වික්ටර් අයිවන් නම්වූ ඔහු..!

ජවිපෙ පූර්ණකාලීන වැඩකරන සමයෙහි, ජවිපෙ විසින් අපට ඔහුව හඳුන්වා දී තිබුනේ C.I.A කාරයෙක් හැටියටය. එකල අපගේ යොවුන් වියේදී යමක් කියවා විශ්ලේශණය කොටගෙන තර්කාණුකූලව අදහසක් ඔළුවට දාගන්නවා වෙනුවට, ඉහලින් දෙසන වාක්‍යයන් දේව වාක්‍ය ලෙස සැලකූ සමයේ මමද එකහෙලාම වික්ටර් අයිවන් යනු අධිරාජ්‍යවාදීන්ට කත් අදින ඇමරිකාවේ ඩොලර් මත යැපෙන C.I.A කාරයෙක් බවට එකහෙලාම විශ්වාස කල අතර ඔහු ලියූ ලිපියක් හෝ පොතක් එකහෙලා බැහැර කිරීමේ ප්‍රතිපත්තියක් ද මේන්ටේන් කරගෙන යනලදී.
above image source-https://lankanewsweek.com/wp-content/uploads/2018/11/6f123c81ec7c21bc8f11151e412b5fe5_XL.jpg
ඉන්පසු කාලයේ අපගේ “89-අරගලය” ලෙයින් යකඩින් මර්ධනයවී රැඳවුම් කඳවුරු වලට ගාල් කොට සිටිනවිටත් ඉන් පසුවත් පක්ෂය මගපෙන්වූ සහ උපදෙස් දුන් පොත් පත් වලට බැහැරව කියවීම ආරම්භ කලවිට මට ඇත්තටම මා ඇතුල්වී සිටි දෘශ්ටිවාදයෙන් පිටත ලෝකය අභිමුඛ වීම ඇරඹුණු අතර ඒ කියවීමේදී මම වික්ටර් අයිවන් පිළිබඳව ලැගසිටි පූර්ව නිගමණයන් අතික්‍රමණය කරමින් ඔහුගේ අගනා විශ්ලේශණ එකක් නෑර හඹායන්නට විය.
ඔහු, මගේ දැක්මට අනුවනම් ජනමාද්‍ය වේදියෙකු හෝ පත්තරකාරයෙකු හෝ විශ්ලේෂකයෙකු ලෙස හඳන්වාදීම සාර්ථක හඳුන්වාදීමක් යැයි නොසිතමි. වරෙක ඔහු විශ්ලේෂකයෙකි,වරෙක ඔහු පත්තර කාරයෙකි, වරෙක මාධ්‍ය වේදියෙකි නමුත් ඔහු ඒ කිසිතැනක නතරවී සිටියේ නැත. ඒවා සියල්ලම ඔහු පසුකරගෙන ගිය තැන් මිස ඔහු නැවතී සිටි තැන්ද නොවේ.

image source-https://www.jvpsrilanka.com/english/wp-content/uploads/2016/02/old_may_day.jpg
ළාබාල යෞවන වියේදී ඔහු අරගල කරුවෙකි. සන්නද්ධ සටන්කරුවෙකි. ඉන් අනතුරුව ඔහු එයින් අවශ්‍ය ලෙසම අවශ්‍ය කාලයේදීම මිදුනේය. සන්නද්ධ අරගලය ඔහු අනවශ්‍ය යල්පැනගිය දෙයක් බව ඉතාම හොඳින් හඳුනාගත්තේය. ඔහු තුවක්කුව සහ බෝම්බ වෙනුවට පෑන අතට ගත්තේ එබැවිනි. එයද මේ ලෝකයේ මිනිසෙකුට පෑන අතට ගැනීමේදී භෞතිකව බලපාන්නාවූ ඉතාම අමිහිරිම, අපහසුම කොන්දේසි යටතේදීය. ඔහු පෑන අතට ගන්නේ, තම එක් අතක් වැලමිටට පහලින් අහිමිවී අනෙක් අතේ ඇගිළි විකෘතිවී තිබූ අතිශය දුෂ්කරම කොන්දේසි ඔහුට එරෙහිව ඔහු අබියස තිබියදීමය. ඒ අපහසුම කොන්දේසි වලට අවනත නොවී ඔහු ඔහුගේ විකෘතිවූ ඇඟිලි කීපය අතර මහා අපහසුවකින් පෑන රඳවාගෙන ඉතා අගනා පොත් ගණනාවක්ද, අගනා ලිපි ලේඛන ගනනාවක්ද ලියා පලකලේය. ඒවාද නිකම්ම නිකන් පොත්ගොන්නක් නොවූ අතර විශාල වශයෙන් විශ්ලේෂණයන්ට භාජණය කොට, සමාජ සමීක්ෂණ වලට ලක්කොට ලියන ලද ඒවාවීම විශේෂත්වයකි. ඒවා අතරින් 71 තරුණ අරගලය සම්බන්ධවද, රටේ විශාල ලෙස සමාජයේ උඩුදුවා ඇති “කුළ ප්‍රශ්ණය” අළලාද, ආර්තික සහ කෘෂිකර්මාන්තයේ ඇති ගැටළුද, දේශපාලණයේ පවුල් පසුබිම්ද, උතුරේ සන්නද්ධ අරගලයේ පසුබෑමද අලලා ඉතා විශිෂ්ට කෘති එළිදැක්වීමට ඔහු සමත්විය. එසේම රටේ ආර්තික අර්බුධය සම්බන්ධවද, නීති පද්ධතිය සම්බන්ධවද විනිවිද දකිනලද ඉතා දියුනු දෘශ්ටියක් ඔහුගේ වියමණයන්වල ගැබ්වී තිබිණි. ඔහුගේ මූලිකත්වයෙන් අරඹන ලද “ රාවය” සංවාදශීලී පුවත්පත ඔහුගේ ලේඛන කළාවේ එක් සන්ධිස්තානයක් විය. වරෙක එය රටේම එකම විකල්ප සහ විවේචනාත්මක දේශපාලණ සංවාදයක් ගොඩනැගීමට සමත්විය. වරෙක එය හරහා රටේ අධිකරණ පද්ධතියේ ඇති අඩුපාඩු සහ නීති පද්ධතියේ හිල් වලින් පැනයන මහා දැවැන්තයින් ඉතා නොබියව නිරාවරණය කරන ලදී. එමගින් ජනමාධ්‍යවේදියෙක් ලෙස කොන්ද කෙලින් තබාගෙන ක්‍රියාකරන ආකාරයත්, එසේ ක්‍රියාකරන්නේනම් එයින් කලහැකි බලපෑමත් පිළිබඳව රටේ අනෙකුත් මාධ්‍යවේදීන්හට වටිනා පාඩම් සමුදායක් ගෙනහැර දක්වන ලදී.
ඔහුගේ ජීවන ගමන් මගේදී විශේශයෙන් 94 වකවාණුවෙන් පසු ඔහුගත් තවත් තීරණාත්මක ක්‍රියාවලියක් වූයේ දේශපාලණ නායකයින් සමග සමීපව වැඩකිරීමට තීරණය කිරීම හෙවත් රජුන් තැනීමට ඉදිරිපත් වීමයි. ඒ අනුව ඔහු චන්ද්‍රිකා බන්ඩාරනායකගේ රජයේ ඇය පිටුපසින් සිටි ප්‍රධාන පෙලේ උපදේශකයෙකු විය. රාජ්‍ය නායකත්වයට උපදෙස් දීමෙන් ඔහු මුහුණදුන් සහ ඔහු අත්දැකි අමිහිරි අත්දැකීම් අගනා වියමනක් ලෙස පසුව “ චෞර රැජිණ” ලෙස ග්රන්ථාරූඩ කරන ලදී. එමගින් රාජ්‍ය පාලනයේ රහස් ලෙස සැඟවුනු අතිශය පිලිකුල් දනවන දූෂන, පාතාල සබඳතා ඔහු ඉතා නොබියව ගෙනහැර පාන්නට විය.
ඇත්තටම අයිවන් විසින් 2022 දී ලංකාවේ ඇතිවුනු ආර්තික අර්බුධය ඊට කලින් දුටු විද්වතුන් කිහිපදෙනා අතරින් කෙනෙකුවිය. ඔහුගේ ලිපිලේඛන සහ ඉදිරිපත් කිරීම් මගින් ඔහු ඉතා පැහැදිලිව “ මෙහෙම මහ කාලයක් යන්න බැහැ” යනුවෙන් රටේ පාලකයින්හට විවෘතවම ඉදිරියට ඒමට ඇති ආර්ථික අර්බුධය ගැන අනතුරු ඇඟවීය. එහෙත් ඒවා බීරි අලිනට ගැයූ වීනා වාදන පමණක්ම විය.
“ පොඩි අතුල” ලෙස සන්නද්ධ අරගලය විශ්වාස කරමින් ආයුධ අතටගත් වික්ටර් අයිවන් සිය ජීවිතයෙන් මුහුකුරා යත්ම ලිබරල් දේශපාලනයේත්, ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවාහයේත් ප්‍රධාන පෙලේ චින්තකයෙකු බවට රූපාන්තරණය වීම ඔහුතුල මාදුටු වැඳගත්ම අංගය ලෙස මට සිතේ. ඒ රූපාංතරණය තුලදී ඔහු අත්පත් කරගත් දැනුම් සමුදායත්, සමාජයට දායාද කල ඥාණ සමුදායත් වත්මන් සමාජයට කොතෙක් දුරකට අවබෝධ කරගැනීමට හෝ ඒවා උපකාර කරගැනීමට සමත්වූවාදැයි මා නොදනිමි. මක්නිසාදයත්, ඔහු ගෙනහැරපෑ මහා ඥාණන සංවාදය අඩුම තරමින් දේශපාලණ සංවාද තුලදීවත් හරියාකාරව සංවාදයට ලක්වූයේවත් ඇත. ඒ වෙනුවට සිදුවූයේ මා දන්නා තරමින් අයිවන් මහතාට එල්ලකල විවිධ ගැරහුම් සහ අවමන් පමණි.
අවසාන වරට එළැබි ජනාධිපතිවරණයේදීද ඔහුගේ නිගමනය වූයේ කොතෙක් වැරදි තිබුනද රනිල් වික්‍රමසිංහ මහතා මේ පවතින අර්බුධය සඳහා සිටින අයගෙන් එකම සුදුස්සා බවයි. ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ජාතික ජනබලවේගය රටේ පාලණය සඳහා පළපුරුදු අය නොවීම ඔවුන් බලයට පැමිණියහොත් ඇතිවිය හැකි භයානක තත්වයක් බවටත් ඔහු අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් අදවනවිට ජාතික ජනබලවේගය පාළණයට පැමිණ ඇතිබැවින් ඔවුන් රටේ පාලණය කරගෙන යාමට කෙසේ සමත්වේදැයි යන්න ඉදිරි කාලයේ තීරණය වනු ඇත.
නමුත් වික්ටර් අයිවන් වැනි චින්තකයෙකුගේ මරණය ලංකාව වැනි රටකට පියවිය නොහැකි පාඩුවක් වේයැය් මම නොසිතමි මක් නිසාද යත්, රැල්ලෙන් රැල්ලට ගොඩවී පත්කරගන්නා පාලකයා තමනට සුරපුරක් ගොඩනගාදේවි යැයි සිතාසිටිනා, දශක ගණනාවක් “දියසෙන් කුමාරයෙක්” පැමිණ තමන් ගොඩගනීවියැයි සිතා සිටිනා ඉතා පසුගාමී සමාජයකට වික්ටර් අයිවන්ලා වැනි බුද්ධිමතුන්ගෙන් කිසියම්හෝ ප්‍රයෝජනයක් ගැනීමට සමත්කමක් ඇතැයි සිතිය නොහැකි බැවිනි. ඔවුන්ගේ නිර්මාණ සහ සංවාද පමණක් නොව ඔහුගේ නමටද පරිභව කිරීමට සැදී පැහැදී සිටින සමාජයක් නිර්මාණය වී තිබියදී ඇත්තටම වික්ටර් අයිවන්ලා ඉපදී ඇත්තේ එක්කෝ කල් ඇතුවය. නැතහොත් වැරදි ලොකේශන් එකකය. ඔහු යුරෝපයේ හෝ වෙනත් දියුනු රටක ඉපදී සිටියානම් ලොව සුපතල චින්තකයෙක් සහ කතුවරයෙක් වීමට බොහෝ දුරකට ඉඩතිබිණි.
ඉතිං අයිවන් මහතාණෙනි, ඔබ දැනුම සඳහා මාහට එක්කල බොහෝ දේ සඳහා මා ඔබට දනුමෙන් ණයගැති බව පමණක් මම දනිමි.