|

විජිත හේරත්ගේ ඉංග්‍රීසි සහ නිර්මාල්ගේ විග්‍රහය ..!

වත්මන් NPP රජයේ විදේශ අමාත්‍ය වරයා වන විජිත හේරත් මහතාගේ ඉංග්‍රීසි දැණූම පිළීබඳව විශාල ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඇතිවී ඇතිනිසා විදේශ අමාත්‍ය වරයාගේ ඉංග්‍රීසි දැනුම පිළීබඳවත් එය රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමේදී බලපාන ආකාරයත් පිළීබඳව යම් අදහසක් මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට සිත්විය.

විජිතගේ ඉංග්‍රීසි හැදෑරීමේ ඉතිහාසය.

විජිත හේරත් යනු ඉංහ්‍රීසි භාශාව ඉගෙන ගැනීමට බොහෝසේ උත්සාහ කරනු ලැබූ චරිතයක් බව මුලින්ම කිවයුතුය. එදා 89 අප අරගලය දරුනු මර්ධමනයකින් පරාජයවූ පසු අපගේ ජීවිත අහඹූලෙස බේරී තිබුනු නමුත් අප බොහෝදෙනා සිටියේ ආරක්ෂක අංශ යටතේ සිරභාරයේය. ඒවා බොහොමයක්ම නීත්‍යානුකූල රඳවාගැනීම් නොවුනත් 1990 මුල් භාගය වනවිට අත් අඩංගුවේ ජීවග්‍රහයෙන් ඒ කාලයේ රඳවා සිටි සියලුම සරසවි සිසුන්වූ රැඳවුම් කරුවන් රාජගිරියේ කලපලුවාව පාසල් භූමියේ තුබූ රැඳවුම් කඳවුර වෙතට ගෙනැන ලදී. එහිදී දිවයිනේ සෑම පලාතකම පොලිසිවල සහ හමුදා කඳවුරුවල සිටි සරසවි සිසුන් කලපලුවාවේ රැඳවුම් කඳවුරට ගෙනැඑමේදී විජිත හේරත්ව බදුල්ලේ බෙරගල කඳවුරේ සිටද මාව අනුරාධපුර පොලිසිය විසින්ද මේ කඳවුරට ගෙනවිත් දමන ලදී.

මේ ආකාරයෙන් පේරාදෙනිය, ජපුර, රුහුණ සහ කැළණීය යන සරසවි වලින් සිසුන් 100 දෙනෙකු පමණ ගෙනඑන ලදී. මට මුල් වරට විජිත හේරත් හමුවන්නේත් දැන් NPP ප්‍රභලයෙකු වන අපොන්සු හමුවන්නේත් තවත් බොහෝ ක්‍රියාධරයින් හමුවන්නේත් කලපලුවාව කඳවුරේදීය. එතැන් පටන් මම, විජිත, අපොන්සු, ගාමිණී ජයසූරිය(මොගැම්බෝ), ගාමිණී ජයසූරිය(සයිබු), රංජිත් පෙරේරා, ජගත් පාලිත, සඳුන් ආදී කුඩා කංඩායමක් අනෙකුත් සරසවි හිතවතුන් අතරින් වෙනම යාලුවන් ලෙස සෙට් වෙන්නේ මෙම වකවානුවේදීය. ඊට ප්‍රධාන හේතුවක් නම් අප සහභාගිවූ 89 අරගලය සම්බන්ධව සහ ජවිපෙ හිතවාදී දේශපාලනික කථිකාවක් සහ සංවාදයක් එවිටත් පවත්වාගෙන යනු ලැබුවේ සරසවි සිසුන් අතරින් අප කීපදෙනා පමනක් බැවිනි. එබැවින් අනික් සිසුන් අතර පවා අපව යම් රැඩිකල් තත්වයේ සිටින සෙට් එකක් ලෙස දුටුබව අප දැනසිටින ලදී.

