ජ.වි.පෙ ඉතිහාසය සහ අද්‍යාපන වැඩපිලිවෙල..!
නිශාන්ත ජයසූරියආරච්චි.
(නිශාන්ත ජයසූරියආරච්චි යනු 1987-89 අරගල කාලය තුලදී පේරාදෙනිය ඉංජිනේරු පීඨය නියෝජනය කරමින්ද, ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින්ද, නිෂ්මි, උදේනි බන්දුල, දසනායක(අහංගම), වැනි ශිෂ්‍ය නායකයින් සමග ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකල ක්‍රියාධරයෙකි. සරසවි පැමිනීමට ප්‍රථම නිශාන්ත සහෝදරයා ඉතා ලාබාල වියේ සිටම ජ.වි.පෙ මුල්පෙලේ නායකයින් සමග වැඩකල අයෙකු බවත්, ජ.වි.පෙ 1983 තහනම දක්වාත් ඉන් පසුවත් පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකල අයෙකු බවත් බොහෝදෙනා නොදනී. මෙහි පලවන්නේ සමකාලීනසරසවි මිතුරන් බොහොමයකගේ ඉල්ලීම පරිදි නිශාන්ත ජයසූරියාඅරච්චි සහෝදරයාගේ පක්ෂය ගැන තිබූ අද්දැකීම් වලින් සමහරක් ජ.වි.පෙ ඉතිහාසය සහ අද්‍යාපන වැඩපිලිවෙල ලෙසින් ලිඛිතව පලකල ආකාරයයි. මෙහි දෙවන කොටස පසුව පලකිරීමට නියමිතය)

පූර්විකාව.
මෙරට පොදු ජනයා අතර මහත් සේ ප්‍රකට වූ ජ.වි.පෙ ඉතිහාසය සහ අධ්‍යාපන වැඩපිළිවෙල පිළිබඳව හා කලින් කලට එය පරිණාමය වූ ආකාරය ද එමෙන්ම, එහි අන්තර්ගතය ද සම්බන්ධයෙන් කිසියම් විධිමත් විස්තරාත්මක සටහනක් පිළියෙළ කරන ලෙස මගේ පැරණි දේශපාලන මිතුරෝ බොහෝ කල් සිට මගෙන් ඉල්ලා සිටිති. එබඳු සටහනක, අවම වශයෙන් වාර්තාමය වැදගත් කමක් හෝ ඇතයි ද ඔවුහු සිතති. එනමුත් මෙබඳු කෙටි සටහනක් මඟින් එවකට පක්ෂයේ වූ දැවැන්ත අධ්‍යාපන වැඩපිළිවෙළෙහි සමස්ත අන්තර්ගතය ඉදිරිපත් කිරීම කළ හැක්කක් නොවේ. එය කළ යුත්තේ දැවැන්ත කෘතියක් මඟිනි. තවද මහත් ශ්‍රමයක් වගුල යුතු එබඳු කෘතියක කිසියම් වාර්තාමය වැදගත් කමක් ඇතත්, පොදු ජනයා හට බැවහර වැදගත් කමක් ඇතයි මට නොසිතේ.
එබැවින් මෙම ලියවිල්ල මඟින් මම ඉදිරිපත් කරනුයේ, අපේ පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළෙහි පරිණාමය පිළිබඳව ඉතාමත් සංක්ෂිප්ත දල සටහනක් පමණකි. ඉතාමත් සංක්ෂිප්ත දල සටහනක දී වුව, පක්ෂ ඉතිහාසය පිළිබඳව සැකෙවින් හෝ සඳහන් නොකොට, පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළ ගැන පමණක් විස්තර කිරීමේ දී විටින් විට පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළෙහි සිදු කළ බරපතළ වෙනස් කම් වලට පසුබිම් වූ දේශපාලන කරුණු කාරණා පිළිබඳ කිසිවක් නොදත් අයෙකුට ඒ සම්බන්ධයෙන් කිසියම් ව්‍යාකූල හැඟීමක් ඇතිවීම වැලැක්විය හැකි නොවේ. එබැවින්, ජ.වි.පෙ ඉතිහාසය සහ අද්‍යාපන වැඩපිළිවෙළ ගැන විස්තර කිරීමේ දී පක්ෂ ඉතිහාසය පිළිබඳව ද කෙටියෙන් හෝ මෙහි ලා සඳහන් කළ යුතු වේ.
අක්මීමන දෙවන සාකච්චාව.
1965 මැයි මස වෙසක් පොහොය දා පසු කලෙක අප පක්ෂයේ ඉහළම නායකයින් සිව් දෙනාගෙන් තිදෙනෙකු වූ රෝහණ විජේවීර, සනත් බොරළුකැටිය (සනත් සහෝදරයා ගේ සැබෑ නම, විජේසේන ජී. විතාන බව මා දැනගත්තේ ලයනල් බෝපගේ සහෝදරයා වෙතිනි) හා ඩ්බ්.ටී. කරුණාරත්න (ඉන්කම් ටැක්ස් කරු) යන සහෝදරවරුන් ඇතුළු කොමියුනිස්ට් පක්ෂය (චීන පිළ ) හි, දේශපාලන වැඩ කටයුතු කළ දස දෙනකුගෙන් පමණ යුත් තරුණයින් පිරිසක් ගාල්ලේ අක්මීමන කරුණාරත්න සහෝදරයා ගේ නිවසේ දී මුණගැසුනේ ලංකාවේ අළුතින් විප්ලවවාදී පක්ෂයක් තැනීම අරමුණු කොට ගෙන නොවේ. ඔවුන් ගේ අරමුණ වූයේ, පක්ෂ නායකයා වූ ශන්මුගදාසන් සහෝදරයා පළවා හැර, කොමියුනිස්ට් පක්ෂය (චීන පිළ ) හි බලය අත් පත් කරගැනීම යි. එනමුත් කෙටි කලක් තුළ දී මේ තරුණයින් ගේ වෑයම චීන පිළෙහි නායකයා හට හෙළිදරව් විය. ඉක්බිති 1966 අප්‍රේල් මස අවසන් වීමට මත්තෙන්, ඔහු විසින් මේ තරුණයින් සියළු දෙනා ඇතුළු රෝහණ සහෝදරයා සමඟ සමීප සබඳකම් පැවැත් වූ අනිකුත් සියළුම තරුණයින් ද කොමියුනිස්ට් පක්ෂය ( චීන පිළ ) න් පළවා හැරියේ ය.

image source
(Liberationbase-WordPress.com)
එබැවින්, ජ.වි.පෙ ඉතිහාසය “තිඹිරිගෙය” ලෙස සැළකෙනුයේ 1966 මැයි මාසයේ වෙසක් පොහොය දා පැවැත් වූ “අක්මීමන දෙවන සාකච්චාවයි” යි. මෙම සාකච්චාවට රෝහණ සහෝදරයා ඇතුළු 15 දෙනෙකුගෙන් පමණ යුත් තරුණයින් පිරිසක් සහභාගි වූ හ. එනමුත් ලංකාවේ ‘අනාගත සමාජවාදී විප්ලවය’ උදෙසා ‘අංග සම්පූර්ණ නිර්ධන පංති සංවිධානයක’ හා ‘නිෂ්චිත අධ්‍යාපන වැඩ පිළිවෙළක’ අවශ්‍යතාව අවධාරණය කෙරුනේ “කැලැත්තෑව සාකච්චාවේ” දී ය. 1967 අග භාගයේ, තුන් දිනක් තිස්සේ පැවති මේ සාකච්චාවට රෝහණ සහෝදරයා ඇතුළු සනත්, ලොකු අතුල (නිමලසිරි ජයසිංහ), කරුණාරත්න හා පියතිලක යන සහෝදරවරුන් සහභාගි වූ හ. ඉක්බිති 1968 අග භාගයේ තරුණයින් 25 ක් හෝ 30 ක් පමණ සහභාගි වූ පක්ෂයේ පළමු අධ්‍යාපන කඳවුර’ ගාල්ලේ අක්මීමන දී පැවැත්විණ.
මඩම්පැල්ලේ සහ ඌරුබොක්කේ සාකච්චා.
පසු කලෙක ලංකාවේ පොදු ජනයා අතර මහත් සේ ප්‍රකට වූ සුප්‍රසිද්ධ පංති පහ ඇතුළු පක්ෂයේ අධ්‍යාපන වැඩ පිළිවෙල ආරම්භ වූයේ එපරිද්දෙනි. මෙහි දී 1969 මැද භාගයේ, ලිහිල්ව සංවිධානය වී සිටි මධ්‍යම කාරක සභාවේ සහෝදරවරුන් 33 ක් ඇතුළු පනස් දෙනෙකු පමණ සහභාගි වූ, දින දෙකක් තිස්සේ මීගමුවේ පැවති “මඩම්පැල්ල සාකච්චාව” ද පහේ කණ්ඩායම්, පොලිස් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ආදීන් වෙත වගකීම් පැවරූ සංවිධානයේ තීරණාත්මක සාකච්චාව වූ, 1969 අග භාගයේ මාතර කඹුරුපිටියේ දී පැවති “ඌරුබොක්ක සම්මන්ත්‍රණය” ද 1970 ජනවාරියේ මාතර දී පැවති “දෙවුන්දර සම්මන්ත්‍රණය” ද අධ්‍යාපන කඳවුරු ගණයේ ලා නොසැළකේ. මෙය ජ.වි.පෙ ඉතිහාසය සහ අද්‍යාපන වඩපිලිවෙල හදාරන අයෙකුට ඉදිරියේදී වැදගත්විය හකිය.
එකල පැවති සුප්‍රසිද්ධ පංති පහ වූයේ (1) ආර්ථික අර්බූදය, (2) නිදහස, (3) ඉන්දියානු ව්‍යාප්තවාදය, (4) වාමාංශික ව්‍යාපාරය හා (5) ලංකා විප්ලවය ගත යුතු මග, යන පංති පහ යි. මෙම එක් එක් පංතියක් වෙනුවෙන් ගත වූ කාලය පැය දෙකක් හෝ තුනක් අතර විය. එනමුත් මේ දේශපාලන පංති තුළ ගැඹුරු න්‍යායික විග්‍රහයක් නොතිබිණි. අනෙක් පසින් ගත් කල 1969 පමණ වන විට පක්ෂය සන්නද්ධ කිරීමේ කටයුතු ආරම්භ කොට තිබූ බැවින්, එබඳු න්‍යායික කටයුතු වෙනුවෙන් කාල වේලාවක් ද නොතිබිණ. එයට අමතරව මාක්ස්වාදී න්‍යාය හා භාවිතාව ඉක්මවා, 1959 වසරේ දී ජයග්‍රහණය කළ කියුබානු විප්ලවයේ ආශ්වාදය ලොව පුරා පැතිර ගොස් තිබිණ. එවකට රෝහණ විජේවීර, සනත්, ලොකු අතුල හා ඉන්කම් ටැක්ස් කරු යන සහෝදරවරුන් සිව් දෙනා පක්ෂයේ ඉහළම නායකයින් ලෙස පිළිගැනිණ. එ’දවස පැවති ඩඩ්ලි සේනානායක ගේ හත් හවුල් රජය, මේ තරුණයින් හැඳින්වූයේ චේ ගුවේරා,කාරයින් ලෙසිනි. එවකට ලංකාවේ පැවති කොමියුනිස්ට් පක්ෂ දෙක ‘මොස්කව් ලයින්’ හා ‘පීකිං ලයින්’ ලෙස හැඳින්වූ සංවිධානයේ සමහර සහෝදරවරුන් ඔවුන් ගේ ව්‍යාපාරය “ලංකා ලයින්” ලෙස හඳුන්වා ගත් හ. මෙම විප්ලවවාදී සංවිධානය “ජනතා විමුක්ති පෙරමුණ” ලෙස නම් කර ගනු ලැබුවේ 1970 මාර්තු මාසයේ දී ය.
පහරදීමේ තීන්දුව.

1970 ජූලි මහ මැතිවරණයේ දී සිරිමා ගේ සමඟි පෙරමුණ රජය බලයට පත් කිරීම වෙනුවෙන් පක්ෂය නිල නොවන ආකාරයෙන් සහය විය. එනමුත් පක්ෂය සන්නද්ධ කිරීමේ කටයුතු නොකඩවා සිදු කෙරිණ. ඒ හේතුවෙන් රජයේ ආරක්ෂක අංශ සහ පොලීසිය, පක්ෂයේ වැඩ කටයුතු පිළිබඳව සෝදිසි කිරීම හා අවි ආයුධ එක් රැස් කිරීමට එරෙහිව බලය යෙදවීම නොවැලැක්විය හැකි කාරණයක් විය. මේ අතරතුර, 1971 මාර්තු 13 දා රෝහණ සහෝදරයා දෙවන වරට ද පොලිස් අත් අඩංගුවට පත් විය. එබැවින් අප්‍රේල් 02 දා විද්‍යෝදය, සංඝාරාමයේ දී පැවති, අප්‍රේල් පහරදීම පිළිබඳ තීරණාත්මක සාගච්චාවට ඔහුගේ සහභාගිත්වයක් නොවීය. එනමුත් ඔහුගේ අදහස නියෝජනය කරමින් පියතිලක මේ රැස්වීමට සහභාගි විය. මේ තීරණාත්මක රැස්වීම කැඳවන ලද්දේ ද, එහි මුලසුන හොබවන ලද්දේ ද පියතිලක විසිනි. රැස්වීමට සහභාගි වූ 9 දෙනා අතුරින් සනත්, කරුණාරත්න, ලොකු අතුල, ජේ. උයන්ගොඩ, අනුර රංජිත් කුරුකුලසූරිය හා සුනන්ද දේශප්‍රිය යන සහෝදරවරුන්, ලිහිල්ව ගොඩනැඟූ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් වූ හ.
පියතිලක, ලයනල් බෝපගේ හා සුසිල් වික්‍රම යන සහෝදරවරුන් පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරුන් මට්ටමේ සගයින් වූ හ. ලිහිල්ව ගොඩනැඟූ දේශපාලන මණ්ඩලයේ අනිකුත් සහෝදරවරුන් වූ ටී.ඩී.සිල්වා, ලක්ෂ්මන් මහදුවගේ, කුමානායක, ධනපාල හා සිසිල් චන්ද්‍ර මේ තීරණාත්මක සාගච්චාවට සහභාගි නොවූහ. පවත්නා තත්වයන් පිළිබඳ සමාලෝචනයකින් පසු, මේ සා ඉක්මන් පහරදීමක් සම්බන්ධයෙන් සනත්, ලොකු අතුල හා කරුණාරත්න යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සහෝදරවරුන් මුල දී සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ හ. එනමුත් බහුතරයේ කැමැත්ත මත, ලංකාවේ විවිධ පලාත් වල පිහිටා තිබූ පොලිස් ස්ථාන, රෝහණ සහෝදරයා සිරගත කොට සිටි යාපනයේ රිමාන්ඩ් බන්ධනාගාරය හා කොළඹ නගරයේ තෝරාගත් රජයේ මර්මස්ථාන කිහිපයක් වෙත, අප්‍රේල් 05 දා රාත්‍රී 11.30 ට එකවැර පහරදීමේ තීන්දුවට සියළු දෙනාම එකඟ වූහ.
1971 මහා ඛේදවාචකය.
මෙරට අධිපති පංතිය ද ඇතුළුව මුලු මහත් ලාංකීය ජාතියම සසල කළ 1971 අප්‍රේල් මහා ඛේදවාචකය ආරම්භ වූයේ එපරිද්දෙනි. සෝවියට් දේශය, මහජන චීනය හා ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයෙක සහයෝගය ඇතිව, රජය විසින් තෙමසක් පමණ කාලයක් ඇතුලත මේ තරුණයින් ගේ කැරැල්ල සම්පූර්ණයෙන්ම මර්දනය කරන ලදී. රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව කැරැල්ලේ දී දිවි අහිමි වූ තරුණ තරුණියන් පිරිස පන් දහසක් පමණ වෙතැයි සැළකෙතත්, දිවි අහිමි වූවන් ගේ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බව පොදු මතය යි. පක්ෂයේ මතය නම්, විසි දහසක් පමණ වූ සටන් සගයින් පිරිසක් ඔවුනට අප්‍රේල් කැරැල්ලේ දී අහිමි වූ බවයි.
රාජ්‍ය බලය පැහැරගැනීම අරමුණු කොට, සැබවින්ම ලංකා රජයට එරහිව මෙරට සන්නද්ධ තරුණයෝ පිරිසක් කැරලි ගැසුව ද එවකට ලංකාවේ සම්භාවිත, එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය දක්වා වූ බ්‍රිතාන්‍යය නීති පද්ධතිය මඟින් සැළසුනු නීතිමය ප්‍රතිපාදන අප්‍රේල් කැරලිකරුවන්ට එරහිව ගොනු කළ චෝදනා ඔප්පු කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිණ. එබැවින්, 1971 අප්‍රේල් කැරැල්ලේ චූදිතයන්ට එරෙහිව ‘මහ නඩුව’ විභාග කරන ලද්දේ, 1972 අංක 14 දරන ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව’ මගින් පැවරූ බලතල ප්‍රකාරව පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දී ය.
ජීවිතාන්තය දක්ව සිර දඬුවම්.
එහි දී රෝහණ සහෝදරයා ඇතුළු තවත් කැරලිකරුවන් පිරිසකට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. මීට අමතරව ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව’ මඟින් පැවරුනු බලතල ප්‍රකාරව ම වෙනත් විනිසුරු මඬුල්ලක් මඟින්, විදේශ විනිමය වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එජාප හිතැති, හිටපු අග්‍රාණ්ඩුකාරවරයෙකු වූ සර් ඔලිවර් ගුණතිලක හා ඔහුගේ බෑණාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් සමඟ දඩ නියම කළ අතර, සර් ඔලිවර් ගේ දියණියට අත් හිටවූ සිර දඬුවම් නියම කෙරිණ. ඉක්බිති, 1977 ජූලි මාසයේ දී බලයට පත් ජේ.ආර්. ගේ රජය විසින් 1977 ඔක්තෝම්බර් 21 දා මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කර දමන ලදී. මේ හේතුවෙන් 1977 නොවැම්බර් 2 දා රෝහණ සහෝදරයා ද සිරගෙදරින් නිදහස ලැබීය. එතැන් පටන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සැබවින්ම සක්‍රීය තලයකට පැමිණියේ ය. මා පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාධරයෙකු බවට පත් වූයේ, ඔවුන් සිර ගෙදරින් නිදහස් ව පැමිණ, වසරක් පමණ ඉක්ම ගිය තැන ය.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_8ea0e15cb7.jpg
ජ.වි.පෙ දෙවන යුගය.
පක්ෂයේ “දෙවන යුගය” ලෙස සැළකිය හැකි, ක්‍රියාධරයින් අති මහත් බහුතරයක් සිරගතව සිටි “සය වසරක” කාලය තුළ දී රෝහණ සහෝදරයා හා ඔහුගේ සමීප සගයින් විසින්, පක්ෂයේ සංවිධාන ව්‍යුහය සහ අධ්‍යාපන වැඩපිළිවෙළ පිළිබඳව ගැඹුරින් සමාලෝචනය කර තිබිණ. එබැවින් පක්ෂයේ “තෙවන යුගය” ලෙස සැළකිය හැකි, 1977 නොවැම්බර් සිට 1983 ජූලි පක්ෂ තහනම දක්වා වූ වසර පහමාරක කාලයේ දී ඔවුහු අයෝමය විනයකින් යුතු විධිමත් සක්‍රීය විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට සමත් වූ අතර, ඉතා දියුණු අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීමට ද සමත් වූ හ.
මේ යුගයේ දී , හිතවතුන් හා පවත්වනු ලබන පැයක පමණ මූලික සාකච්චාවකින් අනතුරුව යොමු කරනු ලබන සුප්‍රසිද්ධ පංති පහ වූයේ (1) ධනේශ්වර ක්‍රමයේ අර්බූදය, (2) ශ්‍රී ලංකාවේ මෙන්ෂෙවික් ව්‍යාපාරය, (3) ලාංකීය විප්ලවයේ කාර්‍යභාරය, (4);ලංකාවේ සමාජවාදයට මග හා (5) බොල්ෂෙවික් පක්ෂය ගොඩනැඟීම යන පංති පහයි. මේ එක් එක් පංතියක් වෙනුවෙන් පැය තුනක පමණ කාලයක් වෙන් කෙරුණු අතර, පංති අතර දින කිහිපයක හෝ පරතරයක් ද පවත්වා ගනු ලැබීය. අද්‍යාපන වැඩපිලිවෙල සකස්වූයේ මේ ආකාරයෙනි.
සමඟි පෙරමුණ රජය සමයේ, ලංකාවේ ආනයන අපනයන වෙළෙඳාම සම්බන්ධයෙන් වූ ඉන්දියානු ජාවාරම්කරුවන් ගේ ඒකාධිකාරය බිඳ දමා තිබූ බැවින් ද, සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම මඟින් ඉන්දීය සම්භවයකින් යුත් වතු කම්කරුවන් ගේ පුරවැසිභාවය පිළිබඳ විසංවාදයට ආමන්ත්‍රණය කොට තිබූ බැවින් ද, “ඉන්දියානු ව්‍යාප්තවාදය” පංතිය සඳහා වූ වලංගු භාවය මේ වන විට අහෝසි වී තිබිණ. සිව් වන පංතියේ දී සෝවියට් දේශය හා චීනය හඳුන්වනු ලැබුවේ පිරිහුණු කම්කරු රාජ්‍යයන් ලෙසිනි. පස් වැනි පංතියේ දී, පක්ෂයේ ආවෘත අංශය ගැන ඉතාමත් සුළුවෙන් සඳහන් කෙරුණු අතර සන්නද්ධ අරගලය තුළින් රාජ්‍ය බලය පැහැරගැනීම, අපගේ විප්ලවීය විධි ක්‍රමය බවට අවධාරණය කෙරිණ. පස් වැනි පංතිය පවත්වන ලද්දේ ද – පක්ෂයේ විශ්වාසය කිසියම් ප්‍රමාණයකට හෝ දිනාගත් සහෝදරවරුන් හට පමණි.
අද්‍යාපන වැඩපිලිවෙල ඉදිරියටම.
ඉක්බිති තවදුරටත් පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු හා සක්‍රීය ලෙස රැඳී සිටිනා සහෝදරවරුන්, පංති කඳවුරු වෙත යොමු කෙරිණ. බාහිර ලෝකය හා ඇති සබඳකම් සියල්ලම වාරණය කොට, දින පහක් තිස්සේ එක දිගට පැවත්වූ මේ පංති කඳවුරු තුළ පැය තුනකට සීමා වූ එක් පංතියක්, පැය දහයක් හෝ දොළහක් පමණ තිස්සේ සාගච්චාවට බඳුන් කළ අතර, කඳවුරු සටහන් ලියා ගැනීමට ද ප්‍රස්ථාව සැළසිණ. මෙසේ පුහුණුව ලැබූ පක්ෂයේ ක්‍රියාධරයින්, කඳවුර විසුරුවා හැරීමෙන් අනතුරුව, නවක සහෝදර සහෝදරියන් වෙත පංති පැවැත්වීම සඳහා, පක්ෂයේ විවිධ කමිටු වෙත සම්බන්ධ කෙරිණ.
පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළෙහි, මීලඟ පියවර වූයේ සුපුරුදු පරිදි බාහිර ලෝකය හා සියළුම සබඳකම් වාරණය කොට, දින හතක් තිස්සේ එක දිගට පැවැත්වෙන “න්‍යාය කඳවුර” යි. ඒ සඳහා කැඳවනු ලැබූ පක්ෂයේ සියලුම සහෝදරවරුන් පාහේ අධ්‍යාපන ලේකම්වරුන් හෝ විවිධ මට්ටමේ කමිටු වල ප්‍රධාන ලේකම්වරුන් වූ හ. එහි දී මාක්ස්වාදී න්‍යාය හා භාවිතාව, ඓතිහාසීය භෞතිකවාදය, දයලෙත්තික භෞතිකවාදය, මානව අර්ථ ක්‍රම පරිණාමය, සමාජය තුළ මිනිසා ගේ ආගමික භාවිතාව ආදිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාගච්චා කළ අතර, කඳවුරු සටහන් ලියා ගැනීමේ ප්‍රස්ථාව ද සැළසිණ. පක්ෂය ඍජු ‘රාජ්‍ය මර්දනයකට’ ලක් නොවූ මේ තුන් වන යුගයේ දී පෙර සඳහන් පංති කඳවුරු සෑහෙන ප්‍රමාණයක් පැවැත්වීමට ද , මෙබඳු න්‍යාය කඳවුරු සැළකිය යුතු ප්‍රමාණයක් පැවැත්වීමට ද පක්ෂයට ප්‍රස්ථාව සැළසිණ. මේ සියලුම කඳවුරු පවත්වනු ලැබුවේ දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ හෝ පලාත් ලේකම්වරුන් ගේ අනුදැනුමෙනි.
ජාතික කඳවුරු.
පක්ෂයේ විධිමත් අධ්‍යාපන වැඩ පිළිවෙළෙහි අවසන් පියවර වූයේ, මූලස්ථාන කඳවුර නොහොත් “ජාතික කඳවුර” යි. ජාතික කඳවුරක් යනු දින දහතුනක් තිස්සේ එක දිගට පැවැත්වෙන අධ්‍යාපන කඳවුරකි. පක්ෂයේ න්‍යාය හා භාවිතාවේ සියලුම ක්ෂේත්‍ර මේ කඳවුරේ දී සමාලෝචනය කෙරිණ. මෙම අධ්‍යාපන කඳවුරේ දේශන පවත්වනු ලබන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරවරුන් විසිනි. අවශ්‍යතාවයට පරිදි සමහර විටෙක, මධ්‍යම කාරක සභාවේ ජේෂ්ඨ සහෝදරවරුන් ද දේශන වෙනුවෙන් කැඳවති. ජාතික කඳවුරේ “පක්ෂ ඉතිහාසය” පිළිබඳ දේශනය පවත්වනු ලබන්නේ රෝහණ සහෝදරයා ම විසිනි. ඒ යුගයේ දී මෙබඳු ‘ජාතික කඳවුරු තුනක්’ පමණක් පැවැත්වීමට අවකාශ ලද බව මගේ දැනුම යි. හෙවත් මතකය යි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර, ලයනල් බෝපගේ සහෝදරයා මුණගැසුණු අවස්ථාවේ දී , මම මේ ගැන ඔහුගෙන් විමසීමි. ඔහු ගේ මතකය ද, මගේ මතකය හා සමාන විය. 1980 නොවැම්බර් මාසයේ දී විතාරන්දෙණිය පක්ෂ පාසැලේ සංවිධානය කළ “ජාතික කඳවුරට” දිවයින පුරා විවිධ මට්ටමේ දේශපාලන වගකීම් දැරූ පූර්ණකාලීන කාඩර්වරුන් අසූවක් පමණ සහභාගි වූ හ. එවකට දහසය වැනි වියේ පසු වූ මම, කඳවුරට සහභාගි වූ ලාබාලතම පූර්ණකාලීන කාඩර්වරයා වීමි. දේශපාලන මණ්ඩලයේ සහෝදරවරුන් විසින් මෙහෙයවනු ලබන එබඳු ජාතික කඳවුරකට සහභාගි වීම, එකල පක්ෂයේ පූර්ණකාලීන සහෝදරවරුන් හට වුව ලැබෙනා දුර්ලභ ප්‍රස්ථාවෙකි.

https://thuppahi.files.wordpress.com/2018/07/jvp-4.jpg
පක්ෂයේ තහනම මහා හෙනයක් ලෙසින්.
1983 ජූලියේ පක්ෂ තහනම එවකට හෙළිදරව් වී සිටි පක්ෂ කාඩර්වරුන් මත පතිත වූයේ අනපේක්ෂිත මහා හෙණයක් ලෙසිනි. ලංකාවේ පංති සටනේ කිසියම් තීරණාත්මක අවස්ථාවක දී පක්ෂය, මෙරට අධිපති පංතියේ දැවැන්ත මර්දනයකට ලක් වන බව දැන සිටිය ද, මෙතරම් වේලාසනින් එබඳු අවස්ථාවකට මුහුණ දීමට පක්ෂයේ සූදානමක් නොතිබිණ. ඒ වන විට අයෝමය විනයකින් කටයුතු කළ අපේ පක්ෂයේ සියලුම කාඩර්වරුන්, 1971 අප්‍රේල් මහා ඛේදවාචකයේ අත්දැකීම් මත පිහිටා – රටේ පවත්නා නීතියට පටහැනි කිසිවක් ම නොකිරීමට වගබලා ගත් පිරිසක් වූ හ.
ඔවුහු සුරා පානය හා දුම් බීමෙන් පවා ඒකාන්තයෙන්ම වැළකුන හ. අල්පේඡ්ච ජීවිතයක් ගත කළ පක්ෂයේ කාඩර්වරුන්, පුද්ගල සදාචාරය සම්බන්ධයෙන් ද ඉමහත් සැළකිල්ලක් දැක්වූ හ. එකල, පුද්ගල සදාචාරය සම්බන්ධ ගැටළුවක දී දේශපාලන මණ්ඩලයේ පැරණිතම සහෝදරයෙකු පවා පක්ෂයෙන් ඉවත් කෙරිණ. වතාවක්, රෝහණ සහෝදරයාට එරෙහිව පවා, දේශපාලන මණ්ඩලයේ තීරණයකට පරිදි විනය පරීක්ෂණයක් පවත්වා තදින් අවවාද කෙරිණ. එදවස අපේ පක්ෂය සතු විනය එබඳු විය.
එනමුත්, එවකට පැවති සාපරාධී ෆැසිස්ට් රජය විසින් පක්ෂය තහනම් කරන ලද්දේ ජ.වි.පෙ කාඩර්වරුන්ගේ හෝ හිතවතුන් ගේ කිසිදු දායකත්වයක් නොතිබූ රජයේ මැති ඇමතිවරුන් හා ඔවුන් ගේ මැරවරයින් විසින් ප්‍රසිද්ධියේ ම මෙහෙයවනු ලැබූ “83, කළු ජූලියේ” අපරාධ වැල පාදක කොට ගනිමිනි. මේ අමානුෂික අපරාධ වැල පැන නැඟි අවස්ථවේ දී පක්ෂයේ සහෝදරවරුන් පමණක් නොව, පොදුවේ සිංහල ජනයා විසින් ද රජයේ මැරවරයන් හා කොල්ලකාරී පාදඩයින් වෙතින්, හැකි සෑම අයුරකින්ම දමිළ ජනයා රැකගත් හ.
ජ.වි.පෙ තහනමට බලපෑ හේතු.
එනයින් පක්ෂය තහනම් කිරීමට හේතු භූත වූ ප්‍රධාන කාරණය ලෙස අනුමාන කළ හැක්කේ 1983 වසරේ පැවැත් විය යුතු වූ මහ මැතිවරණය මඟ හැර පාර්ලිමේන්තුව තුළ එජාප රජය සතු වූ හයෙන් පහක බලය තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් පැවත් වූ අන්ත දූෂිත, ජන විරෝධී ජනමතවිචාරණය ට එරෙහිව පක්ෂය විසින් අධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුව යි. මේ නඩු තීන්දුව මඟින්, රජය කූට ලෙස මඟහැර ගිය මහමැතිවරණය, නැවත පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලැබෙතැයි, එකල පක්ෂයේ කාඩර්වරුන් අතර පමණක් නොව පොදු ජනයා තුළ ද ඉමහත් බලාපොරොත්තුවක් විය.
තහනම් කාලයක දී විප්ලවවාදී පක්ෂයක් මෙහෙයැවීම සඳහා ඇවැසි අනිවාර්ය අංගයක් වන ජ.වි.පෙ “ආවෘත අංශය” ඒ වන විට ද පැවතියේ ඉතාමත් ළදරු අවස්ථාවක ය. එමෙන්ම, පක්ෂය සන්නද්ධ කිරීමේ සූදානමක් මතු නොව එබඳු අදහසක් පවා ඒ වන විට පක්ෂය තුළ නොතිබිණ. සන්නද්ධ අංශයක් ගොඩනැගිය යුතු දැයි, එසේ නැහොත් සැළකිය යුතු කාලයකට පසු බැසිය යුතු දැයි, එසේත් නැතහොත් සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක් අනුගමනය කළ යුතු දැයි යන සාගච්චාව පවා පක්ෂය තුළ මතු වූයේ තහනමින් වසරක් පමණ ඉක්ම ගිය තැන ය.
මේවාට අමතරව 1983 වසරේ මුල සිටම පාහේ, දමිළ ප්‍රජාව ගේ වාර්ගික ගැටළුව හා උතුරේ හිස ඔසවමින් තුබූ සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් අප පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, දේශපාලන මණ්ඩලය තුළ පවා සැළකිය යුතු න්‍යායික මතභේද පැනනැඟී තිබිණ. මේ න්‍යායික මතභේද තුළින් ජනනය වූ නොමනාපයන් ද, සමහර ඉහළ වගකීම් දැරූ සහෝදරවරුන් අතර පවා වර්ධනය වෙමින් තිබිණ. එමෙන්ම 1983 වසරේ කිසියම් මිල්ටරි ස්වරූපයක් ප්‍රකට කළ පක්ෂයේ මැයි රැළිය හා පෙළපාලිය සම්බන්ධයෙන්, පක්ෂ අභ්‍යන්තරය තුළින්ම පල වූ අප්‍රසාදය නොහොත් විවේචනය ඒ වන විට පක්ෂය මතුපිටට පැමිණි තිබිණ.
යටිබිම්ගත ක්‍රියාකාරිත්වය.
එකිනෙකට බැඳී ගිය මෙබඳු කරුණු රැසක් හේතුවෙන්, මේ අනපේක්ෂිත පක්ෂ තහනම හා ඒ ආසන්න කාලයේ දී පක්ෂයේ කාඩර්වරුන් හා හිතවතුන් බොහෝ පිරිසක් එකවැර සංවිධානය හැර ගිය හ. පක්ෂයේ තෙවන යුගයේ දී, වගකීම් දැරූ සහෝදරවරුන් අතර සමීප හරස් සබඳකම් තදින් වාරණය කොට තිබිණ. එබැවින්, අතර මැද පුරුකක් ගැලවුනු කල, නැවත දම්වැලෙහි සබඳකම් ඇති කර ගැනීම පහසු ක්‍රියාවක් නොවිණ. අන්‍යොන්‍ය විශ්වාසය පිළිබඳව ද බරපතළ ගැටළු සහගත තත්වයන් මතු වී තිබිණ. පක්ෂයේ ඉතා ඉහළ වගකීම් දැරූ සමහර සහෝදරවරුන් එකවැරම නිෂ්ක්‍රීය වූ හ. හෙවත් නිහඬ වූ හ. ඉක්බිති පක්ෂය මත, ෆැසිස්ට් රජය විසින් එකවැර මුදාහළ සාහසික මර්දනය හමුවේ හෙළිදරව් වී සිටි සහෝදරවරුන් හට, පොලීසියේ විවිධාකාර අඬතෙට්ටම් හා ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමට සිදු විය. සැඟවී වැඩ කිරීමට තීරණය කළ සහෝදරවරුන් ගේ තත්වය වඩාත් බරපතළ විය.
විදෙස් ආධාර, වෙළඳ ව්‍යාපාර හෝ සැළකිය යුතු ජාත්‍යන්තර සබඳකම් කිසිත් නොතිබූ අප පක්ෂයේ පූර්ණකාලීන කාඩර්වරුන් යැපුනේ හිතවතුන් ගේ හා මහජනයා ගේ ආධාර මගිනි. පක්ෂ තහනමින් පසු මෙබඳු ආධාර සැපයූ හිතවතුන් සැළකිය යුතු ප්‍රමාණයක් ද පක්ෂයට අහිමි විය. එළඹ තිබූ අති දුෂ්කර තත්වයන් යටතේ, සංවිධානය නිසි පරිදි පවත්වා ගනු වස් ඇවැසි වූ පක්ෂයේ විනය, න්‍යායික කටයුතු හා අධ්‍යාපන කටයුතු වල ප්‍රමුඛතාවය ඉක්මවා, කාඩර්වරුන් ගේ ආරක්ෂාව හා සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු දහසක් වැඩ කටයුතු වල ප්‍රමුඛතාවය ඉදිරියට පැමිණියේ ය. එබැවින්, පක්ෂය මුහුණු දුන් මේ අති දුෂ්කර කාලය – එනම් 1983 ජූලි පක්ෂ තහනමේ සිට, 1989 අවසානයේ පක්ෂ සමූලඝාතනය දක්වා ගතව ගිය, වසර හය හමාරක් පමණ වූ අති දුෂ්කර හා බිහිසුණු කාලය, පක්ෂයේ සිව් වන යුගය ලෙස මවිසින් මෙහි ලා හඳුන්වනු කැමැත්තෙමි.
ගාල්ලේ සිට පේරාදෙනිය ඉංජිනේරු පීඨය දක්වා මගේ ගමන.
ගාල්ල මහින්දයේ දී හෝ, කොළඹ ජී.ටී.බණ්ඩාර ගේ රෝයල් ඉන්ස්ටිටියුට් ඇකඩමියේ දී හෝ උසස් පෙළ ගණිත විශයන් පිළිබඳ කිසිවක් ම ඉගෙනීමේ ප්‍රස්ථාවක් නොළත් මා හට – කිසියම් ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් යෙදවිය හැකි කාලයක් පැමිණියේ, 1983 මාර්තුවේ දී ය. ඒ වන විට මම පක්ෂයේ පරිධිය වෙත තල්ලු වී ගොස් සිටියෙමි. එතැන් සිට 1984 අගෝස්තු දක්වා ගතව ගිය වසරකුත් පස් මසක් පමණ වූ කාලය, මා සම්පූර්ණයෙන්ම යෙදවූයේ උසස් පෙළ විභාගයට අදාල විශය කරුණු හා ඒවායේ මූලික සිද්ධාන්ත තේරුම් බේරුම් කර ගැනීම වෙනුවෙනි. බාහිර නාම රූප ලෝකයේ අනිකුත් සියලුම චංචලනයන් සම්බන්ධයෙන් අසංවේදීව ගත කළ මේ කාලය තුළ දී – මට ඓශ්චර්‍යමත් ගුරුවරුන් තිදෙනෙකු මුණ ගැසිණ.
ඉද්‍රජාල මායාකරුවන් තිදෙනෙකු බඳු වූ මේ ගුරුවරුන්, සතියකට පැය තුනක් බැගින් වූ පුනරීක්ෂණ ටියුෂන් පංති තුළින් – මට උසස් පෙළ ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විශයන් හතරට අදාල සියළුම සිද්ධාන්ත උගන්වා, විශය කරුණු සියල්ල ද පුනරීන්ෂණය කොට, ඉක්බිති එළඹි උසස් පෙළ විභාගය සමත් කරවා – 1985 වසරේ අග භාගයේ දී, දුම්රියෙහි නංවා, ගාල්ලේ සිට පේරාදෙණියේ ඉංජිනේරු පීඨය බලා පිටත් කොට එවූ හ. කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව හා මගේ දෙමාපියන්ගෙන් ශතයකු දු අය නොකොට උසස් පෙළ විශය කරුණු වලට අදාල සියළු දෑ ඉතා කෙටි කලක් තුළ මට කියාදුන් මේ විශිෂ්ට ගුරුවරුන් නම් එවකට දිවයින පුරා සිසුන් දස දහස් ගණනකගේ සිත් ඇද බැඳ ගෙන දිවි මග හෙළි පෙහෙළි කර දීමට සමත් වූ ජනප්‍රිය ගුරුවරුන් තිදෙනෙකු වූ – සුමේධ උඩවත්තගේ, ටිලිණි ද සිල්වා හා සිසිල් සූරසේන යන විශය කරුණු ගැඹුරින් දත් ගරු කටයුතු ගුරුවරුන් තිදෙනා වේ.
(ඉතිරි කොටස ඉදිරියේදී පළවීමට නියමිතය)

නිශාන්ත ජයසූරියආරච්චි.