|

පවතින වම අපෝහක නිෂේධනයකට ලක් නොවන්නේ නම් ඊට අනාගතයක් නැත..!

-වසන්ත දිසානායක.

image source-https://www.vikalpa.org/wp-content/uploads/2023/04/Screenshot-2023-04-05-at-09.54.33-1200×550.png

මම මීට කලකට පෙර මගේ මුහුණු පොතෙහි මෙවන් පෝස්ටුවක් පළ කෙළෙමි. 

ලංකාවේ සෑම වාමාංශික පක්ෂයක්ම, කණ්ඩායමක්ම පුද්ගලයෙක්ම පාහේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ගැන, ධනේශ්වර පාලක පංතියේ අර්බුදය ගැන අපමණවත් කතා කරයි. එපමණක් නොව වමේ තමන් නොවන අනෙක් පාර්ශවවල අර්බුද ගැන හා වැරදි ගැන කතා කරයි. සැබවින්ම ඒවා කථා කළ යුතු ය. වෙනත් වැරදි මත, ප්‍රවනතාවන් ආදිය විවේචනය කර පරාජයට පත් කළ යුතු ය. එහෙත් ඊටත් වඩා අවධාරණයෙන් යුතුව සිය විවේචන ඉදිරිපත් විය යුතු තැනක් තිබේ. ඒ තමන්ම ගැන ය. වමේ අසාර්ථකත්වයේ කේන්ද්‍රීය හේතුව ඇත්තේ වම අභ්‍යන්තරයේම බව අපේ වමේ ක්‍රියාකාරී බොහෝ දෙනාට වැටහීමක් තිබෙන බව පමණක් නොව වටහා ගැනීමේ උවමනාවක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත. මේ හැම එකක්ම පාහේ තමන් මුහුණ දී සිටින අර්බුදය ගැන, එහි දිග පළල හා ගැඹුර ගැන කතා නොකරන තරම් ය. ඉඳහිට උඩින් පල්ලෙන් කතා කළත් හැකිතාක් ඉක්මනින් ඒවා ගැන කතා කිරීමෙන් වැලකී සිටිති. නැතහොත් ඒවා මග හැරෙන ලෙස චේතනාන්විතව ක්‍රියා කරති. මේ ගති ලක්ෂණය අඩු වැඩි වශයෙන් ගත් කල අපේ වමේය කියන පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයන් යන හැම කොටසකගේම පාහේ නෛසර්ගික ලක්ෂණයකි. 

image source-https://theleader.lk/images/2023/2023/Apr/wasantha.JPG

වමේ අසාර්ථකත්වයේ කේන්ද්‍රීය හේතුව වන්නේ සිය  අසාර්ථකත්වයට බලපා ඇති එය තුළම පැවති හා පවතින අඩුපාඩු හා වැරදි අවංකව පිළිගැනීමට හා එසේ පිළිගෙන ඒවා නිවැරදිකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති නුසූදානම ය. සෑම පක්ෂයක්ම, කණ්ඩායමක්ම පාහේ පොදුවේ ගත් කල අඩු වැඩි වශයෙන් අන්‍යයන්ගේ මිස තමන්ගේ වැරදි අවංකව පිළිගන්නේවත් පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට පියවර ගන්නේවත් නැත. ස්වයං විවේචන කර නැතිවා නොවේ. එහෙත් ඇතැම් ඒවා යම් යම් පාර්ශවීය සත්‍යයන් අඩංගු කර ගත් පැහැදිලි ප්‍රබන්ධ ය. බොහොමයක් ඒවා වටේ යාම් හා මගහැර යාම් ය. ඇතැම් ඒවා සැබවින්ම කළ වැරදි ‘වැරදි’ නොව බල කරන ලද තත්ත්වයන් තුළ සිදු වූ මග හැරිය නොහැකි වූ ඒවා ය. නැතහොත් අතපසු වීම් ය. පාලකයන් වැරදි නොකළා නම් අපෙන් එවැනි දේ සිදුවන්නේ නැත. ඇතැම් ස්වයං විවේචනයන් දෙස බැලුවොත් ඇත්තේ මෙවැනි ඒවා ය. “අර සිද්ධිය අඩුපාඩු සහිතයි, මේ සිද්ධිය නිසා විශාල හානි පැමිණුනා, ඒ සිදුවීම් එසේ සිදු වීම ගැන ස්වයං විවේචනාත්මකව බලන්න ඕන, මෙසේ නොවීම අඩුවක්” ආදී වශයෙන් කෙරෙන ලිස්සා යාමේ ස්වයං විවේචන ය. සැබවින්ම අඩුවැඩි වශයෙන් හැම වමේ පක්ෂයක්ම, කණ්ඩායමක්ම කරන්නේ සිදු වූ වැරදි සාධාරණීය කිරීමට හේතු සෙවීම ය. වැරදි අඩුපාඩු දකින්නේ හා විවේචනයට භාජනය කරන්නේ කවරෙක් ද ඒ කවරෙකු වුව අවස්ථාවාදී, ද්‍රෝහී ලේබලයෙන් හංවඩු ගසනවා ඇත. මෙම භාවිතය අපේ වමේ නෛසර්ගික පුරුද්දකි. මේ පුරුද්දේ බලයෙන්, මේ දේශපාලන සංස්කෘතියෙන් තිර ලෙස කැඩී වෙන් නොවන්නේ නම් අසාර්ථකත්වය, යළි යළිත් අසාර්ථකත්වය අපේ වමේ සදාතනික උරුමය බවට පත් වෙනවා ඇත. 

වමට අනාගතයක් සහතික කර ගන්නට නම් වැරදි නිවැරදි කර ගැනීමේ මහා ව්‍යාපාරයක් පණ ගැන්විය යුතුමය. ඒ ව්‍යාපාරය ඔස්සේ පවතින සමස්ත වමම නව වමක් මගින් නිෂේධනය  කළ යුතුමය. මන් ද විශේෂයෙන්ම අද දවසේ සැබෑ වමක ප්‍රගතියට විශාලතම බාධකය වී ඇත්තේ පවතින වම ම නිසා ය. පවතින වම ප්‍රගතිශීලී වන්නේ හුදෙක් පවතින පාලනයන්ට සපේක්ෂව ගත් කල පමණි. ඇතැම් විශේෂයන් තිබිය හැක්කේ වුව ද පොදුවේ ගත් කල එය රටට අවශ්‍ය කරන වමකට සාපේක්ෂව  ප්‍රතිගාමී ය! එය අපෝහක නිෂේධනයකට ලක්විය යුතුම ය.

වසන්ත දිසානායක.

1922 අප්‍රේල් 10

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *