අනුර හා කුමාර් ගේ “විනෝදයේ දේශපාලනය”

අනුර ප්‍රමුඛ NPP ආණ්ඩුවේ මූලික මතවාදී පරමාණුව වූයේ සාමාන්‍ය ජනයා නොවිදින විනෝදයක් විදින ඉහල පාලක පංතියේ විනෝදය උදුරා ගන්නා බවට වන පොරොන්දුවයි. මේ විනෝදය උගන්ඩා සල්ලි, සැප වාහන, විශාල මන්දිර, විදේශ සංචාර, ලිංගික ජීවිතය ආදී වශයෙන් වර්ණ ගැන්වූ කොටස් වලින් යුක්ත වූ අතර ඒවා දිගටම තවමත් නොකඩවා පවත්වාගෙන යාමට NPP ආණ්ඩුව සමත් වී තිබෙනවා.

image source-https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2025/03/deshabandu.jpg?resize=696%2C392&ssl=1

නමුත් ගැටලුව වන්නේ මේ සිරගත කිරීමේ නාටකය හරහා සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ජීවිතය වෙනස් වන්නේ කෙසේද යන්නයි. උදාහරණයකට පොලිස්පති දේශබන්දුව සිරගත කිරීම හරහා පොලීසිය වෙනස් නොවී තිබෙනවා සේම පොලීසියෙන් සාමාන්‍ය ජනයා වෙත එල්ල කෙරෙන පීඩාකාරී රාජකාරි ව්‍යුහයද කිසිම ආකාරයකින් වෙනස් වී නැහැ.

මේ විනෝදය උදුරාගැනීමේ චක්‍රය අවසන් වූ පසු ආණ්ඩුව වැටෙන වල පිළිබඳව ආණ්ඩුවේ කිසිදු න්‍යායික අවබෝධයක් නොමැති බව පැහැදිලි යි. එය ක්‍රමානුකූලව වෛද්‍යවරුන් හා නීතිඥ ප්‍රජාව වෙතද ගමන් කරමින් තිබෙනවා. එහි අදහසනම් හිටපු පාලක පංතිය විඳි විනෝදය උදුරා අවසන් කල පසු ඊට අවශ්‍ය ඉන්ධන සදහා එය රාජ්‍ය සේවය හා වෘත්තීන් දෙසට හැරෙන බවයි. මෙය වෛරස් එකක් මෙන් බෝවන සුලු වන විට තමන්ගේ ආසන්නතම අසල්වැසියා දක්වා එය ගමන් කිරීම කාලය පිළිබඳව ඇති ගැටලුවක් පමණයි. සෑම පුද්ගලයෙකුම අනෙකා විඳිනවා යැයි උපකල්පනය කරන විනෝදය උදුරා ගැනීමට තැත් කිරීම හරහා බිහිවන්නේ සැකයෙන් හා බියෙන් පිරුණු සමාජයක් විනා වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූ හා මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳව ආදරය පෙරදැරි කරගෙන බලන සමාජයක් නොවෙයි.

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_1c8b8d1b93.jpg

මෙවැනි සමාජයක් සමස්තයක් ලෙස පරිපූර්ණත්වය අත්පත් කරගැනීමට ඇති බාධාව ලෙස බාහිර අනෙකෙකු නම් කිරීම හරහා ෆැසිස්ට්වාදී මූලයන් ප්‍රදර්ශනය කිරීම ස්වාභාවික වන පාලන තන්ත්‍රයන් වීම ලෝක අද්දැකීමක්. හිට්ලර්ගේ ජර්මනිය මෙන්ම ස්ටාලින්ගේ රුසියාවත් ගමන් කලේ මෙවැනි මාවත් වලමයි. ජර්මනිය තුළ උතුම් වූ ජර්මානු ජාතියට පූර්ණ ලෙස විකසිත වීමට තිබූ බාධාව ලෙස යුදෙව්වන් නම් කරන විට රුසියාව තුළ එය ප්‍රති-විප්ලවවාදීන් වෙනවා. අවුෂ්විට්ස් හා ගුලාග් යනු ඒ අනුව අනෙකා විඳින විනෝදය සිරකර කෲර වධ බන්ධනයන්ට ලක් කර මරාදැමුණු විනෝද පොකුණු  වනවා. සිය නොවෙනස් වන දෛනික ජීවිතය නිසා ආතතියෙන් සිටින ජහමනයා වෙත මේ විනෝද පොකුණු හරහා රහසින් විනෝද වීමේ අශ්ලීල ආකෘතිය අභිමුඛ වනවා. වෙනත් වචන වලින් කියන්නේ නම් සිය අනෙකාගේ විනෝදය උදුරා සිරගත කල විට ඉන් ලැබෙන අශ්ලීල විනෝදය සිය ජීවිත පැවැත්ම බවට සාමාන්‍ය ජහමනයා ආකෘතිකගත කරගන්නවා. තවත් සරල ලෙස කියන්නේ නම් දෛනික කුලී වැඩකින් පසු කසිප්පු කාලක් බොන මනුෂ්‍යයා දේශබන්දුට විස්කි බීමට ඇති හැකියාව(විනෝදය)අහිමි කිරීම පිළිබඳව සතුටු වෙනවා. නමුත් ඔහු හෙට උදෑසනත් දෛනික ජීවත් වීම සදහා කුලියට වැඩකල යුතු සේම ජීවිතයේ ඇති ගැටලුද එලෙසම පවතිනවා. ලෙනින් මෙහි දෙවෙනි සම්බන්ධයට මැදිහත් වී නිර්ධනයාගේ දෛනික ජීවිතය වෙනස් කිරීම කරන විට ස්ටාලින් මැදිහත් වෙන්නේ පලමු විනෝද අවස්ථාවටයි. ලෙනින් විප්ලවයෙන් පසු රාජ්‍ය නැවත අලුත් ආකාරයකින් ව්‍යුහගත කරන විට ස්ටාලින් රාජ්‍ය වෙනුවෙන් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතය ව්‍යුහගත කරනවා.

Ruwan Hapuarachchi.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *