ලෙනිනියානු ආදරය..!

බුර්ෂුවා පංතිය සතුව ඇති ජාතිකත්ව ධජය වැඩකරන පංතිය අතට ගන්න ඕනි කියල කිව්වේ ස්ටාලින්. ලෝකයේ සෑම ප්‍රදේශයකම ජාතිකත්ව අරගල ඇති බවත්, මාක්ස්වාදීන් හැටියට අප එවන් අරගල ඇති බව පිළිගත යුතු බවත්, එසේ පිළිගන්නා අතරේ එවන් නිශ්චිත අරගල වෙනුවෙන් උදව් කළ යුතු බවටත් ලෙනින් ප්‍රකාශ කරනවා. ඒ අනුව පන්ති සවිඥාණික බව ජාතිකත්වයෙන් ඛණ්ඩනය කරන්න ඕනි නැහැ වගේම ජාතිකත්වයේ අගතීන්ගෙන් මිදෙන්න විප්ලවවාදී ව්‍යාපාර මිනිස්සුන්ට උදව් කරන්න ඕනි. එසේ නොකළොත් විප්ලවය තුළම ඒක ස්වයං පරාජයක් (self-defeat) වෙනවා කියල ලෙනින් කියනවා.
above image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_1c8b8d1b93.jpg
විශේෂයෙන් අධිරාජ්‍ය විරෝධී සටනේදී ජාතිකත්වය ගොඩක් ඉහලට එසවුණා විසි වෙනි සියවසේ. මේ අදහස් තීව්‍ර කරන්නේ චීනයේ මාවෝ. යම්කිසි භූමියක, යම්කිසි භාෂාවක් කතාකරන ඒ ආශ්‍රිත සංස්කෘතියක් ගොඩ නැගිලා තියනවා නම් එවන් ජාතියක මනෝභාවය (psychology) කොමියුනිස්ට්වාදීන් හොඳින් අල්ලා ගෙන එය වඩාත් ප්‍රගතිය පැත්තට හරවන්න ඕනි කියල මාවෝ කියනවා. ඒ වැඩේ චීනයේ නැගල ගියා. නැගල ගියා විතරක් නෙවෙයි එයාලම අද අධිරාජ්‍යවාදී ප්‍රොජෙක්ට් එකකට අත ගහල දැන් ඒකත් ගොඩක් දුර ගිහිල්ලා.
ජාතික රාජ්‍ය නිර්මාණය කිරීමේදී යුරෝපීය බුර්ෂුවා පංතියේ ජාතිකත්ව කාර්යය නිමා වී බොහෝ කල් යනුවෙන් ලෙනින් සඳහන් කලත් පෙරදිග ලෝකය තුල ජාතික රාජ්‍ය බිහිවීම, ජාතික ආර්ථිකයන් බිහිවීම සහ ස්ථාපිත වීම ඇතුලේ මම හිතන්නේ සුළු ධනේශ්වර සහ බුර්ෂුවා කොටස් තවමත් බලවත්. ඒ නිසා වැඩවසම් වටිනාකම් වගේම සුළු ධනේශ්වර වටිනාකම් එකට ටැපලිලා අච්චාරු වෙලා ඒ අච්චාරුව ඇතුළට ජාතිකත්වයත් ගිහිල්ලා මොකවත් කරගන්න බැරි තත්වයක දැන් අපි ඉන්නේ.
නිකම් හිතන්න අදටත් ඔය මැටි කර්මාන්තය වගේ එකකට රෙද්ද හැට්ටේ අන්දලා මොඩල් කෙනෙක් දාපුවම වෛරල් වෙන හැටි. මැටි ඇමති කියන කෙනා මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය වුණා පහුගිය කාලේ. අර මැටි ව්‍යාපාරික කෙනත් එහෙමයි. ඒ කියන්නේ ජාතිකත්ව මානසිකකත්වය අධිරාජ්‍යවාදී සූරාකෑම කියන එකට එරෙහිව මනෝභාවයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක විප්ලවීය නැහැ කියන්න බැහැ. ජාතිකත්ව අගතියෙන් (national bias) සටන්කාමී ප්‍රගතිශීලී ජාතික මනස (progressive nationalist consciousness) වෙන් කරගන්න මාක්ස්වාදීන් ඉතාම සූක්ෂම වෙන්න ඕනි වුණත් මම දන්නේ නැහැ අපේ අරගල ඉතිහාසය එතරම් සවිඥාණික වුනාද කියල. එතැනදී ඔයාලට පුළුවන් මාව නිවැරදි කරන්න.

‘අසමාන බව ධනේශ්වර වර්ධනයේ පරම න්‍යාය’ නම් (ලෙනින්) අසමාන ලෙස ධනය සහ සම්පත් බෙදී ඇති ජාතීන් තුල එහෙනම් ජාතිකත්ව අදහසක් වර්ධනය නොවී තියෙන්නේ නැහැ. එකම දේ නම් එවන් අසමාන ලෙස සැලකීමට ලක්ව ඇති ජාතීන් එකතු වීමෙන් අර ජාතිවාදී බව වෙනුවට එකමුතු බව ඇතිවෙනවා (solidarity) කියන එක. පීඩිත ජාතීන් දෙකක් පොදු අරගලයක් ඇතුලේ ඉන්නේ නැතුව දෙකට බෙදිලා කෙළගන්න ගිහිල්ල දෙගොල්ලන්ගෙම පස්ස නැතිවූ අවස්ථාවක් සඳහා ක්ලැසික් එග්සාම්පල් එක තමයි ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ….
ඒ නිසා වැඩකරන පංතියේ හෝ පීඩිත ජාතින්ගේ එකමුතු කමට එරෙහි වෙන ජාතිකවාදයට පන්න පන්න ගහන්න ඕනි කියල ලෙනින් කියනවා. හැබැයි විප්ලවීය කළයුතු ජාතිකත්වයක් අපි හැමෝටම තියනවා.
මම හිතන්නේ ජාතිකවාදය සහ විශ්වීය බව අතර පවතින ‘සීරු මාරු වෙන නියම තැන’ අපි තවම හොයා ගත්තේ නැහැ කියල. මේකට ජිජැක් ගේන්නේ ලෙනින්වාදී උදාහරණයක්. එයා මෙහෙම කියනවා. අපිට පුළුවන් ගැහැණියක් සමඟ යහන් ගත වෙන්න. බදා ගන්න, සිප වැළඳ ගන්න, සෙක්ස් කරන්න පුළුවන්. මේ ඔක්කොම කරන්න අපිට විනාඩි දහයක් නැත්නම් විස්සක් යයි කියල හිතමුකෝ. හරි ඕනිනම් වැඩිම පැයක් තියමු. ඊට පස්සේ අපිට නින්ද යන විදියට නිදාගන්න නම් දෙන්නටම හරියන විදියට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඕනි. ඇජස්ට් වෙන්න ඕනි. අතපය එහෙට මෙහෙට කරලා තියාගන්න ඕනි. ඇඳේ තනියම ඉන්නවා වගේ නෙවෙයි. දෙන්නත් එක්ක එළිවෙනකම් නිදාගන්න පොඩි ට්‍රික්ස් (tricks – උප්පරවැට්ටි) ටිකක් ඕනි වෙනවා. ඒක සෙක්ස් කරනවාට වඩා අභියෝගාත්මකයි. හැබැයි ඒ අභියෝගාත්මක වැඩේ තමයි පවතින වැඩේ වෙන්නේ.
පටස් ගාල රූම් ගිහින් සෙක්ස් කළා වගේ නෙවෙයි. දෙන්නගෙම නෛසර්ගික අවුල් එක්ක උදේ වෙනකම් ඇඳේ ඉන්න එක තමයි හැබෑම අභියෝගය කියල ජිජැක් කියන්නේ. ඉතිං මේ වැලන්ටයින් කියල කියන දවසේ කොහොම හරි යහන්ගත වෙන්න නෙවෙයි අපි උත්සාහ කරන්න ඕනි. උදේ වෙනකල් දෙන්නට ඒ ඇඳේ නිදා ගන්න පුළුවන් විදියට වැඩ කරන්න. විසි වෙනි සියවසේ අපිට යහන් ගතවෙන්න පුළුවන් වුනාට ඒ යහනේ එළිවෙනකම් නිදාගන්න බැරිවුණා. ඒ අර පොඩි ට්‍රික්ස් ටික දැනගෙන හිටියේ නැති නිසා.
මීට පස්සේ වත් විනාඩි දහයේ විස්සේ සූපිං රූම් වැඩ නෙවෙයි එළිවෙනකම් ඉන්න පුළුවන් අල්ලා හිටින පවතින වැඩක් කරමු….ඒක යුතෝපියාවක්.
යහන් ගත වෙනවා වගේම ඒ යහනේ සීරුමාරුවෙන් එළිවෙනකම් ඉන්න එක….ඒක වෙනම වැඩක්. ට්‍රිකී වැඩක්.
අපි ඒකට ‘ලෙනිනියානු ආදරය’ කියල කියමු!❤
