නීට්ෂේ කියවමු (3)..!

දෙවිවරුන් දෙදෙනාම සංගීතයේ සහ කලාවේ දිව්‍ය අනුග්‍රාහකයින් වන අතර, ඇපලෝනියානු කලාව චිත්‍ර මූර්ති මගින් සංකේතවත් කර ඇති අතර, ඩයොනීසියානු කලාව සංගීතයෙන් හොඳම උදාහරණය වේ. ඩයොනිසස්, වෘක්ෂලතා සහ පලදායිතාවයේද ස්වභාවධර්මයේද දෙවියෙකු ලෙසද නමස්කාර කරනු ලැබීය. ග්‍රීක සංස්කෘතියේ උච්චතම අවස්ථාව උදාවූයේ සොක්‍රටීස් සහ ප්ලේටෝ සමඟ නොව ඊට සියවසකට පෙරබව ඔහු කීවේය. නීට්ෂේගේ විග්‍රහයේදී ග්‍රීක ඛේදවාචකය උපත ලැබුයේ එකිනෙකට සම්පූර්ණ විරුද්ධ කලාවන් දෙකකිනි. එනම් ඇපලෝනියානු සහ ඩයොනීසියානු ආවේග මගිනි. ඇපලෝනියානු ආවේග යනු, මිත්‍යාවන් නිර්මාණය කිරීමට ඇති ආවේගයයි. ඇපලෝනියානු මූර්තිකලාව තුල මිනිස් ස්වරූපය කිසිසේත්ම යථාර්තවාදීව ඉදිරිපත් නොකරයි. ඩයොනීසියානු ආවේග යනු, වඩාත් තීව්‍ර උද්දීපනය හෝ ප්‍රමෝදයේ හැඟීමකි. ඩයොනීසියානු අත්දැකීම් තුල ඇපලෝනියානු ආවේග ඉරීගොස් ඇත. ඩයොනීසියානුවා ජයගත් සෑම තැනකම ඇපලෝනියානුවා විනාශ කරන ලදී.
මෙම ඛේදවාචකයේ ඇපලෝනියානු සහ ඩයොනීසියානු අන්තර් ක්‍රියාකාරිත්වය දක්නට ලැබේ. ඛේදවාචකය ආරම්භ වන්නේ ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය කරුවෙකු වූ යුරිපිඩීස් (ක්‍රි:පූ:480-460) සමගය. යුරිපිඩීස්ගේ ඛේදවාචක වලදී සොක්‍රටීස්ගේ තාර්කිකත්වය සහ සදාචාරය භාවිතා කිරීමට විරුද්ධ වන අතර, ආචාර ධර්ම එහි පදනමේ ඛේදවාචකය සොරකම් කරන බව නීට්ෂේ ප්‍රකාශ කරයි. නීට්ෂේ යුරිපිඩීස්ව දකින්නේ කලාවේ මිනීමරුවෙකු ලෙසය. යුරිපිඩීස්, ඛේදවාචකය ප්‍රතිස්ථාපනය කලනොහැකි ලෙස දූෂිත කල දුෂ්ඨයා බව නීට්ෂේ කීවේය.
ඊක්ලස් සහ සොෆොක්ලීස්ගේ කාලයෙන් පසු ඛේදවාචකය මියගිය යුගයක් තිබිණි. නීට්ෂේ මෙය යුරිපිඩීස් වැනි ලේඛකයන්ගේ බලපෑම සහ සොක්‍රටීස් විසින් නියෝජනය කල තාර්කිකත්වයේ පැමිණීම සමග සම්බන්ධ කරයි.
ග්‍රීක ප්‍රේක්ෂකයින් විසින් දුක් විඳීමේ ආභාශය දෙස බලා එය තහවුරු කරමින් උද්‍යෝගයෙන් සහ ප්‍රීතියෙන් තම පැවැත්මේ අර්ථය තහවුරු කලහ. නීට්ෂේ විශ්වාස කලේ ග්‍රීකයින් අශුභවාදය සමග පොරබදිමින් සිටි බවයි. නමුත් ග්‍රීක ප්‍රේක්ෂකයා ඇපලෝනියානු වේදිකාවේ ඛේදවාචකයේ ආරක්ෂිත ආත්මය තුල ඩයොනීසියානුවන්ගේ සෘජු අත්දැකීම් තුලින් නිරෝගී විය. මෙමගින් නීට්ෂේ තර්ක කලේ දැවැන්ත කුරිරුකම් සහ දුක් වේදනා තිබියදීත් ජීවිතය වටිනා බවයි.
ඩයොනීසියානු සහ ඇපලෝනියානු සමතුලිතත්වය සොක්‍රටීස් තර්කය කොතරම් දුරට අවධාරණය කලේද යත් ඔහු මිත්‍යාවේ සහ දුක් වේදනාවල වටිනාකම් මිනිස් දැනුමට බෙදාහැරියේය. නූතන ලෝකය ඇපලෝනියානු සහ ඩයොනීසියානු ද්විකෝටිකයේ ඇති කලාත්මක ආවේගයන් උරුම කරගත්තේය. ඇපලෝනියන් නොමැතිව ඩයොනීසියානුවාට සුසංයෝගී කලා කෘතියක් සෑදීමට ආකෘතියක් සහ ව්‍යුහයක් නොමැති බවත්, ඩයොනීසියස්නුවන් නොමැතිව ඇපලෝනියානුවාට අවශ්‍ය ජීව ශක්තිය හා ආශාව නොමැති බවත් නීට්ෂේ සඳහන් කරයි. ග්‍රීක ඛේදවාචකයේ අග්‍ර ඵලය නියෝජනය කලේ කලාවක් ලෙස එකට එකතුවූ මෙම බලවේග දෙකේ සාරවත් අන්තර් ක්‍රියාකාරිත්වය පමණි. නීට්ෂේගේ නිර්ණායකයන් අනුව, අපගේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ ඩයොනීසියානු/ඇපලෝනියානු අපෝහකය මගිනි.

Arthur Schopenhauer (1788-1860)

ග්‍රීක ඛේදවාචකය සහ නූතන ජීවිතයේ ඛේදවාචකය අතට සමානකම් දැක්වීමට ඔහු උත්සුක විය. මෙම කෘතියේදී නීට්ෂේ බොහෝ ස්ථාන වලදී ෂෝෆෙන්හවර් උපුටා දක්වයි.(මුල් අවදියේදී නීට්ෂේ හේගල්, ඛාන්ට් සහ ෂෝෆෙන්හවර් වැනි චින්තක්‍යින්ගෙන් ආභාෂ ලැබූ අතර පසුව මෙම චින්තකයින් හෙලා දුටුවේය) එසේම කලාව ගැන කථා කිරීමට හෙගලියානු අදහස්ද භාවිතා කලේය. රිචර්ඩ් වැග්නර් ගේ “ඔපෙරා” හරහා ඇපලෝනියානු-ඩයිනෝසියානු සංගමය පුනර්ජීවණය කිරීමට ඔහු උත්සුක විය.(රිචර්ඩ් වැග්නර් යුදෙව් විරෝධියෙකු විය) නීට්ෂේ වැග්නේරියානු බලපෑමටද යටත් විය. බොහෝ සමකාලීන ඔපෙරා මෙන් නොව මිනිස් කැමැත්තේ ගැඹුරුම ආශාවන් ප්‍රකාශ කටන සංගීතය නිර්මාණය කල පළමු නූතන නිර්මාපකයා වන රිචර්ඩ් වැග්නර්ගේ දක්ෂතාවන් නීට්ෂේ අගයයි. නීට්ෂේට අනුව, ඩයොනීසියානු භාෂාවට සංගීතය හා නැටුම් සම්බන්ධ වී ඇත. එය වැග්නර් යලි සොයාගත්තේය. එසේම වැග්නර්, නීට්ෂේ ඔහුගේ සංගීත විප්ලවය සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට ප්‍රයෝජනවත් වියහැකි දක්ෂ ශාස්ත්‍රාලිකයෙකු ලෙස පිලිගත්තේය.

ඇපලෝ..
නීට්ෂේ තර්ක කරන්නේ ග්‍රීක ඛේදවාචකය ඇතිවූයේ ඇපලෝනොයානු සහ ඩයොනීසියානු මූලද්‍රව්‍ය අතර සිදුවූ අන්තර් ක්‍රියාව මගිනි. එසේම සැබෑ කලාව නිර්මාණය වන්නේ ඇපලෝ සහ ඩයොනිසස් ගේ එකතුවෙන් පමණක් බව නීට්ෂේ අවධාරණය කරයි. ඩයොනිසස්ගේ බලපෑමට පෙර ග්‍රීක කලාව බොළඳ බව ඔහු කීවේය. එසේම මෙම කලා සංකල්පය තුල නිරීක්ෂකයා කිසිවිටෙකත් කලාව සමග ඒකාබද්ධ වූයේ නැත. ඉන්පසුව ඩයොනිසස් පැමිණියේය. ඩයොනිසස් ඇපලෝනියානු මිනිසා කම්පනයට පත්කලේය. ඩයොනිසස් හිදී මිනිසා තම පැවැත්ම ඔහුගේ තනි පුද්ගල අද්දැකීම් වලට පමණක් සීමානොවන බව සොයාගනී. එමගින් සියළු මිනිසුන්ගේ ඉරණමෙන් මිදීමට මාර්ගයක් සොයා ගන්නා ලදී, එනම් මරණයයි.

ඩයොනිසස්…
පුරාණ ග්‍රීකයන් “ ඩයොනිසස්” යනු මිනිසාට වයින් ලබාදුන් දෙවියා ලෙසට ප්‍රශංසා කලහ. කෙසේ වෙතත් ඔහුව හැඳින්වූයේ මිනිසා පිස්සු වට්ටන සහ ම්ලේච්ඡත්වයට, රුධිරයට පවා තෘෂ්ණාවට පවා පොළඹවන රාගික දෙවියා ලෙසය. ඩයොනිසස්ගේ උපත පිළිබඳ මිත්‍යාව-දුක් වේදනා සහ මරණය ඔහුට “ දුක් විඳින සහ මියයන දෙවියන්” යන විරුදාවලිය ලබාදුන්නේය.
නීට්ෂේ, ඩයොනිසස් දෙවියන්ගේ අනුවාදය වර්ධනය කරන්නේ මිනිස් පැවැත්මේ පදනම වන දුක්වේදනා, ඛේදවාචකය සහ ප්‍රාථමික අවුල් සහගත තත්වයන්ට හඬක් දෙන දෙවියෙකු ලෙසය. ඔහු මෙසේ ප්‍රකාශ කළේය; “ කුරුසියේ සිටින දෙවියන් ශාපයකි, ජීවිතයෙන් මිදීම සඳහා මගපෙන්වන්නෙකි; කැබලිවලට කපාදැමූ ඩයොනිසස් ජීවිතයේ පොරොන්දුවකි. එය සදාකාලිකව නැවත ඉපදී විනාශයෙන් නැවත පැමිණෙනු ඇත. ඩයොනිසස් විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය වියරුවකින් තොරව මිනිසා සම්පූර්ණ නොවනු ඇත”
ඩයොනීසියානු සාරය සදාකාලික වනබැවින් මෙම සාරය සමග සම්බන්ධ වන කෙනෙකුට ජීවිතයේ සහ බලාපොරොත්තුවේ නව මූලාශ්‍රයක් සොයාගත හැකිය. ඩයොනිසස් ක්‍රිස්තියානි ධර්මය විසින් පිරිනමනු ලබන ගැලවීම සදහා උසස් විකල්පයක් වන අතර එමගින් මිනිසා පෘතුවියේ ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැර ස්වර්ගය කෙරෙහි පමණක් අවධානය යොමුකල යුතුය. මක්නිසාද යත්, ඩයොනිසස් හරහා ගැලවීම ලබාගැනීම සඳහා යමෙකු වර්ථමාන ජීවිතය අත්හල යුතුය.
කෙසේ වෙතත් මිනිසාට ගැලවීම සොයාගත හැක්කේ ඩයොනිසස් තුල පමණක් වන අතර, ඔහුගේ පෙනුම තුලින් ඩයොනිසස්ගේ සාරය හෙලිකිරීමට ඇපලෝට අවශ්‍ය වේ. ඔවුන් තුලින් මිනිසාට ලෞකික දුක්ඛිත දුක්වලින් මිදීමේ සතුට අත්විදීමට හැකිවිය. නීට්ෂේ තර්ක කරන්නේ ඩයොනීසියානු න්‍යාය ගැලවීමේ ආගමික ආකෘතියට ශුභවාදී විකල්පයක් ලෙස ක්‍රියාකරන බවයි. නීට්ෂේ අවධාරණය කරන්නේ සැබෑ ඛේදවාචක කලාව තුල ඩයොනිසස් සහ ඇපලෝ යන අංගයන් වෙන්කල නොහැකිලෙස බැඳී ඇතිබවයි. ඩයොනීසියානු සාරයේ ගැඹුරට ගැඹුරට යාමට සංගීතය භාෂාවක් වෙයි. මේනිසා සංගීතය අනෙකුත් සියළුම කලාවන්ට වඩා උසස් වන්නේය.
නීට්ෂේ කියන පරිදි ආඳුරුතම විශ්වීය යථාර්තයන් විසින් පාලනය කරනු ලැබීම සහ මිත්‍යාවන්ගේ සිහින ලෝකයක ජීවිතය ගතකිරීම මිනිස් ඉරණමයි. පුරාණ ග්‍රීසියේ මිනිසුන් අසාමාන්‍ය ලෙස සංවේදී සහ දුක් වේදනා වලට ගොදුරුවූ බවත්, ඔවුන් දුක්විඳීම වැලැක්වීම සඳහා ඔවුන්ගේ ස්වභාවයේ ඇපලෝනියානු අංගය ඉදිරිපත්කල බවත් නීට්ෂේ යෝජනා කරයි.ග්‍රීක කලාවේ මුල්,ඩොරික් යුගය අඳුරු සහ ප්‍රමුඛවේ, මන්ද ඇපලෝනියානු බලපෑම ඩයොනීසියානුවන්ට වඩා බෙහෙවින් වැඩිය. ග්‍රීක නාට්‍යයේ වීරයාගේ මරණය සෘණාත්මක, විනාශකාරී ක්‍රියාවක් නොව කලාව තුලින් ජීවිතය පිළිබඳව නිර්මාණාත්මක තහවුරු කිරීමකි. අවාසනාවකට ග්‍රීක ඛේදවාචකයේ ස්වර්ණමය යුගය සියවසකටත් අඩුකාලයක් පැවති අතර යුරිපිඩීස්ගේ සහ සොක්‍රටීස්ගේ ඒකාබද්ධ බලපෑමෙන් එය අවසන් විය. සොක්‍රටීස් කලාවට විරුද්ධ විය. සොක්‍රටීස් සහජ බුද්ධිය (intuition) සහ විඥ්ඥාණය (consciousness) අතර සම්බන්ධය හරවා යැවූබව නීට්ෂේ ප්‍රකාශ කරයි.
සෑම දෙයක්ම සාධාරණය කිරීමට හේතු තිබියයුතු බව අවධාරණය කරමින් සොක්‍රටීස් බටහිර තාර්කිකත්වය පලදායි ලෙස නිර්මාණය කළේය. ඔහු සහජ බුද්ධිය තීක්ශණ බුද්ධියේ ඌණතාවයක් ලෙසත්, වැරදි ක්‍රියාව දැණුමේ ඌණතාවයක් ලෙසත් අර්ථ දැක්වීය. ලෝකය දැනගතහැකි සහ සියළු සත්‍යයන් යුක්තිසහගත බව පෙන්වීමෙන් සොක්‍රටීස් විද්‍යාත්මක දෘෂ්ඨිය බිහිකළේය. සොක්‍රටීස්ගේ බලපෑම යටතේ ග්‍රීක ඛේදවාචකය තාර්කික සංවාදයක් බවට පරිවර්ථනය කරන ලද අතර් එය ප්ලේටෝගේ සංවාද තුල එහි සම්පූර්ණ ප්‍රකාශය සොයාගනී (ප්ලේටෝ පවසන්නේ මිනිසුන් ජීවත්වන්නේ සිහිනයේ පමණක් බවයි; අවදියෙන් සිටීමට උත්සාහ කරන්නේ දාර්ශණිකයා පමණි). එහෙත් නීට්ෂේ පැවසුවේ ග්‍රීක ඛේදවාචකය සොක්‍රටීස් වැනි චින්තකයින්ගේ තාර්කිකත්වය සහ ශුභවාදී බව නිසා විනාශ වුනු බවයි. නීට්ෂේ ග්‍රීක ඛේදවාචකයේ මරණය සම්බන්ධයෙන් සොක්‍රටීස්ට දොස් පැවරීය.( කෙසේ නමුත් සොක්‍රටීස් යනු “න්‍යායික මිනිසාගේ” පියාය).
නීට්ෂේගේ අදහස්වල වඩාත්ම අභියෝගාත්මක අංගය වන්නේ දර්ශණය පිළිබඳ සංකල්පයයි. නීට්ෂේගේ පළමු පොත ප්‍රකාශයට පත්කරන විට ඔහුගේ වයස 28 කි. එවකට ඔහු බාසල්හි සම්භාව්‍ය භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු විය. මෙම පොත නිසා ශාස්ත්‍රීය ප්‍රජාව තුල සතුරු පිලිගැනීමක් නීට්ෂේ කෙරෙහි ඇතිවිය. බාසල් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය භාෂාව පිළිබඳ මහාචාර්‍ය වරයෙකු වූ නීට්ෂේට ඔහුගේ ක්ෂේත්රයේ සිසුන් සිටියේ නැත. ඔහුගේ දේශණ, ජර්මානු දාර්ශණික මහාචාර්‍ය වරුන් විසින් කඩාකප්පල් කරනලද අතර ඔවුන් තම සිසුන්ට නීට්ෂේගේ පාඨමාලා සඳහා නොපැමිණෙන ලෙස උපදෙස් දුන්නෝය.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම කෘතිය නීට්ෂේගේ සමස්ථ ශාස්ත්‍රීය ජීවිතයම අවුල්කල බවය. කෙසේනමුත් පසුකාලීනව මෙම කෘතිය ලේඛකයෙකු සහ දාර්ශණිකයෙකු ලෙස ඔහුගේ වර්ධනයේ වැඳගත් සන්දිස්ථානයක් පෙන්වීය. ඔහුගේ ඛේදවාචකයේ උපත(The Birth of Tragedy) සුවිශේෂී සම්භාව්‍ය නිබන්ධනයක් ලෙස සැලකෙන්නේ ඊට දශක කීපයකට පසුවය.(නීට්ෂේ අවසානයේ තමා, “ඛේදනීය දාර්ශණිකයෙකු” ලෙස හඳුන්වාගත්තේය). මෙම කෘතිය බටහිර චින්තනයේ ඉතිහාසය කෙරෙහි, විශේෂයෙන් ග්‍රීක සංස්කෘතියේ අර්ථ නිරූපණය කෙරෙහි ඉතා වැදගත් බලපෑමක් ඇතිකලේය. මෙම කෘතිය සෞන්දර්‍ය ඉතිහාසයේ සම්භාව්‍ය කෘතියක් ලෙස පවතී. බ්‍රිතාන්‍ය දාර්ශණික ෆ්‍රැන්සිස් කොන්ෆෝඩ් කියන පරිදි, නීට්ෂේ විසින් රචිත The Birth of Tragedy යනු ගැඹුරු පරිකල්පනීය තීක්ෂණ බුද්ධියේ කෘතියකි.
නීට්ෂේ පෙන්වාදුන් බලයට ඇති කැමත්ත හෙවත් Will To Power සංකල්පය පිලිබඳව හැඳින්වීම.
දාර්ශණික ආතර් ෂෝපෙන්හවර් භාවිතා කල “ජීවත්වීමට ඇති කැමැත්ත( Wille Zun Leben/Will to Live) පිළිබඳ සංකල්පය වෙනුවට නීට්ෂේ විසින් බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේය. බලයට ඇති කැමැත්ත “ Will to Power” මිනිසුන්ගේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස නීට්ෂේ දුටුවේය. ඔහු බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ පාරභෞතික මූලධර්මයක් ලෙස විවිධ ලෙස අර්ථ කථනය කලේය. බලයට ඇති කැමැත්ත යනු, ජයගැනීමට දරණ අඛංඩ උත්සාහයයි. එයින් නීට්ෂේ අදහස් කරන්නේ තමාට බාධා කරන භාදක ජයගැනීම සහ තමාව ජයගැනීමයි. “බලය” යනු තමාගේ ජීවිතයේ ස්වාමියා වීමට ඇති හැකියාවයි. ඔහු කෲරත්වය සඳහාවූ ආශාව, බලය පිළිබඳ හැඟීමේ සතුට සමගද සම්බන්ධ කරයි. නීට්ෂේගේ විවේචනාත්මක විශ්ලේෂණය අනුව “බලය පිළිබඳ ආශාව” යන සංකල්පය විසින් ජීවිතය පිළිබඳව විශේෂිත අර්ථ කථනයක් නියෝජනය කරයි එසේම ඔහු මානව වර්ගයාට බලය පිළිබඳ පැරණි හරපද්ධතියෙන් මිදීමට හැකිබව තහවුරු කරයි

මාටින් හෛයිඩගර් (1889-1976)
මාටින් හෛයිඩගර් පවසන පරිදි, නීට්ෂේගේ “බලයට ඇති කැමැත්ත” පාරභෞතික මූලධර්මයකි. බලයට ඇති කැමැත්ත මනෝවිද්‍යාත්මක මූලධර්මයක් ලෙස අවධාරණය කරන්නේ නීට්ෂේය. පසුකාලීනව මනෝවිද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්, “බලයට ඇති කැමැත්ත” ඔහුගේ පුද්ගල මනෝවිද්‍යාවට ඇතුලත් කළේය. නීට්ෂේ කියාසිටින්නේ “The Word is the Will to Power and nothing”.
නීට්ෂේ, ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය සමයේදී වෛද්‍ය නියාමකයෙකු ලෙස සේවය කළේය. මේ අත්දැකීම් හරහා ඔහු යුද්ධයේ බිහිසුනු බව මෙන්ම මිනිසාතුල ඇති යුද්ධය සහ බලය කෙරෙහිවූ ආශාව හඳුනාගත්තේය. නීට්ෂේ “බලයට ඇති කැමැත්ත(Will to Power) පිළිබඳව විශ්වීය න්‍යායක් ඉදිරිපත් කළේය. ජීවත් වීමට ඇති කැමැත්ත, “ආධිපත්‍ය දැරීමට ඇති කැමැත්ත” බවට පත්වනබව ඔහු කීවේය. නීට්ෂේ විශ්වාස කළේ, මිනිසුන්ට ආවේණික වටිනාකම් නොමැති බවයි. නීට්ෂේට අනුව, මිනිසුන් යනු කොල්ලකාරී සතුන් ය. ඔහු මෙසේ කියයි. “ඉතිහාසය මෙතරම් ප්‍රචන්ඩවී ඇත්තේ මතගැටුමක් නොව මතවල විශ්වාස ගැටුමයි. එනම් විශ්වාසයන්ගේ ගැටුමයි”.

නීට්ෂේ විසින් පෙන්වාදුන් බලයට ඇති කැමැත්ත හෙවත් Will to Power සංකල්පය ඔහුගේ “Beyond Good and Evil” කෘතිය හරහා පැහැදිලි කරයි. එසේම නීට්ෂේගේ මුල් කෘති (Human All too Human-1878, The Dawn-1881 සහ The Gay Science-1882) බලය සඳහා ඇති ආශාව පිළිබඳව ඔහුගේ පළමු මනෝවිද්‍යාත්මක අවබෝධය සපයයි. Thus Spoke Zarathustra කෘතියේ සාරතෘස්ට්‍රාට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රධාන ඉගැන්වීම් තුනක් අතරින් බලයට ඇති කැමැත්ත ප්‍රධාන වෙයි. (අනෙක් දෙක වන්නේ “Ubermensch-සුපිරි මිනිසා ” සහ “සදාකාලික පුනරාවර්ථනයයි”). නීට්ෂේ මූලික වශයෙන් සැලකිලිමත් වූයේ අන් අය කෙරෙහි නොව තමා කෙරෙහි අණ කිරීම හෝ බලය යෙදවීමයි. බලයට ඇති කැමැත්ත යනු බාධාවන් සමග ගැටීමේදී ප්‍රකාශවන අඛන්ඩ පැවැත්මේ සහ උත්සාහයේ ගතික බලයයි. එය ස්වයං අවබෝධයේ ප්‍රකාශණයකි.
නීට්ෂේ, බලයට ඇති කැමැත්ත වඩාත් සංෂිප්තව Antichrist හි සාරාංශ ගත කරයි. බලය සියළු පුද්ගලයින් තුල දක්නට ලැබෙන, විවිධ අරමුණු කරා යොමුකල් හැකි අතාර්තික බලවේගයක් ලෙස ඔහු දකී. මෙම කොස්ටික් කැමැත්ත ස්වභාව ධර්මය පුරාම දැකිය හැකිබව ඔහු කියයි.
නීට්ෂේ, “ බලයට ඇති කැමැත්ත” විස්තර කරන්නේ “ බලය ප්‍රසාරණය කිරීම” සඳහා සහජ බුද්ධිය ලෙසයි. නීට්ෂේ ජීවිතය තේරුම් කරන්නේ බලය සුරැකීමට සහ වැඩිදියුණු කිරීමට ඇති ආශාව අනුවය. බලයට ඇති කැමැත්ත ජීවිතයේ සාරයයි. ඔහු මෙසේ කීවේය; “ මගේ අදහස නම්, සෑම නිශ්චිත ශරීරයක්ම සියළු අවකාශයේ ප්‍රධානියා වීමට සහ එහි බලය (බලයට ඇති කැමැත්ත) දිගු කිරීමට සහ එහි දිගුවට ප්‍රතිරෝධය දක්වන සියල්ල පසුපසට තල්ලු කිරීමට උත්සාහ කරන බවයි”
ඇතැමුන් තර්ක කරන්නේ නීට්ෂේ ප්‍රචන්ඩත්වය “ සමාජ හා දේශපාලණ ලෝකයට ආවේනික වූවක් ලෙස සලකන බවත්, එය ඉවත්කල නොහැකි ස්ථාවරයක් ලෙස සලකන බවත්ය. ඇතැමුන් බලය පිළිබඳ නීට්ෂේගේ ප්‍රකාශයට ජීව විද්‍යාත්මක අර්ථ කථනයක් දී එය යම් ආකාරයක සමාජ ඩාවින්වාදයකට සමාන කරති. ඩාවින්, පැවැත්ම සඳහා වන අරගලයේදී ස්වාභාවික වරණය හේතුවෙන් විශේෂ පරිනාමය වන ආකාරය පැහැදිලි කරයි. මේ අනුව ඩාවින් ජීවත්වීමට කැමැත්තක් ඉදිරිපත් නොකරයි. නීට්ෂේ බලය දකින්නේ නිර්මාණාත්මක, ආලංකාර සහ ජීවය තහවුරු කරන බලවේගයක් ලෙසටය. පරිණාමය තුල කැමැත්ත කිසිදු කාර්‍යයක් ඉටුනොකරයි. ස්වාභාවික වරණය එනම් පරිසරය මගින් ඇතිවන පීඩන මාලාවක් පරිණාමය ක්‍රියාකරන ආකාරය සඳහා යාන්ත්‍රණය වේ.
නීට්ෂේ තර්ක කරන්නේ අපි අනෙක් මිනිසුන්ට ප්‍රථිලාභ ලබාදීමෙන් සහ ඔවුන්ට රිදවීමෙන් ඔවුන් කෙරෙහි බලය ක්‍රියාත්මක කරන බවයි. බලයට ඇති කැමැත්ත හොඳ හෝ නරක නැත. එය සෑම කෙනෙකු තුලම දක්නට ලැබෙන මූලික ආවේගයකි. එය විවිධ ආකාරවලින් ප්‍රකාශ වෙයි. ඔහු බලය ලුහුබැඳීම වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. ඒ වෙනුවට බලයට ඇති කැමැත්ත නිර්මානාත්මක ක්‍රියාකාරකම් බවට පත්කිරීම ඔහු ප්‍රශංසා කරයි. බලයට ඇති කැමැත්ත, විශ්වය පුරා ක්‍රියාත්මක වන මූලික මූලධර්මයක් වියහැකිය යන අදහස නීට්ෂේ විශ්වාස කළේය.
මානව ස්වභාවය සම්බන්ධයෙන්, ෆෙඩ්රිච් නීට්ෂේ අවධාරණය කරන්නේ, මිනිසා සංක්‍රාන්ති ,අවසාන, සංවර්ධන අවධියක් නොවන බවය. මිනිසාතුල ඇති විශිෂ්ඨත්වය නම්, ඔහු පාලමක් මිස ඉලක්කයක් නොවේ. ඔහු මෙසේ කිය්යි; Life itself is, Will to Power” එනම්, ජීවය යනු බලයට ඇති කැමැත්තයි. නීට්ෂේ විශ්ව සදාචාර සංග්‍රහයක පදනම සහ සීමාව ලෙස බලයට ඇති කැමැත්ත භාවිතා නොකරයි.
නීට්ෂේට අනුව, ලෝකය කිසිවිටෙක ස්ථාවර තත්වයක නොපවතියි. ලෝකය පුරා ප්රතිවිරෝධයන් සහ ආතති, ගැටුම් පිළිබඳව ඔහු අවධානය යොමුකරයි. බලයට ඇති කැමැත්ත යනු පාරභෞතික එකමුතුවක් විශේෂිත ස්වරූපයක් ප්‍රකාශකිරීමක් නොවනබව ඔහු කියයි. සතුට මගින් ජීවිතය මැනීම නීට්ෂේගේ විරෝධයට හේතුවේ, මන්ද බලයට ඇති කැමැත්තේ ව්‍යුහය පෙන්නුම් කරන්නේ අතෘප්තිය සහ අප්‍රසාදය ජයගැනීමද කලයුතු කාර්යයන් වනනිසාය. මේ අනුව “ අතෘප්තිය” යනු, බලයට ඇති කැමැත්තට උත්තේජනයකි. මිනිසා ප්රතිවිරෝධය සොයයි. ඔහුට විරුද්ධව යමක් අවශ්‍යයි යනුවෙන් නීට්ෂේ පවසයි. “ බලය” මානව ප්‍රචන්ඩත්වය ජයගැනීමේ ආවේගයක් ලෙසටත් ඔහු හඳුනාගනියි.
නීට්ෂේ තර්ක කරන්නේ “ බලය” යනු, ජීවිතයේ අවසාන සහ එකම ඉලක්කය වන අතර, බලයට ඇති කැමැත්ත මිනිසුන් අභිප්‍රේරණය කරන බවයි. බලය සඳහා පුද්ගලයෙකුගේ කැමැත්ත සැබෑ නිදහසේ සහ නිර්මාණශීලිත්වයේ එකම මූලාශ්‍රය වෙයි. එය වැළඳගෙන වගා කලයුතුය. බලයට ඇති කැමැත්ත අවසානයේ පුද්ගලයා සහ සමාජයේ බාහිර බලවේග අතර අරගලයක් බවත්, පුද්ගලයන් පැවැත්ම සඳහා ශක්තිමත්ව සිටිය යුතු බවත්, බලය සඳහා උත්සාහ කලයුතු බවත් ඔහු විශ්වාස කළේය. බලයට ඇති කැමැත්ත, මිනිසුන් තම ඉලක්ක කරා ලඟාවීමට සහ සාර්ථකත්වය සදහා උත්සාහ කිරීමට පොළඹවන මූලික තල්ලුවක් බවට ඔහු තර්ක කළේය. නීට්ෂේට අනුව, මෙම කැමැත්ත සහජ වන අතර එය සියළු මිනිස් ක්‍රියාකාරකම්වල මූලාශ්‍රය වේ. ඔහු තර්ක කළේ මෙම කැමැත්ත මිනිසුන් ප්‍රගතියට ගෙනයාමට සහ නව තාක්ශණයන්, කලාව සහ සංස්කෘතිය නිර්මාණය කිරීමට හේතු වනබවයි. ඔහුගේ තර්කය වන්නේ සමාජයක් යනු, බලයට ඇති කැමැත්තේ සාමූහික ප්‍රකාශණයක් බවයි.
නීට්ෂේ බලයට ඇති කැමැත්ත සදාචාරාත්මක මූලධර්මයක් ලෙස නොසලකයි. මිනිසුන් තම බලයට ඇති කැමැත්ත සම්මත හෝ සදාචාරාත්මක මූලධර්මයක් ලෙස අනුගමනය කලයුත්තේ මන්දැයි ඔහු කිසිම අවස්ථාවක පැහැදිලි නොකලේය. එහෙත් බලයට ඇති කැමැත්ත මිනිස් හැසිරීම් වලට බලපාන බව නීට්ෂේ කීවේය. නීට්ෂේට අනුව, බලය සඳහා ඇති කමැත්ත යනු බලය ලබාගැනීමට සහ කෙනෙකුගේ ජීවිතය සහ පරිසරය පාලනය කිරීම සහජ මානව අවශ්‍යතාවයකි. මෙම අවශ්‍යතාවය මිනිස් හැසිරීම් පිටුපස ඇති ගාමක බලවේගය බවට ඔහු තර්ක කළේය.
නීට්ෂේගේ දර්ශණය බලයේ සියළු සීමාවන්‍ට අභියෝග කරයි. ඔහු සාම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සැලකුවේ “ රංචු සදාචාරය” (Herd Morality) ලෙසටය. එය ආගමික සදාචාරවලට යටත්වීම නිසා ඇතිවන දුක්ඛිත ප්‍රතිවිපාකයකි. නීට්ෂේගේ දේශපාලණ සන්දර්භය ආධිපත්‍ය දැරූ චරිතය ඔටෝ වොන් බිස්මාක් වූ අතර, බිස්මාක් ප්‍රෂියානු දේශපාලණයේ වැදගත් චරිතයක් විය. සාමකාමී යුරෝපයක් තුල ජර්මනියේ ස්ථාවර දේශපාලණ තත්වයක් පවත්වාගැනීම සඳහා බිස්මාක් ඉතා දක්ෂ ලෙස බලතුලනය භාවිතා කළේය.

නැපෝලියන්…
ප්‍රංශ විප්ලවයේ රූසෝ සහ “ සමානාත්මතාවයේ මූලධර්මය” කෙරෙහි නීට්ෂේ සැක පහල කළේය. ප්‍රංශ විප්ලවය්, ස්වභාව ධර්මයේ සහ මිනිස් ස්වභාවයේ යථාර්තය ප්‍රතික්ෂේප කරන බව ඔහු කීවේය. රූසෝ ඉදිරිපත් කරන ප්‍රාථමික සමානාත්මතාවයට පටහැනිව “ ස්වභාව ධර්මය වෙත ආපසු යාම” ගැන නීට්ෂේ කථා කළේය. නැපෝලියන්ගේ පැමිණීම මේ අනුව ස්වභාව ධර්මයට ආපසු යාම සලකුණු කරයි.
(ප්‍රංශ ඉතිහාසඥ්ඥ ජීන් රිචර්ඩ් බ්ලොච් ප්‍රකාශ කරන්නේ, නැපෝලියන්ගෙන් නූතන යුගය ආරම්භවූ අතර එය ආගමික හෝ සදාචාරාත්මක ප්‍රථිවිරෝධතාවයකින් තොරව එහි අසීමිතත්වය බලය පිළිබඳ සංකල්පය මගින් නිර්වචනය වූ බවයි) නීට්ෂේ විප්ලවවාදී ආත්මයට විරුද්ධ වන අතර දෘෂ්ඨිවාදී බලාපොරොත්තුවල අනපේක්ෂිත ප්‍රථිවිපාක පිළිබඳව සඳහන් කරයි. ඔහුගේ ලේඛණවල ඔහු සමානාත්මතා ආරාජිකවාදීන් (Egalitarian Anarchists) පිළිබඳව නිෂේධාත්මක දෘෂ්ඨියක් දරයි.

දොන් බොම්බොව්ස්කිට අනුව, බලය පිළිබඳ මැකියාවෙලිගේ අදහස් නීට්ෂේට බලපෑවේය. මැකියාවේලි (1469-1527) වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ දේශපාලණ නිබන්ධනය වන “ප්‍රින්ස්” (කුමාරයා) නිසාය. මැකියාවේලිගේ නූතන දේශපාලණ දර්ශණයේ සහ දේශපාලණ විද්‍යාවේ “පියා” ලෙසද හඳුන්වනු ලැබේ. මැකියාවේලි “මිනිසා” දකින්නේ, දේශපාලණ “සතෙකු” ලෙසටය. මැකියාවේලි තර්ක කලේ ක්‍රිස්තියානි ධර්මය රාජ්‍යයන් දුර්වල කර ඇති අතර අනුගාමිකයින් රාජ්‍යයේ නියැලීමට වඩා කල්පනාකාරී ජීවිත ගතකරන බවයි. රාජ්‍යයේ අභිමත පරිදි ජනතාව පාලනය කිරීමේ මාද්‍යයක් ලෙස එය භාවිතා කිරීමද ඔහු යෝජනා කළේය. බලය සෙවීමේදී පාලකයා වේගයෙන් ක්‍රියාකලයුතු අතර ඉතා කපටි විය යුතුය. වේගයෙන් ගමන් කරන පුද්ගලයා පළමුව ජයග්‍රාහකයා බවට පත්වෙයි. මැකියාවේලි උත්සාහ කරන්නේ ලෝකයේ යථාර්තය සමඟ ගණුදෙණු කිරීමටය. මැකියාවේලි කියා සිටින්නේ සදාචාරය පිළිබඳ මනඃකල්පිත අදහස් වලට ඇලී සිටීම සහ ජීවිතයේ යථාර්තය නොසලකා හැරීම විනාශකාරී බවයි. මැකියාවේලී ගුණධර්ම වල හානිකර ස්වභාවය ඉස්මතු කරනවා පමණක් නොව, බලය පවත්වා ගැනීම සඳහා දුෂ්චරිතවල ඇති ප්‍රයෝජනය ගැනද අවධානය යොමු කරයි.
ෆෙඩ්‍රිච් නීට්ෂේ ගේ දර්ශණය ගැන මට මුලින්ම අධ්‍යාපනය කිරීමට ඉඩ ලැබුනේ යුක්‍රේනයේ විනිට්සා වෛද්‍ය සරසවියේ අපහට Dialectical Materialism විෂය ඉගැන්වූ ආචාර්‍ය ස්ටෙපානොව් මගිනි. ඉන්පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රිචර්ඩ් ලේලොන්ඩ් ගෙන් නීට්ශේගේ මනෝ විද්‍යාවත්, එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය බෙරිල් ලෝගන් ගෙන් නීට්ෂේ දර්ශණයන් මා හැදෑරුවෙමි. එසේම වැඩිදුරටත් නීට්ෂේ කියවූවෙමි. මේ එම අධ්‍යයනයන් සහ කියවීම් ආශ්‍රයෙන් ලියනලද කෘතියකි. –රුවන් එම්. ජයතුංග.

Dr.රුවන්. එම්. ජයතුංග.