|

රජය බිස්නස් නොකරනා කල..!

රජය බිස්නස් නොකරනා කල  කෙළවෙන්නේ කාටද ?

“රජය බිස්නස් කරනවා!” කියන්නේ අතිරික්ත වටිනාකම් හෙවත් ලාභ උපදවාගැනීම සඳහා දේපළ හිමිකම් නැති ජනතාවගේ ජීවිත සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ සෘජු මැදිහත්වීමෙන් මුදල් ඉපයීම මිස අන් යමක් නොවේ.

“දැන් කාලේ රජය බිස්නස් කරන එක පාඩුයි බිස්නස් කළ යුත්තේ පුද්ගලික අංශයයි!” කියා ජනාධිපතිවරයා කියා සිටිනා විට මේ කතාවේ දිග පළල හරියටම නොදන්නා මෙරට මැද පන්තික මානසිකත්වයක් සහිත බොහෝ වුන් හුරේ දමන්නේ, “එළකිරි!” කියාය. ඒ නිදා වැටෙනා රාජ්‍ය අංශයේ බිස්නස් වෙනුවට දෑස් කාන්තිමත් කරනා පුද්ගලික අංශයේ බිස්නස් ඉතාම අලංකාර නිසාය. දේශපාලනයේ හරිහැටි කරුණු නොදන්නා මෙරට මැද පන්තික ජනයා ඉතාම ආශා, පෙනුමින් ආතල් ජීවිතයකට මිස හරයෙන් අනාගතවාදී ජීවිතයකට නොවනා බව මෙරට වැඩවසම් වම දකුණ දේශපාලනය දන්නේ ඉතාම නිරවුල් ලෙසය. ඒ නිසා මේ එදාවේල  දේශපාලනය වැඩි බරක් තබන්නේ මේ මැද පන්තික ජනයාට ආතල් දීම සඳහාය.

රාජ්‍ය ශුභසාදන ධනවාදය.

John Maynard Keynes.

රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුය යන තීරණය ආවේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සමාජවාදී කඳවුරට විකල්පව ධනේශ්වර කඳවුර විසින් දියත් කළ බ්‍රිතාන්‍යයේ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් හඳුන්වා දුන් “රාජ්‍ය සුභසාධන ධනවාදය” ධනේශ්වර ලාභ පංගුවට බාධා කළ නිසාය.

මේ යෝජනාව “නවලිබරල් ධනවාදය” ලෙස දේශපාලන ආර්ථික කරළියට ආයේ, රොනල්ඩ් රේගන් ගේ සහ මාගරට් තැචර්ගේ නායකත්වයෙන් බව දේශපාලනයට සංවේදී සියල්ලන් දන්නා කරුණකි. 70 දශකයෙන් ඇරඹී නව ලිබරල් ධනවාදය මූලික ප්‍රතිපත්තිය බවට පත්කොට ගත්තේ, සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටි “රාජ්‍ය මූල්‍ය සම්පාදනය” නොවිය යුත්තක් ලෙස උත්කර්ෂයට නගාය.

පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය තුළින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නැහේ විසින් ඉවත් කිරීමට තීරණය කරන ලද වීදි ජනතාවක් ඇමරිකාවට උරුම කොට දුන්නේ මේ නවලිබරල් ධනවාදය විසිනි. ඒ නවලිබරල් ධනවාදයේ ආණ්ඩු ඇති හැකි එකාට දැවැන්ත බිස්නස් හදනා අතර නැති බැරි එකාට ඒ බිස්නස් ලෝකය තුළින් තමන්ගේ දෛනික යැපීම සකසා ගැනීමට බල කරයි. රාජ්‍ය සුභසාධන ධනවාදය නව ලිබරල් ධනවාදය බවට පත්වීමේ මූලික හරය මෙයයි.

වසර පනහක් ඇවෑමෙන් මේ වන විට ලෝකය පුරා “රජය බිස්නස් නොකරනා” නව ලිබරල් ධනවාදය අසාර්ථක එකක් බව ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ පිළිගෙන තිබෙනුයේ, එය සාමාන්‍ය ජනතාව දිළින්දන් බවට පත්කිරීමේ මූලික වැඩ කොටසක් ඉටු කරනා බව ඇස්පනාපිට ඔප්පු කරන්නේ, ඉතාම පැහැදිලි ලෙස නිසාය.

නවලිබරල් ධනවාදය තුළ, කම්කරුවන්ගේ වැඩ දිනය, සෞඛ්‍ය තත්ත්වය, සංස්කෘතික ජීවිතය, වැටුප් තත්ත්වය පිළිබඳව වූ රාජ්‍ය මැදිහත්වීම සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසු වැඩකරන ජනතාවට පමණක් නොව, වැඩ කරන්නට අසමත් ජනතාවටද බරපතළ ප්‍රශ්න මතුවන්නේ, තමන් ඡන්දයෙන් තෝරාපත් කරනා ආණ්ඩුව තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිවීම තුළය.

රජය බිස්නස් කලයුත්තේ ඇයි?

රජය බිස්නස් කළ යුත්තේ, හේතු කීපයක් සහිතවය. එකක් නව ලිබරල් ධනවාදය සමාජ ආරක්ෂණය පිළිබඳ වගකීම දරන්නේ නැති නිසාය. ඒ කියන්නේ ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාන්විතය තුළ රැඳී සිටිනා මිනිසුන් සේවා මුරයෙන් ඉවත්ව සංස්කෘතික ජීවිතයට පැමිණීමෙන් පසු එහි ආරක්‍ෂාව වෙනුවෙන් පුද්ගලික අංශය වගකීමක් දරන්නේ නැති නිසාය.

මානව සමාජයක සංස්කෘතික ජීවිතය ආරක්ෂා කොට දීමට නම් ඒ සඳහා වැය කිරීමට රජයට මුදල් තිබිය යුතුය. නමුත් නවලිබරල් ධනවාදය තුළ රජය මුදල් උපයන්නේ නැතිවීමෙන් රජය මුදල් ඉපයීම සඳහා කරන්නේ සෘජු බදු සහ වක්‍ර බදු අයකොට ගැනීමෙන් රාජ්‍යයේ පැවැත්ම සඳහා මුදල් එකතු කොට ගැනීමයි. නමුත් රජය බිස්නස් කරන්නේ නම් රාජ්‍යයේ පැවැත්ම සහ එහි වසනා මානව සම්පත වෙත සංස්කෘතික ජීවිතයක් ලබාදීම සඳහා වැය කිරීමට බදු මුදල් වෙනුවට රාජ්‍ය ආදායම්  උල්පතක් හරහා රජයට මුදල් උනන්නේ ජනතාව වෙත පටවනා වක්‍ර බදු බර අනවශ්‍ය එකක් බවට පත් කොටය.

මේ වනවිට ලෝකයය පුරා ධනේශ්වර රාජ්‍යයන් රජය බිස්නස් නොකිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වෙමින් ඉන්නේ, රාජ්‍ය භාණ්ඩාගාරය වෙත මුදල් උනනා උල්පත් රහිතව වක්‍ර බදු ක්‍රියාන්විතයක් හරහා රාජ්‍යය නඩත්තු කිරීම කළ නොහැක්කක් බව ඉතාම පැහැදිලි ලෙස තහවුරු වෙමින් තිබෙනා නිසාය.

මාලිමා ආණ්ඩුව “රජය බිස්නස් කරන්නේ නෑ!” කියන්නේ, යල්පැන ගිය සටන් පාඨයක් කරේ තබාගැනීමක් ලෙස මිස වර්තමාන ලෝක ප්‍රවණතාවක් ලෙස නොවේ. මාලිමා ආණ්ඩුව පුද්ගලික අංශය ශක්තිමත් කිරීමක ඉන්නේ, මාලිමා රජය බිස්නස් නොකරන්නේ වුවද ජාතික ජනබලවේගය දිගුකාලීන ලෙස පුද්ගලික ප්‍රාග්ධනය සමඟ ඒකාබද්ධව බිස්නස් එකක සිටිනා නිසාය.

මෙහි තිබෙනා බරපතල තත්ත්වය නම්, පුද්ගලික අංශය සතුව තිබෙනා කිසිවක් රාජ්‍ය ප්‍රාග්ධනය බවට පවරා ගැනීමෙන් තොරවම රජය වෙත බිස්නස් කිරීමට තිබෙනා අවස්ථාවන් අත්හැරීම වේ. උදාහරණයක් ලෙස මෙරට ගංගා තුළින් ගොඩ දමනා දැවැන්ත වැලි සම්පත කිසිදු ලෙසකින් වත් පුද්ගලික අංශයට උරුමකම් පෑ හැකි බිස්නස් එකක් නොවනා නිසා එය රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත්කොට ගත හැක්කේ සාමාන්‍ය ජනතාවගේ අතමිට සරු කළ හැකි ලෙසය. නමුත් මාලිමා ආණ්ඩුව රජය බිස්නස් කරන එක පාඩුයි කියන්නේ, මෙතෙක් පැවති රජයන් විසින් කාබාසිනියා කළ රාජ්‍ය අංශයක් ජනතාවට පෙන්වා මිස ඇත්ත රාජ්‍ය මැදිහත්වීමක් හරහා රාජ්‍ය අංශය ශක්තිමත් කොට පෙන්වීමෙන් නොවේ.

මාලිමා ආණ්ඩුව මෙසේ කරන්නේ ඇයි ?

ඒ ආණ්ඩුව රට පාලනය කරනවා පමණක් නොව දේශපාලන පක්ෂයක් ලෙස ලියා පදිංචිව සිට “Man power ආයතනයක්” ලෙස උපයනා දැවැන්ත ධනස්කන්ධයක් පුද්ගලික අංශය සමග ඒකාබද්ධව ආයෝජනය කිරීමේ අසික්කිත පුරුද්දකට ඇබ්බැහිව සිටිනා නිසාය.

මෙතෙක් මෙරට තුළ පැවති ආණ්ඩු තුළ දේශපාලකයන් මුදල් ඉපයූයේ, ඇමතිවරුන් ලෙස පුද්ගලික ප්‍රාග්ධනය සමග අත්වැල් බැඳ ගැනීමෙනි. ඇතැම් ඇමතිවරුන් ප්‍රකෝටිපතියන් වූයේ එසේය. මාලිමා ආණ්ඩුව තුළ පුද්ගලික කෝටිපතියන් සිටිනවා සේම ජාතික ජනබලවේගය තුළ දැවැන්ත මූල්‍ය කන්දරාවක් ඒකරාශී වන්නේ අතීතයේදී ජනතාවාදී ලෙස ඇරඹුණු මන්ත්‍රී වැටුප් අරමුදලක් කිසිදු මහජන සේවයකට වැය නොකරනා තත්ත්වයක් තුළය. ලාංකේය සමාජය මාලිමා ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය දුර්වල කිරීමේ තීරණය නිවැරදිව කියවා ගත යුත්තේ, මේ තත්ත්වයට යටත්වය.

ඒ රාජ්‍ය මුදල් ඉපයීම මාලිමා ආණ්ඩුවට වාතයක් වී තිබෙනුයේ දේශපාලන පක්ෂයක් ලෙස කෑදර මුදල් ඉපයීමකට මාලිමාවේ දේශපාලනය ඇබ්බැහිව සිටිනා බව තේරුම් ගෙනය. ජනතාවාදී ආණ්ඩුවක නාමයෙන් මාලිමා ආණ්ඩුව නියැලී සිටිනුයේ, තමන්ට ඡන්දය දුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට මුදල් ඉපයීමේ සෑම සියලු අවස්ථාවක්ම පුද්ගලික අංශය සමග බෙදා හදාගෙන දේශපාලන පක්ෂයක් මූල්‍ය සමාගමක් ලෙස පොහොසත් වීමේ අරමුණින් බව ඉතාම නිශ්චිතය.

දිනන දකුණ.

එබැවින් ආණ්ඩුවේ මේ කූට උපක්‍රමය ලාංකේය සමාජය විසින් පරාජය කළ යුත්තේ, “උඹලා එන්න හදන්නේ මොකාටදැයි අපි දන්නවා!” යන අර්ථයෙනි. ආණ්ඩුවේ මේ දේශපාලනය දැක ලෝභයෙන් මුසපත්ව ඉන්නේ, මෙරට සාම්ප්‍රදායික දකුණට එරෙහිව “දිනන දකුණ” නමින් ක්‍රියාත්මක කණ්ඩායමයි.

ඒ “අනුර දිසානායක කියන වැඩේ කොල්ලොන්ට අල්ලලා යනවා ඕයි!” කියනා විස්සෝපයක් සහිතවය. 

ඒ මෙරට සාම්ප්‍රදායික දකුණේ දේශපාලන පක්‍ෂ තුළ ක්‍රියාත්මක වූ චෞර දේශපාලකයන් තනි තනිව සහ හවුලේ කළ හොරකම වෙනුවට මාලිමා ආණ්ඩුව පක්ෂයක් ලෙස රාජ්‍ය ආදායම් දුර්වල කරමින් අලුත්ම සෙල්ලමක් කරනා බව හෙළිදරව් නොකොට සිටය. ලාංකේය දේශපාලන සමාජයට සුළුපටු නොවනා දේශපාලන සිහිකල්පනාවක් ඕනෑකර තිබෙනුයේ, එදා සිදුවූ පරණ දේ සහ අද සිදුවන අලුත් දේ ඉතාම නිවැරදිව තේරුම් ගැනීම සඳහාය. ඒ පක්ෂ දේශපාලනයේ ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලාංකේය ආර්ථිකය  ඉතාම අනතුරුදායක ලෙස ගැටගසා තබමින් නිසාය. එපමණයි.

ජනමිත්‍ර මහජන සාමූහිකය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *