|

නීට්ශේ කියවමු..!(4 වෙනි කොටස)

මැකියවේලි උත්සාහ කරන්නේ ලෝකයේ යථාර්තය සමඟ ගනුදෙනු කිරීමටය. මැකියවේලි කියා සිටින්නේ සදාචාරය පිළිබඳ මනඃකල්පිත අදහස් වලට ඇලී සිටීම සහ ජීවිතයේ යථාර්තය නොසලකා හැරීම විනාශකාරී බවයි. මැකියවේලි ගුණධර්මවල හානිකර ස්වභාවය ඉස්මතු කරනවා පමණක් නොව, බලය පවත්වා ගැනීම සඳහා දුෂ්චරිතවල ඇති ප්‍රයෙෝජනය ගැනද අවධානය යොමුකරයි. නීට්ශේ සහ මැකියවේලි දෙදෙනා අතර පවතින සමානකම් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ දාර්ශනික ආස්ථානයන් මත පදනම්වේ. නීට්ශේ සදාචාරාත්මක බලය ගැන උනන්දු විය. මැකියවේලි සදාචාරයේ උපයෙෝගීතාව ප්‍රශ්න කරන විට, නීට්ශේ ඒ වෙනුවට සදාචාරයේ කල්පවත්නා වලංගුභාවය සහ වෛශයික අධිකාරිය (objective authority ) විමර්ශනය කරයි.

දේශපාලණ සදාචාරය.

වහල් සදාචාරයට සෑම විටම පළමුව අවශ්‍ය වන්නේ සතුරු බාහිර ලෝකයකි. එහි ක්‍රියාව මූලික වශයෙන් ස්වාමි සදාචාරය කෙරෙහි වූ ප්‍රතික්‍රියාවකි. නීට්ෂේ විශ්වාස කරන්නේ මිනිසා තුළ ඕනෑම ආකාරයක සදාචාරයක් පැන නැගී ඇත්තේ ඔහුයේ සත්ව ස්වභාවය ඔහුයේ උසස් ආත්මය විනාශ කිරීම වැළැක්වීම සඳහා බවයි. ඔහු මෙසේ කියයි; සදාචාරය යනු [මෘගයා] අපව කැබලිවලට ඉරා නොදමනු පිණිස කියනු ලබන නිල බාරුවකි. දේශපාලණය සදාචාරයට සම්බන්ධයක් නැත යන්න මැකියවේලිගේ අදහසයි. මෙම හැඟීම නීට්ශේගේ ලිවීම් වලින් ද සොයාගත හැකිය. මැකියවේලිගේ දේශපාලනය තුළ, සදාචාරාත්මක වටිනාකම්වල වටිනාකම් පිරිහී සහ අඩු වැදගත්කමක් ඇති කරන අතර, බලය, ස්වෙයිරීභාවය සහ අවශ්‍යතාවල වටිනාකම් ප්‍රධාන තැනක් ගනී.

ඔහුයේ ලේඛනවල යුද්ධය උත්කර්‍ෂයට නංවවන බවකීවද ඔහු “යුද්ධය” යන වචනය බුද්ධිමය සහ අධ්‍යාත්මක සටන් සඳහා රූපකයක් ලෙස යොදා ගත්තේය. (යුද්ධය සැමවිටම විනාශකාරී දෙයක් නොවන බවත්, සාමය සැමවිටම වටිනා දෙයක් නොවන බවත්, සාමය සැමවිටම යුද්ධයේ ආකාරයක් වියහැකි බවත් නීට්යෂේ විශ්වාස කරයි). මිනිසුන් තම ජීවිතයේ යම් අර්ථයක් සහ වටිනාකමක් ඇති මූලාශ්‍ර හඳුනා ගත යුතු බවත්, විද්‍යාවෙන් එය සොයා ගැනීමට නොහකි වුවහොත්, ඔවුන් ආක්‍රමණශීලී ජාතිකවාදයට සහ වෙනත් එවැනි මූලයන් වලට යොමු වන බවත් නීට්යෂේ පවසයි. මිනිසා ශක්තිය සහ බුද්ධිමය අවංකභාවය කෙරෙහි අවධානය යොමුකලේනම්, ලෝකය වඩාත් සාමකාමී වනු ඇත.

“ලෝකයේ සිදුවන සියලුම නපුරෙන් හතරෙන් තුනක්ම සිදුවන්නේ බියගුලුකම නිසා‍ය”
-ෆෙඩ්‍රිච් නීට්ශේ-

ඒකාධිපතිවාදය සහ ආඥ්ඥාදායකත්වය පිළිගැනීම, රාජ්‍යයේ පුරවැසියන් මර්දනය කිරීමට රාජ්‍ය බලය අසීමිත ලෙස භාවිතා කිරීම සහ ආක්‍රමණශීලී ලෙස රටවල් යටත් කර ගැනීම නීට්ශේ අනුමත නොකරයි. එහෙත් බලය පිලිබඳ කථිකාවේදී ඇතැමුන් නීට්ශේගේ දර්ශනය මූලික වශයෙන් බටහිර සංස්කෘතියේ මරණ ප්‍රාර්ථනාවක් ලෙස සලකති. කෙසේ නමුත් බලය කෙරෙහි මිනිසාගේ ආශක්තවීම් නීට්ශේ නිවැරදිව වටහා ගත් අතර, මාක්ස් හෝ සිග්මන් ෆ්‍රොයිඩ්ට වඩා බලය ඉදිරියේ මානව හැසිරීම් පිළිබඳව වඩාත් පුළුල් සහ වඩාත් පිළිගත හැකි පරිදි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය.

References.

Anderson, R. L. (1994). “Nietzsche’s Will to Power as a Doctrine of the Unity of Science”. Studies in History and Philosophy of Science. 25 (5): 738.

Berkowitz, P. (1995) Nietzsche: Ethics of an Immoralist. Cambridge: Harvard University Press.

Beiner, R. (2018). Dangerous minds: Nietzsche, Heidegger, and the return of the far right. Philadelphia: University of Pennsylvania Press.Danto, A. C.(1980). Nietzsche as Philosopher. (Columbia University Press).Detwiler, B.(1990). Nietzsche and the Politics of Aristocratic Radicalism. Chicago: The University of Chicago Press.Klein, W.(1997). Nietzsche and the Promise of Philosophy. (State Univ. of New York Press).

නීට්ශේගේ “සුපිරි මිනිසා” (Overman) පිළීබඳ සංකල්පය.

නීට්ශේගේ සුපිිරි මිනිසා(overman) පිළිබඳ සංකල්පය “Übermensch” (Superman” /Overman) ඔහුගේ චින්තනයේ වඩාත්ම වැදගත් සංකල්පයකි. නීට්යේ ඔහුගේ Thus Spoke Zarathustra (1883 ) කෘතියෙන් මානව පරමාදර්ශය වූ සුපිරි මිනිසා පිළිබඳ සංකල්පය ඉදිරිපත් කලේය. සුපිරි මිනිසා ඔහුගේ සමස්ථ චින්තනයේ සහ කේන්ද්‍රයේ නියෝජිතයා වේ. සුපිරි මිනිසා පුද්ගලවාදී පරමාදර්ශයක් නොවේ. ඔහු සමාජ පරමාදර්ශයකි. “Overman” යන්නෙන් අදහස් කරනුයේ තමා සහ මිනිස් ස්වභාවය වචනාර්ථයෙන් ජයගත් මිනියසකු පිලිබඳ නීට්ශේගේ සංකල්පයයි. නීට්ශේගේ මානයන්ට අනුව, සුපිරි මිනිසා යනු, ස්වභාව ධර්මය ජය ගැනීමට සමත් පුද්ගලයෙකි. ඔහු මනුශ්‍ය තත්වයේ බන්ධන අභිබවා නිදහස් තත්වයකට ළඟා වූ අයෙකි. ඔහු තමාගේ ඉරණම තීරණය කරයි, ඔහුගේම වටිනාකම් නිර්මාණය කරයි.

overman යනු මිනිසායේ අවසාන ස්වරූපෙයි. ඔහු මරණින් මතු ජීවිතයට නොව වර්තමාන ජීවිතය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ශුනයවාදය ජයගන්නා අයෙකි. ඔහු ස්වායත්ත නිර්මාපකයෙකු ලෙස තමා කෙරෙහි සිය විශ්වාසය තබන අතර අන් කිසිවක්මත රඳා යනාපවතී. ඔහු තමාව ජය ගනී, ඔහුගේ ආවේගයන් සහ ආශාවන් උත්කෘෂ්ට කරයි. ඔහුගේම ඉරණමේ ස්වාමියාය. ඔහු සැබෑ මනුස්සත්වයේ ආදර්ශයයි. නීට්ශේ පවසන පරිදි සුපිරි මිනිසා මානව වර්ගයාගේ සංවර්ධනයේ ඉහළම මූලධර්මය නියෝජනය කරයි. සුපිරි මිනිසා සාමානය මිනිසාගෙන් ඔබ්බට යන්නෙකි. ඔහු, සුපිරි මිනිසා ආගමේ කුරිරු පාලනයෙන් මිදීමේ සංකල්පයක් ලෙස ඉදිරිපත් කරයි. ආගමේ කුරිරු පාලනයෙන් නිදෙස් වූ නව මිනිසෙකුගේ හෙවත් සුපිරිමිනිසාගේ ආගමනය වාමනකමේ අවසාන පරිච්චේදය බව හෙතම කීවේය. සුපිරි මිනිසා නිදහස් ආත්මයේ ප්‍රකාශණයක් මෙන්ම මනුශ්‍යත්වයේ සාරය වෙයි. කෙසේ වෙතත්, නීට්යෂේ සුපිරි මිනිසා පිළිබඳ ඔහුගේ අදහස කිසිදු පාරභෞතිකයකට සම්බන්ධ නොකරයි.

ඩයෝනීසියානු විඥ්ඥාණය.

නීට්යේ සුපිරි මිනිසා මානව වර්ගයාගේ විභව අන්තලක්ෂයක් ලෙස දකී. නීට්ශේගේ Übermensch හි වඩාත් ප්‍රමුඛ වන්නේ ස්වාධීනත්වය, ස්වයං අවබෝධය, පුද්ගලික විමුක්තිය, ස්වයං නිර්ණය සහ මනෝවිද්‍යාත්මක සම්පූර්ණත්වය සහ සෞඛ්‍යය වැනි වටිනාකම් වෙති. මේ සඳහා ධෛර්යය අවශය වේ. එය පූර්ව අවශ්‍යතාවයකි. සාරධර්ම පිළිබඳ නීති සම්පාදකයා සහ තමා සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම මීට ඇතුලත් වෙයි. නිර්මාණශීලීත්වය සහ අව්‍යාජත්වය වගා කිරීම ජයගැනීම ඔහුයේ දර්ශනයේ ශ්‍රේෂඨතම ඉල්ලීමයි. මේ සඳහා ඩයොනීසියානු පරමාදර්ශයන් සාක්‍ෂාත් කරගැනීමේ වැදගත්කම ඔහු පහදයි. එයින් අදහස් වන්නේ මිනිසා තමාගේම ඩයොනීසියානු ස්වභාවය අවබෝධකරගෙන එය පිළිගෙන සුදුසු යලස භාවිතා කළ යුතුබවයි. නීට්ශේ ඩයෝනීසියානු විඥ්ඥාණය කලාත්මක නිර්මාණ සඳහා තීරණාත්මක ලෙස දකී.

උද්ද්‍යෝගය සහ ප්‍රීතිය ඩයොනීසියානුය, මන්ද එවැනි තත්වයන් තුළමිනිසා තම පෞද්ගලිකත්වය අතහැර වඩා විශාල සමස්තයක් තුළ ගිලී යයි. ඔහුයේ මතය අනුව, මිනිසුන් උපතින්ම සමාන නොවේ. සුපිරි මිනිසා (‘Ubermensch’) යනු, සම්ප්‍රදායික සදාචාරයට වඩා ඉහලින් සිටි සහ තමන්යේ ඉරණම සකස් කර ගැනීමට සමත් වූ අධිමානුෂීක බලයේ චරිතයකි. ඔහු මනුෂයත්වයේ ප්‍රගමනයට අවශ්‍යය. සෞඛ්‍යය සම්පන්න, ඵලදායී සමාජයක් සහ ප්‍රීතිමත් ජීවිතයක් සඳහා සුපිරි මිනිසා කදිම ආදර්ශය බව ඔහුවිශ්වාස කලේය. නීට්ශේගේ සුපිරි මිනිසා කිසියවකුටවත් යටත් නොවේ. සුපිරි මිනිසා දෙවියන් ඇතුළු කිසිම ජීවියෙකු විසින් පාලනය නොවේ. සුපිරි මිනිසා නියෝජනය කරන්නේ කෙනෙකුගේ පූර්ණ හැකියාවන්, නිදහස සහ නිර්මාණශීලිත්වය තහවුරු කිරීමයි.

මනුශ්‍යත්වයේ සාරය.

නීට්ශේගේ සුපිරි මිනිසා ජීවිතය ප්‍රතික්ශේප නොකරන නමුත් එය තහවුරු කරයි. ඔහු ලෝකය පරිවර්තන කිරීමේ හැකියාව නියෙෝජන කරයි. සුපිරි මිනිසා සම්ප්‍රදායික සියල්ල ප්‍රතික්ශේප කරයි. මානව භාවිතයන්, වටිනාකම් සහ ඔහුගේම වටිනාකමක් නිර්මාණය කරයි. නීට්ශේගේ සුපිරි මිනිසා යනු, මෙතෙක් අප මනුශ්‍යයන් ලෙස නිර්වචනය කර ඇති දෙය අභිබවා ගිය ජීවියෙකි. මෙම සුපිරි මිනිසුන් අසාමාන්‍ය මිනිසුන් ලෙස ශාරීරිකව ශක්තිමත් විය යුතු නැත. සුපිරි මිනිසා අනිවාර්‍යයෙන්ම පරිපූර්ණ භෞතික නිදර්ශකයක් නොවේ. සුපිරි මිනිසා යනු, දෙවියන් මියගොස් ඇතිබවත් එම ආගම තවදුරටත් නැති බවත් දන්නා තැනැත්තාවේ. ඔහු සදාචාරාත්මක නිරපේක්ෂකත්වයේ කුරිරු පාලනයෙන් නිදහස්‍ ය. සුපිරි මිනිසා යනු, මනුශ්‍යත්වයේ සාරයයි. ඔහු පෘථිවියේ ස්වාමියාය. සුපිරි මිනිසා සංස්කෘතික පරිහානිය සහ ආගම විසින් මිනිසා දුර්වල කිරීමේ ගැටලුවට විසඳුමකි. නීට්ශේගේ සුපිරි මිනිසා යනු “බලයට ඇති කැමැත්ත” පිළිබඳ ඉහලම සහතිකයයි.

සියලු මිනිස් හැසිරීම් බලයට ඇති කැමැත්තෙන් පෙළබී ඇතිබව බව ඔහු කියා සිටියේය. බලයට ඇති කැමැත්ත හුදෙක් අන් අය කෙරෙහි බලයක් නොව, නිර්මාණශීලීත්වය සඳහා අවශ්‍ය තමා කෙරෙහි ඇති බලයයි. සුපිරි මිනිසා යනු, තනි පුද්ගල ආත්මය අභිබවා ගොස් බලයට ඇති කැමැත්ත වැදගත් නිර්මාණ ශීලීත්වය සඳහා අවශ්‍ය තමා කෙරෙහි ඇති බලයයි. සුපිරි මිනිසුන් යනු, තනි පුද්ගල ආත්මය අභිබවා ගොස් බලයට ඇති කැමැත්ත වැදගත් නිර්මාණශීලිත්වයකට යටත්කල පුද්ගලයාය. සුපිරි මිනිසුන්, යනු “ප්‍රධාන සදාචාරයක” නිර්මාතෘවරුන් වෙති. නීට්යෂේයේ දර්ශනය තුළ, අපේක්ශාව පිළිබඳ පැහැදිලි හැඟීමක් ඉතිරිව පවතී. එය සුපිරි මිනිසා තුලින් සංකේතාත්මක වෙයි. සුපිරි මිනිසා වෙත ලඟාවීමට මූලධර්ම අවශ්‍ය නොවේ. ආගම යනු මනුශ්‍ය වර්ගයා කනස්සල්ලෙන් සහ තැතිගැන්මෙන් ආරක්‍ෂා කරන බැම්මකි. එය මනංකල්පිත බැම්මකි. එමගින් මිනිසා තමන්වම රවටාගනිමින් කනස්සල්ල සහ තැතිගැන්ම විතැන් කොට ජීවත් වෙයි.

ප්‍රබන්ධ ලෝකය.

ආගම යනු මනුෂ්‍ය වර්ගයා කනස්සල්ලෙන් සහ තැතිගැන්මෙන් ආරක්ෂා කටන බැම්මකි. එය මනස්කල්පිත බැම්මකි. එමගින් මිනිසා තමන්ම රවටා ගනිමින් කනස්සල්ල සහ තැතිගැන්ම විතැන්කොට ජීවත්වෙයි. වහලුන්ට සැබෑ ජීවිතයේ ඔවුන්ගේ දුර්වලතා අමතක කිරීමට පරමාදර්ශයක් හෝ මනස්කල්පිත දෙවියෙකු අවශ්‍ය වේ. සුපිරි මිනිසා ජීවිතය පිළිබඳ යතාර්ථය දන්නා බැවින් ඔහුට මෙවැනි කිහිලි කරුවක් හෝ මනස්කල්පිත බැම්මක් අවශ්‍ය නොකෙරේ. වහලුන්ට සැබෑ ජීවිතයේදී දුර්වලතා අමතක කිරීම සඳහා පරමාදර්ශයක් හෝ කල්පිත දෙවියෙකු නිර්මාණය කලයුතු අතර ඔවුන් ප්‍රබන්ධ ලෝකයක ජීවත්වේ. එහෙත් සුපිරි මිනිසා, ඔහු ප්‍රබන්ධ ලෝකයක ජීවත් නොවේ. ඔහු ගණුදෙනු කරන්නේ යථාර්තය සමඟය. සුපිරි මානව පැතිකඩ වෙත ලඟාවීම සහ එහි අරමුණු ඉටුකර ගැනීම සඳහා ප්‍රබන්ධ ලෝකයෙන් ජීවත්වීම අනිවාර්‍ය වේ. සුපිරි මිනිසාට ලඟාවීමට මිනිසා වෙත ප්‍රමාණවත් බලයක් ඇතැයි නීට්ශේ විශ්වාස කරයි.

මිනිසා යනු මෘගයා සහ සුපිරි මිනිසා අතර බැඳඇති කඹයකි. මිනිසාතුල ඇති ශ්‍රේෂ්ඨ දෙයනම් ඔහු පාළමක් මිස අවසානයක් නොවේ. මිනිසාට තමා මත පටවා ඇති සියළු බලපෑම් සහ මූලධර්ම වලින් මිඳුණු විට ඔහුට ඔහුගේ සාරධර්ම අනුව ඔහුගේම ජීවන ව්‍යාපෘතියක් ස්ථාපිත කලහැකිය.

මිනිසා සුපිරි මිනිසෙකු බවට පත්වීමෙන් පසුව ඔහුගේ නිදහස සීමාකරන ඕනෑම වටිනාකමක් ප්‍රතික්ෂේප කරයි. ඔහුට ඔහුගේ දුර්වලතා ජයගත හැකිය. ඔහු නිරන්තර පරිවර්ථනයකි. ඔහුට ඔහුගේ සීමාවන් ජයගැනීමට සමත්වේ. ඔහු නිර්මාණශීලී, අව්‍යාජ සහ නිර්භීතය. හේ තමන්ව හික්මවන වටිනාකම් නිර්මාණය කරන නිදහස් පුද්ගලයෙකි.

පෘතුවියේ අර්ථය.

නිදහස් වීම යනු, අවසානයේ තනිව සිටීම, කෙනෙකුගේ ජීවිතය පිළිවඳ සම්පූර්ණ වගකීම භාරගැනීමයි. Ubermensch නොහොත් සුපිරි මිනිසා මිනිස් පැවැත්මේ සීමා ඉක්මවාගොස් ඔහුගේම ස්වාමියා බවට පත්වේ. ඔහු ජීවිතය සම්පූර්ණයෙන් තහවුරුකිරීමට සමත් ජීවියෙකි. ඔහු පෘතුවියේ අර්ථය වනුඇත.

නීට්ශේගේ මතය අනුව, අධිපතියෙකුට ඉතිහාසයට අසීමිතලෙස බලපෑම් කිරීමට හැකිවිය යුතුය. ඔහු අන් අයගේ මනස හරහා නැවත ලෝකයට ඇතුල්වන අතර ඔවුන්ගේ සිතුවිලි සහ සාරධර්ම කෙරෙහි බලපානු ඇත. නීට්ශේ විසින් බෙහෙවින් අගය කරන නැපෝලියන් මේ සඳහා උදාහරණයකි. ජීවිතය යනු බලයට ඇති කැමැත්ත බව ඔහු ප්‍රකාශ කරයි. නීට්ශේ සුපිරි මිනිසා පිළිබඳව තම Will to Power කෘතියේ සඳහන් කරමින් ඔහු “ ක්‍රිස්තුස්ගේ ආත්මය සහිත රෝමානු සීසර් කෙනෙකු” බව කීවේය. නීට්ශේ සුපිරි මිනිසුන් අතරට සොක්‍රටීස්, ජේසුස්, ජූලියස් සීසර්, ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ඈන්ජලෝ, ෂේක්ස්පියර්, ගොතේ සහ නැපෝලියන් ලයිස්තුගත කරයි.(නීට්ශේ තමා Ubermensch කෙනෙකු ලෙස සිතූබවට කිසිඳු සාක්ෂියක් නොමැත) නීට්ශේ සුපිරි මිනිසාව ඉදිරිපත් කරන්නේ ශුන්‍යවාදය පිටුදැකීම සඳහා සහ නව වටිනාකම් හි නිර්මාතෘ වරයාත් ලෙසටය.

මනුෂ්‍යත්වය තමන් විසින්ම තමන් විසින්ම සකසා ගතහැකි ඉලක්කයක් ලෙසට සුපිරි මිනිසා හඳුන්වා දිය හැකිය. නීට්ශේ විසින් හඳුන්වාදුන් “සුපිරි මිනිසා” පිළිබඳ සංකල්පය හිට්ලර් සහ නාසි පාලන තන්ත්‍රය විසින් යොදාගන්නා ලදී. “සුපිරි මිනිසා” සංකල්පය ජර්මානු නාසිවාදය විසින් ප්‍රයෝජනයට ගනු ලැබූවද, නීට්ශේ විසින් “ජර්මන් ජාතික වාදය” විවේචනය කලබව නට්සීන් හිතාමතාම අමතක කලහ. නීට්ශේ හිට්ලර්ගේ පාලන සමයට බොහෝ කලකට පෙර මියගිය අතර නට්සීන් ඔහුගේ දර්ශණය අවහාවිත කරන ලදී. නීට්ශේ පැහැදිලිවම “ජාතික  වාදය” සහ “වාර්ගික වෛරය” ප්‍රතික්ෂේප කළේය. සත්‍යවශයෙන්ම සුපිරි මිනිසා (Ubermensch) යනු යල්පැනගිය ආගම් සහ සදාචාරය නිසා අප හිරවී නොසිටියේනම්, අප  එක් එක් කෙනා කුමක් වියහැකිද යන්න පිළිබඳව නීට්ශේගේ දැක්මය

Reference.

  1. Ansell-Pearson, Keith (1994), An Introduction to Nietzsche as Political Thinker: The Perfect Nihilist. Cambridge: Cambridge University Press.
  2. Detwiler, B (1990). Nietzsche and the Politics of Aristocratic Radicalism. Chicago: University of Chicago Press.
  3. The Cambridge Companion to Nietzsche, ed. B. Magnus and K.M Higgins, Cambridge University Press, 1990.
  4. Nietzsche, Life As Literature, Alexander Nehamas, Harvard University Press, 1994.

නීට්ශේගේ සදාකාලික පුනරාවර්ථනය (The Concept of the Eternal Recurrence) සංකල්පය.

සදාකාලික පුනරාවර්ථනය්(The Concept of the Eternal Recurrence) නීට්ශේගේ චින්තනයේ කේන්ද්‍රීය සංකල්පයකි. සදාකාලික පුනරාවර්ථනය යනු, විශ්වයේ සෑම සිදුවීමක්ම අසංඛ්‍යාත වාර ගණනක් නැවත සිදුවන බවටවූ ධර්මයකි.( පයිතගරස්, සංඛ්‍යා යනු අවසාන යථාර්තය බවට විශ්වාස කරන අතර, සෑම දෙයක්ම නැවත සිදුවනු ඇතැයි කියා සිටී. පූර්ව සොක්‍රටීස්වරුන් වන ඇනක්සිමැන්ඩර් සහ එම්පෙඩොක්ලීස්ද පුනරාවර්ථනය ගැන අදහස් පලකළෝය.

Lucius Annaeus Seneca(m.50AD-65AD)

ප්ලේටෝ සහ පයිතගරස් හරහා ස්ටොයික්වරුද විශ්වය චක්‍රීය ගතිකයක් බව කීහ. රෝමානු ස්ටොයික් සෙනෙකා(ක්‍රි:ව:65) ලුසිලියස්ට මෙසේ පවසයි: “ අපගේ ඇස්වලින් අතුරුදහන් වන දෑ හුදෙක් ස්වාභාවික ලෝකයේ ගබඩා කර ඇත. ඒවා නිවීයයි. නමුත් ඒවා විනාශ වන්නේ නැත… නැවත ඒ දවස පැමිණෙනු ඇත.

සදාකාලික පුනරාවර්ථනය යනු, කාලයේ අනන්ත ස්වභාවය අනුව සිදුවූ හෝ සිදුවනු ඇති සෑම සිදුවීමක්ම නැවත නැවතත් සිදුවන බවට වූ අදහසයි. නීට්ශේට අනුව සදාකාලික පුනරාවර්ථනයට ඇඟවුම් කීපයක් ඇත. පළමුව එය නිමක් නැතිව පුනරාවර්ථනය වන බැවින් සෑම මොහොතක්ම අසීමිත ලෙස වැඳගත්වේ. ඒනිසා අප ගන්නා සෑම ක්‍රියාවක්ම සහ තීරණයක්ම අපගේ ජීවිතයට සහ අප අවට ලෝකයය සදාකාලික බලපෑමක් ඇති කරයි. දෙවනුව එය යෝජනා කරන්නේ අප ජීවිතය සම්පූර්ණයෙන්ම සහ වෙන්කිරීමකින් තොරව වැළඳගතයුතු බවයි. මන්ද අපට එය නැවත නැවතත් පණගැන්වීමට බලකෙරෙනු ඇත. අවසාන වශයෙන් එයින් ඇඟවෙන්නේ අප, අපගේම ජීවිතයේ නිර්මාපකයින් වන බැවින්, අපගේ ඉරණමට අවසානයේ වගකිවයුත්තේ අප බවයි. සදාකාලික පුනරාවර්ථනය අතීතය සහ අනාගතය තනි සාරය බවට ඒකාබද්ධ කරයි.

බලයට ඇති කැමැත්ත.

සදාකාලික පුනරාවර්ථනය පිළිබඳ අදහස සදාකාලික මරණින් මතු ජීවිතයක් ඇතැයි යෝජනා නොකරයි. සදාකාලික පුනරාවර්ථනය යනු, ඕනෑම නිරපේක්ෂ ආරම්භයක්, ඕනෑම මැවිල්ලක් සහ ඕනෑම දෙවියෙකු ප්‍රතික්ෂේප කිරීමය. බලයට ඇති කැමැත්ත යනු, අඛන්ඩව සිටීමේ සහ උත්සාහයේ ගතික බලවේගයකි.

බලයට ඇති කැමැත්ත සදාකාලික සංවර්ධනයක් සහ සදාකාලික පුනරාවර්ථනය සදාකාලික සමානකමක් සංකේතවත් කරයි. ඇතැමුන් තර්ක කරන්නේ නීට්දේ විසින් සදාකාලික පුනරාවර්ථනය පාරභෞතික සත්‍යයක් ලෙස ස්ථානගත කරන බවයි. එසේම නීට්ශේ හෙරක්ලිටියානු මතයන් වෙනත් ආකරයකින් කියා සිටින බවයි.

“ඔබට එකම ගඟකට දෙවරක් පාතැබිය නොහැකිය
හෙරක්ලිටස්

නීට්ශේ මිනිස් ජීවිතයේ සාරධර්මවල මූලාරම්භය සහ ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කළේය. නීට්ශේගේ දෘෂ්ඨිකෝණයට අනුව මිනිසා රික්තයකින් වටවී ඇත. ඔහු ජීවත් වන්නේ හිස් තේරුමක් නොමැති විශ්වයකය. ඔහු සදාකාලික පුනරාවර්ථනය පිළිබඳ චින්තනය අත්හදාබැලීම භාවිතා කරන්නේ පුද්ගලයෙකු යථර්තවාදී ජීවිතයක් ගතකරන්නේද යන්න මැනබැලීම සඳහා මාර්ගයක් ලෙසය.

Albert Camus(1913-1960)

සිසිෆස්ගේ පුනරාවර්ථනය.

ජීවිතය එක්තරා ආකාරයකට සිසිෆස්ගේ පුනරාවර්ථනය සිහිගන්වයි. ඇල්බෙයා කැමූ ඔහුගේ Myth of Sisyphus(1942) හි මනුෂ්‍යත්වය සංසන්දනය කරන්නේ සිසිෆස්ගේ දුක්ඛිත තත්වයටය. කන්දක් උඩට ගලක් තල්ලුකිරීමේ එකම අර්ථ විරහිත කාර්‍යය සඳහටම පුනරුච්චාරණය කිරීමේ දඬුවමට ලක්වූ සිසිෆස් සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු රහිත තත්වයක සිටියද සිසිෆස්ට තවමත් සතුටු විය හැකිය. වර්ජිල්ගේ වචනයෙන් කිවහොත්, “විනාශ වූවන් සඳහා ඇති එකම බලාපොරොත්තුව කිසිසේත්ම බලාපොරොත්තුවක් නොවේ”.

image source
https://images.blinkist.io/images/books/6013d1046cee070008ada601/1_1/470.jpg

නීට්ශේගේ දර්ශනය නිදහස ක්‍රියාව සහ කැමැත්ත පිළිබඳ ප්‍රශ්නගැන සැලකිලිමත් වේ. ලෝකය යනු, ගථික බලවේගයන්ගේ සදාකාලික නාට්‍යයකි. ලෝකය නැවත නැවතත් සිදුවන චක්‍රයකි. ලොකය පුනරාවර්ථනය වේ. සදාකාලික නැවත පැමිණීමේ මූලධර්මය සරතුස්‍රාගේ මූලික චින්තනයයි. සාරතුස්‍රා මෙසේ කියයි,

“The greatest weight? What if some day or night a demon was to steal after you into your loneliest loneliness and say: This life as you now live it and have it, you will have to live once more and innumerable times more; and there will be nothing new in it, but every pain and every joy and every thought and sigh and everything unutterably small or great in your life will have to return to you, all in the same succession and sequence. ” (Thus Spoke Zarathustra by Friedrich Nietzsche)

ආගම් මගින් මිනිසා නොමග යැවීම.

සදාකාලික පුනරාවර්ථනය පිළිබඳ සංකල්පය වඩාත් හොඳින් වටහාගත හැක්කේ සම්ප්‍රදායික බටහිර පාරභෞතිකය (Metaphysics) නීට්ශේ විසින් ප්‍රතික්ෂේප කිරීමේ සංදර්භය තුලදීය. සදාකාලික නොවෙනස්වන සහ පරිපූර්ණ යථාර්තයක් පිළිබඳව අදහස මිනිසුන්ට තම ජීවිතය සම්පූර්ණයෙන් වැළඳගැනීමට බාධාකරන මුළාවක් බව ඔහු විශ්වාස කළේය. ඒ වෙනුවට ඔහු තර්ක කළේ ලෝකය නිරන්තරයෙන් වෙනස්වන බවත්, පැවැත්මට ආවේණික අර්ථයක් හෝ අරමුණක් නොමැති බවත්ය.

එය සිසිෆස්ගේ පුනරාවර්ථනය මෙනි. නීට්ශේගේ සදාකාලික පුනරාවර්ථනය දෙවියන්ගෙ මරණයට ප්‍රථිචාරයකි. ජීවිතය තහවුරු කිරීම යනු, කෙනෙකුගේ ජීවිතය සදාකාලික පුනරාවර්ථනය වේ.

නීට්ශේ මරණින් පසු සත්‍යවශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ තර්කයක් ඉදිරිපත් නොකරයි. මිනිසුන් ඔවුන්ගේ ජීවිත ආඛ්‍යානයෙන් ඉවත්කිරීමට නැඹුරුවන පොදු ක්‍රමයකට නීට්ශේ විරුද්ධවේ. මිනිසුන්ට තම ජීවිතයේ අරුත තීරණය කිරීම සඳහා අර්ථවත් මූලාශ්‍ර දෙස බැලිය නොහැකිලෙස ආගම් විසින් මිනිසාව නොමග යවා තිබේ. දෙවියන්ගේ මරණය ශුන්‍යවාදී නොවේ. එය මිනිසාට අර්ථයක් නිර්මාණය කිරීමේ හැකියාවෙන් මිනිසා සවිබල ගන්වයි.

නීට්ශේගේ සැලකිල්ල වන්නේ ජීවිතය සහ පැවැත්ම තහවුරු කිරීමය. නීට්ශේ සදාකාලික නැවත පැමිණීම සම්ප්‍රදායික අර්ථයෙන් සත්‍යයක් නොව එය මෙහෙයවන මිත්‍යාවක් ලෙස සලකයි. එය දෙවියන්ගෙ මරණය වන ශුන්‍යවාදයෙන් මනුශ්‍ය වර්ගයා ගලවාගැනීමට නිර්මාණය කරඇති මිත්‍යාවකි. චින්තනයේ සෑම සංස්කෘතියක්ම මිත්‍යාවකින් තොරව නිර්මාණශීලිත්වයේ බලය නැතිකරගනු ඇතැයි යනුවෙන් නීට්ශේ පවසන ලදී. ඔහු සත්‍යයේ වාස්ථවිකත්වයට වඩා සත්‍යයේ නිර්මාණශීලිත්වය පිළිබඳව සැලකිලිමත් විය. සදාකාලික නැවත පැමිනීමේ සත්‍යය නම් ස්වයං අභ්‍යන්තරයයි. අපි සෑම විටම සදාකාලික චක්‍රයක් තුල ගමන් කරමු’යි යනුවෙන් ඔහු පවසන ලදී.

සදාකාලික පුනරාවර්ථනය.

සදාකාලික නැවත පැමිණීමේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් ලෙස “බලයට ඇති කැමැත්ත” ඔහු පෙන්වා දෙයි. සමස්ථයක් වශයෙන් ගත්කල, සදාකාලික පුනරාවර්ථනය පිළිබඳ මූලධර්මය යනු, පාරභෞතිකය ප්‍රතිස්ථාපනය කිරීමට නීට්ශේගේ උත්සාහයයි. ඔහු සිතන පරිදි ඔහුගේ සදාකාලික පුනරාවර්ථනය පිළිබඳ සංකල්පය ජීවිතයට අර්ථය සහ වටිනාකම නැවත ලබාදෙයි. නීට්ශේ කියා සිටින්නේ සදාකාලික පුනරාවර්ථනය ජීවිතයට පිළිගැනීමට පදනම සපයන බවයි. බලයට ඇති කැමැත්ත සහ සුපිරි මිනිසා සදාකාලික පුනරාවර්ථනයේ ප්‍රථිවිපාක ලෙස සැලකිය හැකිය.

ශක්තිය සහ පදාර්ථය කාලයත් සමඟ පරිනාමනය වනවිට පැවැත්ම අසීමිත චක්‍රයක් තුල  පුනරාවර්ථනය වන න්‍යාය නීට්ශේ පිළිගත්තේය. ඔහු සදාකාලික පුනරාවර්ථනය ප්‍රීතිමත් සත්‍යයක් බව ප්‍රකාශ කරයි. එය ජීවිතය උපරිමයෙන් ජීවත්වන පුද්ගලයෙකු විසින් වැළඳගත යුතුය. පුනරාවර්ථනය යනු, අකාලික වීම, එනම් සෑම මොහොතකම තම ජීවිතය වර්ථමාන සම්පූර්ණත්වය ලෙස එය අත්විඳීමයි.

Reference.

1. Anderson, R. L. (2005).. “Nietzsche on Truth, Illusion, and Redemption.” European Journal of Philosophy 13, no. 2 : 185-225.2.

2. Lanier, R. (2005). “Nietzsche on Truth, Illusion, and Redemption.” European Journal of Philosophy 13, no. 2 (185-225).3.

3. Lampert, L (1986). “Nietzsche’s Teaching: An Interpretation of Thus Spoke Zarathustra.” New Haven CT: Yale University Press.

4. Pearson, K. A. (2006). “A Companion to Nietzsche.” London UK: Blackwell Publishing Ltd.5.

5. Stine, H. (2020.) Nietzsche’s eternal return and the Question of hope, Studia Theologica – Nordic Journal of Theology, 74:2, 139-158.

6. Strong, T.B.(2000). “Friedrich Nietzsche and the Politics of Transfiguration.” Expanded ed. Urbana IL: University of Illinois Press.

නීට්ශේගේ මනෝ විද්‍යාව.

නිට්ශේගේ මනෝවිද්‍යාව රැඩිකල් අභියෝගයකි. ඔහු මනෝවිද්‍යාව පිළිබඳව ඉතා බහුත්වවාදී දැක්මක් දරයි. නීට්ශේ ඔහුගේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශය වර්ධනය කළේ Human, All Too Human(1878-80), Dawn(1881) සහ The Gay Science(1882) යන කෘතීන් මගිනි. නීට්ශේ මනෝවිද්‍යාව “ සියළු විද්‍යාවන්හි රැජිණ” බවට විශ්වාස කරයි. ආතර් ෂොෆන්හවර්ගේ The World as Will and Representation (1818) කෘතිය නීට්ශේට විශාල ලෙසින් බලපෑවේය. ෂෝෆෙන්හවර් Will(ආශාව/කැමැත්ත) ස්වභාව ධර්මය ඉදිරියට ගෙනයන බවත්, ස්වභාව ධර්මයට වඩා මිනිස් හැසිරීම් වලට බලපාන බවත් බොහෝවිට අතෘප්තිය ගෙනදෙන බවත් කීවේය.

Arthur Schopenhauer(1788-1860)

“ ලෝකය යනු, මමත්වයේ ක්‍රියාකාරී නියොජනය බව” ඔහුගේ අදහස විය. ඔහු පවසන ලද්දේ සියළු මිනිස් ක්‍රියාවන් මූලික මූලාශ්‍ර 3 කින් පැනනගින බවයි. එනම් මමත්වය, ද්වේශය සහ අනුකම්පාව බවයි. ඔහු මානසික රෝග උප්පත්තිය තුල අවිඥ්ඥාණික මර්දනයේ භුමිකාව ගැනද අනුමාන කළේය. ඔහු “අශුභවාදයේ දාර්ශණිකයා” සහ “ කැමැත්ත(Will) හි මනෝවිද්‍යාඥ්ඥයා ලෙස හඳුන්වන ලදී. නීට්ශේ ෂෝෆෙන්හවර්ගේ දැඩි බලපෑමට ලක්විය. ෂෝෆෙන්හවර් දුක්, වේදනා, මනුෂ්‍ය පැවැත්ම සමග වෙන්කල නොහැකිලෙස බැඳී ඇතිබව සලකන අතර, නීට්ශේ දුක් වේදනා මිනිසුන්ගේ පැවැත්මෙන් අවසානයේ ඉවත්කලහැකි දුර්වලතාවයේ සලකුණක් ලෙස සලකයි.

නීට්ශේ මනෝවිද්‍යාත්මක තේමාවන් පිළිබඳව උනන්දු විය. ඔහුගේ ලේඛන පුරා ආදරය, අපරාධය, අමනාපය, පිළිගැනීමේ ද්වේශ සහගත ආශාව, වරදකාරිත්වය, තපස්වාදය, සතුට, සදාචාරය, භාෂාව, විඥ්ඥාණය, තර්කය, මතකය, චිත්තවේගයන්, සතුට සහ ස්වයං සත්‍යකරණය පිළිබඳ සංකල්ප ගැඹුරින් සාකච්චාවට ලක්කොට තිබේ.

ඔහු අවිඥ්ඥාණික සහ සවිඥ්ඥාණික මනසේ ස්වභාවය සහ සම්බන්ධතාවයන් පිළිබඳව කථා කරයි. අමනාපය- පළිගැනීමේ ද්වේශ සහගත ආශාව නීට්ශේගේ “ On the Genealogy of Morals” කෘතියේ ප්‍රධාන භුමිකාවක් ඉටුකරයි. ඔහු “Ecce Homo” හි ලියන පරිදි මානව සමාජීයකරණයේ ගමන් මගතුල පරිනාමණයවූ අතර ඔහු මානව මනෝවිද්‍යාවේ යටිතලය අවිඥ්ඥාණික ප්‍රේරණය(Unconscious Drives) සහ බලපෑම් මගින් පිහිටුවා ඇතිබව දකියි.

ෆෙඩ්‍රිච් නීට්ශේ ගේ දර්ශණය ගැන මට මුලින්ම අධ්‍යාපනය කිරීමට ඉඩ ලැබුනේ යුක්‍රේනයේ විනිට්සා වෛද්‍ය සරසවියේ අපහට Dialectical Materialism විෂය ඉගැන්වූ ආචාර්‍ය ස්ටෙපානොව් මගිනි. ඉන්පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රිචර්ඩ් ලේලොන්ඩ් ගෙන් නීට්ශේගේ මනෝ විද්‍යාවත්, එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය බෙරිල් ලෝගන් ගෙන් නීට්ෂේ දර්ශණයන් මා හැදෑරුවෙමි. එසේම වැඩිදුරටත් නීට්ෂේ කියවූවෙමි. මේ එම අධ්‍යයනයන් සහ කියවීම් ආශ්‍රයෙන් ලියනලද කෘතියකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග.

Dr.Ruwan M. Jayatunge.

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *