ගමනායකගේ අවසන් හෝරා කීපය..!
විරුවන්ගේ උණුසුම් ප්‍රාර්ථනා ඉටු නොවූ, අපේක්ෂාවන් බිඳුණූ, ශ්‍රී ලංකාවක මෙවරද ඉල් සමරුව පවත්වන්නට සිදුව තිබේ. ඉල් මහ විරුවන් පිළිබඳව හා ඔවුන්ගේ දේශපාලන අරමුණු පිළිබඳව බොහෝ දේ යළි යළිත් ලියැවෙමින් තිබේ. වර්තමාන පරම්පරාව වෙනුවෙන් යහපත් ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම උදෙසා අතීතයේ සිදුකළ ජීවිත පරිත්‍යාගයන් පිළිබඳව කතා කළ යුතු සංවේදී කාරණා බොහෝය.

ඔවුන්ට සිදුවූයේ කුමක්ද?
ශ්‍රී ලංකාව අපමණ රහස් සඟවාගත් ගුප්ත දේශයකි. මෑත ඉතිහාසයට සම්බන්ධ බොහෝ කාරණා මේ බිමේ සැඟවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක මෙරට පාලක පන්තිය විසින් අනීතිකව ඝාතනය කරන ලද්දේ අද වැනි දිනකය. එදා තරුණයන් 60,000ක් මරා දැමූ එජාප භීෂණය, අද හඳුන්වන්නේ ජවිපෙ භීෂණය වශයෙනි. ඉතිහාසය එසේ කණපිට හරවා තිබේ.
රෝහණ විජේවීර සහ ගමනායක මෙරට පළමු පෙළේ දේශපාලනඥයන් දෙපළකි. අනෙකුත් සෑම පුරවැසියන්ට මෙන්ම ඔවුන්ටද තමන් කැමති දේශපාලන මත දරන්නටත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නටත්, නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂය ගොඩ නඟන්නටත් ශුද්ධ වූ අයිතියක් තිබිණ. ඔවුන් විසින් භාවිතයට ගන්නා ලද්දේ එම අයිතියයි. ඔවුන් මරා පුලුස්සන්නට එජාප ආණ්ඩුවට කිසිදු නීතිමය ප්රතිපාදනයක් නොතිබිණි. එහෙත් එජාප ආණ්ඩුව ඔවුන් මරා දමනු ලැබීය. ඔවුන් ඝාතනය කරන ලද්දේ කෙසේද, සැබැවින්ම ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න ගැන මේ දක්වා රජය වගකිවයුතු පිළිතුරක් ලබාදී නැත.
රෝහණ විජේවීර බොරැල්ල මොඩ්ල් ෆාම් පාරේ ගොල්ෆ් පිටියේදී ඝාතනය කොට කනත්තේදී දේහය පුලුස්සනු ලැබූ බවට පැහැදිලි සාක්ෂි ඇතැයි එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයකු වූ අනුර බණ්ඩාරනායක ඊට දෙදිනකට පසු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුව ඊට පිළිතුරු දුන්නේ නැත.
විජේවීර මහතාගේ මරණය පිළිබඳව සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත්කරන බව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දන්වා ඇතැයි රංජන් විජේරත්න 1989 නොවැම්බර් 13 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද බව 14 වැනි අඟහරුවාදා පුවත්පත් වාර්තා කළේය. එහෙත් එවැනි පරීක්ෂණ කොමිසමක වාර්තාවක් කිසිදිනක එළියට ආවේ නැත. විජේවීර පවුලේ උදවිය ගතවූ අවුරුදු 33ම පසුවන්නේ රජයේ හමුදා භාරයේය.
ඝාතන ගැන රජයේ මුසාවාද නිවේදන.
රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමත්, පසුදින අලුයම ඝාතනය කිරීමත්, සම්බන්ධව බොහෝ තොරතුරු විවිධාකාරයෙන් සමාජගත වී තිබේ. එහෙත් උපතිස්ස ගමනායක බණ්ඩාරගම මහවිල ඔහු එවකට පදිංචිව සිටි නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පිළිගත හැකි නිශ්චිත තොරතුරක් නැත. ජාතික ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න 1989 නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශ කළේ ගමනායක ජීප් රියකින් රැගෙන යමින් සිටියදී, පිළියන්දල පාරේදී එයින් පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ වෙඩි තැබීමක් සිදු වූ බවත් එහිදී ඔහු මරණයට පත් වූ බවත්ය. ගමනායකගේ සිරුර කොහුවල කනත්තේදී ආදාහනය කළ බව එදින නිකුත් කළ රජයේ නිවේදනයේ සඳහන් විය.
ගමනායක සහ විජේවීර අවසන්වරට හමුවන්නේ පේරාදෙණියේ ගලහ පාරේ ජවිපෙ රහසිගතව පවත්වාගෙන ගිය නිවෙසේ, 1989 නොවැම්බර් 11 වැනි දින පැවති ජවිපෙ දේශපාලන මණ්ඩල සාකච්ඡාවේදීය. එම සාකච්ඡාව සඳහා ඒ වනවිට ජීවතුන් අතර සිටි දේශපාලන මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාවම දැනුවත් කර තිබුණත් ඊට සහභාගි විය යුතු දෙදෙනෙක් සහභාගි වී නැත. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, එච්.බී. හේරත්, පියදාස රණසිංහ, සමන් පියසිරි ප්‍රනාන්දු, ආදීන් ඊට සහභාගි වූ බවට තොරතුරු තිබේ. එහෙත් දැනට තිබෙන තොරතුරු අනුව සෝමවංශ අමරසිංහ ඊට සහභාගි වී නැත.

අවසාන දේශපාලන රැස්වීම.
නොවැම්බර් 11දා වන විට දේශපාලන මණ්ඩල සභිකයකු වූ ඩී.එම්. ආනන්ද පිළිබඳ ආරංචියක් නැතිව දින කිහිපයක්ම ගත වී තිබිණ. ඒ වන විට රාජ්‍ය මර්දනය ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් තිබූ බැවින් නිසැක ලෙසම ආනන්ද අත්අඩංගුවට පත් වන්නට ඇතැයි යන මතයට පක්ෂ නායකයෝ පැමිණ සිටියහ. ආනන්ද අත්අඩංගුවට පත්වී නම් පක්ෂ නායකයන්ගේ ගලහ රැස්වීම දැඩි අවදානම් සහගත කරුණක් වන්නේය. ඊට හේතුව 11 වැනිදා ගලහ දී පැවැත්වෙන දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාව ඩී.එම්. ආනන්දටද දැනුම්දී තිබීමය. කෙසේ වුවද එකී අවදානම මැද 11 වැනිදා සවස් වනතුරුම ගලහ නිවෙසේ සාකච්ඡාව පවත්වා තිබේ.
සබරගමුව පළාත භාරව සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයා ඩී.එම්. ආනන්දය. ඔහු රත්නපුර පාරේ ගැටහැත්තේදී හමුදා අත්අඩංගුවට පත් වන්නේ 1989 නොවැම්බර් 8 වැනි දින වන්නට ඇතැයි අනුමාන කෙරේ.
ආනන්ද දින කිහිපයක්ම තියුණු වධහිංසා දරාගෙන සිට ඇති බව පෙනේ.
දැනට තිබෙන තොරතුරු අනුව ගලහ සාකච්ඡාවට සෝමවංශ අමරසිංහ සහභාගි වී නැත. ඩී.එම්. ආනන්ද ගැන වගේම අමරසිංහ ගැනත් එම දින කිහිපය තුළ ආරංචියක් ලැබී නැත. ඔහු නිසැක ලෙසම එදින ගලහ සාකච්ඡාවට පැමිණ සිටිය යුතුය. ඒ දිනවල පියදාස රණසිංහ හෙවත් සුදු අයියා පදිංචිව සිටියේ මහනුවර මඩවලය. එම නිවෙස සුදු අයියාට පිළියෙල කරදී තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ පක්ෂයේ හිතවතෙකි. මොරටුවේ තැපැල් කාර්යාලයේ සේවය කළ ඔහුද අත්අඩංගුවට පත්වූ බවට දින කිහිපයකට පෙර ආරංචි වී තිබිණ. ඒ නිසා පියදාස රණසිංහ හටද නිවෙසින් බැහැර වන ලෙස පක්ෂය උපදෙස් දී තිබිණ. ඒ අනුව සුදු අයියා ගලහ සාකච්ඡාවට පැමිණ සිටියේ ඔහුගේ බිරිය සහ දරුවා ද සමඟිනි.
කෙසේ වුවද 11 වැනිදා පස්වරුවේ සාකච්ඡාව කඩිනමින් අවසන් කොට විසිර යෑමට තීරණය කෙරිණ. නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ හරහා මහනුවර දිස්ත්‍රික්කයේ දැඩි භීෂණයක් මුදාහැර තිබූ බැවින් මහනුවර නගරයේ ගැවසීම බෙහෙවින් අන්තරායදායක විය. සාකච්ඡාව අවසාන වුවද රාත්‍රි කාලයේ පිටත්ව යෑම අවදානම් බැවින් පියදාස රණසිංහ හා එච්.බී. හේරත් ගලහ නිවෙසේම රාත්‍රිය ගත කරන්නට තීරණය කළේය.

විජේවීර, ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු, විජේවීර පවුලේ අය නතරව සිටි උලපනේ නිවෙස වෙත ගියේ සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණයට අනුව වහාම පදිංචි නිවෙස්වලින් ඉවත් වීම සැලසුම් කිරීමටය.
සෝමවංශගේ අතුරුදහන්වීම.
නිවෙසට ගොඩ වූ වහාම විජේවීරත්, ගමනායකත් උලපනේ නිවෙසේ දුරකථනය වෙත ගියේ සෝමවංශ අමරසිංහ පක්ෂයට අයත් බණ්ඩාරවෙල ලෙව්වේගොඩ වත්තේ සිටීද යන්න දැනගැනීම සඳහාය. සාමාන්‍යයෙන් වත්තේ තොරතුරු විමසන්නේ යාබදව පිහිටි නෙළුව රාජ්‍ය වතුයායේ වතු අධිකාරි තැන ගෙනි. ලෙව්වගොඩ වත්තට පැමිණීමෙන් පසු සෝමවංශ අමරසිංහ වතු හිමියකු ලෙස එම වතු අධිකාරි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන තිබිණ. එදා විජේවීර වතු අධිකාරි තැනට කතා කළේ සෝමවංශගේ ඥාතියකු ලෙසය.
විජේවීරගේ ඇමැතුමට ලැබුණු පිළිතුර වූයේ වත්තේ කිසියම් භයානක දෙයක් සිදුවී ඇති බව හා කිහිපදෙනකු වෙඩි තබා මරා දමා ඇති බැවින් වත්ත පැත්ත පළාතේ නොඑන ලෙසය. වත්තෙන් ලැබුණු පණිවුඩයෙන් විජේවීර, ගමනායක දෙදෙනාම තිගැස්සිණි. එහෙත් විජේවීර එදින පිටත්ව යෑම ප්‍රතික්ෂේප කොට තවත් එක් දිනක් දරුවන් සමඟ ගත කර පසුදින පිටත්වන බව දැනුම් දීමෙන් පසු ප්‍රථමයෙන් තීරණය කළ පරිදි උලපනේ නිවෙසින් බැහැර වීම සිදු නොවීය.

1989 නොවැම්බර් 12 වැනිදා දහවල් 1.00ට බ්‍රිගේඩියර් ජානක පෙරේරා සහ කර්නල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා ලදී. ‘ඔබ්ස් කොම්බයින්’ විශේෂ හමුදා කණ්ඩායම ප්‍රථමයෙන් පැමිණියේ ගලහ නිවෙසටය. උදෑසන නිවෙසින් බැහැරව යෑමට සූදානම්ව සිටි පියදාස රණසිංහ, එච්.බී. හේරත් එහිදී අත්අඩංගුවට පත්වූහ. පස්වරු 1.00 පමණ වන විට ඔවුන් උලපනේ සෙන්ට් මේරිස් හි විජේවීර පදිංචිව සිටි නිවෙසට පැමිණියේ හමුදා භටයකු විසින් පදවනු ලැබූ පියදාස රණසිංහ පාවිච්චි කළ මෝටර් රථයෙනි. එම මෝටර් රථය නිවෙසේ අයට අමුත්තක් නොවීය. විජේවීර අත්අඩංගුවට ගැනීම සහ ඉනික්බිතිව සිදු වූ ඔහුගේ මරණය දක්වා වූ සිදුවීම් බොහෝ වාර ගණනක් ලියා ඇති බැවින් මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අදහස් නොකෙරේ.
ගම්පොළ උලපනෙන් පිටත්ව උපතිස්ස ගමනායක බණ්ඩාරගම මහවිල නිවෙසට පැමිණියේ 11 වැනිදා රාත්‍රියේදීය. 12 වැනිදා උදෑසන ඔහු නිවෙසින් පිටත්ව ගියේ යොදාගෙන තිබූ පක්ෂයේ කිසියම් සාකච්ඡාවක් සඳහාය. දහවල් ඔහු නැවත නිවෙසට පැමිණෙන විට වෙලාව දහවල් 1.00 පමණ වන්නට ඇත. දිවා ආහාර ගැනීමෙන් පසු නිවෙසින් පිටත්ව යෑමට ඔහු තීරණය කර තිබිණ. ගමනායකගේ බිරිය කරුණා පවසා තිබූ අන්දමට ඔහු එදින සිට ඇත්තේ කැලඹීමෙනි.

සෝමවංශ අමරසිංහ පක්ෂ තහනමින් පසු ‘සිරි අයියා’ නම භාවිත කළ අතර පසුව එම නම ද ඉවත් කර ‘රිචඩ්’ යන නම භාවිත කළේය. 11 වැනිදා නිවෙසට පැමිණි අවස්ථාවේ ගමනායක කරුණා සමඟ පවසා ඇත්තේ දින කිහිපයකින්ම රිචඩ් ගැන ආරංචියක් නැති බවය.
“එහෙනම් ඇයි තවත් බල බල ඉන්නේ මෙතැනින් ඉවත් වෙන්න ඕන නේදැයි“ කරුණා විමසා ඇත.
ගමනායක ඊට පිළිතුරු දී ඇත්තේ තමා හෙට බැහැරව යෑමට තීරණය කර ඇති බවය. 12 වැනිදා දහවල් කාලයේ පිටතට ගොස් නැවත පැමිණි ගමනායක පිටත්ව යෑම සඳහා සූදානම් වෙමින් සිටියේය.
ඔහුගේ බිරිය කරුණා ඇඳුම් මහන කාමරයේ කිසියම් කටයුත්තක නිරතව සිටියාය.
නිවසේ ගතකල අවසන් මිනිත්තුව.
“හලෝ මම යනවා“, යනුවෙන් ශබ්ද නඟා කී ගමනායක දෙවනුවත් “හලෝ මම යනවා” යයි කාමරය අසලට පැමිණ කරුණා සමඟ පැවැසීය. සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක අංශ ඔවුන්ගේ නිවෙසට කඩා වැදුනේ ඒ මොහොතේය. නිවෙසේ සිටියේ ගමනායකත් බිරියත්, අත්උදව්වට සිටි පුෂ්පිකාත් පමණි. 9 හැවිරිදි දියණියත්, 6 හැවිරිදි පුතාත් ඒ වනවිට සිටියේ අමතර පන්ති පැවැත්වෙන නිවෙසකට ගොසිනි. ආරක්ෂක අංශ නිවෙසට ඇතුළු වන විට කරුණා එම පිරිස අතරින් එළියට ගියේ නිවෙසේ පවත්වාගෙන ගිය කඩෙන් බඩු ගැනීමට පැමිණි කාන්තාවක ලෙසය.
ඩයස් මුදලාලි ලෙසින් සිටි ගමනායක.
දඩයම ලුහුබැඳ ගිය පිරිස කරුණාගේ ඉවතට යෑම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. කරුණා නොපෙනී ගියාය. ඩයස් මුදලාලි යනුවෙන් පානදුර මහවිල ප්‍රදේශයේ පෙනී සිටි උපතිස්ස ගමනායක අත්අඩංගුවට පත් වූයේ එලෙසය. හමුදාව පිටත්ව ගියේ ගමනායකගේ මෝටර් රථයේම ඔහුව නංවා ගෙනය.
හමුදා නිලධාරීන් පැමිණි ජීප් රථ ඈතින් නවත්වා තිබූ අතර නිවෙස අසලටම පැමිණි මොටෝරියේ පිටුපස අසුනේ දණහිස මත හිස තබාගත් පුද්ගලයකු සිටි බව එම ස්ථානය පසුකර යමින් සිටි අය දැක තිබිණි. ඔවුන් සිටි ස්ථානය පිළිබඳ ඔත්තුව දුන් තැනැත්තා මොහු විය හැකි අතර ඔහු කවුදැයි ඇය හැඳිනගෙන තිබුණේ නැත. පුෂ්පිකා විසින් දරුවන් දෙදෙනා කලින් තීරණය කළ හිතවත් නිවෙසකට රැගෙන ගිය අතර පසුව එහි පැමිණි කරුණා ගමනායකගේ නැඟණිය විසින් පිරිමි දරුවා වෙනත් නිවෙසකට කැඳවා ගෙන යන ලදී.

ගමනායක ඝාතනය කළ ප්‍රවෘත්තිය පසුදින ගුවන් විදුලිය මඟින් ප්‍රචාරය වූ අතර ඒ වන විට ගමනායකගේ පවුලේ සාමාජිකයන් එකිනෙකා නොදන්නා ස්ථාන තුනකට විසිර සිටියහ. ගමනායකගේ පිරිමි දරුවා රැගෙන ගිය කරුණාගේ නංගී දරුවාත් සමඟ නතර වූයේ කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ නිවෙසකය. එහි පක්ෂයට සම්බන්ධ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දරුවෝ දෙදෙනාද සිටියහ. එම නිවෙසේ ඔවුන්ට ඉන්නට සලස්වා තිබුණේ පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ විජිත විසිනි.
ගමනායක පවුල අසුවීම.
විජිත යන අන්වර්ථ නමින් හැඳින්වුණු ඔහු කවුදැයි ඔවුන් දැන සිටියේ නැත. අවසන් වරට නිවෙසට පැමිණි විජිත ඉන් අනතුරුව දින තුනක්ම නැවත පැමිණියේ නැත. ඒ අනුව තවදුරටත් ඔවුන් එහි රැඳී සිටීමද අන්තරායදායක කරුණක් විය. තුන්වැනි දිනයේ රාත්‍රි කරුණාගේ නැඟණිය අනෙක් සහෝදරිය සමඟ පැවැසුවේ විජිත දින තුනක්ම නොපැමිණි නිසා තවදුරටත් එම නිවෙසේ රැඳී සිටීම විපතකට තුඩුදිය හැකි බවය. එදින රාත්‍රියේ ඇය යෝජනා කළේ ඒ අසල ඈතින් පෙනෙන ගරාවැටුණු පාළු නිවෙසට රිංගා රාත්‍රිය එහි ගත කරන්නටය.
‘මදුරුවන් කනවා දරුවන් සමඟ ඉන්නේ කොහොම’ දැයි අසමින් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එළිවන යාමයේ කිසිවකු දොරට තඩි බාන්නට විය.
“හරි මදුරුවෝ කෑවේ නැහැනේ දැන් ඉතින් ෙදාර අරින්න”
නංගී සෙමින් කීවාය. ෙදාර අරිනවාත් සමඟ නිවෙස තුළට කඩා වැදුණු හමුදා නිලධාරීන් නින්දේ සිටි කුඩා පිරිමි දරුවා අතින් ඇද නැඟිටුවා ගත්තේ ගමනායකගේ පුතා මොහු දැයි දරුවාගේ හිසට පිස්තෝලයක් එල්ල කරමිනි.
කරුණාගේ නංගී ඉදිරියට පැන විලාප දෙමින් දරුවා අල්ලා ගත්තාය.
‘මොනවද මිනිහෝ කරන්නේ’ යැයි කණ්ඩායම භාරව පැමිණි නිලධාරියා උස් හඬින් කෑ ගැසූ විට දරුවාට පිස්තෝලය එල්ල කළ නිලධාරියා පසෙකට විය. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ප්‍රදේශයට අරුණලු වැටෙමින් තිබිණ. නතරවීමට නිවෙස පිළියෙල කර දුන් විජිත ද හමුදාව එහි රැගෙන විත් තිබිණි. අත්අඩංගුවේ සිටි විජිත ඔවුන්ට හිංසා නොකරන ලෙස ඉල්ලමින් හඬා වැටුණේය. ‘මොකක්ද මේ කළේ’ යැයි නංගී ඔහුගෙන් රිය තුළදී ඇසුවාය. ඊට පිළිතුරු නොදුන් ඔහු හිස හරවා උරහිස පෙන්වීය. එවිට ඇය දුටුවේ ඔහුගේ පිට රෙදි මදින ස්ත්‍රික්කයක් තබා පුලුස්සා ඇති බවය.
එදින ඔවුන් ගෙනයන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝකාගාරයට සමීප ගොඩනැඟිල්ලක් වෙතය. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ කරුණා සහ අනෙක් දරුවා සිටින ස්ථානය ගැනය. එහි රඳවා සිටියදී දෙනෙත් වසා රෙදි පටි බැඳ නොතිබුණේ ගමනායකගේ පුතාගේ පමණි.
අත්අඩංගුවට ගත් තවත් අය සිටි අතර සියල්ලන්ගේම දෑස් බැඳ තිබිණි. කුඩා දරුවා ඇතැම් අවස්ථාවල ඔවුන්ට වැසිකිළිය වෙත යෑමට කණවැල ඇල්ලුවේය. දරුවා හමුදාවේ තරුණයන් සමඟ මිතුරුව සිටි අතර ඔවුන් ඇතැම් අවස්ථාවල දරුවාගේ පෙරැත්තය නිසා ඔහු යතුරුපැදිය මත තබාගෙන ග්‍රහලෝකාගාරය වටා පැදගියේය.
පියා පිලිබඳ හෝඩුවාවක් දුටු ගමනායකගේ පුතා.

එහිදී සිදුවූ එක් විශේෂ සිදුවීමක් වූයේ එම කඳවුරේ කාමරයක තිබූ කමිසයක් සහ සපත්තු මේස් යුගලයක් හඳුනාගත් උපතිස්ස ගමනායකගේ පුතා “මේ අපේ තාත්තගේ කමිසය” යයි හඬ නඟා කීමය. එම කඳවුරට ගමනායක ගෙනැවිත් තිබුණාට සැක නැත. එසේ නම් ඔහු පිළියන්දල පාරේ ජීප් රථයකින් ගමන් කරද්දී පැන යන්නට තැත් කළා යැයි ආණ්ඩුව කළ ප්‍රකාශය සැක උපදවන්නකි.
රීඩ් මාවතේ හමුදා කඳවුර ඉවත් කරන අවස්ථාවේ එක් රාත්‍රියක හමුදාව ඔවුන්ට උපදෙස් දුන්නේ දරුවන් සමඟ පිටව යන ලෙසය. යෑමට ස්ථානයක් නැති බව පැවසූ විට පසුදින උදෑසන ජීප් රථයක නංවා පිටත් කරන්නට කටයුතු යෙදුවේය. ඔවුන් භාරව ගිය නිලධාරියා ඔවුන් ගෙන ගොස් මත්තෙගොඩ ප්‍රදේශයේ නිවෙසකට භාරදෙන ලදී. ඔවුන්ගෙන් කිසිවක් නොඅසන ලෙසත් නිවැසියන්ට කිසිවක් නොකියන ලෙසත් ඔහු දෙපාර්ශ්වයටම දැනුම් දුන්නේය. පසුව දැනගත් පරිදි එම නිවෙස හමුදා නිලධාරියාගේ සහෝදරියගේ නිවෙසය. ඔවුන් පසුදින එම නිවෙසින් පිටත්ව ගිය අතර කරුණාගේ නංගී දරුවාත් සමඟ මොරටුවේ ඥාති නිවෙසක සිටියදී කරුණාට ඔවුන් සොයා ගත හැකි විය. දරුවන් දෙදෙනා සමඟ විවිධ ස්ථානවල රැඳී සිටිමින් බොහෝ දුක් ගැහැටවලට මුහුණ දුන් කරුණා ගමනායක, අවසානයේ පක්ෂයේ හිතවතුන්ගේ ආධාරයෙන් යුරෝපා රටක රැකවරණය ලබා ගත්තාය.
