මාකස් අබේගේ වංහුං (3)..!

රටේ ලෝකෙ නෙවි උඹලගෙ අපේ රටේ සිද්දවෙන දේවල් අහන දකිනකොට කටට එන්නෙ වඳුරු කුණූහබ්බ. මකබාස්ලා ටම ගිය කරුමෙ කියන්නෙ 2014 දි ලියපු කුනුහබ්බම 2025 දිත් ලියන්න වෙච්ච එක. මේ ටික ලියන්න මාව නලියන්න ගත්තෙ මගෙ යාලුවො කීප දෙනෙක් කෝල් කරල මෙහෙම අහපු හින්ද. ” කෝ බං අර ලිව්වයි කියපු වල් කතා. අපි මේ බලං ඉන්නව ” උං වගේම උඹලගෙත් සමහරෙක් කුනු රහට කැමති හින්ද 2014දි ලියපු වල් කතා එක්ක තවත් කතා කීපයක් කාගෙ කාගෙත් පහන් ආවේගයත් සංවේගයත් තකා “වං හුං” වලට දාන්න හිතුවා. ඉතින් එහෙමනං…

වඳින්න බැරි සුදින්න.

අඹුව ගෙදර තියල සුදින්න බුදුන් ලඟ මහණ උනේ ගිහි ගෙය ගිනි ගෙයක් වෙච්ච හින්දද කියලනං පොතේ නෑ. යස අගේට මහනදම් පුරමින් උන්නු සුදින්න තුන්දොස් නොවන වෙනත් දොසක් කිපීම නිසාදෝ පෙර අඹුව සමග මෙවුන්දමේ යෙදුන. මේක කන වැටුන බුදුන් වහන්සේ සුදින්නට ලුනු ඇඹුල් ඇතුව මෙහෙම වදාරනව. ” මෝඝ පුරුෂය, හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිතවූ අඟුරු වලක අංගජාතය බහාලන ලද්දේනම් මැනවි. ස්ත්‍රියකගේ අංගජාතයෙහි බහාලනලද්දේ නොමැනවි. ” ( ” භික්ඛුණී විනය ” පිටුව 6 – ආචාර්‍ය්‍ය කුසුමා භික්ඛුණී ) (අංගජාතය යනු සුජාත හෝ අවජාත කිනම් ජාතකයක් සඳහා වුව අත්‍යවශ්‍ය කරන ස්ත්‍රී පුරෂ ශරීරාංග බව දත යුතු ) ඉහත සඳහන් බුදු වදන පංසලේ ලොකු හාමුදුරුවන් ලව්ව දන්න සිංහලෙන් පැහදිලි කරව ගැනීම උඹලට බාරයි.

ප්‍රශ්නය :- බුදුන් වහන්සේ අද වැඩ සිටිනවනං සසුන වනසන මෝඝ වාහෙල අමතා කුමක් දේශනා කරනු ඇත්ද?

අපි නොකා මොකා කන්නද ?

අවුරුදු 20 ට විතර උඩදි අනුරාධපුර පැත්තෙ උසාවියකින් ඇහුන සත්‍ය කතාවක් මේ. දුවව අඹු කමට තියාගත් ගැමියෙකුට විරුද්දව පැවරූ නඩුවක්. විනිසුරු නිදහසට කරුනු විමසුවම ඔහු මෙහෙම කියනව. ” 19 අවුරුද්දක් තිස්සෙ හදල වඩල උස්මහත් කරල ඉවර වෙලා දැන් මේකිව වෙන කාටවත් දෙන්නෙ මොකටද ස්වාමීනි .

” ප්‍රශ්නය :- ” 30 අවුරුදු යුද්දෙකින් නිදහස් කරගත්තු රට අපි නොකා මොකා කන්නද ? ” මේ ප්‍රකාශ දෙක අතර ඇත්තේ අසමාන සමාන කමකි. විමසන්න.

නිළමෙ මැනිකෙ හා පනාපට්ටෙ…

දෙල් ගෙඩියෙ නැට්ට මුල තියෙන හීනි දිගටි කොලේට කියන්නෙ ” පනා පට්ටෙ ” කියල. මැනිකෙ ඇහට කනට පේන මැදිවියේ බලවතෙක්. නිලමෙ ඒ ගමේ උන්නු හයිකාර දලකාර කුකුලෙක් . කාලයක් තිස්සෙ නිලමෙ මැනිකෙට කුරුමානං අල්ලනව. මැනිකෙත් ඒ බව නොදන්නව නෙවි. හිතයට කරනං ගහන මේක දවසක් මැනිකේ හීන්මැනිකෙට කිව්ව.” අනේ ඔය පනාපට්ටයක් විතර එකකට රටක් වටින නිලමෙ තරහ කර ගන්න ඕනය , ඔන්න ඔහෙ දීල දාහන් ” හීන්මැනිකෙ රාජ්‍යතාන්ත්‍රික උපදේශයක් දුන්න. මකබාස්ලා ටම හරියන උපදේසෙ.

ප්‍රශ්ණය:- රටේ සම්පත් යනු එක එකාගේ සිතැඟි පරිදි එක එකාට දීල දාත හැකි මැනිකෙගෙ “පනාපට්ටය” වැන්නකි. විමසන්න.

