මාකස් අබේගේ වංහුං (2)..!
( දෙවන දිගහැරුම)

( මේ අවුරුදු 13 කට කලින් මම ලියාපු එකක්. එදා මම දැකපු, මට හිතුන දේවල් එදාටත් වැඩියෙන් අදටත්, අදටත් වැඩියෙන් හෙටටත් වලංගුයි කියලා තුන්කල් දත් ණුවනට පෙනිච්ච හිංදා “ දහසක් සිතුවිලි තුලින් ඔහේලාගේ මොල කුලප්පු කරන්න මේක නැවතත් පළකරන්න ඕන කියල හිතුනා”-මාකස් අබේ)
පොදුවේ ඔබ සැමට ලියා දන්වන වගනම්…
හිත අදරැති ඔහේට සහ ඔහේලට,
අකීකරු උං හට අකීකරුවද, කීකරු උං හට කීකරුවද සිටීමේ දිට්ඨධම්ම වේදණීය කර්මය පටිසන්දීමේ හේතුවෙන් රට හැරපියා යාමට සිදුව, නොරටක වෙසෙන, දින සති මාස සටහන්කල හම්පඩව ගිය කැළැන්ඩරය වෙනුවට නැවුම් සුවඳින් යුත් නව කැළැන්ඩරයක් උඳුවප් මහේ අන්තිම දවසෙ මැදසාලෙ පදිංචියට එද්දි, ජීවිතය අළුත් වෙනවා වෙනුවට තවත් වසරකින් පිළුණු වෙතත් අළුත් වෙන පරණ මතකයන්හි සුවඳින් කුලප්පු කරනලද එක්තරා මානවකයෙක් සහ මානවිකාවක් විසින් දවස් 365 කට වරක් දන්නා හඳුණන දනන් වෙත වසරක් පාසා සුභ පැතුම් පතක් සමගින් ලියන ලිපි පෙලක 2012 වසරට නියමිත හසුන්පතයි මේ.
නූල්පටක යමක් නොමැතිව යටිගිරියෙන් බෑඟිරි තලමින් මෙලොව එළිය දුටුදා පටන්, ගොරොද්දෙ ඇද මියැදෙන අවසන් මොහොත දක්වා අහිමි, එහෙත් හිමිවිය යුතු බොහෝ දේවල් වෙනුවෙන් දොඩන, වැලපෙන අඬන මිනිසුන් හැරපියා, සතර රියනක පංචස්කන්ධයද රැකගනුවස් නිශ්ක්‍රමණය කර, නුහුරු නුපුරුදු මිනිසුන් අතර හායි බායි ගාමින් කලදවස ගෙවමින් හාන්සිවී සිටිනා විටදි දැනෙනා කාන්සිය විසින් හැදූ හිතේ මාන් සියෙන් තෝන්තුවී ගිය, හිතක් සුවපත් කරගැනීමට නොව පැතූ පැතුම් සපල කරගැනීමට නොහැකිවූ අපලය ගෙවීගෙන යන නියාවෙන් එදා කල නිශ්ක්‍රමණය අභිනිශ්ක්‍රමණයක් කරමින් උපන් බිමට ගොඩබැසීමේ දොලදුකින් පෙලෙන එකෙකුගේ හීං කෙඳිරියක් කියලා ඔහේලට හිතේවි මේක කියවල අහවර උනාම.
ඉතිං අපිගැන මොනව ලියන්නද? කොට කථාවෙන් කිව්වොත් සුදු හාමිනේ කෙනෙකුගේ නැත්නම් සුදු රාළහාමි කෙනෙකුගේ වත්තක තණකොල ටිකක් කපල, ගහක් කොලක් පෑහලා, පාත්තියක වල් නෙළල පනන් හතරක් හොයාගෙන පවුල්බර හෑල්ලු කරං කල දවස ගෙවනවා. හැබැයි ඉතිං මේරටේ වල් නෙලන එකාට උඹල වගේ “ වලා” කියන්නෙ නැහැ. අමතන්නෙ Gardener නැතිනම් Landscaper කියන නම්බුකාර වදන් වලින්.
ඉතිං උඹලගෙ වතගොත? ඒක ගෝත කරුමයක් කියල නොදැනම ඇහුව නෙවි, අහන්න ඕනනිසා ඇහුව විතරයි. රටතොට ගැන අහන්නත් දුකයි. රට තොට, මට අපට උඹලට නෙවි උන්ට සහ අරුන්ටම ඇරිච්චි හින්ද හිතේ පිළිසිඳගන්න හිරිකිතේ නිමක් නෑ.
ලියනප්පුලා සහ පෙත්තප්පුලා විසින් පතුරුවා හරිනු ලබන දෙසැටක් (62) දේශපාලණ මිත්‍යාදෘෂ්ඨීන් විසින් අන්දෝ සංසාරගත කරනලද ජනතාවක් සම්‍යක් දෘශ්ඨික කලහැකි සතර අගතියෙන් තොර, සතර බඹ විහරනයෙන් යුත් සම්මා සති සම්මා සමාධි ආදී මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි විමුක්තිදායක දේශපාලණ මහා පුරුෂයෙකුගේ ප්‍රාදූර්භූත වීම නුදුරේම සිදුවේවායි නව වසරේ ප්‍රාර්ථනා කර ඇනතියාගෙන නොසිට ප්‍රාර්ථනා ඉෂ්ඨසිද්ධ කරගැනීමට සියල්ලෝම ක්‍රියාකල යුත්තාහ.
“ තමන් බඩගින්නේ සිටීම නොව, අනුන් බඩගින්නේ සිටිනු දැකීමයි දුක” ඒ කැවුත්තක් තිබුනු එක්තරා උදාර පුරුෂයෙකු කල සුප්‍රසිද්ධ කියමනක්. ඒත් කුස පොත්ත පිටපොත්තට ඇලිච්ච මිනිසුන්ගෙන් වැඩිදෙනා “ බලහල්ලකෝ අපි බඩගින්නෙ උන්නම මුන්ටනේ රුදාව” කියලා කියනවානම්, චේදනය කරගත යුත්තේ කිනම් ශරීරයේ අවයවයක්ද?
අපේ රටට ගැලපෙන එකම චින්තනය වෙන්නෙ, ජේසුගෙ බුදුන්ගෙ, මාක්ස්ගේ, ට්රොස්කිගෙ ආදි කාගෙවත් චින්තන නොව “ සකළ දේශවාසී පාදඩයිණි, එක්වව්” යන වර්තමාන චින්තනය බවයි මගේ වැටහීම. උඹලගේ වැටහීම කොහොමද?
උගතුන් ඇතත් බුද්ධිමතුන් නැති ජාතියක් ගොනාට ඇන්දවීම කොයිතරම් ලේසිද යන්න තේරෙන්නේ අපි උඹල ගැන හිතද්දි. මේ වින්නැහියට වගකිව යුත්තේ අපේ හාමුදුරුවරු කියලයි මට හිතෙන්නේ. මන්තරයක්, පිරිතක්, සෙත් කවියක් මේ කොයි එකෙත් බල පිහිටන්නෙ ජපකරණ වාර ගණන අනුව කියලා මම අහල තියෙනවා. අවුරුදු දෙදහස් ගණනක් තිස්සෙ භූක්තානු මෝදනාවෙදි කියන “ වත්තාරෝ ධම්මා වඩ්ඩන්ති,,ආයු වන්නෝ සුඛං බලං” ආයෙ බලන්න දෙයක් නෑ, ඕකෙන් තමයි ඇනිල තියෙන්නෙ. දානයක් දුන්නම හතර දෙයක් ලැබෙනවලු. ඒ, ආයුෂ, වර්ණය, සැප, බල.. කෝ හතිලව්වෙ බුද්ධිය..?
පහල නොවූ බුද්ධිය පහල කරගන්නත්, පහලින් තියෙන බුද්ධිය ඉහලට ගන්නත් පහසු ක්‍රමයක් මම කියන්නම්. අහන බලන දකින දේවල් වලිගෙත් අං තට්ටුවක් එක්ක ගෝනනාම්බෙක් ගිලදාන පිඹුරෙක් වගේ නැතුව හොඳට කිරල මැනල තීන්දු තීරණ වලට ආවොත්, ඒක උඹල අපේ විතරක් නෙවි නූපන් එකාගෙත් වාසනාවක්. රාජ්‍ය භාෂාවෙන් කිව්වොත්, Seven Question Words වලින් ( Why, Who, What, Which Where, When, How ) වගතුවක් නැති භාෂාවෙන් කිව්වොත්, ඇයිද-කින්ද-මන්ද-කවුද-කවද්ද-මොකක්ද යන වචනවලින් ගැලපෙන වචනය ඕනැම දේකට දාලා ප්‍රශ්ණ කෙරුවොත් බුද්ධිමතෙක් වෙනඑක හරිම ලේසියි. මැරෙන්න කලින් ටික දොහකට හරි බුද්ධිමතෙක් වෙලා ඉඳල මැරෙන්න උඹලට ආස නැද්ද..?
උජුපටි නැති පන්නෝ සඟුන් මෙන්ම දේශපාලණ අග්ඥාණයින් විසින් දෙසාබාන විබ්බන තේරුම් ගැනීමට තැටමීම නිසාවෙන් මොලේ උලුක් කරගත් උඹලට මගේ බණ තේරුම් ගැනීම ලේසිවෙයිද මන්ද.
දේශපාලණ මිත්‍යා දෘෂ්ඨීන් දෙක තුනක් විතරක් දැනට කියන්නම්. දේශපාලකයොම මෙහෙම කියනවා, “ මේ මනාප ක්‍රමය හොරුන් තක්කඩින් මංකොල්ලකාරයින් බිහිකරනවා. ජාතික ලැයිස්තුව නිසා පාදඩයින් පාර්ලිමේන්තුවට එනවා”
ඉතිං හත්වලාමේ ජාතික ලැයිස්තු, මනාප ලයිස්තු හදන්නෙ චන්දෙ දෙන උඹලා අපිද? තවත් කථාවක් කියනවා, “ මරාගන්නෙ මනාප ක්‍රමය නිසාලු”
වෙනත් පක්ෂවල උන් මැරීම වෙනුවට එකම පක්ශෙ උං මරාගන්නේ ජේ ආර්ට පිංසිද්ධ වෙන්න. කාගෙත් හිතට දුක දැනිල තියෙන්නෙ මෙන්න මේකට. හැම කුපාඩි කමකටම බැනුම් අහන්නෙ අහිංසක ජේ.ආර්. ජේ ආර් තිබිච්ච ඔක්කොම කණපිට ගැහුවේ නරක ප්‍රථිපල ගැන නොදැන සත්භාවයෙන් වෙන්න බැරිද? ජේ.ආර් ගෙ වැඩවල නරක දැක දැකත් ඒවා පෝෂණය කරමින් පවත්වගෙන යන උන් ජේ.ආර් ට වඩා හත්කූරුවක් පාහරයින් කියල හිතෙන්නෙ නැද්ද?
ජාතික පුවත් පතක පහුගිය කාලෙ කතුවැකියෙ මෙහෙම කියනවා “ නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහිව පැවති නඩුවේදී ඔහුට මානසික රෝගයක් තිබේදැයි සොයා බලා වාර්ථා කරන ලෙස විනුසුරුතුමා නියෝග කරලා. ඊලඟ චන්දයේදී අතිවිශාල මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මුතු හෙට්ටිගම පාර්ලිමේතුවට ගියේය. ඒ අනුව මානසික රෝගයක් ඇත්තේ මුතු හෙට්ටිගමට නොව චන්ද දායකයාටය. එතකොට මුතුහෙට්ටිගමට නොමිනේෂන් දුන්නු උංට තියෙන්නෙ මොලේ අපස්මාරයද?
මේක කියවලා උඹලට මොලේ අජීරණය හරි මොලේ පිපුම හැදුනද දන්නෙ නැහැ. උඹලට අපිට ලෙල්ලමක් වී ඇති වර්ථමානය කියාපාන පුංචි ඒකා සන්දියේ සෙල්ලම් කරද්දි කියපු මේ කවියෙන් මගේ දේසනේ හමාර කරන්නම්,
ආටක නාටක වේපට සුං ගං
කෝඩි අලප්පං ආං බාං බුෂ්…
ආලොලි බාලොලි පෙරිය කනං පොඩි…
ඇටිය නැටිය මල් වැරටිය
ගෙඩිය පිටින් කොරල කැටිය…
ආසිකොලේ බූසි කොලේ
ඌ අරගත් යෝද කොලේ
තොපිත් අපිත් බන්ධන බුෂ්…
සංවර්ධනයේ ආශ්චර්යයත් අන්ඩර දෙමල මේ කවිය වගේ කියලා මට හිතෙනවා. සකලවිධ දේශපාලණ මිත්‍යාදෘෂ්ඨීන් විහද විද්වංශනයවී සියළු දෙනාටම සම්‍යක් දෘශ්ඨිය පහල වේවායි ලැබුවාවූ නව වසරේ ප්‍රාර්ථනා කරමු..!
අපූරු ලියමනක්….