මාකස් අබේගෙ වංහුං(7)..!
කලින්ද මං කිව්වනේ අප්‍රේල් 6 ද රෑ අති දැවන්ත ප්‍රහාරයකින් කඩුගන්නාව පොලිසිය යටත් කර ගත්ත කියල. ඔවි, ඉතින් ඊට පස්සෙ ? මොනව කරන්නද ? මට කරපු පංතිවලනං ඊට පස්සෙ කරන දෙයක් ගැන කිව්වෙ නෑ . 5 වන පන්තියෙදි කිව්වෙ පලයං -කෑ ගහපං -ඇහුවෙ නැත්තං ගහපං-මරන්න උනොත් “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා “බල්ලට දාපං -බැරිනං හිටං මැරියං -( හිටං කිව්වෙ හිටගෙන. අරය නෙවි ) -” අප මරා දැමුවද අප නගන හඬ සදා නොමියෙනු ඇත : ගොරොද්දෙ අස්සෙම කෑ ගහල කියපං – උඹ ගැන මතු පරපුර ” සදා සමරමු සොහෝයුරෝ ” කියල බජව් දාවි ( ඉලව් තමයි ).

උඹත් හරියට අරයගෙ ගෝලයෙක් වගේ නේ බං. ඒ
ඒ කිව්වෙ..?
මහදැන මුත්තගෙ මේ…
නිකං අපේ විමුක්ති සටන හෑල්ලු කරන්න එන්න එපා. කට හරහ දැලිපිහි පාර යන්න පුලුවන්. අපි “කියන දේ කරන , කරන දේ කියන ” යථාවාදී තථාකාරී , යථාකාරී තථාවාදී මිනිස්සු හරිද !
මොනව කියනවද , අපි නොදන්නවයැ ඇයි අර උඹ කිව්වෙ ස්ත්‍රී දූෂකයින්ට මංකොල්ලකාරයින්ට වැඩක් දෙන්න.. කණ්ඩායමක් රෙඩිපිට උන්න කියල.
ඔව්, උන්න තමයි. විප්ලවීය සදාචාරෙ රකින්න එහෙම නැතුව බෑ .
එතකොට කසිප්පු පෙරන උන්..?
මොකද්ද ඒ හරුපෙ…?
නෑ අර කවුදො කිව්ව නේ ” ඔව් මැරුව තමයි කසිප්පු කාරයො කියල . ඒක මතක් උනා .
මොකද්ද ඒකෙ වැරද්ද ? කසිප්පු කියන්නෙ ” පදමට ගහන සුමිහිරි පානයක් ” කියල හිතුවද..?
එතකොට කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො, විජය කුමාරතුංග, එතකොට අර බුත්තල මයිකල් පෝල් රොද්‍රිගු පියතුමා සහ තිස්සමහරාමෙ ලංකා දේව සභාවෙ ලයනල් ජයසිංහ පියතුමාලත් කසිප්පු පෙරන්න ඇති මයෙ හිතේ. ඕන් බලන්න අපි දැනං හිටියෙ නෑ නේ ඒ බවක්… ……………………………………………………………………………………………………………………………………………………………………. ………………………………………………………………………………………….. කෝ උත්තර ?
මං මේ ෆෝන් එකේ මැසේජස් චෙක් කරනව. එක එකාගෙ ඔල මොට්ටල ප්‍රශ්ණ වලට උත්තර දෙන්න නාස්ති කරන්න කාලෙ නෑ අපට වැඩ තියෙනව. 1/4 මාක්ස් කියල තියෙනව” මකුලු දැල් කඩන්න වෙහෙසෙන්න එපා. ඉබේම කැඩිල යාවි ” කියල. මගේ උගත් මිත්‍ර ” මිස්ටර් නිරුත්තර එසේ ප්‍රකාශ කරන ලද බව සාතිශය සවේගයෙන් යුතුව ප්‍රකාශ කරමි. ඒ කවුද, කවද්ද කියල එකෙන් එක ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න මට වෙලාවක් නෑ. අපටෙයි කියලත් කරන්න වැඩ නැතුවයැ ඕනනං you tube ගිහින් හොයා ගනිල්ල. එච්චරයි .”
ගල වට කර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ ” කියනවනේ. ඒත් ..ක මූට්ටු වෙන්න ප්‍රශ්ණ ඇහුවොත්නං ඉතින් කට වට කරල කටු කම්ඹි ගැහුව වගේ තමයි.
සමාවෙන්න කතාවට බාධ කරනවට. ” ගලවට ” කර නෙවි ” රට වට ” කර. හැබෑ නේන්නං. මගේ මතකය හරි අවුල් වගේ නේ. ඔන්න මං මගේ අප්‍රේල් කතාවෙ ඉතුරු හරිය කියන්න පටන් ගන්නව. අනං මනං .. ක මූට්ටු වෙන ප්‍රශ්ණ එහෙම අහනව නෙවි. නොකිව්වයි කියන්න එපා.
මේ 71 කේ අප්‍රේල් 7 ද. පෙර ආත්මෙක කවද හරි දවසක හරකෙක් නිදහස් කරපු පිනක් පලදීලද මන්ද ඊයෙ පෙරේද රෑ දෙකේම මරණෙන් ගැල වුනා. එදා ඒ නිදහස් වෙච්ච හරක මමමද කියලත් වෙලාවකට හිතෙනව ( උම්…බෑ……….)
හරියටනං පිං අනුමෝදන් කරන්න ඕන සිරිමාවෝ මැතිනියට. ඒ මක්කටද කියල පස්සෙ කියන්නං.
මහා පතරංග ජාතකේ තරං දිග ඒ කතාවට කලින් කීප දෙනෙක්ගෙ මොල හිරි වට්ටපු ප්‍රශ්ණ ටිකට උත්තර දීලම ඉන්න ඕන. නැත්තං පවු.
ප්‍රශ්ණෙ මේකයි.
ඇයි අබේ ඔයාලට එක එක නම් පටබැඳිල තියෙන්නෙ? හුජ්ජ කොල්ලො, කජුකිරි කොල්ලො, චේ ගුරාල , දඩි බිඩි විප්ලව කාරයො , නොමග ගිය තරුණයො වගේ. ඔය අස්සෙ පෙරේද තව අපූරු නමක් අහගත්ත කලින් නාහපු. ඒක කිව්වෙ තවත් තරුණියක් එක්ක ගෙදරින් පැනල ගිහින් විජේවීරත් ලයියත්(බෝපගේ )එක්ක කෝච්චියෙන් මාතරට ගිහින් එතනින් තංගල්ලෙ විජේවීරගෙ ගෙදරට ගිහින් දවස් 2 ක් එහේ ඉඳල අධ්‍යාපණ කඳවුරකට ගිය මුල්ම පූර්ණකාලික කාන්තාවන් දෙන්නගෙන් එක් කෙනෙක්. ජීවිතේට හාල්මැස්සෙක්, උම්බලකඩ කෑල්ලක් කට හරියට ගත්තෙ නැති ඒ දැරිවිට බිත්තරයක් බලෙන් වගේ කැව්වෙ විජේවීර. වමනෙ යන තරං අප්පිරියාවක් ආවලු. ඒ විජේවීරගෙ මල්ලි ආනන්දගෙ කුකුල් කොටුවෙ බිත්තර.

“විප්ලවවාදීන් විදියට ඕනම දෙයක් කන්න පුලුවන් වෙන්න ඕන. පූර්ණකාලීනව නිර්ධනපංති දේශපාලය කරද්දි අරක කන්නෙ නෑ, මේක කන්නෙ නෑ කියන්න බෑ. දෙන දෙයක්, අහුවෙච්ච දෙයක් අහුවෙච්ච තැනදි ඌරෙක් වගේ කන්නත් මොණරෙක් වගේ විමසිලිමත් වෙන්නත් පුරුදු වෙන්න ඕන.”(ලොකු මහත්තයා විසින් සුජාතලාට කල භුක්තානුමෝදනා දේශණාවෙන් උපුටා ගන්න ලද බව සලකන්න) කතාවෙන් කතාවෙ අර අනික් නම මොකද්ද කියල කියන්න අමතක උනා නේ.
“උඹලගෙ ඔය පොල්පිති විප්ලවේ දිනන එකක් නෙවි. ගෙදර හිටහං. “සුජාතගෙ තාත්ත එහෙම කිව්වෙ 1971 පෙබරවාරි දවසක. ඕක තේරුං ගන්න තරං සුජාතගෙ මොලේ මෝරල තිබුනෙ නෑ. මගෙයි කියල වෙනසක් නෑ. මොලේ ලොඳ මෝරල තිබුනනං පොලීසියත් එක්ක හබරල පිත්තෙන් සටන් කරාවිය. හරි, දැන් අපේ කතාවට බහිමු.
පටබැඳි නම් අංක 1 : හුජ්ජ කොල්ලන්ගෙ විප්ලවේ
හුජ්ජත් දන්නව. හුජ්ජ යන හැටිත් දන්නව. ඒ උනාට වචනෙ හැදුන හැටි දන්නෙ නෑනේ. හූ..හූ….මං කියල දෙන්නං. උගත් මහත්තුරුන්ට හුජ්ජ යන්නෙ නෑ. යන්නෙ සුලුදිය. හුජ්ජ කිව්වම නිකං කැතයි වගේ නේ. ඒකයි. දිය බිව්වම ඒක ඇඟ පුරා ගිහින් අපද්‍රව්‍යත් එකතු කරන් ඇවිත් මුත්රාසෙන් දොට්ට දානව. ” නිදා ගන්න ඉස්සෙල්ල දොට්ට ගිහින් වරෙන් ” ඒ මගේ අම්මගෙ ආඥ්ඥාව.
සුලුදිය කටට ලේසියට සුලිජ්ජ වෙලා පස්සෙ හුලිජ්ජ වෙනව. සාව, හාව උනා වගේ ස අකුර හ වෙනව . හුලිජ්ජ තවත් කටට ලේසි කර ගත්තම හුජ්ජ වෙනව. මිහිරි දිය > මිරිජ්ජ. මිරිජ්ජවිල කියල ගමකුත් තියෙන්නෙ. කර්කශ දිය කරදිය වෙලා කරිජ්ජ උනා. “අඩෝ අපි වැල්ලෙ ..ල කරිජ්ජෙන් ..ක හෝදපු මිනිස්සු. හරී….ද ” එහෙම කියන අයියල දකුනෙ වැල්ලබඩ ඕසෙට ඉන්නව. මතක තියා ගන්නව හොඳයි මාත් කරිජ්ජ පාගපු කොල්ලෙක්. හරිද. ව්‍යාකරණ පාඩම පැත්තක තියල කියපං උඹලට හුජ්ජ කොල්ලො කියන්නෙ මොකද කියල. උඹ කිව්වනේ අප්‍රේල් 5 ද සමහරුන්ට බඩ ගියා කියල ඒ වගේ තවත් උන්ට බයටම හුජ්ජ ගියාද ? මං මෙහෙම අහන්නෙ උඹල එදා ප්‍රදර්ශණය කරපු ධීර, වීර ,සූර, මාර විප්ලවීය ජීව ගුණයට අබ ඇට දෙකකවත් හානියක් අපකීර්තියක් කරන්න හිතාගෙන නෙවි. එහෙනං අහගනින්කො. මට මේව කියන්නත් මොකද මොකද වගේ. දෙමව්පියො අපිව හැදුවෙ හොඳට ලැජ්ජ බය ඇතුව. අනේ මේ.. මගෙන් මොකවත් අහගන්නෙ නැතුව ඉඳිං. ලැජ්ජ නැති වැඩ කරල දැන් එනව මෙතන අම්ම තාත්තත් ගාවන්න. බොරු ඕන නෑ. කතාව කියපන්. මාව කොනිත්තන්නෙ නැත්තං කියන්නං. උඹ දන්නව නේ “අංගජාතය” කියන්නෙ මොකද්ද කියල. නෑ මං දන්නෙ නෑ. මාර කතාවක් නේ. උඹට තියෙන එක උඹ දන්නෙ නෑ. කියවපං ආචාර්ය කුසුමා භික්ඛුණීගෙ භික්ඛුණී විනය පොතේ 6 වන පිටුව. සුද්ද ඕකට කියන්නෙ penis කියල. ඕනම සභාවක් මැද ඇඹරෙන්නෙ නැතුව කියන්නත් පුලුවන් අහන් ඉන්නත් පුලුවන් .හැබැයි මුක පූට්ටුවෙන ශුද්ධ සිංහල වචනෙ මොකද්ද කියල දැන ගන්න ඕනනං ඇද කුද ඇරල කෙලින් කතා කරන ” සන්නට ” කතා කරපල්ල. ඔව් .. ඔව්. එයා තමයි. උපුල්..
penis එක මොකටද කියල Longman Dictionary විස්තර කරන්නෙ මෙහෙම. penis is used for urinating and in sexual activity…………………………ඒ කියන්නෙ හුජ්ජ කරන්න සහ ලිංගික ක්‍රියාවන් සඳහා. කොලු ගැටය ඉලංදාරි වයසට ආවම ඔය කියන අවයවේ සප්රාණික වෙනව. ඒකෙන් අඟවන්නෙ " හරි , දැන් කසාදයක් කර ගනිං "හැබැයි පොඩි එකා සංදියෙදිත් ඔහොම වෙනව. ඒ ඉතින් හුජ්ජ බරට මිසක් වෙන අහවල් මගුලකටනං නෙවි. ඕක තේරුම් ගන්න බැරි පුංචි උන් හිතනව "අපිත් දැන් වැඩ්ඩො තමයි " කියල .
මං ඔය පංති 5 කරන කාලෙම ඒ කිව්වෙ 1960 ගන්වල පත්තරේ දැන්වීමක් ගියා ලිංගික ශක්තිය වර්ධනය කරන වාජීකරණයක් ගැන. ‘ශ්‍රීමත් මදන මෝදකය ” ගැහුවොත් ” ගේ කුරුලු බල 14 “ ක බලයක්. දවසට දහ පහලොස් වතාවක් මිදුලෙ කෙරෙන ගේ කුරුලු සෙල්ලම් දකින ” මෝදක ” වෙද මහත්තයට ආපු නිර්මාණාත්ම Creative සිතිවිල්ල තමයි දැන්වීමට පාදක උනේ. අපේ ලොකු මහත්තයත් මෝදක වෙද මහතතයත් අතර බොහෝ සමානකම් තියෙනව කියල මගේ හිත කියනව. පස්සෙ දවසක කියන්නං ඒ මොනවද කියල. ලොකු මහත්තයගෙ පංති කෙරුවමත් හරියට මදන මෝදකේ ගැහුව වගේ. මාර ගැන්මක්. හිතෙන්නෙම මං පොරක් කියල. හුජ්ජබර තද වෙච්ච පොඩි එකාට හිතුනෙත් එහෙම. ”

අලි ඇත්තු උනත් පෙරලන්නම්… ”
“මම ඕනදෙයක් කර දෙන්නම්…”
මට ජෝතිපාල මතක් වෙනව. හුජ්ජ කොල්ලන්ගෙ විප්ලවේ, මොකා දාපු නමක්ද මන්ද. මොකා උනත් නියම ඇත්ත. වාල්ලු උනත් කවුරුවත් හෑල්ලු වෙන්න කාරි නෑ. මං මටම මෙහෙම කියා ගන්නව.
හුජ්ජ කොල්ලගේ විප්ලවේට ………………. ජයවේවා ….. හුජ්ජ කොල්ලගේ විප්ලවේට …………………….. ජයවේවා.. …………
(ඉතුරු පටබැඳි නම් සමග ඊලඟ වතාවෙදි හමුවෙමු)