ආශාව නේ මනිකේ…

ආක්‍රමණ හෝ වෙලඳාම සඳහා මුස්ලිම්වරු ලෝක ධාතුව වටා හක්කලං කෙරුවෙ බිරින්දෑවරුත් එල්ලගෙන නෙවි. වෙලඳාමට ලංකාවට ආවෙත් ඉලංදාරි විතරයි. ඒ උනාට අනේ වර්ගයා බෝ උනා නේ අනේ. කොහොමද එහෙම උනේ අනේ ????? “ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල… , ඒක් අතට මේක් අතට අඟර දඟර සරුංගෝල… කරකවාල හැඩදමාල පාට කරල මේ බලන්න… ” කියමින් මණිබඩු වෙලඳාමෙ ගිය සුදු ගැටව් දැක්කම අපේ ගැටිස්සියන්ට, ලමිස්සියන්ට විතරක් නෙවි බවලතුන්ටත් උන් හිටි තැන් මතක නැති උනා. ඔය අටුවා ටීකා ටික කියන්න උනේ මේ කතාවෙ කතා නායකත් එවැන්නෙක් නිසා. මණිබඩු වෙලඳාමෙ ගිය මේ කියන තම්බි, කංකානිගෙ බිරිඳ මැණිකෙත් එක්ක අනියම්ඇසුරකට වැටෙනව. මේ කියන දවසෙ කංකානි ගෙදර නෑ. තම්බි ලොකු වැඩකට හරිබරි ගහනව, මැණිකෙ අදිමදි කරනව.

” මෂී දෙනවානං, තෝඩු දෙනවානං, ගවුං දෙනවානං අයි බරි මණිකේ ……..”

“කංකානි ඒවි ” මැනිකෙ කියනව.

” කංකානි ආපුදෙං අඬු කඩාච්චිදෙන්, මාව මරාපුදෙං ආශා……ව නේ මනිකේ…….”

ප්‍රශ්නය :- අසම්මත ආශාවන් සන්තර්පනය කරගැනීමට දේශපාලකයන් සමග අනියම් ඇසුරකට වැටී අඬු කඩාගත් උඹල දන්නා උන් කවරේද .වර්තමානයේ සිට අතීතයට. මකබාස්ලා ටම ගිය ආන්ඩුවලින් ඕනතරම් උදාහරණ හොයාගතහැකියි.

පීනස , ලය පීනස , ගල් පීනස සහ…

බැචාල දෙන්නෙක් කාලෙකට පස්සෙ හම්බවෙලා. ” කොන්ඩෙත් ඉදිල. වයසට ගිහිපු ඉක්මන.”

“වයසට නෙවි බං පීනසට ”

” අනේ පලයං. එතකොට පපුවෙ ඉදුනෙ ? ”

ඒද ? ඒ ලය පීනසට ”

“එතකොට අර තැන්වල ඉදෙන්නෙත් පීනසට වෙන්නැති ?

“අර තැන් කිව්වෙ ? ”

” උඹ බබා නේ. දන්නෙ නෑ වෙන කොහේද කියල .”

” ආ……………… ඒ ගල් පීනසට “

ප්‍රෂ්ණය :-

මූ හොඳයි කැබිනට් ප්‍රකාශකයෙකුට. වර්තමානයේ සිට අතීතයට නම් 3 ක්.

රාජ්‍ය සේවයේ ගල් ආඳෙකුට. රට දන්න නම් 3 ක්.

මක බාස්ලටම ගිහිපු රටක්…

බාස්ල වැඩක් වකූරු කරන කොට එදා සුදු සුපවයිසර්ල කෑ ගහුව ඩෝන්ට් මකප් (don’t muck up )කියල. අත්වැඩ දෙන්න හිටපු උන් ඔය මකප් කෑල්ල අල්ලගෙන බාසට මකබාස් කියල විහිලු කෙරුව . “මකබාස් ” වචනෙ අපේ ව්‍යවහාරෙට ආවෙ ඕං ඔහොම .

ප්‍රශ්ණය :- මකබාස්ලගේ ඉහලම මණ්ඩලය හඳුන්වන්නේ “…………..මණ්ඩලය වශයෙනි. හිස් තැන පුරවන්න.

වෛද්‍ය …………….කලා නිධි…

හෙට මොකා මොකාට මොකට සම්මාන දෙනවද කියල හිතා ගන්න බෑ. මුලින්ම සිරිමගෙ කාලෙ සමාජ ගතවුනු මේ වසංගතේ කලකට නැවතුනේ හොරන මිනිස්සු ජොනී නාට්ටාඹිට උපහාර උලෙලක් පැවත්වීමෙන්. වෛද්‍ය කලා නිධි සම්මානලාභී වෙද මහතෙක් ගැන කතාවක් මේ මහ රෑ පොඩිඑකා බඩ අල්ලන් බෑඟිරි දෙනව. තාත්ත ඌවත් උස්සන් වෙදා බලන්න ගියා. දොරට තඩි බානව. ම්.. හු…. දොර නෑරේ. බැරිම තැන අඟුරු කෑල්ලක් ඇහිඳල බෝඩ් එකේ නමට මුලින් අකුරක් එකතු කරල යන්න ගියා. ” වෛද්‍ය ….කලා නිධි ” මිනිස්සුන්ට පයිසෙක වැඩක් නැති උන්ට සම්මාන දෙන උන් වගේම ගන්න උනුත් “වෛද්‍ය .. කලා නි ධි ” මූත් අතර ඇති වෙනස කිම ? මකබාස්ලා ටම ගිය සම්මාන.

ප්‍රශ්ණය :- එකතු කල අකුර ? ආයෙ දවසක හමුවෙමු .

S. අබේසිංහ.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *