝගයක් බොහෝවිට නොලැබීමට ඉඩ තිබෙන බැවින් ඔහු ඔහුගේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සැහෙන ඡන්ද ගණනක් ලබා ගැනීමට ඉඩ කඩ තිබිණි . මෙවැනි තත්ත්වයන් ඇතිවුයේනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනෙක් පක්ෂයන් සමග සභාගයකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවිය හැකි දෙයකි. එසේම විජය සමග එකතුවූ වාමාංශික පක්ෂ පසුකාලයේදී ඔහුගෙන් වෙන්වී යාමටද ඉඩ තිබිණී. බොහෝවිට විජය උතුරු-නැගෙනහිර සම්බන්ම්ධයෙන් දැරූ මතය දකුණේ ජනප්‍රිය මතයක් නොවන බැවින් විජයගේ දේශපාලණ ගමන අතිශය දුෂ්කර මාවතක ගමන් කිරීමට බොහෝසේ ඉඩතිබිණි. ඒ සදහන් කළේ විජය සිටියේනම් සිදුවිය හැකි දෙයකි. බොහෝ දුරට විජයට පසුපසින් දේශපාලනය කළ චන්ද්‍රිකාට නම් ජනාධිපති වීමට අවස්ථාවක් ලැබුණේ ඔහුගේ මරණය නිසාම බව ස්ථිර ලෙසම කිවහැකිය.

ගාමිණී ජයසූරිය.

( අධ්‍යයන කවය)

” 89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *