| |

රෝහණ විජේවීර ඓතිහාසික චරිතයක්ද ..!

රෝහණ විජේවීර මුණගැසුනු හැටි..

රෝහණ විජේවීර සහෝදරයා මට මුලින්ම මුණගැහෙන්නේත් ඔහු සමග කතාබහක් ඇතිකර ගන්නේ ත් 1980 වසරේදී පමණ වියහැකි බවට මතකයක් ඇත . ඒ ගම්පහ මිරිස්වත්ත පාරේ පිහිටි දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට අයත් white house නම් නිවස තුලදීය. එම නිවසේ සාලයේ අපි විසිදෙනෙකු පමණ වූ පිරිසක් බිම වාඩිවී සිටියේ රෝහණ සහෝදරයා පැමිණෙන තුරුය. අපි සියල්ලෝම අධ්‍යාපන කදවුරක් අවසන්කර සිටියේය. කඳවුර පැවැත්වූයේ ගම්පහ නගරයේ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ බෙහෙත් ශාලාව පිටුපස තිබුණ ගොඩනැගිල්ලක් තුලදීය. මෙහිදී “ධනේශ්වර ක්‍රමයේ අර්බුදය” පිළිබඳව දේශනය කළේ මීරිගම චන්දරේ සහෝදරයාය. දර්ශනය පිළිබඳව දේශනයන් ජයසිංහ ලොකුතාබුගල(එකල ගම්පහ දිසාලේකම්), හා ජයතිලක සහෝදරවරුන් විසින් කරණ ලදී. ආසියාතික සමාජ ක්‍රමය කළේ ගුණරත්න වනසිංහ සහෝදරයාය. ලංකාවේ මෙන්ෂේවික් ව්‍යාපාරය, ලාංකික විප්ලවයේ කාර්යය භාරය, ලංකාවේ සමාජවාදයට මග, බෝල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම යන අනෙක් දේශන පැවැත්තු සහෝදර වරුන්ගේ නම් මතකයේ නැත .


අපි බලාසිටි අවස්ථාව උදාවිය . රෝහණ විජේවීර සහෝදරයා පැමිණියේය . ඔහුගේ සුපුරුදු හිස් වැසුම පැළඳ සිටියේ නැත . සාලයේ ඉහළ මාලයට යන පඩිපෙළ මත ඔහු වාඩි වුණි. එතැන් සිට පැය දෙකකටත් වඩා වැඩි කාලයක් ඔහුගේ කථාව කරගෙන ගියේය. පක්ෂයේ ආරම්භයත්, එය මේදක්වා පවත්වාගෙන ආ හැටිත් පැහැදිළි කළේය. දැන් පක්ෂය හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය පක්ෂය ඉදිරියට ගෙනයාමට පූර්ණ කාලීන සාමාජිකයින්ගේ හිඟකම නිසා, සියල්ලන්ගෙන් වහ වහා පක්ෂයේ වැඩකිරීමට එන ලෙස ඉල්ලා සිටියේය. එක එක්කෙනා ගෙන් වෙනවෙනම ඉල්ලීම කළේය. ඔහු මා සමඟත් කථා කළේය . ඒ මම රෝහණ සහෝදරයා සමග කථා කල ප්‍රථම අවස්තාව විය.


” සහෝදරයා, ප්‍රශ්නයක් නෑනේ, අපි වැඩකරමු නේද”
රෝහණ සහෝදරයාගේ ප්‍රශ්නයට මා එක එල්ලේම පිළිතුරු දුන්නේය .
” සහෝදරයා, අද සිට මම පක්ෂයේ අර්ධ කාලීනව වැඩ කරන්නම්, තව ටික කාලයකින් මම පූර්ණ කාලීනව වැඩ කරන්න එනවා “
” හොඳයි, ඇයි පූර්ණ කාලීනව එන්න බැරි”
” මට, ඒ ලෙවල් විභාගය තියෙන්නේ 1981 අගෝස්තු මාසයේ, ඒක පහුවෙලා මම එනවා “
” තව ටික කාලයයි තියෙන්නේ, හරි ඔයා විභාගෙ ඉවරවෙලා එන්නකෝ අපි එතකම් මේක කරගෙන යන්නම්”
” ඊට පසුව රෝහණ සහෝදරයා මට මුණ ගැසුණේ ඊට ආසන්න කාලයකදී මීරිගම ආසනයේ පැවැති සාකච්ඡාවකදීය. එය පැවැත්වූයේ ලින්දර මැණික්වත්ත සහෝදරයාගේ නිවසේ මිදුලේදීය. එයට මා සමග තිහක් පමණ වූ පිරිසක් සහභාගීවී සිටියේය. අද මෙන් නොව එදා විශේෂයෙන් අසූව දශකයේ මුල් කාලයේදී ජේ වී පී රැස්වීමකට මිනිසුන් සහභාගීවන්නේ ඉතාම අඩුවෙනි. ආසනයේ හිටියේ බොහොම ටික දෙනෙකු පමණි. ඔවුන් ටික දෙනා අපි හොඳට නමින්ම හඳුනන සහෝදරවරුන් හා සහෝදරියන් වෙති. සුනීතා සහෝදරිය ඉදිරියෙන්ම සිටි කෙනෙකි. එදින රැස්වීමට මීරිගම ආසනයේ සියලුම සහෝදර සහෝදරියන් සහභාගී විය. සියල්ලගේම නම් මතක නැති වුණත් කිහිපයක් මතකය. මීරිගම චන්දරේ, පියතිලක, සිරිමෙවන්, කමල්, ලලිත්, එගොඩවත්ත, ධර්මසේන, තිලකරත්න , රන්ජිත් ආනන්ද, මෙත්තානන්ද, යන අය ඇතුළු තිහක් පමණ හිටියා මතකය. රෝහණ සහෝදරයා පැමිණියේ ජීප් රථයකිනි. එය පදවාගෙන ආවේ උපතිස්ස ගමනායක සහෝදරයා විසිනි. මෙම සාකච්චාවේදී රෝහණ සහෝදරයා අවධාරණය කළ කරුණු අතර පූර්ණ කාලීනයන්ගේ අඩුකම ද දැක්විය හැකිය .
” දැන් බලන්න සහෝදරවරු මම මෙහාට එක්ක එන්න මේ ජීප් එක එළවගෙන එන්න කෙනෙක් නෑ, ඒකනේ ගමනායක සහෝදරයා එක්ක ආවේ”
මේ අවස්ථාවේදී රෝහණ සහෝදරයා මට කථා කළේය.
” කොහොමද දැන් වැඩ කරගෙන යනවා නේද”
” ඔව් සහෝදරයා ශිෂ්‍ය අංශයේ වැඩ කරගෙන යනවා”
ඊට පසුව චන්දරේ සහෝදරයා දෙස බලා රෝහණ සහෝදරයා මෙසේ කිවේය .
” චන්දරේ, මේ සහෝදරයා ළගදීම පුල්ටයිම් කරනවා. මට පොරොන්දුවක් දුන්නා “
” ඔව්, දැනටත් හොඳට වැඩකරගෙන යනවා ‘
චන්දරේ සහෝදරයා පිළිතුරු දුන්නේය .
ඊට පසුව මට රෝහණ සහෝදරයා මුන ගැසුණේ සමාජවාදී ශිෂ්‍ය සම්මේලනයේ දීය. එහිදී අවසානයේදී ජාත්‍යයන්තර ගීතය ගායනය කළේ ඔහු අසලම සිටගෙනය .
එකල ඔහු මගේ ලෝකයේ වීරයා ඔහුවිය. ඔහු සහභාගිවන රැස්වීම් බැලීම මට තිබූ මහත් ආසාවක්විය. එමෙන්ම ලද හැමවිටම ඔහු සමග කථා කිරීමට බොහෝ උත්සාහයක් ගත්තේය. දිනක් ගම්පහ නගර සභා පිටියේ පැවැති රැස්වීමේදී ඔහුසමග කථා කිරීමට නොහැකිවූ බැවින්, ඔහු කථාකරන ඊළග රැස්වීමට වරකාපොලට ගියේය. ඒ ගියේ පක්ෂයේ පූර්ණ කාලිකයෙකු වන ආනන්ද සමගය. ඔහුගේ කථාව ඇසීමට හා ඔහු සමග කතාකිරීම සඳහා රැස්වීම් බොහොමයකට සහභාගීවී ඇත. ඒ අතරින් මීරිගම, මරදගහමුල, කොරසේ හංදිය , වේයන්ගොඩ නාගරසභා පිටිය , බොරැල්ල බස් නැවතුම් පොළ, යන ස්ථානවලදී පැවැත්වූ මහජන රැස්වීම්වලදී ඔහු සමග කථාකළ බව මතකය.

https://i.ytimg.com/vi/GN2bB8xg6Xw/hqdefault.jpg

මගේ ලෝකයේ වීරයා, නායකයා, දේශකයා, සහ බුද්ධිමතා ලෙස..

ඉන්පසු කලය අශ්ව වේගයෙන් පියාබා ගියේය. 1983 කලුජූලියෙන් පසු පක්ශ තහනමෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ සහෝදර සහෝදරියන් විසිර ගියේය. මමද ඒ බොහෝ දෙනා මෙන් පක්ශ පූර්ණ කාලීන භාවයෙන් ඉවත්වී නැවතත් සරසවි යාමේ අරමුන පෙරදැරි කරගෙන උසස් පෙළ විභාගයට සූදානම් විය. අනතුරුව මා 1986 දී කෘෂිකර්ම පීඨයට යාමට වරම් ලබා 87 දී මහඉලුප්පල්ලම කෘෂිකර්ම පීඨයේ පලමු වසරට ඇතුලත්විය. ඒ වකවානුවේද ජවිපෙ විශාල වශයෙන් ක්‍රියාත්මක වී තිබූ බැවින් මා නැවත පළමු වසරේදීම පූර්ණකාලීනව පක්ෂයේ වැඩවලට යොමුවිය. 1989 නොවැම්බර් මාසයේදී රෝහණ සහෝදරයා අත්අඩංගුවට පත්වන විට මා සිටියේ අනුරාධපුර පොලිසියේ සිරමැදිරියක් තුළය. ඔහු ඝාතනය කලබව ඇසූ මට මගේ ජීවිතය කඩාවැටුනු බවක් දැනිනි. එහෙත් ශෝකවීමටවත් හැකි අවස්ථාවක් මට නොවීය. 1990 නොවැම්බර් 13 වැනි දින රෝහණ සහෝදරයා ඝාතනය කර වසරක් ගිය තැන බූස්ස රැදවුම් කදවුරේ 16 ශාලාවේ පැවැත්වූ සමුරු නාටකයේදි රෝහණ සහෝදරයාගේ චරිතය නිරුපනය කළේ මා විසිනි. ඒ “කොර්චාගින්සහෝදරයාගේ” භූමිකාව ලෙසිනි. එදා ඔහු මගේ වීරයා විය. ඔහු මගේ කථිකයා විය. ඔහු මගේ බුද්ධිමතා විය. ඔහු මගේ නායකයාද, දේශකයාද, මග පෙන්නන්නාද, විය. එමෙන්ම ඔහු මගේ දර්ශනිකයාද , චින්තකයාද, පෙර ගමන් කරුවාද, විය.


කාලය විසින් සියල්ලම වෙනස්වන බවනම් සැබෑවකි. ඒ අනුව මගේ චින්තනය ද කාලයාගේ බලපෑමට ලක්වී ඇතිබව මට හැඟී යන්නේ ය. ඒ අනුව රෝහණ සහෝදරයා පිළිබඳව අද මම ලියන්නේ එදා මගේ හදවත තුළ තිබූ භක්ති ප්‍රණාමය අනුවනම් නොවන්නේමය. ඊට වඩා උසස් වූ කාලය විසින් තනා දුන් තැනක සිට බව සදහන් කළ හැකිය. මක්නිසද යත්, මම දැන් රෝහණ සහෝදරයාට වඩා අවුරුදු 35 ක ඉතිහාසමය අත්දැකීම් සමුදායක් පසුකොට ඇති බැවිනි. රෝහන විජේවීර සහෝදරයා නොදුටු ලෝක ධනවාදය වසර 35 ක් දැක ඇති බැවිනි. රෝහන සහෝදරයා නොදුටු රුසියානු බෝල්ශෙවික් වාදය පොළවට සමතලා වීම දැක ඇති බැවිනි. රෝහණ සහෝදරයා නොදුටු ලෝක වාමාංශික කඳවුරද, බර්ලින් තාප්පය සමඟම පොලවට පාත්වී ඇති බව දුටු බැවිනි.


මා සිතන පරිදි අප වෙනස් විය යුතුමය. පැරණි ස්වරූපය වෙනස්විය යුතුය. නව ස්වරූපයකින් වඩා උසස් ස්වරූපයකින් එය වෙනස්විය යුතුය. සමාජයේ සංවර්ධනය නම් වූ අති විශිෂ්ඨ වූ ක්‍රියාවලිය වෙනුවෙන් එය එසේ විය යුතුමය. අපගේ පැරණි සිතුම් පැතුම් ස්වරූපයන් වෙනුවට නව සිතුම් පැතුම් ස්වරූපයන් ඇතිකර ගත යුතුමය. එකතැන පල්වීම අතහැර දමා සමාජයේ ප්‍රගතිය වෙනුවෙන් අපවිසින් කළයුතු අද දවසේ කාර්යය වනුයේ නම් එයමය .


” සිය පැරණි ස්වරූපය අභාවයට නොයවන්නේනම් කිසිදු ක්ෂේත්‍රයක වර්ධනයක් ඇතිවිය නොහැක “
( කාල් මාක්ස් )


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් ජාතික ජනබලවේග රජය කරුණු කරනා අවබෝධකර ගෙන ඇති බව ඔවුන්ගේ රූපාන්තරණය මගින් පැහැදිලිවන්නේය. එය ඉතා හොඳ ප්‍රවනතාවයකි. පවතින ධනේශ්වර පර්‍යාය තුලදී පවතින ලිබරල් මාවතේ ඉදිරියටයාමත්, ඉන්දීය ව්‍යාප්තිවාදය පසෙකලා ඔවුන් සමඟ වෙළඳ ගනුදෙනු ඉදිරියට ගෙනයාමත්, ආයෝජකයින් කැඳවා ගමට ප්‍රාග්ධනය ගෙනඒමට ක්‍රියාකිරීමත්, නව ලෝකය සමඟ ඉදිරියට යාමත්, IMF සමග දිගටම කටයුතු ඉදිරියට කරගෙනයාමත්, දේශීය හා විදේශීය කොම්පැණි ව්‍යාපාර වලට සහයෝගය ලබාදීම කරගෙනයාමත්, ගමට ප්‍රාග්ධනය ගෙනයාමට විදේශ ආයෝජන වලට ඉඩදීමත් යනාදී වශයෙන් ගත්කල මේ සමාජයේ ප්‍රායෝගික තලයේ ඔවුන් ගමන් කරන බව පැහැදිලි වන්නේය. රෝහණ විජේවීර සහෝදරයාගේ සමාජවාදී ප්‍රතිපත්ති පසෙකලා වඩාත් ප්‍රායෝගික තලයක පවතින නාවලිබරල් මාවතේ මේ රජය ගමන් කිරීම ඔවුන්ගේ ප්‍රගතිය පෙන්නුම් කරන සාධකයකි. එහිදී ඔවුන්ගේ යථාර්ථවාදී බව තේරුම් ගත හැකිය. එයින් අඩුතරමේ රටේ මහා කර්මාන්ත ඇතිකිරීමටත්, දියුනු කම්කරු පංතියක් ඇතිකර ගැනීමටත්, දුගීකරනය තුරන් කරගැනීමටත් යම් උත්සාහයක් ගත හැකිය.


” වෙනස්වීමකින් තොරව ප්‍රගතිය කළනොහැක්කකි . ඔවුන්ගේ මනස වෙනස්කල නොහැකි අයට කිසිවක් වෙනස්කල නොහැක”
( බර්නාඩ් ෂෝ )

රෝහණ විජේවීර ඓතිහාසික චරිතයක්ද?

විජේවීර යනු පැහැදිලිවම ඓතිහාසික චරිතයක් බව කිව යුතුය. නීට්ෂේ පැවසුවාක් පරිදි, “ඉතිහාසයේ සිටියේ එකම මිනිසෙක් පමණි” යන්න විජේවීර සඳහාත්, ප්‍රභාකරන් සඳහාත්, ලෙනින් සඳහාත්, හිට්ලර් සඳහාත්, මහා ඇලෙක්සැන්ඩර් සදහාත්, තව එවන් බොහෝ දෙනා සඳහාත් එකසේ සත්‍යබව කිවයුතුය. විජේවීර වෙනුවෙන් ජීවිත පූජා කිරීම් සඳහාද ක්‍රියාධරයින් බිහිවී තිබිනි. ඔවුන් විජේවීර කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටි විජේවීර පැටවුන් වේ. වසර ගණනාවක යුද්ධයක නියැලී සිටින දෙස්-විදෙස් පුහුණුව ලැබූ ඉතා දියුනු හමුදාවන් සිටින හමුදාකඳවුරු වලට අලපිති, ලීකෑලි තුවක්කු ලෙස ගෙන පුහුනුව ලබා, ගල්කටස් සහ ප්‍රාථමික තුවක්කුවක් දෙකක් සහ උල්පිහි රැගෙන, එවන් පුහුණු සෙබළුන් සිටින හමුදා කඳවුරකට ආයුධ පැහැරගැනීමට යාම අතිශය භයානක මෙන්ම අතිශය මෝඩ සහගත වැඩක් උනද, එදා විජේවීරගේ අණපරිදි ක්‍රියාධරයින් බුරුතු පිටින් එම කඳවුරු වලට රිංගා ආවුධ පැහැර ගැනීමට තැත් කළෝය. ඒ සියළු ක්‍රියාධරයින් එසේ ගියේ, විජේවීරගේ හෙවනැල්ල යට සිටිමින් මිස වෙනත් යමක් විශ්වාස කොට නොවේ. විජේවීර මියගිය සැනින් එසේ දිවි නොතකා විජේවීර වෙනුවෙන් සටනට ගිය අයද වාෂ්පවන්නට විය. අද එසේ කවුරුවත් කවුරුන් හෝ අණදුන් පමණින් එසේ දිවිපරදුවට තබා හමුදා කඳවුරකට ආවුධ පැහැර ගැනීමට යයිද? නැත..එසේ යාමට අද කවුරුත් නැත.
ප්‍රභාකරන් උදෙසාද කළු කොටි අර කොටි, මේකොටි යනුවෙන් සිටි LTTE භටයන් එදා සයනයිඩ් කරළ බෙල්ලේ බැඳගෙන මියයාමට පෙරට ගියද, අද එසේ යාමට කවුරුන් හෝ උතුරේ සිටීද, නැත. කවුරුත් නැත. ඒ එසේ සිටියේ ප්‍රභාකරන් වෙනුවෙන් දිවිපිදීමට සැඳී පැහැදී සිටි ප්‍රභාකරන් පැටවුන් පමණි.

විජේවීරව ඉතිහාසය විසින් නිදොස් නොකරන භයානක වැරදි දෙකක් සිදුකල බව මගේ හැඟීමයි. ඒ දෙකට ඔහු විසින් කම්කරු පංතියක් නොමැතිව අවස්ථා දෙකකදී එනම් 71 දී සහ 89 දී සිදුකිරීමට ගිය “ඊනියා සමාජවාදී විප්ලවය” ඇතුලත් නොවන්නේ ඊට වන්දි වශයෙන් ඔහු ප්‍රමුඛ ඔහුගේ ඉහලම සාමාජිකයින්, සංවිධායකයින් ඇතුලු ජීවිත දහස් ගණනින් එය ගෙවා දැමූ බැවිනි. මා අදහස් කරන ප්‍රධාන වැරදි දෙකනම්, ඔහු ගොඩනැගූ බලවේගය අන්ත ජාතිවාදී දෘශ්ටිවාදයක් තුල රඳවාගැනීමත්, එම බලවේගය අතිශය ජාතිකවාදි සුළු ධනේශ්වරය ආස්ථානයක පිහිටුවා එය මව්බිම බේරාගැනීමේ ” දේශප්‍රේමී” ආඛ්‍යානයකට ඌණනය කිරීමයි. ඔහු සිදුකල මේ සමාව නොදිය හැකි වැරදි දෙකෙන් ඔහුට තබා අද දක්වාම “විජේවීරවාදය” කරතබාගෙන යන ඔහුගේ අනුගාමිකයින්ට ඒ වැරදි දෙකෙන් මිඳීමට නොහැකිව ඇතිවා පමණක් නොව එම වැරදි දෙක තුලම ඔවුන් තවමත් කරනම් ගැසීම කරනු ලබයි.

මාක්ස්වාදය වෙනුවට “මාක්ස්-ලෙනින්වාදයේ” සරණ යාම.

විජේවීර සිය අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ගැන, රුසියානු තානාපති කාර්‍යාලයට ගතුකීම ගැන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල අයගැන තිබූ බද්ධ වෛරයත්, තම පියා සදාකාලික් අබ්බගාතයෙකු කිරීම ගැන UNP කාරයන් තුල ඇතිව තිබූ වෛරයත් එකතුවූ තැන “නව බලවේගයක්” නිර්මාණය කිරීම සඳහා ඔහුට අභිමුඛවූ ඔහුගේම ආත්මමූලිකවූ හේතූන් මිස වෙනත් ඓතිහාසිකව පැනනැගුනු හේතුවක් 1965 වකවානුවේ පැවතියායැයි පිලිගැනීමට මට කිසිදු තර්කයක් ගොඩනගාගැනීමට නම් නොහැකිය.
වෙනම බලවේගයක් බිහිකරගැනීමේදී විජේවීරයන් නැවත නැවතත් පැවසුවේ පැරණි “වම” ධනපති පංතිය සමඟ හවුල් කෑමත්, විප්ලවය පාවාදීමත් නිසා මෙසේ අළුත් බලවේගයක් ගොඩනැගීමටත්, එමගින් විප්ලවීය කර්තව්‍යයන් ඉටුකිරීමටත්, පංති අවශ්‍යතාවයක් ලෙස නව බලවේගය ගොඩනගාගැනීමට අවශ්‍ය වූ බවයි. එහෙත් 1965 වනවිටත් ලාංකීය සමාජවාදී විප්ලවයක් සාක්ෂාත් කිරීමට ඔහු පැවසූ නිර්ධන පංතියක් හෝ හරිහමන් ධනපති පංතියක් හෝ ලංකාවේ ස්ථාපිතව තිබුනේවත්, රට තුල ක්‍රමවත් නිෂ්පාදන වැඩපිලිවෙලක් හෝ දියුනුතලයේ නිශ්පාදන බලවේග ඉදිරියට පැමිණ තිබුනේවත් නැත. ඔහු ගොඩනැගූ බලවේගයේ මූලික ක්‍රියාකාරීන් ලෙස ශිෂ්‍යයන් සහ ගොවීන් ඔහු යොදාගත්තේ එබැවිනි. මේ ශිෂ්‍යයින් හෝ ගොවීන් සුළු ධනේශ්වරයේ කොටස් මිස විප්ලවයක් කිරීමට අවශ්‍ය නිශ්පාදන බලවේග අත්පත් කරගතහැකි ස්තරයන් නොවේ. එබැවින් විජේවීරයන් පැවසූ “පංතිය” සැලකූවිට එය මාක්ස් පෙන්නාදුන් අයුරින් විමසා බැලූකල මේ පංතිය “නිර්ධන පංතියට” හෙවත් “කම්කරු පතියට” කෙසේවත් අයත් වන්නේද නැත. එබැවින් රෝහණ විජේවීරයන් ගොඩනැගූ බලවේගයේ ආරම්භයේ සිටම විප්ලවකාරී පංතියෙන් හෙවත් නිර්ධන පංතියෙන් වියුක්ත විය. එම බලවේගයේ සාතිශය බහුතරය අරක්ගත්තේ රැකියා නොමැති අසහනයෙන් හා බලාපොරොත්තු සුන්ව සිටින නවයොවුන් වියේ සිටින තරුනයින්ගෙන්, ඉතාම දුකසේ එදාවේල ගොවිතැනකින් හෝ හේන් වගාවකින් සරිකරගන්නා ගොවීන්ගෙන් සහ පාසැල් මෙන්ම සරසවි ශිෂ්‍යයින් ගෙනි.

මේ කිසිම කංඩායමක් කාල් මාක්ස් පෙන්වා දුන් පරිදි “අතිරික්ත වටිනාකම්” නිපදවන කම්කරුවන් නොවේ. ඔවුන් අතිරික්ත වටිනාකම් නිපදවන්නේ නැති බැවින් කොහෙත්ම ප්‍රාග්ධනයට ගැටගැහෙන්නේද නැත. ප්‍රාග්ධනයට ගැටනොගැසෙන බැවින් ඔවුන් කිසිසේත්ම විප්ලවවාදී පංතියක් වන්නේද නැත. එබැවින් රෝහණ විජේවීරයන් සිය පක්ෂය ආරම්භයේදීම මෙය හොඳහැටි දැන සිටිබව මාගේ විශ්වාසයයි. විප්ලවය් සඳහාවූ ඓතිහාසික කර්තව්‍යය සඳහා සිය පක්ෂය බිහිකලද විප්ලවයක් කිරීමට දියුනු කම්කරු පංතියක් නොමැතිබව දන්නා ඔහු ඉතා අපූරු උපායමාර්ගයක් අනුගමනය කරන්නට විය. එනම් ප්‍රාග්ධනය ඇතුලු පොත්පත් රාශියක් ඉදිරිපත් කරමින් මාක්ස් විසින් ඉදිරිපත් කල සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාද වෙනුවට රෝහන විජේවීරයන් “මාක්ස් -ලෙනින් වාදයේ” සරණ යන්නට විය. එමගින් ලෙනින් මතුකල අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගෙනයායුතු, අධිරාජ්‍ය විරෝධී අරගලයට හෙවත්, “යටත් විජිත අරගලයට” පණපෙවීම මගින් “දේශප්‍රේමය” තුල තම බලවේගය ගිල්වා තැබීය. “කම්කරුවාට රටක් නොමැත” යන මාක්ස් ප්‍රවාද වෙනුවට “මව්බිම නැත්නම් මරණය” යන සටන් පාඨය ඔහු ගොඩනැගූ බලවේගයේ මුක්‍ය සටන් පාඨය විය.

කියුබානු ආකෘතිය.


1971 සහ1989 අරගල වලින් අප පාඩම් ඉගෙනගැනීම ඉතා වැදගත් වූ කරුණකි. ඒවා දරුනු පරාජයකින් අවසන් වූ බව සැබෑවකි. බැරි වෙලාවත් ඒවා ජයග්‍රහණය කලානම් ලංකාවේ සමාජවාදය බිහිවේවිද ? කිසිසේත්ම බිහිවන්නේ නැත. බලෙන් හෝ බිහිකළා නම් පවතින්නේද නැත. ශ්‍රී ලංකාව වැනි පසුගාමී සංවර්ධනයක් ඇති රටක සමාජවාදය වැනි උසස් සමාජ ක්‍රමයක් බිහිකිරීමේ හැකියාවක් එදා නොව අදටත් නොමැත. එයට හොඳම උදාහරණය නම් කියුබාවයි. 1959 සිට කියුබාවේ බටිස්ටා පාලනය පලවාහරිමින් “සමාජවාදය” පිහිටුවේයැයි කියමින් ස්ථාපිතකල රුසියන් රූකඩ පාලනය රුසියාවේ බෝල්ශෙවික් පාලනය බිඳවටීමෙන් පසු අද ඉතාමත් අසරන අඩියකට පත්ව ඇතිබව කිවයුතුය. දැන් කියුබාවේ ජනතාවෙන් බොහෝ දෙනෙක් යැපෙන්නේ හොර රහසේ දිවි පරදුවට තබා ඇමරිකාවට සංක්‍රමණය වුනු කියුබානු ඥාතීන් එවන ඇමරිකන් ඩොලර් වලට පිංසිදු වීමටය. රටතුල නිශ්පාදන බලවේග 1959 සිට ඉහලට ආවේම නැත. ඇත්තෙන්ම කියුබාවට උනේද එහි ධනේශ්වර සංවර්ධනය සිදුවීමට ප්‍රථම සමාජවාදය කරා එය දක්කාගෙන යාමෙන් සිදුවූ විපරිත තත්වයයි. ලංකාවේ එදා 1989 දී බ්මාල්වාය්ද අල්ලාගෙන සමාජවාදී පාලනයක් ඇටවූයේනම් ලංකාව අදවනවිට කියුබාවට වඩා පහල මට්ටමකට යායුතුව තිබිණි.


සමාජවාදය උසස් වූ සමාජ ක්‍රමයක් සහ නිශ්පාදන මොඩලයක් වන අතර එය ඇතිකිරීමට රටක සංවර්ධනයේ පරිණතිය අනිවාර්යය සාධකයකි. පළමුවන පංතියේ ළමයා ඊළඟට දෙවෙනි පංතියට යා යුතුයි. එසේ නොමැතිව එකොළහ පංතියට දැම්මොත් වන්නේ කුමක්ද ? එසේම මාස දහයෙන් ස්වාභාවිකව ලැබෙන්න තිබෙන දරුවා මාසයකින් කෘතීමව ලබාගත්තොත් සිදුවන්නේ කුමක්ද ? විනාසයක්ම සිදුවන්නේමය. ලංකාවේ දැන් පවතින නව ලිබරල් ආර්තික ක්‍රමයේ සංවර්ධනය තවදුරටත් ඉතිරියට යා යුතුමය. ලංකාව තුල මුල්බැස ඇති පසුගාමිත්වය ඇතුලු බොහෝ කුනුකන්දල් මේ ධනේශ්වර පර්‍යාය තුලදීම අහවර කරගත යුතුමය. එසේම දියුනු කම්කරු පන්තියක් ඇති වියයුතුමය. එයද තව වඩාත් ඉදිරියට සංවර්ධනය වියයුතුය. එහිදී ධනපති ක්‍රමයේ සිදුවන වර්ධනය හමුවේ ලෝකයේම සිදුවන සමාජවාදී විප්ලවයකට එකතුවීම හැර සමාජවාදයට වෙනත් නම් විකල්පයක් තුන්වන ලෝකයේ රටක් ලෙසත්, අන්ත දුගීකරණයට ලක්වූ රටක් ලෙසත්, ආර්ථික අර්බුධයේ කරවටක් ගිලී ණය උගුලක ගොඩඒමට නොහැකි ලෙසින් හිරවී ඇති කුඩා දූපතක් ලෙසත්, සමාජවාදී නිශ්පාදන මොඩලය ලංකාවෙන් ඇතිකරගෙන එය දිගටම පවත්වාගෙන යාමටනම් නොහැක්කේමය.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *