ලුවී අල්තුසර් සහ දෘෂ්ඨීවාදය..!

ලුවී අල්තුසර් කියන්නෙ වැඳගත් ප්‍රවාද ගණනාවක් එකතුකල වාමාංශික කඳවුර තුලින් සිය දේශපාලණය ආරම්භ කරපු, දෘෂ්ඨිවාදය පිළිබඳව කාල් මාක්ස්ට පසුව වඩාත් දියුනු කථිකාවක් ඉදිරිපත්කල ප්‍රංශ දාර්ශනිකයෙක්. ඇත්තෙන්ම 1847 දී පමණ, ඒ කියන්නෙ 29 හැවිරිදි විතර හිටපු කාල් මාක්ස් ඉදිරිපත් කරපු “ජර්මන් දෘෂ්ඨිවාදය” හරහාත් ඔහු “දෘෂ්ඨීවාදය” සම්බන්ධව ගොඩනැගූ ප්‍රවාදය වඩාත් පුළුල් තලයකට ගෙනඑමින් දෘෂ්ඨිවාදය විග්‍රහ කල ඉතාම දියුණු චින්තකයෙක් ලෙසද ලුවී අල්තුසර් සැලකිල්ලට ගන්නත් පුලුවනි.

ලුවී අල්තුසර්ගේ වතගොත.

ප්‍රංශයට පාලණය යටතේ තිබ්බ ඇල්ජීරියාවේදී 1918 දී ඉපදුණු ල ලුවී අල්තූසර් 1990  දී මියයනවිට වයස 72 කි. ඔහු ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයෙත් සාමාජිකයෙක්ව හිටපු බුද්ධිමතෙකු සහ චින්තකයෙකු වෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශ හමුදාවට බැඳී ජර්මනියට විරුද්ධව යුද්ධයට එක්වුණු නිසා  ප්‍රංශය ජර්මනියට යටත් වෙනකොට ලුවී අල්තුසර්ද යුධ සිරකරුවෙකු හැටියට වසර පහක් ජර්මනියේ නාසි කඳවුරුවල සිරබත් කෑවා. ඇත්තටම ලුවී අල්තුසර් එයාගෙ අධ්‍යාපනික කටයුතු ඉදිරියට ගෙනයන්නේ 1945 න් පසු සිරකඳවුරෙන් එළියට පැමිණියාට පස්සෙ.

තව වැඳගත් කාරණයක් තමා ඔහු එක් වකවාණුවක ක්‍රිස්තියානි ආගමටත් ක්‍රිස්තියානි ධර්මයටත් වඩාත් ඇළුම්කල ඒවගේම එම ධර්මය ගැඹුරින් හැදෑරූ කෙනෙකු වීම. තවත් අල්තූසර්ගැන කියන්න තියෙන අවාසනාවන්ත කරුණක් තමයි එයාට දිගින් දිගටම තිබුණු මානසික අසනීපය. ඒක හඳුන්වන්නේ (Manic-Depressive Psychosis) කියලා. 

අල්තුසර්ගේ ඉතිහාස වතගොත පසෙක තබා ඔහු හඳුන්වාදුන් ප්‍රවාද පිළිබඳව මෙතැන්සිට සාකච්චා කරබලමු.

ලුවී අල්තුසර් යුරෝපයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ මාක්ස්ගේ දෘෂ්ඨිවාදය ඉදිරියට විග්‍රහ කරපු දාර්ශණිකයෙක් හැටියටත් වඩා ඔහු   පෙන්වලාදීපු මේ නිෂ්පාදන මෝඩ් එක (Mode of Production) එක හැඩ්ල් කරණ පාලක හෙජමොනිය කොහොමද දෘෂ්ඨිවාදය මගින් සහ බලපෑම් මගින්. ISA-(Ideological State Apparatus) සහ RSA-(Repressive State Apparatus).

