රෝහණ විජේවීර ඝාතන මොහොත ගැන අනාවරණය..!
විජේවීර සහෝදරයාගේ අවසන් මොහොත ගැන දශක තුනකට පසුව කෙරුනු අනාවරණයක්.
(බොරැල්ල කනත්තේ හිටපු පාලක ඇතුල්කෝට්ටේ සාරානන්ද හිමියන් සමග සංවාදයකි)
ස්ථානය කොළඹ 7, ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයයි. වේලාව 1989 නොවැම්බර් 13 වැනිදා අලුයම 12.30 වන්නට ඇත. හමුදා ප්‍රධානීහු රෝහණ විජේවීර කැටුව එහි පළමු මහලේ සිට ඉදිරිපස ආලින්දය දක්වා වූ පියගැටපෙළ බසිමින් සිටියහ. යටිබිම්ගතව දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඊට පෙර දින පස්වරුවේ ගම්පොළ උලපනේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අපමණ කටුක වේදනා මැද දිළිඳු ජනයාගේ ප්‍රාර්ථනා සාක්ෂාත් කරනු පිණිස නව දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දුන් නියමුවා වූ විජේවීර සහෝදරයාගේ ජීවිතය ගලවා ගන්නට සමත් කිසිවකු ඒ මොහොතේ සිටියේ නැත. සිදුවන අපරාධ දකිනු නොරිසිව පහන් තරුවද සැඟව ගියේය.

යක්ෂයාගේ හෝරාව.
“මේ මහත්වරු මාව කොහේ ගෙනියන්නද හදන්නේ” යැයි, විජේවීර සහෝදරයා ඇසුවේ ඔහුගේ දෙඅත් විලංගුලා, උපැස් යුවළ ගලවා ඔහුගේම සාක්කුවට ඔබා දෑස් වසා රෙදිකඩක් බඳිද්දීය. තවත් මොහොතකින් පජෙරෝ ජීප් රියකට විජේවීර නංවාගත් ඔවුහු ඉගිළ ගියහ. හමුදා ජීප් රථ පෙළක් ඒ පසුපස වැටුණු අතර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහගේ ජීප් රථයද ඊට එක් විය.
බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩාංගණය දෙසින් අලුයම කාලයේ ඇසුණු වෙඩි හඬින් අවට නිවැසියන් තැති ගත් නමුත් ඒ කුමක්දැයි විමසා බලන්නට කිසිවකු දොර කවුළු ඇරියේ නැත. යක්ෂයාගේ හෝරාව රජ කළ භීෂණ වකවානුවේ එවැන්නක් විපරම් කරන්නට යෑම මරණය කැමැත්තෙන් කැඳවා ගැනීමක් බව මිනිස්සු දැන සිටියහ. අළුයම ළහිරු කිරණ වැටුණු විට වෙඩි හඬ ඇසුණු සීමාවේ ගොල්ෆ් පිටිය දෙසට ගිය මිනිසුන් දුටුවේ ළා තණපත් මත වැටී තිබූ රුධිර ධාරාවන්ය. ගොල්ෆ් ක්‍රීඩාංගණයේ අංක 6 දරන වළ අසල ලේ තැවරුණු එක් සෙරෙප්පුවක් පමණක් තිබූ අතර තැළී පොඩි වුණු තණපත් යළි හිස ඔසවනු නොහැකිව පිනි කඳුළු සලමින් සිටියේය.
ජීවිතය උදුරා ගත්තේ කාගේද? ඔහු දිවි පිදුවේ කවුරුන් වෙනුවෙන්ද? යන්න කිසිවකු දැන සිටියේ නැත. ඉර පායන විටත් බොරැල්ල කනත්තේ ගෑස් චිමිනිවලින් දුම්රොටු ඉහළට නැඟෙමින් තිබිණි. එය අසාමාන්‍ය තත්ත්වයකි. මොඩල් ෆාම් පාරේ මිනිස්සු ඒ දෙස හිස ඔසවා බලන්නටද බිය වූහ.

image source
Lanka Deepa online
“රෝහණ විජේවීර මහතා බොරැල්ල මොඩ්ල් ෆාම් පාරේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවටත් පසුව බොරැල්ල කනත්තේදී ආදාහනය කර තිබෙන බවටත් පැහැදිලි සාක්ෂි ඇති බව විපක්ෂ මන්ත්‍රිවරයකු වූ අනුර බණ්ඩාරනායක දින දෙකකට පසු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජය ඊට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයාගේ දේහය රහසිගතව ආදාහනය කරන ලද්දේ බොරැල්ල කනත්තේදීය. එම බිහිසුණු අපරාධය සිදුකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ රජයේ ආරක්ෂක අංශ විසිනි. ඊට සම්බන්ධ සිවිල් පුද්ගලයන් වී නම් ඒ බලහත්කාරය මත යොදවා ගනු ලැබූ කනත්තේ පරිපාලක තැන හා කනත්තේ සේවකයන්ය.
සාරානන්ද හිමිගේ කථාව.
යථෝක්ත සිදුවීමෙන් මේ වන විට වස 36ක් ගතවී තිබේ. එවකට බොරැල්ල කනත්තේ පරිපාලකවරයා වූ ගුණතිලක මහතා විජේවීර සහෝදරයා මුහුණ දුන් අවසන් මොහොත සියැසින් දුටු තැනැත්තෙකි. මනුෂ්‍යත්වයට නිගාදෙන ඒ සිදුවීම නිසා මහත් සේ කම්පාවට පත් වූවන් අතර ඔහුද එක් අයෙකි.
දීර්ඝ කාලයක් බොරැල්ල කනත්තේ මළවුන් සමඟ ජීවත්ව, ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව තැවුල් සිත් ඇතිව සිටි ගුණතිලක මහතා රෝහණ විජේවීර මහතාගේ ම්ලේච්ඡ ඝාතනය නිසා ජීවිතය පිළිබඳ මහත් සේ කලකිරීමට පත්විය. සිතේ නැඟුණු කලකිරීමේ අවසානය වූයේ ඔහු ගිහි ගෙය හැරපියා යෑමය. විශ්‍රාම ලැබීමෙන් පසුව හෙතෙම ඇතුල්කෝට්ටේ සාරානන්ද හිමි නමින් පැවිදි දිවියට එළැඹුණහ.
සාරානන්ද හිමි වර්තමානයේ ගත කරන්නේ භාවනානුයෝගී කෙලෙස් මඬිනු ලැබූ ජීවිතයකි. දැනට 92 වැනි වියේ පසුවන හිමියෝ ජීවිතයේ යටගියාව නැවත හාරා අවුස්සන්නට එතරම් කැමැත්තක් නැත. එහෙත් අපගේ බලවත් ඇවිටිල්ල නිසාම උන්වහන්සේ අප සමඟ අදහස් හුවමාරු කරගන්නට එකඟ වූහ.
ස්වාමීන් වහන්ස කනත්තේ පරිපාලක හැටියට මොන විදිහේ වගකීමක්ද ඔබ වහන්සේට පැවරී තිබුණේ?
මා දන්නා තරමින් බොරැල්ල කනත්ත ලංකාවේ විශාලම සුසාන භූමිය. අක්කර 49ක් විශාලයි. නගර සභා සේවකයන් 50ක් මා යටතේ සේවය කළා. දිනපතා මරණ විශාල ප්‍රමාණයක් කනත්තට ගෙන එනවා. මගේ රාජකාරිය වුණේ ආදාහනය සහ භූමදානය කරන මළ සිරුරු පිළිබඳ ලේඛන පවත්වා ගැනීම, ආදාහනය සහ භූමදානය සිදුකිරීම, මුදල් අයකිරීම් ආදිය නිසි පරිදි සිදුකොට කලට වේලාවට නගර සභාවට මුදල් බැඳීම, සේවකයන් යොදවා කනත්ත නිසි පරිදි පවත්වා ගැනීම, ඊට අයත් දේපළවල ආරක්ෂාව පිළිබඳ වගකීම.
යම් මෘත දේහයක් කනත්තේ ආදාහනය කිරීමේදී අනුගමනය කෙරෙන සාමාන්‍ය පරිපාටිය කුමක්ද?
ප්‍රථමයෙන් මරණ සහතිකයක් අපට ඉදිරිපත් කළ යුතුයි. එසේ ඉදිපත් කරනු ලැබූ මරණ සහතිකය වලංගු එකක් නම් එම මරණකරු නමින් රිසිට් පතක් නිකුත් කර එහි පිටපතක් ඉදිරි කටයුතු සඳහා කනත්තේ සේවකයන්ට ලබා දෙනවා. ගෑස් උදුන් ක්‍රියාකරවීමට සහ වළවල් කැණීමට වෙන වෙනම සේවකයන් යොදවා සිටියා.
ඔබ යෙදී සිටියේ අඛණ්ඩ සේවාවක. ඒ වනවිට පදිංචිව සිටියේ කොහෙද?
මට නගර සභාවෙන් නිල නිවාසයක් ලබා දී තිබුණා. එය පිහිටා තිබුණේ කනත්ත ඉදිරිපිට. ජයරත්න මල් ශාලාව අසලම නාරාහේන්පිට පැත්තට වෙන්නට පිහිටි නගර සභාවට අයත් පැරැණි ගොඩනැඟිල්ලක්. අපි පවුලේ අය පදිංචිව සිටියේ එහි තමා.
ස්වාමීන් වහන්ස, දැන් ඔය 1989 වකවානුවේ රජයට සම්බන්ධ සන්නද්ධ අංශ විසින් ආදාහනය කිරීම සඳහා මළ සිරුරු ගෙනාපු අවස්ථා තිබුණාද?
ඔව්. 1988, 1989 අවුරුදුවල රාත්‍රි කාලයේ හමුදාවෙන්, පොලිසියෙන් නිතරම බොඩීස් ගේනවා ආදාහනය කරන්න.
ඒ අවස්ථාවල ඔවුන් නීත්‍යනුකූල ලියවිලි මරණ සහතික ආදිය ඉදිරිපත් කළාද?
මොන සහතිකද. ගෙනැල්ලා ගෑස් මෝලට දාලා පුළුස්සනවා. හැබැයි මට නගර සභාවෙන් උපදෙස් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා හමුදාවල අය එක්ක කතාවට යන්න එපා. ඒ ගොල්ලන්ගේ වැඩ කරගන්න ඉඩ දෙන්න කියලා. අපි සම්බන්ධ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. ඒ කාලේ එහි ප්‍රධානියා වෛද්‍ය රියෙන්සි පීරිස් තමයි ඒ චක්‍රලේඛයට අස්සන් තබා තිබුණේ. මට උපදෙස් ලැබී තිබුණා මරණ සහතික නැති මරණ සඳහා වෙනම රෙජිස්ටරයක් පවත්වාගෙන යන්න. ඒ උපදෙස් අනුව මගේ ලොක්කගෙ ඕඩරේට මම වැඩ කළා. මම ඒ නියෝගය සී.ආර්. පොතේ අලවල වෙනම ලැයිස්තුවක් පවත්වා ගෙන ගියා. පස්සෙ කාලෙකදි මම ඒ රෙජිස්ටරය ජනාධිපති කොමිසමටත් ඉදිරිපත් කළා.

විජේවීර මහත්මයාගේ සිරුර කනත්තට ගෙනාපු 1989 නොවැම්බර් 13 වැනිදා දිනය ඔබ වහන්සේට මතකද?
මට හොඳට මතකයි. අපි ඔක්කොම ගෙදර තද නින්දේ හිටියේ රෑ 1.15ට විතර ඇති පොලිසිය ඇවිත් මට කතා කරනකොට. පොලිස් අධිකාරි රොනී ගුණසිංහ තමයි තවත් නිලධාරීන් සමඟ අපේ ගෙදරට ආවේ. හමුදාවේ, පොලිසියේ තව සිවිල් පිට වගේ ඔක්කොම 10 දෙනෙක් විතර හිටියා කණ්ඩායමේ. දොරට ගහනකොට මම දොර ඇරියා. පස්සෙ බලනකොට යුනිෆෝම් ඇඳපු අය තමයි ඉන්නේ. මම කමිසයක් දමාගෙන එළියට ආවා.
ඔවුන් මොනවාද කිව්වේ?
මොඩ්ල් ෆාම් පැත්තෙ ගේට්ටුව ඇරලා දෙන්න කිව්වා. කොහොමත් මම යතුරු අරගෙන තමයි කනත්තට යන්නේ.
ඔවුන් වාහනයකද ඔබව කැටුව ගියේ?
වාහනයක් ආවෙ නෑ. පාර පැනලා කනත්තේ ගේට්ටුව ඇරලා මම ඔෆිස් එකට ගියා. මම සාමාන්‍යයෙන් කරන්නේ කනත්තෙ ඔක්කොම යතුරු ඔෆිස් එකේ තියලා ඔෆිස් එකේ යතුර අරන් ගෙදර යන එක. ඒගොල්ලෝ කිව්වා අපිට ගෑස් මෝල ඇරගන්නයි ඕන කියලා. එතකොට මම කිව්වා ගෑස්වල වැඩ කරන අය මේ වෙලාවේ නෑ. ඔවුන් එන්නේ උදේ 7.00ට. මම උදේම වැඩ කර දෙන්නම් කියා. එතකොට ඔවුන් කිව්වා එහෙම හරියන්නේ නෑ දැන් බාස්ලා ඉන්න තැන් කියන්න අපි ගිහින් ගේන්නම් කියලා. පස්සෙ මගෙන් තැන අහගෙන ඒගොල්ලො ගිහින් අපේ සේවකයෙක් එක්කන් ආවා.
ඊට පස්සේ කුමක්ද සිදුවුණේ?
මට කිව්වා මොඩ්ල් ෆාම් පැත්තෙ ගේට්ටුව අරින්න කියා.
ඔබ වහන්සේ කනත්තේ පරිපාලක හැටියට එතෙන්ට යනකොට තිබුණු දර්ශනය කුමක්ද?
දේවි බාලිකා විද්‍යාලය ඉදිරිපිට ගේට්ටුව එහා පැත්තේ වාහන නතර කරලා තිබුණා. හමුදා නිලධාරීන් ඉන්නවා දැක්කා. මම අර පුච්චන මෝලේ ළමයට යතුර දුන්නා ගේට්ටුව අරින්න කියලා. ගේට්ටු ඇරුණහම වාහන ඇතුළට ආවා. වාහනයක් ගෑස් උදුන කිට්ටුවටම ගෙනත් මළ සිරුරු දෙකක් එළියට දැම්මා. මමත් අනෙක් නිලධාරීනුත් එතැනමයි හිටියේ. රොනී ගුණසිංහ එක් සිරුරක් පෙන්වා මගෙන් ඇහුවා,
“මේ කවුද දන්නවාද” කියලා. ?
මම දන්නේ නැති බව කිව්වා.
“මේ තමයි රෝහණ විජේවීර” කියලා
ඔහු ආඩම්බර හිනාවක් දැම්මා.රෝහණ විජේවීර කියන නම ඇහුණාම මම උඩ ගියා. මම දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නොවෙයි. නමුත් නගර සභා පිටියේ රැස්වීම්වල විජේවීර මහත්මයා කතා කරනව අහල තියෙනවා. ඒ මහත්මයා අපේ රටට ආදරය කරන වටිනා මොළයක්. මෙහෙම වෙඩි තියලා මරණ එක මොන අපරාධයක්ද. එතුමාගෙන් මේ රටට මහා ලොකු සේවාවක් ලබා ගන්න තිබුණා. මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා මට අදහගන්න බැරි වුණා.
ඔබ වහන්සේ විජේවීර මහත්මයාගේ මළ සිරුර හොඳින් දැක්කද?
ඔව්. කලිසමක් ඇඳල තිබුණා. උඩුකයට ඇදුමක් තිබුණේ නෑ. පපුවෙන් උණු ලේ ගලනවා. ඊට මිනිත්තු පහළොවකට විස්සකට කලින් ඔහුට වෙඩි තියපු බව මට හොඳටම තේරුණා.
ඔබවහන්සේ හිතනවාද ඒ මොහොතේ විජේවීර මහතාගේ සිරුරේ ප්‍රාණය තිබුණා කියා?
මම එහෙම හිතන්නේ නැහැ. ඒ දවස්වල පත්තරවලත් ඔහොම කතාවක් තිබුණා. නමුත් මා හිතනවා වෙඩි තැබීම නිසා ඊට ඉතාමත් සුළු වේලාවකට පෙර එතුමාගේ ප්‍රාණය නිරුද්ධ වන්න ඇති. පණපිටින් ගෑස් මෝලට දැම්මා කියන කතාව මට හිතාගන්නත් බැහැ. දරා ගන්නත් බැහැ. මම කියන්නේ මා ඇසින් දුටු සත්‍ය දේ.
ආදාහනාගාරය අසල එතුමාගේ උපැස් යුවළ වැටී තිබුණා දුටුවාද?

image source
Transylvania.
නැහැ. පොලිස් නිලධාරියෙක් විජේවීර මහතාගේ සාක්කුවට අත දාලා සෝදිසි කරලා බැලුවා. එක සාක්කුවක, තිබිලා සල්ලි වගයක් අරන් පොලිස් අධිකාරි රොනී ගුණසිංහට දුන්නා. උන්නැහේ ඒ සල්ලි අරන් මට දෙන්න හැදුවා. මට මොකටද සල්ලි කියලා, මම එපා කිව්වා. මහන්සි වෙන්නේ මෙයානෙ එයාට දෙන්න කිව්වා. ඒ අයට මේ බිහිසුණු අපරාධය ඉක්මණින් අවසන් කරන්න හදිස්සියක් තිබුණා.
ස්වාමීන් වහන්ස රෝහණ විජේවීර මහතාගේ සිරුර පෝරනුව තුළට ඇතුළු කළේ කවුද? හමුදාවේ අයද? කනත්තේ සේවකයොද?
කනත්තේ සේවකයො දෙන්නෙක් හිටියේ නැහැ. හමුදාව ගෙදරට ගිහින් අරන් ආපු එක් අයෙක් පමණයි හිටියේ. සෙබළු දෙන්නෙක් අත්වලිනුයි කකුල්වලිනුයි අල්ලා පද්දලා විජේවීර මහතාගේ සිරුර පෝරනුව තුළට විසිකළා. එතන බිත්තිය අඩි 4කට වඩා උසයි, සිරුර දෙවරක්ම එහි ගැට්ටේ වැදී බිම වැටුණා. මොකද කෙනෙක් මරණයට පත්වෙලා පැය දෙකක් තුනක් යනකන් සිරුර තද වෙන්නේ නැහැ. මට මේක බලාගෙන ඉන්න බැරි තැන,
“පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න” කියලා

මා ගාව තිබුණා දෙන්නකුට දෙපැත්තෙන් උස්සන් යන්න පුළුවන් ස්ටේචර් එකක්. මම අපේ සේවකයාට කිව්වා ඒක ගෙනත් දෙන්න. ඔහු ඒක ගෙනාවට පස්සෙ විජේවීර මහත්තයගෙත්, එච්.බී. හේරත්ගෙත් මෘත ශරීර දෙකම එකම ගෑස් පෝරනුවට ඇතුළු කළා.
ඒ කියන්නේ සිරුරු දෙකම එකවර එකට ආදාහනය කළා කියන එකද?
ඔව්. දෙදෙනාගේම අළු එකට තමයි තිබුණේ.
මේ වෙනකොට වෙලාව කීයට විතර වෙන්න ඇද්ද?
වැඩිම වුණොත් එළිවෙන ජාමෙ 2.00 වෙන්න ඇති.
පිලිස්සීම අවසන් වෙනකන් හමුදාව එතැන හිටියද?
නැහැ. ඒ ගොල්ලෝ යන්න ගියා. අපි අළු ගෙනියන්න එනවා. අළු කාටවත් දෙන්න එහෙම එපා කිව්වා.
ඊට පස්සේ ඔබ වහන්සේත් එතැනින් යන්න ගියාද?
නැහැ. කනත්තේ මගේ සේවකයා විතරයිනේ හිටියේ. මම ඔහුත් සමඟ එතැන හිටියා. උදේ පාන්දර මොඩ්ල් ෆාම් පාර පැත්තේ පැල්පත්වල මිනිස්සු හතර පස්දෙනෙක් එතැනට ආවා.
ඒ අය මොනවද කිව්වෙ?
“මහත්තයෝ හරි වැඩේනෙ. ඊයේ රෑ අපිට නින්දක් නෑ, වෙඩි සද්ද නිසා. වෙඩි 16ක් ඇහුණා” කිව්වා. රෑ දොළහ, එක කියන්නේ මිනිස්සු තද නින්දේ ඉන්න වෙලාව. වෙඩි සද්ද ඇහුනට පස්සේ මිනිස්සුන්ට නින්ද යන්නෙ නෑ බයට. එළිවෙනකන් කල්පනාවෙ ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව. ඒගොල්ලෝ කිව්වා කාට හරි වෙඩි තියලා තියෙන්නෙ ගොල්ෆ් පිට්ටනියෙදි තමයි කියලා. මාත් එතැනට ගිහින් බැලුවා. තණකොළ පොඩි වෙලා හැමතැනම ලේ පැල්ලම් තිබුණා.
ඔබ වහන්සේ ආදාහනාගාරයෙන් ඉවත් කළ අළුවලට මොකද කළේ?
හමුදාව එනවා කිව්වට ඒවා ගෙනියන්න ආවේ නෑ. මුට්ටියකට දාලා ටිකක් කල් ඇතුළේ තියාගෙන ඉඳලා වැඩිය වැස්සට හෝදලා යන්නෙ නැති තැනක් බලල කනත්තේම වැළලුවා.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ2Fk97MuVEOWMT3TQteWkL1dLP_BmNfDrXXA&s
මේ අවාසනාවන්ත සිදුවීම ගැන ඊට පස්සේ කා සමඟවත් පැවසුවේ නැද්ද?
මම ඒ දවස්වල මේ ගැන කිසිම කෙනෙක් එක්ක වචනයක් කතා කළේ නෑ. ඕව කියන්න ගිහින් කවුද මගේ ආරක්ෂාව ගැන බලන්නෙ. නමුත් ටික කාලෙකට පස්සෙ ජනාධිපති කොමිසමක් ආවා. අන්න ඒ අවස්ථාවේ මට මේ සියලු විස්තර කොමිසම ඉදිරියේ කියන්න කිව්වා. මම අවශ්‍ය ලේඛන රැගෙන ගිහින් මේ විස්තර කොමිසම ඉදිරියේ පැවැසුවා. ඉන් එහාට මොනවද වුණේ කියන්න මම දන්නෙ නෑ.
ස්වාමින්වහන්ස, 1989 වකවානුවේ ඔය ආකාරයට තවත් සිරුරු ගෙනත් ආදාහනය කළාද?
ඔව්. ඔය කලබල කාලේ එකක් දෙකක් නෙවෙයි තරුණ ළමයි 75ක් 80ක් විතර වරින් වර ගෙනැවිත් බොරැල්ල කනත්තේ පිලිස්සුවා. ඕවා දැකලා තමයි මම ජීවිතේ ගැන අන්තිමටම කලකිරුණේ. කාගෙ වුණත් තරුණ ළමයි. රටේ අනාගතය භාර ගන්න හිටපු ජීවිත.
රාත්‍රී කාලයේ විතරද කනත්තේ මේවා සිද්ධ වුණේ.?
ඔව්. මේක ලෝකයේ කොතැනකවත් සිද්ධ නොවෙච්ච හද කම්පා කරවන දර්ශනයක්. මරන්න ගෙනාපු තරුණයිනුත් හමුදාවේ අයත් පුච්චන මෝලේ යතුර අරන් මම එනකන් මග බලාගෙන ඉන්නවා. මෝල ඇරියට පස්සේ තමයි ඒ ළමයින්ට වෙඩි තිබ්බේ.
ඔවුන් මොනවත් කතා කරනවා ඔබ වහන්සේට ඇසුනේ නැද්ද?
හරි එඩිතර ළමයි. මරන්න එපා කියලා හඬා වැටුණේ නෑ. එක දවසක් එකම එක දරුවෙක් පමණක් “මම මොනවත් දන්නේ නෑ. අනේ මාව මරන්න එපා” කියලා හඬා වැලපුණා. ඒත් ඒක ගණන් ගත්තෙ නෑ. ඒ දරුවාටත් වෙඩි තිබ්බා. ඒ ළමයි විතරක් නෙවෙයි මගේ පපුවත් හැමදාම පිච්චුනා.
එක දවසෙ හත් අට දෙනා ගෙනාවාද?
නෑ. බොහෝ විට දෙන්නා තුන්දෙනා තමයි ගෙනාවේ.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කියන්නේ ඒ අය වෙන කොහේදී හරි වෙඩි තියලා ආදාහනය කරන්න කනත්තට ගෙනාවා නොවෙයිද?
නැහැ. මම යතුර අරගෙන එනකොටත් පණපිටින් ඉන්න ළමයින්ව තමයි පස්සේ වෙඩි තියලා ආදාහනාගාරයට දැම්මේ. දැන් ඉතින් ඕව කතා කරන එකේ තේරුමකුත් නෑ. මම ඔය කාරණා ඒ දවස්වලම ජනාධිපති කොමිසමට දැනුම් දුන්නා. ඇත්ත වශයෙන්ම ඕව දැකල තමයි මේ ජීවිතේ මොකක්ද කියන කලකිරීම මට ඇති වුණේ.
ගැහැනු දරුවනුත් එසේ ඝාතනයට ලක්වුණාද?
නැහැ. නමුත් කැලණි ගඟේ පාවෙලා ආපු ගැහැනු ළමයින්ගේ මළසිරුරු නම් අවස්ථා කිහිපයකදී මෙහි ගෙනැවිත් ආදාහනය කළා.
සාර්ථක ගිහි ජීවිතයක් ගත කරමින් සිටියදී පැවිදි වෙනවා වගේ තීරණයක් ගැනීම අසීරු වුණේ නැද්ද?
බොරැල්ලෙ කනත්තෙ අත්දැකීම් මතුපිටින් පේනවට වඩා හුඟක් වෙනස්. සමහර මළ සිරුරු භූමදානය කරලා දවස් දෙකෙන් ගොඩගන්නවා. දවස් හතරෙන් පහෙන් ගොඩ ගන්නවා. තවත් සමහර අවස්ථාවල මාසෙන් දෙකෙන් ගොඩ ගන්නවා නීති කටයුතුවලට. මම ඒවා අනන්තවත් දැකලා තියෙනවා. ඕව දැක්කහම ජීවිතේ ගැන කලකිරෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නොවේ.
ඔබ වහන්සේ පැවිදි වීමට ප්‍රථම බොරැල්ල කනත්තේ සුසාන භූමි පරිපාලක හැටියට කොපමණ කල් සේවය කළාද?
කොළඹ නගර සභාවේ මගේ සේවා කාලය අවුරුදු 36ක්. කනත්තේ පරිපාලක හැටියට 1978 ඉඳලා 1995 වනතෙක් අවුරුදු 17ක් වැඩ කළා. නගරාධිපති කේ. ගනේෂලිංගම් මහතා මගේ සේවා කාලය දීර්ඝ කළා. නමුත් මා මාස හයකින් මම ඉල්ලා අස් වුණා.
සේවා කාලය තුළ ඔබ වහන්සේ මුහුණ දුන් අමතක නොවන සිදුවීම කුමක්ද?
රෝහණ විජේවීර මහතාගේ ඝාතනය තමා මා අත්විඳි ඛේදජනකම සිදුවීම.
යම් දවසක මහණ දිවියට පිවිසෙනවා කියන අදහස සිත තුළ තිබුණාද?
නැහැ. මම එහෙම අදහසක හිටියේ නැහැ. මට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. ඒ සියල්ලන්ටම මම හොඳට ඉගැන්නුවා. පුතාලා තුන්දෙනාම ගියේ රෝයල් එකට. දුවල දෙන්නා විශාඛා විද්‍යාලයට ගියා. ඔවුන් වැදගත් රැකියාවල නිරතව සිටිනවා. මම නිදහස් පුද්ගලයෙක්. මට බැඳීම් නැහැ. වගකීම් නැහැ. ජීවිතේ අනිත්‍ය ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. බණදහම් මෙනෙහි කරමින් ආරණ්‍යවාසී නිහඬ හුදෙකලා ජීවිතයක් ගත කරනවා. හැමදෙනාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගන්නවා නම් මේ ගැටුම් කිසිවක් නැහැ කියන එක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ.
