ජ.වි.පෙ. 60′ විය ; වාමාංශිකද ? මාක්ස්වාදීද ?

ජ.වි.පෙ. සිය 60 වන උපන්දිනය පසුගිය මැයි 14 දින සැමරුවා. රෝහණ විජේවීර විසින් පිහිටුවා ලාංකීය දේශපාලන පොලොවේ පැල කරනු ලැබූ ජ.වි.පෙ. 1971 දීත් 1987-1989 දීත් කැරලි දෙකකට නායකත්වය දෙනවා. 1971 දී අඩු අලාභහානි සහිතව පරාජය වුවත් 89′ දී ඔවුන් පරාජය වන්නේ විශාල විනාශයක් සහිතවයි. සෝමවංශ අමරසිංහ හැරුණු විට මුලු දේශපාලන මණ්ඩලයම(PB)89′ දී විනාශ වෙනවා. මධ්‍යම කාරක සභාවද(CC)ඉන් ගැලවෙන්නේ නැහැ. ඔවුන් නැවත 1994 වනවිට මූලික ප්‍රතිසංවිධාන කටයුතු කරගන්නවා. නන්දන ගුණතිලක, කමල් දේශප්‍රිය(සෙනෙවි), කුමාර් ගුණරත්නම් ඇතුළු කුඩා කණ්ඩායමක් සෝමවංශ අමරසිංහ හා සම්බන්ධතා ගොඩනගා නැවත පක්ෂය නගා සිටුවනවා. අද ඔවුන් අතරින් සෝමවංශ හා සෙනෙවි මියගොස් සිටින අතරතුර නන්දන එ.ජා.ප යේත්, කුමාර් පෙ.ස.පෙ.ත් සිටිනවා.
above image source-https://deranaarunalk.s3.amazonaws.com/wp-content/uploads/2019/07/06105746/jvp-sl.png
බොහෝ දෙනෙකුට අනුව ජ.වි.පෙ.වාමාංශික ව්‍යාපාරයක් ලෙස හදුනාගත්තද එය එසේ වන්නේ නැහැ. 1789 දී ප්‍රංශ විප්ලවයට පෙර දහසයවෙනි ලුවී රජු විසින් රැස් කරන ලද “එස්ටේට් ජෙනරාල්” වශයෙන් නම් කල පාර්ලිමේන්තුවේ අසුන් පනවා තිබුනේ පංතීන් වශයෙනු යි. එහිදී රදළවරුන් හා පූජකයින් එම මන්ත්‍රණ සභාවේ දකුණු පසත්, පොදුජන නියෝජිතයන්(පීඩිත පංතිය) එහි වම්පසත් අසුන් ගත්තා. ඒ අනුව වාමාංශිකයන් ලෙස හැදින්වූවේ මේ වම්පස අසුන්ගැනීම හරහා සිදුවූ පංතිමය පෙනී සිටීමයි. එය මාක්ස්වාදී ව්‍යාපාර වලට ද පොදු වූවේ හා එහිද භාවිතා වූවේ මේ “වමේ” අසුන් ගැනීම සංඛේත වීමෙනුයි. මෙහිදී ජ.වි.පෙ.වාමාංශික නොවන්නේත් මේ අරුතින්මයි. ඔවුන් පීඩිතයින් සංවිධානය කිරීමට වඩා ශිෂ්‍යයන් සංවිධානය කිරීමටත්, ග්‍රාමීය පහල මැද පංතිය සංවිධානය කිරීමටත් දක්ෂ වූවා. කීර්ති බාලසූරිය නිවැරදිව ජ.වි.පෙ. පංති පසුබිම පිළිබඳ කරන නිර්වචනය හරහා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබිය හැකියි.
ඊළග ගැටලුව ඔවුන් මාක්ස්වාදීන්ද යන්න යි. මාක්ස්වාදයට අනුව බලය ලබාගන්නා පක්ෂයක් සංවිධානය කලයුත්තේ කම්කරු පංතියයි. මාක්ස්ගේ අර්ථයට අනුව සිය ශ්‍රමය හැර වෙන කිසිවක් විකිණීමට නොමැති පංතිය කම්කරුවන් ලෙස හදුන්වනවා. ලංකාවේ විශාල ෆැක්ටරි ඉදි නොවීමත්, පැවති කුටුම්බ සංරක්ෂන ආර්ථික රටාවත් නිසා මෙවැනි කම්කරු පංතියක් මාක්ස්ගේ අර්ථයෙන් ලංකාවේ බිහිවී නැහැ. අනිත් අතට මාක්ස් ආර්ථික විද්‍යාඥයෙකු හැටියට විනා දෘෂ්ටිවාදය(ධනවාදය තුළ පංති පසමිතුරුතාවය වසා දමන අදහස් පද්ධතිය) විචාරය කරන්නෙකු ලෙස නොගැනීමත් හා මාක්ස් පිළිබඳව සංකීර්ණ ලෙස කියවීමක් නොකිරීමත් හරහා ජ.වි.පෙ. මාක්ස්වාදී වන්නේද නැහැ. මාක්ස්ගේ හෝ ලෙනින්ගේ ජායාරූප මැයි පෙළපාලි වල ගෙන ගියද, ඒවා පක්ෂ කාර්‍යාලය තුළ ප්‍රදර්ශනය කලද ඔවුන් මාක්ස්වාදීන් නොවෙයි. දෙමළ පීඩිත ජනතාවගේ විමුක්ති අරගලය සමූල ඝාතනය කිරීමට රාජපක්ෂ රෙජීමය වෙත බරතබා ක්‍රියාකිරීම හරහා ජ.වි.පෙ.පංතිය පිළිබඳව අරගලය ජාතිය වෙත ඌනනය කල වහාම ඔවුන් තවදුරටත් මාක්ස්වාදීන් වන්නේත් නැහැ.

එසේනම් ජ වි.පෙ. හැඩය කුමක්ද? කීර්ති බාලසූරියගේ අදහස දිගේ ගමන් කලවිට අපිට එහි මූලික පරමාණුව ලෙස හමුවන්නේ “ශිෂ්‍ය මනසක්”වීම අහම්බයක් නොවෙයි. ජ.වි.පෙ.මධ්‍යම කාරක සභාවට හෝ එහි දේශපාලන මණ්ඩලයට හෝ අවධානය යොමුකලවිට අපිට හමුවන්නේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය දේශපාලනය හරහා ඉහලට පැමිණි බල ව්‍යුහයක් විනා බ්මේ දේශපාලනය කරනු ලැබ ඉහලට ගමන් කල බල ව්‍යුහයක් නෙමෙයි. මේ ශිෂ්‍ය මනස යනු පහළ පංතියෙන් පැමිණ, අධ්‍යාපන ඉනිමගේ ඉහලට නැගගත් උන්නතිකාමී පංතියක් විනා වෙනත් දෙයක් නෙමෙයි.
මේ උන්නතිකාමී අදහස රාජ්‍ය වෙත ප්‍රහාරාත්මකව ගමන් කිරීමේදී එය ශ්‍රමය ලෙස සලකුණු කලහොත් රජයේ රැකියාම ඉල්ලා සිටීමේ නිලයද අපිට හමුවෙනවා. ඉන් අදහස් වන්නේ ජ.වි.පෙ.විසින් සංවිධානය කරන ශ්‍රමය යනු රාජ්‍ය සිය අනෙකා කරගන්නවා විනා ප්‍රාග්ධනය නොසලකා හරිනු බවයි. ඉහත අදහස තවදුරටත් විදාරණය කරන්නේ නම් මේ ශිෂ්‍ය මනසේ ඇති උන්නතිකාමය සඵල කරගනු හැක්කේ රාජ්‍ය වෙත රිංගා ගැනීමෙන් ලකුණු වෙන “පිළිගැනීම” වටා බව ඔබට පැහැදිලි විය යුතුයි. රාජ්‍ය සේවය තුළ සාමාන්‍ය ජනයා පීඩාවට පත්කිරීම හරහා ලැබෙන මේ පිළිගැනීම යනු කිසිදා තමන්ට අතීතයේ නොතිබූ දෙයක් වනවා සේම ලබාගැනීමට බලාපොරොත්තු වූ දේද වෙනවා. ඒ අනුව ජ.වි.පෙ.ආණ්ඩුවක් තුළ පවා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්‍ය, ආචාර්‍ය, ගුරු, නීතිඥ වැනි වෘත්තීන් කෙරෙහි දක්වන වන්දනාව අපිට තේරුම් ගත හැකියි.

above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQRA7XDT0Hq8DEWgNf8dwK39APWjCvN_6kwuw&s
මේ ශිෂ්‍ය මනස දේශපාලනය තුළ කරනු ලැබූ විශාලම විකෘතිය නම් ශ්‍රමයේ පසමිතුරු අක්ෂය ප්‍රාග්ධනයෙන් රාජ්‍යය වෙත විතැන් කිරීමයි. අතීතයේ සෑම මොහොතකම රාජ්‍ය මත පරායත්ත සුරක්ෂිත රැකියා සදහා වන ඔවුන්ගේ අරගලයත්, රාජ්‍යය වෙත ගලා එන ප්‍රාග්ධනයට විරුද්ධ වීමත් එහිදී කියවා ගැනීමට පුලුවන්. මාක්ස් පවා පූර්ව-ධනවාදයට වඩා ධනවාදය උසස් කොට සැලකූවේ ධනවාදී ව්‍යාපෘතිය හරහා පැමිණෙන මනුෂ්‍ය සම්බන්ධතා ක්ෂ්‍රේත්‍රයේ වෙන විප්ලවය අනුමත කල නිසා විනා පැරනි අගතීන් හා පැටලී සිටීම අනුමත කල නිසා නොවේ.
ශ්‍රමය-හා ප්‍රාග්ධනය අතර ඇති පසමිතුරුතාව වෙනුවට ශ්‍රමය-හා රාජ්‍යය අතර ඇති පසමිතුරුතාවයන් මතුකිරීම හරහා ජ.වි.පෙ. ලංකාවට අහිමි කලේ පීඩිතයින්, ශිෂ්ඨ හා විනයගත වීමේ ධනවාදී ආකෘතියයි. සෑම ස්ථානයකම පැතිර ඇති අශිෂ්ඨත්වයත්, අපිලිවෙලත්, විනයගත නොවූ ශ්‍රමයත් කියාපාන්නේ බලය ලබාගත්තද සමකාලීන ලංකාව වැටී ඇති ස්ථානයයි. ක්ලීන් ශ්‍රී ලංකා වැනි උඩින් පල්ලෙන් ගැටලු අතපතගාන වැඩසටහනක් නොව ලංකාවේ ඇත්ත ප්‍රශ්න වලට ජ.වි.පෙ.මුහුණ දෙනවානම් කල යුත්තේ ප්‍රාග්ධනය ලාංකීය ශ්‍රමයට අභිමුඛ කිරීමයි. උත්කර්ශවත් කල පසමිතුරුතා කලාපය විතැන් කිරීමයි.ඒ සදහා න්‍යායික අවබෝධය ලැබීමයි. ශිෂ්‍ය මනසක් එහි ආකෘතියෙන් මුදවාගැනීම 60′ වන උපන්දිනය සමරණ ජ.වි.පෙ.වෙත අභ්‍යන්තරිකව ඇති ප්‍රතිවිරෝධයයි.