අපි දැන් මේ ඉහලින් දක්වපු RSA සහ ISA විස්තර කරන්න කලින් දෘෂ්ඨිවාදය ගැන ලුවී අල්තුසර් ගෙනාපු අදහස් විමසලා බලමු.

එකක් තමයි ලුවී අල්තුසර් කිව්වේ දෘෂ්ඨිවාදය ගැන, මේ දෘෂ්ඨිවාදය නියෝජනය කරනවා කියලා තම තමන්ගේ පැවැත්මට අදාල කොන්දේසිවල Relationship එකක් විදියට. එතකොට මේ දෘෂ්ඨිවාදය කියන්නේ මොකක්ද?

දෘෂ්ඨිවාදය යනු කුමක්ද?

එක අතකින් කියන්න පුලුවනි දෘෂ්ඨිවාදයක් කියන්නෙ තනි පුද්ගලයෙකුගේ හෝ යම් සමූහයක විශ්වාස කරන හෝ පිලිපදින අදහස් පද්ධතියක් කියලා නිකම් සරලව. හැබැයි මේ කියන  දෘෂ්ඨිවාදය ඒ කියන තරම් සරල නෑ. අපි තව බලමු, මේක මොකක්ද කියලා. තව විදියකින් කියන්න පුලුවනි දෘෂ්ඨිවාදය කියන්නෙ අපි යමෙක් විශ්වාස කරන හෝ සිතන හෝ මවාගන්නා ආකාරයක් කියලා. එතකොට හිතෙයි ඉතිං ඔය කියන “දෘෂ්ඨිවාදය” මහ ලොකු කේස්  එකක් නෙවෙයිනෙ කියලා. ඔන්න ඔතනදි තමයි අපට ලුවී අල්තුසර් ඉතාම වැඳගත් වෙන්නේ. ඔහු පෙන්වලා දුන්නා මෙතනදි කල්චරල් ප්‍රැක්ටිස් එක ඇවිල්ලා අනිවාර්‍යයෙන්ම “බලය” ප්‍රැක්ටිස් කිරීමක් මයි කියලා.

මේක Raymond William වගේ චින්තකයොත් පෙන්වලා දුන්නා. ඔතනදි අල්තුසර් කිව්වෙ, කල්චර් එක කියන්නෙ බොහෝ වෙලාවට චිත්‍රපටිවලදී හෝ වේවා, ටීවී සීරීස්වලදී හෝ වේවා, ක්‍රීඩාවලදී හෝ වේවා ඒවා ක්‍රියාත්මක වීමේදී විනෝදාත්මක හෝ අධ්‍යාපනයක්, ආශ්වාදයක් ගෙනදෙන දේවල් උනාට ඒවාට යටින් ඇත්තටම තියෙන්නේ එක්තරා නිශ්චිත thinking පැටර්න් එකක් කියලා. ඔතනදි ඉතාලි ජාතික චින්තකයෙක් උන සහ ඒ වකවාණු ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වරයා ලෙස සිටි අන්තෝනියෝ ග්‍රාම්ස්චි පෙන්වලා දුන්නෙ, මේ දෘෂ්ඨිවාදය කාවැදිලා නැත්නම් කාවද්දලා තියෙනවා කියලා මේ අපට උගන්වන නීතිවල වගේම සිරිත් විරිත් වල ඇතුලු කල්චර්ස් වල.

අන්තෝනියෝ ග්‍රාම්ස්චි.

එතකොට ඒවා පිළිපදින කෙනා ඉතාම පහසුවෙන් මේ ඒවාට යටින් තියෙන දේවල් අනුව තමන්ගේ Way of Thinking නැත්නම් තමන්ගේ තින්කින් පැටර්න් එක හදාගන්නවා කියලා. ඇත්තටම ලුවී අල්තුසර්ට මේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි සහ ලැකාන් වගේ අයගේ ආභාශය තිබුනා. අන්තෝනියෝ ග්‍රාම්ස්චි එයාගෙ “Prison Notebook” පොතේ පෙන්වලා දෙනවා පාලක හෙජමොනිය කොහොමද ඒත්තු ගන්වන්නෙ කියලා පහල පංතිවලට “ මේ වේගන යන විදිහ තමයි තියෙන්න ඕන හොඳම විදිහ කියලා” ( The Way Things Are, is The Way Things Should Be” කියලා. විශේෂයෙන් වෙමින් තියෙන විදියට සමාජය අකමැති විටදි පවා.

“The Ideology does not portray the real world but paints the imaginary relationship of individuals to the actual world”-Louis Althusser.

ISA සහ RSA.

දැන් අපි බලමු අල්තුසර්ගේ ISA සහ RSA කියන ප්‍රවාදයන්. අල්තුසර් කිව්වේ බටහිර ධනවාදී පාලන සිස්ටම් එක සූරාකෑම දිගටම කරගෙන යාම අවහිරයකින් තොරව කරගෙන යාම සඳහා අනුගමනය කරන ක්‍රම දෙකක් ලෙසයි RSA සහ ISA.

Ideological State Apparatus

ISA (Ideological State Apparatus)  කියන්නේ පාලක පංතිය විසින් ‍රාජ්‍ය මැදිහත්වී යම් දෘෂ්ඨිවාදයන් මගින් පහල පංතීන් පාලනයකොට පවත්වාගෙන යාම. මේ අයිඩියලොජිකල් ස්ටේට් ඇපරටස් වල නැත්නම් ISA තුල අන්තර්ගත වෙනවා අධ්‍යාපණික ආයතන, මාධ්‍ය නැත්නම් මීඩියා, ආගම් සහ ආගමික ආයතන අයත්වන බව අල්තුසර් පෙන්වා දෙනවා. මෙතනදි ඔහු කිව්වේ, මේ ඉහත ආයතන තනි තනි පුද්ගලයින්ට සහ කන්ඩායම් වලට උනන්දු කරනවා කියලා එක්තරා ආකාරයකට කල්පනාකිරීමටත් එක්තරා ආකාරයකට විශ්වාස කිරීමටත්. හැබැයි මේ කල්පනා කරන සහ විශ්වාස කරන ආකාරය කෙලින්ම පාලක සෙට් එකේ ගමන කරදරයකින් තොරව යාමට උපකාරීවන විදියක් තමයි හැමවිටම වෙන්නෙ.

අල්තූසර් කියන කාරණය තවත් ලේසිවෙන්න මෙහෙම කියන්නම්. ඊට කලින් මාක්ස් වගේම ග්‍රාම්ස්චි මෙන්ම ලුවී අල්තුසර් පෙන්වපු දෙයක් තමයි කෙනෙක්ව පාලණය කිරීමටනම් ඔහු දරන හෝ විශ්වාස කරන අදහස් පාළනය කිරීම තමයි කලයුත්තේ කියන එක. ඒ අනුව ඔබට ජනතාව පාලණය කිරීමට නම්, ඔවුන් විශ්වාස කරන අදහස් පාලණය කිරීමයි ඉතාම පහසු.

There is no “Subject of Science” except in an ‘Ideology of Science” and Man is an ideological animal by nature-Louis Althusser.

දෘෂ්ඨිවාදයන් ක්‍රියාත්මක වන ආකාරය.

දැන් පොඩි උදාහරණයක් ගත්තොත්, ජනතාව තුල විශ්වාසයක් ඇතිකරනවා මේ සියලුම අර්බුධ වලට හේතුව හිටපු පාලකයින් ගසාකාපු එක කියලා. එතකොට ඒක තදින් ජනතාව  විශ්වාස කරන තැනකට ගෙනාවාම ඊලඟට හොරු අල්ලනකොට ජනතාව ඉතාම කැමැත්තෙන් එයට එකඟ වෙනවා. එතකොට ජනතාවට කන්න නැතත්, බොන්න නැතත්, පඩි වැඩි උනේ නැතත්, මොන පහසුකම් කප්පාදු කලත් “හොරු අල්ලන” සීන් එකදිහා ආශාවෙන් බලා ඉන්නවා.

තවත් උදාහරණයක් ගත්තොත් අපිට යුද්ධෙ කාලෙ පාලකයො කිය කියා අපේ ඔළුවලට කාවද්දපු අදහස තමයි, ප්‍රභාකරන් නිසා තමයි අපේ රටේ ආර්ථිකයට මෙච්චර ප්‍රශ්න  වෙලා තියෙන්නෙ. රට දියුණු කරන්න බැරි මේ  උතුරේ  ත්‍රස්තවාදීන් නිසා. ඕක ජනතාව ඉතාම තදින් විශ්වාශ කලා. හැබැයි ප්‍රභාකරන් ඉවරකරාම රට දියුනු උනාද? නෑ. ඒ වෙනුවට රට විශාල ආර්ථික අර්බුධයකට ගමන් කලා. හැබැයි පාලකයී මේ කථා මගින් ජනතාව ඉතාම හොඳින් මේ පාලකයින්ට කැමැත්තෙන් එයාලවම පත්කරගෙන විශ්වාස කලා එයාල කියපු සේරම. දැන් කවුරුවත් ඉන්නවද අඩුගානෙ එයාලට චන්දෙ දුන්න කියන. දැන් ජනතාව කොච්චර ඒ පැරණි පාලකයින්ව ප්‍රතික්ෂේප කරනවද. හැබැයි ඒ දැන් නේද. එදා එහෙම නෑ නේද. ඔන්න ඕක තමයි ලුවී අල්තුසර් සහ ඊට අලින් අන්තෝනියෝ ග්‍රාම්ස්චි පෙන්වලා දෙන්න උත්සාහ කළේ.

Repressive State Apparatus.

අනිත් කාරණේ තමයි අල්තුසර් පෙන්නපු RSA (Repressive State Apparatus) කියන වැඳගත් අදහස. නිකම් අදහසක් විදියට ගත්තොත් කොහොමද  වෙන කාවහරි තමන්ට ඕන විදියට ක්‍රියාකරන්න හදාගන්න පුලුවන් කම ලැබෙන්නෙ?

1- බයගැන්වීම (Fear) මගින්.

2-දෘෂ්ඨිවාදයන්(Ideology) මගින්.

මේ බියගැන්වීම හෝ බලහත්කාරය මගින් පහල කොටස් තමන්ගේ ප්‍රොජෙක්ට් එකට අවනත වෙන විදියට කටයුතු කරගෙන යාමට සැලැස්වීම තමයි අල්තුසර් RSA විදියට පෙන්වාදීමට උත්සාහ කළේ. මෙතනදි මේ RSA එකට අයත් වෙනවා පොලීසිය, හමුදාව, හිරගෙදර ආදි මර්ධක උපකරණ. මේවා අනිවාර්‍යයෙන්ම පාලක පංතියේ රාජ්‍යයට අවශ්‍ය කරන මර්ධක නැත්නම් පීඩක උපකරණ. ඉතිං ඕකනිසා තමයි කාල් මාක්ස් පෙන්වලා දුන්නෙ “රාජ්‍ය” කියන්නෙම පීඩක උපකරණයක්ම තමයි කියලා. එතකොට බොහෝවිටදි පාලකයින්ට එයාලා ඇතිකරන දෘෂ්ඨිවාදයන් තුලදී ඒවාට අනුගතව ජනතාව ඒවා වැළඳගන්නා තාක් පාලනය කරදරයක් නොමැතිව කරගෙන යන නමුත්, පාලකයින්ගේ ක්‍රියාමාර්ග වලට එරෙහිව යනවිටදී, එනම් ජනතාව අවනත නොවන තැනදී පාලකයෝ බලය පාවිච්චි කරනවා කියලා ජනතාව වෙතට. හැබැයි මෙතනදි අල්තුසර් කියපු දෙයක් තමයි මේ කියන RSA හෙවත් Repressive State Apparatus මූලිකව ක්‍රියාත්මක වෙන දෙයක් කියන එක.

විශ්වාසය සහ භාවිතාව.

ඒකට එක හේතුවක් තමයි අල්තුසර් තර්ක කළේ අපි යමක් විශ්වාස කරන්න කලින් ප්‍රැක්ටිස් එක මුලින් කරනවා කියලා. සාමාන්‍යයෙන් අපි කවුරුත් විශ්වාස කරන්නේ අපි යමක් මුලින් විශ්වාස කරන්න පටන්ගන්නවා මුලින්, ඉන් පස්සේ අපි ක්‍රියාවට නගනවා කියලා. නමුත් ලුවී අල්තුසර්ගේ තර්කය වන්නෙ ඒක වෙන්නේ අනිත් පැත්තට කියලා. ඒ කියන්නෙ අපි යමක් මුලින් ප්‍රැක්ටිස් කරනවා, ඉන්පස්සෙ තමයි ඒක විශ්වාස කරන්න ගන්නෙ කියලා. මොකද ඔහු කියනවා මේ කියන ප්‍රැක්ටිස් එක ඇතුලේම අයිඩියා එක කාවද්දලා තියෙනවා කියලයි ඔහු පෙන්වලා දෙන්නේ. මේ කියන ප්‍රැක්ටිස් එක ඇතුලේ ඒ ප්‍රැක්ටිස් එකේම ගුණාංග විදියට, නැත්නම් සිරිත් විරිත් විදියට හෝ චාරිත්‍ර විදියට ඉහත කියපු ISA එක නැත්නම් Ideological State Apparatus කාවද්දලා තියෙන බවට ඔහු තර්ක කලා.

ඊට හොඳ උදාහරණයක් ඔහු ගත්තා මේක පැහැදිලි කරන්න. දැන් පවුලක පුංචි ළමයෙක් එයාලගෙ අම්ම තාත්තා එක්ක  පල්ලි ගියාම අල්තාරය ඉදිරිපිට දණ ගහනවා. එහෙම දණ ගහලා කුරුසෙ ඇඳගන්නවා. නමුත් ඔහු මේ ආගම ගැන කිසිවක් දැනගෙන නෙවෙයි මේක කරන්නෙ. හැබැයි කාලයක් ඔහොම ප්‍රක්ටිස් කරලා ඉන්පස්සෙ තමයි ඔහු මේ ආගම කියවන්න සහ විශ්වාස කරන්න ගන්නේ. ඒ කියන්නෙ ඔහු මුලින්ම කරන්නේ ප්‍රැක්ටිස් එක. ඉන්පස්සෙ තමයි විශ්වාස කරන්න ගන්නෙ. අවශ්‍යනම් අපට තවත් ඊට ගැලපෙන උදාහරණ බොහෝ ගන්න පුලුවනි. පොඩිකාලෙ හාමුදුරු නමක් දැක්කම දණගහලා වැන්දට ආගම විශ්වාස කරන්න ගන්නෙ ඊට පස්සෙ. ඔය වාමාංශික පක්ෂවල බොහෝදෙනා මුලින් කරන්නෙ පෝස්ටර් ගැසීම, කැට හෙල්ලීම, උද්ඝෝෂන වලට සහභාගිවීම. නමුත් ඒ පක්ෂවල ඇති දෘෂ්ඨිවාදයන් තුලට ඇතුල්වෙන්නෙ ඊට පසුව. ඒකනිසා තමයි ලුවී අල්තුසර් තර්ක කරන්නෙ අපි යමක් විශ්වාස කරන්න කලින් අපි ඒක ප්‍රක්ටිස් කරන බව.

(ලුවී අල්තුසර්ගේ තව බොහෝ චින්තන ප්‍රවාදයන් තිබෙනවා. තවත් දවසක ඒ පිළිබඳව සාකච්චා කරමු)

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *