|

ජවිපෙ හැට වසරක ශේෂ පත්‍රය..!

-Ranjana Senanayake.

ඇත්තටම ජවිපෙ බිහිවූයේ ඔවුන් කියන පරිදි හෝ සිතන පරිදි, එසේත් නැත්නම් දීර්ඝ කාලයක් මමද සිතාසිටි පරිදි යම් ඓතිහාසික තත්වයක් යටතේ  හෝ පැවති යම් ඓතිහාසික හිඩසක් පිරවීමට හෝ යැයි යන අදහස මම දැන් කිසිසේත් විශ්වාස නොකරමි. කිසියම් ඓතිහාසික තත්වයක් මත බිහිවන්නාවූ  සමාජ ප්‍රපංචයක් එම පවතින සංදර්භයේ පවතින ඓතිහාසික සංඝඨක සමග යම් සමපාත බවක් පෙන්නුම් කල යුතුමය. එවිට මෙම ඓතිහාසික සංඝඨක සමග සමපාතවන ප්‍රපංචය ඓතිහාසික නියාමනයන් මතින් ඉදිරියට ඇදීම සිදුවේ. එවිට එය සමාජ සංවර්ධනයේ නියාමනයන් සමඟ එකට සිටගනිමින් පවතින ප්‍රතිවිරෝධතාවන් හට අභිමුඛවීම සිදුවිය යුතුය. එහෙත්, එසේ පිළිගැනීමට තරම් පොහොසත් ලෙස ඓතිහාසික තත්වයන් සමඟ ජවිපෙ සමපාතවීමක් හෝ එකී ප්‍රථිවිරෝධයන් හට නියමාකාරයේ අභිමුඛවීමක් (කම්කරුවා සහ ධනපතියා අතර ප්‍රතිවිරෝධතාව) සිදුවූ බවට දියුනු තර්කයන්ද මට දැකිය නොහැකිය. මට අනුව, එය ඇත්තෙන්ම බීහිවූයේම එක්තරා තක්කඩි ස්වරූපයකිනි. ජවිපෙ ඓතිහාසික කාර්‍යයක් ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා ඓතිහාසිකව  බිහිවීයයි කියන අයගෙන් මට ඇසීමට ඇත්තේ එම මහා ඓතිහාසික කාර්‍යභාරය කුමක්ද යන්නයි. එවිට ඔවුන්ගේ උත්තරයත් එදා රෝහණ  විජේවීරයන් දුන් උත්තරයත් වන්නේ, ලාංකීය සමාජවාදී “විප්ලවය” බිහිකිරීම එදා ජවිපෙට තිබූ ඓතිහාසික කාර්‍ය බවයි.

මනෝ විශ්ලේශනයට අනුව කෙනෙකුගේ ශරීරයට පිටින් ඇතිවන යම් තුවාලයක් බෙහෙත් දමා හෝ සනීප කරගතහැකි නමුදු කෙනෙකුගේ ශරීරයේ ඇතුලතින් මානසිකව ඇතිවන තුවාලයක් ලේසියෙන් සුවකල නොහැක. (අවශ්‍යනම් කෙනෙකුට ෆෙඩ්‍රිච් නීට්ෂේ පැහැදිලිකල Will to Power සඳහා මිනිස් විඥ්ඥානය තුල ඇතිකෙරෙන පෙළඹවීම් අනුසාරයෙන්ද මෙය විස්තර කලහැක) ක්‍රමයෙන් එම තුවාලය ඔහුව මෙහෙයවීමට පටන්ගනී. මේ ආකාරයටම රුසියාවේ ලෙනින්ටත්, ලංකාවේ රෝහණ විජේවීරයන්ටත් මෙසේ ශරීරයේ ඇතුලතින් හටගත් තුවාලයක් විය. තම ආදරණීය වැඩිමහල් සහෝදරයා වන ඇලෙක්සන්ඩර් හෙවත් “ශාෂා” තුන්වන ඇලෙක්සැන්ඩර් රජු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ මහමොලකරුවකු ලෙස ඔප්පුවීමෙන් සාෂාව 1887 දී එල්ලා මැරීම සහ ඉන් අනතුරුව මධ්‍යම පවුලක් වුනු උල්‍යානොව් පවුල මුහුන දුන් අතිශය අමිහිරි අත්දැකීම් සමුදායේ වේදනාව ගැඹුරු තුවාලයක් ලෙසින් ලෙනින් උල්‍යානොව් ගේ  17 හැවිරිදි හිතේ සුවකල නොහැකි  ලෙසින් තැම්පත්විය. සිය පුතණුවන් එල්ලා මැරීමට නියමවුනු පසු ඒ ගැන අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිම්බ්‍රිස්ක් (Simbirsk) සිට පෙට්‍රොග්‍රාඩ් බලා යාමට කිසිදු ට්‍රෑම් රථයක් උදව් කිරීමට හෝ ලෙනින්ගේ මවට ඒවා කුලියට ලබාගැනීමට හෝ නොහැකිවිය. එපමනක් නොව මධ්‍යම පාන්තිකයින් වුනු උල්‍යානොව් පවුලට ශාෂා  එල්ලා මැරීමෙන් පසුව සිම්බ්‍රිස්ක් (Simbirsk) නිවසේ වාසය කිරීමටත් නොහැකිවිය. ලෙනින්ගේ පියා 1886 දී මියයාමත්, සිය සහෝදරයා 1887 දී එල්ලා මැරීමත්, ලෙනින්ගේ බාල සොයුරිය “ඔල්ගා” 1891 දී මියයාමත් යොවුන් වියේ පසුවූ ලෙනින්හට විශාල මානසික කම්පනයක් වූවාට සැකනැත. මේ තුල ඔහුගේ “සාර්වාදය” වෙත තිබූ දැඩි වෛරය දෙගුණ තෙගුණ විය. ඒ අයුරින් සාර්ට එරෙහිව ලෙනින්ගේ හිතේ පෑරුනු තුවාලය සාර්වාදය රුසියාවෙන් තුරන්කිරීම දක්වාවූ මහා ආවේග බලයක් බවට  පත්විය. ඇත්තෙන්ම සාර් එලවීම ලෙනින්ගේ ආත්මමූලික කර්තව්‍යයක් බවට පත්විය. ඒ සඳහා ඔහුතුල මතුවූ අසනි බලය සමාජීය ගාමක බලයක් බවට පෙරලීමට ලෙනින් යොදාගත්තේ “සමාජවාදය” නැමැති නිෂ්පාදන මොඩලයයි. සමාජවාදය ඇතිකල හැක්කේ ධනවාදී නිශ්පාදන මොඩලය වඩාත් දියුනු මට්ටමකට එසැවීමෙන් ඒවායේ නිෂ්පාදන බලවේග ඒවායේ සැබෑ හිමිකරුවන් වෙත අත්පත් කරගැනීමෙන් පමණක් බව ලෙනින් සක්සුදක්සේ දැනසිටි නමුත් ඔහුගේ “සාර්” කෙරෙහි තිබූ දැඩි වෛරය තුලත්, ඔහු තුල ඇතිව තිබූ බරපතල “තුවාලය” හේතුවෙනුත් සාර් එළවීමේ යාන්ත්‍රණය ඇත්තේ “විප්ලවය” තුල බවත්, ධනේෂ්වර ප්‍රථිසංස්කරණ ක්‍රියාවට නැගීම කලහැක්කේද සමාජවාදී විප්ලවයෙන් පසුව බවත් සමාජගත කරමින්, “මාක්ස්-ලෙනින්වාදය” තුල තම අරමුණ හඹායන්නට විය. ඇත්තෙන්ම මෙය රුසියාව තුල විෂය මූල තත්වයන් වර්ධනය වීමක් නොව ලෙනින්ගේ ආත්මමූලික තත්වයේ බලපෑම බව කිවයුතුය. ලෙනින්ගේ සමකාලිකයින් වුනු මාටොව්ලා මෙන්ම ලෙනින්ට කලින් රුසියාවේ මාක්ස්වාදී සංකල්ප හදුන්වාදුන් ප්ලෙහනොව්, පාවෙල් ඇක්සෙල්රොඩ් ඇතුලු බොහෝ දෙනා ලෙනින්ගේ ප්‍රතිපත්ති ගැන විවේචනාත්මක සංවාදයක් ගෙනගියද එකල ලෙනින්ගේ වාග් මාලාවන් මෙන්ම සංවිධානමය හැකියාවන් ලංකාවේ රෝහණ විජේවීරගේ මෙන්ම ඉතා ප්‍රභල විය.

තවත් වැඳගත් කාරණයක් නම් විජේවීර ජනතා විමුක්ති පෙරමුන බිහිකිරීමේදී ඔහු පැවසූ සහ ඉන් අනතුරුව මාද ඇතුලු ඔහුගේ ගෝලබාලයන් තදින් විශ්වාස කල, සමහරු අදත් විශ්වාස කරන, ජවිපෙ බිහිවූයේම “ලාංකික සමාජවාදී විප්ලවය” නැමැති උත්තරීතර අරමුණ වෙනුවෙන් බව පැවසූ නමුත්, ජවිපෙ බිහිකරන 1965 කාලයේ ඊට අදාල දියුනු කම්කරු පංතියක් ලංකාව තුල නොසිටීමයි. එසේම කම්කරු පංතියක් නොසිටීම මෙන්ම එවන් කම්කරු පංතියක් බිහිවීමට ප්‍රාග්ධනය හසුරුවන ධනපති පංතියක්ද නොසිටීමයි. විජේවීරයන් මේ සඳහා ඊට පිළියම් ලෙස සම්භාව්‍ය මාක්ස්වාදය වෙනුවට “මාක්ස්-ලෙනින්වාදය” වෙත පල්ලම් බැසගිය අතර ලෙනින් විසින් “විප්ලවය” සඳහා ඉදිරිපත්කල ෂෝට් කට් එකවූ යටත් විජිතවල අධිරාජ්‍ය විරෝදී අරගල මාවත තෝරාගන්නා ලදී. මෙයතුල  යටත් විජිත අධිරාජ්‍ය විරෝධී අරගල ජයගැනීමට ඒවායේ දේශප්‍රේමී අරගලවල සරණයාමට ලංකාවේ පසුගාමී සමාජ වටපිටාව තකට තකසේ ගැලපුනි.ඒ අනුව, ලේ කකියවන සටන් පාඨ, මව් බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදීමේ වැඳගත්කම, මව්බිම නැත්නම් මරණය අපි දිනන්නෙමු, අධිරාජ්‍යවාදීන්ට විනාශය- ජනතාවට විමුක්තිය කැන්දන හැටි අතේ තියා පෙන්වීමට අතිදක්ෂයෙකු වුණු විජේවීර, ගම්වල සිටි රැකියා නොමැති තරුණයින්, සුළුගොවියන්, ශිෂ්‍යයින් ඇතුළු මාක්ස් දැඩිසේ අවධාරණය කල සුළුධනේශ්වර කොටස් මෙන්ම අනන්‍යතා අර්බුධ, පසුගාමී ලක්ෂණ සහ ආගමික මිත්‍යාවල ගිලී දුගීකරණයට ලක්වී සිටි ආන්තික කොටස් මේ “විමුක්තිය” ලැබීමේ දේශප්‍රේමී සටනට දුසිම් ගණනින් කැඳවාගෙන ඒමට අරගල දෙකකදීම මනාසේ සමත්විය.

image source-https://divaina.lk/wp-content/uploads/2024/05/estate-workers.jpg

අතිශය ග්‍රාම්‍ය චරිතයක්වූ විජේවීරයන්හට ගැමියන්ගේ ගැමි මානසිකත්වය වටහාගැනීමටත් ඔවුන්ට ඇමතීමට තිබූ අපූරු හැකියාවත් නිසාවෙන්ම විජේවීරට සුලු ධනේෂ්වර වේදනාවන් කරගසාගෙන යාමේ ප්‍රභල යාන්ත්‍රණයක් ලෙස ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් වීම පසෙකලා සුළු ධනේෂ්වර පක්ෂයක් ලෙසට රූපාංතරණය වීම එය ආරම්භයේසිටම යහමින් සිදුවිය. එසේම සුළුධනේශ්වර පක්ෂයක පවතින ඓන්ද්‍රීය ලක්ෂනයක් වුණු “ජාතිකවාදී” ආස්ථානයද ජවිපෙ මුල් බැසගත්තේ ජවිපෙ තිඹිරිගෙයිදීම වීම විශේෂ ලක්ශණයකි. විශේෂයෙන් මුල් වකවානුවේදීම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී න්‍යායන් වලින් ඉතාමත් පැහැදිලි අයුරින්ම පීළිපනින ලදී. ඉතා සැකෙවින් ඒවා ගැන සඳහනක් කරන්නේනම්, ලංකාවේ ජවිපෙ ඇරඹුනු කාලයේදීම රෝහණ විජේවීරයන් සිදුකල අතිශය බරපහල වරද්දාගැනීමක් නම්, ලංකාවේ කම්කරු පංතියක් ලෙස සැලකීමේදී අතහැරිය නොහැකිම කොට්ටාශයක් වන්නාවූත්, ඉන්දියන් සම්භවයකින් පැවතඑන්නාවූත් “වතුකම්කරුවන්” කෙරෙහි අනුගමනය කල අතිශය පිළිකුල් සහගත වර්ගවාදී ප්‍රථිපත්තියයි. රෝහණ විජේවීරගේම පැහැදිලි කිරීම වලට අනුව වතුකම්කරුවන් යනු “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඒජන්ත පිරිසකි”. “ කල්ලතෝනි ආක්‍රමණ සහ ඉන්දියානු සංස්කෘතික ආක්‍රමණය” තුලින් “ අපගේ මාතෘභූමිය ගිලගැනීමට දඟලන ඉන්දියානු ව්‍යාප්තවාදීන්”  බව ජවිපෙ මුල් කාලයේ පැහැදිලි කිරීම් වල දක්නට ලැබුණි. එදා මෙදා තුර ජවිපෙ පිළිබඳව ලියැවුනු අතිශයම වැඳගත් වියමන ලෙස මට නම්කිරීමට ඇත්තේ කීර්ති බාලසූරිය සහෝදරයා විසින් 1970 ගණන්වලදී ලියන ලද “ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලණය හා පංති ස්වභාවය” ග්‍රන්ථයයි. මා විකොස සාමාජිකයෙකු හෝ අනුගාමිකයෙකු නොවුනත්, එම වියමනේ ජවිපෙ සුළුධනේශ්වර ස්වභාවයත් එහි න්‍යායික පීලි පැනීමත් ඉතා කදිමට විස්තර කොට ඇතිබව කිවයුතුය. අනෙත් කාරණය නම්, විජේවීර විසින් ලාංකීය දේශපාලණ භූමියට හඳුන්වාදෙනු ලැබූ “නිර්ධන පංතිය” අතිශය ගැටළු සහගත වීමයි. ඔහුගේ මෙන්ම ජවිපෙ මූලික හැඳින්වීම් අනුව පීඩිත පංතියත්, නිර්ධන පංතියත්, වැඩකරන ජනතාවත් යනමේ සියළු කොටස් එක කොටසක් ලෙස ජවිපෙ භාවිතාවෙන් සලකනු ලැබීය. ඒ අනුව අද දවස දක්වාම ජවිපෙ විසින් මේ පීඩිත පංතිය යනුවෙන් සලකා දේශපාලනය කරන ලද්දේ ඔවුන් “කම්කරු පංතිය” ලෙස සලකා දේශපාලණය කිරීමයි. ජවිපෙන් ඛංඩනය වූ වාමාංශික කංඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයද දේශපාලනය කරන්නේ මේ පීඩිත පංතිය සමඟය. එහෙත් මාක්ස්ගේ ඉගැන්වීම් අනුවනම් විප්ලවීය පංතිය යනු අතිරික්ත වටිනාකම් නිපදවන පංතිය පමණකි. ඔවුන් විප්ලවීය පංතිය වන්නේම අතිරික්ත වටිනාකම් උද්දරණය කිරීම මගින් ප්‍රාග්ධනයට ගැටගැහෙන නිසාමය. අනෙත් අතට මේ ප්‍රාග්ධනය අත්පත් කොටගැනීම  නිශ්පාදන බලවේග වල හිමිකාරිත්වය අත්පත්කරගැනීම මගින් සිදුකිරීමේ හැකියාව ඇත්තේත්ද මෙම අතිරික්ත වටිනාකම් නිපදවන විප්ලවකාරී කම්කරු පංතියට පමණි. නමුත් ජවිපෙ භාවිතාවට අනුව ඔවුන් දේශපාලණය කරන්නේ පීඩිත පංතිය සමඟය. නමුත් පීඩිත පංතිය ලෙස ලංකාවේ ගැනෙන්නේ රැකියා නොමැතිව සිටින, එදිනෙදා දිවි රැකගැනීමට කුමක් හෝ කරන, සමෘද්ධි හෝ අස්වැසුම ලබන ආන්තික කොටස්වේ. මේ කොටස් කිසිම අයුරකින් විප්ලවවාදී කම්කරු පංතියට ගැනෙන්නේ නැත. අනිත් කොටස් වන්නේ සුළු ගොවීන් සහ ශිෂ්‍යයන්‍ ය. මේ ශිෂ්‍ය ප්‍රජාව යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභලම ආයුධයයි. සුළු ගොවීන් අනිත් ප්‍රභල ආයුධයයි. මේවා එහෙට මෙහෙට කරකවමින් පාලන බලයේ සිටින පාර්ශ්වයන්ගෙන් “ගේම” ඉල්ලීම ජවිපෙ දේශ්පාලණය ලෙස එහි උප්පත්තියේ සිටම දැකිය හැකි සුලභ දසුන් වේ. ඉතිං ජවිපෙ න්‍යායාත්මකව ගත්විටද විප්ලවකාරී  පක්ෂයක් නොවේ. එය මාක්ස් පැහැදිලි කල අයුරින් කියන්නේ නම් ඉතා පැහැදිලිවම  සුළු ධනේෂ්වර පක්ෂයකි. සුළු ධනේෂ්වර පක්ෂයකට ඉතා පහසුවෙන් වෙස් මාරුකරගැනීමට පුළුවන. අද බලය හොඹවන ජනතා විමුක්ති පෙරමුණේ ගමන්මග ගත්විට එය ඉතාමත්ම පැහැදිලිවන කාරණයකි.

තවත් කාරණයක් නම් ජවිපෙ එදා-මෙදා තුර වසර 60 ක න්‍යාය පත්‍රය තුලදී, ඒ තුලින් කිසිදු චින්තකයෙකු බිහිනොවීමයි. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂයක් යනුම “දැනුම” ගෙනඑන ඒවා විශ්ලේශනය කරන ඉදිරි දර්ශනයන් ජනතාව හමුවේ තබන කංඩායම් වේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ යනු එසේ දැණුම ගෙන එන හෝ ඒවා විශ්ලේෂණය කලහැකි චින්තනයක් සහිත පුද්ගලයන් සිටින පක්ෂයක් නම් නොවේ. එහි සිටින්නේ ඉහල නායකයින් කියන ඕනෑම දෙයක් පිලිපඳින සහ ඒවා හිස් මුදුනින් අනුගමණය කරන පිරිසකි. එසේම නායකයින් වරද්දාගන්නා ඕනෑම දෙයක් උනද නිවැරදියැයි කියමින් ඒවා සාධාරණීය කරන දේශපාලණ දැනුමෙන් ඉතාම දිළිඳු කංඩායමකි. ඒ බව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පැමිනීමෙන් පසු මනාව පැහැදිලිවේ. ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික කංඩායම් අද දැනුම ගන්නේ විවිධ ටෙලිවිශන් නාලිකාවල විකාශණය වන වාද-විවාද වලට සවන්දීමෙන් පමණි. ඒ අනුව අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික පක්ෂවල මතවාද වෙනස්කිරීමටත් අලුත් මතවාද ඇතුල් කිරීමටත් මේ විවිධ ටෙලිවිශන් නාලිකාවලට සහ සමාජ මධ්‍යවලට හැකිවී ඇත. අද ජවිපෙ කිසිම නායකයෙකු හෝ සාමාජිකයෙකු දේශපාලන දාර්ශනික හෝ න්‍යායාත්මක පොත් කියවීමක් නොකරයි. එසේ කියවීමට ඔවුනට වැයකිරීමට වෙලාවක් හෝ නොමැත. ඔවුන් බොහෝ දෙනෙක් කියවා ඇත්නම් එසේ කියවා ඇත්තේද සිංහලෙන් ලියනලද බෝල්ශෙවික් පක්ෂයේ වෙලුම්ටික පමණි. ඒ හැරෙන්නට මාක්ස්ගේ ආර්ථික විද්‍යාවට අයත් ප්‍රාග්ධනය හෝ කිසිදු මූලික පොතක් කියවා නොමැත. ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට සමත් අය ජනතා විමුක්ති පෙරමුණේ හෝ වාමාංශික කොටස්වල අද ඇත්තේම නැත. වාමාංශික පක්ෂවලින් එදා බිහිවූ මහාචාර්‍ය සුචරිත ගම්ලත්, පියසීලී විජේසිංහ, ආචාර්‍ය නිව්ටන් ගුණසිංහ, රොබට් ගුනවර්ධන, ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැනි චින්තකයින් අද කොහෙත්ම බිහිනොවේ. අනිත් විශේෂ ලක්ශණය නම්, බොහෝ නිදහස් චින්තකයින් බිහිඋනේම ජවිපෙන් ඉවත්වී ඔවුනොවුන් වෙනම හදෑරීම් ඇරඹූ කල්හිය. මහාචාර්‍ය උයන්ගොඩ, වික්ටර් අයිවන්, ආචාර්‍ය ලයනල් බෝපගේ වැනි චින්තකයින් බිහි උනේම ඔවුන් ජවිපෙන් ඉවත්වී පසුකාලයේදී සිදුකල හදෑරීම් වල ප්‍රථිපලයක් ලෙසය. ඇත්තෙන්ම අද ලංකාවේත් බොහෝ රටවලත් ජවිපෙන් ඉවත්වී සිටින නිදහස් මතධාරීන් සැලකිය යුතු පිරිසක් පොත්පත් ලියමින් විශාල සාහිත්‍යමය සහ දේශපාලණ ලේඛණයන් වලට අතගසමින් සිටී. ඔවුන් බොහෝදෙනෙක් ජවිපෙ තුල අදවෙනකම් රැදීසිටියානම් ඔවුන්ගේ මෙම දක්ෂතා මතුවීමට අවකාශයක් ඒ තුල තිබේයැයි මම කිසිවිටෙක විශ්වාස නොකරමි.

ලාංකීය දේශපාලන භූමිය තුල ජවිපෙ භූමිකාව කිසිවෙකුටවත් අවතක්සේරු කලනොහැක. ඔවුන් බලයට නොපැමිණි කාලවලදීද මතවාදය හසිරවීම් සිදුකිරීම අතින් ඔවුන් පෙරමුනේම සිටීම ඊට හේතුවයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ බලයට ඒමට පෙරදී සිදුකල තවත් විශාල වැරැද්දක් නම්, බලයේ සිටින ආන්ඩුපක්ෂවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇතිකල මතවාදීමය සහ භූමියේ මතුකල ප්‍රථිවිරෝධතාවයි. ජවිපෙ එයින් මූලිකවම අරමුණු කලේ රටතුල ඇතිකල ධනේශ්වර ප්‍රථිසංස්කරණ ඇතිකිරීමට බාධා සිදුකිරීමයි. ඔවුන් එම ප්‍රතිසංස්කරණ දුටුවේම මව්බිම අධිරාජ්‍යවාදයට බිලිදීමක් ලෙසිනි. ඉන්දීය ව්‍යාප්තවාදයද ඔවුන් ඇතිකල තවත් ඉතාම අහිතකර මනෝභාවයකි. පෞද්ගලීකරණයට ඉඩනොදී, ප්‍රාග්ධනයට පිටින් ඒමට ඉඩ නොදී රාජ්‍ය ශුභසාධනවාදයකම පවත්වාගෙනයාමට බලකිරීම සහ ඒ සඳහා ජනවිඥ්ඥානය සකස් කිරීම ජවිපෙ විසින් ඔවුන් බලයට එනතුරුම නොකඩවා රටතුල ගෙනගිය ව්‍යාපෘතියයි. දෛවයේ සරදමකට මෙන් ඔවුන් බලයට පමිණි පසු ඔවුන්ගේ දේශපාලණ ගමන අංශක 180 කින් හැරවීමට ඔවුනට අද සිදුවීඇත. තමන් සිටින්නේ ධනේශ්වර පර්‍යායේ බවත්, භූ දේශපාලණය කැරකෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ධනේශ්වර කඳවුරේ අක්ශය වටා බවත්, ඊට පරිබාහිරව කලාපීය බලවතා වන ඉන්දියාවේ සහයෝගය නොමතිව ලංකාවට ඉදිරි ගමනක් නොමැති බවත් ඔවුනට අවබෝධවූයේ ජනපති ලෙස දිවුරුම් දී ඇමති මංඩලයත් පත්වූ විටය. නින්දෙන් අහැරුනාක් මෙන් දැන් ඉන්දියාව කියන ඕනෑම ගිවිසුමකට එලබීමටත්, IMF යෝජනා කරන ඕනෑම යෝජනාවකට හිස නැමීමටත් එකඟවී ඇත්තේ එබැවිනි.

image source-https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/d523/live/70c49c40-bb91-11ef-a2ca-e99d0c9a24e3.jpg.webp

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *