ෆොනීගේ යුධ ඉතිහාසය..!
1993 අවුරුද්දේ අගදී රාජ්‍ය මිල්ටරිය විසින් අලිමංකඩ කදවුරේ සිට කිලාලි කලපුව දක්වා “යාල් දේවී” නමින් මෙහෙයුමක් ආරම්භ කරනවා. උතුරු අර්ධද්වීපයම LTTE ය විසින් පාලනය කරන මේ යුගයේදී උතුරු අර්ධද්වීපය හා වන්නිය අතර ගොඩබිම් මාර්ගය අලිමංකඩ හමුදා කදවුර විසින් අවහිර කරතිබූ පසුබිමක කිලාලි කලපුව හරහා යාපනය හා පුනරීන් අතර බෝට්ටු මගින් ප්‍රවාහන සේවය සක්‍රියව පවත්වාගෙන යාමට LTTE ය සමත් වෙනවා. යාල්දේවී මෙහෙයුමේ අරමුණ වන්නේ කිලාලි හි පිහිටියා වූ මේ බෝට්ටු තොටුපල විනාශ කොට LTTE ආධිපත්‍යය යටතේ පැවති ප්‍රවාහනය අඩපන කිරීමයි.

සිංහ රෙජිමේන්තු බලඇණීයේ අත්වැරදීම.
බ්‍රිගේඩ දෙකකින් යුක්ත සේනාංකයක් විසින් ප්‍රහාරය ආරම්භ කරන අතර මින් එක් බ්‍රිගේඩයකට අණ දෙන්නේ එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකා විසින්. ඔහුගේ බ්‍රිගේඩයට ඔහුගේම මව් ඒකකය වූ 01 වෙනි සිංහ රෙජිමේන්තුවද ඇතුලත් වන විට ඊට අණ දෙන්නේ 1991 දී අලිමංකඩ කදවුර මහත් පරිශ්‍රමයක් යොදා බේරාගත් මේජර් සනත් කරුණාරත්න විසින්. අදාල බ්‍රිගේඩයට සිංහ බලඇනිය සහ පාබල හමුදා(CLI)බලඇනියක්ද ඇතුලත් වනවා. මේ ප්‍රහාරක බ්‍රිගේඩය අලිමංකඩට උතුරින් පිහිටි ශ්‍රී අම්මාන් කෝවිල ප්‍රදේශයේදී LTTE යේ උපක්‍රමික ප්‍රහාරයකට ලක්වන අතර සිංහ හා පාබල බලඇනි ද්විත්වයේ සම්බන්ධය(Link)LTTE ය බිද දමනවා. බිඳ දමනු ලැබූ ස්ථානයෙන් විවර වන ඉඩෙන් සිංහ රෙජිමේන්තු බලඇනියේ අභ්‍යන්තරයට හමුදා ඇදුම් ඇදි LTTE ය රිංගන අතර සිංහ සෙබලුන් ඒ පැමිනෙන්නේ පාබල සෙබලුන් යැයි සිතනවා.
ප්‍රහාරයේ ත්‍රීව්‍රතාවය කොපමනද යත් සිංහ බලඇනිය මුලුමනින්ම හුදෙකලා වන අතර ඔවුන් පූර්න විනාශයකට මුහුන දෙනවා. ආධාර ලෙස සටනට පිවිසෙන සන්නාභ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් T-55 යුධ ටැංකිද ප්‍රහාරයට ලක්වෙන අතර එක් යුධටැංකියක් එහි සිටි කපිතාන් වරයා සහ සෙසු නිලයන් සමගම LTTE ය අත්පත් කරගන්නවා. සටනේ ඉදිරිය කිලාලි දක්වා ගියත් ප්‍රහාරයෙන් වූ හානිය වසන් කිරීමට එම ජයග්‍රහනය ප්‍රමානවත් වන්නේ නැහැ. සන්නාභ සන්නද්ධ ඒකකයෙන් බිහිවූ එවකට සිටි හමුදාපති වූ ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න සිය පදවියෙන් ඉල්ලා අස්වන අතර සරත් ෆොන්සේකා සහ සනත් කරුනාරත්න අතර කිසිදා සමනය නොවන ගැටුමකටද මේ අසාර්ථක මෙහෙයුම හේතු වනවා.
ගොඩබිම් සැපයුම් අලිමංකඩට අහිමිවීම.
2000 වර්ෂයේ අගදී LTTE ය විසින් කරඩිබෝක්කුව ප්‍රදේශයේදී කිලිනොච්චි හි පිහිටා තිබූ ඉදිරි ආරක්ෂක වලල්ල අභිබවමින් අලිමංකඩ වැටලීම ආරම්භ කරනවා.අදාල ඉදිරි ආරක්ෂක වලල්ල පරන්තන් හි පිහිටි පැරනි රසායනික කර්මාන්තශාලා භූමියේ ස්ථාපිත කරන්නට මිල්ටරිය සමත් වූවත් පූර්න හමුදාමය ඇස ඒ දෙස යොමු වී තිබූ නිමේශයේදී LTTE ය වෙත්තිලකේනි මුහුදුබඩ කදවුර බිද දමමින් අලිමංකඩ කදවුරු සංකීර්නයට තිබූ මුහුදු සැපයුම් මාර්ගය අහිමි කරනවා. වෙත්තිලකේනි දක්වා කිසිදා එල්ල නොකරන ලද ප්‍රහාරයක සැලසුම් රාජ්‍ය මිල්ටරිය සකස් කරමින් තිබියදී තීපන් විසින් මෙහෙයවූ LTTE යේ 600 ක පමන කන්ඩායමක් වෙත්තිලකේනි සිට පැමින පලෙයි වලට දකුනින් A-9 මාර්ගය අල්ලා ගනිමින් ගොඩබිම් සැපයුම් මාර්ගයද අලිමංකඩට අහිමි කරනවා. 12,000 ක සෙබලමුලුවකින් යුත් 52 වෙනි සේනාංකය විසින් ආරක්ෂා කල ලංකාවේ දෙවන විශාලතම කදවුර ඒ අනුව බිදවැටෙන අතර ඛේදජනක පසුබැසීමක් හරහා අලිමංකඩදී භානු අතින් LTTE ධජය එසැවෙනවා.
LTTE යේ යුධ ගම්‍යතාවය උතුර බලා හැරෙන අතර 1995 දී රිවිරැස මෙහෙයුමෙන් දිනාගත් උතුරු අර්ධද්වීපය අහිමි වීමටත් 35,000 ක ත්‍රිවිද හමුදා හා පොලිස් බලඇනි වල ජීවිත පිලිබදව උභතෝකෝටික ගැටලුවකටත් රජය මුහුන දෙනවා.

ජෙනරාල් ජානක පෙරේරා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා උතුර බලා වහා පිටත් කලත් පසුබැසීම හැර වෙනත් විකල්පයක් මිල්ටරිය වෙත ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. විශේෂ බලකායේ විශිෂ්ටයා මෙන්ම එහි නිර්මාතෘ වූ ජෙනරාල් ගාමිනී හෙට්ටිආරච්චිව 53 වෙනි සේනාංකාධිපති තනතුරෙන් ඉවත් කර හමුදා මූලස්ථානය වෙත මාරු කල පසු හා සේනාංකාධිපතිවරු ගනනාවක් අසනීප නිවාඩු වාර්තා කල පසු ලංකා යුධ ඉතිහාසයේ පලමුවතාවට 52,53,54,55 යන සේනාංක හතරේම අණ දීම ජෙනරාල් සීවලී වනිගසේකර විසින් බාරගන්නවා. ඔහුගේ මෙහෙයවීම යටතේ කර්නල් සුමේද පෙරේරා විසින් සරසාලේ මංසන්ධියේදී කරන Do or Die සටනකින් පසු LTTE යේ නොනවතින රැල්ල සරසාලේ වලදී නවතිනවා. ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යාපනය බේරාගත් වීරයන් ලෙස උලුප්පා දක්වද්දී එහි සැබෑ නිහඩ වීරයා වූ සීවලී වනිගසේකර සිය විශිෂ්ඨ හමුදා සේවයෙන් නිහඩවම සමුගන්නවා.
වීරයන් වගකිවයුතු ශෝචනීය පරාජයන්.
සරත් ෆොන්සේකා වීරයෙකු ලෙස භෞතීස්ම වෙන පසුකාලීන යුගයේදී අලිමංකඩ කේන්ද්‍රීයව වූ 1993 යාල්දේවී මෙහෙයුමත් 2001දී සිදුවූ අලිමංකඩ බිදවැටීමෙන් පසු ඔහුගේ ක්‍රියාකාරිත්වයත් අපිට අමතක වෙනවා. වීරයන්ද ඇතැම් ශෝචනීය පරාජයන් වල පූර්ණ වගකිවයුතු කොටස් කරුවන් බව අමතක නොකල යුතුයි. සිය තනි භුක්තිය වෙත සිවිල් යුද ජයග්‍රහනයේ හිමිකම පවරාගැනීමට වෙහෙසෙද්දී තමන්ගේ නායකත්වයන් යටතේ වූ පරාජයන් හා පසුබැසීම්ද සිහිකල යුතු වෙනවා.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcThS4nNUYeJa1yhoJwOyxpMzFSRI6KgsSHl1A&s
සිවිල් යුද ජයග්‍රහන පිලිබදව සැමරීම් යනු ජාතිවාදය පිලිබද අදහස ලේ වැකි ඉතිහාසය තුල හෝද හෝදා දැමීමක්. දකුනේ වූ සිවිල් යුද ගැටුමේදී මේ බොහෝ යුද නායකයින්ගේ ක්‍රියාවන් සගවා තබන අතර ඒවා උතුරේ දී කල කී දෑ උත්කර්ශවත් කිරීම හරහා වසා දමනවා. සරත් ෆොන්සේකාගේ නායකත්වය පිලිබදව මිල්ටරි දෘෂ්ටිකෝනයෙන් කරන විග්‍රහයන් දේශපාලනය තුලට අදාල වෙන්නේ නෑ. අණ දීමට හා අණ පිලිපැදීමට පුහුනු කරනු ලැබූ හමුදා නායකයින් දේශපාලනයට අවශෝෂනය කල පසු බිහිවන්නේ ඒකාධිපතියන් පමනයි. සිය විනය පිලිබඳ අදහසේදී ස්වයං විනය යන කාරනය ඉතා වැදගත්. සරත් ෆොන්සේකා තුල ඇති මමත්වය(ego)ඉතා බලවත්.
ෆොන්සේකා බලය පිළීබඳව දක්වන අදහසේ හරය.
ඊට හානි කරනු ලැබූ රාජපක්ෂවරු පිලිබදව ඇති වෛරය දේශපාලනය තුලට කාන්දු වූ විට ඉතිරි වන්නේ ආත්මීයව පිරිහුනු හා කටහඩක් බවට ඌනනය වූ ශරීරයක් පමනයි. සරත් ෆොන්සේකා බලය පිලිබදව දක්වන අදහසේ හරය වන්නේ එය පාරභෞතික ස්ථානයක නොව භෞතික ස්ථානයක තැබීමයි. අතීතයේ කල සියලු පව් රාජපක්ෂලා පිට තැබීමට පොරකන ජහමනයා අතර ෆොන්සේකාගේ හඬ උස්ව ඇසෙන්නේත්, එයට ඉඩ ලැබෙන්නේත් නිකම්ම නොවෙයි. මලමිනී උඩ කිරිබත් කෑ සියලු දෙනාගේ පව් සමා කිරීම ඊට හේතුවයි. සමානයන් අතර අසමානයෙකු විය හැක්කේ කල “ක්‍රියාව” පිලිබද ආචාර ධාර්මික පෙනී සිටීමකින් පමනක් වන විට එය සදාචාරය තුලට ලඝු කල විටම ඔබට සමානයන් අතර ද්‍රෝහියෙකු විය හැකි බව ෆොන්සේකා අපිට උගන්වන පාඩමයි.