නීට්ෂේ කියවමු (දෙවන කොටස)..!

image source-https://www.spectator.co.uk/wp-content/uploads/2020/02/Nietzsche.jpg?w=620
ඔහු සම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සහ ආගම පිළිබඳව සම්මුති විරහිතව විවේචණය කළේය. සම්ප්‍රදායික සාරධර්ම වලට එරෙහිව ඔහු ලිවීය. නිරපේක්ෂ වටිනාකම නොපවතින බැවින්, නීට්ෂේගේ ලෝක දෘශ්ඨියතුල, “ පෘතුවියේ සාරධර්ම වෙනත් ආකාරයකින් මැණිය යුතුය. මිනිසා තමා විසින්ම නිර්මාණය කරන ලද පරමාදර්ශී ලෝකයකින් යථාර්තයට අනුපූරක වියයුතු” බවට ඔහු අවධාරණය කළේය. නීට්ෂේ විශ්වාස කළේ සදාචාරය පදනම් වියයුත්තේ කීකරුකම සහ අනුකූලතාවය මතනොව, පුද්ගල ස්වයං නිර්ණය සහ නිර්මාණශීලිත්වය මත බවයි. ඔහු තර්ක කළේ, සදාචාරය පුද්ගලයන් මත පැටවිය යුතු නැතිබවත්, සෑම පුද්ගලයෙකුටම තමන්ගේ සදාචාරය නිර්වචණය කිරීමට අයිතියක් තිබිය යුතු බවය. පුද්ගල ස්වාධිපත්‍ය සහ නිර්මාණශීලිත්වයේ මූලධර්ම වටා සමාජය සංවිධානය වියයුතු බව ඔහු ලිවීය.
නීට්ෂේගේ දර්ශණය, සාරධර්ම වල අර්ථය සහ මිනිස් පැවැත්මට ඒවායෙහි වැදගත්කම ගැන පවසයි. සදාචාරයේ මූලික වර්ග දෙකක් ඇතිබව ඔහු පෙන්වා දුන්නේය. ඒවානම්, “අධිපති ස්වාමියාගේ සදාචාරය” (Master Morality) සහ “ වහල් සදාචාරය” (Slave Morality) වෙයි. මෙම ස්වාමියාගේ සදාචාරය, උඬගුකම, ධනය කීර්තිය සහ බලය අගය කරන අතර, වහල් සදාචාරය කරුණාව, සංවේදනය, සහ අනුකම්පාව අගය කරයි.
ඔහු සාරධර්ම පිළිබඳව ප්‍රතියථාර්තවාදියෙකි. එනම් නීට්ෂේට සදාචාරාත්මක කරුණු නොමැති අතර, ස්වභාව ධර්මයේ වටිනාකමක් ඇති කිසිවක් නොමැත. ඒ වෙනුවට හොඳ හෝ නරක ගැන කතාකිරීම යනු, මනුෂ්‍ය මිත්‍යාවන් ගැන කථාකිරීමයි. නීට්ෂේ එක්තරා ආකාරයකට සංස්කෘතික විචාරකයෙකි. නීට්ෂේ නූතනත්වයේ ප්‍රධාන විවේචකයෙකුද වෙයි. ඔහු නව සමාජයක් සහ සංස්කෘතියක් ඉල්ලා සිටී. නීට්ෂේට අවශ්‍යවූයේ වඩාත් ශක්තිමත් සහ පූර්ණ-සංවිධිත පුද්ගලයන් නිර්මාණය කරන උසස් සංස්කෘතියක් සහ සමාජයක් සඳහා නූතනත්වය අභිබවා යාමටය.
මානව වර්ගයාගේ ප්‍රධාන පෙළඹීමේ මූලධර්මය ලෙස “ බලයට ඇති කැමැත්ත” (Will to Power) ඔහුගේ අවධානයට පත්විය. ඔහු මිනිස් පැවැත්මේ ස්වභාවය පිළිබඳව රැඩිකල් ලෙස අර්ථකතනය කළේය. නීට්ෂේ මිනිසාට ලෝකය දෙස බැලිය හැකි විවිධ ප්‍රතිවිරෝධතා දෙකක් අතර වෙනසක් සොයාදුන්නේය. නීට්ෂේ මිනිස් ස්වභාවය දුටුවේ ශක්තියේ ප්‍රභවයක් ලෙසටය. සම්ප්‍රදායික සම්මතයන්ට අභියෝග කිරීමටත්, ශ්‍රේෂ්ඨත්වය සඳහා උත්සාහ කිරීමටත් මිනිසුන් කැමැත්තෙන් සිටිය යුතුබවට ඔහු තර්ක කළේය. නීට්ෂේගේ වඩාත් පොදු ව්‍යාපෘතිය වන්නේ සංවේදනය සහ වටිනාකම පිළිබඳව සංකල්ප දර්ශණයට හඳුන්වා දීමයි.
නූතන දර්ශණය බොහෝ දුරට ජීවත්වී ඇත්තේ නීට්ෂේගෙන් බව පැහැදිලිය. ෆෙඩ්‍රික් නීට්ෂේ විශ්වාස කළේ ස්වභාව ධර්මයට වඩා වැඩිදෙයක් නොමැති බවයි. ඔහුගේ සත්‍ය පිළිබඳ ඉදිරි දර්ශණවාදී සංකල්පය අතිශයින්ම පෘතුලය. නීට්ෂේට අනුව මනුෂ්‍ය වර්ගයා දූෂිත වන අතර එහි ඉහලම වටිනාකම් විසිරී ඇත. නීට්ෂේ ස්වයං අවබෝධය තුලින් තමාගේ අනන්‍යතාවය ගොඩනගා ගතයුතු බව විශ්වාස කළේය. ස්වයං අවබෝධය දෙවියන් හරහා හෝ දුක් විඳීමෙන් අත්පත්කරගත නොහැක.
මිනිසා යනු, ජයගතයුතු දෙයක් බව කී නීට්ෂේ බොහෝවිට මානුෂීය හැඟුම් විවේචනය කළේය. අනුකම්පාව සහ පරාථකාමිත්වය පිළිකුල් කළේය. ඔහු පුද්ගලවාදය අගයකලද ඔහුගේ සාමාන්‍ය දේශපාලණ අදහස් වලට සාමාන්‍යයෙන් නූතන පුද්ගලවාදී මතයන් වලට නොගැලපෙන ධූරාවලි සහ අධිකාරිවාදී අදහස් ඇතුලත් විය. ඇතැමෙකු නීට්ෂේ “පුද්ගලවාදී” (Individualist) චින්තකයෙකු ලෙස සලකති. නීට්ෂේ බොහෝවිට ජාතිවාදී, පන්තිවාදී ප්‍රකාශ කල අතර, ඔහුගේ ප්‍රකාශයන් මතභේදයන්ට ලක්විය. නීට්ෂේගේ ලේඛණවල නොසන්සුංකාරී සහ බිහිසුනු චේදවල හිඟයක් නොමැත. නීට්ෂේ ජාතිය යන පදය ජනවාර්ගික කංඩායම් සහ සමාජ පංති සඳහා විවිධ අර්ථ දෙකකින් භාවිතා කළේය. ජාතීන් විවිධ වාර්ගික භාවයකින් සමන්විත වන අතර ඉහල පංතිවල සාමාන්‍යයෙන් පහල පංතිවලට වඩා උසස් ස්වභාවයක් ඇතිබව ඔහු ලිවීය.
සමාජ සංසිද්ධීන් පැහැදිලි කිරීමට නීට්ෂේ බොහෝවිට භාවිතා කළ එක් තේමාවක් වූයේ ජාතීන් මිශ්‍ර කිරීමයි. මිශ්‍රජාතියේ පුද්ගලයන් සාමාන්‍යයෙන් පහත් වන්නේ ඔවුන්තුල පවතින ගැටුම්කාරී, නොගැලපෙන සහජබුද්ධිය නිසාබව ඔහු විශ්වාස කල අතර, වාර්ගික පවිත්‍ර කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
නීට්ෂේ යුදෙව්වන් සහ යුදෙව් ආගම පිළිබඳව ධනාත්මක සහ නිෂේධාත්මක යන දෙඅංශයෙන්ම විවිධ අදහස් පලකොට තිබේ. ඔහු යුදෙව් ආගම විවේචනය කලමුත් පැරණි ගිවිසුමේ කොටස් සහ මුල් යුදෙව් ඉතිහාසය වර්ණනා කළේය.
බැබිලෝනියානු වහල්භාවයේදී යුදෙව් ආගම නිෂේධාත්මක, සදාචාරාත්මක-අශුභවාදී පරිවර්ථනයන් හරහා ගියබව ඔහු ප්‍රකාශ කළේය. යුදෙව් විරෝධීන්ද යුදෙව් ආත්මයේම ප්‍රථිපලයක් බව නීට්ෂේ පවසයි. ඔහු බොහෝවිට යුදෙව් බුද්ධිය සහ යුදෙව් ජයග්‍රහණ අගය කළේය. මේ අනුව වැග්නර්ගේ සර්ව-ජර්මානුවාදය සහ යුදෙව්-විරෝධය නීට්ෂේ සහමුලින්ම අවශෝෂණය නොකර ගත්බව පෙනේ. නීට්ෂේගේ සහෝදරියවන Elisabeth Foster Nietzsche සහ ඇගේ සැමියා වන බර්නාඩ් ෆොස්ටර් පසුකාලීනව නීට්ෂේගේ ළිපි විකෘති කරමින් දැඩි යුදෙව් විරෝධී ස්ථාවරයක් නීට්ෂේ තුලින් පෙන්වීය. එමනිසා ඇඩොල්ෆ් හිට්ලර් නීට්ෂේගේ දර්ශණය නාසි දර්ශණය සමඟ ගැලපෙන බව සිතීය. 1920 ගණන්වල ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේ සුප්‍රසිද්ධ Mein Kampf ලියූවිට ඔහු නීට්ෂේ උපුටා දැක්වීය. නමුත් නීට්ෂේගේ චින්තනය, ෆැසිස්ට් චින්තනයේ පුරෝගාමියා නොවනබව කිවයුතුය. ජෝර්ජ් බටේල් පවසන පරිදි, නීට්ෂේගේ සිතුවිලි කිසිඳු දේශපාලණ ව්‍යාපාරයකට උපයෝගී කරගත නොහැකි තරම් නිදහස් ය. මේ අනුව ෆැසිස්ට් වාදීන් නීට්ෂේගේ අදහස් විකෘති කිරීමෙන් ඔවුන්ගේ ක්‍රියා සාධාරණීය කලහ. එමනිසා නීට්ෂේ නාසිවාදයේ පූර්වගාමියා බවකීම සාවද්‍ය ප්‍රකාශණයකි.
සමාජවාදය සහ කම්කරු ව්‍යාපාරය විවේචනය කිරීම, සමාජවාදය සහ නිර්ධන පංති ව්‍යාපාරය කෙරෙහි නිෂේධාත්මක ආකල්පය නීට්ෂේගේ දර්ශණයේ වඩාත්ම ස්ථාවර තේමාවන්ගෙන් එකකි. ඔහු සමාජවාදය හැඳින්වූයේ “ ක්‍රිස්තියානි කරණයෙන් ඉවත්වූ රූසෝගේ අවශේෂ” ලෙසය. බලයට ඇති ආශක්ත බව සැසඳීමෙන් ඔහු ක්‍රිස්තියානි ධර්මය සහ සමාජවාදය අතර සමානත්වය විස්ථාරණය කළේය.
නීට්ෂේ විශ්වාස කළේ, සමාජවාදී අරමුණු සාක්ෂාත් කරගතහොත් සමාජය සමතලා වනබවය. කම්කරු පංතියේ දුක්ඛිත තත්වයන් ඉහල පාන්තික සුළුතරයේ විවේකී, සංස්කෘතික ජීවන රටාව සඳහා ගෙවිය යුතු අවාසනාවන්ත මිලබව නීට්ෂේ සඳහන් කළේය. නීට්ෂේ කිසිවිටෙකත් කාල් මාක්ස්ව හෝ ෆෙඩ්‍රික් එංගල්ස්ව නමින් සඳහන් නොකල නමුදු, ඔහු ඔවුන්ගේ අදහස් දැනසිටි බවට උපකල්පන කල හැක.

Ludwig Wittgenstein(1889-1951)
ධනවාදය පිළිබඳව නීට්ෂේගේ විවේචන බොහෝ දුරට මධ්‍යස්ථ බව ඩොම්බොව්ස්කි තර්ක කරයි. ඕස්ට්‍රියානු-බ්‍රිතාන්‍ය දාර්ශණිකයෙකු වන ලුඩ්විග් විට්ගන්ස්ටයින් (Ludwig Wittgenstein) නීට්ෂේගේ ලේඛණ විලාසය සහ සාම්ප්‍රදායික සදාචාරය සහ පාරභෞතික විද්‍යාව(Metaphysics) පිළිබඳව ඔහුගේ විවේචණ අගයන නමුත්, භාෂාව, තර්කණය සහ සත්‍යයේ ස්වභාවය පිළිබඳව නීට්ෂේගේ අදහස්ද විවේචණය කළේය. ඔහුගේ මුල් කෘතියේදී විට්ගන්ස්ටන් නීට්ෂේගේ ඥාති ආත්මයක් ලෙස දුටු අතර, ඔහු නීට්ෂේගේ අදහස් උකහා ගනිමින් “ Tractatus Logico-Philosophicus” නමින් පොතක් ලිවීය. විට්ගන්ස්ටයින් භාෂාව සහ තර්කය පිළිබඳව නීට්ෂේගේ අදහස් පිළිබඳව වඩාත් විවේචනාත්මක විය. නීට්ෂේ සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය සහ සාම්ප්‍රදායික භාෂා භාවිතය ප්‍රතික්ෂේප කිරීම නිසා යම් ආකාරයක අද්භූත පදනම් විරහිත පාරභෞතිකයකට හේතුකාරකවූ බව විට්ගන්ස්ටයින් තර්ක කළේය.
ප්‍රංශයට එරෙහි ප්‍රශියානු ජයග්‍රහණයෙන් පසු නීට්ෂේ, සර්ව-ජර්මානුවාදය සහ ජාතිකවාදය දැඩිලෙස විවේචනය කළේය ඔහු ජර්මානු සංස්කෘතියේ වර්ධනය අශිෂ්ඨ සහ ජයග්‍රාහී ලෙස දුටුවේය. නීට්ෂේ ස්ලාවික් ජනයා කෙරෙහි ධනාත්මක දෘෂ්ටියක් දැරූ නමුත්, රුසියානු අධිරාජ්‍ය කෙරෙහි මිශ්‍ර ආකල්ප ප්‍රකාශ කළේය. ඔහු ප්‍රංශ සංස්කෘතිය අන් සියල්ලටම වඩා විශේෂයෙන් ජර්මානුවන්ට වඩා උසස් බව ප්‍රකාශ කළේය.
ඔහු නැපෝලියන්ට ප්‍රශංසා කළේය. නීට්ෂේ යුරෝපීය යටත් විජිතවාදයේ අනුගාමිකයෙකු වුනු අතර එය අධික ජනගහන ගැටළුව විසඳීමට, කැරළිකාර කම්කරු පංතිය සමනය කිරීමට පිරිහුනු යුරෝපීය සංස්කෘතිය පුණර්ජීවනය කිරීමට මාර්ගයක් ලෙස සැලකීය.
නීට්ෂේට අනුව, විශ්වය චක්‍රීය වන අතර සිදුවන සියල්ල නැවත සිදුවනු ඇත. මෙයින් අදහස් කරන්නේ අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම පෙර පැවති ආකාරයටම නැවත නැවතත් සිදුවන බවයි. නීට්ෂේ තවදුරටත් පවසන්නේ ආගම් විසින් මිනිසාතුල ඇතිකොටඇති “බිය” හේතුකොට ගෙන මිනිසා දුර්වල රෝගී වර්ගයක් බවට පත්ව ඇති බවයි. නීට්ෂේගේ අදහසට අනුව, සම්ප්‍රදායේ අඛන්ඩතාවයේ ප්‍රථිපලයක් ලෙස සියළු බාහිර ගුණාංග සම්පූර්ණයෙන් ඉවත්කිරීමෙන් නිදහස ලබාගත හැක. නීට්ෂේ නිර්දේශ කරන්නේ එක් එක් පුද්ගලයා තම නිදහස් කැමැත්තට අනුව තමාගේම වටිනාකම් නිදහසේ නිර්මාණය කලයුතු බවය. නීට්ෂේ මෙලෙස ප්‍රකාශ කළේය. “ඔබේ දැල්ලෙන් ඔබවම දවා ගැනීමට ඔබ සූදානම් වියයුතුයි. ඔබ මුලින්ම අළු බවට පත් නොවූයේනම්, ඔබ නැවත නැඟිටින්නේ කෙසේද?”
නීට්ෂේගේ දර්ශණය, ලොවපුරා විශාල බුද්ධිමය හා දේශපාලණ සංවාදයක් ඇතිකර තිබේ. නීට්ෂේගේ දාර්ශණික සංකල්ප කාල් ජැස්පර්ස් (Carl Jaspers), හෛයිඩගර් (Heidegger), මාටින් බූබර් (Martin Buber), පෝල් ටිලිච් (Paul Tillich), ඇල්බයා කැමූ (Albert Camus), ජීන් පෝල් සාත්‍රේ (Jean-Paul Sartre) ජැක් ඩෙරිඩා (Jacques Derrida) සහ මයිකල් ෆූකෝ (Michel Foucault)කෙරෙහිද බලපෑවේය.
එසේම ඔහුගේ ලේඛණ මනෝවිද්‍යාඥයන් වන ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් (Alfred Adler), කාල් ජූඩ් සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud) කෙරෙහිද බලපෑවේය. අපගේ විශ්වාසයන් ප්‍රශ්ණ කිරීමට නීට්ෂේ ධෛර්යය ලබාදුන්නේය.
The Birth of Tragedy.

image source-https://images-na.ssl-images-amazon.com/images/S/compressed.photo.goodreads.com/books/1418788193i/12315.jpg
“ඛේදවාචකයේ උපත” නොහොත් The Birth of Tragedy; Out of The Spirit of Music කෘතිය ග්‍රීක ඛේදවාචකයේ මූලාරම්භය තේරුම් කරයි. එසේම දර්ශණවාදය සහ කළාව තරණය කිරීමට ගත් උත්සාහය ඔහුගේ පළමු කෘතිය මගින් පෙනීයයි.
එක් අතකින් The Birth of Tragedy 5 වන සියවසේ “ඇතීනියානු” ජනතාව සඳහා ඛේදජනක නාට්‍ය නියෝජනය කළේ කුමක්ද යන්න පිළිබඳ න්‍යායකි. නීට්ෂේ විශ්වාස කළේ ඛේදවාචකය ඇතීනියානුවන්ට වැඳගත් සංස්කෘතික කාර්‍යයක් ඉටුකල බවය. නීට්ෂේට අනුව, ඇතීනියානුවන් පරිණත වන්නේ පුද්ගලික වැඳගත්කම සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පැහැදිලි ආදර්ශ ඇති ලෝකයක් සහ ජීවිතයක් පිළිබඳ මිත්‍යාවන් තුලය.
ග්‍රීක මිත්‍යාවන් මුලින් ප්‍රචාරය කරන ලද්දේ බොහෝවිට මිනෝවන් සහ මයිසීනියානු ගායකයින් විසිනි. නීට්ෂේට අනුව, මිත්‍යාවකින් තොරව සෑම සංස්කෘතියකටම එහි නිර්මාණශීලිත්වයේ සෞඛ්‍ය සම්පන්න බලය අහිමිවේ. මිත්‍යාවන් මගින් සමස්ථ සංස්කෘතික ව්‍යාපාරයක් පූර්ණ වශයෙන් ඒකාබද්ධ කරයි. ඔහු පුරාණ මිත්‍යාවන්හි අර්ථය සහ පදනම සෙවීමට උත්සාහ කළේය. මිනිසුන් යථාර්තය සමඟ සහ ජීවනයෙන් පවතින මිත්‍යාවකට ආශාකරයි.
The Birth of Tragedy සෞන්දර්ය පිළිබඳ රචනාවකි. මෙම කෘතිය ඔස්සේ නීට්ෂේ පුරාණ ග්‍රීක දෙවිවරුන් වන ඇපලෝ සහ ඩයොනිසස් විසින් පුද්ගලාරෝපණය කරන ලද තර්කයේ සහ හැඟීම්වල ද්වන්ධ බලවේග සමරනු ලැබීය. නීට්ෂේ කළාව තුල කළාත්මක මාර්ග දෙකක් ඇතිබව සොයාගනී. එනම් ඇපලෝනියන්(Apollonian) සහ ඩයොනීසියන්(Dionysian) වෙයි. එසේම කළාත්මක නිර්මාණය රඳා පවතින්නේ මෙම ප්‍රථිවිරුද්ධ බලවේග දෙක අතරය.
ඇපලෝනියානු සහ ඩයොනීසියානු ආවේග පැනනගින්නේ ලෝකය පිළිබඳව මූලික සංජාණන දෙකකිනි.(ඇපලෝනියානු සහ ඩයොනීසියානු යනු නීට්ෂේ විසින් කළාවේ ප්‍රථිවිරුද්ධ ආතතීන් දෙකක් දැක්වීමට භාවිතා කරන යෙදුම්වේ). ඇපලෝ සන්සුන්, තර්කාණුකූල සහ ව්‍යුහගත කළා ආකෘථියක් නියෝජනය කරන අතර ඩයොනිසස් ගැඹුරු චිත්තවේගීය හා ප්‍රීතිමත් ආවේග නියෝජනය කරයි. නීට්ෂේ කෘතිය ආරම්භ කරන්නේ ඩයොනිසස්ගේ බලපෑමට පෙර ග්‍රීක කළාවේ තත්වය, රැවටිලිකාර තත්වයක තිබූබව කියමිනි.

Apollo and Dionysus…
image source-https://i.etsystatic.com/26200774/r/il/6fe010/2730754687/il_fullxfull.2730754687_fw0z.jpg, https://www.planetpompeii.com/public/news_gallery/DIONISO-4.jpg
ඇපලෝනියන් සහ ඩයිනීසියන් යනු ග්‍රීක මිත්‍යා කථාවල නියෝජනය වන දාර්ශණික සහ සාහිත්‍ය සංකල්ප වේ. ග්‍රීක පුරාවෘත්තවල ඇපලෝ සහ ඩයොනිසස් යන දෙදෙනාම සියුස්ගේ පුත්‍රයෝ වෙති. නීට්ෂේ පවසන පරිදි, ඇපලෝනියානු ලෝක දර්ශණය ඩයොනීසියානුවන් හමුවූ විට උපත ලැබීය. ග්‍රීක සම්භාව්‍ය ඛේදවාචකයේ කාච හරහා මිනිස් ජීවිත අත්දැකීම් පරීක්ෂා කිරීම මෙමගින් සිදුකරයි. එසේම ග්‍රීක ආගමික අංග, සංස්කෘතික/කළාත්මක අංග බවට පරිනාමය වීම පෙන්වා දෙයි. මූලිකව පවසන්නේ නම්, නීට්ෂේ සම්භාව්‍ය ඇතීනියානු ඛේදවාචකය තුල අර්ථ විරහිත ලෝකයක අශුභවාදය සහ ශුන්‍යවාදය ඉක්මවාගිය කලා ආකෘතියක් සොයා ගත්තේය.
කෙසේ නමුත්, අර්ථ විරහිත පැවැත්මකට අර්ථයක් ලබාදියහැකි බව නීට්ෂේ විශ්වාස කරයි.
නීට්ෂේට අනුව, ඇපලෝනියානු මූලද්‍රව්‍ය, ඩයොනීසියානුවා අභිබවා ගියවිට ග්‍රීක කළාව පිරිහී යන්නට විය. ග්‍රීකයන් සහ විශේෂයෙන් ඇතීනියානුවන්, ඇපලෝ සහ අනෙකුත් ඔලිම්පික් දෙවිවරුන් මත පදනම්වූ පොහොසත් ලෝක දැක්මක් ගොඩනගා ගෙන තිබුනද, ඔවුන් ඩයොනසිස් දෙවියන් තුල නිරූපණය වන යථාර්තයේ අඳුරු පැත්ත බොහෝ දුරට නොදැන සිටිබවට නීට්ෂේ තර්ක කළේය.
නීට්ෂේ පුරාණ ග්‍රීක ඛේදවාචක නාට්‍යවල සෞන්දර්ය ගවේශණය කළේය. ඇපලෝනියන් සහ ඩයොනීසියන් යනු, ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රීය මූලධර්ම දෙක නම්කිරීම සඳහා නීට්ෂේ විසින් The Birth of Tragedy හි භාවිතා කරන ලද යෙදුම්වේ. නීට්ෂේ විශ්වාස කළේ ග්‍රීක ඛේදවාචකයේ බලවේග දෙකම පවතින බවත්, සැබෑ ඛේදවාචකය ඇතිකල හැක්කේ ඔවුන් අතර ආතතියෙන් පමණක් බවත් ය. පිරිසිදු ස්වරූපයක් ඇති කළාව, වඩාත්ම ඇපලෝනියානු කළාවයි. තාර්කික ව්‍යුහයක් මත පදනම්වූ තාර්කික චින්තනයද ඇපලෝනියානුය. ඇපලෝ ආලෝකය, හේතුව, සංහිඳියාව, සමතුලිතතාවය සහ අනාවැකි කීමේ දෙවියාවූ අතර, ඩයොනීසියස් යනු වයින්, විනෝදය, ප්‍රීතිමත් හැඟීම් සහ ඛේදවාචකයේ දෙවියා විය. සියළු ආකාරයේ උද්‍යෝගය සහ ප්‍රීතිය ඩයිනීසියානු වේ. ප්ලේටෝනවාදය පැහැදිලිවම ඇපලෝනියානු සාරධර්ම වෙනුවෙන් පෙනී සිටියේය.
ෆෙඩ්‍රිච් නීට්ෂේ ගේ දර්ශණය ගැන මට මුලින්ම අධ්‍යාපනය කිරීමට ඉඩ ලැබුනේ යුක්‍රේනයේ විනිට්සා වෛද්‍ය සරසවියේ අපහට Dialectical Materialism විෂය ඉගැන්වූ ආචාර්‍ය ස්ටෙපානොව් මගිනි. ඉන්පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රිචර්ඩ් ලේලොන්ඩ් ගෙන් නීට්ශේගේ මනෝ විද්‍යාවත්, එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය බෙරිල් ලෝගන් ගෙන් නීට්ෂේ දර්ශණයන් මා හැදෑරුවෙමි. එසේම වැඩිදුරටත් නීට්ෂේ කියවූවෙමි. මේ එම අධ්‍යයනයන් සහ කියවීම් ආශ්‍රයෙන් ලියනලද කෘතියකි.
(වෛද්‍ය රුවන් එම් ජයතුංග)