මෙම කලපලුවාව කඳවුරේ සිටියදී අපි සැවොම ව්‍යායාම කිරීමත්, ඉංග්‍රීසි ඉගෙන ගැනීමත්, කියවීමත් ඉතා තදින් කරගෙන ගිය බව කිවයුතුය. අපගේ ඉංග්‍රීසි ගුරුවරයා වූයේ අනුරාධපුරයේ සිට මා සමගම ගෙනැනු ලැබූ හොරොව්පතාන පැත්තේ නිශාන්ත ඇලෝසියස් සිසුවාය. ඔහුගේ ඉංග්‍රීසි දැනීම අතිවිශිෂ්ට බව කිවයුතුය. විජිතත් මමත් ඉංග්‍රීසි ඉගෙනීම ඇරඹූවේ ඔහුගෙන් වූවද ඉතාම දුර්වල අඩියේ තිබූ ඉංග්‍රීසි දැණූම ඉහලට ගෙනැඒමට මුල් අඩිතාලම දැමීමට මට උදව් දුන්නේ මා වධකාගාරයේ සිට අනුරාධපුර පොලිසිය වෙත ගෙනඒමෙන් පසු එහිදී හමුවූ ගුණසිංහ මහවෙලගේ නම්වූ විශිෂ්ඨ ඉංග්‍රීසි ගුරුවරයා නිසා බව මතක් කල යුතුමය.

කලපලුවාව කඳවුරේ සිට බූස්ස රැඳවුම් කඳවුර දක්වා..

කලපලුවාවේදී අපේ ඉංග්‍රීසි ඉගෙනීමට අපව රඳවාසිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ගෙන් කිසි බාධාවක් වූයේ නැත. වෙනම කාමරයක් ඊට සූදානම් කර දුන්නේද ඔවුන් විසිනි. එහෙත් සරසවි සිසුන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම දෙනා බූස්ස රැඳවුම් කඳවුරට ගෙනයාමට තීරණය කොට අපි සියලුම දෙනා බූස්ස කඳවුරට ගෙනයන ලද අතර ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අපට සමහර බාධාවන් ආවේ බූස්ස කඳවුර තුලදීය. බූස්ස කඳවුර ඇතුලත පාලනය ගෙනගියේ ජනතා විමුක්ති පෙරමුනේ සිටි යම් යම් දිස්ත්‍රික්කවල ඉහල සංවිධායකයින් විසිනි. අප බුස්සට ගෙනයන විටදීත් බූස්ස 16 ශාලාවේ ඉංග්‍රීසි පංතියක් පොලොන්නරුවේ ස්ටැන්ලි සහෝදරයා විසින් කරගෙන යන ලදී. අපගේ ගුරුවරයා වන නිශාන්ත ඇලෝසියස් හරහා අපට ඉංග්‍රීසි ඉගෙන ගනීමට අවශ්‍ය බව ශාලා පරිපාලනය භාරව සිටි ජවිපෙ අපගේ සංවිධායක වරුන්ගෙන් ඉල්ලූ විට ඔවුන් මුලදී පැවසුවේ කරගෙන යන පංතියටම සහභාගිවන ලෙසයි. නුමුත් ඉංග්‍රීසි සාහිත්‍යය සහ උසස් ඉංග්‍රීසි දනුමක් ලබාගැනීමට පවතින පංතියෙන් බැරිබව සංවිධායකයින්ට බොහෝ වරක් පැවසීමෙන් පසු ඔවුන් ඊට අකමැත්තෙන් වුනද ඉඩදෙන ලදී.

විජිත හේරත් සහෝදරයා ඉංග්‍රීසි ඉගෙනීම ඇරබුවේ එලෙසිනි. ඊට අමතරව හැකි සෑම විටෙකම අපි කෑම පෝලිමේ සිටින විටද අනෙක් වේලාවල් වලද ඉංග්‍රීසියෙන් කථාකිරීමට උත්සාහදැරුවෙමු. එසේ බොහෝ උත්සාහ කල අයගෙන් මම සහ විජිත ඇතුලු කීපදෙනෙක් යම් මට්ටමකට ඉංග්‍රීසි ව්‍යාකරන සහ කථාව දියුනු කරගත් බව කිවයුතුය. නමුත් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නාවිට බොහෝ ජවිපෙ නාමික රැඩිකල් සංවිධායකවරු ලෙස සිටි බූස්සේ ක්‍රියාකාරීන් ඒ දෙස බලුවේ ඉතාමත් අවග්ඥා සහගත ලෙසය. මට ඔවුන් මූනටම කීවේ, ” ආ.. සහෝදරයා, ඉහල පංතියට යන්න වගේ නේද ඉංග්‍රීසි ඔයහැටි ඉගෙනගන්න නැහෙන්නේ” යනුවෙනි. මගේ පිළීතුර වූයේ “ඔව්” යන්නය. ජවිපෙ බොහෝ අය සිතා සිටියේ ඉංග්‍රීසි ඉගෙන ගනීම යනු ඉහල පංතියකට යාමට කරනා උත්සාහයක් ලෙසය.

අධිරාජ්‍ය විරෝධය සහ ඉංග්‍රීසි භාශා විරෝධය.

ඇත්තටම නිහාල් ගලප්පත්ති සහෝදරයා මන්ත්‍රී වුනුපසු 1994 දී ඔහුගේ ලිංග්‍රීසි ලිපි පරිවර්ථනයද, ඒ කාලයේ පැමිනෙන විදේශ නියෝජිතයිගේ සාකච්චා ටිල්වින් සිල්වා අතුලු නායකයින්ට පරිවර්ථනය කලේද, චීන කියුබා තානාපති වරුන් සමග සාකච්චා සඳහා මා ජවිපෙ නායකයින් සමග සහභාගිවූයේද එදා රඳවුම් කඳවුරු වලින් මම හදාරා ප්‍රගුන කල ඉංග්‍රීසි වලිනි. නමුත් එදා සිටම ජවිපෙ නායකත්වයේ සිට සාමාජිකත්වය දක්වාම අධිරාජ්‍ය විරෝධය මෙන්ම ඊට ඉංග්‍රීසි භාශාවට තිබූ විරෝධයක්ද ගැටගැසී තිබිණී.

වසරකට හෝ වසර එකහමාරකට පසුව බූස්ස රැඳවුම් කඳවුරේ රඳවා සිටි අප සරසවි සිසුන් කංඩායමෙන් සමහරක් තමනට සාමාන්‍ය රැඳවියන් සමග එකට රැඳී සිටීමට නොහැකි බවත් එය තම අධ්‍යාපනයට බාධාවක් බව පවසා ඔවුන් වෙනම අභියාචනයක් ඉදිරිපත්කොට වැළීසර නාවික හමුදා කඳවුරට මාරුවක් ලබාගෙන ගියේ අපටත් නොකියාමය. ඒ කංඩායමේ විජිත හේරත්ද සිටින ලදී. එහෙත් මටනම් කිසිදිනක සාමාන්‍ය රැඳවුම් කරුවන්හෝ සරසවි සිසුන් යනුවෙන් වෙනසක් තිබුනේ නැත. සාමාන්‍ය රැඳවියන්ගේ කතා තුල ඉගෙනගැනීමට මට බොහෝදේ තිබිනි.

කෙසේහෝ මේ හෑල්ල ලියාගෙන ගියේ විජිත හේරත් සහෝදරයාගේ ඉංග්‍රීසි දැනුම වැඩිකරගැනීමට ඔහු ඔහුට හැකිපමණීන් උත්සාහ කලබව මතක් කරදීමටය. එහෙත් ඉන් අනතුරුව ඔහු දිගටම ජවිපෙ ක්‍රියාකාරී මට්ටමෙන් සරසවි අධ්‍යාපනයෙන් පසුව යොමුවූ නිසා ඔහුට ඉංග්‍රීසි අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය කාලයක් නොමැති වන්නට ඇත. ඔහු සහ අනෙකුත් ජවිපෙ නායකයින් එසේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කාලය යොමුකලානම් ඔවුනට ජවිපෙ ප්‍රමුඛ මාලිමාව බලයට ගෙනැඒමටද හැකිවන්නේද නැත. මට බොහෝ ජවිපෙට විවේචන තිබුනත් ජවිපෙ ප්‍රමුඛ මාලිමාව එසේ බලයට ආවේම මැතිවරන වේදිකාවල ඔවුන් වපිරූ පට්ටපල් බොරුවලින් පමණක් නොව ඔවුන්ගේ මහා කැපකිරීම් තුලින්ද බව කිවයුතුය. සමහර විට විජිතලාගේ දේශපාලන කපකිරීම තුලදී උපාධිය සම්පූර්ණ කල අයුරින් වසර 26 ක පාර්ලිමේන්තු කාලය තුලදී ඉංග්‍රීසි භාශාව වඩිදියුනු කරගත හැකිව තිබිනි.

ලාංකීය වත්මන් පරපුරේ ඉංග්‍රීසි භාෂා දනුම් දුර්වලතාවය.

විජිත හේරත්ගේ පමණක් නොව වත්මන් තරුන පරපුරේද ඉංග්‍රීසි අධ්‍යාපනය මෙතරම් දුර්වල වූයේ ඇයි? එයට මූලික හේතුවම නම් පවත්නා නිදහස් අධ්‍යාපනයයි. පවත්නා නිදහස් අධ්‍යාපනය තුලින් ඉංග්‍රීසි ඉගෙනීමට අවශ්‍ය දිරිදීම හිතාමතාම බැහැර කොට ඇතිබව මාගේ හඟීමයි. එය හරියට එදා අප බූස්ස රැඳවුම් කඳවුරේදී ඉංග්‍රීසි ඉගෙනීමට එහි සංවිධායකයින්ගෙන් තිබූ බාධාව වැන්නකි. මේ රජයද බලයට පැමින වසරකට වඩා වඩිවූවද ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුනු කිරීමට හඳුන්වාදුන් කිසිම සාධනීය වඩපිලිවෙලක් තවම නොමැත. එවැන්නක් සකස් කරන බවක් හෝ පෙනෙන්නට නොමැත. එබැවින් ඉංග්‍රීසි භාශාව ඉගෙන ගනීමේ වැඳගත්කම වෙනත් කවරදාකටත් වඩා වැඳගත් වන මෙවන් කාලයක ඒගැන හරිහමන් වඩපිලිවෙලක් නැතිවීම ඉදිරියටත් බලපාන සමාජ ගටලුවක්ව පවතින බව කිවයුතුය. එබැවින් නව ආන්ඩුව ඒගැන දැන්වත් අවධානය යොමුකල යුතුය. විශේෂයෙන් විදේශ රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින මෙවන් කාලයක ලංකාවේ බොහෝ පුහුනු ශ්‍රමිකයින් ඔවුන්ගේ ඉංග්‍රීසි දනුමේ දුර්වලතාවය නිසාම ඒ රකියා අවස්ථා ඉන්දියාව, පිලිපීනය සහ කළාපයේ වෙනත් රටවල් ඩැහගනිමින් සිටී.

image source
https://s3.lankaenews.com/en_news_image/Vijith-New-Delli.jpg

එහෙත් විජිත හේරත් අමත්‍යවරයාගේ ඉංග්‍රීසි දැනුම හෝ රයිසිනා සංවාදය(Raisina Dialogue) තුලදී ඔහුගේ දුර්වල ඉදිරිපත්කිරීම උපයෝගීකරගෙන ඔහුට සහ රජයට අවමන් කිරීම සහ ගැරහීම මම තරයේ හෙලාදකිමි. විජිත හේරත් යනු පසුගිය මහා මැතිවරනයේදී ලංකාවේ වැඩිපුරම චන්ද ලබාගත් ජනතා නියෝජිතයාය. අනෙක් අතට මේ රජයේ සිටින විදේශ අමාත්‍ය ධූරයට වඩාත් සුදුසු පුද්ගලයාද ඔහුබව කිවයුතුය. වත්මන් අමාත්‍ය මංඩලයේ සිටින යම් දේශපාලන පරිචයක් සහිත සීමිත කීපදෙනාගෙන් එක් අයෙකු මොහු වඩාත් පාර්ලිමේන්තු අත්දැකීම් ඇති දෙදෙනාගෙන් අයෙකු වන්නේත් ඔහු බැවිනි.

මහාචාර්‍ය නිර්මාල් රංජිත්ගේ විග්‍රහය.

image source
Hiru News

විජිත හේරත්ගේ ඉංග්‍රීසි දැනුම පිලිබඳව මෑතකදී මතුවූ අර්බුධය හමුවේ සමාජ මාධ්‍යවල විදේශ ඇමතිවරයාටත් සහ රජයට ඇතිවී අති විවේචන, මඩගසීම්, අවලාද සහ විවේචන වලට පිලිතුරු ලෙස ජාතික ජනබලවේගයේ අදහස් වෙනුවෙන් සහ නිර්ප්‍රභූ පාලනයක් වෙනුවෙන් පෙනී සිටින මහාචාර්‍ය නිර්මාල් දේවසිරිගේ අදහස් සලකා බැලීම ඉතාවැඳගත් බව සිතමි. මේ විජිතගේ ඉංග්‍රීසි දැනුම පිලිබඳව යම් තාර්කික සවාදයක් ගොඩනගා ඇත්තේ ඔහු බැවිනි. එබැවින් ඔහු ගෙන ආ සංවාදයට පිලිතුරු දිම සුදුසු බව සිතමි.

ඒව එහෙම තමයි න්‍යාය.

ඔහුගේ සංවාදය තුල නිර්මාල් කියන්නට උත්සාහ කරන්නේ “ඒක එහෙම තමයි’, ජාම බේරගෙන එන එක තමයි තියෙන්නෙ” වගේ දේවල්‍ ය. ඇත්තටම දේවසිරි වැනි සරසවි ආචාර්‍ය වරයෙකු සරසවි උගතුන්ගේ සාකච්චා වලට පිටරට ගොස් ඉංග්‍රීසි බැරිමරගාතේ කථාකොට “ජාම බේරාගෙන එන එක” සහ ලොව පුරා අතිශය උනුසුම් යුධ තත්වයක් යටතේ ලොවම බලා සිටිද්දී ” ඔබලා බේරාගනු ලැබූ ඉරාන නාවික සෙබලුන් නැවත ඉරානෙට ආපසු යවනවාද” හෝ “ඔබලාගේ රජය ඇමරිකන් ප්‍රහාර සහ ඊශ්‍රායල් ප්‍රහාර ගැන දක්වන ස්තාවරය කුමක්දැයි?” විදේශ සාකච්චාවකදී අසනු ලබුවොත් “ජාම බේරාගෙන එන්නේ කෙසේදැයි මටනම් ප්‍රහේලිකාවකි. මක්නිසාද යත් එවන් තීරණාත්මක සාකච්චාවකදී තම රජයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි විදේශ ඇමතිවරයා බැවිනි. එබැවින් ඔහු දෙන පිලිතුර අතිශය වැඳගත් මෙන්ම අතිශය තීරණාත්මකද වේ. විදේශ ඇමතිවරයෙකුගේ භූමිකාව එයයි.

එනම් රටක් කිසියම් බැරෑරුම් අවස්ථාවක යම් තීරනයක් ගත්විට එය සෙසු ලෝකයාට එම රට ගනු ලබූ තීරනය සමග එකඟවීමට හෝ එය ඉවසා සිටීමට හැකිවන අයුරින් ඊට ගැලපෙන පිලිතුරක් දීම විදේශ ඇමතිවරයෙකුගේ විශාල වගකීමකි. ඇරත් විජිත හේරත් අවුරුදු 26 ක් එකදිගට පාර්ලිමේන්තුවේ සිටින ලද මන්ත්‍රීවරයෙකි. ඔහුට ඉංග්‍රීසි පිලිබඳව විශේෂයෙන් යමක් ගැටගසා ගැනීමට හකියාව තිබිය යුතුය. තවද මෙවන් සාකච්චා සඳහා සහභාගිවන විට ඔහු ඊට ක්‍රමානුකූලව සූදානම් විය යුතුය. විශේෂයෙන් මෙම ප්‍රශ්නය මෙන්ම මීට සමගාමී ප්‍රශ්න අසන බව විදේශ අමාත්‍ය වරයා පූර්ව දැනුවත් භාවයකින් සිට ඒවාට යායුතුය. එය ඔහුගේ රට වෙනුවෙන් ඇති භාරධූර වගකීමකි. නමුත් නිර්මාල් කියන ලෙසටම මෙය ආන්ඩුව කිචකිරීමේ පරමාර්ථයෙන් සමාජ මාධ්‍යවල ආන්ඩුවට එරෙහිව කියන අවලාද මමද අනුමත නොකරමි. ඇරත් මේ වැනි දේවල් වලින් ආන්ඩුව එලවා ගෙන්නාගනීමට සිටින්නේ සජිත් වැනි චරිතයක් නම් මේ ආන්ඩුව ඊට වඩා නම් බොහෝසේ හොඳ බව කිවයුතුය.

ප්‍රභූ සහ නිර්ප්‍රභූ.

නිර්මාල්ගේ ඔහු කියන නිර්ප්‍රභූ දේශපාලනය සහ නිර්ප්‍රභූ දේශපාලනය වර්නනා කිරීමේ උභතෝකෝටිකයටද යමක් කිවයුතුය. මැතිවරණයට කලින් සිටම මා පෙනී සිටියේ යම් ප්‍රභූ දේශපාලන භූමිකාවකටය. මක්නිසාදයත් යත් මේ කියන වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයම සකසා ඇත්තේ ප්‍රභූ දේශපාලන අවකාශයකට බැවිණී. එය හරියට බටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන ලංකා සරසවිවල වෛද්‍ය පීඨ මේ සඳහා උදාහරනයට හැකිය. වෛද්‍ය සිසුන් වෛද්‍ය පීඨවල යම් පිලිවෙලකට ඇඳිය යුතුය. අනිවාර්‍යයෙන් සපත්තු පැළදිය යුතුය. අවසානයේ වෛද්‍යවරයෙකු ලෙස පිටවන සිසුවා වෛද්‍ය පීඨයෙන් පිටවන්නේ වෙනස් උසස් මිනිසෙකු ලෙසිනි. ඔහු වෛද්‍ය පීඨයට පැමිනෙන දා තිබූ තත්වයට වඩා වෙනස් ප්‍රභූ මට්ටමක් වසර 5 කට පසු ඔහු අත්පත් කොටගෙන ඇත. විනයගරුක වගකීම් සහගත වෛද්‍යවරයෙකු බිහිවන්නේ එසේය. පාර්ලිමේන්තුව තුල දශක ගණනාවක් ගතකල චරිතයක්ද එසේවියයුතුය. එසේම ඔහුගෙන් යම් අභිවෘද්ධියක් පෙන්විය යුතුය. එය වැඳගත් වෙන්නේ ඔහු හෝ ඇය දරනු ලබන රටේ වැදගත් වගකීම් සහ රට නියෝජනය කරන අවස්ථා වලදීය.

එදා විජිත රට නියෝජනය කල ඉන්දීය සමුළුවේදී විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් හෝ මංගල  සමරවීර වැන්නෙකු  හෝ අලි සබ්‍රි එම සමුළුව නියෝජනය කළේනම් ඒ සමුළුවේ මුලු අවධානයම ඔවුන් වෙත යොමුවන බව රහසක් නොවේ. ඒ වඩාත්ම ඔවුන් විසින්ම හදාගත් යම් පෞරුෂයක් සහ භාවිතාවේදීත්, හැදෑරීමේදීත් දියුනු ක‍රගනු ලැබූ හැකියාවන් නිසා මිස ඔවුන්ගේ පාරම්පරික ප්‍රභූන් වුනු නිසාමත් නොවේ. ඇමතිවරයෙකු තම පෞරුෂය ප්‍රභූ මට්ටමකට ගෙනඒමට ඔහු දැනගත යුතුය. එය ටයි කෝට් දැමීමෙන් පමණක් කලහැකි දෙයක් නොවේ. තවද එවන් අවස්ථාවලදී “ජාම බේරාගෙන ඒමට” වඩා අප රටේ ස්ථාවරයන් වෙතට අනිත් ලෝක ප්‍රජාව අවධානය දෙන සහ ප්‍රසාදය ලබෙන තත්වයකට ඒ සංවාද පත් කරගත යුතුය.

අත්කරගත යුතු ප්‍රබූ මට්ටම.

නිර්මාල් කියන මට අනුව ඉතාම පසුගාමී කථාව නම් ඒ ප්‍රභූ යුගය අවසන් බවත් දැන් තිබෙන්නේ සාමාන්‍ය අපගේ පාලන කාලයක් බවයි. සාමාන්‍ය ජනතාවගේ පුත්‍රයින් පාලනය හෙඹවූවත් ඔවුන් සාමාන්‍ය ජනතාව මෙන් පරිකල්පනය නොකල යුතුය. සාමාන්‍ය  ජනතාව මෙන් තීරණ නොගත යුතුය. ඔවුන් පාලනය හොඹවන්නේ ලෝකයම ධනේශ්වරයේ පර්‍යායක් තිබෙන විටය. එවිට ඔවුනට ගණුදෙනු කිරීමට සිදුවන්නේ ලොව අන් රටවල් වල බලය හොඹවන ප්‍රභූන් සමගය. එහිදී නිර්මාල් කියන ලෙසට ප්‍රභූවාදයට ගල් ගසා වැඩක් නැත. බලය හොඹවන තැනැත්තන් ප්‍රභූ තත්වයක් අත් පත් කරගතයුතුය. ඔවුන්ගේ තීරණ, ඇවතුම්, පැවතුම් මෙන්ම පරිකල්පන රටාවන්ද රටට බලපාන බැවින් ඒ අභියෝග ඔවුන් අතික්‍රමණය කලයුතුය.

මේ NPP ආන්ඩුවට සිදුවී ඇත්තේ ඉතාම පුංචිවට හිතන ඉතාම පහලින් පරිකල්පනය කරන ඉතාම පුංචි වැඩටිකක් පමණක් ලොකුවට කරන ආන්ඩුවක් ලෙසටය. ඊට හේතුවද මේ ආන්ඩුව නිර්මාල්ලා අගය කරන නිර්ප්‍රභූ ආන්ඩුවක් වීම නිසාය. නමුත් රටතුලදී මේ තත්වය කෙසේ උවද ජාත්‍යන්තරය සම්බන්ධතා වලදී ඇතිවන දුෂ්කරතා ජයගැනීමට නිර්මාල් කියන මට්ටමෙන් හැකිවන්නේ නැත. මෙයින් මා නම් අදහස් කරන්නේ ප්‍රභූන්ට බලය දෙන්න කියා හෝ ඔවුන් ඉංග්‍රීසි දන්න නිසා ප්‍රභූන්ට බලය දීම කියා නොව බලයට පැමිනෙන අය ප්‍රභූ මට්ටමක් අත් පත් කරගත යුතු බවය. දේශපාලනයේදී ප්‍රභූත්වය වෙනුවට නිර්ප්‍රභූත්වය ආදේශවූ විට සිදුවන්නේ භූ දේශපාලණික කාරනාවලදී රටේ ජාතාන්තර සම්බන්ධතා සහ ආර්ථික කරුණූ වලදීද නිර්ප්‍රභූ මට්ටමක් උද්ගතවීමය. කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයා පත්කිරීම බොහෝ කල් යන කටයුත්තක් වී ඇත. ඕස්ට්‍රේලියාවේ කොන්සාල් කටයුතු වල බොහෝ ගැටලු මතුවී ඇත. මැදපෙරදිග තානාපති සේවය ඉතා අකර්මන්‍ය තත්වයට පත්වෙමින් ඇත. ඉන්දියාවේ ආයෝජනයක් ඉවත් වෙමින් පවසා තිබුනේ රජයේ ප්‍රථිචාර ඉතා දුර්වල බවයි.

නවසීලන්ත විදේශ ඇමති වරයාගේ ආදර්ශය.

නවසීලන්තයේ විදේශ අමාත්‍ය සහ වැඩබලන අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්(Winston Peters) මහතා නවසීලන්ත ආදිවාසී “මයුරි” ජාතිකයෙකු වූවද සිය දේශපාලණ ජීවිතය තුල ප්‍රහූ මට්ටමක් අත් පත් කරගත් හොඳ පෞරුෂයක් ගොඩනඟාගත් චරිතයකි. මගේ නිරීක්ශනයන්ට අනුව සම්මුඛ සාකච්චා වලට ඉතාමත් සූදානමින් සහභාගිවන විදේශ ඇමතිවරයෙකි ඔහු. මම වසර 25 ක් චන්දය දුන්නේද ඔහුට හෝ ඔහු නියෝජනය කල සභාගයටය. මෑතකදී ඔහු  ලංකාවට පැමිණි අතර ඔහු නවසීලන්තයට එන ලෙස ලංකා විදේශ ඇමතිවරයාට ආරාධනා කලද ඊට යහපත් පිළිතුරක් තවම විජිත හේරත් ලබාදී නැත. මට තේරෙන ආකාරයට නම්, හරි ආකාරයකට කථාකලහැකිනම් නවසීලන්ත විදේශ ඇමති හරහා නවසීලන්ත විදේශ රැකියා විශාල ප්‍රමාණයක් ලාංකීය තරුණයින්ට ලබාගත හැකිය.

ඒවා දැනට යන්නේ පිලිපීනය සහ ඉන්දියාවටය. ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්‍ය ජයශංකර් ඉන්දියාව වෙනුවෙන් විදේශ රටවල් වල ගෙනයන කාර්‍යයන් ප්‍රශංසනීය බව කිවයුතුවේ. චීනය සමග විශාල වශයෙන් වෙළඳ ගණූදෙනු ගෙනගිය නවසීලන්තය ඉන්දියාව සමග විශාල වශයෙන් වෙළඳ ගණූදෙනු වලට නම්මා ගැනීමටත් අතිවිශාල ඉන්දීය පුහුනු ශ්‍රමිකයන් නවසීලන්තයට ගෙන්වා ගැනීමටත් ඉන්දියාව මෑතකදී සමත් විය.

විදේශ සම්බන්ධතා පවත්වාගෙන යාමේ දුර්වලතාවය.

නමුත් ලංකා විදේශ ඇමති වරයා මෙවන් දියුණු ඉංග්‍රීසි භාෂාව කථාකරන රටවල් වලට පැමිණීමට සහ ඒ රටවල් සමග ගනුදෙනු කිරීමට දක්වන දුර්වල කම සහ මැලිකම අවසානයේ ලංකාවේ ආර්ථිකයට පවා බලපෑම් සිදුකරන බව කිවයුතුය. එය නිර්මාල් කියන තරම් සෞම්‍ය නොවේ. විදේශ අමාත්‍ය අමාත්‍ය වරයාගේ ඉංග්‍රීසි දැනුම රටට බලපාන්නේ එසේය.

ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ සම්බන්ධතා දියුනු කලහැක්කේ ඒවායේ විදේශ අමාත්‍යවරු, වෙළඳ අමාත්‍යවරු සමග මනාලෙස අවබෝධයෙන් වැඩකිරීමෙන් පමණි. එසේ නොමැතිව නිර්මාල් කියන ලෙස “මේ ඉතිං හැටි තමා”, “දැන් බලයේ ඉන්නේ සාමාන්‍ය පවුල් වලෛන් ආපු සාමාන්‍ය සරසවි වලින් උපාධි ගත්තු අය”, “ජාම බේරගෙන එන්නයි තියෙන්නේ” කියමින් මේ පසුගාමිත්වය සාධාරණය කරමින් නොවේ.

යම් පාර්ශ්වයක් හැමවිටම නිර්දෝශී කිරීමට හෝ සාධාරණීය කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් වන යමෙකුට සිදුවන දෙයක් නම් ඔහු හෝ ඇය නොදැනීම ඒ පාර්ශ්වයේ උපාංගයක් බවට පත්වීමයි. එමගින් ඔහු හෝ ඇය නොදැනුවත්වම තම දැනුම් සීමාවන්, තම කීර්ති නාමයන් සහ තම ආස්ථානයන් විශාල Risk එකකට යටත් කරගනු ලබයි. “දෙමළාගේ ප්‍රශ්නය”, ” කිතලංගමුවේ මර්තේලිස් ” වැනි සාර්ථක නිර්මාණ සිදුකල මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි එවන් තත්වයකට පත් නොවේවා යන්න මගේ පැතුමයි.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *